Saturday, February 28, 2015

නිහැඬියාවකට පසු ........


පහුගිය මාස හතර තිස්සෙම  හැමදාම උදේ අටට මහරගම ඔරලෝසු කනුව හරියෙන් තියන  ඒ පාන් බාගයක් වගේ පොඩි රෝස බස් එකට නැග්ග,දුවල ගිහින් footboard එකේ එල්ලුන ඒ කෙට්ටු උස ගෑනු ළමය තව දවස් කීපයකින් ඒ හරියෙන් වත් යන්නේ නැතිවෙයි.මහරගම පොළ මැදින් එක එක එළවලු ජාති බල බල ගිය ,පොළ දාට පහුවෙනිදා පොලේ ඉතිරිවෙච්ච කුණු ගොඩවල් මැදින්  නහය වහගෙන පැන පැන  ගිය  සමහර දවස් වලට පොළ අයිනෙනේ යනකොට පඩිපෙළවල් අයිනේ වාඩිවෙලා ගිය හිඟන මිනිස්සු දිහා බල බල ගිය ඒ කෙට්ටු උස ගෑනු ළමයාගේ  training  period එක මේ මාසේ අග වෙද්දී ඉවරයි.ඒ කියන්නේ කාලයක් ලියන්න තියා  කියවන්න වත්  අඩුම තරමේ හුස්ම ගන්නවත් බැරි වෙන විදිහට  වැඩ  කන්දරාවකට කොටුවෙච්ච  නිදහස හොරු ගෙනිච්ච  කාලේ ඉවරයි. කෙටියෙන්ම කිව්වොත් ආයෙත්  හංසි ට ලියන්න  පුළුවන් වෙයි. :D 


 ටිකක් අමාරුවෙන් ඒ මාස හතර ගෙව්වුවට  අමාරුවෙන් උනත් ගෙවපු ඒ මාස හතරේදී ඇහැට දැක්ක හිතට දැනුන දේවල් නම් බොහොමයි.ඒ වගේම ලබපු අත්දැකීමුත් බොහොමයි.සමහර මිනිස්සු කොච්චර දුක් විඳිනවද.ජීවිතේ කොච්චර පුදුමාකාරද  කියල ඒ මාස හතරට හොඳටම දැනුන.training එකෙන් ලැබුන දැනුමට වඩා වැඩි අත්දැකීමක් ඇසුරු කරපු මිනිස්සුන්ගෙන් ඇහැට දැකපු විඳපු දේවල් වලින් ලැබුන කිව්වොත් නම් හරි.ජීවිතේ දිගුම ඒ මාස හතර ගෙවුනේ මහරගම පිලික රෝහලේදී. 


හැමදාම  පාන්දර පහට  නැගිටලා අඩ  නින්දේම ලාස්තිවෙලා පැය  දෙකහමාරක්  තිස්ස්සේ බස් එකේ බඩගාලා බඩගාලා කැම්පස් ගිය මට  මහරගම tarining   හම්බෙද්දී නම්  දැනිච්ච එකම සතුට අනේ ඇති යාන්තම් දැන් වත් නිදහසේ නිදාගන්න පුළුවන් කියන එක විතරමයි.නින්දයි  මායි  අතරේ තියන අතිශය නිර්මල ප්‍රේම සම්බන්ධය ගැන ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ :D training  ගිය පලවෙනි දවසේ නම්  5.30 ට විතර නැගිට්ටට ඊට පස්සේ 6 ආයේ 6.15 දැන් 6.20 වෙනකන්  කෝට්ටේ බදාගෙන  නිදාගෙන අන්තිම හීනේ අන්තිම episode එකත් බලලම තමයි නැගිටින්නේ.හැබැයි ඉතින් හදිසියේ හරි  තාත්ත කෑගහල ඇහැරවද්දී 
 ඉතින් to  be  continued  තමයි. එතකොට අමාරුවෙන් නැගිටලා ආයේ කිරි එක අරන් ඇවිත්  ඇඳේ ඉඳන් බොන ගමන් ආයෙත් නිදි .ඊටපස්සේ  ඔන්න වෙනද වගේම පරක්කුවෙලා  අන්තිමට  මෙලෝ සිහියක් නැතිව පට පට ගාල ලෑස්තිවෙලා දුවල ගිහින් සෙනග පිරිච්ච බස් එකේ එල්ලෙනව. පැයක් විතර  බස් ගමනකින්  චප්ප වෙලා චප්ප වෙලා ගිහින් අන්තිමට  මහරගමින් අමාරුවෙන් එලියට පැන  ගන්නවා.


එතන ඉඳන් මහරගම පිලික රෝහලට වෙනකන් යන ටිකට තමයි  මං  ආසම මොකද හිතන්න දකින්න ගොඩක් දේවල් ඒ පොඩි වෙලාවට දකිනවා. පොළ මැදින් ගිහින් තමයි කටුවාවල බස් එකට නගින්නේ.පොළ තියන දවස් වලට නම් නියමයි.එතන වෙනමම ලෝකයක්.  සමහර මිනිස්සු ලොකු එලවලු මලු පුරෝලා එහාට මෙහාට යනවා ,තවත් සමහර  අය එකක් උඩ  එකක් එළවලු තියල ලස්සනට අඩුක්  කරනවා තවත් තැනක කෙනෙක් පරණ ලොතරැයි ලෑල්ලට ඇණ ගගහ අලුත් ලොතරැයි එල්ලනවා සමහර ලොතරැයි මලක් වගේ ලස්සනට හදනවා .තවත් තැනක කෙනෙක්  එළවලු ගොඩක් වටකරන් පොඩි බංකු  කොනක  වාඩිවෙලා කහට කෝප්පයක් බොනවා. තවත් තැනක ඉටිරෙදි එල්ලලා ආවරණය කරලා වැඩ පටන් ගන්නවා.හැමෝම වැඩ පටන් අරන් .මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් උදේම බඩු  ගන්න ඇවිත්. ඕව බල බල මාත් පොලේ කෙළවරටම යනවා. පොලේ කෙලවරේම  මාළු විකුණන තැන  මුවහත් පිහියෙන් තඩි ලොකු මාළු මාලුවෙක්  කුට්ටි කුට්ටි වලට කැපෙනවා පේනවා. ඒ වටේට හෙමින් හෙමින් ටික ටික මිනිස්සු  රැස් වෙනවා  එතනම ලොකු වට්ටිවලට අඩුක්  කරපු එක එක ජාතියේ මාළු වලට මාන  බලාගෙන උඩ  ටකරන් වහලේ ඉඳන්  කපුටෝ රැලක්.  උන් එකා  දෙකා රැස්වෙලා මාළු  වලට කෙල හලනවා. හැමෝම තම තමන්ගේ වැඩ රාජකාරී පටන් අරන්.හරිම කඩිසරයි. 


පොළ තියන දවස් වලට  නම් ලස්සනයි වටේම එක එක ජාතියේ එළවලු වලින් පාට පාට වෙලානේ. හැබැයි පොළ ට පහුවෙනිදා  එතන තියෙන්නේ වෙනමම පරිසරයක්. එදාට ඒ මැදින් යන්නේ  එහාට මෙහාට  පැන පැන  තැලිච්ච කුනුවෙච්ච එළවලු වලින් මග ඇරලා.ආයේ ඉතින් සමහර තැන්  වලින් නම්  නහයක් කටක් ඇරගෙන යන්න නම් බෑ.පාර සුද්දකරන මිනිස්සුන්ට පින් සිද්ධ වෙන්නම දවල් වෙද්දී ඒ හරිය ආයෙත් තිබුන තත්වෙටම එනවා.මං හිතන්නේ මම  කලින් මේ මිනිස්සු  ගැන ලිපියක් ලියන්න හිතුවෙත් මේ දේවල් දැක්කයින් පස්සේ. 


මේ දේවල් දකින්නෙ  පොළ මැදින් යද්දිනෙ  හැබැයි තව පාරක් තියනවා පොළ අයිනෙන්.පොළේ කඩිසරව  මිනිස්සු වැඩ කරද්දී  පොළ පැත්තෙන් තියන ඒ පටු පාරේ ඉන්න මිනිස්සු හැමදාම එකම ඇඳුම ඇඳන්.එකම දිහාවක් බලාගෙන  ඔහේ කල්පනාකරගෙන ඉන්නවා.ඒ සමහර මිනිස්සුන්ගේ මුහුණවල් කිසිම කතාවක් නොකියන කිසිම හැඟීමක් ඉරියව්වක් පෙන්නේ නැති හිස් මුහුණු.සමහර මුහුණු වල මාස හතර පුරාවටම මම  දැක්කෙ දුක්බර බවක්.මේ මිනිස්සු වාඩිවෙලා තියන පඩිපෙළ තැනක පිඟන් බඩු  රෙදි මලු ගොඩාරියක් ගැට ගහල මලුවල ඔතල ගොඩ ගහල තියනවා.ඒ දේවල් දකින මම හැමදාම මගෙන් අහනවා මේ මිනිස්සු කොහෙන්ද ආවේ?.ඇයි  මේ  බඩුමලු ? මේ මිනිස්සුන්ට ගෙයක් තිබ්බෙම නැද්ද? හැමදාම ජීවත්වෙන්නේ පාරේද ? මේ හැමදෙයක්ම මම මගෙන්ම අහල ඒ අයගේ ජීවිත කතාව මං ම හිතින් ගොඩනගනවා.හැබැයි අර කිසිම හැඟීමක්  ප්‍රකාශ වෙන්නේ නැති  හිස්  මුහුණු තියන මිනිස්සුන්ගේ  ජීවිත කතාව හිතින් ගොඩනාග ගන්න බැරිව හැමදාම කුතුහලයෙන් ඒ මූණු දිහා බලාගෙන යනවා. ඒ මිනිස්සුන්ගේ අත්  හැමදාම  එකමවිදිහට දිග ඇරිලා.සල්ලි ඉල්ලුවේ නැතත්  ඔහේ කල්පනාවෙන් ඈත බලාගෙන හිටියත්  ඒ අත් හැමදාම සල්ලි ඉල්ලන විදිහටම දිග ඇරිලා. අවට වෙන්නේ මොනවද කරන්නේ මොනවද  කියලවත් තේරෙන්නේ  දැනෙන්නේ නැති ගානට හිස් බැල්මෙන් බලාන ඉන්නවා.හ්ම්ම්......... වීදි ජීවිත .ඔය දේවල් බල බල තම මම හැමදාම මාස හතරක් එහාට මෙහාට ගියේ.සමාජ විද්යාත්මක වත්  මොන ජාතියක වත් ලිව්ව පොත් දාහක්  කියෙව්වත්  හිතට වදින්නේ නැති දැනෙන්නේ නැති  දකින්නැති දේවල් ගොඩක් ඒ ජීවිත දිහා බලල  කියන්න පුළුවන්.ඒ තරමටම ඒ ජීවිත නිහඬවම කතා කරනවා 


ඔහොම ගිහින් ඊළඟට නගින්නේ කටුවාවල බස් එකට.හ්ම්ම් ...එතන තියෙන්නේ අර මම කලින් පහු කරපු පොළ වත් දැකපු හිඟන මිනිස්සුන්වත් නැති තවත් වෙනමම ලෝකයක්. දැන් කාලේ අර පාන් බාගේ පොඩි රෝස බස් හොයා ගන්න නෑනේ.හැබැයි මේ  බස් හැම එකක්ම රෝස බස්.මං වගේ පොල් රිටවල් වලට ඉතින් ඔය බස් වල පොඩ්ඩක් අමාරුවෙන් තමයි යන්න වෙන්නේ.රුපියක් දහයක්  දීල විනාඩි දහයක් වත් යන්නේ නැති ඒ බස්  එකට නම් මම වැඩිය ආස නෑ.ඒ  බස් එකේ ඉතිරි රුපියල් දෙක දෙන්න මග අරින නිසාම නෙවෙයි. ලොකු බස් එකකුත් නෙවෙයිනෙ සෙනග වැඩියෙන් ඉන්නකොට  ඉක්මනට යන්න ඕනවට හැමෝම අර පොඩි බස් එකට කොහොම හරි නගිනව. කොන්දොස්තරත් කොහොම හරි හැරෙන්නවත් ඉඩක් නැතිවෙන්න මිනිස්සුන්ව පැක් කරනවා.ඉතින්  හිර වෙන්න මිනිස්සු පිරිල. මෙච්චර ජනාකීර්ණ නගරෙක මෙච්චර ලොකු තඩි බස් තිබුනත් තාම පොඩි රෝස බස් එකේ   හිරවෙලා මිනිස්සු පිලික රෝහලට යනවා.මං  හිතන්නේ කාටවත් පොඩ්ඩක් වත් හිතිලා නැතිව ඇති  එතනට ලොකු බස් එකක් දැම්මනම් මිනිස්සුන්ට කොච්චර පහසුද කියන එක.ඒ  පැත්තෙ බලධාරීන්  ගේ ඇස් අන්ධ ද දන්නේ නෑනෙ :/


කටුවාවෙල  බස් එකට නගින වැඩි හරියක් මිනිස්සු පිලික රෝහලින් බහින අය. බස් එකෙන් බාගයක්ම ඉන්නේ ගොඩක් වෙලාවට පිලික රෝගීන්. ලෙඩ වෙච්ච අසනීප වෙච්ච, මුහුණේ එක හිනාවක් වත් දකින්න බැරි මිනිස්සු ගොඩක් ඒ බස් එකේ ඉන්න නිසාම වෙන්නැති මම එකට අකමැති.ඒ බස් එකේ විනාඩි පහ යන්නේ හරි අපහසුවෙන්. මොකක්දෝ නුහුරු හැඟීමක් මට ඒ බස් එකේදී දැනෙනවා.


සාමාන්‍ය බස් එකට වඩා ඒ බස් එකත් වෙනස් ,බස් එකට නගින මිනිස්සුත් වෙනස්  ඒ වගේම තවත් දෙයක්  ඒ බස් එකටම අයිති හිඟන ආච්චි කෙනෙක් ඉන්න එකත් තවත් අපූරු කතාවක්.මාස හතරක් ම මම දැක්ක දේවල් තමයි මේ.  ඒ දේත් නොලිව්වොත් අඩුවක් වෙයි. ඒ ආච්චිනම් හැමදාම එකම ඇඳුම ඇඳන් එන්නේ නෑ .දවස් දෙකකට සැරයක් වත් වෙනස් ඇඳුමක් ඇඳන් එනවා.  අපිරිසිදු වගේ පෙනුනත් කොන්ඩෙ  හොඳට තෙල් ගාල පීරලා කොණ්ඩ කටුත් ගහගෙන තමයි  එන්නේ.හිඟමන් යදින එක තමයි එයාගේ රස්සාව.බස් එකත් හරි එයත් හරි .හැමදාම බස් එක ගාව එයා  ඉන්නවා හැම බස් එකටම නැගල හැමදාම කියන එකම වාක්‍ය ටික හැමදාම කියනවා.කලාතුරකින් කීයක් හරි වැඩියෙන් ලැබුනත් හැමදාම හම්බවෙන්නේ ටිකයි මොකද ගොඩක් වෙලාවට එකම මිනිස්සු පිරිසක්නේ නැත්නම් හැමදාම එන එකම ලෙඩ්ඩු පිරිසක්නෙ  ඒ බස් එකට නගින්නේ ඉතින් ඒ ආච්චිගෙ  එකම කතාව අහල ඒ මිනිස්සුන්ටත් පුරුදුයි.  මාස හතරක් තිස්සෙම ඒ ඇහිච්ච ටික  මතකේ රැදිච්ච ඒ ආච්චි කියන වචන  ටිකත් මම කියන්නම්කො  :) 


"නෝනා මහත්ත්යන්ට යහපතක්ම වේවා ... බස් එකේ යන අයට  කොන්දොස්තර මහත්තයලට රියදුරු මහත්තයලට යහපතක්ම වේවා ...

මට බෙහෙත් ටික ගන්න උදව් කරන්න ...  අපි එනකොට ගෙනාවේ නෑ යනකොට ගෙනියන්නේ පින පමණයි ..කන්න නමෙයි. ඉල්ලන්නේ බෙහෙත් වලටයි ඉල්ලන්නේ කීයක් හරි දෙන්න මහත්තයා .... ගෙදර සිය පවුලටම යහපතක්ම වේවා කියල මේ ආච්චිඅම්මා ප්‍රර්ථනා කරනවා ... සිය පවුල කියන්නේ ගෙදර කට්ටියටම හොඳේ ...අනන්තවාරයක් පින් " 

 මේ මාස හතරක් තිස්සෙම මට ඇහිලා පාඩම් උන ටික.මේ  එයාගේ රස්සාව .. මාස හතරක් තිස්සෙම පිලික රෝහලට යන හැම දවසකම වගේ මට එයාව මුණ ගැහුනා ...


හ්ම්ම්...මං  හිතන්නේ මේ මාස හතර පුරාවටම මම ගොඩක් විදි ජීවිත ගැන හෙව්වා නැත්නම් දැක්ක මේ ජීවිතවල තියන ගුප්ත බව  පිටට නොපෙනෙන සංකීර්ණ බව   නිසාම ඒ මිනිස්සු ගැන විමසිල්ලෙන් බලන්න පෙළඹුනා. මේ මම කිව්වේ ටික දෙනෙක් ගැන.මේ වගේම පිලික රෝහලට යන පාරේ ඉන්න  හැම දාම හවසට වැඩ ඇරිලා එද්දී අපිට හම්බෙන ,බල්ලෙකුත් එක්ක පාරට වෙලා ඉන්න  මනුස්සය වගේම පාරේ බඩු විකුණන මිනිස්සු .පොඩි ළමයින්ව තියාගෙන හිඟා කන අම්මල  වගේම පිලික රෝහලේ අතුගාන අය, ලෙඩ්ඩු ,ලෙඩ්ඩු බලන්න ඇවිත් දවස පුරාම ගෙවන මිනිස්සු මේ හැමෝම නිහඬවම ඒ ගොල්ලන්ගේ කතාව ගොඩ නගන්න මට ඉඩ දුන්න .මගේ ජීවිතේ මම හැමදාම හොයන්න කැමති උනේ හිනාවක්.ඒ හිනාවේ අයිතිකාරය මම අඳුනනවද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් උනේ නෑ.හැම තැනම හෙව්වේ හිනා මුහුණු ....සතුට ඒත් හැමෝටම එක වගේ හිනා වෙලා ඉන්න බෑ කියල මට තේරුනා .ඒකයි ඇත්ත.


 මාස හතරේදීම දැක්ක දේවල්  හරියට අඳුරු ආයෙත් දකින්න අකමැති දේවල් ගොඩක් වගේ.  හ්ම්ම් .. තව ලියන්න ලියන්න දේවල් ගොඩක් මතකෙට ආවත්  මට නතර කරන්න හිතෙනවා .. මේ ලිව්වා ඇති  කියල හිතෙනවා .මොකද මේ දේවල් ලියද්දි ඒ දේවල් ආයේ ආයේ මතක් වෙන නිසා ...මේ ජීවිතේ අනිත්‍යයි. හිතන තරම ලස්සන සුන්දර ර නෑ . අපි කොච්චර සුන්දර ලස්සන විදිහට ජීවත් උනත් ..ජීවිතේ ලබන්න පුළුවන් අන්තිම කටුක තිත්ත අප්‍රසන්නම අත්දැකීම් ලබන මිනිස්සුත් මේ ලෝකේ හැමතැනම ඉන්නවා ...මේ හැමදේම සිද්ධ වෙන්නේ මේ හැමදේම ලැබෙන්නේ කර්මය  අනුව නම් අඩුවක් නොලබිච්ච පින් කරපු  මේ ලැබිච්ච වටිනා ජීවිතේ යහපත්ව ගෙවන විදිහ ගැන අපිට තව පාරක් හිතන්න වෙනවා කියලයි මට හිතෙන්නේ  ... ආයෙත් හිතන්න යමක් ........





Friday, February 20, 2015

මේ නිහඬබව බිඳින්න ....

මම ආසයි නිහඬ බවට හැබැයි මේ නිහඬ බවට නෙමෙයි.නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න කලබල කාරී නැති නිහඬ බවට ආසයි.එත් කතා කරන්න  කවුරුත් නැති පාළුව තනිකම දැනෙන මේ නිහඬ බවට මම බයයි.ඒ නිසා කතා කරන්න ..වචනයක් හරි ...කතා කරන්න .. 

මේ නිහඬබව කොච්චර හිත රිදවනවද කියල ඔයා දන්නවද...මේ නිහඬ බව හිත කොච්චර පාරනවද කියල ඔයා දන්නවා නම් ඔයා මා  එක්ක කතා කලාවි.ඒත් තාමත් ඇයි  නිහඬ.මේ නිහඬ බව මාව තනිකරනවා .මට පාලුයි. ඒ පාලුව ඔයාටත් දැනෙනවද ...දැනෙනවානම් වචනයක්... අනේ එක වචනයක් කතා කරන්න.

ඔය ඇස්   වලින් කතා කරන්න එපා ... ඒ ඇස්   දිදුලන්නේ කඳුළුවලින් කියල මම දන්නවා .. කතා කරන්න මා  එක්ක .. හිතේ තියන හැඟීම්  හැම දෙයක්ම කියල දාන්න... එලියට විසිකරලා දාන්න..එක වතාවක් ...ත්.... ත්  ඇයි තාමත් ඔය අහක බලාගෙන... ? 

 අල්පෙනෙත්තක් වැටෙන හඬටත් මං  දැන් ආදරෙයි  මොකද මට මේ නිහඬ බැවින් මිදෙන්න ඕන.මේ නිහඬබව මාව තනිකරනව.හැබැයි මම එක දෙයක් දන්නවා ..මේ නිහඬ බව කතා කරනවා තොර තෝංචියක් නැතිව කතා කරනවා ඒ කතාකරන්නේ ඔයා  ගැන ..අපි ගැන ..අපි ගතකල ඒ ලස්සන අතීතය ගැන ....ඔයා  ඔච්චරම මේ නිහඬ බවට ආදරේනම් ..කතා කරන්න ඉඩදෙන්න මේ නිහඬ බවට ..ඇහුම්කන් දෙන්න මේ නිහඬ බවට ....

Silences are sounds,
Sometime, come to listen..
They'll blossom by just touching you,
Sometime call them home.
They're restless to talk to you, 
Let them speak..

https://www.youtube.com/watch?v=lUKUtJEy9yY



Movie: Khamoshiyan
Music: Jeet Gannguli
Lyrics: Rashmi Singh
Singer: Arijit Singh 

Khamoshiyan.. teri meri khamoshiyaan