Sunday, January 28, 2018

ආදරය ....ප්‍රශ්නාර්ථ ???

ආදරය

ඔයාට කියන්න වැටෙන් එහා පැත්තෙ තිබ්බ සමන් පිච්ච මලට මම හැමදාම ආදරේ කළා ..හැබැයි මම හිතුවේ නැහැ ..මටත් නොකියම. ඒ සමන් පිච්ච ග‍හේ පළවෙනිම මල වැටෙන් මෙහා අපේ වත්තට ආපු සමන් පිච්ච අත්තේ හැදේවි කියල .. මම මලට ආදරෙයි. මල නෙලන්න හිතයි ..ඒත් මල අයිති මටද ? හිත තාම අවිනිශ්චිතයි ..........

..............................

ඔයා කැමති චොකලට් අයිස්ක්‍රීම් වලටද ? එත් මම කැමති වැනිලා ඒවාට ....

ම්ම්ම්ම් ...ඔව් මම ගොඩක් කැමති චොකලට් ඒවාට. ඒත් මම හිතනවා චොකලට් වැනිලා දෙකම එකතු උනාමත් අමුතු රහක් තියනවා කියල ... ආස නැද්ද එහෙම .... රස දෙකක් එකතු උනාම ... ?

...............................

ඔයාට හිතෙන්නේ නැද්ද මේ ෆිල්ම් එකෙත් යන්නේ අපේ කතාව කියල. වෙලාවකට මම හිතින් දුවල ගිහින් ඒ චරිත ඇතුලට රිංගනවා .

ඔයා එතොකට කතාව වෙනස් කරවී. ඔයාට ඕන විදිහට....

ඔව් මම ලියනවා මගේ කතාවක්... ඒත් මගේ කතාවට එයාල කැමති නොවේවි.

කවුද ? ප්‍රේක්ෂකයෝ ..

එයාලට ඕන එයාල සතුටු වෙන කතාව මා ලවා ලියවන්න .. නැත්නම් මම තනිවෙලා මේ මුළු ප්‍රේක්ෂකාගාරේම හිස් වෙනවා ..

හ්ම්ම් ඇත්ත ... හැමෝටම අශෝක හඳගමගේ වගේ විප්ලව කතා ලියන්න බෑ ..

එතකොට මම අපේ කතාව ලිව්වොත් ?

ඔයාට විශ්වාසද ප්‍රේක්ෂකයන්ට ඕන මං වගේ නළුවෙක් කියල ?

හ්ම්ම්ම් ....ඒක ප්‍රශ්නාර්ථයක් ...නැහැ ප්‍රශ්නාර්ථ ගොඩක් එතන තියනවා .

.............................
මට කියන්න..... විලක ඉන්න කුමුදු මලකට පුලුවන්ද හැමදාම හඳේ එලිය විඳින්න ? හැමදාම හඳේ එලිය අඩු වෙනවා ..එකම එක දවසක් ගොඩාක් එලිය වැඩියෙන් දැනෙනවා ..කුමුදු මලට ඉවසන් ඉන්නම පුළුවන් වේවිද ඒ වෙනස ...

ඇයි බැරි ... එකම එක දවසක් නම් අමාවක අනෙක් හැම දවසකම එන හඳ එලියට ප්‍රේම කරන්න කුමුදු මලට පුළුවන් වෙන්න ඕන නේද ?

ඔව් ...ඒත්

ඇයි ..ඒත් ...

නැහැ ....මෙච්චර දුර විලක ඉන්න කුමුදු මල වඩා හඳ ගාවම ලස්සන තරු තියෙද්දි .........වැඩියෙන්ම හඳේ එලිය දැනෙන්නෙ තරු වලට නේද ...හදට තනිත් නැහැ තරු ළඟ ඉන්නකොට ?

හැබැයි හඳ ආදරේ කුමුදු මලට නම් ?............

:) ඇත්තටම ? ඇත්තටම එහෙමද ? ............. :)

.............................

මම බහින්නම් ඊළඟ බස් නැවතුමින්. ඉතිරි ගමන ඔයා යන්න මම ටිකට් එක දෙකට කඩල දෙන්නම්

ඇයි මෙතනින් බහින්නෙ? මම හිතුවෙ ඔයා මා එක්කම දිගටම එයි කියල.

නැහැ . මම යන්න හිටියෙ වෙන පාරක ඔයා යන්න ඉන්නේ තව පාරක ..අපි යන්නේ ගමනාන්ත දෙකකට.

ඔහොම ඉන්න මමත් මෙතනින් බහින්නම් .........

එපා ...මට තනියම යන්න ඕනෙ ..

කොහෙටද ?

අයාලේ ...........

.............................

බලන්න ආයෙමත් නෙල්ලි ගෙඩියක් අතට අරන් මූණ ඇඹුල් කරගන්න අපූරුව ... මෙච්චර රස පලතුරු තියෙද්දී ඇයි නෙල්ලි ...?

මම කැමතියි මුලින් තිත්ත උනත් පස්සේ දැනෙන රහට ...ජිවිතේ ප්‍රශ්නත් මේ නෙල්ලි ගෙඩිය වගේ ... කන්නම වෙනවා තිත්ත රස දැනෙන්නම වෙනවා පස්සේ පැණි රස විඳින්න ...

ඒ කියන්නේ ආයෙම ටිකට් එකක් අරන් අලුත් ගමනාන්තයකට යනවද ?

ඔයා කැමතිනම් ...

එහෙනම් යන ගමනෙදි අපි චොකලට් අයිස් ක්‍රීම් කමුද ?

නැහැ අපි දෙකම මික්ස් වෙලා තියන එකක් කමු ?

හා ....

මට කියන්න

මොකක්ද ?

අර සමන් පිච්ච මල මටද අයිති ...

:D තාමත් ප්‍රශ්නයක්ද ...ඒක ඔයාට නෙලාගන්න පුළුවන් .......

එතකොට ප්‍රේක්ෂකයෝ?

අන්න ඒක ප්‍රශ්නයක්................. නළුවට ප්‍රේක්ෂකයෝ කැමති නම් ..අපිට පුළුවන් ලස්සන නාට්‍යක් හදන්න .. ආදරණීය ..

කියන්න ...ආදරෙයිද මට ?..............

ඔව් ආදරෙයි  ^_^



ප්‍රශ්නාර්ථ  ???

මම අයෙම කතාවක් පටන් ගන්නද ? ඒකත් බස් එකක සිද්ධියක් ..

හා කියන්නකො

ඇත්තටම ඒක කියන්න ඕන ඔයා හෙට පාන්දර වැඩට යන්න බස් එකේ එල්ලිලා ඔහේ බලාගත්ත අතක බලාගෙන ඉන්න වෙලාවක

ඇයි එහෙම කියන්නෙ

නැහැ සිද්ධියක අපි හැබැහින්ම ජිවත් වෙනකොට සමීප වෙනවා වැඩී

දැන් කතාව කියන්නකො ...

නැහැ මම කියන්න හැදුවෙ ඔයාට බස් එකේ යද්දී පේනවද බස් එකේ ජනෙල වලින් හිත කියන දැල ඈතටම විසි කරලා එක එක ජාතියෙ හීන නමැති මාළු අල්ලන ගෑණු මිනිස්සු ....? තමන් කැමති පාට පාට හීනවල මාළු අල්ලලා අස්වැන්න වැඩි කරගන්නව. හැබැයි බහින්න ලං උනාම ආයෙම ඒ හිත දැලේ එකතු වෙච්ච හීන කියන මාළු ඔක්කොම විසික්කරලා දැල අකුලා ගන්නවා. එහෙම කරන බිම බලන් බස් එකෙන් බහිනවා. හැබැයි අහම්බෙන් හරි එක හීන මාලුවෙක් දෙන්නෙක් ඉතිරි උනොත් උන් ලොකු පෙරලි කරනවා....

දැන් ඇයි මේවා මට කියන්නෙ ? ..........

..............................................................................

මම හිතන්නේ නැහැ මේ එපිසෝඩ් එකෙන් දුන්න හාට් ඇටැක් එක ඊළඟ එපියෙන් දේවි කියල. කොහොමත් ඕනවට වැඩිය බලාපොරොත්තු තියගත්තම වෙන්නෙ තියන ආසාවත් දියවෙලා යන එක. හැබැයි මෙහෙම පොඩි කුහුලක් අවුස්සලා නතර වෙන එකත් හොඳයි .... එතකොට අපි බලාගෙන ඉන්නවනෙ ඊළඟ කොටස එනකන් ....

..............................................................................

ඔයා කර්මය විශ්වාස කරනවද ?

ඔව්

එතකොට පෙර ආත්මෙක අපි කරපු දේවල් මේ ආත්මෙටත් මේ ආත්මෙ දේවල් තව අත්මෙකටත් ඉතිරි වේවි ඇරියස් වගේ යනවා කියල ඔයාට හිතෙන්නේ නැතිද ?

ම්ම්ම්ම් ... ඔව් ....

දැන් මට ඔයා කියන්න හදන්නෙ අර දැලේ ඉතිරි උන මාළුවො වගේ කියලද ? තවත් බර කල්පනාවකට ඉතිරි වෙච්ච හීනයක් මුල පුරනවා වගේ ??? නැත්නම් අවිනිශ්චිත මරණයක් කෙලවර ඊළඟ ආත්මයේ එපිසෝඩ් එක ගැන කුහුලෙන් ඉන්නවා වගේ දෙයක්ද ?

ඔයා ගැඹුරට හිතනවා වැඩී ....

මේ මම ? ..නැහැ මම ඔයාගේ හිත කියවන්න හැදුවෙ .... ඔයා මොකක්ද කියන්න හැදුවේ කියල මම කලින්ම අනුමාන කරන්න හැදුවෙ .......

නොදන්න මලක් පිපෙන්න කලින් පොහොට්ටුවේ පෙති මෙච්චරයි කියනවා වගේ ..........

හ්ම්ම් ... ඔව් මම වරදින්න පුළුවන් .... දෙයක් වෙන්න කලින් හිත අස්සෙ උපකල්පන මහ කඳු ගොඩක් ගොඩ ගැහුනම එහෙම වෙනවා ...

ඉතින් අපි කෙලින් කතා කරමුකෝ ...ප්‍රශ්න ඉවරනේ එතකොට ...

එතකොට වැරදියට හිතන සම්භාවිතාවය අඩුයි නේද?

ඔව් ඔයා හරි අපිට අවිනිශ්චිත සිතිවිලි කුලකයේ බහුතරයක් උප කුලක ගොඩක ඉන්නේ නැතිව එලියට පැන ගන්න එතකොට පුළුවන්...........

අපි කෙලින් කතා කරමු ??

හා ද ?


හා ........

Sunday, January 14, 2018

ඈ නිල් නයන නිති දිදුලන රුව නුඹද
ඈ වත කමල හැඩවෙන සිනහව  නුඹද
ඈ සිත් මලට පෙම් කල බඹරිඳු නුඹද 
සවනට කොඳුර පෙම් බස් කීවේ නුඹද

නුබ ගැබ සිසාරා සිසි හිනැහෙන රැයක 
දහසක් තාරුකා ඇසි පිය නිති සලන
අහසට මුව අයා  සිත පා කර යවන
ඈමද  නුඹ සෙවූ කැලයක පිපුණු මල

මදනල නටන රැඟුමක මතකය පටල
විහඟෙකු සේම කිච් බිචි ගා බස් තෙපල 
තුරු ලිය සේම සීතල අත් වැල් පටල 
ඈ යන මඟක සෙවණැලි මැව්වේ නුඹද

දහවල රිවිට දිදුලණ චවි වර්ණ නැතී
නා දලු සේම රතු වූ තොල් පෙති නොමැතී
රෑනක කිතුල් සේ දිග වරලස නොමැතී
එනමුදු ඇගේ හද ගත සොර නුබඳ සකී