Monday, August 15, 2016

ඉයන් මාමාගෙන් අභියෝග , කැමතිම සිංදු , විභාග මැද මම :/

කලණ අය්යගෙ පෝස්ට් එකක් මුහුණු පොතේ දැකල එතනින් ඉයන් මාමගෙ බ්ලොගේට රිංගල වෙච්ච  අකරතැබ්බේ  කොහොමද කිව්වොත්  ළඟ එන විභාග අස්සෙ පාඩම් කරන්න තිබ්බ සටහන පැත්තකින් තියල යූ බටේ සිංදු අහන්න ගත්ත. මේ අය්යලයි මාමලයි ලස්සන සිංදු දාල අපිව අවුස්සද්දි කොහොමද ඉන්නෙ. :( බැරිම තැන මමත් ආසම සිංදු ටික තේරුවා. සිංදු ටික තෝරද්දී කල්පනා උනදේ  තමයි  ඇත්තටම ඉයන් මාමාට සිංදු  16 විතරක්ම තෝරන්න හිතුනේ ඇයි ? ? ? 20 වගේ කිවනම් මොකද වෙන්නෙ .. නැත්නම් 25, 30 ...දෙය්යනේ ආසම සින්දු තෝරන්න මෙච්චර අමාරුවෙයි කියල මට හිතුනෙම නැහැ. 

 හරි වැඩි කතා ඕන නැහැ. පොඩි විස්තරයකුත් එක්ක එහෙනම් මම කැමති සිංදු ටික කියන්නම්. සමහර සිංදු නම් ඔයාල අහල තියනවද දන්නෙත් නැහැ  :)  සිංදු ගැන ලියද්දි මට හිතුන දෙයක්  තමා මේ සිංදු වල පද රචනය, තනු නිර්මාණය කලේ කවුරුද කියල දන්නෙ නැහැ නේද කියල.ඒ නිසාම පොඩි වෙලාවක් අරන්  සමහර විස්තර හොයාගත්තත් හැම සිංදුවකටම විස්තර හොයාගන්න බැරිඋනා.  යූ බටේ තියන සිංදුවලත් සමහර වෙලාවට ගායකයාගෙ නම හොයාගන්නත් නැහැනේ  :/ 

හරී  එහෙනම් පටාන් ගනිමු ........... සිංදු අහන්න  :D 

1. ආකාස කුසුම් චිත්‍රපටියෙ මා නුවන් පුරා  

ගායනය - සමන් නිශාන්ත 
පද රචනය  - උපුල් ශාන්ත සන්නස්ගල 
සංගීතය - රංග දසනායක





ආදර කියන මාතෘකාවෙදි  පළවෙනියටම මතක් වෙන්නෙ මේ සිංදුව. මට මේ සිංදුව දැනෙන්නෙ කෙනෙක් ප්‍රථම වතාවට ආදරය කියන හැඟීම  ඇතිවෙද්දී , තමන්ටත්  ආදරයක් ඇතිවෙලා කියල දැනෙද්දී  හිතට ගලාඑන දේ  සිංදුවකට පෙරලිලා වගේ ... ඒකෙ කියනව මෙහෙම ............ මට දැනෙනවා ... ආදරේ ... මට හැඟෙනවා .... ආදරේ ...

 2. ඔබේ සිනා ළඟ නෙත නැවතුන දා 

ගායනය - ජගත් වික්‍රමසිංහ 



සිනහ  කීයක් ළඟ නම් හිත නැවතිලා ඇත්ද. අමතකම නොවෙන හිනාවක් ගාවත් හිත තාමත් නැවතිලා තියෙද්දි කොහොම නම් මේ සිංදුව අමතක කරන්නද .ජගත් වික්‍රමසිංහ මහත්මයගෙ  සින්දු වලින් මම ආසම සිංදුව  තමයි මේ 

3. සිහිල් සුළං රැල්ලේ 

ගායනය - වික්ටර් රත්නායක
පද රචනය  - සේන වීරසේකර
සංගීතය - වික්ටර් රත්නායක



පොඩි කාලෙ  අපේ මාමගේ  සිංදු සීඩී  තැටි ගොඩක් අපේ ගෙදර  තිබ්බ  ඒකෙ තිබ්බ මම ආසම සිංදු සීඩී  තැටිය තමා  වික්ටර් රත්නායක මහත්මයගෙ  සිංදු  එකතුව. මේ සිංදුව අහද්දි  හුළඟත් එක්ක පාවෙලා පාවෙලා ඈතට යන්න පුළුවන් වගේ  :D තනු නිර්මාණය කලේ කවුරුද කියල හොයාගන්න බැරිඋනා. කාගෙ  උනත් විශිෂ්ඨ  නිර්මාණයක්. වික්ටර් රත්නායක මහත්මයාගේ  සිංදු  එකක් කියල කියන්න බැහැමයි. ' අපි හැඟුම්  වලට ඉඩදී '  කියන සිංදුවට ගොඩක් ආසයි වගේම  ලඟකදී අහල හිත රැඳිචච ' තොටුපල අයිනේ ' සිංදුවත් අභියෝගය සිංදු 16 සීමා නොකලානම් අනිවාර්යෙන් එකතු කරගන්න තිබ්බ.

4.  සඳ හොරෙන් හොරෙන් 

ගායනය - පණ්ඩිත අමරදේව
පද රචනය - කුලරත්න ආරියවංශ 
සංගීතය - ප්‍රේමසිරි කේමදාස 




මහ රෑ  කිසිම සද්දයක් නැති වෙලාවක අහන්න කැමති සිංදුවක් තමයි මේ. මීට අමතරව අමරදේව මහත්මයගෙ 'රෑ දුරු රට මේ' සිංදුවටත් විශේෂ කැමැත්තක් තියනව. සමහර සිංදු  වලට මුලින්ම හිත යන්නේ සංගීතයෙන්. කේමදාස මාස්ටර්ගෙ සංගීතයෙන්  හැඩවෙච්ච ගොඩක් සිංදු මගේ ප්‍රියතම සිංදු ....

5. මුතුකුඩ ඉහලන මල් වරුසාවේ 

ගායනය - රෝහණ වීරසිංහ 
පද රචනය - ලූෂන් බුලත්සිංහල 
සංගීතය -රෝහණ  වීරසිංහ 




සමහර සිංදු  තියනව ඒවා අහන්න හිතෙන්නේ රෑට. මට මේ සිංදුව අහන්න හිතෙන්නෙම හොඳටම සීතල දැනෙන වැස්ස දවසක  :) 

6. සිතින් මා නොසැලී ඉඳිද්දී 

ගායනය - ටී ම් ජයරත්න 



ඔය කඳුල කියන එකා නාහෙට අහන්නෙ නැහැනෙ. කොච්චර හිත තදකරගෙන හිටියත් හොරෙන් එලියට පැනල ගඟක්ම ගලන්න උතුරනව. අන්න ඒ වෙලාවට පොඩ්ඩක් පැත්තකට වෙලා අහන්න හිතෙන සිංදුවක් තමයි මේ  :) කොහොමත් ඔය මූඩ් අවුල් වෙන්නෙම  රෑට තමා  අන්න ඒ වෙලාවට  ටී. එම්. ජයරත්න මහත්මයගෙ 'රාත්‍රිය උදා උනා' කියන සිංදුවත් අහන්න අමතක වෙන්නෙම  නැහැ  :) 

7. පූජාසනයේ ඔබ හිඳුවා 

ගායනය -නන්දා මාලනී 
පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය - එච්.එම්. ජයවර්ධන




කවදම හරි  නොකළ වැරැද්දකට බැනුම් අහල එහෙමත් නැත්නම් හැමෝම ගැනම කලකිරිලා ඉන්න වෙලාවක හිත පොඩ්ඩක් හදාගන්න ඕන නම් මේ සිංදුව අහන්න  :)  මම වැඩියෙන්ම ආස මේ සිංදුවේ පද රචනයට.

නන්ද මාලනී මහත්මියගෙ සිංදු ඔක්කොටම වගේ ආසයි  මේ සින්දුවට අමතරව තව විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි  'සැදෑ කළුවර කුරගගා විත් ' සහ  'ප්‍රේමය නම් රාගයෙන් තොර ' කියන සිංදු. ලිස්ට් එක හදද්දි අතාරින්නම බැහැ කියන සිංදු අතරේ තිබිච්ච සිංදු දෙකක් තමයි මේ. 

8. සඳ තනියම 

ගායනය - නිරෝෂා විරාජිනී 
පද රචනය - බණ්ඩාර ඇහැලියගොඩ 
සංගීතය -  දුලිප් ගබඩාමුදලිගේ 




මම මෙතන සඳහන් කලේ  දෙරණ DELL  studio  වැඩසටහනේදි  නිරෝෂා විරාජිනී මහත්මිය ගැයුව 'සඳ තනියම' සිංදුව. ඒ  වැඩසටහනේම ගැයුව 'රෑ දොළොස් පැයේ' ,  'රන්ගිර මා'  කියන සිංදු දෙකටත් හරිම ආසයි. විශේෂයෙන්ම සංගීතයට. නිරෝෂා විරාජිනී මහත්මිය ගැයුව සිංදු වලින් දුක හිතෙන  සිංදුවකට ආස  ' සිත ඔබට මුවා වී ඉකිබිඳිනා' කියන සිංදුව. ඉතින් කියන්නකො කොහොමද එකක් කියල තෝරන්නෙ  :P 


9. ඔබ මා හමුඋන 

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ 




ඉස්සර  ඉඳන්ම මේ මහත්මයට මම කීවෙ දිවුල්ගහේ කියල :D  අපහාසයකට නෙවේ ඉතිං නම මතක තියාගත්තෙ එහෙම. දිවුල්ගනේ මහත්මයගෙ සිංදු වල මම දැකපු විශේෂත්වය තමයි ඒ මහත්මය ගායනා කරලා තිබ්බෙ ගොඩක්ම විරහවට බර වෙච්ච සිංදු. මේ සිංදුවෙ තේරුම නිසාම සිංදුවට ගොඩක් ආස කළා.

ඔබ මා හමු උන මේ ඉර හඳ  යට 
කොතැනක සිටියත් මා මල දවසට 
මගේ ළඟ තනියට එනු මැනවී  ............. 

10. අග පිපි මල් 

ගායනය - නන්දා මාලනී / නදීක ගුරුගේ 
සංගීතය - නදීක ගුරුගේ 




මේ සිංදුවේ මුල් ගායනය කවුද දන්නේ නැහැ. නන්දා මාලනී මහත්මිය වගේම නදීක ගුරුගේත් මේ සිංදුව කියනව මම ආස නදීක ගුරුගේ ගේ කටහඬින් කියන මේ සිංදුවට. 

"අහස ගුගුරා ..අකුණු පුපුරා .. මගේ හිත වැන්දඹු උනා 
 වසාගන්දොර මගේ හිමියනි ..නුඹට රිසිනම් ..යන්ට යන්නෙමි

 මේ වචන ටිකට හිත ඇදිල ගියා කිව්වොත් හරි. පද රචනය කලේ  කවුරුද කියල හොයාගන්න බැරිඋනා. හිත අල්ලගන්න වචන එකතුවක්.

11. ලිෂා 

ගායනය - ෂෙහාන් කෞශල්‍ය 
පද රචනය - අරුණ කිත්සිරි 
සංගීතය  - ෂෙහාන් කෞශල්‍ය 




මේ සිංදුවේ සංගීතයට තමයි හිත ගියේ. වෙනස්ම විදිහේ සිංදුවක්. ඉස්සර අහම්බෙන් රූපවාහිනියේ අහන්න ලැබුන මේක අදටත් මම ආසම සිංදු එකතුවේ තියනව. 

12. මල කොතැන පිපුනම මොකද 

ගායනය  - දීපිකා ප්‍රියදර්ශනී 




දීපිකා  ප්‍රියදර්ශනි මහත්මියගෙ ආසම සිංදු කීපයකින් මෑත කාලෙදි වැඩිම වාරගණනක් ඇහුව සිංදුව මෙතන සඳහන් කරන්න හිතුන. මට කියන්න තියෙන්නේ මෙච්චරයි ... " නුඹ කොතැන හිටියම මොකද ... නුඹ ඉන්න බව මම දන්නවා  " ............ :D  ;) 

13. පමාවී පිපුන මල් සුවඳයි 

ගායනය - කසුන් කල්හාර ,උරේෂා රවිහාරි , ඉන්දිකා උපමාලි 




සිංදු  එකතුවට කසුන් කල්හාරගෙ සිංදුවක්  දැම්මේ නැත්නම් අඩුවක්. හේතුව දන්නේ නැහැ හැබැයි මොකක් හරි ප්‍රශ්නෙක ඉන්න කොට ඔක්කොම අමතක කරලා සාමාන්‍ය තත්වෙට ගන්න මේ සිංදුවට පුළුවන්. සමහර සිංදුවලට මමත් නොදන්න මටත් කියාගන්න බැරි මැජික් බලයක් ඇති  ;) :D 

14. සඳ පහන් රැයේ 

ගායනය - ඉන්දිකා උපමාලි 





කලින් සඳහන් කල සිංදුවේ ගායකයන් ගැන හොයද්දි  ඉන්දිකා උපමාලි මහත්මියගෙ මේ සිංදුව මතක් උනා. සිංදු  එකතුව ආයෙම වෙනස් උනා. පොඩි කාලේ අහපු සිංදුවක්. තාමත් ආසයි. ඉන්දිකා උපමාලි ගෙ කටහඬට මම ඒ කාලේ ඉඳන්ම ආස කලා  :)  හැබැයි කේමදාස මාස්ටර් නැතිඋනාට  පස්සෙ ඉන්දිකා උපමාලි  මහත්මියගෙ සිංදු අහන්න ලැබුන කියල නම් මට මතකයක් නැහැ.

15. සිනා පිපෙනා මේ වසන්තය 

ගායනය - සමිතා මුදුන්කොටුව  , ලක්ෂ්මන් විජේසේකර 




මේ සිංදුවේ මුල් ගායනය වගේම යූ බටේ අහන්න ලැබුන මේ සිංදුවටත් මම ආසයි 
.
.

 අන්තිම සිංදුවට මොකක්ද සඳහන් කරන්නෙ ...???

සිංදු  කිහිපයක් ඉතිරි උනා 
හිතල හිතල අන්තිමට මේ සිංදුව එකතු කළා 

16 . සඳ පිනිදියේ  

 ගායනය -රූකාන්ත  ගුණතිලක 



තව සිංදු කීපයක්ම ඉතිරි උනත් බොහොම කණගාටුවෙන් 16 නතර කරනව.  අභියෝගෙ මෙච්චර අමාරුවෙයි කියල කලින් හිතුනෙම නැහැ. කොහොම උනත්  පරණ සිංදු  ටික අවුස්සලා හිත පොඩ්ඩක් අලුත් කර ගන්න ලැබුන. ඒකට ඉයන් මාමට ස්තූතියි.  දිගටම සිංදු අහන්න  බැරිය විභාගය අතළඟ .. හරි දැන් බනින්නෙපා.... මම දිව්ව   :D 

Monday, July 25, 2016

විහඟුනේ නික්ම යනු ...


විහඟුනේ නික්ම යනු 
මේ කවුළු අද්දරින්  
වලා අතරින් සැඟව 
යනු දෑස් මානයෙන්  
ප්‍රේම ගී මුතු පබළු 
දමා  සැඩ  ගං මතින් 
මේ පාළු මකන්නට 
යලිදු මෙහි එනු සැනෙන් 

හදේ විල් දිය කැළඹි 
නැගී ආ දුක් රසෙන් 
ප්‍රේමයේ  රස අමා
වියැකිලා හදවතින් 
මා ගයන වියෝ ගී 
අමුණාල සීරුවෙන් 
විහඟුනේ  ගයනු මැන 
මේ සවන් අද්දරින් 

මේ ඉරත් සඳ තරුත් 
හිනැහෙනා මානයෙන්
ඔහු ගෙවන නව දිවිය 
නුඹ දකී මට හොරෙන් 
මා සොවින් නිදන විට 
ඔහු වෙතට නුඹ ගොසින් 
නුඹේ පෙම් ගී ගයනු
ඇයත් තුටු වන ලෙසින් 






Sunday, July 24, 2016

නුඹ බෝ දුරයි

නොපෙනී ඉරට 
අඳුරට මැදිව 
මුකුලිත කුසුම 

සුවඳද රැගෙන 
දුර බව දැනම 
සඳ දෙස බැලුව 

තරු රැස්  දහස් 
පෙම් කල සඳක් 
අහිමියි සිතුව 

නටුවෙන් ගිලී 
මිහිමව් බදා 
ඉකිබිඳ හැඬුව

සේපාලිකා 
මම වෙමි සඳේ 
නුඹ නොම දුටුව 


Friday, May 13, 2016

දම් පාට ටියුලිප්


ඒක ටිකක් අමාරු කාලයක්. වීදි පුරා ඇවිදල ඇවිදල  හෙම්බත්වෙලා මං ගොඩ උනේ ලඟම තියන තැබෑරුමට.ඒකත් මිනිස්සු වැඩිය ගැවසෙන්නේ නැති අඳුරු තැබෑරුමක්. හිසට උඩින් මාත් එක්ක දවස පුරා ඇවිද්ද ඉර නිසා දැන් තෙහෙට්ටුයි.උගුර කට වේලිල දිව ගිලෙන්න වගේ. ඔක්කොටමත් වඩා දනිස් පොල්කටු කෑගගහ තැනක් හොයන්නෙ කකුල් දෙකට නිදහසක් ඉල්ල ගන්න.සාක්කු හිස්වෙලා සිදුරු මතුවෙලා තියෙද්දිත් අමාරුවෙන් අහුල ගත්තු කාසි කීපයකින් මම වයින් වීදුරුවක් උගුරට හලාගත්ත.දැන් දවස් තුනක් තිස්සෙම මම රස්සාවක් හොයනව. ඒත් තාමත් හිතට හරියන රස්සාවක් නැහැ.මම වටපිට බැලුව.මිනිසුන් එකිනෙකා අකමැත්තෙන් මෙන් තැබෑරුමෙන් පිටව යනව.යාන්තම් අඳුර කපන  දුම් ගැහුණු විදුලි බුබුළු  එළියෙන් මට පෙනුනෙ වයස්ගත තැබෑරුම් හිමි කාන්තාව. ඇය කඩිමුඩියේ වැඩ කරන ගමන්  විටින් විට මා දිහා බලනවා.මම මහන්සියටම මේසෙ උඩ ඔලුව ගහගත්තා. 

කොලුවො නැගිටපන්.... මං උඹට කීවනෙ මේක කලින් වහනවා කියල.....නැගිටපන්.....

හ්ම්ම් ...

එකෙක් නෑ තැබෑරුමේ  උඹ විතරයි මෙතන වද දෙන්න ඉන්නෙ.හා .. දැන් පලයන් ...

සමාවෙන්න .. මම යන්නම්.  මම අමාරුවෙන් මේසෙට බර දීල නැගිට්ට 

මට කියන්න පුලුවනිද මේ හරියෙ රස්සාවක් හොයාගන්න පුළුවන් තැනක්. මේ  බාර් එකේ උනත් කමක් නැහැ. මම හොඳට වැඩ කරන්න පුළුවනි.

මා ළඟ උඹට දෙන්න රස්සා නැහැ ඉක්මන් කරපන් මට වැඩ තියනවා..ඇය නුරුස්සනා බැල්මක් හෙලමින් මා හට කීව. 

අනේ එහෙම කියන්නෙපා ... මම දවස් තුනක ඉඳන් මේ රස්සා හොයන්නෙ  මේ දවස් තුනේම හරියට කන්න වත් නැහැ. මෙහෙම ගියොත් මම හාමතේ මැරෙයි. මම ඕනෑම දෙයක් කරන්නම්.ඕනෑම රස්සාවක් ...

ඇය මදක් නිහඬ වුනා. ඒ තියුණු දෑස් නැඹුරු කරලා මා දිහා බැලුවෙ හරියට ගිල ගන්න වගේ.

උඹට පුලුවනිද ගෙවතු බලාගන්න.

හ්ම්ම් ... කලින් නම් කරලා නැහැ ඒත් පුළුවන් ...

එහෙනම් මේ වීදිය කෙලවරේම තියන ටියුලිප් ගෙදරට පලයන්. ඒකෙ  වැඩට උයන්පල්ලෙක්  හොයනවා කියල දවස් කීපයකට කලින් ආරංචි උනා. උඹට තියෙන්නේ අවුරුද්ද පුරාම ටියුලිප් මල් එක්ක ජිවත් වෙන්න.හැබැයි දෙය්යම්පා මම සහතික වෙනවා ඒ ගෙදර ගෑනිටනම්  පිස්සු.මොන විකාරයක්ද ගෙදරින් එලියට වත් බහින්නේ නැතිව වත්ත වටේ  ටියුලිප් මල් වවන් ගේ අස්සටම වෙලා ඉන්න ජීවිතය.ඒ ගෙදර වැඩට ඉන්න ගෑනි වයින් අරන් යන්න මෙහෙට එන්නේ නැත්නම් අපිත් දන්නේ නැහැ ඔය ගෙදර මිනිස්සු මැරිලා කුණුවෙලා ගියත්.උඹට ඕනනම් පලයන්.හැබැයි මම දන්න විදිහට වැඩට හිටිය උයන්පල්ලො  ගොඩ දෙනෙක්ම අස් කරලා තිබ්බ.හා හා දැන් ඇති තවත් ප්‍රශ්න අහන්න උත්තර දෙන්න මට වෙලාවක් නැහැ  දැන් පලයන් ...........

ටියුලිප්  ගෙදර ? ඒ මොන විකාර නමක්ද ... ඒ මදිවට එහෙ ඉන්නේ පිස්සු ගෑනියෙක්ලු  හ්ම්ම් ... යනවද නැත්නම් අදත් බඩගින්නේ කොහේ හරි මුල්ලකට වෙලා රෑ ගෙවනවද? අනේමන්ද .... තවදුරටත් හිතන එක පස්සට දාල මම ඇයටත් ස්තූතියි  කරලම තැබෑරුමෙන් එලියට පැන්න.ලන්ඩන් නගරෙ හැමෝටම පෙනෙන අහස මටත් ඒ විදිහටම අඳුරු වීගෙන තිබුන. කොල පිරිච්ච පාලු පාර දිගේ මම ටියුලිප් ගෙදරක් හොයාගෙන ගියා. හිතේ ඇතිවෙච්ච දහසක් ම්ශ්‍ර හැඟීම් පය පස්සට ගන්න වෙර දැරුවත් කුසගින්න ඇවිලිලා ඇවිත් හදවත දවද්දි  ගරාවැටුණු තාප්පයක්  ළඟ මම නැවතුනා. මලකඩ කාපු ගේට්ටුවට බර දීල මම ගේ දිහා බැලුව.

දෙවියනේ .... මේක සැබෑවක්ද ??  වත්ත පුරාම එක එක පාටින් ටියුලිප් මල්. ඇරත් මේ ටියුලිප් මල් පිපෙන කාලයක් නෙවේ  ....මොහොතකට මට ඇස්  අදහාගත නොහැකිවුනා.පාලුවට ගිය බංගලාවක් වටේට මේ තරම් සාරෙට වැඩිච්ච පාට පාට ටියුලිප්  මල් මාව වසඟයට ගත්ත කිව්වොත් හරි. මොහතකට කලින් තිබ්බ විකාර රූපී සිතිවිලි සියල්ල යටපත් උනා වගේ. මම වටේම තිබ්බ  මල් දිහා බලමින් බංගලාවට වැටිච්ච පටු පාර දිගේ ගමන් කළා. ඒක මහ මූසල ගුප්ත බංගලාවක්. මට මුලින්ම හිතුනේ එහෙම. ගේ ඇතුලට එන තැනම තිබ්බ ලී මේසයක් උඩ  වීදුරු මල් පෝච්චියක් තිබුන. ඒකෙ තිබ්බේ එකම එක සුදුපාට ටියුලිප් මලක්. ගෙදර බිත්ති කතා කලේ අවුරුදු ගානකින් තමන් අලුත් සළු නොඇන්ද ගානට. මම සීනුව නාද කරන්නත් කලින්ම විදුරු ජනේලෙට එබිලා ඇතුල බැලුව. සාලේ මැද තියන ගිනි උදුනක් ගාව පැද්දෙන පුටුවක කාන්තාවක්. ඇය හිටියෙ පොතක් බලමින්. ගේ ඇතුලෙ පෙනෙන්න තිබ්බෙ හරිම නිස්කලංක බවක්. රතුපාටින් පොලව වසාගෙන තිබ්බ බුමුතුරුණත්,  වටේ බිත්ති වල තැනින් තැන එල්ලල  තිබ්බ තෙල් සායම් චිත්‍රත්, ලී අල්මාරියකුත් ඒ උඩ ලස්සනට තියල තිබ්බ  විවිධ විසිතුරු භාණ්ඩ කිහිපයක්  ඇරෙන්න මුළු සාලයම වෙලාගෙන තිබ්බේ පාළු හිස් බවක්. මම දෙවරක් ම වීදුරු දොරට තට්ටු කරලා චකිතයකින්  ටිකක් පස්සට උනා. ඇය සැනෙකින් මා සිට ගෙන සිටින දොර දිහා බලනවා මං දැක්ක. විගසින් පොත පැත්තකට දැමු ඇය පුටුවෙන් පැන විත් දොර ඇරිය. හරියට ඇය මා එනකන් බලා සිටියා වගේ. ඒත් දොර හැර ඇය මා දකිනවාත් සමග ඇගේ මුහුණේ තිබූ ප්‍රීතිමත් බව පරවෙච්ච මලක්  වගේ ඇකිලිල ගියා.

උඹ කවුද ??? මොකද මෙහෙ  ??... ඇය හිටියෙ බලාපොරොත්තු කඩවීම නිසා ඇතිවුන නොරුස්සනා ගතියෙන්.

මං  ඉතාමත් සංසුන්ව ඇයට මා පැමිණි කාරණය පැහැදිලි කලා. මං මේ කතා කරන්නෙ සිහිවිකල් කාන්තාවක් එක්කදෝ යන සැකය බංගලාවට පැමිණෙන මොහොතේ තිබ්බත් ඒ සිතිවිල්ල  සම්පුර්ණයෙන් වැරදි බව ඇයත් සමග කතාවෙන්ම තහවුරු වුනා. ඇය තරුණ විය ඉක්මවූ කාන්තාවක්. හිසකෙස් බොහෝ සුදුපැහැ වී තිබුනත් මුහුණේ තිබූ පිරිපුන් බව ඇය වැඩි වයසක් නොවන බව තහවුරු කලා. උල්වූ නිකටත් කාන්තිමත් දෑසත්  ඇගේ තරුණ වියේ තිබූ සුරූපි බවේ සලකුණු ඉතිරි කරල තිබුන. ඇය හිතුව තරම් නපුරු කාන්තාවක් උනේ නැහැ. කලයුතු සියලු වැඩ මුල සිට අගටම පැහැදිලි කල ඇය මට නවාතැන් ගන්න වත්ත කෙලවරේ තිබ්බ ගබඩා කාමරය දුන්න. මට තිබ්බ රාජකාරිය උනේ උදේ හවස මුළු වත්ත වටේම තියන පැල වලට සීරුවෙන් වතුර දාන්න,පාත්ති සුද්ධ පවිත්‍ර කරන්න.මල් පොහොර දාන්න වගේ රාජකාරි ටිකක්. ඇගේ කොන්දේසිය උනේ මාස හයක්  ඇතුලත වත්ත වටේ මැරිලා මැලවිලා තියන මල් ගස් ඔක්කොම ආයෙම පෙර තිබුන වගේ මල් පිපෙන්න සලස්වන්න. විශේෂයෙන්ම වත්ත කොනේ මේපල් ගහ යට තියන දම් පාට ටියුලිප් මල්. ඒ පාත්තියෙ පැල බොහොමයක් ඒ වන විටත් රෝගයකට ලක්වෙලා මැලවිලා තිබ්බෙ. ඇය ගාව තිබ්බ විශේෂ මල් පොහොර වර්ගෙ අඩු වැඩි නැතිව නියමිත මාත්‍රාවට දාන හැටි කියා දුන්නෙ ඇය. මං හිතන්නෙ වසර පුරාම මල් වැවෙන රහසත් මේ පොහොර සහ සාත්තුව වෙන්න ඕන.

ඒක හිතෙන තරම් ලෙහෙසි පහසු වැඩක් නෙවේ මම කියන්නෙ ලෙඩ වෙච්ච ගස් එකින් එක වෙන් කරලා කොලෙන් කොලේ බලල හරි සීරුවට මල් පැල බලාගන්න එක. වටේම තියන ගස් කොලන් වල කොළ ඔක්කොම පාත්ති වලට වැටෙන එකත් මහ වදයක්. ඔක්කොටම වඩා අමාරු මේ දම්පාට ටියුලිප් මල් පාත්තිය බලාගන්න එක. ඒකෙ පැලයක් දළු දාන්නෙ හරිම අමාරුවෙන්. පහුගිය සති ටිකේම  මං කලේ අලුතින් පස් දාල පොහොර දාල අලුත් ටියුලිප් පාත්තියකට පස සකස් කරපු එක.  

කියන්න බැරිඋනා නෝනගෙ  නම එමීලියා. ගෙදර හිටිය වැඩකාර කෙල්ලගෙ නම මැටිල්ඩ. ඒකි නම් මහ උද්දච්ච කෙල්ලක්. මං ඒ නිසාම කතා කලේ හරි අඩුවෙන්. ඉරිදා දවසට මම තැබෑරුමට යන්න එලියට බැස්සත් එමීලියා නෝනා කවදාවත් ගෙදරින් පිට යන්නේ නැහැ. අඩුම තරමෙ පල්ලියෙ යාඥා වලට වත් ඇය යන්නේ නැහැ.ඇය හැමදාම කලේ  ගේ  ඇතුලට වෙලා පොතක් කියවපු එක නැත්නම් මැහුමක් ගොතපු එක. අහ්හ්  ඇය අනිවාර්යෙන්ම කරපු තව  දෙයක් තිබුන. ඒ උදේටයි හවසටයි ටියුලිප් මල් පාත්ති දිගේ ඇවිදින එක. අනේමන්ද ඇය වැඩිවෙලාවක් ගත කරන්නෙම  දම් පාට ටියුලිප් මල් පාත්තිය ගාව සමහර වෙලාවට මල් අල්ලාගෙන ඇය තමාටම මොනවදෝ මුමුණනව. මල් පාත්ති වටේම අවිද්දට පස්සෙ ඇය කරන්නෙ ලස්සන ටියුලිප් මලක් කඩාගෙන අර ගේ ඉස්සරහ විදුරු මල් බඳුනට දමන එක. ඇය ඒ දිහා ගොඩක් වෙලා බලල සිනාසෙනවා.කලාතුරකින් දවසක කඳුළු සලනවත් මම දැකල තියනව. ඇය හැමදාම එකම පාට මලකුත් නෙවේ  තිබ්බේ. මම හොයල බලපු විදිහට  සතියේ දවස අනුව තියන මලේ පාට වෙනස්  ඒ කියන්නෙ සඳුදට  සුදු පාට ටියුලිප් මලක්  අඟහරුවාදාට කහ, බදාදට රෝස , බ්‍රහස්පතින්දට නිල්  මේ විදිහට සතියේ දවස් හතේම ඒ ඒ සතියට ඒ ඒ පාට මලක් ගේ ඉස්සරහ තියන්න ඇය අමතක කලේ නැහැ. ඒ දේ දිහා හැමදාම මමත් බලන් හිටියේ ආසාවෙන්.ඒ ඇගේ මුණුනෙ කලාතුරකින් දකින්න ලැබෙන හිනාව දැකගන්න ලැබෙන්නේ  ඒ මොහොතේ නිසා. හැබැයි මොන හේතුවක් නිසාද මන්ද  කවමදාවත්ම දම් පාට මලක් ඒ මල් පෝච්චියට දමනවා මම දැකල තිබුනේ නැහැ .

හරි ප්‍රවේශමෙන් කරපු සාත්තුවත් එක්ක මාස හයක් යන්න කලින්ම අලුත් පත්තියේ දම්පාට මල් පොහොට්ටු  බුබුළු වගේ පැන නැගිලා ආව. හෙමි හෙමින් වැඩෙන මල් දිහා එමීලියා නෝන බලන් හිටියෙ පුදුම නොඉවසිලිමත්කමකින්.ඇය වගේම මමත්. මම හිතුව මේ පාරනම් දම් පාටමලක් අර මල් පෝච්චියට අනිවාර්යෙන් වැටෙයි කියලමයි.ඒත් දවසින් දවස ගෙවුනත් ඇය මල් දැකල සතුටු උන මිසක් එක මලක් වත් කඩාගන්න උනන්නදු  උනේ නැහැ. මට ඒ ගැන නම් ටිකක් විතර තරහ ගියා කිව්වොත් හරි.ඇය හොඳටම දන්නව මේ මල් හරි ප්‍රවේශමෙන් සාත්තු කරලා හදපු මල් බව. කිසි පලුද්දක් ඇකිලීමක් නැතිව පිරිපුන්ව හැදිච්ච මල් බව ඉතිං  ඇය වෙනුවෙන්ම මහන්සි වෙලා හදපු මල් පාත්තියට,සරුවට වැඩුණු දම් පාට ටියුලිප් වලට ඇයට අකමැති වෙන්න කිසිම හේතුවක් නැහැ. කොහොම නමුත් හිතට ආපු අදහසකුත් එක්ක මම පහුවදා උදේම ක්‍රියාත්මක උනා. 

පහුවදා උදේම එමීලියා නෝනා ගෙදර දොර අරිද්දිම  දැක්කෙ, ලස්සන රිබන් පටියකින් ගැටගහපු දම් පාට ටියුලිප් මල් පොකුරක්. ඇය  එකපාරටම වික්ෂිප්තයෙන් කෑ ගැසුව.

ජැක් ... ජැක් .... මැටිල්ඩ .... කවුද මේ දම් පාට මල් පොකුරක් මෙතන තිබ්බෙ?  ඇය ඉන්පසු වේගයෙන් දිවගියේ දම්පාට මල් පාත්ති ගාවට එහි එක පැලයක් නෑර විපරම්  කරමින් නටුවෙන් කපන ලද මල් ඇත්දැයි බලා කිසිදු එවන් සලකුණක් නොලැබුණු තැන ඇය යලිත් දම්පාට මල් පොකුර තිබූ තැනට දිව ගියා.මල් පොකුර යලිත් එහෙ මෙහෙ හරවල  ඇය  අපි දිහා බැලුව.

ජැක් ඇත්ත කියපන් ... උඹ දැක්කද කවුරු හරි ඇවිත් මේක තියනවා ...

නැහැ නෝනා ...
   
මැටිල්ඩ  උඹ ??

නැහැ සත්තයි .. මම මේ මල් පොකුර දැක්කෙත්  දැන්මයි ....

ඉන්පසු ඇය මල් පොකුර තම පපුවට ලංකර යලිත් එය ගෙන එහි  මල් එකක් නෑර සිඹින්නට උනා. ඉන්පසුව වියරුවෙන් මෙන් නටන්නට උනා.මැටිල්ඩත් මමත් වික්ෂිප්ත දෑසින් ඇය ගේ මේ අමුතු හැසිරීම දෙස බලන් හිටිය.

 මැටිල්ඩ  කෙල්ලේ මේ අහපන් අද මම කියන කෑම හදන්න ඕන ... හොඳට රහට තේරුනාද ?  අර මගේ සුදු සේද ගවුම  අන්න ඒක හොඳට මැදල තියන්න ඕන තේරුනාද ? 

 ජැක්... උඹ ගිහින් හොඳවයින් කළුකුම් මස් රාත්තලකුයි  වයින් බෝතල් දෙකකුයි ගෙනෙන් ...මේ දැන්ම.. .එසේ කියූ ඇය මල් පොකුරත් පපුවට තුරුළු කරගනිමින් තාලයට ගීයක් මුමුනමින් නිවසට ගියා. 

වයින් බෝතලුත් මස් රාත්තලුත් රැගෙන් යලි නිවසට පැමිණෙන විට එමීලියා නෝන හිටියෙ සුදු සේද ගවුම ඇඳන්.බැලූ බැල්මට එය විවාහ මංගල උත්සවයේදී ඇඳපු ඇඳුමක් වගේ.ඇගේ මුණුනෙ සතුට උතුරමින් පැවතිය කිවොත් හරි.  ඇය එතරම් ප්‍රීතිමත්ව සිටිබවක් අන් කිසිම දිනයක මම දැකල තිබ්බේ නැහැ. විටින් විට ඇය ගේට්ටුව දිහා බලමින් අලුත ගෙනා වයින් තොල ගාමින් පෙම් ගීයක් මුමුණමින් හිටිය.මම වෙනද වගේම සාමාන්‍ය විදිහට පාත්ති සුද්ද කරලා වතුර දාල හවස් වරුවෙ තැබෑරුම පැත්තෙ ගියා. රෑ නිවසට එනකොටත් ඇය සිටියෙ සේද ඇඳුමින් ,නොයිවසිල්ලෙන් සාලෙ පුරා  එහෙම මෙහෙ සක්මන් කරමින්. 

නහය කපාගෙන ගිය  සැර කළුකුම් මස් හොද්දෙ  සුවඳත් විඳගෙනම මම ගබඩාකාමරයට ගිහින් හාන්සි උනා.

රෑ දෙගොඩ යාමෙ දොරට තඩිබාන ශබ්දයක් ඇහුන.

ජැක් ජැක් මම මැටිල්ඩ  .. නැගිටින්න  නැගිටින්න .. විගහට එන්න 

ඇයි  ඇයි  .... මොකද මේ මහ රෑ .........

එමීලියා නෝන උමතුවෙන් වගේ කියවනවා  මට බයයි පොඩ්ඩක් ඇවිත් බලන්න.

මම විගසින් ඇය පසුපස එමීලියා නොනගෙ කාමරයට ගියා.ඒ මම ඇයගේ කාමරයට පැමිණි පලවෙනි වතාව කාමරයට ඇතුළු වන තැනම බිත්තියේ  හමුදා නිලදාරී ඇඳුමකින් සැරසුණු කඩවසම් පිරිමියකුගේ  පින්තූරයක් එහි එල්ලා තිබුනා. මම ඇය අසලට යන විටත් ඇය උමතුවෙන් කියවමින් සිටිය.

ඇය මා දකින විටම ඇය දෑත් දිගුකර මෙසේ පැවසුවා 

ඇලන්  ඔයා ආවද ... මම දැනගෙන හිටිය ඔයා කවද හරි එනවා කියල. අර ඔයා ආසම දම්පාට ටියුලිප් මල් දැක්ක ගමන් මම දැනගත්ත ඔයා ඇවිත් කියල..... මාව බලන්න අන්තිමේ ඔයා ආව ....... ඇලන් .......

මම තවදුරටත් එහි නොසිට  විගසින්  කාමරයෙන් පිටවුනා. 

එමීලියා නෝන උදේ ඉඳලම වයින් බීව. ඔය මත්වෙලා විකාර කියවනවා.  හෙට වෙද්දී අඩුවෙයි එයාට නිදන්න හරින්න. 

එසේ කියූ මම  යලිත්  රැඳී නොසිට ගබඩා කාමරයට පිටවුනා. 

පහුවදා අළුයමම සියල්ලටම කලින්  නැගිට්ට මම  ගබඩා කාමරේ පිටිපස්සේ ඉබේ වැවිල තිබ්බ දම්පාට ටියුලිප් මල් පැල ඔක්කොම ගලවල තාප්පෙන් එහාට විසික්කරලා දැම්ම .............






ප.ලි. : ටිකක් වෙනස් විදිහට ලියන්න  හදපු කතාවක්. හිතට දැනුන දේ අඩුපාඩු හොඳ නරක සියල්ලම පහලින් කොටලා යන්න  :) 


Thursday, May 5, 2016

අතීත මතක : අය්යගෙ කතා ;)



මම : අය්යේ .. අය්යේ ...
අය්ය : ඕ ...
මම : අය්යේ ..මට කතාවක් ලියන්න මාතෘකාවක් කියන්නකො.
අය්ය : "අය්ය " :D 
මම : අය්ය ? එහෙනම් ලියන්න වෙන්නෙ කරපු මගෝඩි වැඩ තමා.
අය්ය : ඕ .. ^_^
මම : එහෙම නෙවේ .. මට සුරංගනා කතාවක් ලියන්න එකක් කියන්නකෝ 
අය්ය : "සුරංග අය්ය “ :D

මේ සති දෙහෙකට විතර කලින් අපේ අය්යගෙන් කතාවක් ලියන්න අහද්දි කීව දෙයක්. මං හිතන්නෙ මගේ බ්ලොගේ  ගැන දැනගත්තට පස්සෙ එයා ගැන ලියවගන්න ඕන වෙලා ඇති. ලියන්නම්කො ....හැක් 

දන්නවද වැඩක්. මං ඉපදෙන්න කලියෙන් අපේ අම්ම මට කලින්ම සුරංගනා ලොවෙන් තෑග්ගක් ගෙනාවලු. ඒ තමා සුරංග අය්ය. මං වගේ කැත කෙල්ලෙක් නෙවේ එයා හරි කඩවසම් කොල්ලෙක්. ඒ නිසාමයි මං හිතන්නෙ එයා සුරංගනා ලෝකෙන් ආපු ලස්සන කොල්ලෙක් කියල. (මේ ටික කියවද්දී නම් එයා කොලර් එක උස්සයි ඒවා කොහෙද , දැන් එයා නිකන් කලයක් වගේ බඩක් තියන මුදලාලි මහත්තයෙක් වගේ ..එකට නංගි  ෂා ..^_^  .... ) හැබැයි එහෙම හිතෙන්නෙ වෙලාවකට විතරයි පොඩි කාලේ නම් මට හිතුනෙම මේ නම් සුරංගනා ලෝකෙන් පන්න ගත්ත  වසවර්තියෙක් කියල. අද මේ දොඩන්නේ ඒ වසවර්ති කඩවසම් කොලුවා ගැන.ටිකක් පරක්කු වෙලා තමා මේ කොල්ල ගැන ලියන්නෙ. ඒත් ඉතින් ලියන්න එපැයි කවද හරි.ඒ නිසා ඔන්න අද මම ලියන්නෙ මගේ අය්ය ගැන  :)

අපෙ අම්මට මුලින්ම බබෙක් හම්බවෙන්න ඉන්නකොට දොස්තර මාම කිව්වලු  හම්බෙන්නෙ  නිවුන්නු කියල. ඒ කාලේ අපේ අම්මට ගොඩක් අමාරු උනාලු. වැඩියෙන්ම සස්ටජන් එහෙමත් බිව්වලු.කොහොම කොහොම හරි අම්මට මුලින්ම හම්බෙල තියෙන්නෙ සුදු කොලු පැටියෙක්.පස්සෙ කාලෙක අපේ අය්ය මට කියපි මං ඔයාව ඒ කාලෙ දැක්කනෙ. මං පයින් එකක් දීල ඔයාව තල්ලු කරලා ටටා කියල එලියට පැන්න.මාත් ඒ කාලේ ඇස් ලොකු කරගෙන ඒවා අහන් හිටියලු. 

අපේ අම්ම නම් කියන්නෙ මං අය්ය වගේ නෙවේලු කවදාවත් වද දුන්නේ නෑලු.ඒකට අපේ අය්ය.පොඩි කාලෙ තාත්ත වෙල දිගේ මැරතන් එකක් දුවවල තමා අය්යව අල්ලගන්නෙ ඊට පස්සෙ ඉතින් ගුටි පූජාවක්. ඉස්සර  අය්ය ගෙදර හිටිය ආයා ට ඉන්න දෙන්නෙම නෑලු කොයි වෙලෙත් මකර වගේ අඬනවලු .දවසක් අපේ අම්ම ගෙදර එද්දි අය්ය කිසි සද්දයක් නෑලු බලද්දි ආයා මුට්ටියක යකෙක් ඇඳල ඔන්න මුට්ටි යකා එනවා කියල බය කරලලු. අය්යගෙ දැඟලිල්ල නවත්තල තියෙන්නේ එහෙම.

මට මතකයි චූටි කාලෙ අපේ අය්ය හරි වසයි.ඒ කාලේ එයා කැමති නෑලු මං ඉන්නවට.  පොඩි කාලෙ අය්යයි මායි ඉන්න ෆොටෝ එහෙම බලන්න ඕන.මං හෙන අහිංසක විදිහට හිනා වෙලා ඉඳිද්දී ඔරන්ඔටෙක් වගේ ඔරෝගත්තු මූණක් දික්කරගෙන එයා ඉන්නවා.
ෂා ....අපේ අය්යගෙ මූණ .... :D 

අපි සෙල්ලං කලේ මෙහෙමලු 

පොඩි කාලේ එයා තමා ලොක්ක. මට මතකයි ඒ කාලේ අපිට හිටිය පොඩි බලු පැටව් වගයක්. අය්ය තමා ඉතිං අණදෙන්නේ.අරූව ගන්න ..හා දැන් ඌව නාවන්න. අන්න කක්ක කරා.. හා  හා ඉක්මනට අරන් දාන්න. අනේ ඉතින් මේ දැරිවි පොඩි එකානෙ ඔය ඔක්කොම කළාලු ඉතිං :/.... අන්තිමට බලුපැටියව නාවල හොඳට පිහදාල ගත්තම එතනින් පස්සේ බලුපැටිය අයිති එයාට. මං ගැන වගේ වගක් නෑ. :( ඒ විතරක් යැ ඔය මොනවා හරි වැඩක් කරගන්න කියල අය්ය ගාවට ගියාම "හා .. මගෙ සෙරෙප්පු දෙක ගෙනල්ල දෙනවා.මේ සපත්තු දෙක ගලවනවා ..." ඔක්කොම මෙහෙකාර වැඩ කරන්න ඕන.  නංගි කියල බලන්නේ නෑ ටිපි ටිප් එකක් ගත්තම බාගෙට බාගයක් එයාගේ බඩේ. අපේ අම්ම ලඟකදී කීව ඔය බීම බෝතලයක් එහෙම අරන් දීල නංගිට බාගයක් ඉතිරි කරන්න කීවම බෝතලේ හරියටම බාගයකින්  අත තියාගෙන බොනවලු අයෙ වැඩියෙන් නම් ඉතිරි වෙන්නෑලු  බාගෙටත් වඩා අඩුවෙනවා මිසක්  :D 

 ඉස්සර අපිට තිබ්බ වැඩ රාජකාරි වලින් එකක් තමයි මාළු ටැංකි හදන එක. වෙලට ගිහින් ගප්පි  අල්ලන් ජෑම් බෝතල් වලට දාගෙන එන එක තව වෙලේ කොනටම යනකොට හම්බෙන ඇලට බැහැල තඩි හයිඩ්රිල්ල උස්සගෙන එන එක. ඒ කාලෙ මායි අය්යයි බූල යි (බව්ව) තුන්දෙනාම යනව හයිඩ්රිල්ල අරන් එන්න. දවසක් මරු වැඩක් උනා. මාත්  මල් මල් ගවුමක් ඇඳන් නැට්ට වගේ අය්යගෙ පිටිපස්සෙන් ගියා. ඉස්සරහින්ම බූල යනවා ඇල ගාවටම ගියාම බූල ඉව අල්ල අල්ල වටේ කැරකෙනවා. අපේ අය්ය පයින් පාරක් ගහල ඌව ඇලට විසික් කලානෙ(පුදුම වෙන්ටෙපා මං කීවනෙ එයා කලේමවසවර්ති වැඩ ...). මාත් එක පාරටම බක බකා ගාල හිනා උනා හිනාව නවත්ත ගන්න ලැබුනේ නෑ ඊළඟට මාවත් අහස් කූරක් වගේ  විසික් වෙලා ගිහිං ඇලට වැටුන.වැටුන නෙවේ අර වසවර්තිය තල්ලු කලා. -___- එදා මුළු ඇඟේම හයිඩ්රිල්ලයි  මඩයි  නාගෙන මං ගෙදර ගියා. එදා ගෙදර ගිය හැටියට මං තමා මාළු ටැංකියට බැහැල හයිඩ්රිල්ල ගහක් වගේ ඉන්න ඕන. :( 

ඔය  විතරක් යැ කරවනැල්ලේ අපේ පුංචිලා ගෙදර ගේ ලඟින්මයි කැළණි ගඟ ගලන්නෙ. අපිත් එහෙ ගිය ගමන්ම  කරන්නෙ කැළණි ගඟේ නාන්න යන එක. දවසක් මම හොඳට වතුර තල තල විසික් කර කර නනා ඉඳිද්දි අය්ය ඇවිත් කියපි ඔට්ටුයි තමුසෙට බෑ දහයට වෙනකන් මම ගණන් කරනකන් වතුරේ ඉන්න කියල. ඔයාලට කියන්න ඒකාලෙත් මට පීනන්න බෑ. ඉතිං දෙය්යනේ කොහෙද වතුර යටට යන්නෙ... ගියත් කරන්නෙ අතින් නහය තදකරල පහලට එබිලා ඔලුව තෙමන් ආයෙ වතුරෙන් උඩට පැනල හොඳ හුස්මක් ගන්න එක. ඉතිං මං ගත්  කටටම කිව අපෝ  බෑ කියල. ඒත් අය්ය කියනව  නෑ .. නෑ .. මම ළඟ ඉන්නවා ඔයා වතුර යටට ගිහින් දහයට ගණන් කරලා උඩට එනව කියල.  මගේ කුරුළු මොලේ ඒ වෙද්දිත් වතුරට පෙඟිල තිබ්බේ  ඉතිං  මාත් ලොකු හුස්මක් අරන් නැති වීර කමකුත්  ආරුඩ කරගෙන වතුර යටට ගියා.අය්ය මගෙ ඔලුව අල්ලා ගෙන වතුර උඩ ඉඳන් ගණන් කරනව මම වතුර යට ඉඳන් අතෙන් නහය වහගෙන ගණන් කරනවා  හතයි .. අටයි .. නවයායි .. දහයායි .....දහයායි  කියල උඩට එන්න බෑ ඔලුව හිරවෙලා .....මේක මගේ ඔලුව තදකරගෙන මම දඟලනවා දඟලනවා හුස්ම ගන්න බැරිව අන්තිමට වතුර ගසල ගසල උඩට පැනල මරණ බියෙන් හුස්ම ගද්දි අය්ය කියපි ..හැක් .. මම විස්සට ගණන් කළානෙ .. ඇත්තටම ඒ වෙලේ ලඟපාත තඩි ගලක් වත් තිබ්බේ නැහැ ඒ කිව දේට.හරියන්න හොඳවයින් නෙලන්න. ගලක් .. දෙය්යනේ ගලක් කිවමයි මතක් වෙන්නේ මගේ දකුණු අතේ මැණික් කටුව ගාව  තාමත් මේ වසවර්තිය ගහපු ගල් පාරක සලකුණක්  තියනව.

මේවා අහන්නත් දෙයක්ද නේ .. අර මගේ දත් කතාවේ ඉස්සරහ දතට වැඩේ දුන්න  අය්යන්ඩි. -_-  මෙහෙම නොවෙනවානම් නේ පුදුම. අර මම හැමතැනම ලියල තියන කොට්ට පොර කතා තියෙන්නෙ ඉස්සර අය්යගෙ ප්රියතම විනෝදාන්ශේ ඒක.  උදේට ඇහැරවන්න යද්දී මාව ඇහැරවන දරුණුම විදිහ තමයි කොට්ටෙ මගේ ඔලුව උඩින් තියල මූ ඉඳගන්න එක. ඉතිං අර අහස කඩන් වැටුන කියල දුවන හාවා වගේ මාත් ගැස්සිලා ඇහැරෙනවා.හිතන්නකො උදේ පාන්දරම කොට්ට ප්රහාරයකින් ඇහැරෙන් අහිංසක ළදරියක් ගැන. පව්  නේ මං ..හා නැද්ද ? හැබැයි ඉතිං ඔය අය්ය ගහන ගැහිලි වලට නංගීත් ඉතින් නිකන් හිටියේ නෑලු .ගැහුවා ගැහුවා අම්බානෙක .රණ්ඩු උනා ඇස් වලින් කඳුළු පනිනකන්ම. හැබැයි මොනවා කලත් අන්තිමට බැනුම් අහන්නෙ මම. අඩුම තරමේ අය්ය මට ගැහුවත් අම්ම බනින්නේ මටනෙ :( 


                                                         නංගිට තරහ ගිය අවස්ථාවක ගත්ත පින්තුරයක් .....  :P  


ඊළඟ කතාව නම් කියන්න ලැජ්ජයි .. හැබැයි මේක කීව කියල  මාව බයිට් කරන්නේ නෑ හොඳේ .ඉස්සර ඉංගිරිසි පන්ති ගියේ අය්යයි මායි එකට ලු. හවස පන්ති ඉවර වෙලා අපි දෙන්නම එකට එනවා. දවසක් මේ දැරිවිට හදිසි අවශ්ය තාවයක් ඇවිත් (පොඩි අවශ්යතාවයක් ) .. අය්යේ .. අය්යේ ..අනේ අමාරුයි ..අපි දුවමුකො .. ඉතිං ඔන්න දෙන්නම් දුවල එනවලු ... දුවල දුවල මුලින්ම හම්බෙන ආච්චි අම්මලගේ ගෙදර යන්න හම්බුනේ නෑ. ලයිට් කනුව පහුවෙනකොටම අය්ය මගෙ අත තදින් අල්ල ගත්ත. අනේ .. අතාරින්න කෝ ..අනේ අමාරුයි .. යයි අනේ ...ඒත් අපේ අය්ය නෙමේ කනකට වත් ගත්තෙ ඉහි ඉහි එදා අන්තිමට කලිසම තෙමාගන්න කන්ම අපේ අය්ය මාව අල්ලාගෙන හිටිය :'( අන්තිමට මං අඬ අඬා ගෙදර යද්දි මේ වසවර්තිය හිනාවෙනවා. :( එච්චර විතරක් යැ. මූ ගෙදර ගිහින් කියපි නංගිට පාරේ චූ ගිහිං ඔය අඬ අඬා එන්නෙ කියාල ..එදා කිසිකෙනෙක් මගේ දුක ඇහුවේ නැහැ.වසවර්තිය කීව දේට හිනා උනා මිසක් :(  

තව එකක් ඉස්සර ඔය නත්තල් කාලෙට අපි හැමෝම හිතන් ඉන්නවනෙ නත්තල් සීය එනවා කියල අර මේස් කකුලක් එල්ලුවම තෑගී දාල යන්නෙ. දවසක් මාත් ඔහොම අය්ය එක්ක  මේස් කකුලක් ගේ ඉස්සරහ  මාළු ටැංකියෙ එල්ලලා නිදාගන්න ගියාලු.පහුවෙනිදා හරි බැරි ගැහිලා එතනට යද්දි අය්ය හොර ගල් අහුලා අහුලා ඉන්නවා 

මොකෝ .. මම ඇහුව 
නෑ .. මොකුත් නෑ 
නත්තල් සීය තෑගී දාලද ?
ම්ම්ම් ... ගිහින් බලන්න 

මමත් අත්පුඩි ගහල දුවල දුවල ගිහින් මේස් කකුල ඇල්ලුවා ..හී ..මොකක්දෝ අහුවෙනව...
හරි සතුටින්  අත දාල එලියට ගත්ත ... ඊට පස්සෙ හය්යෙන් හිනාවෙන අර අය්යන්ඩියට රැව්ව 

න්නවද මේස් කකුල ඇතුලෙ තිබ්බෙ ...........    ගලක්  -_-


වම් පැත්තෙ ඉන්නෙ කරවනැල්ලේ ඉන්න අය්ය දකුණු පැත්තෙ අපේ අය්ය මං හිතන්නෙ ඔය අත් උස්සන් ඉන්නෙ ඒ වෙලේ උච්ච ස්වරයෙන්  ගීයක් ගායනා කළා වෙන්න ඕන .. :P 


මේ චූටි කාලේ රසවත් මතක.ඒව එකින්  එක මතක මල්ලෙන් එලියට දාල ලීවෙ.ලියද්දි ලියද්දි තව මතක් වෙනවා එහෙම උනොත් ලිපිය දිග වැඩිවෙයි.කොහොමත් මේ වගේ කාලයක් තිබ්බේ චූටි කාලේ විතරයි ලොකු ලොකු වෙද්දී අපේ අය්යත් 'හ්ම් ..හ්ම්ම් .. "කියන වැඩිය දඟලන්නෙ නැති බසු ටයිප් උනා. මේ පුංචිම කාලෙයි  තව අය්ය ටිකක් ලොකු කාලෙයි දැන් කාලෙයි කියල වෙන් කරලා කියන්න පුළුවන් විදිහට වෙනස් විදිහේ මතක තියෙන්නෙ.එකා යකා උනත් ඉන්නෙ එකයි නෙ :D මම ලොකු උනාම කියවන්න හරි කියල මේ මතක  මෙතන ලියල දැම්ම.කවද හරි වයසට ගියාම අපිටත් මේ වගේ පිස්සු කාලයක් තිබ්බ කියල සතුටු වෙන්න පුලුවන්නෙ... ඉවර නැහැ තව නම් ලියන්න දේවල් එමටයි ..ඒවා පසුවට .. කම්මැලි කම කියන ලෙඩේ හැදුනේ නැතිනම් ඒවත් ලියල දාන්නම්කො  ;)  අමාරුවෙන් හරි කියවල දැම්මට ස්තූතියි :P ඔය අය්යල නංගිලා මල්ලිලා ඉන්න අයට දැන් තම තමන්ගෙ චූටි කාලෙ එහෙම මතක් වෙනව ඇති නේද :)



   අපි චූටි කාලේ කැළණි පන්සල ගාව ගත්ත ෆොටෝවක් ... ලොකු උනාට පස්සෙත් එතනම ඉඳල ෆොටෝවක් ගත්ත ..... :)





ප.ලි : නංගි ඉල්ලගෙන කෑමේ සිද්දියක් මත අය්ය දැන්  නංගි ගෙ බ්ලොගේ දෙපාරක් තුන්පාරක් විතර කියෙව්වලු.ඒත් මං හිතන්නේ දැන් නම් එයාට මගේ බ්ලොගේ අමතකයි (ෂුවර් නැහැ .. මං දිහා බලල පල් හිනාවක් එහෙම දැම්මොත් පොඩ්ඩක් අනුමාන කරන්න පුළුවන් මෑන් බ්ලොගේ කියවල තමයි කියල .. ) මේවා ලියන්නේ ජිවිත අවදානම තියල ඕ යැස් ...සෝ ..සියලු දෙවි දේවතාවුන් මේ අහිංසක දැරිවි ව  රැකදේවා .....









Sunday, April 24, 2016

යමු


යමු මාවතක ...බොරළු පිරි 
සියුම් පා රිද්දන 
ගල් තැලුම් ඇතිවන 

යමු මාවතක ...තවත් දුර 
දෙපා අඩි රත්වෙන 
දාහයෙන් බැට කන 

යමු මාවතක .....නොසැලීම 
කටු කොහොල් මග දිග 
පැන ඇවිත් හූරන 

යමු මාවතක ....කෙලවරට 
ගිමන් හල දිස්වන 
බොහෝ ජන රැස්වෙන 

කියමු ආගිය කතා රස 
විඩාබර දුරුකොට 
පිපාසය සංසිඳ 

යමු මාවතක ....යලිත් 
දුක් සතුට සම සම 
එකා මෙන්  පොදිබැඳ 

.
.

යමු ....
ජිවිතේ ගමන් මග 
ඔබ මාද  අන් අයද 
එකට අත්වැල් බැඳ 



Sunday, April 10, 2016

අද විශේෂ දවසක් ^_^


ඩෝං ..පටෝං .. ඩෝං ...

මිත්‍රවරුනි ,සහෝදර සහෝදරියනි ,මචංලා, මචීලා ... තව ... නැන්දේ , මාමේ , අය්යේ , අක්කේ, නංගියේ , මල්ලියේ ... අද දින පවත්වන මේ සුවිශේෂී උත්සවයට සපැමිණි ඔබ සැවොම සාදරයෙන් පිළිගන්නවා.කෝ අය්යෙ ... හපොයි ඇයි මේ හිටං ඉන්නෙ ඉඳගන්න ඉඳගන්න.ආ නංගී අද හරි හැඩයිනෙ එන්න..අය්යෝ මේ ඔය තෑග්ග දෙන්න බැරිය පස්සෙ. මෙතනින් ඉඳ ගත්තනම්. කෝ මේ වේටර් ..ආ මේ අය්යල අක්කලට මොනවා හරි  ගෙනවානම් ... ආ හරි හරි සැර බීම එපා සිසිල් බීම ගේන්න. ඇල් වතුර නිවල උනත් කමක් නැහැ. කෝ කෝ... අක්කෙ හය්යූ කෝ මෙහෙට දෙන්න ඔය බැලුම් ... මේ විදිහට ගැට ගහල මැදින් එල්ලන්න. හරි වටේට පාට ක්‍රෙප් කොල තියන විදිහට .. හරි ඔය  තියෙන්නෙ ගානට .. ඔක්කොම හරි නේද .. කෝ දැන් කේක් එකට ගහන ඉටිපන්දම??  දෙකේ  ඉලක්කමක් තියන ඉටිපන්දමක් හොයාගත්තද  හරි එහෙනම් ඔක්කොම තිතට තියනවනෙ එහෙනම් වැඩේ පටාන් ගමු ...

මිත්‍රවරුනි ඔව් ඔබ මෙතෙක් වෙලා ඇඟිලි ගනිමින්  පුල පුලා බලා සිටි ඒ සොඳුරු මොහොත දැන් පැමිණෙනවා ඇත. එහෙනම් දැන් පිළිගන්න අද දවසේ  දෙවන වියට පා තබන ඒ හුරුබුහුටි , අහිංසක , සොඳුරු  ළදැරිය  හංසි .. ස්වා ..ස්වා ...(SWAN ) ... මේක කියද්දී  දිව ටැපලෙනවා ..ඔව් ..පිළිගන්න  හංසි .......



(අත්පොළොසන් නාදයක් මධ්‍යයේ  හුරුබුහුටි පින්වත් රුවැති  ළදැරියක් පැමිණ  මදහසක් පා උපන්දින කේක්  එක කපයි.ඉන්පසු එයින් විශාල කේක් කැබැල්ලක් ගෙන වටපිට බලයි .. )

ආ .. පලවෙනි කේක් කෑල්ල දෙන්නේ කාටද ..ඔව් අපි බලමු .....
හපොයි  මෙන්න මේකි අර  විසාල කේක් කැල්ල කටේ ඔබාගත්තා .. චික්කේ  ඇඟිලිත් සූප්පු කරනව. 

(ළදැරිය දුව ගෙන විත්  නිවේදනකරුගෙන්   මයික් එක ඉල්ලයි ..)

(සබාවෙන් නැවතත් අත්පොලොසන් හඬක් ...)

ආදරණිය අය්යේ  අක්කේ නංගියේ මල්ලියේ නැන්දේ  මාමේ .... අද  මට  විශේෂ දවසක්  ^_^   මුලින්ම කියන්න ඕන මගේ උපන්දිනේට ආපු ඔයාල හැමෝටම ගොඩක්  ස්තූතියි. ඔයාල දැක්කම මගේ සතුට වැඩි. හරි හරි දැන් ඉතිං ඈනුම් ඇරෙන්නෙපා  මම වැඩිය කතා කරන්නේ නැහැ චුට්ටයි කතා කරන්නෙ.දන්නවද මම ඔයාල හැමෝටම මගේ උපන්දින කේක් කෑල්ලකුයි  ලස්සන පාට පාට බැලුන් බෝලෙකුයි දෙනව :) ඉතින් දැන් වත් පොඩ්ඩක් හිනවෙන්නකො ... :)  




 ඔයාල  හැමෝම දන්නවානෙ  මගේ බ්ලොග් පොත ගැන. හැමදාම පිටුවෙන් පිටුව එකතු වේවි මා එක්කම ලොකු උන බ්ලොග් පොත.ඉතිං අද දවසෙ මං හිතුව මේ බ්ලොග් පොතට එකම එක පාරක් හරි එබිලා බලපු අදහස් ලියපු  බ්ලොග් පොත පෙරලලා බලපු ඔයාල හැමෝටම කේක් දෙන්න. පලවෙනි කෙකේ කෑල්ල නම් කටේ දාගත්ත.බඩගිනී අප්පා උදේ ඉඳන් කාල නැහැ ඒකයි ... හරි දැන්  පටන්  ගමු .........

මේ  කේක් කෑල්ලේ දෙවෙනි  එකත් මට තියාගන්න දෙනවද ... ඒක මං වෙන් කරන්නෙ මගේ පවුලේ හැමෝටම ^_^ ... ම්ම්ම් .. අනේ තුන්වෙනි  කේක් කෑල්ලත්  ඕන ඒ මෙච්චර කාලයක් මට ඉගැන්නුව සර්ලට මිස්ලට ... අනේ  අනේ  .. ඊළඟට දෙන කේක් කෑල්ල දෙන්න ඕන  තරින්දිට .. මගේ යාලුවට. එයා තමා මට මේ බ්ලොග් පොත ලියන හැටි මුලින්ම කියා දුන්නෙ... :) 

 අපෝ මොනවද  මහේෂ් අය්යේ  තැලිච්ච තක්කාලි ගෙඩියක්  වගේ මූන ඇඹුල් කරගෙන සොමි අය්ය එක්ක කියවන්නෙ :/ හිටුකො මම කේක් දෙන්නම්. අර අතන ඉවාන් අය්ය , කලණ අය්ය තරඟෙට ඈනුම් යවනව හපොයි ...ඉන්ටෝ .....

දන්නවද  මේ  බ්ලොග් පොතේ මුල්ම සටහනක් තියල ගියේ කවුද කියල ? ඒ තමා අර අතන පිටිපස්සෙම පුටුවක උඩ  බලාගෙන ඉන්න යසිත් අය්ය (YASITH (dot) NET) ඔයාලට කියන්න ඕන නැහැනෙ අලුතින් බ්ලොග් පොතක් ලියද්දි  වැටෙන පලවෙනි අදහස මහමෙරක් වගේ  කියල. අන්න ඒ නිසාම මේ හිනා මුණක් තියන බැලුමයි කේක් කෑල්ලයි යසිත් අය්යට :)

ඊළඟට කේක් දෙන්නේ  කාටද  ?

චූටි චූටි කුරුමිණි අකුරු වලින් පොත පුරා  ලියද්දි  "මේ ළමයෝ ඔය අකුරු ටිකක් ලොකු කරල දාන්න අපි වගේ වයසක උන්දැලට බලන්න" කියල දෙවෙනි  සටහන  ලියල ගිය අපේ දේශකතුමා ට  මේ කේක්  කැල්ල :) 

ම්ම්ම ...ඊට පස්සේ බලමු කවුද ඉන්නේ කියල. හී ..ඊළඟට ඉන්නෙ දිනේශ් අය්ය... අර හරි රහට කතා ලියන්නෙ....එයාට තමා මේ කේක් කෑල්ල... :) 

ම්ම්ම් ...ඊට පස්සෙ ඉන්නෙ සොඳුරු මිනිසෙක් .. අර දිගම දිග අදහස් ලියන දැන් නම් වස කම්මැලියෙක් වෙලා මොකුත් ලියන්නැති අය්ය ඔව් එයා ..එයා එක්කම තව මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා. සමහර දවස් වලට මොකුත් කුරුටු ගාන්න කම්මැලි උනාම  "අඩෝ කම්මැලි ගහ මොකුත් ලියන්නෙ නැද්ද " කියල සද්දේ දාන ඒ සොඳුරු හදවතක් තියන කවිකාරයෙක් වෙච්ච මහේෂ් අය්යට මේ කේක් කෑල්ල. මහේෂ් අය්ය දැන්වත් ආවනම් ..... විශේෂයෙන් කියන්න ඕන මගේම අය්යල දෙන්නෙක්  වගේ ඉන්න මේ අය්යල දෙන්න නිසා තමා ඔය ගොඩක් යාළුවො ගැන විස්තර දැනගන්න ලැබුනෙ.එයාලට නම් තව කේක් කෑල්ලක් දෙන්න හිත. ඒ දෙන්නටත් හිනා මුණක් තියන පාට බැලුම් දෙකක් මා ගානෙ.

තව ඉවර නැහැ ... හැමදාම ඇවිත් මම ලියන කතා කවි වල හොඳ නරක කියන ඉවාන් අය්යට, හිත හොඳ කලණ අය්යට,අපේ බතල කසුට්ට  ම්ම්ම් තව අර අහසෙන් එන කසුන් ට , විභී දෙය්යට, මනෝ මන්දිරට ,   තාමත් තරුණ වගේ ඉන්න ඉයන් අංකල් ට :D , වර්ණ කුලකය , ගිමන් , රූපෙ ,කැමා , ලලිත් ,අශාන් ..දෙය්යනේ කියක් කියල නම් කියන්නද හී .. මේ ඔක්කොටම කේක් මගේ ගානේ ...

අර කුරුට්ටෝ සැට් එකටම දෙන්න වෙනම කේක් එකක් මම ඕඩර් කළා  :D 

දැන් නම් මට පේනවා අපේ අක්කල නංගිලා ටික මට ඔරවා ඔරවා ඉන්නවා  හික්ස් .. ඉන්ට ඉන්ට තාම කේක් ඉවර නැහැ නොවැ ...හිනා මූන පිරිච්ච බැලුමක් එක්ක  අපේ  බස්සි අක්කට ,තනි තරුවට ,උපේක්ෂ අක්කට ,තරු අක්කට ,තනුජාට ,වර්ෂා ,සිතූ ,මෙතූ  මේ බවලත් හැමෝටම මේ කේක් කෑලි ..කාලම රහ  කියන්නකො .... 

දැන් ඉතිං අනෙක් අය තරහ වෙනවද නෑ නේද මං කරා වැඩක්. මගේ බ්ලොග් පොතේ මුල ඉඳන් අගටම හොයල හොයල  ඔයාලගෙ නම් එකතු කරගත්ත. ඒ නිසා මට ඔයාලව අමතක වෙන්නේ නැහැ ..මූන නරක් කරගන්නත් අඬන්නත් එපා හිනාවෙලා ඉන්ට  මේ පහල නම් තියන ඔය යාළුවො හැමෝටම මේ සතුටු දවසේ කේක් , කෑම බීම හැමදෙයක්ම  :) 

YASITH (dot) NET ,දේශක යා,~ සාරා - saaraa ~,Dinesh,සොමි යා,නලින් දිල්රුක්ෂ,තනි තරුව,චතුරංග ප්‍රියශාද් (ප්‍රියා), ~සංචාරකයා~,සිහින සිත්තම්,RanDil,දෙවෙනි විභීෂණ, පරිකල්පන,thanuja yolanthi,Roshan Herath,Mahesh Rathnayaka,Deepthi Sandaruwan ,Ashan Ravindu Yugantha,ඉවාන් පවුලූශා,කුරුළු නිස්කලංක,සහෝ දර,කුරුටු ගෑ ගී පවුර , උමා(දසුන්),Dishan Rajapaksha,තොටුපලේතොටියා, හොරාගේ සිතිවිළි,Chandana,ෂැගියා,Warna Kulakaya,කල්‍යාණ මිත්‍ර,රූපේ,මගේ කිචී, Mahesh Sharmin,ගිමන් නිවන්නා,රූපේ ,බස්සි (Yash),මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ),sAm (සෑම්) ,ඉයන්,කැමරාවෙන් එහා ලෝකය,MPP Gunasinghe,එල ද බ්‍රා මෙන්ඩා,චූටි බටපොලයා,Ima S,කටුසු හදවත,බණ්ඩා,gaba,මනෝ මන්දිර,අවංක ආර්යන්,අහසෙන් එන්න(කසුන්),වාසනාවන්ත කාලකණ්නියා,උපේක්ෂා,අටම්පහුර නිදහසේ නවාතැන ,Chathuranga Buddhika,Lalith perera ,වැසි දැරිය,Mahesh Samantha Kumara,අන්ධකාර තාරකාව,S. L. මැලේ රාළ,අම්බලන්ගොඩ කථා ,Sa rasa ,රංගන සහෝදරයා ,මෙතූ,ලයියා,සිතුවිලි සිතූ,Hasitha Prasad,Ajith Dharma,Rasika Gunawardana,ආචාර්ය Weerakoon ,අඩව්ව by රස්තියාදුකාරයා   ..............මේ හැමෝටම ඇතිතරම් කේක් තිබේ  :D 

ඔය  හැමෝටම ගොඩක් ස්තූතියි ... ඔයාලට වගේම මාත් එක්ක හිටිය මගේ ලිපිවලට එයාලගේ අදහස් කිව්ව ඇනෝ යාලුවන්ට (විශේෂයෙන් රනිල් යාලුවට ) එයාලටත් ස්තූතියි .. අදහසක් ලිවේ නැතිවට  බ්ලොග් පොතට එබිකම් කරපු ,ලිපි කියවපු ඔයාලවත්  අමතක කරලා නැහැ ඒ නිසා හිනාවෙන්න .. එන්න සතුට බෙදා ගන්න ...

අහ්හ්  තව එකක් පසුගියදා නෙලුම් යාය දවසෙ ලැබුන සම්මානය මට විතරක් නෙවේනෙ. ඒ සම්මානෙ පිටිපස්සේ ඉඳන්  මට ලියන්න දහිරිය දුන්නේ ඔයාල. ඒක අයිති ඔයාලට ... ස්තූතියි හැමෝටම .. මේ බ්ලොග් පොත නිසා මම කෝච්චර සතුටින් ඉන්නවද ,  සුන්දර හදවත් තියන ඔයාල වගේ පිරිසක් මැද හිත පිරෙන්න හිනාවෙලා ඉන්නවද කියල දන්නෙ මම  ^_^  ඉතිං මම වාසනාවන්තයි.කම්මැලි කමට වගේම වැඩ වැඩිඋන නිසා අවුරුදු දෙකක් පුරාවටම මම ලියල තියෙන්නෙ බොහොම අඩු ලිපි ගානක්. හපොයි දැන් බනින්නෙපා.ඉදිරියේදී වෙලාව ලැබෙන විදිහට ලිපි ලියන්නම් ... 

හී ..දිග කතාවක් කිව නේ .. ඔය හැමෝටම උපන්දින කේක් හම්බුනා කියල හිතනවා ...හම්බුනේ  නැතත්  ඇවිත්  අරන් යන්න. යන ගමන් පොඩි සටහනක් ලියල යන්න මගේ බ්ලොග් පොත ගැන ඔයාලට හිතුන දෙයක් ..ගල් මල් ඕන දෙයක් , බ්ලොග් පොත ලස්සන කරන්න තව හොඳට කරන්  යන්න ඔයාලගේ තියන අදහස් වගේම මේ මේ දේවල් හදාගන්න ඕන කියල හිතෙනවනම් ඒවත් එක්ක හිතට එන දෙයක් ලියල යන්න ... ආයෙත් හමුවෙමු දවසක ... ඉක්මනින්ම  ^_^  :) :) :) 

හැමෝටම ළඟ එන අලුත් අවුරුද්ද  සුබ අලුත් අවුරුද්දක් වේවා  ..ඔන්න මුලින්ම  සුබ පතන්නේ මම  :) :) :) 

Monday, April 4, 2016

හදවතට කියන වග නම්




මහද 
කම්පනය වනු 
මුදු 
සියුම් ස්වර රිද්මයෙන් 
ඉපිලී නොයනු 
නැටවෙන ප්‍රීති ප්‍රමෝදයෙන් 

සියුම් ගැස්මක් වුවද  
ගිලිහෙනා ග්‍රහණයක් 
විඳි නොවිඳි ස්පර්ශ අග 
රිදුම්  දෙන කටු තුඩක් 
සීතලක්  .. දැඩි සීතලක් 
ලෙයත් මිදෙනා සීතලක් 

මහද 
චංචල නොවෙනු
.
.

ජීවිතය අනියත තැනක් 


ප.ලි .   පින්තූරය දැක්ක ගමන් ලියන්නම හිතුන..කවියක්ම නෙවේ ..ඒත් ඔහේ කුරුටු ගෑව ...


Thursday, March 17, 2016

මගේ ගිරවී කොහෙද කියන්

වෙනදට වඩා කලියෙන් ගොම්මන ඇවිත් අහස ආක්‍රමණය කරනවිට  කළුවරට අතරමං වුන විහඟුන් එකා දෙන්න කෑ ගසමින් මුළු පරිසරයම කළඹමින් ගම් මැද්දේ සිට වනය දෙසට පියඹන්නට විය. සුළං කපා ඇසිල්ලකින් කැලඹ වූ පරිසරය සංසුන් වීමටත් මත්තෙන් වෙනදා මෙන්ම  ඉංගිරීසි ඉසෙඩ් අකුර මෙන් පාර පුරා එහෙට මෙහෙට වැනි වැනි පැද්දි පැද්දි එන අරනේලිස්ගෙ තාල නැති ජෝතිපාලගෙ සිංදුවක් පරිසරයට මුසුවිය. තාලයක් නැති ගොරෝසු හඬ වඩ වඩාත් ත්‍රීව වෙමින් අඩුවෙමින් ක්‍රමයෙන් ඈතට විහිදී ගුරුපාර කෙලවරදී අඳුර විසින් ගිලගත්තේය. පරිසරය යලිත් සන්සුන්විය. එතනින් එහාට කලාතුරකින් හෝ ශබ්දයක් ඇසුනේ විටෙන් විට සරස් සරස් ගා වැලිපොලව තෙරපන සෙරෙප්පු සද්දයක් පමණි. නමුත් අද පරිසරය නොසන්සුන්. කඩමණ්ඩියට ගිය සොපිනා පය ඉක්මන් කරමින් ගුරුපාර දිගේ ගිය  ගමන ගෝනිගොඩ වලව්ව ගාවින් මදක් පසුබසින්නේ නොනවත්වාම ඇහෙන කිරිකැටියෙක්ගේ ශබ්දයකින්. ඈ වලව්වෙ ගේට්ටුවට බරදී ඇඟිලි තුඩු වලින් ඉස්සි ඉස්සී ඒ ආගන්තුක ශබ්දයට මොහොතක් ඇහුම්කන් දුන්නාය. යලිත් ගැස්සී යන්නට සැරසුනේ වලව්වේ දොරකඩ බේබි මහත්තයාගේ ඇස ගැටුන විටයි. ඇය යලිත් පසුපස හැරී වලව්ව දෙස බලමින් පය ඉක්මන් කාලය. 

බේබි මහත්තය දවල්ට කාලත් නැහැ දැන් බත් එකත් සීතල වෙලා. මම අහක් කළා. උදේ ඉඳන් කෑවෙ නැහැනෙ ඉදින් මේ කහට එක වත් බිවනම්.

එපා  මට මොකුත් එපා සිරියාවතී ඕක ගෙනියන්න.

 මම සුප් ඩින්ගිත්තක් වත් හදන් ...

මම දැන් සැරයක් කීවනෙ මට මොකුත් එපා උඹල ඔය තියන දෙයක් කාල නිදාගනින්.

සේනක බොහොවෙලාවක සිට තවමත් ඇඳි පුටුවේ දිගාවී හිස් බැල්මෙන් පාර දිහා බලාගෙන සිටී. කන්කරච්චලයක් මෙන් නොනවත්වාම ඇසෙන කිරිකැටියාගේ ශබ්දය කෙමෙන් වියැකී යයි.තාලෙට හෙමින් නැළවිලි ගීයක් මුමුණන සිරියාවතී ගේ කටහඬ වලව්වෙ ඇතුලින් ලාවට ඇසේ.

නුඹේ අම්මා කිරට ගියා 
කිරි එරවා එන්ට ගියා 
කිරි මුට්ටිය ගඟේ ගියා 
ගඟට උඩින් කොක්කු ගියා 

නැලවිලි ගීයත් එක්කම පපුව ඇවිලී ගෙන යන හිතේ දුක දරාගන්න නොහැකිව සේනක පුටුවෙන් නැගිට්ටේය. වත්ත මැද  තියන විසල් අඹ ගහේ අතු හුළඟත් එක්ක හෙමිහිට සෙලෙවෙන්න පටන් ගත්තේ සේනකට අතවනන්න මෙනි. සේනක ඉබේටම වගේ අඹ ගහ යට බංකුව වෙත ඇදුනේය. එය  දෙදෙනෙකුට රිසිසේ වාඩිවිය හැකි බංකුවකි. සැබවින්ම  සෑම දිනම බංකුවේ වම්පස සිටියේ එකම එක පුද්ගලයෙකි. සිනහවෙන් කෙළිකවට කමින් උතුරායන ආදරයකින් සෑම දිනම ඒ පරිසරය ආලෝකමත් වූයේ ඇය නිසයි. එහෙත් අද ඔහු පමණි.

ඇඹුල්අඹ ගෙඩියක් හපමින්  මූණ ඇඹුල් කරන නාලිකා ගේ මූණ සේනකට යලිත් මැවී පෙනුනි.

මේවා කන්න බැහැ හරි ඇඹුල්. මේවා නෙමේ සේනෙ ඔයා කෑවෙ නැද්ද  අර  ධර්මෙ ගෙනාපු කර්තකොලොම්බන් අන්න ඒව  නම් හරි රහයි. මට කිව මං වෙනුවෙන්ම  මල්ලක්ම කඩන්  ආව කියල.

ඔයාගේ අනෙක් යාළුවො වගේ නෙවෙයි නේද  එයා හරි හොඳයි නේ.

ගහෙන් කඩා දුන් අඹ ගෙඩිය බාගෙට කා පැත්තකට විසිකර සේනකගේ අතේ එල්ලුන නාලිකා දිහා සේන කෙලින් බැලුවේය.

හ්ම්ම් එත් ඌ ලඟදි අපේ ඔෆිස් එකට ආවෙ ඔය පොඩි හිතවත් කමට ගෙන්නුවට මම ඌ ගැන වැඩිය දන්නේ නැහැ.

නෑ හරි හොඳ මනුස්සක් වගේ. මම කර්තකොලොම්බන් වලට ආසයි කිවම ආයෙත් මල්ලක් කඩන් එවන්නම් කිව.

හ්ම්ම් ...

විවාහ මංගලෝත්සවය වෙනුවෙන් මිතුරන් වෙනුවෙන් පැවතිච්ච සාදයට ධර්මරත්න ඇතුළු සමීපතම මිතුරන්  පිරිසකට ආරාධනා කල දිනය සේනකට යලිත් මැවී පෙනුනි ."ලස්සන නෝනාමහත්තෙක්නෙ සේනෙ ට ලැබිල තියෙන්නේ" යැයි නාලිකා දිහා බලාගෙන ඉඟිමැරුව සැටිත්  නාලිකාත් ලැජ්ජාවෙන් මූණ රතුකරගත් හැටිත් සේනකට යලි යලිත් සිහිපත්විය. එතැන් පටන් ටිකෙන් ටික ධර්මරත්න තමාට මෙතරම් සමීප වුයේ කෙසේදැයි ඔහුට ද සිතාගත නොහැක. නිවාඩු ලැබෙන බොහෝ දිනවල ධර්මරත්න තමාගේ නිවසට පැමිණ දින දෙක තුන ගත කලේ  පවුලේම ඥාතියෙකු සේය. ඇතැම් දිනවල කුමක් හෝ මාතෘකාවක් පටන් ගනිමින් ධර්මරත්න සේනක හා පැය  ගණන් කතාවට හවුල් විය. එයට නාලිකාද සහභාගි වූ විට සිනහවෙන් පිරි රස සාගරයක්  විය. එහෙත් මැදියම වෙත්ම විඩාවත් එක්ක තමා නිදාගන්න හැදුවත් නාලිකා තවදුරටත් ධර්මරත්න හා කතාව දුරට ගෙනයාමට ප්‍රිය කලාය. එවන් වූ එක් දිනයක පසුදා පාන්දරම නාලිකා කිරි කෝප්පයක් අතැතිව තමා ඇහැරවන්නේ,

 සේන ඊයේ නිදිනෙ මම පිඟන් හෝදලා ගේ අස්කරනකන්ම ධර්මෙ මා එක්ක කයිය ගැහුව. ධර්මෙ නම් කතා කියන්න රුසිය. ගමේ සිද්ධි ඉස්සර වෙච්ච සිද්ධි ඔක්කොම කිය කිය පැය ගානක්ම මාව කතාවට අල්ලගත්තනේ.

නාලිකා හැමවෙලේම කියන්නේ ධර්මෙ ගැනමයි. ඔය විදිහට ගියොත් මාවත් අමතක වෙයි.

අනේ අනේ මහත්තෙක් කියන කතා. මම මේ මහත්තයව දාල යනවැයි.

ඒක නෙවෙයි නාලිකා ධර්මේ ඔහොම හැමදාමත් තනිකඩව ඉන්නද  අපි හොඳ ගෑනු ළමයෙක් හොයල දෙමුද මේ ගමෙන්ම. මිනිහ හැමවෙලේම කියන්නේ මේ ගමට ආසයි කියලනේ ඒ නිසා මෙහෙන්ම හොඳ ගෑනු ළමයෙක් හොයමු.

හා හා ඔයාම අහන්නකො මම නම් කීප විටක්ම ඔය ගැන ඇහුව. 

අහ්හ් ඉතින් මොකෝ මිනිහ කීවෙ.

හිත ගිය කෙනෙක් ඉන්නවලු කියාගන්න බැරිවලු ඉන්නෙ. කොච්චර ඇහුවත් වැඩි විස්තරයක් කියන්නේ නෑනෙ මූණ  දිහා බලන් ඉන්නව මිසක්.

එතනින් පසු කිහිප අවස්ථාවකදීම ධර්මරත්නගෙන් විවාහය ගැන  ඇසුවද ඔහු පිළිතුරක් නොදී මග ඇරිය අතර විටෙක ඔහු කිවේ ඇය අන්සතුවී ඇති බවයි. එතනින් පසු සේනක යලිත් ඒ පිළිබඳව විමසුවේ නැත. නාලිකා ගැනවත් ධර්මරත්න ගැනවත් සේනකට කිසිදු සැකයක් ඇති නොවුනේ බිඳකුදු අඩුනොවූ නාලිකාගේ ආදරය නිසාය. තවද පවුලෙම කෙනෙකු සේ පාඩුවෙ ගෙවූ ධර්මරත්නගේ නිදහස් ජීවිතය ඔවුන්ට බාධාවක් නොවිය. නිවසට පැමිණෙන විටෙක නොවරදවාම එළවලු මල්ලක් ගෙන ඒම , ඉඩක් ඇති විටෙක වත්ත සුද්ද කිරීම, නිවසට අවශ්‍ය කිසිවක් ගෙන ඒම , මේ සියල්ල ඔහු නොපැකිලව කලේ කිසිත් නොඉල්ලාමය. නිවාඩුවට ගෙදරයාමත් ඔහු කලේ ඉඳහිටය. දැන් මෙහෙ මගේ ගේ වගේ තමයි. නාලිකා උයන්නෙත් අපේ අම්ම උයන රහටමනෙ. ඔහු සැමවිටම කිවේය. සැබවින්ම ඔහු කාගේ කවුරුන්දැයි සේනක නොදත්තේය. එවැන්නක් ඇසුවත් ධර්මරත්න හරිහැටි පිළිතුරක් නොදෙන බව සේනක දැනන්  සිටියේය.

 සියල්ල සැනෙකින් කණපිට හැරවුනේ නාලිකා හා ඔහුගේ පලවෙනි විවාහ සංවත්සරය සමරන දිනයෙහිය. ඒ වන විට නාලිකා තෙමසක ගැබිනියක්ව සිටියාය ගියවර මෙන්ම මෙවරද කාර්යාලයේ යහළුවන් හා රාත්‍රී බෝජන සංග්‍රහයක් තිබුනද යහළුවන් ගිය පසුද තවදුරටත් මදුවිතෙන් සප්පායම් වීමට ධර්මරත්නට ඕනෑ කර තිබුණි. එදින පමණටත් වඩා ධර්මරත්න වෙරි වී සිටියේය.

මචං සේනක උඹ හරි වාසනාවන්තයි. නාලිකා ...හොඳ එකී. ඒකිව බලාගනින් හොඳට....... හරිද. උඹට මේවා කියලත් බෑ නොකියත් බෑ. නාලිකා දැක්කම ආදරේ හිතෙනවා. මට ඉරිසියයි බං උඹ ගැන. ඒත් දාල යන්න හිතෙන්නෙම නෑ. මම කැමතියි ඒකිට ඒකි කැමති උඹට ...මක්ක කොරන්නද .. ඒත් ඔන්න උඹ නාලිකාව අතැරියොත් මම තමයි ඒකිව බඳින්නේ  හරිද .. මම .. මේ මම... තම පපුවට තට්ටු කරමින් ධර්මරත්න  වෙරිමතින් කල මේ  ප්‍රකාශයෙන් සේනක සැනෙකින් වියරු වැටුනේය.

තෝ පාහර ....   සේනක සැනෙකින් ඔහුගේ කමිසයෙන් අල්ලා ඉස්සුවේය.ඔහු වෙරිමතින් දෙඅත් එක්කර වඳිමින් දෙපසට වැනි වැනි සිටියේය. ධර්මරත්නගේ ගෙල සිරකරන්න තරම්  ආවේගයක් හිතට ආවත් වෙරිමතින් සිටි ඔහුට කිසිවත් කර පලක් නැති හෙයින් ඔහුව පසෙකට තල්ලුකර දමා නිවසට ගොස් වියරුවෙන් මෙන් දොරවසා දැම්මේය.ඒ වන විටත් නාලිකා නින්දට ගොස් සිටියාය. එදින රෑ දෙගොඩ යාමේ ධර්මරත්න වෙරිමතින්  දොරට තට්ටු කලත් සේනක දොර ඇරියේ නැත.

පසුදින  උදයේම ධර්මරත්නගේ දොර ළඟ වැටි නිදා සිටියදීම ඇඳුම් සියල්ලම එලියට විසිකරේ හිතේ තිබු ආවේගය තවදුරටත් රඳවා නොහැකි තරමට ඉලිප්පී පුපුරා ගිය හෙයිනි. සේනක තියුණු වචන වලින් බැන වැදුනද ධර්මරත්න කිසිත් නොකිය විරිසි තිබු ඇඳුම් එකතු කර ඇඳුම් බෑගයට දමා නාලිකා දෙස මොහොතක් බලා යන්නට ගියේය. හදිසියේ  සිදුවූ මෙම  සිදුවීමෙන්  කිසිත් සිතාගත නොහැකිව නාලිකා බියෙන් තැතිගෙන සිටියාය. ධර්මරත්න තමාට ඇලුම් කරන බව ඈ දැන  සිටියත් එය ආදරයක් තරම් දුරදිග ගිය එකක්යැයි ඇය කිසිත් සැක නොකලාය.

සතියක් ඇතුලත ධර්මරත්න කාර්යාලයෙන් අස්වී ගියේය. එහෙත් සේනකගේ චර්යාව ටිකෙන් ටික වෙනස් වන්නට විය. ඔහු විටෙන් විට නාලිකාවද සැක කරන්නට විය. ඔහු තුල තිබූ අනිසි සැකය එන්න එන්නම වැඩිවන්නට විය. කාර්යාලයේ ඇතැම් දිනවල කෙටි නිවාඩු දමා නිවසට පැමිණියේ ඔහු නැතිවිට ධර්මරත්න නිවසට පැමිණෙන්නේ යයි තිබු අනිසි සැකය නිසාය. ඔහු නාලිකා සමගද හේතුවක් නොමැතිව අඩ දබර කරන්නට විය. කාර්යාලයෙන් වැටෙන දුර ගමන් වලට ඇයට නොකියාම ගොස් දවස් ගණන් ගතකලේ ගැබිනියක්ව සිටින ඇය ගැන කිසිත් නොතකාමය. විටෙක තමා ගැනම  කලකිරීමක් ඇතිවි ඇය සමඟ  හොඳින් සිටීමට තැත් කලත් ජලය තුලින් යලි යලිත් ඉහලට ඉලිප්පෙන පන්දුවක් මෙන් සැකය නැමැති පන්දුව සිත තුලින් යලි යලිත් ඉහලට පැන දෝලනය වූ විට සියල්ල යලි පෙර පරිදිම නොසන්සුන් විය.

ඒ  මාර්තු  මාසයේ  අවසන් දින කිහිපයයි. නාලිකා දරුවා ප්‍රසුත කිරීමට තිබුනේ දින කිහිපයක් පමණි. ඒ සතියෙම හදිසියේ වැටුණු රාජකාරියක් හේතුවෙන් සේනකට ත්‍රිකුණාමලයට යන්නට සිදුවිය. ජංගම දුරකතනයක් වත් නොවූ සේනක  නවතින තැන දුරකතනය හෝ ඇයට දී නොතිබිණ. ඔහු පවසා සිටියේ ඔහු ඉක්මනින් පැමිණෙන බවක් පමණි. එහෙත් ඇයට හදිසියේ අසාධ්‍ය විය. සේනක පැමිණෙන විටත් සියල්ල සිදුවී හමාරය. ඇය රෝහලට ඇතුලත් වී තිබෙන විටත් පමාවී තිබුනේය. ඔහු එන විටත් දරුවා මෙලොව තනිකර නාලිකා අවසන් ගමන් ගොස් සිටියාය. 

අවසන් මොහොතේ අවසිහියෙන් මෙන් නාලිකාව බැලීමට ඉස්පිරිතාලයට යන සේනකට ධර්මරත්නව ඇස ගැටුණි. අරූ මොකද මෙහෙ කරන්නේ දුකත්  පරයා  හදිසියේ හටගත් කෝපයෙන් ඔහු සිරියාවතීගෙන් ඇසුවේය.

අනේ රත්තරං  මහත්තයෝ දැන්වත් ඔය සැක කිරිල්ල නවත්තන්න. මගෙ මේ ඇස්  දෙක කන් දෙක පල්ල නාලිකා නෝනා වචනයකින් වත් වැරද්දක් කරපු කෙනෙක් නෙවේ. නොනැමහත්තයට අමාරු උන වෙලාවෙ මහත්තයට පණිවිඩයක් දිගන්න බැරිව මම කොච්චර අසරණ උනාද  අන්තිමට ධර්මරත්න මහත්තයාගේ නොම්මරේ තිබිල මමයි කෝල් කලේ. ධර්මරත්න  මහත්තය ඔය මහත්තය ඉන්න තැන  විස්තර බලල මහත්තයට පණිවිඩයක් දෙන්න සැලස්සුවේ නැතිනම් අදටත් මහත්තය දන්නේ නැහැ. නෝනා මහත්තය ගෙනියන්න ඉක්මනින් වාහනයක් හොයල ගෙනාවෙත් ධර්මරත්න මහත්තයා. ඒ  දේවල් කලේ නැත්නම් අද මේ කිරිසප්පයවත් මේ ලෝකේ නැහැ.

සිරියවතිගේ වචන සේනකගේ හිතට කිනිස්සෙන් ඇනු  තියුණු  පහරක් මෙන් කාවැදුනි.

හදිසියේ අඹ ගසට වැසූ මා වවුලකුගේ ශබ්දයෙන් සේනක යලිත් ගැස්සී ගියේය. සියල්ල සිදුවී හමාරය. තමාට අපමණ ආදරය කල ජිවිතයක් අද අහිමි වී ඇත.ඉතිරිකර ගිය මතකයන් දෝතට දරාගැනීමට තමාට ශක්තියක් නැත.අපමණ දුකක්  විඳ දරා ගනිමින් රැකගත්  දරුවා තමාගේ දෝතින් ඔසවා ගැනීමට වත් මේ සිත , මේ ගත සුදුසු නැති බව සේනකට දැනේ. සියල්ල අවසානයේ දරාගත නොහී හිස්බවක් මුසුවූ වරද කාරී හැඟීමකින්  තමාගේ ගෙල සිරකරන්නක් වැනිවිය. හඬා පලක්ද නැත ඈ කොහේ හිටියත් තමාට සමාව දෙනු බව දනී එහෙත් තවදුරටත් මෙහි සිටිය නොහැක ඈ සොයා යා යුතුය. සිදුවූ වැරැද්දට දහස් වාරයක් සමාව ගත යුතුය. එහෙත් ඈ කොහි ඇත්ද ?

සේනක බංකුවෙන් නැගිට්ටේය.වලව්වේ ගේට්ටුව ඇර ගුරුපාර දිගේ ඈතටම ගොස් නොපෙනී ගියේය 





ප.ලි. කතාව ලියන්න හිතුනෙ මේ සිංදුව ඇහුවම . ඒත් ලියන්න හිතුවේ එක දෙයක් ලියවුනේ තව දෙයක්.මේ කම්මැලි හංසය ලියන්නැති උනාම  සමහර අය්යල ඉන්න දෙන්නෑනේ ඉතිං  අමාරුවෙන්  ලිහ ලිහ අන්තිමට ගෙතුව අනේමන්ද ලියද්දි  ගත්ත වෙලාව ගොඩක් වැඩී.කතාව අවුල්ම නම් අඩුපාඩුම කියල යනවනම් යහපති  අමනාපයන් නැහැ නොවැ  මොනවා කීවත්  :)

සිංදුව :ඉර වට යන ගිරවියනේ -නදීක ගුරුගේ 

සිංදුව ට යන පාර