Friday, September 26, 2014

සිතුවම

බිත්තිවල කුඩා කවුළු වලින් ඉර එලිය කාමරයට වැටී ආලෝකවත් වී ඇත.ඔහු තව විනාඩි කිහිපයක් ඇඳ මත වැතිරී  බිත්තියේ එල්ලා  තිබු දින දර්ශනය දෙස බලා  සිටියේය.එහි ඉලක්කම් නොපෙනෙන තරමට තැනින් තැන කුරුටු ගා  ඇත.මාසයේ අවසන් දිනය පමණක් තද රතු පැහැති පාට කූරකින් රවුම් කර ඇත .

"තව එක දවසයි .අද මම කොහොම හරි චිත්‍රෙ ඉවර කරන්න ඕන" .ඔහු තමාටම කියාගත්තේය.තවදුරටත් ඇඳෙහි වැතිර සිටීමට කාලයක් නැතිබව දැන හෙතෙම හැඳ  සිටි  කමිසය උනා දමා පාට තැවරුණු කමිසය හැඳ ගත්තේය.දෙපා ඉබේටම ඇදුනේ ඔහුගේ චිත්‍ර කාමරය දෙසටය.කාත් කවුරුවත් නොමැත්තෙකු  සේ හුදකලා ගෙයක ගෙවන ජීවිතයට ඔහු ප්‍රියකළේය.සිතුවමක් අඳින්න හොඳම වටපිටාව හුදකලාව බව හේ  අත්දැකීමෙන් දන්නා හෙයිනි. කිසිවෙකුත් තමාගේ චිත්‍ර කාමරයට පැමිණෙනවා දැකීමට ඔහු අකමැති විය.ඔහුට අනුව එය කෙනෙක් තමන්ගේ දිනපොතට බලෙන් එබී සියල්ල හාරා අවුස්සා බලන්නාක් වැනිය.

ඔහුගේ සියලුම සිතිවිලි සිතුවමකට සිත්තම්කරන ඒ අපූරු බිත්ති හතර ට ඔහු මහත් සේ ඇලුම් කළේය.

පිලිවෙලක් නැති  කාමරයේ ඉරිතැලුණු බිම වසා ගත් තීන්ත පැල්ලම් රාශියකි.වරින් වර අලුත්වෙන වියලෙන තීන්ත පැල්ලමින් එය වෛවර්ණ වී ඇත.අඳුරු වූ බිත්තියේද තැනින් තැන දුර්වර්ණ වූ වියළි තීන්ත පැල්ලම්ය.තවත් බිත්තියක  ඇලයට හැරවුණු  මොනාලිසා සිතුවමය.බිත්ති දෙකක් එක හා මුසුවන තැන ජනාවාස පිහිටුවාගත් මකුළු රෑනකි.ඔවුන් බිත්තියත් එතනින් එහාට වහලෙහි කොටසකුත් ආක්‍රමණය කර  තම  දැල වියා බලය පතුරා  ඇත.බිත්තියට හේත්තු කරන ලද රාමු කල සිතුවම් කිහිපයකි.ඒවා සියල්ල අනෙක්පසට හරවා ඇත.සිතුවම්  සියල්ල ලඟකදී බිත්තිවලින් ගලවා  ඉවත් කල සෙයිනි.සිතුවම් එල්ලා  තිබු බිත්ති කොටස් වඩා සුදු පැහැයෙනුත් අනෙක් පෙදෙස් අවර්ණ පැහැයෙනුත්  දිස්වෙයි. කාමර වටා  මොහොතක් බලාසිටි ඔහු ගැඹුරු හුස්මකින් අරඹමින් කැන්වසය දෙසට  පිය මැන්නේය.

පෙර දින රාත්‍රියේ ඇඳි  සිතුවමෙහි පැන්සල්  පහරවල් කැන්වසය පුර විසිරී ඇත.එය කාන්තා රූපයකි. කැන්වසය දෙස මොහොතක් බලාසිටි ඔහු  කුඩා වීදුරුවකට වතුර පුරවා ගත්තේය.දියසායම් තැවරූ පීරිසිය අතට ගෙන පින්සල වතුර තුල කිහිපවරක් කලතා  පීරිසියේ වූ  වියලි සායම් තෙත් කරන්නට විය.ඉන්පසු කහ රෝස සහ සුදු පැහැයන් තුන එකිනෙකට මිශ්‍ර කරන්නට විය.ඉන්පසු පළමු පින්සල් පහර කැන්වසය මත යොමු කළේය.රෝස කහ මුසුවූ  අමුතුම ලාපැහයකින් ඔහු ඇගේ  වත සිතුවම් කරන්නට විය.

කැන්වසය මත වූ  ඇයගේ  සිනහව ඔහුව අතීතයට ඇද  ගෙන ගියේය.
........................

ඔයා හරි නරකයි අයාල්.හැමදාම අනුන්ගෙ චිත්‍ර අඳිනවා.කවද්ද මගේ චිත්‍රෙ  ඇඳල  දෙන්නෙ. 

මං කොහොමද අමා ඔයාව අඳින්නෙ.

ඇයි මාව අඳින්න බැරි ඒ තරම්ම මං කැතයිද ?

කැතයි නෙමෙයි පිස්සියෙ ඔය ලස්සන කිරිපාට හම ට පාටක් මගේ පාට පෙට්ටියේ නෑ.අනෙක ඔය ලස්සන මූණ හැමදාම මට පේන්න තියෙද්දී ආයේ මොකට අඳිනවද ඔහු ඇයට ලංවෙමින් පැවසුවේය.

අනේ යන්න බොරු නොකිය මම තරහයි. ලජ්ජාවෙන් රතුවූ මුහුණ සඟවන්නට මෙන් ඇය බොරු තරහක් මවා ගත්තාය
.
හරි මං ඇඳලා දෙන්නම්කො.ඔයාව විතරක් නෙමෙයි අපිදෙන්නගේම වෙඩින්  ෆොටෝ එකම අඳින්නම්කො....හිනාවෙන්න ඉතිං ....
............................

ඇයගේ සිනහව ඒ අයුරින්ම කැන්වසය මත සිතුවම් වී ඇත.ඔහුගේ මතකයේ ඇඳි  ඒ රුව දැන් ටිකෙන් ටික සිතුවම තුලින් ජීවමාන වන්නට සැරසෙයි.
ඔහු නැවතත් පින්සල වතුර වීදුරුව තුල බහා සෝදන්නට විය.ඉන්පසුව කළු සහ නිල් වර්ණ සායම් පීරිසිය තුල මිශ්‍ර කරන්නට විය.සියුම් තුඩක් ඇති කුඩා පින්සලක් ගෙන දෑස් වරණ ගැන්වීම ආරම්භ  කළේය. සිතුවම සම්පුර්ණ කරන ඔහුගේ සිත  ඇගේ ඇස්  අතර නැවතී ඇත.ඇය  කතාකරන විට ඇගේ .දීප්තිමත්  ඇස් දිහා  බලසිටින්නට ඔහු ප්‍රිය කළේය.ඔහු වඩාත් ආශා කලේ ඇගේ  සිනහවටය.

 අමා හිනාවෙන්නෙ ඇස් වලින් මං හිතන්නෙ  මං අමාට වශී උනෙත් අමාගේ ලස්සන ඇස් දෙක හින්ද ...

ඔහු වරෙක ඇයට මෙසේ කිව් සැටිත් ඒ අසා ඇගේ දීප්තිමත් ඇස් වලින් ඔහු දෙස බලා සිනහ සුනු සැටිත්...සිතුවම් පාටක් සේ ඔහුගේ ඇස් ඉදිරියේ දැන් මැවී පෙනෙයි.

ඔහු සිතුවමේ ඇස් සම්පූර්ණයෙන් ඇඳ ඉවර කළේය.ඉන්පසු ඒ දෙස මොහොතක් බලා සිටියේය.

තවදුරටත් ඒ දෙස බලාසිටීමට තරම් ශක්තියක් නොවූ තැන ඔහු සිත්තම් කිරීම පසෙක ලා අසල තිබූ ජනේලය වෙත පිය මැන්නේය.කුමක්දෝ කියා ගත නොහැකි සියුම් වේදනාවක් හදවත පාසාරුකර එතනින් විදුලියක් සේ සිරුර පුරා ගමන් කරනු ඔහුට හැඟෙන්නට විය.

තවමත් විවර නොවූ  ජනේලයෙහි වීදුරුවෙන් ඔහුගේ මුහුණ යන්තමින් දිස්වෙයි.බොකුටු වූ හිසකෙස් ගෙල දක්වා වැවී ඇත.උඩු හා යටි රවුලද මුණු වසාගෙන ඇත.

ඔයා නම් නියම චිත්‍ර කාරයෙක් තමයි.කොන්ඩෙයි රැවුලයි ඔහොම තියෙද්දී  නම් නියම රැඩිකල් පෙනුමක්  තියන චිත්‍ර කාරයෙක් වගෙයි.
 ඇයගේ සිනහමුසු වදන් ඔහුට යලිත් සිහිවෙයි ...ඔව් මං චිත්‍ර කාරයෙක් ..නිකන්ම නිකන් චිත්‍ර කාරයෙක් මං චිත්‍ර කාරයෙක් වෙන්නැතිව හොඳ  බෙන්ස් එකක්  තියන,ටයි කෝට් දාල ඒසී කාමරයක වැඩකරන ඉලක්කම් හයත් හතක පඩියක්  ගන්න බිස්නස් කාරයෙක් උනානම්  අද ඔයාගේ අම්මල මට කැමතිවෙලා..හ්ම්ම් ඒත් මම නිකන්ම නිකං චිත්‍රකාරයෙක් ....

ඔහු ගැඹුරු හුස්මක් ගනිමින් ජනේලය  විවෘතකළේය. මෙතෙක් වෙලා වීදුරුවෙන් අවහිර වූ හිරුඑළිය සැනෙකින් කාමරයට පැන  කාමරය  ආලෝකමත්  කරන්නට විය.ඔහු ජනෙල් කූරු අතරට  මුහුණ ලංකොට හිස් අහස  දෙස බලා  සිටියේය.වහලෙහි සිට ආ දෙමලෙච්චෙකුගේ කුරුළු පිහාටුවක් ජනෙල් පඩිය මත රැඳුනි.ඔහු සෙමෙන් කුඩා පිහාටුව අල්ලට  ගත්තේය.
......................
දන්නවද අයාල් මමත් ආසයි මේවගේ සිනිදු පිහාටුවක් වෙන්න. වරෙක ඇය  පැවසූ වදන් ඔහුට සිහිවිය.

මේ පිහාටුව කොච්චර සැහැල්ලුද මේ පිහාටුව වගේ නිදහසේ හැමතැනම සැරිසරන්න මාත් ආසයි.

එපා  ඔයා මේවගේ පිහාටුවක් වෙන්න එපා ...

 ඒ ඇයි ????  අමා වික්ෂිප්ත දෑසින් ඔහු දෙස බැලුවාය.

ඔය පිහාටුව එකතැන තියෙන්නේ නෑනෙ.කොයි වෙලේ හුළඟට පාවෙලා යයිද දන්නේ නෑ.අතින් තද කරලා අල්ලලා බැඳලා තියාගන්නත් බෑ.සියුම් පිහාටුව... පොඩිවෙයි...ඔයත් පිහාටුවක් උනොත් හුළඟට පාවෙලා පාවෙලා ගිහින් කොහෙහරි නවතියි .මගෙන් ඈත් වෙයි .ඒ නිසා ඔය පිහාටුවක් වගේ වෙනවට මම කැමති නෑ.............

ඔන්න ....කිව්වොත් කියන්නෙ දුක  හිතෙන දෙයක්.මම ඔයාව දාල යන්නේ නෑ ..කවදාවත්ම ...  ඇය ඔහුගේ අත  තදින් අල්ලා ගනිමින්  පැවසුවාය ...
.................

ජීවිතේ හැමදේම වෙනස් වෙලා අපි හීන මවද්දි අපිට අමතක උන බාධක කම්කටොලු හැමදේම අන්තිමට අපිට හරහට ඉඳල.ඔයාටත් මටත් වෙනස් කරන්න බැරි ගොඩක් දේවල් අපේ ආදරයට අවහිර කරලා ..ඉතිං කරන්න තියෙන්නේ එකම දෙයයි.ඔය කිව්වා වගේ පිහාටුවක් වෙන්න .මට තවත් අයිති කරගන්න බෑ හුළඟ ඒ තරම්ම සැරයි.

ඉතිං ඔයා පිහාටුවක් වෙලා යන්න .... අවසරයි...... යන්න .... ඔහු අතරැඳි පිහාටුව සුළඟ වෙත දිගු කළේය.එය පාවී පාවී ඔහුගේ  දෑස්  මානයෙන් පිටතට ගියේය.

ඔහුටත් නොදනිම ඔහුගේ සිත වේදනාවෙන් හඬ නගන්නට විය .

මං දන්නව ඔයා  තවමත් මට ආදරෙයි .ඔයා  කොහෙහිටියත් ඒක  මට දැනෙනවා.මං දන්නවා ඔයාට ඔයාගේ අම්මල තාත්තලට විරුද්ධ  වෙන්න බෑ කියල .මම ඔයාට මොකුත් කියන්නේ නෑ අමා ...ඔය කොහේ හිටියත් සතුටින් ඉන්න..ඒ සතුට තමයි මම හැමදාම ඔයාගෙන් බලාපොරොත්තු උනේ ...මට ඔයාව හිමි උනේ නැති උනත් ..මම එන්නම්  හෙට අනිවාර්යෙන් එන්නම් ඒ .......... ඔයාගේ විවාහයට සුබ පතන්න.මට දෙන්න පුළුවන් හොඳම  තෑග්ග අරන් එන්නම් ඒ ඔයා  හැමදාම මගෙන් ඉල්ලුව ඔයාගේ පින්තූරය ...

ඔහුගේ  සිතිවිලි නොනවත්වා හඬ නගන්නට විය සිත වේදනාවෙන් සුසුම්ලමින් වේගයෙන් ගැහෙන්නට විය.ඇස් වලට පිරුණු කඳුළු දෙකොපුල් හරහා ගලායන්නට  පෙර පිසදාගත් ඔහු නැවත  ජනේලය දෙසින් මෑත්වී නැවතත් සිතුවම දෙසට පියමැන්නේය .සිතුවම දෙස මොහොතක් බලාසිටි ඔහු නැවත ගැඹුරු හුස්මසුසුමක් පිටකර සිතුවම නිම කරන්නට විය .............













Saturday, September 13, 2014

බ්‍රොයිලර්



මං ඉපදුනෙ පුංචි ගොවිපලක ගොවිපොළක් කිව්වම ඔයාල හිතින් මවා ගනී එක යායට  ලස්සනට තණකොළ වැවිච්ච පොළවක  නිදහසෙ  එහෙමෙහෙ තණකොළ කකා යන හරක් රංචු ඉන්න ,චුටි චුටි පණු පැටව් ඇහිඳින් යන කුකුල්ලු ඉන්න,කෙළවරක තියන පොඩි පොකුණක නිදහසේ ජල ක්‍රීඩා කරන තාරාවෝ ඉන්න ලස්සනම ලස්සන ගොවිපොළක්.ඒත් මං එච්චර වාසනාවන්තයෙක් නෙමෙයි.මං ඉපදුනේ පුංචිම පුංචි කුකුල් කූඩුවක.හුස්ම ගන්නවත් ඉඩක් නැති හරිම අපිරිසිදු කුකුල් කූඩුවක.අඳුරු වෙච්ච  ගොවිපළක, උළු දාපු වහලේ, ආලෝකය එන්න දාල තිබ්බ පාසි බැඳුනු වීදුරුවෙන් එන යන්තම් ඉර එළියෙන් අවට දැක්ක මිසක් වෙන ලෝකයක් මං දැනන් හිටියේ නෑ .ඒත් අර මං කලින් වගේ කිව්වා ලස්සන ගොවිපලවල්  තියනවා කියලනම් මං පුංචිකාලේ අහල තිබ්බ ඒ මගේ අම්මගෙන් .


ඉපදුනු මුල් දවස් ටිකේ අම්මගෙ උණුහුමයි  අම්මගේ සුවඳයි දැනුනට, පස්සෙ පස්සෙ මං මේ මොන අපායකද ඉන්නේ කියල හිතුන ඒ තරමටම වටේටම ජරාව.අපි ඔක්කොම හිටියේ එක ගොඩේ.නිදහසේ ඇවිදින්න හුස්ම ගන්න පොඩ්ඩක් වත් ඉඩක් තිබ්බේ නෑ.අඩුම තරමේ සෙල්ලන්කරන්න කියලවත් ඉඩක් නෑ අපිව වට කරලා තිබ්බේ පුංචි දැල් කුඩුවක  මගේ පුංචි ඇග එලියට දාල රිංගල  දුවල දුවල එලියට ගිහිං ආයෙමත් එන්න හිතුන වාර අනන්තයි.ඒත් ගොවිපල මුල්ලේම ගැටගහල හිටිය අර කැත තඩි  හොම්බ තැලිච්ච බලු තඩිය මතක් වෙද්දී එහෙම දුවන්න බයයි.මේ පුංචි කුඩුවෙන් එහාට ලස්සන ලෝකයක් තියනව කියල දැනගත්තෙ රෑට රෑට නින්ද යන්න අම්ම කියන ලස්සන ලස්සන කතාවලින්. 

"අම්මේ කවද්ද අපි ඒ වගේ ලස්සන තැනකට යන්නෙ" කියල අහන හැම සැරේම  අම්මගේ ඇස් වල කඳුළු පිරුන විතරයි මට මොකවත්ම කිව්වේ නෑ.



අපිව බලාගන්න හිටියේ හෙන උස මහත කොන්ඩේ  තැනින් තැන සුදුවෙලා ගිය මනුස්සයෙක් .ඇස් ගෙඩි රතුවෙච්ච හෙන බයහිතෙන මුණක් තිබ්බෙ.මං වගේම අනෙක් හැමෝම ඒ මනුස්සයට බයයි.හැමෝම කිව්වේ ඒ  රාක්ෂයෙක් කියල.

හ්ම්ම් මනුස්ස රාක්ෂයෙක්........



මගේ අම්මව මගෙන් උදුරා ගත්තෙ ඒ නපුරු මනුස්සය ඒක උනේ මෙහෙමයි .එක දවසක් දා ඒ නපුරු මනුස්සයයි තව මනුස්සයෙකුයි අපේ කූඩුවට ආව. නපුරු මනුස්සය එක්ක ආව ආගන්තුක මනුස්සය කිව්ව 




"අද අපේ ගෙදර පාටියට මට හොඳවයින් බ්‍රොයිලර්  නාම්බෙක් ඕන "


එතකොට අර නපුරු මනුස්සයා පෙන්නුවෙ අපේ අම්මව



"මූ දෙන්නම් මූ හොඳ එකෙක් ..මූගෙන් දැන් මට  වැඩක් නෑ ...ඕනනම් උන්නැහේට දැන්මම ගෙනියන්න ලෑස්ති කරන්නම් "



එහෙම කියපු ඒ නපුරු මනුස්සය කූඩුව ඇරල අම්මව ගෙනියන්න හැදුව .මේ අපායෙ  ඉන්නවට වැඩිය කුඩුවෙන් එලියට යන්න තියනවනම් කොච්චර හොඳද ඒත් එදා ඒ මනුස්සය අම්මව ගන්න විදිහ දැක්කම නම් මට දැනුනේ බයක්.ඒ මනුස්සය  කූඩුවෙන් අත ඇතුලට  දාපු ගමන් ඔක්කොම කුකුල්ලු එහෙ මෙහෙ දුවන්න ගත්ත.එකම යුද්ධයක්... හැමෝම බයේ කෑගහල එහාට මෙහාට පනිනව කාගෙදෝ  ඇඟේ හැපිල මාව පැත්තකට විසි උනා.අමාරුවෙන් ආයේ නැගිටිද්දී ඒ මනුස්සය අපේ අම්මගේ බෙල්ලෙන් ඇදන් එලියට අරන්. මට දුවල අම්ම ගාවට එන්න හම්බුනේ නෑ කුඩුවේ දොර වැහුව.මං හය්යෙන් කෑ ගහල ඇඬුවා.ඒත් මගේ සද්දෙ ඇහෙන්නෙ නැතිවෙන්නැති. අම්ම   තටු ගගහ  හරියට දැඟලුව.ඒත් අර නපුරු මනුස්සය ඒ කිසිත් ගණන් ගන්නැතිව බෙල්ලෙන්ම අරන් අපේ අම්මව ගෙනිච්ච. ඊට පස්සේ ගොවිපලේ කොනක තිබ්බ පොඩි කුටියකට  අම්මව ගෙනිච්ච.කුඩුවේ දැල් අතරින් මං එකේ කවුළුව දිහා බලන් හිටිය.එක දිගටම අම්මගේ විලපේ ඇහුන  එකපාරටම ලොකු මන්න පිහියක් එසවෙනවා දැක්ක ඊට පස්සෙ පිහාටු ගොඩක් අහසට විසිරිල අම්මගේ හඬ නැතිඋනා.බයටම ඇස් දෙක එහෙම්මම වහගෙන මං ගුලිගැහුන.එදා ඉඳන් ආයේ  කවම දාවත් මම ආයේ අම්මව දැක්කේ නෑ.උන් මගේ අම්මව අරන් ගිහින් .....




ජීවිතේ පාළුවත් එක්ක මං ජීවත් උනා.කුඩුවේ කොච්චර කුකුල්ලු හිටියත් අම්ම නැති පාළුව හැම දාම දැනුන.මගේ පුංචි හොටෙන් අර මනුස්සයට ඇනගෙන ඇනගෙන ගිහිං  විනාස කරන්න පුලුවන්නම්.අනේ එහෙමත් හිතුන වාර අනන්තයි.ඒත් අම්ම මට ඉගැන්නුවේ කාටවත් වෛර කරන්න එපා කියල. ඒ නිසා මං ඉවසං හිටිය.කාලයක් යද්දි අපිව අපේ කුඩුවෙන් වෙන්කලා අපේ වයසේ හිටිය අය  වෙනම කුඩුවකටයි .අනෙක් අය  වෙනම කූඩුවකටයි දැම්ම.ඒත් වෙනසක් නෑ අපි හිටියෙ ගුලිවෙච්ච හිරවෙච්ච හුස්ම ගන්න බැරි කුඩුවල.හ්ම්ම් ..අපි පවු කරලා වෙන්නැති.

ටික ටික අපි ලොකු උනා මට හිත ගන්නත් බැරි විදිහට මාව දවසින් දවස මහත් උනා .මගේ අනෙක් අයත් එහෙමයි.සමහර විට අපිට කන්න දෙන අර අප්පිරිය කරපු කෑම  වල මොනා හරි දෙයක් නිසා වෙන්නැති.මට මාවත් දරාගන්න බැරි විදිහට මං තර වෙලා.


දවසක් අර නපුරු මනුස්සය අපේ කූඩුව ගාවට වෙලා ගොඩක් වෙලා බලන් හිටිය අත්ල පිරිමැද මැද ලොකු කෑදර බැල්මකින් අපි දිහා බලන් හිටිය.


"මුන්ගේ ගාන හරි. හොඳ කිලෝ ගානක් තියෙන්නෙ ..හෙට උදේම පටෝගන්න ඕන ..."

එහෙම කිව්ව මනුස්සය රාක්ෂයෙක් වගේ හය්යෙන් හිනාවෙලා යන්න ගියා 


පහුවෙනිදා එළඹුනා .







එදා උදෙන්ම අපි එකා  දෙන්න බෙල්ලෙන් අරන් දැල් පිරිච්ච ලොරියකට පැටෙව්වා.අපි හැමෝම ආයෙත් හුස්ම ගන්න බැරි දැල් වලින් කූඩු කරපු   ලොරියක.එදා පලවෙනි වතාවට මම එලිය දැක්ක.ගහකොළ ඉර  එලිය ,වලාකුළු හරිම ලස්සනයි .ලොරිය ස්ටාර්ට් කරන් යද්දී හෙමිට අමාරුවෙන් කොනේ තියන දැලක් ගාවට ඇවිත් බෙල්ල එලියට දාගත්ත.හරි දැන් ලෝකෙම පේනවා.මොන තරම් ලස්සනද.නැවුම් සුවඳක් ඇවිත් මුළු ඇඟම හිරිවට්ටල යනවා .කොළ පාට ගස් අස්සෙන් ලස්සන සමනල්ලු රොත්තක්ම පියඹනවා.ඈත වලාකුළු පීරලා කුරුල්ලෝ රංචු පිටින් රටා මවනවා .උන් කොච්චර වාසනාවන්තද  මට එහෙම හිතුන .මෙච්චර කල් මං දැක්කේ නැති ලෝකය දැල් අස්සෙන් බෙල්ල දාගෙන මං ආසාවෙන් බලන් හිටිය.ලොරිය පොඩි පාරවල් අස්සෙන් ගිහින්  ලොකු පාරවල්,නගර, හෙන ගොඩක් පහු කරන් කොහේදෝ ලොකු ගොඩ නැගිල්ලක් ලඟට ලඟා උනා.



අපිව ආයෙන් එකින් එක අරන් ඇතුලට ගෙනිච්ච.අපිව තව මිනිස්සු කට්ටියකට බාර දුන්න ඊටපස්සෙ  අර නපුරු මනුස්සයාගේ අතට සල්ලි මිටියක්ම  ලැබුන.නපුරු මනුස්සය කෑදරයෙන්  ඒ සල්ලි ඔක්කොම පපුවට තුරුළු කරගත්ත.ඊට පස්සේ දැක්ක දේවල් වෙච්ච දේවල් කියන්න මට හය්යක් නෑ.මම මහා පවු කාරයෙක්.නිදහස නොලැබිච්ච පවු කාරයෙක්.



මිනිසුනේ අපිටත් ජීවිතයක් තියනවා .ජීවත් වෙන්න අපිත් ආසයි.එත් මොකක්දෝ කරුමෙකට අපේ ජීවිත ලියවෙලා තියෙන්නෙ හරි අවාසනාවන්ත විදිහට.මම උඹලට වෛර කරන්න හිතුනත් මම වෛර කරන්නේ නෑ.ඒත් එක දෙයක් හිතේ තියාගන්න මාත් ආසයි ජීවත් වෙන්න ....................


මේක වෙනස්ම විදිහේ කතාවක් කියල හිතෙයි.ඔව් ටිකක් වෙනස් කතාවක් .මේක ලියන්න හිතුව හේතුව.දවසක් දා  උදේ පාන්දර බස් එකේ කැම්පස් එකට යද්දී බොයිලර් කුකුල්ලු පටවපු ලොරියක් බස් එක පහු කරන් ගියා මං දැක්ක  එකේ දැල් අස්සෙන් එක බොයිලර්  කුකුලෙක් අමාරුවෙන් බෙල්ල දාගෙන වටේම බල බල යනවා ඌ දන්නෙ නැතිව ඇති මේ පටවන් ඊළඟට ගෙනියන්නෙ කොහෙටද කියල.හිතට ආපු පොඩි දුකකුත් එක්ක මේ කතාව ලිව්වා.මම නිර්මාංශ යි. මේක ලිව්වේ ඔයාල මස් කන එක නවත්වන්න නෙමෙයි මස් කන නොකන ඒක  ඔයාලගේ දෙයක්.හිතට ආපු දේ මං ලිව්ව .ඇත්තටම ඒ සත්තුන්ට ජීවිතේ කොහොම දැනෙනව ඇත්ද ?........

Wednesday, September 10, 2014

තවත් දවසක්

අද විශේෂ දවසක් .වෙන මොකවත් නිසා නෙමෙයි අද මගේ  අතිජාත අති ප්‍රේමණීය  අතිසුන්දර  අය්යන්ඩිය ගෙ උපන්දීනේනේ. හි හී  වර්ණනා වැඩිද මන්දා කමක් නෑ අදවගේ දවසක තමයි ඔහොම කියවෙන්නෙ .තරහ ගිය වෙලාවක නම්  ඔය අති ප්‍රේමණීය වදන් මොකවත් නෑ .ගස් ගෙම්බා , ඇට ගෙම්බා ,වල් ඌරා .. හාවෝ මුවො අරුණු කොට ලෝකේ ඉන්න හැමසතාම ඉතිං කියවෙනවා . කොහොම කොහොම හරි සැප්තැම්බර් 10ත් ලං උනා .අය්යගේ  උපන්දිනේ නෙ......... 
මොනාද දෙන්නෙ මට හිතාගන්න බෑ .shirt  එකක් ? මං ගන්න ඒවා එයාට  හරියන්නැතිවෙයි .එහෙනං  මොන හරි සෙන්ට් එකක් :D ඒකත්  වැඩක් නෑ එයා ගාන්නෙ  රුපියල් 2000 ,3000 ඒවානේ මං  අරන්දෙන්න ගියොත් මාව විකිනෙයි අනෙක එච්චර ට ඉතිරිකරපු සල්ලිත් නෑ .අනෙක 2000?? අම්මෝ වැඩි වැඩි  එච්චර  එයා වටින්නේ නෑ හික්ස් :D ...ගිය පාර මොනාද අරන් දුන්නෙ හි හී Fair & Lovely Menz Active Fairness Cream  ... එකත් එයා  ගෑවේ ටික දවසයි. අපරාදේ biona (for men ) එකක් අරන් දෙන්නයි තිබ්බේ ඇයි  ඉතින් මට වඩා රූපේ ගැන හිතන නිසා ආසාවෙන් ඕක බි බී ඉඳී .සුදුවෙනවානම් එයාට මොනවා  උනත් කමක් නෑ හා කියයි :D  ...මං අරන් දෙන ඒවා පාවිච්චි කරන්නේ නෑ කියල  ඉතින් නොදී ඉන්නත් බෑනේ මගේ උපන්දිනේට ලොකු ලොකු ඒවා අරන්දෙද්දී .කොහෙද එයා  ඉතින් සල්ලි කාරය මං  තාමත් දුප්පතානේ :( 

 කොහොම හරි හිතල හිතල තීරණයක් ගත්ත .මේ පාර මොනාද දෙන්නෙ ..හ්ම්ම් ...මං දෙනව පොතක් . එයාගේ හිතට දැනෙන්න කියවන්න ආස හිතෙන පොතක්.මේ දවස් වල එක දිගට බ්ලොග් කියවලම මගේ කියවීමේ පෙරේතකම ආයේ ඇවිල්ල තිබ්බේ .මටත් හිතුන අය්යටත් බෝකරන්න :) . 
හරි දැන්  ඊළඟට ප්‍රශ්නෙ ..මම මොකක්ද අරන් දෙන්නෙ 

එයා  කියවන්නේ නම් මනෝ විද්‍යා පොත්,බණපොත් ..එත් ඕව ඇත්තටම කියවනවද මං දන්නේ නෑනෙ ;) මගේ හිතේ තිබ්බ එක පොතක් ..ඒකෙ නම "අම්මා "  හැබැයි ඒ මැක්සීම් ගෝර්කි  ගේ පොත නම් නෙවෙයි.පොත ලිව්ව ලේඛකයාට  නම් ඔයාල කැමති වෙන්නේ නැතිවෙයි .ඒ උපුල් ශාන්ත සන්නස්ගල .ඇත්තම කිව්වොත් මම සන්නස්ගලයන්ගේ පොත් වලට පොඩ්ඩක්වත් ආස නෑ .හැබැයි දවසක් රූපවාහිනියේ වැඩසටහනකින් අහම්බෙන් ඒ පොත ගැන ඇහුවම කියවලම බලන්න හිතුන .අන්තිමට මම හිතාගෙන හිටියේ ඒ පොත  ගන්න .දැන් කොහෙන්ද ගන්නෙ.?කැම්පස් එක ලඟපාත පොත් කඩයක් වත් නෑ .හරී අන්තිමට මතක් උනා ..පොත් ප්‍රදර්ශනේ හුරේ රේ රේ ........මං මෙදා  පාර පොත් ප්‍රදර්ශනේට යනෝ :D 

..එත් යන්නේ කොහොමද කවද්ද ???..යන්න කෙනෙකුත් නෑනේ :( යාළුවොන්ටත් කතා කරා එකෙක්වත් එන පාටක් නෑ .:/ :/ ඔහේ ඕනා දෙයක්.. මේපාර මම තනියම යනවා.මම හිතාගත්තේ එහෙමයි .ඒත් හිතේ පොඩි බයක් තිබ්බ කවදාවත් කොහෙවත්ම තනියම ගිහින් නෑනේ ...කොහොම කොහොම හරි ගෙදරිනුත් අවසර ගත්ත .දැන් යන්නේ කොහොමද ?යනවා කිව්වට බස්  එකක්වත් දන්නේ නෑනේ පාරත් මතකත්  නෑ. කොළඹ පාරවල් බස් ගැන මගේ දැනීම බිංදුවයි කොහොම කොහොම හරි අමාරුවෙන් පාරත් අහන්  තනියම වීරයා වගේ යන්න හැදුවේ .මගේ වාසනාවට මගේ යාලුවත් මාත් එක්ක යන්න සෙට් උනා .(අනේ අම්මේ ඇති යාන්තං දැන් බයක් නෑ.....)

අන්තිමට කාලෙකට පස්සෙ  මම ආයෙත් පොත් ප්‍රදර්ශනේට ගියා .හරි සතුටුයි හේතුව අද ඕන තරම් නිදහසේ ඕන විදිහකට ඇවිද්ද හැකි .හවසට ඉවර උනාම තාත්තට එන්න කියනකන් දවසෙම පොත් ප්‍රදර්ශනේ ඉන්න හැකි .ඒ සතුටත් එක්ක පොත් එකින් එක බල බල ගියා. මෙන්න  මට හුරු පුරුදු පොතක් ..........දෙවියනේ.......... මං අවුරුදු ගානක් හෙව්ව පොතක්.........  2004 අවුරුද්දේ The Island පත්තරේ තිබ්බ ලස්සනම article  එකක්. ජීවිතේ සාර්ථකත්වය ගැන කියෙව්ව  අමුතුම තාලේ ලස්සනම පොතක් ගැන එකේ තිබ්බ.article එක කියවපු දවසෙම පරිස්සමට අරන් තියාගත්ත. අන්තිමටම මීට අවුරුදු ගානකට පෙර ගියපු පොත් ප්‍රදර්ශනෙන් පීරා පීරා හොයපු එත් හොයාගන්න බැරි උන  මේ පොත අද හම්බුනා ..මගේ වාසනාව  :)  අහ්හ් ..පොතේ නම කිව්වේ නෑනේ

The present -by Spenser Johnson 

             


මේ පොත තිබ්බෙ Jeya book  stall  එකේ  නිකං ඒ පැත්තේ ගිය වෙලාවක අරන් බලන්න .පොඩි පොතක් හැබැයි හරිම ලස්සන පොතක් .පොත දැක්ක ගමන් සතුට උතුරා ගියා .හරි එක පොතක් ගත්ත ...දැන් අනෙක ...

හදිසියේම ගෙදරින් කෝල් එකක්.අම්මගෙන් ... ඒ මං  යහතින් ආවද කියල බලන්න :D .අම්මටත් මං  එක්ක එන්න කිව්වට ආවේ නෑනේ දැන් දුක් වේවි අපරාදේ කියා කියා ඉන්නවා .හ්ම්ම් අම්මත් ඉල්ලුව පොතක් ...පොතේ නම "අම්මා "  හ්ම්ම්...

මොකද කරන්නේ දැන් ඒ මං අය්යට  අරන් දෙන්න හැදුව පොත ..කමක් නෑ එක අම්මට අරං වෙන එකක් අය්යට  ගන්නවා.අන්තිමේදී ඒ පොත ගත්ත. ඇතුලාන්තය ගැන දන්නේ නෑ හැබැයි උඩින් කියෙව්වම  සන්නස්ගලයන්ගේ සාම්ප්‍රදායක බොළඳ ආදර කතා වලට වඩානම් හොඳයි කියල හිතුන .කොහොම කොහොම හරි එකත් අරන් යනකොට .හැබැහින්ම සන්නස්ගලයන් දැක්ක නොවැ හික්ස් ..ආයේ ගත්ත පොත නිකන් ගෙනියන්නේ මොකටද සමරු අත්සනක්ම දාගෙන ගෙනිච්ච .මං නැතත් පොත ඉල්ලුව අම්මට එකට සතුටු හිතෙයි  කියල හිතුන.

හ්ම්ම් ..ඊළඟ පොත ...

හිතේ තිබ්බ ඊළඟ පොත සෙංකොට්ටං .....  

කාලයක් තිස්සේ එකතුකරලා ගෙනාපු රුපියල් 2000 න් 700 ඉවරයි . තව පුළුවන් ..මම ඊළඟට ආසම පොත...  කියෙව්වේ නැති හැමෝම ලස්සනයි කිව්ව සෙංකොට්ටං  පොත ගත්ත .හ්ම්ම් තව 240 ඉවරයි .එත් තවම අය්යට  පොතක් ගත්තෙ  නෑ .මේ වෙද්දී යාලුවත් ගිහිල්ල තිබ්බේ .මම විතරක් තනියම හැම ප්‍රදර්ශන කුටියක් වටේම  ඇවිද ඇවිද ගියා ..අය්ය කතා පොත් වත් කියවන්නේ නෑනෙ .... මොනාද දෙන්නේ ..අනේ හිතට මොනාවක්ම ආවේ නෑ .ඒ නිසාම අන්තිමට  ගත්ත අය්යට  කෝල් එකක් .

හලෝ 
ඔව් හංසි කියන්න 
මේ හලෝ ..ඔයා  කැමති පොතක්  කියන්නකෝ 
අහ්හ් ඒ මොකටද 
කියන්නකෝ ..මං අද BMICH ආවා  ඒකයි 
ඒ ඇයි 
මේ පස්සේ උත්තර දෙන්නම් දැන් කියන්නකෝ.. මං  ආවේ පොත් ප්‍රදර්ශනේට 
ම්ම්ම්..... එහෙනං චන්දන ගුණවර්ධන ගේ මනෝවිද්‍යා පොතක් ගන්න...

අහ්හ් හා ..අය්යෝ ..ඒ පොත් තොගයක්ම මං පහුකලානේ.දැන් ඒක කොහේ කියල හොයන්නද මට  මතක නෑ.මොනවා කරන්නද අය්ය වෙනුවෙන්නේ ආවේ අන්තිමට අය්යට  හා කියල stall  එකක් stall  එකක් ගානේ අය්යගේ  පොත හෙව්ව  සමහර අය   මනෝ විද්‍යා පොත ඉල්ලද්දී මට චන්දන මෙන්ඩිස් ගෙ  රහස්පරීක්ෂක කතා පොතුත් හොයල දුන්න  හි ..හී.. දෙන්නම චන්දන ලානේ  අන්තිමට තාත්ත මාව ගන්න එනකන්ම පොත නෑ .කරන්න දෙයක් නෑ .පරක්කුයි ........ :( 

අන්තිමට මම පොතක් ගත්ත

"ඔබ,ඔබටම ආදරය වන්න -පරිවර්තනයක්  ප්‍රදීප් කුමාර බාලසුරිය " 

මට හිත ගිය පොත මේක .....අය්ය  කියාවාවී  ද දන්නෙ නෑ :/   අය්යට  පොත් ගැනීම වෙතත් මං ආස පොත් 2ක් නම් මට හම්බුනා.බලනකොට මං ඇවිල්ල තියෙන්නෙ මට පොත් ගන්නනෙ  පැය  ගානක්ම මං තේරුවෙත් මං ආස පොත් නෙ හික්ස් ...හැබැයි පොඩි දුකක් තිබ්බ මගේ එකතුකරපු සල්ලි ටිකට අම්මගෙනුත් කීයක් හරි ඉල්ලා ගත්තනම් මං  තව පොත් ගොඩක් ගන්නවා.(චන්දන මෙන්ඩිස් ගේ අලුත් පොතුත් තිබ්බ අපරාදේ ඒවා ගන්න සල්ලි ළඟ තිබුනේ නෑ :( ....)ආයේ  පොත් ගන්න  එක ලබන අවුරුද්දට තියල ..මම ගෙදර ආව. කවුරුත් නැතිව නිදහසේ පොත් අතර ගැවසුන ඒ පැය  කීපය   ගැන නම් තාමත් හිතෙන්  මැකෙන්නේ නෑ ....මගේ පොත් කියවීමේ ආසාව ආයෙත් පටන්  ගත්ත වගෙයි දැනුනෙ.මේ කාලෙකට පස්සෙ ආයෙත් පොත් කියවනවා .ඕව සෑහෙන්න කාලෙකට පස්සෙ................

Tuesday, September 9, 2014

කියා දෙන් මගෙ හිතට

අළු පාට වලාරෝද 
වසා නිල් වන් අහස 
වැහි බින්දු ඇද වැටෙයි 
හෙමි හෙමින් සීරුවට 
හිස මතට වැටෙන බිඳු 
රූටමින් දෙකොපුලට 
ගලායයි කඳුලුසේ 
ඔච්චමට මෙන් සිතට 

තෙමි පෙඟී  කඳුළින්ම 
තෙත බරිත වු හිතට 
තව කඳුළු කුමකටද 
දෙකොපුලින් රූටන්න 
ඔබ එදා ගිය පටන් 
ගිලන් වු මේ හිතට 
අරමුණක් නැත තවම 
දිවිය දිගු මං යන්න 


වීදී වල ගලා යන 
කුණු කසල පිරි වතුර 
දෙප මතින් ගලායයි 
හිරිකිතක් නැත තවම 
මාර ගස් අතු අතරෙ 
සිට ගලන වැහි දියර 
මුළු ගතම තෙමාලයි 
කඳුල  සිත තෙමු ලෙසට 


ආ මගත් යන මගත් 
මං මුලා වූ කලෙක 
දෙපා විත් නතර උනි 
මාර ගස් සෙවන යට 
හමු උනෙද වෙන් උනෙද 
මේ විසල් තුරු යටින 
මලත් මට කම් නොවෙයි 
මේ මතක පෙත් අතර 


හිරි පොදත් දරුණු වී 
ඇද වැටෙයි රළු ලෙසින 
ඔබ නොඑන බව දැනත් 
සිත තවම අද මෙතැන 
කියා දෙන් මගෙ  හිතට 
ඔබ ම තැර ගියපු බව 
සිත තවම සොයන්නෙ 
ඔබේ නිල්  නුවන් යුග ..........




පසුව ලියමි : හැමදාම උදේ තාත්ත එක්ක බයික් එකේ යද්දී  ඉස්සර මං කලේ ෆොටෝ ගන්න එකනේ .අද අලුත් අදහසක් පහල උනා .ඒ කවියක් ගොතන්න.අද ටිකක් වැස්ස දවසක්නේ බයික් එකේ යද්දි  පුංචි පුංචි වතුර බින්දු ඇවිල්ල මූණ තෙමද්දි ,අහස වහගෙන තිබ්බ අළු පාට වලාකුළු දකිද්දී  හිතට ආපු පද වැල් කීපයක් .මුල ටික ෆෝන් එකේ ලියල memo වල save කරලා ඉතිරි ටික  ආයේ  බස් එකේදී ලිව්ව.හවස  කෝච්චියේ එන ගමන් තව පදවැල් ටිකක් ගෙතුවට ප්‍රසිද්ධියේ ටයිප්  කරන්න ලජ්ජා හිතුන  මොකද කවුරු හරි කියෙව්වොත් ;) ඒ ටිකත් මතක තියාගෙන කොච්චියේත් හොඳ නින්දක් දාල  අන්තිමට ගෙදර ඇවිත් කවිය සම්පූර්ණ කලා .මේ මගේ බ්ලොගේට ලියන පලවෙනි කවිය අඩුපාඩු ඒමට ඇති .ඔයාලට දැනෙන දේ ලියල යන්නකෝ ."අපෝ මේ මොකක්ද ..අන්තිම සවුත්තුයි " කිව්වත්  කමක් නෑ ..හි හී මේ ආරම්භයනෙ  :)