Tuesday, December 1, 2020

නිදහසේ පියාඹන කුරුල්ලෙක්

 එදා මුළු දවසම කොලඹ ඇවිදල හෙම්බත් වෙලා හිටියෙ.  ඊලඟ කෝච්චියට පැය බාගයක් වෙලාව තියන බව දැනගෙන මම ස්ටේශම ගාව තියන කෑම කඩේකට ගියේ බඩගින්න වැඩිකමට. පහුගිය දවසක පදික වේදිකාව ගැට්ටෙ අතුල්ලල පාන් කපන පිහියක් මුවහත් කරනව දැක්ක නිසාම  කිසිම කෑමක් කන්න ප්‍රියක් තිබ්බෙ නෑ. ඒනිසාම සිසිල් බීම බෝතලයක් අරගෙන මම වාඩිවෙන්න තැනක් බැලුව.වටේටම සෙනඟ පිරිල. වේටර් කොලුවට මෙලෝ සිහියක් නැහැ එහෙට මෙහෙට දුවල.

"මිස් වාඩිවෙන්න තැනක් ද  හොයන්නෙ ? අන්න අතන ඉඩ තියනව " වටපිට බලන සුනංගුවෙන්ම මට අවන්හල කෙලවරේම තියන පුටුවකට අත දික්කරා. පුටු දෙකක් තියන මේසෙක එක පුටුවක් හිස්.හැම පැත්තෙන්ම වට කරගත්ත මිනිස්සුයි මැස්සොයි පීර පීර මං පුටුව ගාවට දිව්ව.

එයා ඇණවුම් කරල තිබ්බෙ බිත්තර ආප්ප කීපයකුයි උලුඳු වඩේ දෙකකුයි.එක උලුඳු වඩේ බාගයක් දියාරු සම්බෝල පීරිසිය මැද්දක ගිලිල. තේක වටේටම මැස්සන්ගෙ  කලබල සාකච්චාවක්. උන් තේ පොඩ්ඩ පොඩ්ඩ රහ බලන ගමන්  කලබලෙන්  වටේම කැරකෙනවා. මං ඇණවුම් කරපු  සිසිල් බීම එක උරන  ගමන් කුතුහලෙන් එය දිහා බලන් හිටිය. මං වගේම කෙට්ටු උස කොල්ලෙක්.කොණ්ඩෙ  නම් ඉතින් ගන්න දෙයක් නෑ වටේටම සුදු කෙස් පිරිලා. නිකට ගාවෙනුත් පොඩි රැවුල් කොටයක් රැඳිලා. ඒකෙත් වටේටම සුදු කෙස්  සේනාවක් ආක්‍රමණය කරල. කෙට්ටු මූණ පිරෙන්න රැවුලත් නරකම නෑ.කොල්ලෙක් කිව්වට තරුණ කොල්ලෙක්ම නෙවේ වයස 35 වගේ ඇති ඕනෙනම්.

 දැන්  විනාඩි කීපයක  ඉඳන් මම එයා ඉන්න මේසේ වාඩි වෙලා ඉන්නව කියලවත් ගානක් නෑ.මම කුතුහලෙටම බීම බොන එක නවත්තල එයා දිහා බලන් හිටිය.
ඔලුව බිමට හරවගෙන මොකක්දෝ එකක් කුරුටු ගානව. ඇස් බෝල සැරින් සැරේ බිම දිහාට යොමුවෙල ආයෙම සුදු කඩදාසිය  අතර දිවෙනව මම හිමින් සීරුවෙ බෙල්ල ඇලකරලා බිම දිහා බැලුව. බිම හිටියෙ තොරතෝංචියක් නැතිව අත පය ලෙව කකා ඉන්න  මඩ පාට පූස්  නාම්බෙක්. මේ මනුස්සය මේ ජරා පූසව  අඳිනවා වත්ද?

පුටුවට හේත්තුවෙලා දකුණතින්  කඩදාසි කොලේ කුරුටු ගාන ගමන්  වමතින් අර සම්බෝලෙ මැද ගිලිල තිබ්බ උළුඳු වඩේ බාගෙ කටින් කඩාගත්තා. එකෙන් කෑල්ලක් පූස දිහාට විසික්කරලා සම්බෝල රැඳිච්ච ඇඟිලි තුඩු සූප්පු කරලා ආයෙම කුරුටු ගාන්න පටන් ගත්ත.විනාඩි කීපයක් වත් ගියේ නැහැ එයා කුරුටු ගෑම නැවැත්තුව. කඩදාසිය මේසෙ උඩින් තිබ්බ.මම බෙල්ල දික්කරල එයාට නොදැනෙන්න කඩදාසියට එබිකම් කළා.මම හිතුව හරියටම හරි නෑ.මම හිතුවේ කඩදාසිය පුරාම කළු තීන්ත පාරවල් වලින් මතුවෙච්ච කළු සුදු පූසෙක්.ඒත් එතන තිබ්බේ කාටුන් චිත්‍රයක්.  කලබල අවන්හලක්.මිනිස්සු තේ බොන, සාකච්චා කරන කලබල අවන්හලේ එක මේස කකුලක චූටියට අර පූසා කකුලක් ලෙවකන කාටූන් චිත්‍රයක්.  

චිත්‍ර ශිල්පියෙක් නෑ කාටුන් චිත්‍ර ශිල්පියෙක්  මට හිතුන.

එයා එක පාරටම මා දිහා බැලුව.ඒ බැල්මෙන්  මං  තිගැස්සුන. ඒ වෙනකොටත් මම හිටියෙ බීම  බටේ හපාගෙන එයාගේ  චිත්‍ර දිහා බල බල. පොඩි ලැජ්ජාවකුත් එක්ක මම අමාරුවෙන් හිනාවෙන්න හදද්දි  එයා දත් නොපෙන්වෙන හිනාවකින් මා දිහා බලල තේ කෝප්පය අතට ගත්ත. තේ කෝප්පෙ උඩ  සාකච්චා පවත්වපු  මැස්සෝ ටික සී සී කඩ විසිරිලා ආයෙම බිත්තර ආප්පෙ උඩට එකතු උනා.
 ලස්සනයි ..... මම හෙමින් කිව්ව.

එයා  ආයෙමත් අර දත් පෙන්නන්නැති  හිනාව දැම්ම.

ෂ් ..ෂ් .. මල්ලි .......,අතටත් වඩා ලොකු එල්ලෙන ඔරලෝසුව හරවල  බලන ගමන් එයා වේටර් කොලුවට කතා කලා. මල්ලි මේකෙ  ගාන කියද ? මට මේ බිත්තර ආප්ප දෙක ඔතල දෙනවද ?

"ආ  නිතේෂ් අය්යා  ෂරි  ෂරි .. අහ්හ් අද  මොකක්ද ඇන්දේ?"  

ඉතිරි වුන කෑම පිඟන් එකතු කරන ගමන්  වේටර් කොලුව චිත්‍රෙ   දිහාට එබිලා ඇස් පුංචි කරන් චිත්‍රෙ දිහා බැලුව...

 අඩේ අප්පා  මේ අපේ කඩේ නේද  ...ලෂ්ෂනයි  ලෂ්ෂනයි.. මේවා නෙවේ නිතේෂ්  අය්ය... අය්ය කවද්ද මාව ඇඳල දෙන්නෙ ඉතින් ? " කොල්ල චිත්‍රෙ දිහා බලල මේසෙ  තිබ්බ පිඟාන අතට ගන්න ගමන් ..... " මේ කඩේ  ඇන්දෙ මේ ඉස්සරහම ඉන්න ලෂ්ෂනය  මිස්ව අන්දනම් මොකද වෙන්නෙ. නැද්ද මිස්  කියල එයාගෙ පිටට තට්ටුවක් දැම්ම .....

 මම ලාවට වගේ හිනාවෙලා  ආයෙම  බිම බලාගෙන බීම බොනවා වගේ බීම බටේ හපන්න ගත්ත.

"මිස් දන්නවද මේ කවුද කියල "..... (නෑනේ  මටත් දැනගන්න ඕන වෙලා තිබ්බෙ ) මම  දන්නේ නැහැ කියන්න වගේ  හොරැහින්  එයා දිහා බැලුව.එයා හිනා වෙවී තේ  බොන ගමන්  චිත්‍රෙ  ආයෙම කුරුටුගාන්න ගත්ත.

"නිතේෂ් අය්ය තමයි අර රිවිකිරන පත්තරේට කාටුන්  අඳින්නෙ."

 අහ්හ් කාටුනිස්ට් කෙනෙක්....  මට එකපාරටම කියවුනා(මං හිතුව හරි එහෙනම්. හිත ඇතුලෙන් කොළ එළියක් පත්තු කලා )
 
"ඔව් ඔව් මේම හිටියට හරි  ප්‍රසිද්ධ කෙනෙක්  හරි ලශ්ශනට තමා අඳිනව"...   එයා  මොකුත් කිව්වේ නැහැ  ඇහුන නෑහුන වගේ  ලාවට හිනා වේවි  තේ බොන ගමන්  කකුල වටේ එතෙන පූස දිහා  බල බල හිටිය
.
අය්ය  තව මොනවා හරි ඕනද  මම බිලයි කෑම එකයි  කැෂියර් එකට දෙන්නද?

හරි මල්ලි  මම එන්නම් ...   මෙච්චර වෙලා නිහඬව හිටිය එයා කතා කලේ  එතකොට. කලබලෙන් වගේ  එක හුස්මට තේක  ඉවර කරපු එයා  කුරුටු ගෑව පොතත් අකුලලා සයිඩ් බෑග් එකේ පැත්තක දාගෙන ආයෙම අර දත් පෙන්නන්නෙ නැති හිනාව මට පෙන්නල නැගිටලා යන්න ගියා ..

-----------------------------------------------------------------
ඒ  සිකුරාදා දවසක්   කලින් දේශන ... ඉවර උන නිසා  මම කෝච්චියෙ නැතිව  බස් එකේ ගෙදර යන්න හිතුව. බස් නැවතුමේ එකේ  කනුවකට  හේත්තු වෙලා  ජංගම දුරකතනයකින් වටේටම ෆොටෝ ගහන  උස කෙට්ටු  කොල්ලෙක්  මම ඈත තියාම දැක්ක.කෝකටත් කියල මම  ලඟට යන්නේ  නැතිව ටිකක් ඈතින්  හිටගත්ත.අඳුරගන්න  වැඩිවෙලා ගියේ නැහැ .පහුගිය සති කිහිපය පුරාම  මුහුණු පොතේ  විස්තර හොයල  දැන  අඳුන ගත්තට පස්සෙ  ආයෙමත් හැබැහින් දැක්කෙ අද.ඒකත්  අහම්බෙන්. නිතේෂ්  ..ද  කටුනිස්ට් .. මම කියන්නේ එහෙම.එයා මම ජිවිතේ දැකපු ,ජිවිතේ මේ තාක් කාලයක් අඳුරගත්ත චරිත වලින්  වෙනස්ම චරිතයක් ඉගෙනීම විභාග රැකියාව දරුමල්ලෝ පසුපස්සේ එක රෝත්තේ දුවන අපි හැමෝම අතරේ තෙරපෙන්නෙ නැතිව පැත්තක නතර වෙලා ජිවිතේ හරිම සරල විදිහට අපූරු චරිතයක්. මම හෙමින් එයාගේ ජංගම දුරකථනය එල්ල වෙලා තියන දිහාව බැලුව. විදුලි පහන් කණුවක් උඩ දෙපැත්තකට වෙලා ඉන්න කපුටෝ දෙන්නෙක්   මට එකපාරටම හිනා ගියා. තව විනාඩි දහයක් ඇතුලත ඔය ෆොටෝව එයාගෙ ඉන්ස්ට එකේ එල්ලනවා කියල මම දන්නවා පාරේ කොනේ කම්මැලිකමේ බුදියගෙන ඉන්න බල්ලෙක්, හිඟන්නෙක්, බස් හෝල්ට් එකක්, තේ වැක්කෙරෙන තේ කෝප්පයක්  ,උද්ඝෝෂණයක් ...මේකයි කියල සීමාවක් නැහැ අවට දකින හැම අහුමුලු සිද්ධියක්ම එයාගේ ජංගම දුරකතනයේ කැමරාවට අහුවෙලා.සමහර පින්තූර ලොකු කතාවක් කියනවා.සමහර දේවල් හැමදාම දැක්කත් අපි  සත පහකට මායිම් නොකරපුව හැම ෆොටෝවකම අපි  හොයන්න යන වෙනස ආර්ට් එක නෙවේ එතන තියෙන්නෙ. උදේ හවා දැක්කත් හිතයි ඇහැයි නතර වෙලා බලන්න වෙලාවක් නොතිබුන ගොඩක් තැන්වල එයාගේ ඇහැ නතර වෙලා.අපි හති  දමාගෙන එක රෝත්තකට දුවද්දී   එයා නතර වෙලා. ඒ හැම ෆොටෝවක් දකිද්දීම මට හිතුනේ එහෙම ......
පහන් කනුව උඩ හිටිය හිටිය කපුටෙක් එකපාරටම ඉගිලිලා ගියා. මම එයා දිහා බැලුව. ඒ වෙනකොටත් එයා ෆොටෝ අරන් ඉවරවෙලා ජංගම දුරකතනයට මූණ  ඔබාගෙන මම ලඟට යද්දීම එයා ඉබේටම වගේ මා දිහා බැලුව .

"නිතේෂ් නේද .... මතකද මාව ... .ම්ම්ම්  අර එෆ් බී ..." 

එයාට එකපාරටම මාව අඳුරගන්න බැරිඋනා  " අහ්හ්  ආ .. හරි  හරි මතක් උනා..කොහොමද කොහෙද මෙහෙ ..අද ලෙක්චර්ස් නැද්ද  "

"ලෙක්චර්ස් කලින් ඉවර උනා මේ ගෙදර යන ගමන් ...ඔයා ?? අද කොහෙද යන්නෙ .. හැමදාම වගේ ලංකාව වටේ ගිහින් ෆොටෝ ගහනවද ? 

"හා හා  නැහැ මං  මේ  මහවැලි සෙන්ටර් එකට යන්න "

"අහ්හ් ඒ ඇයි  බුක් ලෝන්ච් එකක් ? "

"ඔව් .. හැබැයි ඔයා බලන කවිපොතක්,  නවල් එකක් නෙවේ ඔයා අකමැති සබ්ජෙක්ට් එකක්   " එයා නක්කලේට වගේ හිනා උනා 

"ෂුවර් එකටම දේශපාලන කතා සම්බන්ද එකක්ද..අපෝ  එහෙනම් එපා   "

ආයෙමත්  හය්යෙන් හිනා උනා "හා හා .. ඔව් ... ටිකක් ඒ වගේ පොතක් තමා. හැමදාම සිහින ලෝක වල ඉඳන් නවකතාම කියවන්න එපා ..වෙනසකටත් එක්ක  මේ පොතුත් කියවන්න  " 

මං  මූණ ඇදකරගත්ත 

"හ්ම්ම් .. බලමු බලමු ..කවුද රයිටර් "

"අද හවස වැඩක් නැත්නම් එන්න... රයිටර්  ඔයා දන්නා කෙනෙක්. කියනවට වඩා ඇවිත්ම බලන්න.... " 

හිතේ පොඩි අකමැත්තක්  තිබ්බත් වෙනසකටත් එක්ක ගිහින් බලන්න මට උවමනා උනා.පොතටත් වැඩිය මට උවමනා උනේ  එයාගේ අදහස් දැනගන්න කතා කරන්න.138 බස් එකේ ගිහින් අපි කොළඹ මහජන පුස්තකාලේ ගාවින් බැස්සා......එයා ටිකක් නිශ්ශබ්ද චරිතයක් ඒත්  මම කතාවට අල්ල ගත්ත.
"ඔයා වැඩට යන්නේ නැද්ද ? මෙහෙම ගියාම කාටුන් අඳින්නෙ කොයි වෙලාවටද ? "
"අද හාෆ් ඩේ .. අඳින්න වැඩි වෙලාවක් යන්නේ නැහැ ..හිතන්න තමයි වෙලාවක් යන්නෙ "

"හිතන්න ඔච්චර වෙලාවක් යනව ?? "

"ඔව්  ඇයි ?"

"නෑ  ... නිකං .. මට එහෙම වෙලාවක් යන්නේ නැහැනෙ. අනෙක හිතෙන එක සාමාන්‍ය දෙයක්නෙ.ඉක්මන් හිතුන ක්‍රියාත්මක කළා එච්චරයි "

 "ඔයාට ප්‍රශ්නයක් ආවම කල්පනා කරන්නේ නැද්ද ....""එතකොට නම් ඉතිං ..පැය  ගණන් කල්පනා කරනව. එත් ඉතිං ප්‍රශ්න කියල හැමදාමත් නැහැනෙ"

"හ්ම්ම් ..ඔව් ..ඒ මොකද ඔයාට තියෙන්නෙ  ඔයාගේ ප්‍රශ්නේ විතරනෙ ඔයා ඔයාගේ ප්‍රශ්නේ එක්ක හැප්පෙනව විසඳුමක්  ගන්නවා  සෑහීමකට පත්වෙනවා  ආයෙම නිහඬ වෙනව"

" අපි හිතන්න ඕන ..ඔයාගේ ප්‍රශ්න,  අනෙක් මනුස්සයාගේ ප්‍රශ්න,  රටේ හැමකෙනාගෙම ප්‍රශ්න, ලංකාවෙ අහුමුල්ලක් නෑර වෙන හැම දෙයක්ම. හැමෝම බැටකන පොදු ප්‍රශ්නයක්  අරගෙන  ඊලඟට  හිතන්න ඕන ඒක කොහොමද  මිනිස්සුන්ට දැනෙන්න අඳින්නෙ කියල.කාටුන් චිත්‍ර කියන්නෙ තවත්  එක ප්‍රකාශන මාධ්‍යක්.ඔයා අහල තියනවද "A picture is worth a thousand words" කියල. සමහර විට වචන දාහකින් කියන්න හදන දෙයක්  එක තනි  චිත්‍රෙකින් කියන්න පුළුවන්.ඉතිං හිතන්න ඕන ...දකින්න ඕන ..විඳින්න ඕන.... ඒක රේස් එකක් දුවනකොට බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ දිහා බලන් ඉන්නවා වගේ මිනිස්සු දිහා බලල බැහැ ..තේරුනාද "

"ඔව් ඇත්තමයි .... හ්ම්ම්  මම ඔයාගැන හිතුව හරි " 

"මොනාද ?"

"නැහැ මොකුත් නැහැ..."

පොත්  එළිදැක්වීමට  පැයකට කලින් ගිය නිසා  කතා කරන්න ගොඩක් වෙලා ඉතිරි වෙලා තිබ්බ.අපි විහාරමහාදේවි උද්‍යාන කෙලවරේ තියන බංකුවක ඉඳගත්ත.කතාව අතරතුර එයා දුම්වැටියක් බොන්න මගෙන් අවසර ඉල්ලුවා එයා මගෙනුත් එක එක ප්‍රශ්න ඇහුව. වැඩියෙන්ම ඇහුවේ මම.මහ දාර්ශනික උත්තර නෙවේ එයා දුන්නෙ  එයාට දැනෙන අව්‍යාජ සිතිවිලි  ජිවිතේ ගැන හැමදෙයක්ම එයාට හිතෙන හැටියට එයා කියල දැම්ම.එයා ගොඩක් දුරට ඉගෙන ගෙන නැති උනත් ජිවිතේ අත්දැකීම්  එක්ක බොහොම විමසිල්ලෙන් හිතෙන පරිණත පුද්ගලයෙක් බවට පත් කරල .එයාගෙ ඇඳුම පවා සාමාන්‍යයි.
හෙට යාපනේ යනවලු ..අතුරුදහන් වෙච්ච මිනිස්සු වෙනුවෙන් තියන සාමකාමී රැළියකට ආයෙම සති අන්තෙ නුවර එළියේ යනවලු  වතු කම්කරුවන්ගේ ප්‍රශ්න තියන රැස්වීමකට.හැමදාම එකම තැනකටකොටුවෙච්ච ජිවිතයක් නෙවේ.සැරිසරන්නෙක්.ඒ ජිවිතේ මොකක්දෝ නිදහස් බවක් මම දැක්කා.වැටකඩොලු නැති සිමා බිඳගත්ත නිදහස් බවක්.

එයාගේ අතේ තියන දුම්වැටියට මගේ ඇස් ඉබේටම යොමුඋනා. දුම් වළලු  එක එක හැඩ අරගෙන පාවෙලා ගිහින් අතුරදන් වෙනවා තදින් අල්ල ගත්ත දුම් වැටිය නිවී නිවී දැල්වේවී  පිච්චිලා යනව.කොයිම හෝ මොහොතක අර තදින් අල්ල ගත්ත ග්‍රහණයෙන් මිදෙනවා එතනින් එහාට තවත් පිච්චෙන්න දෙයක් නැහැ දුම්වැටිය පොලවේ සාමදානයෙන් සැතපෙනවා ඇරෙන්න..

"මොකද ඔය කල්පනා කරන්නේ ... මම කියෙව්වා නේද ගොඩක් ..වෙලාව හරි අපි දැන් යමු ..ඔයාට ගොඩක් දේවල් අහන්න ඉගෙනගන්න පුළුවන් වේවි.. "

එයා දුම්වැටියෙ අන්තිම කොටස බිමදාල සපත්තුවෙන් පෑගුව ආයෙමත් ඒක අතට ගත්ත.යන ගමන් ඒක පාරේ කුණු කූඩෙකට  විසික් කලා. මහවැලි කේන්ද්‍රය වටේ පාරේ එල්ලලා තියන චිත්‍ර ගැන කතා කර කර වෙනමම සංවාදයකට ඇහුම්කන්දෙන්න  අපි ගේට්ටුවෙන් ඇතුලට පය තිබ්බ ....



 


9 comments:

  1. හන්සිට ඇත්තට හම්බ වෙච්ඡ චරිතයක් වගේ මේ කතාව

    ReplyDelete
    Replies
    1. මේ වගේම චරිතයක් හම්බුනා :) මම වෙන්න හීනමවන නිදහස් චරිතයක් ..

      Delete
  2. නිදහස් මිනිස්සු

    ReplyDelete
  3. මරු ලියවිල්ල. කාලෙකින් හංසියාගෙ පෝස්ට් එකක්. හොඳින් ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ඉයන් මාමේ (කාලෙක්න් දැක්ක නිසා ගොඩක් ආදරෙන්) <3 මම හොදින් ඔයත් හොඳින් කියල හිතනව :)

      Delete
  4. 2021 න් කවුරුත් නැත්ද..මේයාගේ හිතට වදින නිසඳැස් එනකන් බලාන..

    ReplyDelete