Monday, February 15, 2016

දත්


හැමෝම දන්නවනේ හංසි කියන්නේ හාවෙක් වගේ හරි අහිංසක ගෑල්ලමයෙක් කියල. මම කිව්වේ හාවෙක් වගේ අහිංසක කියල හොඳේ දැන් හාවෙක් කිව්වම මේ පහල රූපෙ වගේ තඩි කන් දෙකකුයි දිග හා දතකුයි තියන එකියක් මවාගන්න එපා හරි. 


මම කිව්වනේ  ලස්සන හින්දැරි කෙල්ලෙක්. ^_^ හැබැයි මේ කතාව සම්පූර්ණයෙන්  වෙනස් වෙන්න තිබ්බ අපේ දත් දොස්තර මාම නොහිටියානම්. එහෙනම් අද හංසි තියෙන්නෙ  මීයෙක් වගේ  පොඩි  කෘන්තක දතක් එහෙම නැතිනම් මේ වගේ එලියට පැනපු තඩි හා දතක් ..හපොයි එහෙනම් පාරේ බැහැල යන්න නෙවෙයි. කතාව පටන් ගන්නේ පහ වසරින්. දැන් කතාවේ චරිත කියන්නත් ඕනිද ? හා එහෙනම්  කතාවේ ඉන්න අහිංසක ගෑල්ලමය මම ^_^ දුෂ්ටය සදා ආදරණිය අපේ  අය්යන්ඩිය  වීරයා අපේ දත් දොස්තර මාම.

පොඩි කාලේ  අපේ වසවර්ති මාරයාගෙන්  ඇති තරම් බැට කෑවෙ මේ අහිංසක දැරිවි. කොට්ට පොර ගහද්දි එක ෂොට් එකක් අය්යට වැදුනොත් ඇති ඊළඟට ඇතිවෙන්න නෙලනව. හරියට හතර පස් දෙනෙක් එකතුවෙලා ගහනව වගේ.  අත්දෙකෙන්ම ඔලුව බදාගෙන හිටියත් වදින එක වදිනවා අම්බානෙක. අන්තිමට හෙම්බත්වෙලා බිම වැටුනම නක්කලේට හිනාවෙලා යනව.  කියන්න දුකයි එකම එක දවසක වත් කොට්ට පොර තරඟේකින් දිනලා නැහැ :(   මම හිතන්නේ මේ දැරිවි මෙච්චරම කෙට්ටුවෙලා තියෙන්නෙ ගුටි කාලමයි.  
ඉඳල ඉඳල ජයග්‍රාහී විදිහට ඔලුව හිල් වෙන්න ටොක්කක් ඇනල දුවල දුවල ගිහින් දොර මුල්ලේ හැංගුනත් වැඩක් නෑ ඒ වෙලාවට අර රා බිව්ව සද්ධන්ත නාලාගිරි ඇතා වගේ දොර කඩාගෙන ඇවිත්  ගිරියටින් කෑගහන අහිංසක දැරිවිගේ අත් දෙක තද කරලා අල්ලගෙන ඒ අත්වලින් එයාටම ටොකු අන්නවනවා.......... :/   තවත් මොනවා කියන්නද හදිසියේම හරි උදේ පාන්දර අම්ම කිව්වොත් පුතේ ගිහින් නංගිව ඇහැර වන්න කියල ඇහැරවන්නේ එක්කෝ කකුල කුචි කවල කකුලෙන් ඇදල නැත්නම් දඩාන් ගාල ඔලුව හරහා යන්න කෝට්ටෙන් ගහල.අතිශය ආදරේ හිතෙන වාසනාවන්ත ප්‍රීතිමත්  අය්යෙක් තමා මට හිටියෙ. ඉතිං මේ අකරතැබ්බෙත්  උනේ  අපේ වාසනාවන්ත  අය්යන්ඩි  නිසා තමා එකා යකා උනත් මොනා කරන්නද  සෙල්ලම් කරන්න ඉන්නේ  අපේ  අය්ය විතරයිනෙ. 

කලිනුත් කිව්වනේ  මට මතක විදිහට ඒ පහවසරේ මමයි අය්යයි කුස්සියේ සෙල්ලම් කර කර හිටියේ.සෙල්ලම මොකක්ද මතක නැහැ වැඩියෙන්ම කරන්නේ ඉතින් ඇනගන්න එකයි ගුටිකන එකයි තමා  කොහොම හරි ඔහොම දඟල දඟල ඉඳිද්දී සෙල්ලමේ මගදී  අපේ අය්ය එක පාරටම මාව කුචි කැව්ව. මාත් ඉතින් නිකං හිටියේ නැහැ.අන්තිමට පොර බැදල දැඟලුව පාරට කකුල ගාව තිබ්බ පාපිස්ස ලිස්සල ඩොග්  ගාල  මුණ බිම වැදුන. ඉස්සරහ දත් පේලිය.... ඉවරයි 

ඉවරෙටම ඉවරයි.... දෙය්යනේ .. මගේ ඉස්සරහ දත කැඩිලා... 
බය උනපාර කොහොමද කිව්වොත්  බිම පුරාම බඩගාලා දතේ කැඩිච්ච කෑලි  ටික අහුලගත්ත.

මම  බයවෙලා අය්ය  දිහා බැලුව.බයටම  ඇඩෙනවා  දැන් ..අය්යත්  ඇස්  ගෙඩි ලොකු කරන්  මගේ දතේ කෑලි  දිහා බලන් ඉන්නවා 
දැන් මොකෝ කරන්නේ.

අපි යමු අම්මට කියමු  ඔය දතේ කෑලි විසිකරන්නෙපා ගම් ගාල අලවත හැකි. අය්ය කියපි :/  

මම නම් හොඳටම බයවෙලා හිටියේ. අපේ අම්මල ඒ වෙලේ හිටියේ ආච්චිලා ගෙදර. දතේ කෑලිත්  අතේ ගුලි කරගෙන දුවල ගිහින්   නැවතුනේ ආච්චිලා ගෙදර. අය්ය  නෙමේ මා එක්ක දුවල ආවේ. හොර හික්මීය වගේ  ගේට්ටුව ගාව ඉඳන්  හැංගිලා වගේ ඉන්නවා අම්මගෙන් ගුටිකයි කියල බයට.

දන්නවනේ ඉතින් චූටි ගැල්ලමයි .මමත් ඉතින්  හොඳටම  ඇඬුව ලු  ............. ;) අම්මත් බයවෙලා..අම්මේ ......හැමදාම මෙහෙම ඉන්න වෙයිද මේක අලවන්න බැයිද  මම ආයෙත් අත  දිහා බැලුවෙ  ඔක්කොක්ම දත් කෑලි  ටික අහුලා ගත්තද කියල බලන්න. පොඩි කෑල්ලක් හරි මිස් උනොත් කාට කියන්නද දෙය්යනේ .මේ ඉස්සරහම දතනේ. මෙහෙම ඉස්කෝලේ ගියෝත් ළමයි හිනාවෙයි.  අලියෙක් පයින් ගැහුවද කියල අහයි. හය්යෝ ...... මම බෙරිහන් දීල අඬන  අතරෙ අම්ම ඒ වෙලේම ටක් ගාල අපේ දත්දොස්තර මාමට කෝල් එකක් ගත්ත 

හරි හෙට එන්න  මම හදල දෙන්නම් 

ඔන්න ඒ වෙලේ තමා ඇඟට ලේ ටිකක් ඉනුවෙ.


මට තාම මතකයි  බස් වල නැගල ලේන්සුවෙන් කට වහගෙන  දත් දොස්තර මාම  ගාවට ගිය හැටි ...කතා කරන්නත් බැහැ  ඉස්සරහ කැඩිච්ච දත පේනවා ..වස ලැජ්ජාවයි 

මම ගිය ගමන්ම  මාම ඉස්සරහ දත් ඔක්කොම  පරික්ෂා කළා.  මට ලාවට වගේ මතකයි පොඩි ගිනි දැල්ලක් වගේ මොකක්ද එකක් දත් ඔක්කොටම අල්ල අල්ල මේවා රිදෙනවද.මේ දත රිදෙනවද කියල ඇහුව.  රිදෙනවනම් අත  උස්සන්න කිව ..මම නම් බයටම හැම එකටම අත උස්සගෙන හිටියේ 

ඊට පස්සේ  මාමගෙ මෙහෙයුම....ආ කිවේ නෑනේ ... දත අලවන්නට ඕන නෑලු  :D 

මොකක්දෝ  තලපයක් මගේ දතේ තියල  පැයක් තිස්සේ මාම  ලොකු මෙහෙයුමක් කළා  අන්තිමට එල්  අකුර වගේ කැඩිච්ච දතට වෙනම කොටසක් හයි කළා.

ඊට පස්සෙ අතට කන්නාඩියක් දීල  කිව හා  දැන් හරිද බලන්න කියල. 

හෑ .... දෙය්යනේ  තඩි හා දතක් 


මම  කට ඇරන් කන්නාඩිය දිහා ආයෙම බැලුව. ඇස්  ගෙඩි දෙක ලොකු කරන ආයෙම මාම දිහා බැලුව. ආයෙත්  කන්නාඩිය දිහා බැලුව.ඒ දත තිබ්බනම් තඩි කැරට් අලයක් එක පාරින්  දෙකට කඩන්න පුළුවන්...  මාමට හොඳටම ෂුවර්ද   මම ආයෙත් මාම දිහා බැලුව 

ඔන්න ඒ වෙලේ තමා මාම බකස් ගාල  හිනා උනේ 

තාම ඉවර නැහැ .. කැමතිනම් ඕනනම්  ඔහොම ගෙදර යන්න  නැත්නම් කොටකරලා දෙන්නම්  මාම හිනාවිගෙනම කියනවා 

දෙය්යනේ එලියට පැනපු  තඩි හා දතක් අම්මේ ....මට නම් බැහැ මෙහෙම යන්න.

කොහොම කොහොම හරි මාව බය කරාට අන්තිමේදී  සාමාන්‍ය ගානටම මගේ දත හැදුව.දැන්නම්  දත් තිස්දෙකම පෙන්නලා බය නැතිව හිනාවෙන්න පුළුවන්. ෂ් ....තිස් දෙකක් නෑනේ  මට ... තිහයි  :(  

මාමට පින් සිද්ද වෙන්න ලොකු ගානක් වියදම් වෙන  මෙහෙයුමක් නොමිලේම කරලා දුන්න. දන්නවද මාම නම් කිවේ  ඒ  හදපු දත් කොටස කැඩෙන්නේ නැතිව  දිගටම තියෙනවා කියල ..හැබැයි ඒක ආයෙම කැඩුන. ඒ  මම සාමාන්‍ය පෙළ කාලේ වෙච්ච දෙයක් .. දවසක් මොකක්දෝ අමාරු ගණිත ගානක් හදාගන්ට බැරිව  පැන්සලේ අග හපාගෙන හපාගෙන ගියා   අන්තිමට ටකස් ගාල දත් කෑල්ල එලියට පනිද්දී තමා  ගානේ ඉතිරිය  මතක් උනේ :D 

හික්ස්... එදා ඉඳල අද වෙනකන් මම නම් මොන අමාරු ගානක් ආවත් පෑන් පැන්සල්  නම් කටේ හපාගෙන  ගණන් හදන්නේ නැහැ. ඒ නිසාමද මන්ද කැම්පස් එකේ ගණන්  හදපු විෂයන් දෙකටම  මට  C+ එකක්... ;)   

දත් ගැන  මට වෙච්ච භයානකම සිද්දි වලින් එකක් ඔය 
මොන හේතුවක්ද මන්ද සමහර වෙලාවට මට නම් දත් වලින් අපලයි. 

දන්නවද  අපේ  හක්කේ කොනේම තියන දත  ම්ම්ම් .. අර  ඔයාල ලොකු  වෙනකොට පොඩ්ඩ පොඩ්ඩ මතුවෙන ඥාන දත  ගැන? ඉංගිරිසියෙන් කියන්නේ විස්ඩම් ටීත් කියල ... මේ වෙද්දී නම් හංසියට ඔය ඥාන  දත් දෙකම නැහැ ....දැන් කියන්නෙපා මේ ගැල්ලමයගේ ඥානෙ  නෑ  කියල :/ 

සමහර දත් පිහිටලා තියන විදිහට කොච්චර ප්‍රවේසම් කලත් ඒ දත් ගලවන්න වෙනවා.මගේ දතත් ගලවන්න උනේ එහෙම.දත් ගැන මොන ප්‍රශ්නේ ආවත් දුවන්නේ දත් දොස්තර මාම ගාවට. 

සාමාන්යෙන් දත් ගලවද්දී එක්ස් රේ ගන්නවනේ  හැබැයි අපේ මාමගේ පණ්ඩිත කමට එක්ස්රේ ඕන නැහැ හොස්පිටල් එකට එන්න දත ගලවන්නම් කිව. මමත් ඉතින් එදා පාන්දර දෙය්යෝ බුදුන් සිහිකරගෙනම  තාත්ත එක්ක හොස්පිටල්  එකට ගියා  .. ඔය මොන චන්ඩි පාට් දැම්මත් මම හෙන බය ගුල්ල.  දත ගලවනවා කීවමත් මම හෙන බයේ හිටියේ.  මාව පුටුවෙ හාන්සිකලා කල විතරයි කිටි කිටි ගාල සරුවාන්ගෙම වෙව්ලන්න ගත්ත අන්තිමට නර්ස් නෝනලා දෙන්නෙක් ඇවිත් කකුල් දෙකෙන් අල්ල ගත්ත කියමුකෝ........වස ලැජ්ජයි ඉතින් මොනා කරන්නද :/  

දත ගාව හිරිවැටෙන්න ඉන්ජෙක්ෂන් එකක් විද්ද.  ඊට  පස්සේ ටික වෙලාවකින් මාම දත ගලවනවා. තඩි අඬුවක් වගේ එකක් කටට බස්සද්දීම මම ඇස් වහගත්ත.  මාම දත අදිනවා අදිනවා දත නෙවේ එලියට එන්නේ  ඒ අස්සේ  දැන් ආයෙම රිදෙනවා ....අමුවෙන් දත ගලවන්ට හදනවා වගේ. රෑ තරු දවල් වරුවේ මගෙ වටේ කැරකෙනව.ඔන්න ආයෙම දෙවෙනි පාරටත් හිරිවට්ටන ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා.  මේ වෙද්දී මට  එහා පැත්තේ හිටිය ලෙඩ්ඩු ඔක්කොම විනාඩි පහෙන් දත්  ගලවාගෙන එළියටත් ගිහින්  මාම ආයෙම පටන් ගත්ත. දත නෙවේ එන්නේ ... දත හිරවෙලා... පොඩි කැපුමක් කරන්න වෙයි. මාම කියනවා මට ඇහෙනවා ..මම බයටම ඇස් පියාගෙන. මැෂින් වල සද්දේ ඇහෙද්දී තවත් බයයි .තාමත් නර්ස් නෝනලා මාව වටකරන් .. ඒ එක්කම මාම මොකක්දෝ පොඩි මැෂින් එකක් ගත්ත .. මෙන්න මේක ඕන් කරන්න කලින් වැඩ කරනවා ...මාම ඒ පාර කියපි 

හෆොයි මාත් ආවේ මරු ඉස්පිරිතාලෙකට. 

මොකක්දෝ ජල්බරියක් කරලා මාම ආයෙම කපල කොටලා  දත අදින්න බැලුව හික්ස් ...දත නෙමේ එන්නේ  එක වෙලාවකදී මම හෙමිට ඇහැක් ඇරලා බැලුව  මාමටත් හෙනට දාඩිය දාල .. ඒ මදිවට මේ දත එන්නෙත් නැහැ .. ලේත් යනවා අම්බානෙකට ... ඒ අස්සේ මමත් බයවෙලා කෙඳිරිගානව. අන්තිමට ඔක්කොම නවත්තල දාල  මාව එක්කන් ආයෙම වෙන කාමරේකට ගියා.දත් සම්බන්ද ලොකු ලොකු ශල්‍යකර්ම  කරන්නේ එතන.

කොහොම කොහොම හරි තව දොස්තර අන්කල්ලයි ඇන්ටිලයි ඔක්කොම වටවෙලා  දත උගුල්ලලා දැම්ම. ඒ කරද්දීත් මුලින් දතේ කෑල්ලක් කැඩුනේ.පස්සේ ආයෙම කැපුමක් කරලා සම්පුර්ණ දත ගත්ත.මහ ආඩම්බර කාර ලැජ්ජාශීලි දතක් වෙන්ට ඕන.....  අන්තිමට තමා දැක්කේ  මෙච්චර වලි කන්න උනේ  දතේ අග  වක්වෙලා තිබ්බ නිසා කියල. කලින්ම එක්ස්රේ එකක් ගත්තනම් ඒක හොයාගන්න තිබ්බ කොහෙද ඉතින් මාම දත් දොස්තර උනාම ඉතින් ඕව බලන්නේ නැහැනේ. කොහොම කොහොම හරි දතක් ගලවන්න ගියපු මිෂන් එකට  අපේ තාත්තත් බයවෙලා මොකද ලේ ගොඩක් එක්ක කට්ටිය වට වෙලා පැය ගානක් කපද්දි  කොටද්දී අන්තිමට මස් කඩේ වගේලු  හිහි ... 

ඔය බයවෙච්ච බයවිල්ලට දෙවෙනි දත ගලවන්න එන්න කිවත් මම ගියේම නෑ  එත් ඒ දත තිබ්බොත්  අනෙක් දත් වලටත් ප්‍රශ්නයක් වෙනවා කිව නිසා  අකමැත්තෙන් ගලවන්න ගියත් බයටම හතර පාරක්ම කලන්තේ දැම්ම.  කලින් වෙච්ච සිද්දියත් එක්ක මේ පාරනම් එක්ස් රේ අරගෙනයි ගියේ  

දත් ගැන තියෙන්නේ ඔය වගේ භයානක මතක .ඔය නිසාම කොච්චර නිදිමත උනත් නින්දෙන්ම ගිහින් දත් හොඳට මැදල තමා නිදාගන්නේ.  මොකද   නොසැලකිලිමත්වෙලා පනුවෝ කෑවොත්..(පනුවෝ  කනවා කියල අපි කීවට ඇත්තටම වෙන්නේ  බැක්ටීරියා කිර්යකාරිත්වය නිසා දත් දිරල නරක්  වෙන එක )

ඔය හැම දත් ප්‍රශ්න නිසාම මම නම් දත් ගැන  අරහෙන් මෙහෙන් ඉගෙන ගත්ත. ඒ නිසාම  ඒ ලේවල් ප්‍රොජෙක්ට් එකට කලෙත් දත් ගැන 
ආයෙම  බාහිර උපාධියේ අන්තිම අවුරුද්දේ මෘදුකාංගයක් හදන්න තිබ්බ. ඒකට මම මාමාගේ ඩෙන්ටල් එක සම්බන්ද  කරලා එකක් හැදුව .. හික්ස් 
ඒ වැඩෙත් නරක නැහැ. 

දත් ගැන භයානක කතා කීවට එකක් කියන්නම්කො. හැම දතක්ම ගලවන්න වෙන්නේ  දත් දිරන නිසාම නෙවේ .වෙන වෙන හේතුත් තියනව.හැබැයි  පැණිරස කාල, රෑට කාම කාල දත් මදින්නේ නැතිවනම්  නිදාගන්න එපා. විශේෂයෙන් රෑට දත්මදින්න කම්මැලි අයට මේ කියන්නේ අමාරුවෙන් හරි හොඳට දත් මැදල  නිදාගන්න. දත් ගැන විස්තර බලද්දී මුඛ  පිලිකා  වල පින්තුර දැක්කමත් සසර කලකිරුන. ඔය  දුම්බොන අය   බුලත් විට කන අය  පරිස්සමෙන්  හොඳේ . නිකමට වගේ ගුගල් දෙය්යන්ගෙන් අහල බලන්නකෝ ඒ පින්තුර දැකලම බය හිතේවි.ඒ නිසා තියන දත් ටික පරිස්සමින් රැකගන්නෝ. නැත්නම් පින්තූරෙකටවත්  හිනාවෙන්නේ කොහොමද   :D  :D 


Sunday, February 14, 2016

ආදරය ගැන නොකී කතාවක්



අද වැලන්ටයින් ..මුහුණු පොත පුරා හදවත් වලින් සැරසිල. පරණ යාළුවො, අලුත් යාළුවො, බැඳපු යාළුවො, බඳින්න  බලාගෙන ඉන්න අය මේ ඔක්කොටම අද වැලන්ටයින්. මටයි කියල ඉතින් ලොකු වෙනසක් නෑ. තාම තනිකඩ  වීමේ  ප්‍රීතිය සමරනව. ඒ අතර ඉඳල හිටලා හිතේ තිබ්බ ආලවන්ත කම් එහෙමත් එහෙන් මෙහෙන් මතක් වෙනවලු. 'ගොඩපර' කතාවේ දෙවෙනි කොටස ආදර වන්තයින්ගේ දවසේ ලියන්නත් හිතුවට මොකද  දෙවෙනි කොටසක් ලියන්න තියන කම්මැලිකමකටදෝ හිත එහෙට මෙහෙට වැනෙනව. ආදරවන්තයින්ගේ දවසේ සිරිමල්ව මරන්නත් බැහැ  මලීව  අඬවන්නත්  බැහැ හැමෝම සතුටු වෙන විදිහට දෙන්නවම බන්දල දුන්න නම් හරි. හැබැයි ඒකත්  එක්තරා සාම්ප්‍රදායික අවසානයක් නෙමේද? ඔය විකාර හිත හිතාම මම බාගෙට ලියපු  ඒත් තාමත් ඉවර කරලා නැති කතා  ආයෙම කියවන්න ගත්ත.. එකින් එක බල බල යද්දි හිත නතර උනේ දෙබසක් ගාවින්. දෙබස දැක්ක ගමන් මට හිතුන තවත් කතාවක් ලියන්න..... 

එයා  කවුද කොයිවගේද මොනවද කරන්නේ කොහේද  ඉන්නේ මම දන්නේ නැහැ. ඒ වගේම මම කවුද මොනවද කරන්නේ කොහෙද ඉන්නේ කියලවත් එයා  දන්නේ නැහැ.සරලවම කිවොත් අපි දෙන්නම නන්නාදුනන්නෝ.ඉස්සරම පෝස්ටුවක ලීව ගෙඹි කවි වල ගෙම්බා අඳුරගත්ත විදිහටමයි මම එයාව අඳුරගත්තෙත්.වෙනසකට තියෙන්නේ  මේ වෙද්දී ගෙම්බ මගේ හොඳ යාලුවෙක් හැබැයි මේ අය්ය  කවුද කොහෙද ඉන්නේ කියන එක මම තාමත් දන්නේ නැහැ අද වෙද්දි  අපි කතා කරන්නෙත් නැහැ.

මම ගොඩක් වෙලා හිතුව මම කොහොමද කතාව පටන් ගන්නෙ කියල  කලින් කතාවක් වගේම  අවන්හලකින් පටන් ගන්නවද ? එයා දිගටම කතාව කියයි මම අහගෙන ඉඳී. එහෙමත් නැත්නම්  විශ්ව විද්‍යාලෙ  මල් පිපෙන ගහක් යට මල් ඇතිරෙච්ච පාලු බැංකුවක් යට එයාගෙ කතාව එයාට කියන්න දෙනවද ? මේ කොහොම චිත්‍රයක් මැවුවත්  එයාගෙ  කතාව වෙනස් කරන්න උවමනා නැහැ.මට හිතෙනවා අමුවෙන්ම ඒ මුළු දෙබසම දාන්න ...ඒත් යම් යම් හේතු නිසා ...ඒ  දේ කරන්නත් බැහැ.මම එයාව ගේනවා මුහුණු පොතට ...එයා එයාගෙ කතාව කියාවි.

---------------------------------------------------------------------------------

ඒ ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ  14  අද වගේම  එදත් කම්මැලිකමේ ගෙදරට වෙලා හිටියෙ. මුහුණු  පොතේ එහෙට මෙහෙට රවුම් ගගහ ඉඳිද්දී දිලීප අය්යගෙන්  කෙටිපණිවිඩයක් ආව. ඒ වෙද්දී  මම දිලීප අය්ය  ගැන දැනගෙන ටික කාලයක්  ඒ වුනාට එයාගැන වැඩි විස්තර ඒ වෙද්දීත් මම දැනන් හිටියෙ නැහැ.

ආ නංගි  වැලන්ටයින් සමරනවා වගේ 

හි හී ...  අපිට කොහේ වැලන්ටයින්ද අය්යෙ  අපි තවම බෝ පැල ඔය ලොකු ලොකු අය්යල තමා වැලන්ටයින් සමරන්නේ නැද්ද  :P 

 අපි කොහේ වැලන්ටයින් සමරන්නද නංගි.පරණ මතක සිහිකර කර ඉන්නවා මිසක්.

 ඒ කියන්නෙ හොඳ රහට ලුණු ඇඹුල් එක්කම බූට් එකක් වත් කෑවද. හරි කෑවත් මොකෝ ඉතින් මුහුදේ ඉන්නේ එක මාලුවද  හික්ස්.. :D  අය්ය හොඳ අක්කෙක් හොයාගන්නකො.

හ්ම්ම් ...

ඇයි මොකෝ දැන් හ්ම්ම්  ගාන්නෙ? හ්ම්ම්..හ්ම්ම්...කියන්නේ බස්සො :P 

නංගි  මේ...  මම දෙයක් අහන්නද ?

හා  අහන්නකො ඉතින් 

ඔයා  මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කාටද 

හපෝ  ඕක හරිම අමාරු ප්‍රශ්නයක්නේ. ම්ම්ම්...අය්යට මතකද  අපි පොඩි කාලේ කවුරු හරි අපෙන් ඇහුවොත් ඔයා වැඩියෙන්ම ආදරේ කාටද කියල. අපි වෙලාවකට අම්ම කියනවා වෙලාවකට තාත්ත කියනව කොච්චරක් ආදරේද කියල ඇහුවම පුංචි අත් පුළුවන් තරම් දිග ඇරලා කියනවා මෙන්න මෙච්චරක් කියල. මතකද ඒ අතීතෙ. හරියටම කියන්න බෑනෙ කාටද වැඩියෙන්ම ආදරේ කියල :)

ඔව් නේන්නම් නංගියාට මතකයි නේ ඒ අතීතෙ ...දන්නවද නංගි  මම මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන ගෑනු දෙන්නෙක් ඉන්නව. එක්කෙනෙක් තමා මගේ අම්ම අනෙක් කෙනා තමා ගයනි. මේ දෙන්නම මගෙ ජිවිතේ කිව්වොත් හරි හැබැයි  අද වෙද්දි මගේ ජිවිතේ මා ගාව නැහැ ... 

ගයනි ... එයා  ඔයාගේ ගැල්ලමයද ? ඇයි  එයා ඔයාව දාල ගියාද ...
එතකොට ඔයාගේ අම්ම එයත් ජිවතුන් අතර නැද්ද ?

හ්ම්ම් .. ඒක දිග කතාවක් නංගි  හැමදේම මතක් වෙද්දි මට වෙලාවකට මොනවා කරන්නද කියල හිතාගන්න බැහැ. මේක දිග කතාවක්  ඔයා කැමතිවෙයිද අහගෙන ඉන්න ...මට පොරොන්දු වෙන්න...
මම ඉල්ලීමක් කරනවා ඔයා මේ කථාව නැවැත හිතන්නත් එපා..

හ්ම්ම් ... 

මේ පෙබරවාරි මාසෙ මට හරි විශේෂයි නංගි...හැම අවුරුද්දෙම පෙබරවාරි වෙද්දි චිත්‍රපටියක් වගේ මේ හැමදේම ආයෙම මට මැවිලා පේනවා. 
ඔයාට ඉස්සෙල්ලාම කියන්න ඕනේ සුභ දෙයක් ද අසුභ දෙයක් ද කියලා මම දන්නේ නැහැ....
ඒත් අසුභ දෙයෙන් සුභ දේ  හෙදිලා යනවා...

මගේ උපන්දිනය තියෙන්නේ අගෝස්තු 3.... මගේ අම්මා අගෝස්තු මාසෙ ගත කරන්න ඇත්තේ ගොඩාක් අමාරැවෙන් වෙන්න ඇති.... මොකද මාව බඩේ තියාගෙන ... මම බඩ ඇතුලෙත් නිකම් හිටියා නෙවෙයි නේ... බල්ටි ගහන්න ඇති.... අම්ම  බඩ අතගගා බුදු ගුණ කියන්න ඇති.... වීර කථා බලන්න ඇති... තාත්තාට මම ඉපදෙන්න ඉන්න කාලේ අන්තිම දවස් වල තමයි වැඩ ලැබිලා තියෙන්නේ ..... එතකන් බඩ ගින්නේ ඉන්න ඇති... අම්මා බොහෝ වෙලාවට නොකා තාත්තාට කෑම තියෙනවා ... ඒ විදියට ඒ දවස් වල ඉන්න ඇති.... ඇත්තටම ජූලි කාලයෙදී තමයි තාත්තට වැඩ තිබිලා තියෙන්නේ ..... අක්කල කියනවා මම වාසනාව අරගෙන ආවා කියලා මට අහැලි තියෙනවා....

නංගි මගේ රත්තරං අම්මා නැති වුනේ පෙබරවාරි අග.ආදරවන්තයින්ගේ මාසේ හැමෝම ආදරේ කරද්දී  මගේ ජිවිතේ මම මුලින්ම ආදරේ කරන්න පටන් ගත්ත කෙනා  මට නැතිවෙනව. පෙබරවාරි ලබන කොට මට හරිම වේදනාවයි.......මට අම්මාව මතක් වුනා ... පෙබරවාරි මාසය කියන්නේ හරියටම මගේ පපුව උඩ අඩි උස හිල්ස් දාපු බර කෙනෙක් ඇවිදිනවා වාගේ දැනෙනවා..... ඇත්තටම පපුවේ කොහේද රිදෙන්නේ කියලා මම දන්නේ නැහැ මුලු පපුවම රිදෙනව......ඔයා දන්නේ නැහැ ඒ වේදනාව පටන් ගන්නේ කොහෙන්ද කියලා මම දන්නේ නැහැ හරිම ගැඹුරැයි නංගි..... 

මට ඩොක්ටර් කීවා සීතල කාලයේ අම්මාව පරිස්සම් කරන්න කියලා... ලොකුවට තිබුනේ සීනි ලෙඩේ විතරයි....දවසක් ලොකු අක්කට කියලා තිබුනා අම්මාගේ පපුව රිදෙනවා වගේ කියලා.අම්මා එතකොට වාහනයෙන් බැහැලා පයින් ගිහින් තියෙන්නේ ළඟ බෙහෙත් සාප්පුවකට .... ඩොක්ටර් කීවාලු පපුව රිදෙනවානම් ලඟම  තියන ජෙනරල් හොස්පිටල් එකට යන්න කියලා.... අක්ක අම්මාව ඇතුල් කලා විතරයි ලු අම්මාට සිහිය නැතිවෙලා අයි සී යු එකට අරගෙන තියෙනවා ....මට කීයපු ගමන් මම ආවා ....මම අයි සී යු එකට ගියා මගේ යාලුවෙක්  එක්ක එයා ඩොක්ටර් ...මම දැක්කා අම්මාගේ ඇඟේ බට ගහලා තියෙනවා මම කකුල් දෙක අල්ලා බැලුවා සීතල වෙලා ඒ ඒකකම එක්රේ මැසිම වේගයෙන් වැඩ කලා. නර්ස් කීවා හරි පුදුමයි කියලා....මට මගේ යාලුවා කීවා හරියන පාටක් නැහැ කියලා......අම්මා නැතිවුනා එදා රෑ... මම අම්මට ගරු කරන නිසා  ... ඕනෑම ගැහැණු කෙනෙකුට ගරු කරනවා....

ඔයා දන්නවා ද මට මතක් වෙන දේ...... මම පොඩි කාලේ ( 4 වසරදී) අම්මා මාව එක්කන් ගියා දත් ගලවන්න ඉස්කෝලෙ ගාව ඩෙන්ටල් එකට .... මම දත් ගැලෙව්වාම අද වගේ නැහැ එක කඩයක් තිබුනා ඒකෙන් මට අයිස් ක්‍රීම් කප් එකක් අරන් දුන්නා මම ටික ටික කෑවා ..... අම්මා ඇහැව්වා පොඩි පුතා මට ටිකක් තිබ්බේ නැද්ද කියලා....
අය්යෝ මට ටිකක් තියන්න බැරි වුනා ...... මම ඔක්කෝම කාල..... එදා අමාමා ගාව සල්ලී තිබුනෙත් නැහැ..... මම ජෝබ් එකක් කරන කොට .... අම්මට සීනි ..... මට අයිස්ක්‍රිම් එකක් අරන් දෙන්න බැරි වුනා මගේ දෙයියනේ..... මගේ පපුව වාවන්නේ නැහැ එක මතක් වෙන කොට ....... නංගි මට හිතෙනවා ඇයි මම දැන් ජිවත් වෙන්නේ කියලා....... මගේ අම්මේ, පොඩි කාලේ මම ඉල්ලන සැරේට ඔයා මට අයිස්ක්‍රිම් අරන් දෙනන ඇති .... එත් මගේ හිත පිරෙන්න ඔයාට අයිස්ක්‍රිම් අරන් දෙන්න බැරි වුනා....... මොකද්ද මගේ ජිවිතේ.... 

දන්නවද  මම ගෙදර එන්න පරක්කු වුනොත් අක්කලාට කියනවාලු පොඩි පුතා ආවේ නැහැ කියල බලන්න කියලා.....මමත් ආදරෙයි මගේ අම්මාට .....ඔයා දන්නවාද මම පාඩම් කරන කොට අම්මා නැගිට නැගිට තේ ගෙනෙත් දෙනවා .... ලග ඉදන් ඔලුව අතගෑවේ නැති වුනාට දුර ඉදන් බලන් ඉන්නවා..මොන මොනවා හරි තම්බලා දෙනවා ....මම කියනවා රෑට කෑවාම නින්ද යනවා කියලා ... ඒත් ඒත් බඩගින්නේ මොන වැඩ ද කියලා කන්න දෙනවා ... මේ පපුව  පැලෙන්න එනවා නංගි මගේ පපුවේ කැපැසීටි එක මදි මේවා තියාගන්න ... මමත් මැරෙයි පපුව පැලිලා අම්මා ගැන මතක් වෙන කොට ......මගේ රත්තරන් අම්මා නිතරම මතක් වෙනවා මේ කාලේ ......ඒ කලේ අම්මා ගොඩාක් දුක් වින්දා අපිව ලොකු කරන්න ..... දෙයියනේ ඒවා කියලා වැඩක් නැහැ...මගේ පපුව වාවන්නේ නැහැ....මේ ඇස් දෙක තාම හොයන්නේ මගේ රත්තරං අම්මාවයි නංගි..... මම අඩන්නෙත්  හැංගිල  අනිත් අය හිනාවෙයි කියලා බයට..... ඔයාම කියනවා පිරිමි අඩන්නේ නැහැ කියාල .... සත්තකයි මගේ ඇස්වලින් මේ කදුලු එනවා
.
හ්ම්ම් ..ඔයාගේ  කතාව මාව නිරුත්තර කරා අය්යෙ.  එක දවසක් හරි අම්ම නැති උනාම ගෙදර තියන පාළුව  මම දන්නව. අම්ම නැති උනාම ඔයාට කොච්චර දුක ඇතිද කියල මට හිතාගන්න පුළුවන්.......

නංගි ඔයාට මට කියන්න තියෙන්නේ එක දෙයයි........ ඔයා අම්මටත් තාත්තටත් සලකන්න එක දෙයක්වත් මග හරින්න එපා.... මේ මේ මන් වගේ පවුකාරයෙක් වෙන්න එපා...................මට සමාවෙන්න  ඔයාට මේ කථාව කීවාට මට කියන්න කෙනෙක් වෙන නැහැ ඒකයි කීවේ.. 

මම කියන දේ අමාරුවෙන් හරි අහන් ඉන්නවට ස්තූතියි නංගි. මිනිස්සු හිනාවෙන්නේ කොහොමද කියලා හිතෙනවා මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගැන හිතුවාම..... ගොඩාාක් දෙවල් හිර කරගෙන තමයි අපි හිනාවෙන්නේ....

නංගි ඔයා දන්නවා ද මගේ ගයනි මට කියපු දෙවල්... ටිකක් කියන්නම්.
එයා කීවා --- කොල්ලෙක් ලග ලේසියෙන් පිහිටන්නේ නැති පිිලිවෙලක් ඔයාට තියෙන්නේ .....මම හිතනවා දිලීප එක ඔයාගේ අම්මාගෙන් වෙන්න ඕනේ පිහිටන්න ඇත්තේ..... මම ඔයාව මගේ ඇස් දෙක ඇතුලෙම තියාගෙන ඉන්නවා... කියලා නිතරම කීවා...මගේ රත්තරං අම්මා ගැන මගෙන් ලෝකයේ මිනිස්සු අවබෝධ කර ගන්නවා .... මට හරි සතුටුයි... අම්මා හිටියනම් මම ගොඩාක්  සාගරය තරම් අහස තරම් සතුටු වෙනවා.... අම්මාට බොහෝ පිං ...


නංගි දන්නවද මම අම්ම වගේම දෙවෙනියට ආදරේ කලේ මගේ ගයනිට.ඇත්තටම එයා හරිම ලස්සනයි. ඔයා දන්නවාද එයා හෙඩ් බෑන්ඩ්  එක දම් පාටනම් අත් ඔරලොසුවත් දම්... ස්ලීපර්ස් දෙකත්  දම්....
හැබැයි එයා කිසිම තැනක කැපි පෙනුනෙත් නැහැ....

ඔයා දන්නවාද වැඩක්....මැයි 12  තමයි මගේ ගයනිගේ උපන්දිනය ..... ඒ කාලේ ජනවාරියේ ඉදලම සල්ලි කියක් හරි එකතු කරනවා මැයි මාසේ දී උපන්දින ත්‍යාගයක් අරන් දෙන්න... ඒක මට මහමෙරක් ඔලුවේ තියාගෙන ඉන්නවා වගේ වැඩක් .... මැයි ඉවර වෙනකම්.... මට ඒක අද මතක් වුනා... ස්කෝලේ කාලේ ඉදලම කරපු සුන්දර දුෂ්කර ක්‍රියාවක්...
ගයනි මට හරියටම සාගරය වගේ ආදරෙන් මගේ පිටුපස්සේ හිටියේ ..... හැබැයි නිතරම කඩාහැලෙන වැස්සක් වගේ මගේ ඇගට පැන පැන බනිනවා.

ප්‍රශ්නයක් ...ඉතින් ඇයි ගයනි අක්ක ඔයාව දාල ගියේ?


 නංගි මේ ලෝකේ ලෝකුම ප්‍රශ්න දෙකක් තියෙනවා බැදීම් කැඩෙන්න...

එකක් ධවත් කම .... දෙවැනි එක අවංකකම අනවශ්‍ය වෙලාවෙදී පෙන්නීම.... ඒ දෙකම මට බලපෑව මගේ ගයනි මට නැතිවෙන්න.



ඔයා දන්නවාද අන්තිම වචන ටික අපේ වෙන්විමේ.... දිග කථාවක්..
පොඩි පොඩි ප්‍රශ්න ගොඩාක් තිබුනා ඒවෙනකොට ... ඇත්තටම එවා නම් මට එදා සල්ලි තිබුනේ නැති නිසා...... එයා ගෙදර ක්ලාස් කලා ඔලේවල් ලමයින්ට ඒ නිසා එකේ පිරිම ළමයින් ටික අපි ගැන දැනගෙන හිටියා ... සමහර දවස් වලට මමත් ඉගැන්නුවා කවුරුත් සැක කළේ නැහැ අපි යාලුයි කියලත් හැබැයි ළමයින් දැනගෙන හිටියා.
දවසක් මගේ අම්මා ඇස් ඔපරේට් කරන්න හොස්පිටල් එකේ නතර වෙලා... ඔපරේට්කරන දවසෙම අපි නුවර යන්න දාගෙන හිටියේ .. දිනය තිරණය කරලා තිබුනේ ක්ලාස් එකේ ළමයින්...ගයනි කථා කළා යමු කියලා... මම පොඩි පන්ඩිත කම නිසා මම කීවා වතුර වලට වඩා ලේ උක්කුයි .... මම අම්ම ගැන බලාගන්න නතර වෙනව කියලා...
එයා ඊටපස්සේ ගොඩාක් අඩලා තියෙනවා මේ අවස්ථාව ගත්තේ ගොඩාක් බොරැකියාලා.... ලොකු බලාපොරොත්තු ඇතිව....
අද මට තනියම යන්න වුනේ ... කිය කියා මට පනිවිඩයක් එවලා තිබුනා .... මට වතුරත් නැහැ ලේත් නැහැ කියලා..

මම සමාව ඉල්ලලා කථා කලා එයා ෆෝන් එකට අවේ නැහැ... මම වෙනදා හමුවන තැන් වලට ගියා ඒයා අවේ නැහැ... හ්ම්ම්  අන්තිමට හැමදේම මට නැතිඋනා අද මම තනියම.

අම්ම ඔපරේට් කරද්දී එහෙම වෙන කොහෙවත් ගිහින්  විනෝද වෙන්න බෑනෙ .ඇයි  ඒ දේ එයා තේරුම් ගත්තේ නැත්තේ ...... පුදුමයි

හ්ම්ම් ... මම දන්නේ නැහැ  ඒක  මගෙ ලැබීම වෙන්න ඇති. 

නංගි  මේ දේවල් කියල අද වගේ දවසක,ලෝකේ වටේ ඉන්න හැමෝම ආදරේ වපුරන දවසක,දුක හිතෙන දේවල් ගොඩක් කියල ඔයාගේ හිත රිද්ද වන්න ඕන උනේ නැහැ.මේ දේවල් කියල මම යටි අරමුණක් වත් අනුකම්පාවක් වත් බලාපොරොත්තු උනේ නැහැ. ඒත් මේ දේවල් මට කියන්න කවුරුත් නැහැ...හිතේ දුකට මේ ඔක්කොම කියවුන.අමාරුවෙන් හරි අහන් හිටියනම් ඔයාට ගොඩක් පිං 

නංගි  මම කියන්නේ එක දෙයයි. ආදරේ විඳීමක් වගේම විඳවීමක් .. ජිවිතේ  ඔයාට පාර කිව්ව අත්වැලක් උන වට්ටපු වගේම  වැටිලා නැගිටින්න උදව් කරපු මේ හැමෝටම එක වගේ ආදරේ කරන්න. ඔයා ජිවිතේ වැඩියෙන්ම ආදරේ කරන අයව කවදාවත්ම අමතක කරන්න එපා.වචෙනකින් වත් රිද්දන්න එපා. අපි ආදරේ කරන දේවල් අපිට නැතිවෙන්නේ කොයි මොහොතේද කියල අපිට කියන්න බැහැ.ඒ නිසා අද වගේ දවසක ඔයාට ආදරේ කරන හැමෝවම මතක් කරන්න.හැමෝටම ආදරේ වපුරන්න. ඒ ආදරෙන් ඒ අයව සතුටින් තියන්න .. ඒ සතුටම ඇති ජිවිතකාලේම ඔයත් සතුටින් ඉන්න ....

(පින්තූරය  අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී )



ප.ලි. : නම් ගම්  වෙනස් කලාට සමහර දෙබස් ඒ විදිහටම දැම්ම.ආදරේ ගැන හිතට දැනෙන්න ලොකු පාඩමක් කියාදුන්න  සංවාදයක් නිසාම අදටත් ඒ දේවල් මතක් වෙන්න මා ගාව තියන් ඉන්නව.කාටවත් හානියක් වෙන්නේ නැතිවිදිහට මේ හැමදේම පලකරන්න හිතුනේ හිතන්න ලොකු දෙයක් මේ කතාවේ ඉතිරිකරලා තියන නිසා.ආදරේ දැනෙන හදවතක් තියන හැමෝම හැමදාමත් සතුටින් ඉන්න  :) :) :)  ජිවිතේ වැදගත්ම පාඩමක් කියල දීපු ඒ අය්යත් අද වෙද්දී ලංකාවේ කොහෙම හරි තැනක සතුටින් ඇති කියල හිතනවා. :)

Friday, February 5, 2016

ගොඩපර

සති ගානකට කලින් පුංචි දළු විතරක්  තිබ්බ ගොඩපර ගහේ  එක  අතු රිකිල්ලක් දැන් වෙද්දී පාට වැටිලා ඉර එලියට දිස්නේ දිදී  දිලිසෙනව.වටේ පිටේ  තියන ගොඩපර මල් වල සුවඳට කිතිකැවිල නැළවෙන සුළඟත් එක්කම ගොඩපර අතුත් හෙමින් හෙමින් පැද්දෙනව.හුළඟේ තාලේටම  කොලත්  හෙමි හෙමින් තාලේ අල්ලනවා.පොඩ්ඩක් හරි තාලෙ බිඳෙන්නේ හදිසියෙන් ඇවිත් කඩා පාත්වෙන මාල ගිරවියන්ගෙන්.අදත් උන් ඇවිත් ගොඩපර ගෙඩිවලට රණ්ඩු  කරද්දී ඊයෙ පෙරේද දළු දාල තද පාටට පාට වෙවී තිබ්බ අතු රිකිල්ල කැඩිල හුලඟත් එක්කම පහල දොළ පාරට වැටුන.ගල් අතරින් පොඩි දිය සුළි අතරින් කැරකි කැරකි ගිහින් අන්තිමට නතර උනේ හීන් කෝටු කකුල් දෙකක් ගාව.

සිරිමල් බාගෙට නැවිල හීන් අතු රිකිල්ල අතට ගත්ත.තරමක් සැරේට වැඩිච්ච ලොකුම ලොකු ගොඩපර කොලේ නටුවෙන් කඩල අරන් එහාටයි  මෙහාටයි කරකව බැලුව.චුට්ටක් වෙලා කොලේ දිහා බලාන ඉඳල වේගෙන් ගලන දොළ පාරට   විසික්කලා. අනෙක් අතු රිකිල්ල හෙමින් සීරුවේ  සාක්කුවට දා ගත්ත. 

සැර දොලපාරට  අහුවෙච්ච කොලේ අකීකරු වතුරත් එක්ක උඩට පහලට පැන පැන  ඈතට ගහගෙන ගිහින් අන්තිමට ලොකු දිය සුළියකට අහුවෙලා නොපෙනිලාම ගියා. 

සිරිමල් තාමත් ගල් තලාව උඩ ඉඳගෙන.කකුල් වතුරට ඔබාගෙන ඔලුවත් නවාගෙන  අකීකරු වතුර පාර දිහා ඔහේ බලාගෙන ඉන්නවා.වෙනදට නම් පුංචි  පුංචි මාළු පැටව් ඇවිත් සිරිමල්ගෙ කකුල වටේ කැරකෙද්දි සිරිමලුත් කකුල් වලින් වතුර කලත්තල උන්ව බයකරනව, උන් එක්ක සෙල්ලම් කරනව එහෙමත් නැත්නම් හෙමීට වතුර අස්සෙන් අත් දෙක එකතු කරන ගිහින් මාළු පොකුරක්ම අතට අරගෙන උන් එක්ක තනියම කතා කරකර අතේ වතුර හිඳෙන්න කලින් උන්ව ආයෙම වතුරට අතහරිනවා. අද මේ කිසිම දෙයක් නැහැ. යාලු මාළුවො ඔක්කොම වටවෙලා සිරිමල්ගෙ කකුල කෙටුවත් සිරිමල් නෙමේ උන් දිහා බලන්නෙ.කිසිම අරමුණක් නැහැ වගේ ඔලුව නවාගෙන වතුර දිහා බලාගෙන.

එකපාරටම සිනිදු අත්දෙකක් පිටිපස්සෙන් ඇවිත් සිරිමල්ගේ ඇස් වැහුව.

'මලී' සිරිමල් දුර්වල හඬකින් කියල මලීගෙ අත් අහකට ගත්ත.

"සිරී මොකද මෙහෙ කරන්නෙ යන්නේ නැතිද අම්බිලි සීයාගේ වත්තේ අඹ කඩන්න?.සනා මේ දැන් දුවල ඇවිත් කීව සීය ටවුමට යන්න ලෑස්තිවෙනවා කියල. අමර,සුමනේ,ගුණේ මේ ඔක්කොම අන්න බෝවිටිවත්තේ එකතුවෙලා.සිරී විතරයි අඩු.සිරී නැති නිසයි මම මේ හොයන ආවෙ.හැමතැනම බැලුව.යං යං අද හොඳ අඹයක් දෙකක් කැඩුවොත්  මම හදල දෙන්නම් හොඳ අච්චාරුවක්.ආයේ සිරිමල් කන්නේ සූස් සූස්  ගාල ඇස්දෙකේ කඳුළු පුරෝන  :D "

"ඉතිං එන්නකෝ සිරි  අනේ ..අර චුට්ටෙ ආවොත් ගහම සුද්ද කරයි.එන්නකෝ ..." මලී  පෙරෙත්ත කරමින් සිරීමල්ගේ අතින් අදින්න උනා."

"මලී යන්න මට එන්න බැහැ"  සිරිමල් අහක බලාගෙනම කිව. 

මලී  නෝක්කාඩුවෙන්ම  සිරිමල් ගාවින් ඉඳගත්ත.

"ඇයි  දැන් එන්නැත්තේ ... මා එක්ක තරහද ? " සිරිමල් නෙවේ මලී දිහා බලන්නෙ.මලීට ඉවසුමක් නැහැ.පොඩි තරහවකුත් එක්ක නළල රැලිකරගත්ත.ඒත්  මලී  දැක්ක පුංචි පුංචි වතුර  බින්දු වලින්  සිරිමල්ගේ ලා නිල් කමිසේ තෙත් වෙන හැටි.මලී දෑතින්ම සිරිමල්ගේ උරහිසින් අල්ල ගත්ත. 

"මෙහෙ බලන්නකෝ . කෝ මට ඔය මූන පෙන්නන්න ... ...............සීරී  ඇයි මේ ..ඇයි ඔයා අඬන්නේ.මොකද උනේ කියන්නකො.අප්පච්චි ආයෙම ගෙදර රණ්ඩු උනාද නැත්නම් ඔයාට හරි අම්මට හරි තැලුවද ? "

"නැහැ "

"එහෙනම්"

"අප්පච්චි හදන්නේ මාව කොළඹ ලොකු වලව්වකට දෙන්න."

"ඒ කිවේ මට තේරුනේ නැහැ"

"අද හසව එනවලු කොළඹින් ලොකු නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි.එයාල ඇවිත් මාව කොළඹ එක්කන් යනවලු ..එහෙ වැඩපල කරන්න .එහෙ ඉන්න ගමන් මාව ඉස්කොලේකටත් දානවලු .අම්ම නම් මනාපයක් නැහැ ඒත් අප්පච්චිට බයේ මොකුත් කියන්නෙත් නැහැ.අම්ම නම් කියනවා ගියොත් මට හොඳ  කෑම බීම  ඇඳුම් ලබෙයිලු.ලොකු ඉස්කෝලෙක ඉගෙන ගන්න ලබෙයිලු.එහෙ ගිහින් ලොකු මහත්තයෙක් වෙලා අම්මල නංගිලා හැමෝම බලාගන්නලු  ...ඒත්  මට අම්මල නංගිලා  මගේ යාළුවො  මේ ගම මේ ඔක්කොම දාල යන්න දුකයි.අනේ ඒ අය එන්නේ නැතිනම් " සිරිමල්  ඇස්වල කඳුළු පිහිදාන ගමන් කිව .

"අනේ  සිරී යන්න එපා  සිරී ගියොත් මට හරි පාලුයි." මලීත් ඇස් වල කඳුළු පුරෝගෙන.පුංචි  කඳුළු බින්දු දෙකක් එකපාරටම ලොකු වෙලා මලීගේ  රෝස පාට කම්මුල් හරහා ගලා යනවා සිරිමල් දැක්ක. 

"සිරී ... එයාල එන්නෙ  අද හවසනම්  සිරී කොහේ හරි හැංගිලා ඉන්න.අර කුඹුක් වැව ගාව තියන ගල්ලෙන හොඳයි.මම සිරීට කන්න ගේන්නම්.එයාල  ගියාම සිරීට ආපහු ගෙදර ගිය හැකි. "මලී  තාමත් කඳුළු පුරෝගෙන සිරී දිහා බලාගෙන . 

"හි හි ..පිස්සු ළමය ... අද නැත්නම් හෙටත් එයාල එයි.අනෙක ඔයා අපේ අප්පච්චිව දන්නවනේ ..මම නැති උනොත් අම්මට තලයි.එක හරියන්නේ නැහැ .
මම  කොහොම හරි නිවාඩුවක් ලැබුනොත් ගෙදර එනවා  අම්මවයි නංගිලා මල්ලලයි  ඔයාලවයි බලල යන්න. මට දුකයි මේ ගම දාල යන්න.මේ දොළ මේ ගොඩපර ගස් හෙවන .. අපි සෙල්ලන් කරපු හැටි .. අම්ම, නංගි  මල්ලි මේ හැමෝම එක්ක හිටිය ඒවා මට ආයේ ආයේ මතක් වෙනවා  එත් දැන් මේ හැම දේම දාල යන්න වෙනවා  .....හා හරි ..කෝ ඔය ඇඬිල්ල නවත්ත ගන්න ..මලී  මට පොරොන්දු වෙනවද  නංගියි මල්ලියි බලාගන්නවා කියල."

"ඔව් .. " මලී  දුකින් කිව 

"හා  දැන් අඬන්න තහනම් ..ෂා  අද රතු ගවුමට  මලී  හරි හැඩයි නේ .."  සිරිමල් කතාව වෙන අතකට  හැරෙව්වේ  මලී  අඬනව බලන් ඉන්න බැරි නිසා.ඒ එක්කම කොහේදෝ ඉඳල හුලන්ගේ  පාවී පාවී ආව ගොඩපර මලක් සිරිමල්ගේ අතට වැටුන. සිරිමල් ඒ මල  හෙමීට අතට අරන් මලීගෙ කනේ ගැහැව්වා.

"ශා  දැන් නම් හරිම හැඩයි මල් කුමාරියක් වගේ .. මල් කුමරියෝ අඬන්නේ නැහැනේ ..." හිතේ ලොකු දුකක් හැංගිලා තිබ්බත් සිරිමල්ට ඕන උනේ එයා ආදරේ කරන හැමෝවම සතුටින් තියන්න.

කඳුළු අතරින් මලී යන්තමට හිනාවෙනකොටම දොළ පාරෙන් පොඩි වතුර අහුරක්  අරන් මලී ගේ මූණ පුර ඉස්ස.හරියට කඳුළු ඔක්කොම සේදිල යන්න වගේ. දෙන්නම හය්යෙන් හිනා උනා ඇඬිල්ල පැත්තක දාල ඇඳුම් පොඩි තෙත් වෙනකන්ම එකිනෙකාට වතුර ඉහ ඉහ හය්යෙන් හිනා උනා.

"හරි  අපි දැන් යමු යාළුවො ඉන්න දිහාට ......දැනටමත් එයාල  ගිහිං  ඇති අබිලින් සීයගේ  වත්තට.අර චුට්ටේ තමා ඔක්කොම අඹගෙඩි බදාගන්නෙ.සිරී හිටියොත් චුට්ටේ බයයි. අනෙක සිරී ආවොත් හැමෝටම සමානව අඹ බෙදල දෙනවනෙ :) 

" හරි  මලී යන්න මම තව චුට්ටකින් එන්නම් "

"හා ..සිරී ඉක්මනට එන්න  මම බලාන ඉන්නවා ..... "

මලී  හිනා පිරුන මූණෙන්  නැගිටලා යන්න  ලෑස්ති උනා. 

මලීගේ කනේ ගහල තිබ්බ ගොඩපර මල මලීටත් නොදනිම බිම වැටෙන කොට සිරිමල් ඒක හෙමින් සීරුවට අරන් සාක්කුවට දාගත්ත.

ඈතින් නොපෙනිල යන මලී දිහා බලාගෙනම ඉඳල ආයෙම නොනැවතී ගලන අකීකරු දොළපාර දිහා සිරිමල් ඇහිපිය නොහෙලා බලා හිටිය.