Sunday, September 20, 2015

අහන් ඉන්න අහගෙන ඉන්න -2

කතාවේ මුල් කොටස මෙතැනින් 

කතාවෙ ඉතිරිය ..............

ෆෝන්  එකේ  මැසේජ් එක දැක්ක ගමන් මම කොච්චර කලබල උනාද කිව්වොත් ඒ වෙලේම  අර කොල්ලට කෝල් එකක් ගත්ත.

හෙලෝ ... මේ අර ..මේ ..කොටුවේ හම්බුනා කෙනාද  කතා කරන්නේ ..මේ   අර ...මට ෆෝන් එක දුන්නේ ..

මට එහා පැත්තෙන් ඇහෙන්නේ හීන් කෙඳිරියක් ....ලාවට අමාරුවෙන්  හෙලෝ කියනව ඇහුන. එච්චරයි එතනින් එහාට කිසිම සද්දයක් නෑ ...මම  ආයෙත් කතා කරා 

හෙලෝ ඔයාට මාව ඇහෙනවද ...එතනින් එහාට ගොරහැඬි හඩක් එක්ක කහින හඬක් ඇහුන...ඊළඟට........... 

අආ ...ම්ම්ම් ... අනූ ...ඔයා අන්තිමේ මට කතා කලාද.(කහින හඬක් ..) ඇයි අනූ මාත් එක්ක කතාකලේ නැත්තෙ ...ඔයා හොඳටම දන්නවා මේ ලෝකේ මට ඉන්නේඔයා විතරයි කියල මම මටත් වඩා  මගේ පණටත් වඩා ආදරේ කරන්නේ ඔයාට විතරයි කියල ...ඇයි රත්තරන් මට මෙච්චර රිද්දුවෙ .කියන්න.... කියන්න ඇයි  මෙහෙම රිද්දුවෙ ??....මං ..මං  ඉහි ඉහි ...(ඉකිගසන හඬක්.. ) ..මං ජිවිතේ පලවෙනි වතාවට බිව්ව බිව්ව හොඳටම බිවව

....(නැවතත් කහින හඬක් එතනින් පසු ඉකිබිඳුමක්... )

මොනාද මේ වෙන්නේ ..මට මොකුත් හිතාගන්න බෑ ..මේ මනුස්සය බීල වගේ හොඳටම ..සිහියක් කල්පනාවක් නෑ ..දෙය්යනේ මෙච්චරටම බීල ..මේ මනුස්සය හිතන් ඉන්නේ එයාගේ කෙල්ල කතා කරනවා කියල ...දැන් මොකෝ කරන්නෙ....දෙය්යනේ මෙන්න අඬනව .....කොල්ලෙක් මෙහෙම අඬනවා ඇහිච්ච පලවෙනි වතාව ...අනේ කොහොමද මේවා අහන්  ඉන්නේ .... :( 

හෙලෝ මේ අහන්න ..

එපා ..මොකුත් කියන්න එපා ............අහන් ඉන්න මං කියන දේ අහගෙන ඉන්න ..මට හැමදේම කියන්න ඉඩදෙන්න  ..යන්න එපා  අනූ  ප්ලීස් ...ඔයා දන්නවා මම කවදාවත් බිව්වේ නෑ කියල .ඒත් මම අද බීව ..හිතේ දුකට බීව ... මට මැරෙන්න හිතුන ...මම දන්නෑ ........මම දන්නෑ.ඔයා ගියොත් මට මොනව වෙයිද කියල ... යන්නෙපා  (නැවතත් කහින  හඬක් ...) 

මට පිස්සු වගේ ..මොනාද කරන්නේ මම ..මේ මනුස්සය ඉන්නේ බීපු විකාරෙන් ..මම ෆෝන් එක තියනවා ......රතු පාට end බොත්තම තද කරන්නත් හදල ..ආයෙමත් අත  නැවතුන. මේ මනුස්සය මොනවා හරි කරගත්තොත් ඊට පස්සේ ...මම ආයෙමත් ෆෝන් එක කනට ගත්ත ..නිහඬවම කියන දේ අහගෙන හිටිය ...එයාගේ ඇඬුම එන්න එන්නම වැඩි උනා ..තදින්  හුස්ම ඉහල පහල ගන්න හඬ ..කහින  හඬ ..මේ ඔක්කොම මට හොඳින් ඇහුන...

අනූ අහගෙන නේද ඉන්නෙ අනූ ..ඔයා  එකපාරක් අහන්න  ...මම හැමදාම ඒ විදිහමයි ..ඉස්සර කපිලමයි ..ඉස්සරත්  එහෙමයි අදත් එහෙමයි ..හෙටත් ...අනූ  ඔයා තමා හැමදාටම මගේ හිතේ ඉන්නේ ...අනූ  අර ගෑනියි  මගෙයි අතරේ කිසි සම්බන්දයක් නෑ දැන් ...ඒ ගෑනි ඉස්සරත් මගේ ජිවිතේ විනාස කරලා ගියා දැන් ආයෙමත් ඇවිත් විනාස කරන්න හදන්නේ ...මම වළලලා දාපු අතීතෙ වළලලා දාපු මතක වල ඉන්න මිනිස්සු ආයෙ මිනි වලෙන් ගොඩ ඒවි කියල මම කවදාවත්ම හිතුවේ නෑ.ඒකයි මම ඔයාට කිව්වෙ මගේ අතීතය අහන්නෙපා මම ඒක වලලල ඉවරයි කියල............. ඒත්....ඒත්  දැන්  ඒ කුනුවෙච්ච මිනී එලියට ගොඩගහල උන් මගේ ආත්මයම ගඳ ගස්සනවා.... (නැවතත් හඬන ශබ්දයක් ..) ... අනූ මේ අහන්න මට හැමදේම කියන්න ඕන......

එක පාරටම මොකක්දෝ වැටෙන ශබ්දයක් ඇහුන ..ඊට පස්සේ විනාඩි දහයක් විතර ගොඩක් දේවල් කියනව ඇහුන ..ඒත් ඇහුනේ ලාවට ඈතින් ..මම හිතන්නේ ෆෝන් එක තමා  වැටුනේ ..එක්කෝ ඇඳෙන් හරි  මේසෙකින් හරි බිමට වැටෙන්නැති ..මේ මනුස්සයට සිහියක් නෑනෙ ...මට ලොකු කලකිරීමක් දැනුන .ඊටත් වඩා ලොකු අනුකම්පාවක් දැනුන ...මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ ..හැමවෙලේම කතාවෙ අතර මගදී නවතිනවා ...මේ කොහෙවත් යන මනුස්සයෙක් දැන් මගේ ඔලුවත් විකාර කරලා මට නින්ද යන්නෙත් නෑ දැන් ...හපොයි ...මොනවා උනත් මේකට තව කෙල්ලෙක් සම්බන්දයි  කොහොමද? මොකක්ද ?මේ දොඩවන අතීතෙ ... ඕන මගුලක් වෙච්චාවේ මම මේක හෙට අහනව ..ඇයි  දෙය්යනේ අන්තිමට මේ මනුස්සය මැරුණම මටත්  කට උත්තර බඳින්න වෙයිනෙ දැන්  ...ෆෝන් එකත් මා ගාවනේ...

එදා මුළු රෑම  මට නින්ද ගියේ නෑ කිව්වොත් හරි ..සරින් සැරේ විකාර ඔලුවට එන්න ගත්ත ..ආයෙම සැරයක් අර  කොල්ලට කෝල් කරලා මොනවා හරි කරගෙනද කියල බලන්න හිතුන ...ඒ මදිවට දණහිසේ රිදිල්ලත් සැරින් සරි  වැඩිවෙන්න අඩුවෙන්න ගත්ත ...අන්තිමට හරිම වෙහෙසකර විදිහට නින්ද ගියා.

වෙනද වගේ  පහුවෙනිදා උදේම ඔෆිස් ලැස්ති උනා.ඊයේ සිද්ධිය නිසා ඔලුව විකාර වෙලා තිබ්බ  කිව්වොත් හරි  තවමත් ලොකු ප්‍රශ්නාර්ථ ලකුණත් මගේ ඔලුව උඩ ....... එයාට කෝල් කරන්න ඕන උනත් ඔෆිස් ගිහින්ම කෝල් කරනවා කියල හිතාගත්ත ...කොහොම හරි මම බස් එකේ ඉන්දැද්දි  එයා  මට  කතාකරල  missed call  එකක් තිබ්බ. වාහන සද්දෙත් එක්ක  හුස්ම ගන්න බැරි තරම්  තෙරපෙන බස් එකක් අස්සේ ගුලිවෙලා මෙහෙම serious දේවල් අහන්න කියන්න බෑනෙ ...ඉවසන් හිටිය ඔෆිස්  යනකන්ම ..ඒත් කරුමෙට ඔෆිස් ගිය ගමන්ම කියනවා බොසාගේ meeting එකක් තියනවා එන්නලු .. දැන් ඉතින් බෑ කියන්නද ...meeting  එකේදී තවත් missed call දෙකක් ..එයාගෙන්මයි ..මං හිතන්නේ මගේ හිතේ තිබ්බ නොයිවසිල්ල බොස්ටත් තේරුණ මිනිහ දෙපාරක්ම මං දිහා විපරමින් බැලුව ....ඇති යාන්තම් අන්තිමට ..දවල් කෑම පැයේදී  මට එයත් එක්ක කතා කරන්න පුළුවන් උනා. 

හෙලෝ ...

හෙලෝ  නංගි  අනේ සමාවෙන්න ඔයා ඊයේ කතාකරල තිබ්බ නේද....  අනේ සමාවෙන්න මම මොනවා කියෙව්වද දන්නේ නෑ ..  මම සිහියෙන් නෙවේ හිටියේ කිව්වේ මොනාද මම දන්නේ නෑ  අනේ සමාවෙන්න ...තොර තෝංචියක් නැතිවම එයා සමාව ඉල්ලනවා.

අය්යේ  මේ අහන්න මට ඇත්තම  කියන්න.ඔයාට මොකක්ම හරි ලොකු ප්‍රශ්නයක් තියනව නේද ..කියන්න මම අහන් ඉන්නම් ...

 එක පාරටම එයා නිහඬ උනා........

දුරකථනය විසන්ධි කලා ... 

හ්ම්ම් ..

මම ආයෙම එයාට කෝල් කාලා ..දීර්ඝ  වෙලාවක් ගිහින් අන්තිමට එයා පිළිතුරු දුන්න  ..

මේ අහන්න නංගි  මට මොකුත් ප්‍රශ්නයක් නෑ ...ඊයේ  මොනවා හරි කිව්වනම් මට සමාවෙන්න ..සමාවෙන්න කියන්නයි මම කෝල් කලේ  මගේ වැරැද්ද ....මම කලේ කිව්වේ මොනවද මම දන්නේ නෑ.

අය්යෙ  මේ අහන්නෆෝන් එක තියන්නෙපා මම කියන දේ අහන්න  ..ඊයෙ ඔයාගෙන් මොනවත් වැරදි දෙයක් කිව්වේ නෑ. එත් මම දන්නව ඔයා ලොකු ප්‍රශ්නෙක ඉන්නේ කියල ..ඔයා මාව දන්නෙත් නෑ ..එහෙම කෙනෙකුට ඔයා  ඔයාගේ පෞද්ගලික විස්තර කියන්නේ නෑ  කියල මම දන්නවා.ඒත් ඊයේ මම කරදරේක ඉන්න වෙලේ ඔයා මට උදව් කලා මට පුළුවන් විදිහට උදව් කරන්න පුළුවන් ....කමක් නෑ අකමැතිනම් ..ඒක  නෙවේ ඔයාගේ ෆෝන් එක  අද මම දෙන්නම් ..ඔයා එනවද අද  කොටුව ස්ටේෂන්  එකට පහයි විස්සට විතර ..ඊයේ ඒක  කියන්නයි මම කතා කරේ ..කමක් නෑ ..ඔයාට එන්න පුලුවන්ද කියන්න ... ඔයාගේ ෆෝන් එක මා ගාව තියාගන්න බෑ ..කියන්න එන්න පුලුවන්ද 

දුරකතනයේ එහා කෙලවරින් ලොකු හුස්මක් පිට කරන සද්දයක්  ඇහුන.

 හරි.......... මම එන්න බලන්නම් 

හ්ම්ම් .. අනේ මමද මේ කොල්ලො නම් ..ෆෝන් එකෙන් කතා කරලා මොකවත් දැනගන්න බෑ  ඇහුව ගමන් කට්  කරනවා ... ඔන්න ඔහේ ඕන මගුලක් කරගත්තාවේ කියල ෆෝන් එන දීල මම එනවා ..... නෑ  ඒක හරි නෑ ..මට මොනවා හරිම කරන්න පුලුවන්නම්.කොහොම හරි එයාගෙන් විස්තරේ අහගන්නවා අද ..බලමු මොනාද කරන්න පුළුවන් කියල ...

කමක් නෑ  මම ඉවසනවා 

එදා  දවසේ කියන්න තරම් වැඩක් තිබ්බේ නැති නිසා ඉක්මනින්ම ඔෆිස් එකෙන් එලියට පනින්න මට පුළුවන් උනා... හදිසියක් නෑ  මම පාර දිගේ හෙමින් ඇවිද ගෙන ආව ... කහ ඉරවල් ගාව මිනිස්සු පෝලිම් ගැහිලා  හරියට  තඩි උක් දණ්ඩක් දෙපැත්තේ වට වෙලා ඉන්න කූඹි පොකුරු ටිකක්  වගේ. මමත් ඒ පොකුරටම එකතු උනා. අතර මග නැවතුමක් නෑ එක්කෝ එහා කොන එක්කෝ මෙහකොන.  මිනිස්සුත් ජිවිතේ හිතන්නේ විකල්ප දෙකයිද මන්ද එක්කෝ ජීවත් වීම නැත්නම් මරණය .. 

පදික වේදිකාවෙන් හෙමින් හෙමින් ඇවිදින මට වයසක සීය කෙනෙක් විකුණන ලොතරැයි   ඈත තියාම  පේනව ..මිනිස්සු එකා දෙන්න ඇවිත් ලොතරැයි එකක් දෙකක් අරන් යනවා  අරන් යන හැම ටිකට් එකක්ම වාසනාවන්ත ටිකට්  එකක්ද ... හැමදාම වාසනාව කැරකෙන්නෙත් නෑනේ දවසක මුළු වාසනාවටම කෙලවෙලා යන්න පුළුවන් ...ජිවිතේ හැමදාම සුන්දර නෑ කියන්නේ මේ නිසා වෙන්නැති ...

සෙනග පිරෙන තෙරපෙන හැප්පෙන පදික වේදිකාවේ කඩිමුඩියෙන් යන පෙම්වතුන් යුවලක්   සෙනග අස්සෙම මට පෙනුන.තදින් අත් පටලවාගෙන යන්නේ කවදාවත්ම  අත නොහරිනවා වගේ  ආදරේට එකම පලුද්දක් වත් නොකර හැමදාම එහෙම ඉඳීවිද ...ඒ ආදරෙත් හරියට නොමල ගෙකින් හොයන අබ ඇටයක් වගේ වේවි ...

 හිතුවිලි ගොඩක් හිතේ පැලවේවි මියයන හවසක ... මම ආයෙමත් ඔහුව හමුවෙන්න ගියා...

ඔව් මට පුළුවන්....මට පුළුවන් පොඩි විනාඩි කීපයක් වැය  කරලා  එයාගේ කතාව අහගෙන ඉන්න ...





කතාවෙ ඉතිරිය  කුමක්  වෙයිද? ...මතුවට ...


Thursday, September 17, 2015

අහන් ඉන්න අහගෙන ඉන්න


එදා හොඳටම වැඩ වැඩි උන දවසක්.ඔෆිස් එකේ වැඩ ඔක්කොම ඉවර වෙලා එලියට බහිද්දි හයයි කාලත් පහුවෙලා. ඉර වහගෙන වියන වලාකුල් අඳුරු සේලෙ නිසා මුළු  කොළඹම  දැන් කලුපාට වීගෙන යනවා  කලුපාට සෙවනැලි මිනිස්සු බීප් බීප් සද්ද දාන වාහනවල ලයිට් එලියට  එකපාරටම මතුවෙලා ආයෙත් අඳුරේ ගිලෙනවා.ඒ මදිවට හවස වැහැපු වැස්සත් එක්ක පාරත් මඩවෙලා.හයි හීල්ස් වලටත් ඔට්ටු උන මඩ තලි ඇඟිලි කරු අතරිනුත් ගිහින්. ඇවිදිද්දි  චිරිස් චිරිස් ගාල එලියට පනිනව.ලයිට් කණු එළියටයි  වැස්සත් එක්ක මෙරු වටවෙලා ප්‍රේම කරන  කඩවල්වල බලුබ් එළියටයි යාන්තමට ඇස් දෙක හුරු කර ගත්ත මම ඉක්මනට දිව්වේ කොටුව කෝච්චියක් බලන්න.

වෙලාව හයමාරත් පහුවෙලා.කොස්ගම කෝච්චිය  6.40 ට, ඊළඟ කෝච්චිය හතට කොහොම හරි කොස්ගම කෝච්චියට නැග්ගනම් පැයෙන් ගෙදර යා හැකි.ආයේ බස් වල ලගින්න බෑ මේ වැස්සෙ.ට්‍රැෆික් අස්සෙ නවයාමාරටවත්  ආයේ ගෙදර යනවා බොරු.එක අතකින් තෙත කුඩේ  ගත්ත මම අනෙක් අතින් ෆෝන්  එක ගත්ත. 

හෙලෝ  අම්මා .. අම්මා ...ඇහෙනවද ?... මම හයයි හතළිහෙ කෝච්චියෙ එනව හරි.මම ලංවෙද්දි කෝල් එකක් දෙන්නම්..මොකක්ද ..ආ ..මට ඇහෙන්නෙ නෑ ..හරි හරි  අප්පච්චිට එන්න කියන්න ..එහෙනම් මං තියනවා.....පරක්කුයි....

 ඉක්මනට  ටිකට් එකක් ගත්ත මම  හයයි හතළිහේ කෝච්චියේ අල්ලන්න දිව්ව. හයයි තිස්පහයි කෝච්චිය ගිහින්ද දන්නෑ. හදිසියට පඩි දෙකෙන් දෙකට නැග්ග මට අන්තිම පඩිය නගින්න හම්බුනේ නෑ.එකපාරටම සෙරෙප්පුව ලිස්සල ඇදගෙන වැටුන.අතේ තිබ්බ  ෆෝන් එකත් ලිස්සල ගියා.

   අනේ මගේ ෆෝන්එක....අමාරුවෙන් නැගිටින්න හදන ගමන්ම මට ඉබේටම කෑගැහුන.

කෑ ගැහුවට වැඩක් උනේ නෑ.මගෙ කරුමෙටම කෑලිවලට ගැලවුන ෆොනේ එක මං  එක්කම පිටිපස්සෙන් දුවන් ආව කොල්ලගේ කකුලට පෑගිලා ගියා...ඌත් කෝච්චියට දුවන මං වගේම හදිස්සි කාරයෙක්.මං කිව්ව ඒක ඇහුනේ නෑ ඇලඩින්ගේ වගේ ඉස්සරහින් උල්වෙච්ච කොල්ලගෙ තඩි සපත්තුවට ෆෝන් එක නොපෙනිල ගියා.

නැගිටගන්නත් බෑ  දණහිස වැදිච්ච පාරට රෑ තරු දැන්  ඇස් ඉස්සරහ පේන්න අරන්.ඒ මදිවට ෆෝන් එකත් චප්ප උනා.මම අමාරුවෙන් ආධාරක පොල්ල අල්ල ගෙන නැගිට්ට.අර කොල්ල ෆෝන් එකේ කෑලි එකතු කරනවා.දැන්  ඉතින් වැඩක් තියනවද   චරාස් ගාල චප්ප වෙන සද්දේ ඇහුණාම තව මොන බලාපොරොත්තුද.

අය්යෝ මම මේක දැක්කේ නෑ.කොච්ච්චිය අල්ලන්න දුවගෙන ආවෙ ෂිට්.. මේකෙ ස්ක්‍රීන් එක කුඩුවෙලා ගිහින්  ..අය්යෝ සොරි.මොකෝ කරන්නේ දැන් ...මොකද උනේ වැටුනද ? සෙරෙප්පුව ලිස්සුවද ? කැඩිච්ච ෆෝන් එකේ කෑලිත් අතේ තියාගෙන එක අන්ඩකින් විතරක් එල්ල ගත්ත බෑග් එක උරහිසින් හදන ගමන් ප්‍රශ්න වැලක්ම කොල්ල මගෙන් ඇහුව.

ඔව්  වැස්සනෙ.සෙරෙප්පුව ලිස්සුව... ආවු ... දණහිසින් එන තද කැක්කුම ඉවසන් ඉන්න බැරිව මට  ඉබේටම කෙඳිරි ගෑවුන.

කොහේ කොච්චියටද යන්නේ...

කොස්ගම 

අහ්හ්  මාත් මේ දිව්වේ එකට තමා ..කෝ නැගිටින්න පුලුවන්ද...  ඉන්න මම බෑග් එක ගන්න ... පැත්තක විසික්වෙච්ච බෑග් එකත් එයා අහුලා ගත්ත.
හෙමිට එන්න...කෝ මේ බෑග් එක ගන්න ...මං දුවල ගිහින් ට්‍රේන් අදින්න කලින්  නවත්තගන්න පුලුවන්ද බලන්නම්.එහෙම කිව්ව කොල්ල බෑග් එක මට දීල කෝච්චියට දිව්වා.මට නම් දුවාගන්න කියල කෙලින් යන්න බෑ දනිස් පොල්කට්ටට වැඩේ හරි වගේ.ඇදුම් දෙනවා අම්බානෙක... අමාරුවෙන් නොන්ඩි ගගහ මම කොල්ලගේ පස්සෙන් කෝච්චිය දිහාට ගියා.  

කොහොමහරි කෝච්චියට නම් නැග ගන්න පුළුවන් උනා. ඒත් මගේ ඔලුවේ තිබ්බේ කැඩිච්ච ෆෝන් එක.දැන් ඉතින් මම අප්පච්චිට කතාකරන්නේ කොහොමද. කකුල කැඩුනත් කමක් නෑ අපරාදේ ෆෝන් එක බේරුනානම් ..අමාරු උනත් පීරගෙන පීරගෙන කෝච්චි පෙට්ටියේ කොනටම  ගියා.මට කලින් ගිහින් හිටිය අර කොල්ල එතන හිටිය මනුස්සයෙකුට විස්තරේ කියල මට ඉඳගන්න දුන්න.

ෆෝන් එක කැඩිලා ගන්න දෙයක් නෑ මොකද කරන්නේ දැන්. ..මගේ ෆෝන් එක දිහා බලහෙනම එයා  මගෙන් ඇහුව. 

මට අප්පච්චිට කතාකරන්න ඕන බහින්න ලංවෙද්දි.

ඔයා කොහෙන්ද බහින්නේ 

හෝමාගම 

අය්යෝ මම බහින්නේ කොට්ටාවෙන් ම්ම්ම් .. මොකද කරන්නේ ...මමත් අසරණ විදිහට බලන් හිටිය කකුලේ වේදනාවත් එක්ක ඇසුත් පොඩ්ඩක් තෙත් වෙලා තිබ්බේ.

එයා ටික වෙලාවක් එහෙම්මම කල්පනා කලා ඊට පස්සේ සාක්කුවෙන් පරණ ෆෝන් එකක් අරන් පොඩ්ඩක් ඉන්න කියල ඒකෙ මොනවදෝ ඔබන්න ගත්ත.

ම්ම්ම් ...මෙහෙම කරන්නම් මා ගාව ෆෝන් දෙකක් තියනවා.එකක් දැනට තියාගන්න සිම් එක අරගෙන .මම ඔයාගේ ෆෝන් එක හදල ගෙනල්ල දෙන්නම් 

එපා එපා කමක් නෑ මම ෆෝන් එක හදාගන්නම් මට කෝල් එකක් විතරක්  ගන්න පුළුවන් වෙයිද ..

කමක් නෑ මේක ගන්න ..අර පරණ ෆෝන් එක එය මට දික් කලා ...මේ මහ රෑ තනියම ඉන්න බෑනේ  මේක තියාගන්නකෝ මට හෙට හරි ආයේ එන දවසක හරි  දෙන්න දෙන්න බැරි උනත් කමක් නෑ .මේක වැඩක් නෑ එහෙම කියල එයා  ෆෝන් එකේ සිම් එක ගලවල ඒකට මගේ සිම් එක දාල දුන්න.

කමක් නැද්ද  මෙහෙම හරි නෑනේ  මට ඔයාගේ number එක කියන්න මම හෙට දෙන්නම් 

අය්යෝ වැඩිය හිතන්නෙපා මගේ අතින්නේ ඔයාගේ ෆෝන් එක කැඩුනේ.ඔය ෆොනේ එක දැන් පරණයි ඕන නෑ ...

කමක් නෑ number එක දෙන්නකෝ 

හා හරි ලියාගන්න ...

එතනින් එහාට කොට්ටාවට යනකන් අපි වැඩිය කතා කලේ නෑ .දෙතුන් විටක්ම එයා ඇහුව ඇවිදින්න පුලුවන්ද ..මගට එන්නද කියල..අමාරු තිබුනත් මම අමාරු නැතිවිදිහට හිනා උනා.ෆෝන් එක ගෙනිහිල්ල් හදල දෙන්නද කිව්වත් මම එපා කියල ඉල්ලා ගත්ත.මම වැඩ කරන්නේ කොහෙද කියලත් ඇහුව වගේ මතකයි .ඒ ඇරෙන්න එයා  මොකවත් වැඩිය කතා කලේ නෑ.කෝච්චියේ අඩවන් වෙච්ච ආලෝකෙත් එක්ක මම විටින් විට එයා දිහා බැලුව.එයා හිටියේ කොච්චි පෙට්ටියෙ පිටිපස්සට හේත්තුවෙලා.වැලමිට ගාවින් අත  නවාපු ලා නිලට හුරු කොටු කොටු ෂර්ට් එකක් ඇඳන් හිටිය කොල්ලගේ අර ඇලඩින් සපත්තුව දිහා නම් මම දෙපාරක්ම ඔරවල බැලුව.නළලට වැටිච්ච මුදු මුදු කෙස් පිටිපස්සට කරකර දෙතුන් විටක්ම එයා  අතේ තිබ්බ ලේන්සුවෙන් නලලේත් මුහුණෙත් දාඩිය පිහිදැම්ම .ලොකු විඩාබර ගතියක් මූණේ පෙන්න තිබ්බ..මොනවා උනත් හොඳ කොල්ලෙක් ..මට උදව් කලා ..නරක කෙනෙක් නම් වෙන්න බෑ ..මම මටම කියාගත්ත.

මාලපල්ල ලඟදි මම ගෙදරට කෝල් එකක ගත්ත. අප්පච්චිට ටිකක් අසනීපයිලු කොහෙද කලින් හදිසියට කතා කලා විස්තරේ අහගත්තෙ නෑනෙ.  පොඩි මල්ලි තමා එනව කිව්වේ.කොහේද ඕක කොයි වෙලාවේ බැලුවත් ගෙදර නෑ රෝන්දේ ගිහින් ..දෙතුන් පාරක්ම කෝල් කරලා තමා  ගෙන්න ගත්තේ.වාසනාවට ෆෝන් එකක් ළඟ තිබ්බෙ.
..................... 

ඒක පරණ සැම්සුන්  ගැලැක්සි ෆොනේ එකක් ස්ක්‍රීන් එක නම් ගන්න දෙයක් නෑ වටේම කටුවකින් පහුරුගාල වගේ ඉරි හැමතැනම. ෆෝන්  එක නම් වැඩ හොඳට ...ඒත් ඉතින් මෙලෝ රහක් නෑ මගේ කැඩිච්ච ෆෝන් එක වගේද මේක :/
මම ෆෝන් එකත් අරගෙනම ඇඳට ගොඩවෙල  මුල ඉඳන් අගටම  විමර්ශන පාරක් දැම්ම . 
ගැලරියේ එක පින්තුරයක් වත් නෑ .සිංදුවල එක සින්දුවක් නෑ  හපෝ මහා කම්මැලි කොල්ලෙක් මෙලෝ රහක් නෑ ..මෙමෝ වල යන්තමට  එකම එක සටහනක් ..කසුන් කල්හාරගේ සින්දුවක පේලි දෙක තුනක් ..කොහෙද ඉතින් මටත් නිකන් ඉන්න බෑනේ ..අනුන්ගේ කුණු හොයනව.
සැලකිය යුතු  දෙයක් හොයාගන්න බැරි  උන නිසා ෆෝන් එකේ call log  බලන්න ගත්ත. සිම් එක මාරු කලත් පරණ මැසේජ් වල, කෝල් වල  හිස්ට්‍රි ඒකෙ පෙන්නනවනේ.අනුන්ගේ කුණු අවුස්සනවා තමයි  ඒත් ඉතින් මටත් නිකන්  ඉන්න බෑනෙ.. 

මම උඩ  ඉඳන් පහලට එකින් එක බැලුව.අර හදිසියට ඔබල මැසේජ්' ඩිලීට් කලත් මෙයාට මේව මකන්න  අමතක වෙලා. මටත් ඉතින් ඕන නැති මගුලක් නෑනෙ මමත් කියෙව්ව 

සම්පුර්ණ  මැසේජ් එක නොපෙනුනත් එකේ කෑලි කෑලි මෙහෙම සටහන්වෙලා තිබ්බ. 

සැප්  15
9.45pm  : plz mata katha karanna 
10.05pm : thamath tharahin ?
10.15 pm :anu oyata waradila 
11.30pm  anu plz answer karan ...

සැප් 16:
10.00am :  ai katha  naththe 
10.10am : anu  phone eka  answer ..
1.00am  :  mama kiyna de ahanna ..
11.00am :  ai mehema riddanne 

සැප් 17 
11.12 am :plz anu riddanne ...
4.00 pm  :katha karannema nad ...

4.13 pm  :mn ada marenawa aththat....

අන්තිම වචන දිහා මම කට අරගෙන බලාන හිටිය.සැප්තැම්බර්  17 දෙය්යනේ  අද .

4.15 pm : mn ada marenawa aththat...

මේ ඇත්තක්ද ඒ කියන්නේ මූ මැරෙන්නද හදන්නේ.ශික් මේකේ සම්පුර්ණ මැසේජ් එක වත් නෑනෙ..මම දෙපාරක් තුන්පාරක්ම මැසේජ් කියෙව්ව .මේ බොරුවටද දන්නෑ කියන්නෙ .ඒත් කොහොමද දැනගන්නෙ...හිතන්න හිතන්න මට ලොකු බයක් දැනුන 

කලබලවෙච්ච මම එකපාරටම හවස ඉල්ල ගත්ත නම්බර් එකට කතා කරන්න ගත්ත ...

හෙලෝ ... මේ අර ..මේ ..කොටුවේ හම්බුනා කෙනාද  කතා කරන්නේ ..මේ   අර ...මට ෆෝන් එක දුන්නේ ..........

කතාවෙ ඉතිරිය  කුමක්  වෙයිද? ...මතුවට ... 



.............................
ප.ලි : මතුසම්බන්ද කතානම් කවදාවත්ම ලියල නෑ ..ඔන්න පලවෙනි වතාවට එකක් ලියනව..... :) 





Monday, September 14, 2015

නින්ද


138 කොටුව කොටුව කොටුව කොටුව  යාන්තන් ඇහැපියවුනා විතරයි කන ගාවම ඉඳන්  කොන්ද කෑගහනව -_- මහ ජරා දවසක් අප්ප ඊයෙ පාන්දර දෙක වෙනකන්  අමාරුවෙන් ඇස්ගෙඩි දෙක ඇහැරවගෙන  report  ලියල ලියල නිදාගන්න හැදුව විතරයි මගුල් windows update එකක් එනවා.මෙච්චර දවස් හිටිය මෙලෝ සද්දයක් නෑ .ඉඳල ඉඳල රෑ  ඇහැරිලා නිදාගන්න කොටම ඉතින් update එනව.bilgates පරම්පරාවටම ප්‍රේම කරන්නේ ඒ වෙලේට තමයි.ඇත්තමයි කියන්නේ අන්න ඒ වෙලාවට ජුලියට් රෝමියෝට ආදරේ කළාටත් වඩා bilgates ට ආදරේ හිතෙනවා. -_- 2 ඉඳන් 2.30 වෙනකන්ම අර කැරකි කැරකි තියන රවුම නතරවෙනකන්ම  ඇස් ගෙඩි දෙකත් ආතුරයෙක් වගේ  කැරකි කැරකි ඉඳල අන්තිමටම නතරවෙනකොටම කොහේදෝ ඉන්න ඇනොපිලස් මදුරුවෙක් ඇවිල්ල ඩ්‍රකියුලා පාර්ට් එක රඟපානවා හ්ම්ම් ඉතින් කාට කියන්නද මේ දුක : / වෙලාවකට මට හිතෙනවා අර 'ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ ' සිංදුව  ලියවෙන්න ඇත්තේ මේ වගේ ඇනෝපිලස් මදුරුවෙක්ඇවිත් හොඳවයින්  ඇන්න වෙලාවක වත්ද කියල :(  ඇයි මම පව් නැද්ද කියන්න මම පව් නැද්ද මේ අසරණී නිදාගන්නෙත් බස් එකේ විතරයි.එහෙව් වෙලාවක කන ගාවටම මේ කොන්ද  ඇවිදින් කොටුව කොටුව ගන්නෙ පව් නැද්ද මම :'( 

දැන්  අවුරුද්දක්  තිස්සෙම මෙහෙම තමයි ජීවිතේ.රෑට රෑට කැම්පස් වැඩ කරලා නිදාගන්න බැරි උනාම මගහැරුන නින්ද අල්ලගන්නේ බස් එකේදී තමයි.ඉස්සර තාත්ත එක්ක බයික්  එකේ යද්දී නම් බැනුම් කෝටියක් ඇහුව .ඇයි ඉතින් බයික් එකක් යද්දී ජීවිත අවදානම අරගෙන මොන මොඩයද නිදාගන්නේ  මේ මෝඩි මිසක්.

පිටිපස්සේ ශීට් එකේ යනකොට හුලං පාර  ඇවිත් පවන් ගහද්දි හුළගේ දරු නලවිල්ලට ලාවට එහාට මෙහාට පැද්දෙනවහැබැයි තත්පරයක් වත් යන්නේ නෑ හිටි ගමන් තාත්ත ජාතිය අමතද්දී  ආයෙම ගැස්සිලා ඇහැරිලා පියවි සිහියට එනව.එතන ඉඳන් බැනුම් නතරවෙනකන්ම වතුර බිබී ගෝනි බිල්ලෙක් දැක්ක වගේ ඇස් ලොකු කරන් පාරේ යන මිනිස්සුන්වත් බය කර කර යනවා .සමහර දවස් වලට ගෙදරින් එලියට බහින්න කලින්ම අම්ම බිස්කට් පැකට් එකක් බෑග් එකට ඔබනවා.නිදගන්නෙපා තාත්තයි ඔයයි දෙන්නම වැටෙයි තේරුනාද තේරුනාද .හ්ම්ම් මෙහෙම සියපාරක් විතර අම්ම කියල කියල එලියට බස්සනවා මම නෑ ... අම්මේ නිදාගන්නේ නෑ... නෑ ,,නෑ මයි කියල සියපාරක් විතර ඔලුව වනල  දුන්න බිස්කට් පැකට් එකත් කකා බයික් එකේ වාඩිවෙනවා..ඒත් වැඩි වෙනසක් නෑ බිස්කට් පැකට් එක ඉවරවෙනකන් ඕනනම් ඇහැරගෙන ඉඳී  නැත්නම් බාගෙට බිස්කට් එකක් කටේ දියවී දියවී තියෙද්දිත් මම නිදාගෙන වැනි වැනි යයි.ඒ තරම්ම නින්දට ඇබ්බැහිවෙලා.
අම්ම නම් බැන්නේ මෙලෝ  වගකීමක් නැති ළමයෙක් කියල ඒත්  මම කොච්චර උත්සාහ කලත් ඒ නින්ද නම් නවත්වන්න බැරිඋනා . මොනවා කරන්නද නින්ද මාව මත් කරලා  :/

අවුරුදු දෙකක් ඔහොම බැනුම් අහගෙන බයික් එකේ ගියා .තුන් වෙනි අවුරුද්ද හරිගියේ නෑ වැඩේ දරුණු උනා.තාත්ත රස්සාවෙන් අස් උනා .දැන් ඉතින් යමන්කෝ උදේම නැගිටලා බස් එකේ පැය දෙකක්. :( ඉස්සර 5.30 නැගිට්ට මට දැන් 5.00 නැගිටින්න වෙලා.කොහොම හරි 6 වෙද්දී අම්ම මාව ගෙදරින් එලියට තල්ලු කලාම ඊළඟට තියෙන්නේ බස් එකේ ශීට් අල්ලගන්න  මෙහෙයුම.උදේ 6-6.10 අතර බස් එකට නැග්ගොත් අවුලක් නෑ හැබැයි 6.10 පහුවුනොත් ලෙක්චර්ස් ගිහින් හමාරයි.


බස්  ඩ්‍රයිවර් බස් එකට නගින්නේ දෙය්යෝ බුදුන් සිහිකරගෙන මම බස් එකට නගින්නේ අනේ දෙය්යනේ නිදන්යන්න පුළුවන් ලොකු ශීට් එකක් තියන බස් එකක් ලැබීයන් කියල සිහිකරගෙන.කරුමෙට වත් ශීට් එකක් නොලැබුනොත්  එතනින් එහාට කරන්නේ කහපාට ටයි එකක් තියන අනුලා නංගිලව හොයාගෙන හොයාගෙන ගිහින් ලඟින්ම හිටගන්න එක. අඩුම තරමේ නුගේගොඩින් වත් ඉඳගන්න ලැබේවි කියල අහිංසක බලාපොරොත්තුවක් ඇතිව ඉන්නවා.විනාඩි 45 ඉවසගෙන ඉන්නවා  බැරිම උනොත් හිටගෙන හරි ඇස් පියාන ඉන්නව.ඒ අතරේ උකුසු ඇහැක් දාල බලනවා ලඟින් බහින්නේ කවුද කියල.සමහර දවස් වලට නම් හෙනම අපලයි.මම ළඟ ඉන්න හැමෝම ඉඳගනිද්දී මට විතරක් හිටන් යන්න වෙනවා.ඒ වගේ වෙලාවට ළඟ ඉන්නේ කවුද එයා බහිනකන්ම එහා දිහා කන්න වගේ බලාගෙන ඉන්නව.සමහර අය යන්න වගේ බෑග් එක හරිගස්සනවා හුරේ බහින්න තමයි මාත් පොඩි හිනාවක් දාල ලක ලෑසති වෙලා ඉඳගන්න හදනවා හැබැයි එහෙම කෙනෙක් කොටුවට යනකන්ම බහින්නේ නෑ ආයෙත් ඉතින් ෂීට් එකක් ලැබෙනකන් හිතින් හැමෝටම මෙත් වඩනවා..ලඟපාත නංගි කෙනෙක් අය්ය කෙනෙක්  වගේ හිටියොත් නම් ශීට් එක බේර ගන්න පුළුවන් හැබැයි එකපාරටම හෙනයක් වගේ පාත්වෙන ඇන්ටිලා ගෙන් බේරගන්න හෙනම මානුෂීය මෙහෙයුමක් දියත් කරන්න වෙනවා.ශීට් පොලු තදම තද කරල තදින් අල්ලගෙන මුරකාවල් ලාගෙන ශීට් එක රැකබලාගන්න හැටි දන්නේ මම විතරයි.බස් එකේ නිදන්නේ විනාඩි පහද මටනම් එකත් සැපක්. දැන් අහන්නෙපා ලග්නෙ කුම්බද කියල නෑ කුම්බ නෙවෙයි වෙන මොකක්ද එකක් :D 

හා දැන් ශීට් එකකුත් හම්බුනා කියමුකෝ සමහර දවසට ඒ වැඩකුත් නෑ .සමහර  දවස් වලට ඉඳගන්න බස් එකේ ලොකු සීට් නෑ එහෙම දවස්වලට නිදාගනිද්දී බෙල්ල එහෙටයි මෙහෙටයි කඩන් වැටෙන විදිහ දැකල බස් එකේ මිනිස්සු ශූ ගාල ඔලුවේ අතගහගන්නවා :D ඒකත් ගානක් නෑ කියමුකෝ.සමහර දවස් වලට කොන්ද ඉතිරිසල්ලි දෙන්නැතිව පස්සේ දෙන්නම්කියල මාරුවෙනවා.ඉතින් එතන ඉඳන් ඉතිරිසල්ලි ගන්නකන්ම හීනෙන් පෙන්නේ කොන්දව.එක හරියට හීනෙන් හොරපොලිස් සෙල්ලම කරනවා වගේ බස් එකේ එහාටයි මෙහාටයි කොන්ද දුවනවා මම බස් ට්කට එකක් අරන් කොන්ද පස්සේ දුවනවා  : /


මේ මොකුත්ම නැත්නම්  හොඳට හීනයක් බලල ඉවරවෙන්න ඔන්න මෙන්න කලින් කොහේදෝ ඉන්න කුරිරු මගියෙක් ඇවිත් තට්ටු  කරලා ඇහැරවනවා මේ වගේ අපරාධ කරන එක හරිද මම කියන්නේ මේවා ඇපයේ යන වැඩ ඕ යේස්....මම වගේ ළමයෙක්ගේ නින්දක් කඩනවා කියන්නේ  හරි පව් සිද්ධ වෙන වැඩ. :/


මම ඉල්ලන්නේ එකම එක ඉල්ලීමයි ඔය 138 බස් එකක යද්දී කෙට්ටු උස ගෑනු ලමයෙක්' තද නින්දක වැටිලා හොඳ හීනයක් දැක දැක යනව දකිනවනම්  අනිවා ඒ මම.. අනේ ලොකු උදව්වක් මේ ප්‍රසිද්ධියේ කියන්නෙ  ඇහැරවන්න නම් එපා.මොකද හරියටම වෙලාවට මට ඇහැරෙනවා .හැබැයි වැඩිය බලන්නෙපා ඔය කියන ගෑනු ළමය දිහා ...කට ඇරගෙන  කෙලපෙර පෙර ගොරව ගොරව  යන විදිහ දැකල දැනටමත්  මා ගාව හිටිය කීදෙනෙක් නම් සසර කලකිරිලා ගිහිගෙය අත හැරියද කියල දන්නෙ දෙවියෝ තමා. :/


මේ හංසිට නිදාගෙන ඇහැරෙනකන්ම  කිසි අවුලක් නෑ හිතේ හැටියට නිදි හැබැයි සමහර දවස් තියනවා ඉතින් පොඩ්ඩක් විතර ලැජ්ජා හිතුනම බෙල්ල කඩාගෙන ජනේලෙන් එලිය බලගෙන මම මම නෙවේ වගේ ඉන්න දවස්...හැබැයි ඉතින් කවුරු දැක්කත් කවුරු ළඟ වාඩි උනත්  කොටින්ම  ලස්සනම ලස්සන අය්යකෙනෙක් ළඟ වාඩි උනත් මට නිදිමතනම් ඔය කිසිදෙයක් බලන්නේ නෑ.හැබැයි එකම එක දෙයක් ..හදිසියේ හරි හංසි  ගාවින් චෙක් ෂර්ට් එකක් ඇඳගත්ත කෙනෙක්  වාඩි උනොත් එදාට 
හංසි  නිදාගන්නේ නෑලු  නින්ද යන්නෙත් නෑලු ...හදිසියේ හරි හංසි නිදාගෙන ඉඳල නැගිටිද්දී ළඟ හිටියේ චෙක් ෂර්ට්  එකක් ඇඳගත්ත අය්ය කියල දැනගත්තොත් අන්න එදාට නම් හංසි නිදාගත්ත විදිහ ගැන ගොඩාරියක් පසුතැවිලි වෙනවලු.
 :./

මේ කොච්චර නිදාගත්තත්  හංසි සිහියෙන් ඉන්නේ. ඒ නිසා කරදර වෙන්නෙ නෑ.නිදාගත්තත් විමසිල්ලෙන්  ඔන්න  :)