Saturday, July 15, 2017

දාබරේ බැන්ද මචං

පෝරුවේ නගින සකියට දිරි දෙන්න
යාලුවේ යමුද හවසට පන්සලට
මාලුවෝ නැතත් විල් මැද බාගන්න
පාඩුවේ හිටිං වෙහෙසෙනු ඇයි කුමට

බෝඩිමේ තිදෙන එක්වී දිවි ගෙව්ව
කාලයේ මතක හදෙහී ඉරි ඇන්ද
දාබරේ ඉතිං දෑඟිලි බැඳගත්ත
කෝ ඉතිං ඇසුවාද නිරතුරු කී බණට

ජීවිතේ ගැලට තවනම් බර කුමට
වැටහුනා ගුණේ මට නම් ඒ කලම
දාබරේ අනේ ආලෙන් මත් වෙච්ච්
තනිකමේ බෑහැයි කියලා ගියෙ මෙලෙස

බෝතලේ හිතැති විගහට අරගෙනම
යාලුවේ යමං රූටා කෙලවරට
දැන් ඉතිං දෙකයි වීදුරු පුරවන්ට
යාලුවේ ගනිං අඩියක් කට සැරට




Saturday, May 13, 2017

සුද්දිට

කුසුම මගෙද මා නතුකර රස වින්ද
බඹරු නැතිද මා නැති තැන ලුහුබැන්ද
මුලා වුනිද මා නුඹටම පෙම් බැන්ද
කිලුටු කුසුම් පෙති දැක ඉන්නේ කෝම

සිපිරි ගෙදර රෑ දහවල නිදි මැරුව
නුඹෙ තනියට සිත දුවවිත් මුර කෙරුව
මා සතු අමිල රුවනක්වන් රුවැති ලඳ
මේ සිත් වහන් කොට වෙනතක ගියෙ කෝම

කාසි දිදුල දෑස නිලංකර උනි ද
නේක බඹරු මත් දළ විද සැඟවුනි ද
සළු පිලි අහර නැති දා නුඹ දුක් වී ද
මේසා ප්‍රේමයත් විගහින් දියවුනි ද

පානා සෙනේ ගස්සා නුඹ යන කලෙක
වාවා කෙලෙස විඳ සැනසෙන්නේ කෝම
ඕපාදූප දෑසින් දැක වියරු වැද
ඇන්නා සුද්දියේ හදමැද පිහි පහර

-රොමියෙල්-



Sunday, April 9, 2017

හිත මිතුරු සුළඟට ආයෙමත් ලියමි ..........

හිත මිතුරු සුළඟ ළඟ  එන වැහි වලාවට  කියන්  
මහ අඳුර සමග වැහි පොද මෙහි රැගෙන එන ලෙසින් 
යලි කිසිදු දිනක ඈ නොඑතියි නිසැකවම දනිම් 
වැහි වැටුනොත්  මේ  ශේෂ කඳුළු නතර වේ  සැනින්  ......... //

විදි පුරා වතුර පිරී  හෙමින් හෙමින් මාවත දිග ඉතිර යාවි දැන්               
ආගිය මග ලකුණු තෙමී යනවානම් මතක ලකුණු නිධන් වේ කෙමෙන් 

හිත මිතුරු සුළඟ ළඟ  එන වැහි වලාවට  කියන්  
මහ අඳුර සමග වැහි පොද මෙහි රැගෙන එන ලෙසින් 
යලි කිසිදු දිනක ඈ නොඑතියි නිසැකවම දනිම් 
වැහි වැටුනොත්  මේ  ශේෂ කඳුළු නතර වේ  සැනින්  

අප සමුගත් පසු මැයි ගස්  මල් නොපිපී  හිස් අහසේ  ඔහේ  බල බලා 
පියඹා යන සියොත් කැලෙන් ඇහුවා වැහි වලා කොහේ සැඟවුනිද  කියා

හිත මිතුරු සුළඟ ළඟ  එන වැහි වලාවට  කියන්  
මහ අඳුර සමග වැහි පොද මෙහි රැගෙන එන ලෙසින් 
යලි කිසිදු දිනක ඈ නොඑතියි නිසැකවම දනිම් 
වැහි වැටුනොත්  මේ  ශේෂ කඳුළු නහර වේ  සැනින් ...........//




ප.ලි. : 
අහල තියන සිංදුවක් ගැන වෙනස් විදිහට හිතල හිතට ආපු පද ටිකක් එකතු කරලා මේක ලිවවෙ .දැන් ඉතින් බනින්න නම් එපා හරි ;) ... අපි හැමෝම අහල තියන වික්ටර් රත්නායක මහත්මයා  ගායනා කරලා තියන 'හිත මිතුරු සුළඟ ' සිංදුවේ කොල්ලව  කෙල්ල දාල ගියොත් කොහොම කියාවිද ? අන්න එහෙම කියල හිතල ලීව පද ටිකක් තමා මේ ........ :) 


මුල් සිංදුව  අහන්නකො  මෙතනින් 




Saturday, April 8, 2017

රෝස ගස සහ සමනළ තටුව


ප්‍රේමයක් අහිමිව 
වසත් කලදීම මැලවුන 
කෘෂව ගිය කටුගස 
විටෙක කුසුමින් බරවුන 
නැවුම් පඳුරකි රෝස 

කටු තුඩග ලෙලෙදෙන 
ඉරුණු සමනල තටුව 
බොහෝ තතු කියන 
ශේෂ වූ මතකයකි 
සමුගැනීමක දුක්බර 

පෙරදින ගොදුරු ගැටුමක 
රෝස කටු ප්‍රහාරෙට 
නොසැලුනු කටුස්සෙකි අර
නේක  පැහැ ගෙන 
තවමත්  දඩයමේ යන 

මල් හලා  හැම විකසිත 
මළගමට  අද සැරසෙන 
රෝස  ගස තනිවයි 
මදනල ට ඉඩ දී 
සමනළ තටුව පා කර 


Sunday, April 2, 2017

ගොළු හදවතක් ...

ප්‍රේමයට අවැසිනම් 
නොකියාම පැමිණෙන්න 
රහසේම හද තුලින් 
දුහුල් මල්  පූදින්න 
කාටවත් ඇස නොගැටි  
හද කුටිය ඇරදෙන්න 
නැත කිසිදු  අවසරක් 
ලොවෙන් ඇය  අරගන්න 

පිපෙන්නේ මල තනිව 
තනි හිතක රහසේම 
ලියන්නෙ කවි නිතින 
පෙති පුරා ඔහු ගැනම 
විඳින්නේ හද ගොළුව 
මුව වදන් නොම පිටව 
සොයන්නේ පැතු නෙතයි 
මුළු ලොවට රහසේම 

එහෙත් පෙම් මල් නැගෙයි 
මේ අඳුරු කුටිය වට 
ඒ කුසුම් නොදනී වි 
කුටිය තුල පිපි කුසුම
ඔවුනොවුන් හිනැහුනත් 
තතු නොදැන අද මෙදින 
දිනෙක කුහුලින් තැවෙයි 
සුවඳ හල විට කුසුම 


දම්මිට තිබ්බේ ගොළු හදවතක්. සුගත් වෙනුවෙන් හිතේ හටගත්ත ආදර මල් පොහොට්ටුව හටගත්තෙ හදේ කොනක කාටවත් වෙන් නොවුන,කාටවත් නොකීව රහස් කුටියක දම්මිටත් නොදැනීම ඒ මල් කැකුල ආදරෙන් පැහැ වෙද්දි. නිහාල් වගේ මේ රහස් කුටීරය අවට එක එක මල් නොපිපුනා නොවෙයි.එහෙත් මේ රහස් කුටිරයෙන් ප්‍රේමයේ පිවිතුරු කුසුම පිබිදී සුවඳ හලන තෙක් අන් කිසිත් දනිවිද ? ගොළු හදවතින් එකදු වචනයක් වත් ලොවට නෑහුනොත් එ මලේ  අයිතිකාර සුගත් උනත් දම්මි ගැන හිතාවි වැරදියට .... 



ප.ලි. ගොළු හදවත කියවා හදවත දම්මි ගැන උපන් දයාවෙන් ලියවුනි  ...