Thursday, July 23, 2015

මියැදුන මලක්



ඔයාගේ ආදරේ මම තේරුම් ගන්න මෙච්චර කල් ගත්තේ ඇයි කියල මම තාමත් පසුතැවෙනව.මිනිස්සු කියන්නේ ආදරේ අන්ධයි කියල.නැහැ ආදරවන්තයොයි අන්ධ..........එදා මේ දේ මම හරියට තේරුම් ගන්තනම් මම අද හිතින් මෙච්චර අඬන්නේ නෑ.

මම මේ පොත කීපාරක් පෙරලුවද කියල මම දන්නේ නෑ.දහපාරක් සිය පාරක් දස දහස් පාරක් නෑ ඊටත් වැඩිය වෙන්නැති.දවස පුර මතක් වෙන මතක් වෙන හැම තත්පරේටම,පැය, සති, දවස්, අවුරුදු ...හැම තිස්සෙම මේ පොතමයි අත්වල රැඳෙන්නෙ.අල්මාරියේ තියන අනෙක් හැම පොතක්ම දූවිලිවලින් පිරෙද්දී මේ පොත විතරක් පිරිසිදුව තියෙන්නේ මගේ අත්වලටම ගෙවිල.පොත මැද්දේ තියන තැලිච්ච පොඩිවෙච්ච රෝස මලට මම ඉස්සර වගේම තවමත් ආදරෙයි.....මාව ජීවත් කරවන වගේම  මාව විඳව විඳව මරවන එකම මතකයට තියෙන්නෙත් මේක විතරයි.
හ්ම්ම් මතකද  ..මේ ඔයා මට පළවෙනියටම දුන්න රෝසමල.

ඒ ලස්සන අතීතය තාම මට අමතක නෑ .අත්දෙක පිටිපස්සට කරලා  හංගගෙන ඉඳල  ලේ රතුපාට ලස්සනම ලස්සන රෝසමලක්  එකපාරටම මගේ ඇස් ඉස්සරහට ගෙනෙද්දී ඇත්තටම මට හිත ගන්න බැරි උනා.මතකද සතුට වැඩිකමට ඇස් වලින් කඳුළු කැට පැන්න හැටි.......
ඒ ලස්සන රෝස මලෙන් දැනිච්ච සුවඳ දවස් ගානක් යනකන් දැනෙන්න ගත්ත. වචනයෙන් විස්තරකරන්න බෑ අපේ ආදරේ මුල්කාලේ වගේම ඒ රෝසමලත් නැවුම් ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ ඒ තරමට ලස්සනයි. ඒ දවස හරියට අලුතෙන් ජීවිතයක් ලැබුන වගේ.මතකද....මතකද  මම බොහොම පරිස්සමින් පෙති කැඩෙන්න නොදී මල තියාගත්ත හැටි.පුංචි රෝස කටු ඇඟිලි තුඩු වලට වැදිලා ලේ බිංදු ආවත් මම නම් නෙවෙයි ගණන් ගත්තේ.පරිස්සමට ගෙදර අරගෙන ගිහින් රෝස මල පපුවට තුරුළු කරගත්ත හැටි .සතුටින් නටපු හැටි රෝස මල දිහා බලාගෙන හිතින් ගොඩාක් දේවල් කතාකරපු හැටි  මට තාම මතකයි. දන්නවද එදා තමයි ඔයා නිසා මම වැඩියෙන් ම හිනා උන සතුටු උන දවස.

 එදා ගෙදර ගිය ගමන්ම කලේ මම පුංචි වතුර වීදුරුවකට අර රෝස මල දාපු එක.ඉක්මනින්  මල මැලවිලා යන්න ඉඩ දෙන්න බෑ.ඒ තරම්ම මම ආදරෙයි........ගොඩාක්...ගොඩාරියක්.... පුංචි රෝස පෙති වලට වතුර බින්දු ඉහල ඒවා පිනි බින්දු වගේ දිලිසෙන හැටි ආසාවෙන් බලාන හිටිය.දවස් දෙක තුනක් සුවඳ මලේ සුවඳ කාමරේ පුරාම ඉතිරිලා තිබ්බ. මලේ ලේ පාට ලස්සන අඩු නැතිව පිරිලා තිබ්බ.වතුර පල් වෙන්න නොදී දවසින් දවස මාරු කලා.... හ්ම්ම්... ඒත් .....මලේ අග්ගිස්සෙන් මැලවෙන්න පටන් අරන්. නටුවත් අග්ගිස්සෙන් කුණුවෙලා ගිහින්.එදා ඒක දැකල මට ගොඩක් දුක හිතුන.මතකද  මම දුකෙන් කිව්ව හැටි.

මට බැරි උනා ...ආයෙත් වතුර වලින් මල ජීවත් කරන්න බැරිඋනා.ටිකෙන් ටිකේ මල පරවෙනවා සුවඳ ටික ටික අඩුවෙනවා .පෙති ඇකිලිල යනවා.මට මේක දරාගන්න බැරිඋනා.මේ ඔක්කොටම වඩා මට ඔයාගේ වෙනස දරාගන්න බැරිඋනා .හ්ම්ම්...රෝස මල වගේමයි ඔයත්.. දවසින් දවස වෙනස් වෙන්න ගත්ත  ..........

දවසින් දවස පෙති ඇකිලිල පරවෙලා යන  එක  කොච්චර උත්සාහ ගත්තත් නවත්වන්න බැරිඋනා.එදා මම එක රෝස පෙත්තක් වත් බිම වැටෙන්න නොදී  හෙමින්සිරුවට පරිස්සමින් මේ පොත අස්සේ තිබ්බ.ආදරෙන් මලේ පෙති අතගෑව.එත් බයයි පෙති ගැලවිල වැටෙයි කියල.මට දවසින් දවස ඔයාගේ වෙනස්වීම බලාගෙන ඉන්න බැරිඋනා.ඔයා ඈත් වෙද්දී දවසින් දවස මග අරිද්දි මලවගේම ඔයාගේ ආදරෙත් ටික ටික මැරෙද්දි.මම කොච්චරවත්  විඳෙව්ව ..හ්ම්ම් අන්තිමට ඉතිරිඋනේ වේලිච්ච ,දුඹුරු ගැහිච්ච,කරකුට්ටන්වෙච්ච,පෙති ඇලුන රෝසමලක්.

ඔයාගේ ආදරේ මැරිලා.මේ රෝස මල වගේම ඔයාගේ ආදරේ මැරිලා.මැරිච්ච මල කඳ විතරක් ඉතිරිකරන් ඔයා  ජීවිතය අරන් ගිහින්.....

දවස දවස ගානේ ඔයාගේ ආදරය දැනෙද්දී ආයේ ආයේ මතක්වෙද්දී  මේ වේලිච්ච රෝස මල දිහා බලල මම ඇඬුව .කඳුළු කැට ඕන තරම් මේ රෝසමලට වැටෙන්න ඇති.ඒත් ඔයා වගේ ගල් හිතක් ... මේ රෝසමලට ආයේ පන එන්නේ නෑ...ඔරලෝසුවේ කටු තොරතෝංචියක් නැතිව කරකෙද්දී, දවස් ගණන් ඉර නැගල බැහැල යද්දී ,වටේ පිටේ, පාරේ නගරේ රෝසමල් පිපිලා පරවෙලා යද්දි මම මැරිච්ච පුස් බැඳිච්ච රෝස මලක් දිහා බලාගෙන හීල්ලුව .හ්ම්ම්...මම පොඩ්ඩක් හරි ඇස් ඇරලා බැලුවනම්..ඔයාගේ ආදරෙත් මේ රෝසමල වගෙයි කියල පොඩ්ඩක් හරි හිතුවනම් ... මම මෙච්චර විඳවන්නේ නෑ ..හ්ම්ම්... මම පරක්කු වුනා වැඩි ......

ඉස්සර දැනිච්ච රෝස මල් සුවඳ දැන් දැනෙන්නෙ  නෑ ඒ වෙනුවට දැනෙන්නේ මියගිය මැරිච්ච රෝසමලේ මිනී ගඳ.මට තවදුරටත් මේ ගඳ දරාගන්න බෑ මේ මලට ආදරේ කරන්න තවත් හිතෙන්නේ නෑ.තවදුරටත් ආදරේ කරන්න බෑ...මොකටද මම විඳවන්නේ මේතරම්?..නැහැ මට තවදුරටත් ඔයාගේ බොරු ආදරේට වටිනාකමක් දෙන්න ඕන නෑ....ආයේ පේන්නැති තැනකට මේ මල විසික්කරලා දන්නා ඕන.

මම පොත පෙරරලා හෙමින්සිරුවෙන් වේලිච්ච රෝස මල එලියට ගත්ත.හුලන් සැරත් එක්ක ඇකිලිච්ච වියලිපෙති එකින් එක ගැලවිලා විසිරිලා ගියා.ආයේ ඇහැට පෙනෙන මානයටවත් නොපෙනෙන්න රෝස මල ඈතටම විසිකරලා දැම්ම ............හ්ම්ම්ම්  ඒත් ....මැරිච්ච රෝසමලේ පැල්ලමක් පොත් පිටු අතර ඉතිරිකරලා ගිහින් .............





Tuesday, July 14, 2015

පොඩ්ඩො


දැන් කලේ මොන්ටිසෝරි ළමයි  'රෝස මලේ නටුවෙ කටූ' කිව්ව කාලෙ ගිහින්. ඒ වෙනුවට දැන් කියන්නෙ 'රාජ මාලිගේ පරවියා ' වගේ කියල.බොරුනම් ඔය ගෙදර ඉන්න පොඩි එකාගෙන් හරි අහල පහල ඉන්න පොඩි එවුන්ගෙන් හරි අහල බලන්න අපිට වඩා හොඳට මුළු සින්දුවම කියයි.

මොන්ටිසෝරි ටීච කෙනෙක් වෙච්ච අපේ අම්ම ගෙදර ඇවිත් කියන කතා තමයි ඔය.මට මතකයි අම්ම කිව්ව  ගිය අවුරුද්දෙ  එම්. ඩී. ධනුෂ්ක දෙරණ ඩ්‍රීම් ස්ටාර් වුන කාලෙ දවසක් දා  පාන්දරම අම්ම ගාවට ආව පොඩි එකෙක් සාරි පොටේ එති  එති කියනවලු  
'හිස් ටින් එකක් වගේ මේ ජීවිතේ මල්ලී  ' කියල.මම අම්මට කිව්වෙ  තව ටික දවසකින් පොඩි එවුන් ලඟට ඇවිත් 'Tune Maari Entriyaan  '  සින්දුව කිව්වත් බයවෙන්න එපා කියල  :D  

ඉඳල හිටලා මමත් අහම්බෙන් අම්ම උගන්නන මොන්ටිසෝරියට යනව ගිහින් කරන්නේ ඉතින් assistant වැඩේ තමයි. කොළ කපන්නයි ළමයි වැඩ කරද්දී එක එක්කෙනා  ලඟට ගිහින් කියල දෙන්න වගේ උදව් තමයි කරන්නෙ. තමයි පුදුමේ කියන්නේ ඒ පැය  4,5 වෙලාව යනවා වත් තේරෙන්නේ  නෑ. මාව ඈත දැක්ක ගමන්  ඔන්න හංසි අක්කේ ... කියල කෑගහනවා.ජනෙල් කම්බි වල එල්ලීගෙන පොරකාගෙන හැමෝගෙම අත  එලියට දාල  ට ටා කියනවා.එක දවසක් ගියාම ඇති හැමෝටම නම මතකයි :D හැබැයි  ඉතින් අඳුරන්නේ නැත්නම් ඉතින් ඔය මොකවත් නෑ.පිටසක්වල ජීවියෙක් දැක්ක වගේ බයවෙලා ඉන්නවා. එතකොට ඉතින් මාව පෙන්නලා පොඩි ළමයින්ව පොඩ්ඩක් බය කරනවා. මේ අක්ක සැරයි.  ඔයාල දඟ  කරනවද නැද්ද බලන්න මේ අක්ක ඇවිල්ල තියෙන්නේ කියල. හැබැයි ඉතින් පැය බාගයක් වත් යන්න ඕන නෑ අක්කගේ කරවටේ ළමයි :D සමහර අය  පිටිපස්සෙන් ඇවිත් තට්ටුවක්  දාල හැරෙනකොටම කෑගහගෙන හිනාවෙලා දුවගෙන යනවා.  එහෙම නැත්නම් හොරෙන් බලාගෙන ඉඳල මම දැක්කොත් ලජ්ජාවෙන් මේසේ  ඔලුව හංග ගන්නව.ඒ පැය ටිකේම ඇහෙන්නේ හිනා හඬයි කෑ ගැහිල්ලයි තමයි.

ඉඳල ඉඳල මම  අලුත්ම පන්තියකට අලුතින් ගිහින් පොඩි එවුන් එක්ක වැඩ කරද්දී අම්ම හරි ගයේෂ  අක්ක (පොඩි ටීච) හරි මාව අඳුන්නල දෙනවා මේ හංසි  අක්ක කියල.ඒ වුනාට වැඩක් නෑ පොඩි එවුන්ගෙන් සමහරක් කතා කරන්නෙම මට "නැන්දේ " කියල එහෙම නැත්නම් ඈත ඉඳල එකෙක් කෑගහනවා "ඇන්ටී...."  කියල  ලැජ්ජාවේ බෑ. ඒ වෙලාවට හෙමිට දුවල ගිහින් කනට කරලා කියනවා මට  නැන්දේ  කියන්නේ නැතිව අක්ක කියන්න පැට්ටෝ...  කියල ම්ම්ම් හරියනේ නෑ කියන්නෙම "නැන්දේ" කියල :( 


ඒ ඉන්න ළමයින්ගෙන් සමහර පොඩි අය හරි ෂෝයි. හිනාවෙලා දඟල දඟල ඉන්නව.සමහර අය නම් එහෙම නෑ.බුම්ම ගත්ත ගමන්. නම මොකක්ද කියල ඇහුවත් කියන්නේ නෑ.ඒ වෙලේ මට හිතෙනවා මාත් ඒ කාලේ කොහොම හිටියද දන්නේ නෑ කියල .සමහර අය අවුරුද්ද පුරාම අඬන බබාලා.සමහර අය නම් එහෙම නෑ.මේ ලඟදි පොඩි එකෙක් පොඩි හෙල්මට් එකකුත් දාගෙන  මොන්ටිසෝරි  යුනිෆෝර්ම් එකත් දාගන්නේ නැතිව සුදු පාට ටී ෂර්ට් එකක් දාගෙන අඬාගෙන මොන්ටිසෝරි එනවලු .ඇහුවම හොටු පෙර පෙර අඬ අඬා කියනවලු
 "ටීච මට ඔපිස් යන්න ඕන" කියල  
"ඔපිස් යන්නේ කොහොමද අකුරක්  වත් දන්නේ නැතිව" කියල චුට්ටක් විතර සැර  කරලා තමයි ඔන්න ඇඬිල්ල  නවත්වල තියෙන්නෙ.
මම ගියදවසක් හිටිය ඔහොම අඬන  බබෙක්.පොඩි ටීච බබාගේ ඇඬිල්ල නවත්තල තියෙන්නෙ පාට කලොත් ගෙදර යන්න පුළුවන් කියල ඒ නිසාම මේ ළමය කරන්නේ හැමතිස්සෙම ඉක්මනට පාට කරලා ටීච ගාවට ගිහින්  "ටීච පාට කරලා ඉවරයි මම යන්නද " කියල අහන එක මම යන දවසෙත් එහෙමයි ඉන්ටවල් එකෙනුත් ලඟට ඇවිල්ල ඇස් දෙකේ කඳුළු පුරෝන අහනව ටීච, "කිඹුලා කාල (කිඹුලා බනිස් ),පාට කරලා ,
යන්න දෙනවද කියල " :D  මුලකාලේ තමයි  එන්න බැරිව අඬන්නේ අන්තිම කාලේ අඬන්නේ
 "මොන්ටිසෝරියෙ  ඉන්න ඕන ගෙදර යන්න බෑ" කියල :) 



                                              මම ඔහොම උදව්වට ගියාට මට  සින්දු කියන්නත් බෑ  නටන්නත් බෑ  කරන්න පුළුවන්  එකම දේ චිත්‍ර අඳින එක. ඒ නිසාම අනෙක් වෙලාවට නැතත් පොඩි ළමයි චිත්‍ර අඳින වෙලාවට නම්  පූර්ණ දායකත්වය සපයනව :D .ආසම හිතෙන්නේ  ලඟට වෙලා අඳින චිත්‍රෙ  මොකක්ද  කියල අහන එක.  මොකද එයාල අඳින සමහර ඒවා තේරෙන්නේ නෑ.ඒත්  අඳින්නේ මොකක්ද කියල ඇහුවම කියන්නේ හිතාගන්න බැරි ලොකු කතාවක්.මේ ලඟදි දවසක පොඩි නංගි  කෙනෙක් රැලි රැලි රවුම් ගොඩාක් අඳිනවා.තාම ඇවිල්ල මාස 6 වත් නෑ අඳින්නෙ මොනවද කියල ඇහුවම කියන්නේ  හාවෙක් අඳිනවා කියල.
"කෝ ඉතින් හාවාගේ කන්  " කියල ඇහුවම කියනවා "කන හැලිල"ලු   :D  තවත් දවසක මල්ලි කෙනෙක් වැස්සෙ සරුංගල් අරිනව ඇඳලා. මම ඒත්  ඇහුව වැස්සේ කොහොමද මල්ලි  සරුංගල් අරින්නෙ  වැස්සේ බෑනේ තෙමෙනවනේ කියල. එතකොටම මල්ලි කියනවා ඇයි අක්කෙ  ඉටිකොළ වලින් හදන ඒවා. :P හි හී ඒ වෙලාවට නම් හිතෙනව  පොඩි එවුන්ට මට වඩා  මොලේ තියනව  කියල  :D 

පුංචි ළමයි බලාගන්න එක හිතන තරම් ලේසි නෑ ළඟ ඉඳිද්දී තමයි තේරෙන්නේ මොන්ටිසෝරි ටිචල කොච්චර මහන්සියක් වෙනවද කියල. ගෙදරදී ළමයි වෙනුවෙන් කැපවෙන අම්මල කවුද නැද්ද කියල මොන්ටිසෝරි ළමයින්ගෙන් හොඳට පේනවා .අම්මල මහන්සිවෙලා  වැඩ කරවන ළමයි ක්‍රියාශීලි වගේම වැඩත් හොඳයි අනෙක් ළමයින් සමහර අය  කන්න තියා අඩුම තරමෙ  චු දාන්න පවා දන්නේ නෑ. කොහොම උනත් ඔය අවුරුද්ද දෙක පුරාම මොන්ටිසෝරි ටීච කෙනෙක් ලමයව සම්පූර්ණයෙන්ම හදල වෙනස් කරන හැටි නම්  හරි පුදුමයි.අවුරුද්දෙ මුල්ම දකින කිසිම දෙයක් කරගන්න බැරි පොඩි ළමය අවුරුදු දෙකකට පස්සේ දැක්කම පුදුමත් හිතෙනවා ඒ තරමට හැම පැත්තෙන්ම ඒ ළමයි ඉදිරියට ගිහින්.ගුරුවරයෙක් විදිහට ඒ වෙනුවෙන් අම්ම කරන කැපවීම ගැන මට තියෙන්නේ සතුටක්.හැබැයි ඔය අතරේ පොඩි පොඩි රණ්ඩුත් වෙනවා "අම්ම පොඩි ළමයින්ට විතරයි ආදරේ මේ ගෙදර ඉන්න මට ආදරේ නෑ " කියල  ;)

  පොඩි ලමයි  එක තැන ඉන්නේ නෑ වයින් කරා වගේ තමයි  දුවනවා පනිනවා ඔන්න එක්කෙනෙක්ට වතුර බොන්න ඕන උනොත් හැමෝටම වතුර බොන්න ඕන.එක්කෙනෙක් චු දාන්න යන්න ඕන උනොත් අනෙක් හැමෝම නැගිටලා පෝලිම් ගැහිලා. වෙලාවකට මේ දේවල් බලද්දී  හිනාත්  යනවා මල් වගේ අහිංසක ළමයි ගොඩක් මැද්දේ ඉන්න එක ඇත්තටම හරිම  සුන්දරයි.

පොඩි ළමයි එක්ක ඉන්නකොට මට තේරුණා එක  දෙයක් තමයි දැන් කාලේ ළමයි අපි පොඩිකාලේ හිටියට වඩා නම් පැහිල. අපි වගේම තමයි මොන්ටිසොරියේත් එක එක යාළුවො කල්ලි ඉන්නවා. සමහර පොඩි කොලු පැටවූ අය්යල වගේ කරට අතදාගෙන බෙන්ටෙන් ඔරලෝසු එහෙම බැඳගෙන ඉන්නේ. අපි වගේම තමයි මෙහෙත් යාළුවෙනවා තරහ වෙනවා කේලම්  ඔපදූප කියනවා  එකම වැඩ ගොඩයි. කිව්වට මොකද සමහර චූටි  කොලු  පැටවුන්ට (පැටවු කියන්න බෑ අය්යල වගේ වැඩ :P ) මොන්ටිසෝරි යන කාලෙම කෙල්ලෙක් සෙට් වෙලා :D .උදේම ඉතින් එයාගේ යාලු ගෑල්ලමය  ආවම එයාගේ බෑග් එක අරන් එනවා.අකුරු ලියද්දිත් එයා ලඟින් ඉඳන් ඉන්නවා.කද්දීත් එහෙම තමයි .ආයේ වෙන කොල්ලන්ට එන්න දෙන්නේ නෑ  ආවොත් ගුටි තමයි  :D  තව දවසක ගෙදර ගිහින් කියනවලු ''අම්මේ මම කවද හරි බඳින්නේ අර ගෑනු ළමය තමයි කියල " 




මන් බොරුද  කිව්වෙ  දැන් කාලේ ළමයි අපිට වඩා පැහිල  :D 

ඕවගේ පොඩි පොඩි රස කතා ගොඩයි.ලිව්වොත් ලිපිය දිග වැඩිවෙනවා ඒ නිසාම ඕං කෙටිකලා කොහොම උනත් කියන්නත් දෙයක් තියනව .මම කතාවේ මුලින්ම කිව්වේ  අර සින්දු ගැනනේ .ඒකෙන්  මම කියන්න හැදුව දේ ඔයාලට තේරුනාද දන්නේ නෑ.අපි පොඩි කාලේ කිව්ව ' රෝස මලේ නටුවේ කටු' එහෙම නැත්නම් 'හා හා හරි හාවා' මේ වගේ අපි එක්දාස් නවසිය බර ගණන් වල ඉගෙන ගත්ත සින්දුමයි තාමත් පොඩි ළමයි කියන්නේ.නිකමට හිතල බලන්න පොඩි ළමයින් වෙනුවෙන්ම හදල තියන සින්දු ඇත්තෙම නැති තරම්නේද?  ගුවන් විදුලියකින් වත් රූපවාහිනියෙන් වත් ලේසියෙන් වත් ඒවා ඇහෙනවද? මොන්ටිසෝරියේ ඇහෙන සින්දු විතරයි ගෙදර ගියාම ඇහෙන්නේ ඉතින්  'රාජමාලිගේ පරවිය' තමයි . නාට්‍ය වුනත් එහෙමයි.අම්මල බබාලා එකතුවෙලා  රෑ  නිදිවරන් බලනඉෂිතගේ ,රමන්ගේ එහෙම නැත්නම් අනෙක් ආදර කතා ඔක්කොම පහුවෙනිදා මුල ඉඳන් අගටම පොඩි ළමයි කියනවා. අපේ කාලේ තිබ්බ හරවත් ළමා වැඩසටහන් දැන් නැති තරම්.ඉතින් පොඩි ළමයි ලොකු ලොකු වැඩ කරන ලොකු ලොකු කතා කියන එකේ වැරැද්ද කොතනද කියන එක තමයි මූලිකවම  හිතන්න ඕන.

 තව එක දෙයකුත් කියන්න ඕන පොඩි කාලේ ළමයි අසීමිතව ආදරේ බලාපොරොත්තු වෙනවා.ඒ ළමයින්ට අම්මගේ තාත්තගේ ආදරේ ඕන .මොන්ටිසෝරියේ එක ළමයෙක් ඉන්නවා පවුල් ප්‍රශ්න නිසා අම්ම තාත්ත දෙන්නම රට ගිය මල්ලි කෙනෙක් .හැදෙන්නේ ආච්චිඅම්ම ගාව .අහල පහල දන්න අය  නම් කියන්නේ ආච්චි අම්ම අත  දිග ඇරලා අර පොඩි ළමයට ගහනවා කියල. කියන කිසිම දෙයක් කනකට ගන්නේ නැති මේ ළමයට අම්ම කියන්න කෙනෙක් නෑ.උගන්නන ගුරුවරයට තමයි  අම්ම කියන්නේ හදිසියේ හරි සැර  කරලා කොටුපාරක් දෙන්න වගේ හැදුවොත් මේ ළමය  "අම්මේ" කියාගෙන ටීච  බදාගන්නවලු .අහද්දී හරි දුකයි. එහෙම ළමයි ඇත්තටම පව්.ළමයි හැදුවේ ඒ විදිහට  ළමයින්ට දුක් දෙන්න නම් මම කියන්නෙ ළමයි නොහද හිටිය නම් ඊට වැඩිය  හොඳයි.

පොඩි ළමයි මල් පොහොට්ටු වගේ  මල් පොහොට්ටු චුටි කාලේ ඉඳලම හොඳට බලාගන්න ඕන හදිසියේ හරි පනුවෝ කාල පෙති විනාස උනොත් හැදෙන මලත් එහෙමයි පෙති ඉරිලා ගිය මලක් තමයි අන්තිමට පෙනෙන්නේ .හොඳට පොහොර දාල වතුර දාල ආදරෙන් රෑක  බලාගන්න මල පරිපූර්ණයි. ලෝකෙටම ලස්සනයි.