Tuesday, December 1, 2020

නිදහසේ පියාඹන කුරුල්ලෙක්

 එදා මුළු දවසම කොලඹ ඇවිදල හෙම්බත් වෙලා හිටියෙ.  ඊලඟ කෝච්චියට පැය බාගයක් වෙලාව තියන බව දැනගෙන මම ස්ටේශම ගාව තියන කෑම කඩේකට ගියේ බඩගින්න වැඩිකමට. පහුගිය දවසක පදික වේදිකාව ගැට්ටෙ අතුල්ලල පාන් කපන පිහියක් මුවහත් කරනව දැක්ක නිසාම  කිසිම කෑමක් කන්න ප්‍රියක් තිබ්බෙ නෑ. ඒනිසාම සිසිල් බීම බෝතලයක් අරගෙන මම වාඩිවෙන්න තැනක් බැලුව.වටේටම සෙනඟ පිරිල. වේටර් කොලුවට මෙලෝ සිහියක් නැහැ එහෙට මෙහෙට දුවල.

"මිස් වාඩිවෙන්න තැනක් ද  හොයන්නෙ ? අන්න අතන ඉඩ තියනව " වටපිට බලන සුනංගුවෙන්ම මට අවන්හල කෙලවරේම තියන පුටුවකට අත දික්කරා. පුටු දෙකක් තියන මේසෙක එක පුටුවක් හිස්.හැම පැත්තෙන්ම වට කරගත්ත මිනිස්සුයි මැස්සොයි පීර පීර මං පුටුව ගාවට දිව්ව.

එයා ඇණවුම් කරල තිබ්බෙ බිත්තර ආප්ප කීපයකුයි උලුඳු වඩේ දෙකකුයි.එක උලුඳු වඩේ බාගයක් දියාරු සම්බෝල පීරිසිය මැද්දක ගිලිල. තේක වටේටම මැස්සන්ගෙ  කලබල සාකච්චාවක්. උන් තේ පොඩ්ඩ පොඩ්ඩ රහ බලන ගමන්  කලබලෙන්  වටේම කැරකෙනවා. මං ඇණවුම් කරපු  සිසිල් බීම එක උරන  ගමන් කුතුහලෙන් එය දිහා බලන් හිටිය. මං වගේම කෙට්ටු උස කොල්ලෙක්.කොණ්ඩෙ  නම් ඉතින් ගන්න දෙයක් නෑ වටේටම සුදු කෙස් පිරිලා. නිකට ගාවෙනුත් පොඩි රැවුල් කොටයක් රැඳිලා. ඒකෙත් වටේටම සුදු කෙස්  සේනාවක් ආක්‍රමණය කරල. කෙට්ටු මූණ පිරෙන්න රැවුලත් නරකම නෑ.කොල්ලෙක් කිව්වට තරුණ කොල්ලෙක්ම නෙවේ වයස 35 වගේ ඇති ඕනෙනම්.

 දැන්  විනාඩි කීපයක  ඉඳන් මම එයා ඉන්න මේසේ වාඩි වෙලා ඉන්නව කියලවත් ගානක් නෑ.මම කුතුහලෙටම බීම බොන එක නවත්තල එයා දිහා බලන් හිටිය.
ඔලුව බිමට හරවගෙන මොකක්දෝ එකක් කුරුටු ගානව. ඇස් බෝල සැරින් සැරේ බිම දිහාට යොමුවෙල ආයෙම සුදු කඩදාසිය  අතර දිවෙනව මම හිමින් සීරුවෙ බෙල්ල ඇලකරලා බිම දිහා බැලුව. බිම හිටියෙ තොරතෝංචියක් නැතිව අත පය ලෙව කකා ඉන්න  මඩ පාට පූස්  නාම්බෙක්. මේ මනුස්සය මේ ජරා පූසව  අඳිනවා වත්ද?

පුටුවට හේත්තුවෙලා දකුණතින්  කඩදාසි කොලේ කුරුටු ගාන ගමන්  වමතින් අර සම්බෝලෙ මැද ගිලිල තිබ්බ උළුඳු වඩේ බාගෙ කටින් කඩාගත්තා. එකෙන් කෑල්ලක් පූස දිහාට විසික්කරලා සම්බෝල රැඳිච්ච ඇඟිලි තුඩු සූප්පු කරලා ආයෙම කුරුටු ගාන්න පටන් ගත්ත.විනාඩි කීපයක් වත් ගියේ නැහැ එයා කුරුටු ගෑම නැවැත්තුව. කඩදාසිය මේසෙ උඩින් තිබ්බ.මම බෙල්ල දික්කරල එයාට නොදැනෙන්න කඩදාසියට එබිකම් කළා.මම හිතුව හරියටම හරි නෑ.මම හිතුවේ කඩදාසිය පුරාම කළු තීන්ත පාරවල් වලින් මතුවෙච්ච කළු සුදු පූසෙක්.ඒත් එතන තිබ්බේ කාටුන් චිත්‍රයක්.  කලබල අවන්හලක්.මිනිස්සු තේ බොන, සාකච්චා කරන කලබල අවන්හලේ එක මේස කකුලක චූටියට අර පූසා කකුලක් ලෙවකන කාටූන් චිත්‍රයක්.  

චිත්‍ර ශිල්පියෙක් නෑ කාටුන් චිත්‍ර ශිල්පියෙක්  මට හිතුන.

එයා එක පාරටම මා දිහා බැලුව.ඒ බැල්මෙන්  මං  තිගැස්සුන. ඒ වෙනකොටත් මම හිටියෙ බීම  බටේ හපාගෙන එයාගේ  චිත්‍ර දිහා බල බල. පොඩි ලැජ්ජාවකුත් එක්ක මම අමාරුවෙන් හිනාවෙන්න හදද්දි  එයා දත් නොපෙන්වෙන හිනාවකින් මා දිහා බලල තේ කෝප්පය අතට ගත්ත. තේ කෝප්පෙ උඩ  සාකච්චා පවත්වපු  මැස්සෝ ටික සී සී කඩ විසිරිලා ආයෙම බිත්තර ආප්පෙ උඩට එකතු උනා.
 ලස්සනයි ..... මම හෙමින් කිව්ව.

එයා  ආයෙමත් අර දත් පෙන්නන්නැති  හිනාව දැම්ම.

ෂ් ..ෂ් .. මල්ලි .......,අතටත් වඩා ලොකු එල්ලෙන ඔරලෝසුව හරවල  බලන ගමන් එයා වේටර් කොලුවට කතා කලා. මල්ලි මේකෙ  ගාන කියද ? මට මේ බිත්තර ආප්ප දෙක ඔතල දෙනවද ?

"ආ  නිතේෂ් අය්යා  ෂරි  ෂරි .. අහ්හ් අද  මොකක්ද ඇන්දේ?"  

ඉතිරි වුන කෑම පිඟන් එකතු කරන ගමන්  වේටර් කොලුව චිත්‍රෙ   දිහාට එබිලා ඇස් පුංචි කරන් චිත්‍රෙ දිහා බැලුව...

 අඩේ අප්පා  මේ අපේ කඩේ නේද  ...ලෂ්ෂනයි  ලෂ්ෂනයි.. මේවා නෙවේ නිතේෂ්  අය්ය... අය්ය කවද්ද මාව ඇඳල දෙන්නෙ ඉතින් ? " කොල්ල චිත්‍රෙ දිහා බලල මේසෙ  තිබ්බ පිඟාන අතට ගන්න ගමන් ..... " මේ කඩේ  ඇන්දෙ මේ ඉස්සරහම ඉන්න ලෂ්ෂනය  මිස්ව අන්දනම් මොකද වෙන්නෙ. නැද්ද මිස්  කියල එයාගෙ පිටට තට්ටුවක් දැම්ම .....

 මම ලාවට වගේ හිනාවෙලා  ආයෙම  බිම බලාගෙන බීම බොනවා වගේ බීම බටේ හපන්න ගත්ත.

"මිස් දන්නවද මේ කවුද කියල "..... (නෑනේ  මටත් දැනගන්න ඕන වෙලා තිබ්බෙ ) මම  දන්නේ නැහැ කියන්න වගේ  හොරැහින්  එයා දිහා බැලුව.එයා හිනා වෙවී තේ  බොන ගමන්  චිත්‍රෙ  ආයෙම කුරුටුගාන්න ගත්ත.

"නිතේෂ් අය්ය තමයි අර රිවිකිරන පත්තරේට කාටුන්  අඳින්නෙ."

 අහ්හ් කාටුනිස්ට් කෙනෙක්....  මට එකපාරටම කියවුනා(මං හිතුව හරි එහෙනම්. හිත ඇතුලෙන් කොළ එළියක් පත්තු කලා )
 
"ඔව් ඔව් මේම හිටියට හරි  ප්‍රසිද්ධ කෙනෙක්  හරි ලශ්ශනට තමා අඳිනව"...   එයා  මොකුත් කිව්වේ නැහැ  ඇහුන නෑහුන වගේ  ලාවට හිනා වේවි  තේ බොන ගමන්  කකුල වටේ එතෙන පූස දිහා  බල බල හිටිය
.
අය්ය  තව මොනවා හරි ඕනද  මම බිලයි කෑම එකයි  කැෂියර් එකට දෙන්නද?

හරි මල්ලි  මම එන්නම් ...   මෙච්චර වෙලා නිහඬව හිටිය එයා කතා කලේ  එතකොට. කලබලෙන් වගේ  එක හුස්මට තේක  ඉවර කරපු එයා  කුරුටු ගෑව පොතත් අකුලලා සයිඩ් බෑග් එකේ පැත්තක දාගෙන ආයෙම අර දත් පෙන්නන්නෙ නැති හිනාව මට පෙන්නල නැගිටලා යන්න ගියා ..

-----------------------------------------------------------------
ඒ  සිකුරාදා දවසක්   කලින් දේශන ... ඉවර උන නිසා  මම කෝච්චියෙ නැතිව  බස් එකේ ගෙදර යන්න හිතුව. බස් නැවතුමේ එකේ  කනුවකට  හේත්තු වෙලා  ජංගම දුරකතනයකින් වටේටම ෆොටෝ ගහන  උස කෙට්ටු  කොල්ලෙක්  මම ඈත තියාම දැක්ක.කෝකටත් කියල මම  ලඟට යන්නේ  නැතිව ටිකක් ඈතින්  හිටගත්ත.අඳුරගන්න  වැඩිවෙලා ගියේ නැහැ .පහුගිය සති කිහිපය පුරාම  මුහුණු පොතේ  විස්තර හොයල  දැන  අඳුන ගත්තට පස්සෙ  ආයෙමත් හැබැහින් දැක්කෙ අද.ඒකත්  අහම්බෙන්. නිතේෂ්  ..ද  කටුනිස්ට් .. මම කියන්නේ එහෙම.එයා මම ජිවිතේ දැකපු ,ජිවිතේ මේ තාක් කාලයක් අඳුරගත්ත චරිත වලින්  වෙනස්ම චරිතයක් ඉගෙනීම විභාග රැකියාව දරුමල්ලෝ පසුපස්සේ එක රෝත්තේ දුවන අපි හැමෝම අතරේ තෙරපෙන්නෙ නැතිව පැත්තක නතර වෙලා ජිවිතේ හරිම සරල විදිහට අපූරු චරිතයක්. මම හෙමින් එයාගේ ජංගම දුරකථනය එල්ල වෙලා තියන දිහාව බැලුව. විදුලි පහන් කණුවක් උඩ දෙපැත්තකට වෙලා ඉන්න කපුටෝ දෙන්නෙක්   මට එකපාරටම හිනා ගියා. තව විනාඩි දහයක් ඇතුලත ඔය ෆොටෝව එයාගෙ ඉන්ස්ට එකේ එල්ලනවා කියල මම දන්නවා පාරේ කොනේ කම්මැලිකමේ බුදියගෙන ඉන්න බල්ලෙක්, හිඟන්නෙක්, බස් හෝල්ට් එකක්, තේ වැක්කෙරෙන තේ කෝප්පයක්  ,උද්ඝෝෂණයක් ...මේකයි කියල සීමාවක් නැහැ අවට දකින හැම අහුමුලු සිද්ධියක්ම එයාගේ ජංගම දුරකතනයේ කැමරාවට අහුවෙලා.සමහර පින්තූර ලොකු කතාවක් කියනවා.සමහර දේවල් හැමදාම දැක්කත් අපි  සත පහකට මායිම් නොකරපුව හැම ෆොටෝවකම අපි  හොයන්න යන වෙනස ආර්ට් එක නෙවේ එතන තියෙන්නෙ. උදේ හවා දැක්කත් හිතයි ඇහැයි නතර වෙලා බලන්න වෙලාවක් නොතිබුන ගොඩක් තැන්වල එයාගේ ඇහැ නතර වෙලා.අපි හති  දමාගෙන එක රෝත්තකට දුවද්දී   එයා නතර වෙලා. ඒ හැම ෆොටෝවක් දකිද්දීම මට හිතුනේ එහෙම ......
පහන් කනුව උඩ හිටිය හිටිය කපුටෙක් එකපාරටම ඉගිලිලා ගියා. මම එයා දිහා බැලුව. ඒ වෙනකොටත් එයා ෆොටෝ අරන් ඉවරවෙලා ජංගම දුරකතනයට මූණ  ඔබාගෙන මම ලඟට යද්දීම එයා ඉබේටම වගේ මා දිහා බැලුව .

"නිතේෂ් නේද .... මතකද මාව ... .ම්ම්ම්  අර එෆ් බී ..." 

එයාට එකපාරටම මාව අඳුරගන්න බැරිඋනා  " අහ්හ්  ආ .. හරි  හරි මතක් උනා..කොහොමද කොහෙද මෙහෙ ..අද ලෙක්චර්ස් නැද්ද  "

"ලෙක්චර්ස් කලින් ඉවර උනා මේ ගෙදර යන ගමන් ...ඔයා ?? අද කොහෙද යන්නෙ .. හැමදාම වගේ ලංකාව වටේ ගිහින් ෆොටෝ ගහනවද ? 

"හා හා  නැහැ මං  මේ  මහවැලි සෙන්ටර් එකට යන්න "

"අහ්හ් ඒ ඇයි  බුක් ලෝන්ච් එකක් ? "

"ඔව් .. හැබැයි ඔයා බලන කවිපොතක්,  නවල් එකක් නෙවේ ඔයා අකමැති සබ්ජෙක්ට් එකක්   " එයා නක්කලේට වගේ හිනා උනා 

"ෂුවර් එකටම දේශපාලන කතා සම්බන්ද එකක්ද..අපෝ  එහෙනම් එපා   "

ආයෙමත්  හය්යෙන් හිනා උනා "හා හා .. ඔව් ... ටිකක් ඒ වගේ පොතක් තමා. හැමදාම සිහින ලෝක වල ඉඳන් නවකතාම කියවන්න එපා ..වෙනසකටත් එක්ක  මේ පොතුත් කියවන්න  " 

මං  මූණ ඇදකරගත්ත 

"හ්ම්ම් .. බලමු බලමු ..කවුද රයිටර් "

"අද හවස වැඩක් නැත්නම් එන්න... රයිටර්  ඔයා දන්නා කෙනෙක්. කියනවට වඩා ඇවිත්ම බලන්න.... " 

හිතේ පොඩි අකමැත්තක්  තිබ්බත් වෙනසකටත් එක්ක ගිහින් බලන්න මට උවමනා උනා.පොතටත් වැඩිය මට උවමනා උනේ  එයාගේ අදහස් දැනගන්න කතා කරන්න.138 බස් එකේ ගිහින් අපි කොළඹ මහජන පුස්තකාලේ ගාවින් බැස්සා......එයා ටිකක් නිශ්ශබ්ද චරිතයක් ඒත්  මම කතාවට අල්ල ගත්ත.
"ඔයා වැඩට යන්නේ නැද්ද ? මෙහෙම ගියාම කාටුන් අඳින්නෙ කොයි වෙලාවටද ? "
"අද හාෆ් ඩේ .. අඳින්න වැඩි වෙලාවක් යන්නේ නැහැ ..හිතන්න තමයි වෙලාවක් යන්නෙ "

"හිතන්න ඔච්චර වෙලාවක් යනව ?? "

"ඔව්  ඇයි ?"

"නෑ  ... නිකං .. මට එහෙම වෙලාවක් යන්නේ නැහැනෙ. අනෙක හිතෙන එක සාමාන්‍ය දෙයක්නෙ.ඉක්මන් හිතුන ක්‍රියාත්මක කළා එච්චරයි "

 "ඔයාට ප්‍රශ්නයක් ආවම කල්පනා කරන්නේ නැද්ද ....""එතකොට නම් ඉතිං ..පැය  ගණන් කල්පනා කරනව. එත් ඉතිං ප්‍රශ්න කියල හැමදාමත් නැහැනෙ"

"හ්ම්ම් ..ඔව් ..ඒ මොකද ඔයාට තියෙන්නෙ  ඔයාගේ ප්‍රශ්නේ විතරනෙ ඔයා ඔයාගේ ප්‍රශ්නේ එක්ක හැප්පෙනව විසඳුමක්  ගන්නවා  සෑහීමකට පත්වෙනවා  ආයෙම නිහඬ වෙනව"

" අපි හිතන්න ඕන ..ඔයාගේ ප්‍රශ්න,  අනෙක් මනුස්සයාගේ ප්‍රශ්න,  රටේ හැමකෙනාගෙම ප්‍රශ්න, ලංකාවෙ අහුමුල්ලක් නෑර වෙන හැම දෙයක්ම. හැමෝම බැටකන පොදු ප්‍රශ්නයක්  අරගෙන  ඊලඟට  හිතන්න ඕන ඒක කොහොමද  මිනිස්සුන්ට දැනෙන්න අඳින්නෙ කියල.කාටුන් චිත්‍ර කියන්නෙ තවත්  එක ප්‍රකාශන මාධ්‍යක්.ඔයා අහල තියනවද "A picture is worth a thousand words" කියල. සමහර විට වචන දාහකින් කියන්න හදන දෙයක්  එක තනි  චිත්‍රෙකින් කියන්න පුළුවන්.ඉතිං හිතන්න ඕන ...දකින්න ඕන ..විඳින්න ඕන.... ඒක රේස් එකක් දුවනකොට බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ දිහා බලන් ඉන්නවා වගේ මිනිස්සු දිහා බලල බැහැ ..තේරුනාද "

"ඔව් ඇත්තමයි .... හ්ම්ම්  මම ඔයාගැන හිතුව හරි " 

"මොනාද ?"

"නැහැ මොකුත් නැහැ..."

පොත්  එළිදැක්වීමට  පැයකට කලින් ගිය නිසා  කතා කරන්න ගොඩක් වෙලා ඉතිරි වෙලා තිබ්බ.අපි විහාරමහාදේවි උද්‍යාන කෙලවරේ තියන බංකුවක ඉඳගත්ත.කතාව අතරතුර එයා දුම්වැටියක් බොන්න මගෙන් අවසර ඉල්ලුවා එයා මගෙනුත් එක එක ප්‍රශ්න ඇහුව. වැඩියෙන්ම ඇහුවේ මම.මහ දාර්ශනික උත්තර නෙවේ එයා දුන්නෙ  එයාට දැනෙන අව්‍යාජ සිතිවිලි  ජිවිතේ ගැන හැමදෙයක්ම එයාට හිතෙන හැටියට එයා කියල දැම්ම.එයා ගොඩක් දුරට ඉගෙන ගෙන නැති උනත් ජිවිතේ අත්දැකීම්  එක්ක බොහොම විමසිල්ලෙන් හිතෙන පරිණත පුද්ගලයෙක් බවට පත් කරල .එයාගෙ ඇඳුම පවා සාමාන්‍යයි.
හෙට යාපනේ යනවලු ..අතුරුදහන් වෙච්ච මිනිස්සු වෙනුවෙන් තියන සාමකාමී රැළියකට ආයෙම සති අන්තෙ නුවර එළියේ යනවලු  වතු කම්කරුවන්ගේ ප්‍රශ්න තියන රැස්වීමකට.හැමදාම එකම තැනකටකොටුවෙච්ච ජිවිතයක් නෙවේ.සැරිසරන්නෙක්.ඒ ජිවිතේ මොකක්දෝ නිදහස් බවක් මම දැක්කා.වැටකඩොලු නැති සිමා බිඳගත්ත නිදහස් බවක්.

එයාගේ අතේ තියන දුම්වැටියට මගේ ඇස් ඉබේටම යොමුඋනා. දුම් වළලු  එක එක හැඩ අරගෙන පාවෙලා ගිහින් අතුරදන් වෙනවා තදින් අල්ල ගත්ත දුම් වැටිය නිවී නිවී දැල්වේවී  පිච්චිලා යනව.කොයිම හෝ මොහොතක අර තදින් අල්ල ගත්ත ග්‍රහණයෙන් මිදෙනවා එතනින් එහාට තවත් පිච්චෙන්න දෙයක් නැහැ දුම්වැටිය පොලවේ සාමදානයෙන් සැතපෙනවා ඇරෙන්න..

"මොකද ඔය කල්පනා කරන්නේ ... මම කියෙව්වා නේද ගොඩක් ..වෙලාව හරි අපි දැන් යමු ..ඔයාට ගොඩක් දේවල් අහන්න ඉගෙනගන්න පුළුවන් වේවි.. "

එයා දුම්වැටියෙ අන්තිම කොටස බිමදාල සපත්තුවෙන් පෑගුව ආයෙමත් ඒක අතට ගත්ත.යන ගමන් ඒක පාරේ කුණු කූඩෙකට  විසික් කලා. මහවැලි කේන්ද්‍රය වටේ පාරේ එල්ලලා තියන චිත්‍ර ගැන කතා කර කර වෙනමම සංවාදයකට ඇහුම්කන්දෙන්න  අපි ගේට්ටුවෙන් ඇතුලට පය තිබ්බ ....



 


Friday, May 29, 2020

පාඩම් කිරීමේ කලාව සහ Mind Mapping

මේ දවස් වල හරියට නින්ද යන්නෙත් නෑනෙ. රෑ 11 විතර නිදාගන්න ගිහින් ඔහේ කල්පනා කර කර ඉන්න ගමන් මං හිතුව ඊළඟට ලියන්නෙ මොකක්ද කියල. තියන කම්මැලි කමට බාගෙට ඉවර කරපු කතා දෙකක් සම්පූර්ණ  කරලා දානවද  කියල හිතල අන්තිමට හිතුව නෑ මම වෙනස් දෙයක් ලියන්න ඕනෙ කියල. එහෙම හිතල තමා මේක ලියන්න ගත්තෙ.

අද ලියන්න යන්නෙ මයින්ඩ් මැප්  ' Mind Map' ගැන. එච්චරද ? ... නෑ ... ඊට  කලින් තව දේවල් ගොඩක් ලියන්න තියනව.



චූටි කාලෙ මට ලොකු උවමනාවක් තිබ්බ පාඩම් කරලා විභාග පාස් වෙලා කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න. අර නිල්පාට ටයි එක තියන ප්‍රසිද්ධ බාලිකා පාසල තමා මගේ හීනෙ තිබ්බෙ  :) :) ඒකට එක එක හේතූ ගොඩක්ම බලපෑව. ඒ කාලෙ ඒ කියන්නෙ  8,9,10 වගේ වසර වල ඉඳලම  'මනස' ගැන තියන පොත් කියෙව්ව. පහල  තියෙන්නෙ තාමත් මං ගාව තියන ඒ වගේ පොතක්.



ඇත්තටම මේවා කියවල  මට ඕන උනා පාඩම් කරන එක ලේසි කරගන්න. මතක තියාගන්න එක වැඩි කරගන්න. සමහර පොත් වල තිබ්බ ක්‍රම අත්හදා බැලුවත් එක්ක.

චූටි  කාලේ ඉඳන් ආපස්සට මතක් කරගෙන කරගෙන අවොත් විභාගෙට ලියන්න  පාඩම් මතක තියාගත්තෙ  හය්යෙන් කෑ ගහල පාඩම් පොත කියවල. ඒ කාලේ හොඳ උනන්දු ළමය නිසා මම අන්තිම මොහොත නෙවේ පාඩම් කලේ, ටිකක් කලින් ඉඳලම පාඩම් කලා. පාඩම් හය්යෙන් කෑ ගහල දෙපාර තුන්පාර කියවන්න ගත්ත. එක පාඩමක් කියවල අනෙක් පාඩමට යන්නෙ කලින් පාඩම හිතින් මතක් කරලා ඔලුවේ තියනව කියල තහවුරු උනාම.

එහෙම පාඩම් කරපු එකේ වාසිය උනේ සමහර වාක්‍ය ඇත්තටම එහෙම් පිටින්ම ඒ විදියටම කට පාඩම් උනා. විභාගෙදි ඒ නිසා අමාරු උනේ  නෑ .ඔහොම කටපාඩමින් පාඩම් කරන ගමන් ම මම තව වැඩ කලා. Short note  හැදුව.ඇත්තටම ඒ කාලෙ මගේ Short note කියල කිව්වෙ මුළු පාඩමේම වැදගත් වාක්‍ය ඒ විදියටම කුරුමිණි අකුරින් A4 Sheet එකක ලියපු එක.ඊට අමතරව සමහර වැදගත් අමතක වෙන මාතෘකා කොලවල ලියල බිත්‍තියේ පේන තැන්වල එල්ලුව. ඔහොම පාඩම් කරන ගමන් මට  ඕනෙ උනා තව ලේසි ක්‍රම හොයාගන්න.

සාමාන්‍ය පෙළ ලං වෙද්දි මම ඉස්සර වගේම කට පාඩම් කරන ක්‍රමය කලත්.මම අලුත් දේවල් ටිකක් අත්හදා බැලුව. එකක් තමයි ගුරුවරය හිතන විදිය කොහොමද කියල හිතන්න ගත්ත. ඒ කීවෙ මෙහෙමයි, හිතන්නකෝ පාඩම 'ප්‍රභාසංස්ලේෂණය' කියල එහෙමනම් මම ගුරුවරයනම් ළමයින්ට මේකෙන් ප්‍රශ්න දෙද්දී කොහොමද?  ලේසි ප්‍රශ්නත් දෙනවා අමාරු ප්‍රශ්නත් දෙනවා. කොහොමද මම ළමයින්ට මේකෙන් අමාරු ප්‍රශ්නයක් දෙන්නෙ?  ගුරුවරු හිතන්නේ ඔහොම වෙන්නැතිනෙ. එහෙම හිතල මම පාඩමට දෙන්න පුළුවන් ප්‍රශ්න ගැන හිතල පාඩම් කළා. ගුරුවරුන්ගෙ හැසිරීම, ප්‍රශ්න පත්‍ර රටාව තේරුම් ගත්තම ඇත්තටම ලියන්න ලේසී.ඇත්තටම ඒ ක්‍රමෙන් වාසිය උනේ  මට හොඳට මතකයි සාමාන්‍ය පෙළ විභාගය සිංහල ප්‍රශ්න පත්‍රයට කලින් මම යාලුවෝ ලඟට ගිහින් කිව්ව මේ කවි මෙහෙම ලියන්න ඒවි කියල. කිව්ව වගේම  විභාගෙ ඒ ප්‍රශ්න තිබ්බ :D ඔහොම සාමාන්‍යපෙළ ගොඩ දාගෙන උසස් පෙළ ට යද්දි පාඩම් කරන විදිය ආයෙ වෙනස් උනා.

කියන්න අමතක උනානෙ පාඩම් කරලා විභාග පාස් වෙලා අර මම ආස නිල් පාට ටයි දාන කොළඹ ඉස්කෝලෙට තේරුණා <3 :)

උසස් පෙළ කරද්දි ලේසි නෑ පාඩම් ගොඩයි.විස්තර ගොඩයි. ජීව විද්‍යාව එහෙම පාඩම් කරද්දි අනාථයි. ඒ කාලේ පාඩම් කලේ වෙනස්ම විදියට. ජීව විද්‍යාව නම් ගොඩක්ම කලේ රූප සටහන් ඇන්ද , ඒවා පාට කරලා බිත්තියෙ එල්ලුව. ජිව විවිධත්වය පාඩමේ රාජධානි ඔක්කොගේම නම් කරපු සත්තු අතින් ඇඳලා පාට කරලා බිත්තියේ එල්ලුව. විභාගෙ වෙලාවට ඒ සත්තුන්ව මතක් වෙන්නේ අර අපි පාට කරපු පාටත් එක්කමයි. :D ආයේ  අමතක වෙනවා බොරු.තව එකක් කියන්න අමතක උනා ඒ තමයි සමහර පාඩම් තියනව කතන්දර වගේ ඒවා ඇත්තටම පාඩම් කරන්න නෙවේ ඕනේ කතාන්දරය හිතේ මවාගන්න ඕනේ පිළිවෙලට. ඔය රජවරු ගැන තියන ඉතිහාස කතා බුද්ධ ධර්මයේ කතා වගේම ජීව විද්යාවේ පාඩමුත් එහෙම පිළිවෙලට පාඩම් කලාම ලේසි.උදාහරණයක් විදියට අහාර මාර්ග පද්ධතිය නම් පාඩම,  මුඛයෙන් පටන් අරන් පිළිවෙලට හැම අවයවයක් ගැනම පාඩම් කල හැකියි. ඒ වගේම ඒ කාලේ වැඩියෙන් රූප සටහන් ඇඳලා පාඩම් කළා. මට මතකයි white board එකේ ලියල මදි උනාම හුණු කැටයක් අරන් මැදපු සිමෙන්ති පොලවෙත් බිම දිගාවෙලා රූප සටහන් ඇන්ද.:D Chemistry වගේ නම් රසායන ප්‍රතික්‍රියා පාට පාටින්ම short note වල ලිව්ව.

Short note කිව්වම මතක් උනේ උසස් පෙළ කරද්දි  රසයන විද්‍යාව සර් කිව්ව දෙයක්. ළමයි අපි short note නෙවේ shorter  note ලියන්න ඕනෙ.කියල කිව්ව.ඕක ගැන මම හුඟක් කල්පනා කළා.පස්සෙ  අර මුළු පාඩමම කුරුමිණි කකුල් තරම් චුටියට A4 කොලවල ලියන එක අතැරලා  ඒ පාඩමේ අපි මතක තියාගන්න ඕනෙ වාක්‍ය කෑලි ,වචන, චිත්‍ර විතරක් කෙටිම කෙටි සටහන් වලට එකතු කලා. එතකොට ආයෙ කෙටිම කෙටි සටහන් බලද්දී කලේ ඒ  අර වැදගත් වාක්‍ය කෑලි බලල ඉතිරි කතාව මතෙකෙට ගත්ත එක. ආයෙම කලින් කිව්ව වගේ දෙන්න පුළුවන් අමාරුම ප්‍රශ්න මොනවද කියල හිතල ඒවා ලියල ඒවාටම  ආයේ උත්තර ලිව්ව.
ඔය කාලේ අර කෑ  ගහල කට පාඩම් කරන ළමය නිශ්ශබ්ද ළමයෙක් වෙලා හිටියෙ. ඇත්තම කිව්වොත් ජීව විද්‍යාවට තියන 'ලිංගික ප්‍රජනය' පාඩම් කෑ ගහල කියවන්න ශක්තියක් මේ දැරිවිට තිබ්බේ නෑ වගේම කට පාඩම් කරන්න ඕනෙ පාඩම් ප්‍රමාණයත් වැඩි නිසාම පාඩම් සමහර ඒවා හය්යෙන් කියවල අනෙක් ඒවා රූප සටහන් එක්ක කතාවක් ගොඩනගල කතාවක අනුපිලිවෙලට වගේ ගලායාමක් තියන විදියට හිතින් මවා ගත්ත.ඒ ක්‍රමය සාර්ථක උනා.ඒ වෙද්දි මට තේරුණ දෙයක් තමා කනට ඇහෙන්න නැවත නැවත කියවද්දී මතක හිටිනවා වගේම පින්තූර (අපිම ඇඳපු ) වලින් , ගලා යන විදියට ගොඩනගපු කතාවක් හදාගත්තාම ඒ පාඩම් මතක හිටිනව කියන එක.

ඔහොම පාඩම් කරලා උසස්පෙළ සමත්වෙලා ඊළඟට තිබ්බෙ උපාධියට පාඩම් කරන එක.ඒක කලේ වෙනස්ම විදියකට.ඔය කාලේ තමා මට phone එකක් හම්බුනෙ. මුල් දවස් වල උත්සහ කළා පාඩම මමම කියවල රෙකෝඩ් කරලා ඒක බස් එකේ යද්දි වගේ මටම අහන්න සලස්වන්න. ඒත් ඒක වැඩියම සාර්ථක උනේ නෑ. හැබැයි අර chemistry සර් කිව්ව shorter note වැඩේ එක්ක මම ටිකක් ආයෙම පාඩම් කෙටිම  කෙටියෙන් කරන විදි හිතන්න ගත්ත.ඒකට හේතු ගොඩක් තිබ්බ එකක් තමයි කලින් වගේ සිංහලෙන් නෙවේ දැන් පාඩම් කරන්න තියෙන්නෙ කඩ්ඩෙන්, ඒකත් නොදන්න වචන එක්ක ලේසි නෑ. පාඩම් පොත් කියල හම්බෙන එකකුත් නෑ අහුල ගත්ත PDF එකක් PowerPoint එකක් අරන් පාඩම් කරන්න ඕනේ.  ඕකත් එක්ක තමා මට හම්බුනේ අලුත්ම විදියක්, ඒ තමා mind mapping ක්‍රමය. :) හිතන්නකො පාඩම් කරනන් තියෙන්නෙ ඉතාම කෙටි කාලයයි  වගේ නම් මේ ක්‍රමය තමා සාර්ථකම සහ ලේසිම. මේ ක්‍රමයත් මම හිතන්නේ මම කොහෙන්හරි පොතකින්ම කියවල සෙට් කරගත්ත එකක්.

Mind map ක්‍රමය මම අර පොඩි කාලේ ඉඳන් පාඩම් කරපු විදි වල සාරාංශයක් වගේ කියලත් කිව්වොත් හරි.ඒක මෙහෙමයි කරන්නේ. හිතන්නකෝ ඔයාල පාඩම් කරන්න තියන මාතෘකාව මුහුද.සුදු A4 කොලයක් අරගෙන ඒකෙ මැද කොලුවට මුහුද කියල ලියල රවුම් කරනව දැන් මුහුද සම්බන්ද මාතෘකා එක  දිගට  10 විතර තියනව කියල හිතන්නකෝ ඒ පාඩම් ඔක්කොම කොහොම හරි අර A4 කොලයට ගන්න ඕනේ. උදාහරණයක් විදියට ඊළඟ මාතෘකාව ලුණු නම් අර සුදු කොලේ මැද මුහුදේ ඉඳන් ඉරක් ඇඳලා ලුණු කියල මාතෘකාව දාල රවුම් කරනවා අයෙ හිතන්නකෝ අතුරු මාතෘකාවක් ශ්‍රී ලංකාවේ ලුණු ලේවා. එතකොට 'ලුණු' කියන තැන ඉඳන් ඒ මාතෘකාව පටන් ගන්නෙ. මෙහෙම මාතෘකා අතුරු මාතෘකා ඒවායේ වැදගත් වචන ඔය ඔක්කොම එකෙක්ට එකක් ගලපලා ලියාගෙන යනව. දිග වාක්‍ය අවම කරනවා. ඔරලොකු කටු කැරකෙන පිළිවෙලට වගේ  මුළු පාඩමේ ම මාතෘකා වැදගත් කරුණු ලියාගෙන යනව. පහල තියෙන දළ සටහනයි  මම හැදුව shoter note එකයි බලන්නකෝ.මුළු පාඩම් ඔක්කොම A4 කොළ 1,2 සීමා කරන්න පුළුවන් තඩි පොත් ඕනෙ නෑ  පාඩම්'කරද්දීත් අර shoter note එක ඇඳන් ගිය අනුපිලිවෙලටම   දකුණේ සිට වමට හරි වමේ සිට දකුණට හරි පාඩම් කරන යන්න.








වැඩ ගොඩක් වැඩි වෙලාවක ඉක්මනින් පාඩම් කරන්න මේ ක්‍රමය නියමයි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි අති සාර්ථකයි :D

සාරාංශයක් විදියට මේ ක්‍රමේ සහ පාඩම් කරන කෙටිම ක්‍රම ගැන හිතුවොත්.

-  අපි හැමදේම හැමවෙලේම ඇහුනොත් පෙනුනොත් කියෙව්වොත් අපිට මතක හිටිනව.රුපසටහන් මතක හිටින සම්භාවිතාවය වැඩියි

- කෙටි වන තරමට මතක හිටිනවා වැඩියි
- අතරින් පතර කරුණු මතක තියාගන්න අපහසුයි. ඒ නිසා  ගලායාමක් එකකට එකක් අතර සම්බන්ධයක් හදා ගත්තම  මතක තියාගන්න ලෙහෙසියි.

 පාඩම් කරන්නම නෙවේ එදිනෙදා ජිවිතේ අමතක වෙනවා වැඩිනම් මේ පොඩි පොඩි කරුණු වැදගත් වේවි. ඔයාට වැඩියෙන්ම අමතක වෙන කෙනෙක් නම් කරන්න ඕනේ පොඩි දෙවල් ටිකකුත් පල්ලෙහා කොටලා යන්නම්කො

 - හැමවෙලේම පාවිච්චි වෙන තැනක ලියාගන්න. (Phone memo , Google keep එක මගේ හිත ගත්ත එක, sticky notes , phone  reminder )

- හැමවෙලේම දේවල් වල ගැලපීමක් සම්බන්ධයක් හොයාගන්න. කවුරු හරි දෙයක් කියද්දි කතාවෙද්දී ඒ දේවල් කතාවක් වගේ හිතින් මවාගන්න. "මොනාද අප්පා ඔයාට මේ දැන් කිව්වා එක මතක නෑනෙ" වගේ බැනුම් අහන්න වෙන්නේ නෑ  :D

- නිතර නිතර පෙනෙන්න දකින්න සැලැස්වීම (උදාහරණයක් කිව්වොත් ගෙදර ගිහින් කරන්න ඕනේ වැඩක් තිබ්බොත්  මම කරන්නේ අමතක වෙන නිසා එක්කො phone reminder එකක් දා ගන්නව. ඔෆිස් එකේ යද්දි finger print එක තියන්න අමතක වෙන නිසා සදා සතියෙ දවස් වලට නොකඩවා මතක් වෙන්න remind දාල තියෙන්නෙ.යාලුවන්ගෙ උපන්දිනත් එහෙමයි.තව දෙයක් නම්  phone memo වල ලියල Lock screen එකට දාගන්නව. ඉතින් හැමවෙලේම දකිද්දි අමතක වෙන්නෙ නෑ  )

මං හිතනව මේ දේවල් වල පොඩි හරි වැදගත් දෙයක් මේක කියවන ඔයාලට තියේවි කියල.මට මගහැරුණ තව දේවල් තියනවනම් ඔයාලත් මා  එක්ක බෙදා  ගන්න. :)



Monday, May 25, 2020

'සිල්වත්' උපාසකය

දොහොත් මුදුන් ගෙන සුදු පිරුවට ඇඳ
සිල්වත පෙන්වයි මුහුණු  පොතේ
කන බොන විට දිත්  බත්පත අතගා
ධර්මය දිගහැර බෙදා දෙතේ
ඉඳ හිට ඔබ මොබ උකුසු ඇස් යවා
ඕපදුපයක් සොයා යැතේ
චීත්ත ඇඳගෙන සිල්වත්  උතුමෝ
කපුටෙකු  වැමරුව හැටි  කියතේ


Thursday, May 21, 2020

මම ආසම පාට


ඔයා ආස පාට මොකක්ද ?

වෙරළ දිගේ බර අඩි තියන ගමන් පිටිපස්සෙන් එන එයාගේ කටහඬ ඇහුන.

ම්ම්ම් ...

මම තව පියවරක් ඉස්සරහට යන්නේ නැතිව නැවතිලා දුඹුරු ක්‍රීම් මිශ්‍ර තෙත වැලි දිහා බලන් හිටිය.

ගුරු  පාට .. මට ඉබේටම කියවුනා.

මොකක්  ගුරු  පාට ??

ඔව් ..ගුරු පාට  අර දුඹුරු ක්‍රීම් මිශ්‍ර පාටක් තියෙන්නෙ  ..අන්න ඒක....
ඔයා දන්නවද අපි  පොඩි කාලෙ ඉඳන්ම මොන්ටිසෝරියේ ඉඳන්ම ගස් පාට කලේ මොන පාටද ? කොළ ...
ළමයි ... ගහේ කොළ මොන පාටද පාට කරන්න ඕනේ ..කොළ . ගහේ කඳ මොන පාටද පාට කරන්නෙ?  දුඹුරු ...තේරුනාද?    ඔන්න ඔහොමයි අපිට ටීචර්ලා සර්ල කිව්වෙ. මොන්ටිසෝරි අවුරුද්ද ඉවරවෙද්දි අතින් වත් ඇල්ලුවෙ නෑ කියල පෙනුන පාට කීයක් නම් පැස්ටල් පෙට්ටියෙ ඉතිරි වෙන්න ඇත්ද ? එහෙම ඉතිරි උන පාටක් තමයි ගුරු පාට පාටකූර. කවුරුත් කැමති නොවුනට  මම ඒ පාටට ආදරේ කලා. ඉස්සර ඉඳන්ම මට ඕන උනේ ගහක් ඇන්දම ගහ වටේට පාට පාට ගාන්න. කොළ, රතු, කහ, ලාකොළ, තැඹිලි,  දුඹුරු. කොච්චර ලස්සනද එහෙම සම්මිශ්‍රණයක්. මං හිතන්නේ මං මේපල් ගස් වලට ආදරෙත් ඒක නිසා වෙන්න ඕනේ.  මට දකින්න ඕන උනේ නෑ සම්ප්‍රදායික කොළ පාට ගහක්.

ඒත්  මම දැනගෙන හිටිය එහෙම  පාට පාට කොළවලට ටීච ලකුණු දෙන්න නෑ කියල.
උන් තැනම හිටගෙන මෙච්චර වෙලා මාපට ඇඟිල්ලෙන් ලොකු වරක් හාර හාර හිටිය මම ආයෙම ඉස්සරහට ඇවිදින්න ගත්ත.

ඒත් ගුරු  පාටම නෙවේ මම ආසම පාට.

එහෙනම් ...  එයාගේ කටහඬේ තිබ්බේ කුතුහලයක්.

මම ආයෙත් නැවතුන. ලොකු හුස්මක් අරන් හෙමින් පැද්දෙන  මුහුද දිහා බලන්  හිටිය.වෙරළට කිට්ටු වෙන්න මුහුදෙ තිබ්බේ ලස්සන ලාකොළ පාටක්. ඒ මුහුදු කොළ පාටට මට ආදරේ හිතුන.

ඔයා දන්නවද මම පොඩි කාලේ ඉඳන්ම ආස කලේ චොකලට් අයිස් ක්‍රීම් වලට. ඒත් අපේ තාත්ත හැමදාම ගෙදරට ගෙනාවේ ෆ්රුට් ඇන්ඩ් නට්. මම අකමැති උනත්, කන්න කැමති නෑ කියල ඉඟි කලත් මට කන්න උනේ ඒවා. ඒ තාත්ත ආස කෑම.. අදටත් මට කන්න වෙන්නෙ ලා කොළ පාට ෆ්රුට් ඇන්ඩ් නට්.

ඒ කියන්නෙ ඔයාට ලා කොළ පාට දැක්කම පේන්න බෑ එහෙමද ?

ලා කොළ පාටට ආස නෑ ඒත් ... මට අකමැති වෙන්න  බෑ ...

මම ආයෙත් බර  අඩි තියල ඇවිදින්න ගත්ත. හෝ හෝ  ගාපු මුහුදු  සද්දේ  කන්  ඇතුලින් ගිහින්  හිත ඇතුලින් ඇහෙන්න ගත්ත.

ඔයා හිතනවද රතු පාට කියන්නේ ආදරේ පාට කියල ? 

ඔව්... ඒක හැමෝම දන්නවා.. රතු රෝසමල් ..ආදරේ සංකේත ...

ඔව් .. ඒත් ..

ඇයි ඒත් ...

නැහැ .. මම ඒ රතු පාටට බයයි. විශේෂයෙන්ම කුණු ලේ පාටට. දවසක් අපේ අම්ම තුවාල වෙලා ඔලුවෙන් ලේ ගලද්දී ආපු රතු ලේ ගඳට මට ඉන්න බැරිඋනා.රතු පාට ඇහැ කඩාගෙන යනවා වගේමයි රතු ලේ... හරිම බය හිතෙනවා. පාස්කු ප්‍රහාරේදී පල්ලි වල ඉහිරිලා තිබ්බ ලේ ගංගාවල් වගේම යුද්දේ වල පයින්ට් දස දහස් ගණන් සොල්දාදුවන්ගේ ඇඟවල් වලින් බේරිලා මහපොළවට උරද්දි, ආදරේ පාට එච්චර බිහිසුණුද කියල මට හිතුන. නැහැ ආදරේ පාට රතු වෙන්න බැහැ.

ගිනි බෝලයක් වගේ රතු ඉර මුහුද ගිලගන්න ලං වෙද්දි මං  ඇවිදින එක නවත්තල ගලතලාවක හෙමින් ඉඳගත්ත. කකුල පුරාම  තෙත වැලි ඇලිල. මම නැවිල හෙමින් සීරුවෙ ඒවා පිහිදාන්න ගත්ත.

මට තාම  ඔයා ආස පාට කිව්වේ නෑ....

 හ්ම්ම් ..  මම ආයෙත් මුහුද දිහා බලන්න ගත්ත.

ඔයාට පේනවද මේ මුහුදෙ  නිල්  පාට. ලා නිල් පාටේ ඉඳන් තද නිල්  පාටට පාට වෙලා තියෙන හැටි. අපි හැමදාම කලේ මේ වගේ ඉවරයක් නැති මුහුදක පීනුව එක. අපේම නැවේ  අපි කපිතාන් ලා. අඳුර, එළිය, සැඩ පහර මැද එක එක අය අපේ නැවට නග්ග ගත්ත.සමහර අය අපටත් නොකියම බැහැල ගියා. අපි අලුත් නැව් ගත්ත. නැව කැඩුන, ගල් පර අස්සේ හැප්පුන, ඒත් තාමත් අපි අපේ නැව ගෙනියනවා. අපැහැදිලි සිතියමක ගමනාන්තයක අපි යාත්‍රා කරනවා. මුල ඉඳන් අගටම පේන්නෙ මේ නිල්  පාට විතරයි.එක එක ප්‍රබේද, තද, ලා,  හැම පාටෙන්ම වර්ණවත්. මම ආස නිල් පාටට. ආදරේ කරන තරමට විඳින්න පුළුවන්.

මාත් ආසයි නිල් පාටට. 

එයා හැමදාම මගෙ ලඟින්  ඉන්න බව දැනගෙන මට හිනා ගියා

කළුවර වේගෙන එන්නෙ.. එහෙනම්  මම යන්නම් ආයෙම එන්නම්.

හෙට උදේට ආයෙමත් හම්බවෙමු. 

මුහුණු ලාවට ඇඳුනු හිනාවෙන් මම හෙවන්නැල්ල යනකන් බලන් හිටිය.....

උදේ ඉඳන්ම තිබ්බ වර්ණවත් පාට එකතුවෙලා දැන් තියෙන්නෙ අඳුරු අළු පාටක්. මට මතකයි චිත්‍ර සර් කිව්ව අළු පාට කියන්නේ හැංගෙන පාටක් කියල. කාටවත් ඇහැ නොගැටී අවධානයෙන් මිදෙන පාටක්. මම උන්න තැනින් නැගිටලා අළු පාට අතරින් රිංගල ගොඩක් දුර ඇවිදන් ඇවිත් මගේ පරණ නැව  හොයාගත්ත.අඳුරේම කෙරන අලුත්වැඩියා  නොදැක්කත්  හෙට උදේම බැබලි බැබලි යාත්‍රා කරද්දි මුහුදෙ හෝ හෝ හඬත් ලස්සන සිංදුවක් විදියට ඇහේවි.

හෙට උදේම ආයෙමත් හෙවනැල්ල එක්කන් දුර ගමකන්  යන හිතන් මම අඬුවයි මිටියයි අරන් නැව  ඇතුලට  බැස්ස.