Tuesday, August 11, 2015

බත් කූරා


මගේ පොත් මේසෙ අයිනක පොඩි සතෙක් දඟලනව. පොල්ලක් වගේ දිග නැට්ටක්.විනිවිද පෙනෙන පිහාටු  හතරක්  පිහාටු අස්සේ හීනියට දැල් වියල.ම්ම්ම් ..ඇඟ කොලපාටයි ඔලුවටත් වඩා හෙන පොල් ඇස් ගෙඩි දෙකක් ..මූණ ඉස්සරහින් එලියට පැනල. මූ වෙන මොකෙක්වත් නෙවෙයි  ඉතින්, පොඩි පහේ  බත් කූරෙක්. :D 

මූ මොකද මේ මහ රෑ මගේ මේසේ උඩට වෙලා කරන්නෙ. වත්තෙ මලක එහෙම වහල ඉඳිද්දී පොටෝවක් ගන්නකොට  බලන්නකො.හෙන ගණන් උස්සන බත් කූරෙක් අද මගේ මේසෙ උඩ.ම්ම්ම් .. නිකන් නම් මෙහෙම ඉන්න බෑ මොකක්ම හරි ප්‍රශ්නයක් වෙන්න ඕන.ඉන්න බලන්න ...මාත් මගේ තඩි ඇස් හීනි කරලා මූට ලංවුනා.

බර වැඩක් වගේ.අර පොල්ලක් වගේ තියන නැට්ට අමාරුවෙන් නවාගෙන  ඒ නැට්ටෙන් එක පිහාටුවක් පිරිමදිනව.වෙලාවකට පිහාටුව අග්ගිස්සටම පිරිමැදගෙන යද්දි  පිහාටුව අග්ගිස්සෙ නැට්ට රැඳිලා ගලවගන්න බැරිව දඟලනවා. මම තව පොඩ්ඩක් ලංවෙලා පරික්ෂා කලා.හරිනෙ මේ කරගෙන තියෙන්නේ වැඩක්.. අලුත වියපු මකුළු දැලක් අස්සක රිංගලද කොහෙද. මේ තියෙන්නෙ පිහාටුව අග්ගිස්සෙ මකුළු දැල් ගුලියක්. ඕක ගලව ගන්න බැරිව තමා මේ මගේ මේසෙ උඩ රැඳිල ඉන්නෙ.මොනවා උනත් ඇලිල තියන මකුළු දැල් ගුලිය නම් වේලිච්ච පරණ එකක් නෙවෙයි.පිහාටුව පිරිමදින පාරට ඒක නැට්ට එක්ක ඇලෙන ජාතියේ අලුත් මකුළු දැල් ගුලියක්. 

ඇද්ද.... දැන් වටේම රවුම් ගහල ගහල කරගත්තද වැඩක්.ඕක තනියම ගැලව ගන්න බෑනේ .මෙන්න මෙහෙට එන්න මම උදව් කරන්න.මම හෙමිට මගේ අත දික්කරා.හ්ම්ම් ..එන්නෙ නෑනෙ. ඈතට ඈතට යනව මෙන්න. මේ බත් කූරෝ එනවද නැද්ද .මට තරහ යනවා හරි....මම තරහින් ආයෙත් මගෙ ඇඟිලිතුඩු ලං කලා.ඔන්න දැන් හෙමිට හෙමිට ඇඟිලි තුඩු වලට නැගල මූ එනව. :) පුංචි කකුල් අතදිගේ යද්දී පොඩි අඬු වලින් අත අල්ලනවා වගේ දැනෙන්නෙ.ආවත් කොහෙද එක තැන ඉන්නේ නෑ අත්ල වටේම කැරකෙනවා.

ඔන්න ආව චාන්ස් එකක් ආයෙ ලැබෙයිද මේ වගේ අවස්ථාවක්.ගත්ත ෆෝන් එක දැන් බත් කූරව පොටෝ එකක් ඇතුලට දා ගන්න මෙහෙයුම. 

කෝ මේක  හරියට වදින්නේ නෑනෙ.බොඳ වෙනවනෙ. :( ඉඳල ඉඳල අවස්ථාවක් ලැබිල පොටෝවක්  ගනිද්දි  කැමරාවත් පිස්සු නටනව.
මට දැන් කැමරාව අස්සෙන් මූව පෙනවා.කෝ ඉන්න.. යන්නෙපා ..ඔහොම ඉන්න...හරි තව එකයි තව එක පොටෝවයි...පොඩ්ඩක් ඉන්නකො දඟලන්නෙ  නැතිව.කැමරාව අස්සෙන් මට පේනවා මූබොහොම අමාරුවෙන් අර මකුළු දැල් ගුලිය ගලවගන්න හදන හැටි.




හංසි -_-  ..මොකක්ද ඔය කරන්නේ  ආ .. පේන්නෙ  නැත්ද අර අසරණ බත් කූර අමාරුවෙන් දඟලන හැටි.මෙතන පොටෝ ගන්නවා.අරූ අමාරුවෙන් දඟලනවා.හිතක් නැත්ද ඌට උදව් කරන්න.හරිම කැතයි හරිම කැතයි ...නවත්තනවා ඕක...හ්ම්ම් ..හිත බෙරිහන් දෙනවා..මට මං ගැනම ලජ්ජා හිතුන.ලොකු වරදක් කලා වගේ දැනුන.විසික්කලා ෆෝන් එක පැත්තකට.හරි බත් කූරෝ ඉන්න මම උදව් කරන්නම්.

ඔන්න පටන් ගත්ත මෙහෙයුම.වම් අතේ බත් කූරා දකුණු අතේ පොඩි අල්පෙනෙත්තක්.දැන් පටන් ගත්ත පොඩි ශල්‍ය කර්මයක්.බත් කූර පොඩ්ඩක් එහාට මෙහාට දැඟලුව.මගෙ  උදව් ඕන නෑ කියන්න වගේ තනියම අර මකුළු දැල් ගුලිය ගලවන්න හදනවා. අන්තිමට මකුළු දැල් ගුලියේ නැට්ට අලවාගෙන ගලවගන්න බැරිව දඟලනවා.ඔහොම ඉන්න.. ගලවන්න බෑනේ ඔහොම.

මම අල්පෙනෙත්තෙන් මකුළු දැල් ගුලිය ගලවන්න ඇද්ද.ඔන්න දැන් නම් දඟලන්නේ නෑ.මම උදව් කරයි කියල හිතල වගේ. ඒත් ඉතින් අර මකුළු දැල් ගුලිය ලේසියෙන් යන්නෙත් නෑ.කොහොල්ල වගේ ඇලිල.අදින්නත් බයයි.අර පොඩි තටුව  ගැලවෙයි කියල.හෙමිට අදිද්දී ඔන්න බත් කුරට රිදිලා ආයෙම දඟලනවා... හ්ම්ම් වැඩේ හරියන්නේ නෑ. මේක අල්පෙනෙත්තෙන් අරින්නත් බෑ වගෙයි.දැන් මොකෝ කරන්නේ... එකපාරටම මතක් උනා පැන්සල් පෙට්ටියේ තියන කතුර....කතුරක් :O හපොයි මූගෙ තටු කැපෙයි ..එපා...එපා...කතුරෙන් කපන්න එපා ..හිත බෙරිහන් දෙනවා.ඇත්තටම පොඩ්ඩක් හරි වැරදුනොත් අර සියුම් තටුව කැපෙයිනේ. :(  දැන් මොකෝ කරන්නේ...

හිතට පොඩි දහිරියක් ගත්ත.මට පුළුවන් .බත් කූරට තඩි කතුර පෙන්නන්න හොඳ නෑ ඌ බයවෙයි.හෙමිට පිටිපස්සෙන් ඇවිත් මකුළු දැල් ගුලිය අයින් කරමු.. දඟලන්නෙපා ඔන්න දැඟලුවොත් වැඩේ ඉවරයි තමයි...හරිනේ පටන් ගත්ත  එකායි ..දෙකායි .....හුරේ වැඩේ හරි.

රැඳිල තිබ්බ මකුළු දැල් ගුලිය අයින්  උනා.හරිම සතුටුයි.ශල්‍ය කර්මය සාර්ථකයි. හා බත්කුරෝ වැඩේ හරි දැන් යන්න පුළුවන්. හා  දැන් කියමුකො කොහෙටද යන්නෙ ජනේලෙ ඇරල එලියට දාන්නද? කාමරේ ඉන්නත් බෑනෙ.මම නිකමට ඔලුව උස්සල බැලුව .හපොයි.. මකුළුවෝ තුන් දෙනෙක්ම.සිවිලිම කෙලවරේ මුර සේවයක.භයානකයි.අති භයානකයි.. :/ .ඒත් මගේ සැලසුම් ඔක්කොම විනාශ කරලා මෙන්න බත් කූර පියඹල ගිය.:/ ගිහිල්ල නවතුනෙත් අර මකුළුවන්ට පහල තියන ජනෙල් රෙද්දක. හ්ම්ම් අච්චර උඩකට බත් කුර යන්නේ නැතිවෙයි නේද දැන් හිත මගෙන් අහනව.නැතිවෙයි මමත් කිව්ව.බලන්න දැන් බත්කූර පියාඹනව.මට හරි සතුටුයි.

ඊටපස්සේ කොච්චර වෙලාවක් ගියාද මට මතක නෑ මම පොත් මෙසේ ගාව ලැපා තියාගෙන වැඩ කරන ගමන් සින්දු අහගෙන හිටියේ .එත් නිකමට වගේ මට උඩ බලන්න හිතුන ..දෙවියනේ අර මෝඩ තකතීරු බත්කුරා -_- අර මකුළුදැල  අස්සටම ආයේ රිංගලානේ.ඌව හතරට පහට රෝල් වෙලා. ඌව ඔතල ඔතල හිර කරලා මරල දන්න මකුළුවෝ ඔක්කොම එකතුවෙලා.මට එකපාරටම කෑ ගැහුනා.පුටුව උඩට නැග්ග නෙමේ ඉබේම නැගුන.ටක් ගාල බත්කුරව ඇදල ගත්ත.මේ පාර මකුළු දැල් වලින් හොඳටම එතිලා ආයේ දඟලන්නවත් බැරි තරමට මකුළු දැල් වලින් රෝල් වෙලා.පව් ..මැරිලද ?

මම අල්පෙනෙත්තෙන් පොඩි තට්ටුවක් දැම්ම ..වාසනාවක් ..මූට තම පන තියනවා හ්ම්ම් ..මේ පාර නම් ලොකුම ලොකු ශල්‍ය ක්‍රමයක් ..හරි අමාරුයි වගේ. බලමු ..මම වෙලා අරන් හෙමිට හෙමිට මකුළු දැල් ඔක්කොම අයින් කලා....වැඩේ කියන්නේ ඌ පොඩ්ඩක් වත් දැඟලුවේ නෑ.හරි කීකරුව හිටිය.මකුළු දැල් වලින් සම්පූර්ණයෙන් නිදහස් කල බත් කුරව දැක්කම දැනුනේ හරි සතුටක්.අර පොටෝ ගත්තට වඩා සතුටක්.මේ පාර නම් පරිස්සමින් හොඳේ .බත් කූරෝ  ඔයාගේ වෙලාව නම් අද හරි නෑ .ඉන්න මම එලියට දාන්න. එළියේ ඔයාට අනතුරක් වෙන්නැතිවෙයි නේද.

කොහෙද මේ පාරත් මූ ඇහුවේ නෑ.ආයෙත් පියාම්බුව හැබැයි මම මේ පාර විමසිල්ලෙන් හිටියේ කොහේ යයිද කියල බලාගෙන හිටිය මූ පියාඹල පියාඹල උඩට ගිය ..එකපාරටම  ටාං  ගාන සද්දයක් ඇහුන .හ්ම්ම් ... සිවිලිමේ ෆෑන් එකට වැදුන බත්කුර විසික්වෙලා ගියා ...මට ඊට පස්සේ ඌව හොයාගන්න බැරිඋනා .......:(