Tuesday, June 23, 2015

සමනලයට එන්න දෙන්න


 පුංචි  කාලේ ඉස්කෝලෙදි මට මතකයි අපි සමනල්ලු හැදුව.සමනල්ලු කිව්වම ඔයගොල්ලෝ හිතුවේ කඩදාසි වලින් හදන සමනල්ලු කියලද නෑ  නෑ ඇත්තම ඇත්ත සමනල්ලු .කීය වසරේද කියල නම් මතක නෑ  මම හිතන්නේ 5,6 වසර වලදී වෙන්න ඕන.

අර මතකද කතුරුමුරුංග ගස්වල කොළ අස්සේ හැංගිලා ඉන්න කොළ පාට දිග පනුවො ඔලුව ලඟම තියන පුංචි කකුල් අඬු වලිනුයි පස්ස හරියෙ  තියන කකුල් අඬු වලිනුයි අත්ත බදාගෙන අඩකවයක් හදල පස්ස කකුල් අඬු ආයෙත් ඉස්සරහට තියල යන හැටි  හරිම අපූරුයි.හැබැයිඔය පනුවෝ දිහා මම නම්  බලන් ඉන්නේ ඈත ඉඳන් මොකද මේ පත ශරීරෙ අර පුංචි පනු පැටියට හරිම බයයිනෙ.හදිසියේ හරි ඇඟට වැටුනොත් හරි මල් කඩ කඩ ඉන්නකොට අත ළඟ හිටියොත් හරි මලුත් වට්ටලා  හය්යෙන් කෑගහල  ගේ ඇතුලට දුවන් එනවා. දැන් නෙමෙයි ඕන්  ඒ චුට්ටන් කාලේ. දැන්නම් එච්චරම බය නෑ  පාට පාට  සැර පාට පණුවන්ට ඇරෙන්න  ;) 




කෝ කියා කියා හිටියේ සමනල්ලු හදන කතාවනෙ.මට මතකයි සමනල්ලු හැදුව විදිහ.මුලින්ම කලේ පොඩි ජෑම්  බෝතලයක් අරන්  ටිකක් ලොකු පනුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න කතුරුමුරුංග කොළ දෙක තුනක් ජෑම්  බෝතලයට දාපු එක.මේ වැඩේ නම්  මම කලේ නෑ  බය නිසාම අම්මට හරි තාත්තට හරි කියල තමා කලේ.ඊටපස්සේ කලේ අර ජෑම්  බෝතලේ  කඩදාසියකින් වහන එක.වහල හොඳ රබර් පටියකින් ගැටයක් එහෙම දාල උඩින් පොඩි පොඩි සිදුරු ගොඩාක් තියනව.ඇයි පනු පැටවුන්ට හුස්ම ගන්න එපැයි.ඊට පස්සේ බලන් ඉන්නකො අර  දිග පනුවෝ ටික කතුරුමුරුංග කොළ මැෂින් එකක් වගේ කාගෙන කාගෙන යන හැටි. උන් ඉන්නේ ජෑම් බෝතලේ අස්සෙනේ ප්‍රශ්නයක් නෑ මං ලඟට එන්නේ නෑ .මම ඉතින් ජෑම් බෝතලේට තට්ටු දදා අර අර පනුවෝ බය කර කර ඉන්නවා  :D 

අර මැෂින් කටින් කොළ කාගෙන කාගෙන යන පනුවන්ට දවස ගානේ කතුරුමුරුංග කොළ දාන්න වෙනවා.වැඩිය කොළ පුරවන්නත් හොඳ නෑ. කන්න හොඳ හැටි කතුරුමුරුංග කොළ දාල සතියක් දෙකක බලාන ඉන්නකො  අර පනුවෝ  කොහෙවත් යන්නේ නැතිව මුරුංග ඇත්තේ එක තැනක රැඳිලා ටිකෙන් ටික පුංචි පිලා කෝෂයක් හදනවා  දවසින් දවස බලද්දී අර පිල කෝශේ චුට්ට චුට්ට ලොකු වෙනවා  දැන් කොළ පාටේ පිල කොශේ දිහා බලාගෙන ඉවසුමක් නෑ  කවද කහ පාට සමනලයෙක් එලියට එයිද කියල  හිත හිතමයි ඉන්නේ.වෙලාවකට බෝතල එහෙට මෙහෙට හරව හරව පිලා කොශේ දිහා බලන් ඉන්නකොට හිතනවා  ලස්සන සමනලය එකේ ඇතුලේ හිර වෙලා එලියට එන්න බැරිව වත් ඉන්නවද කියල.

 ඔය විදිහට බලාගෙන ඉඳිද්දී පහුවෙනිදා බලද්දි එක පිල කෝෂයක් කඩාගෙන ලස්සන කහපාට සමනලයෙක් ඇවිදින් ඌ බෝතලේ ඇතුල පුරාම රවුම ගගහ ගගහ ඉන්නවා.කවුද මේ මාව හිර කල එකා කියල හොයාගන්න වගේ  වගේ වීදුරු බිත්ති වල රැඳී රැඳී   වටේම කැරකෙනවා.මං  හෙමීට ජෑම්  බෝතලේ ඇරලා යන්න දුන්න අරින පරක්කුව විතරයි  ඉක්මනින් පියඹල ගිහින් වටයක් කැරකිලා එලියට පියඹල ගියා සමනලයෝ ආයෙත් මං  බලන්න එන්නෝ මම කෑගහල කිව්වා. කොහෙද මම දිහා බලන්නේවත් නැතිය ඌ ඈතටම පියඹල ගියා. 

හැබැයි ඉවර නෑ තවත්  එක  කෝෂයක් ඉතිරියි  ඒක දැන් හෙමිට කඩාගෙන සමනලයෙක් එන්න හදනවා.ඇයි මේ සමනලය පරක්කු?  පිලා කොශේ හය්යද දන්නේ නෑ මම පොඩ්ඩක් පිල කොශේ කැඩුවොත් ඌ එයිනේද? නැත්නම් අර හයිය පිල කොශේ කඩාගෙන එද්දී සමනලගේ තටු වලට මොන ව  හරි උනොත් මට එහෙම හිතුන නිසාම මම දුවල අම්මගාව ට ගිහින් මේ විස්තරේ කිව්වා. ගත්ත ගමන් අම්ම කිව්වේ මොකුත්ම කරන්න එපා සමනල ට උගේ පාඩුවේ එන්න දෙන්න කියල.මාත් ඉතින් අකුල ගත්ත මූනෙන් හා කියල ඔන්න ඔහේ හිටිය. 

හවස බලද්දී ඔන්න අර සමනලය  කොශේ කඩාගෙන ඇවිදින්  :) :) කහම කහ පාටයි. හරිම ලස්සනයි. අර කොළ පාට මෙලෝ රහක් නැති පනුවද මේ ලස්සන සමනලයෙක් වෙලා ඉන්නේ කියල හිතුන මම හෙමිට ජෑම්  බෝතලේ මූඩිය  ඇරලා ඌට යන්න දුන්න. ඌ ඈත අහසේ පියන හැටි ආසාවෙන් බලාන හිටිය.

................................................


ඕන දෙයක් කරන්න පුළුවන් ඒත් බත් කන එක තමා කම්මලිම වැඩේ උදේ හදිසියට කොහේ හරි යනකොට අම්ම කැවුවට අනෙක් වෙලාවට කවන්නේ නෑනේ. අද කොහේ වත් යන්නෙත් නෑ. ඒත් කන්නත් වස කම්මැලි. ඒ මදිවට හීන් බඩ ගින්නකුත් එනවා.අම්ම කැවුව නම් බත් ඔක්කොම කනවා :D   මම හෙමිට හෙමිට අම්ම ගාව කැරකුන .

මොකෝ... අම්ම අහනවා. මම පූස් පැටිය වගේ අම්ම ළඟ කැරකෙද්දී අම්මට තේරෙන්නැති.

තාම බත් කාවේ නෑනේද.අර වට්ටිය යට බත් බෙදල ඇති ගිහින් කන්න ...අම්ම කියනවා 

අම්මේ ...ම්ම්ම....ඇයි ..මේ .. අම්මේ  අනේ මට කවන්නකො 

අනේ බෑ පොඩි දූ  මම මේ වැඩක් නේ  

අනේ අම්මේ .. 

ඒ මොකෝ හැමදාම කවන්නේ දැන් පොඩි ළමයෙක්  නෙවෙයි නෙ.යන්න යන්න ගිහින් කන්න 
ඔහොම කම්මැලි වෙන්න හොඳ නෑ ළමයි. යන්න  ගිහින් කන්න 

අනේ අම්මේ අද විතරක් කවන්නකෝ ....

බෑ  ඔහොම බෑ  ඔය අත් හැදෙන්න බත් අනාගෙන තනියම කද්දී.එතකොට තමයි ඔය මාංශ පේශි වැඩ කරන්නේ අම්ම හිනාවෙලා මට කියනවා  

අනේ .....

බෑ බෑ ඔයා කම්මැලි වෙලා පොඩි දූ ,තාත්ත කිව්ව හරි අර සමනලගේ කතාව වගේ ලොකු උනාම ඔයාගේ වැඩ ඔයාට කරගන්න දෙන්න ඕන  නැත්නම් අන්තිමට ළමයි කම්මැලි  වෙනවා මොකුත් කරගන්න බෑ.

සමනලගේ කතාව ඒ මොකක්ද ? මම අහල නෑනේ...මම පුදුමෙන් වගේ අම්ම ළඟ වාඩිවෙලා වෙලා ඇහෙව්වා.

හරි කියන්න සමනලයෙක් කෝශෙන් එලියට එන්න කලින් කවුරු හරි කෝශෙ  කඩල සමනලයව එලියට ගත්තොත් මොකද වෙන්නේ? අම්ම මගෙන් අහනවා 

ෂෝයි නේ සමනලයට කලින් එලියට එන්න පුළුවන් ඌ ට  ඉක්මනට ලෝකේ දකින්න පුළුවන් 

නෑ  ඔයා වැරදියි.

ඒ ඇයි 

සමනලය  එලියට එන්නේ සමනලය හැදිලා එයාට තනියම හැම තැනටම යන්න තරම් තටු ශක්තිමත් උනාම  කලින් කොශේ කඩල සමනලයට එලියට එන්න උදව් කලා කියන්නේ සමනලයට උදව්වක් නෙමේ ඌ එතකොට වැඩිල නෑ තටු හය්යත් නෑ එතකොට එන්නේ මොකුත් කරගන්න බැරි දුර්වල සමනලයෙක්. ඔයාත් එහෙමයි ඔයාගේ වැඩ හැමදේම ඔයා ටික ටික පුරුදුවෙන්න ඕන  පොඩි පොඩි වැඩ ඔක්කොම තනියම කරන්න ඕන. කම්මැලි වෙන්න හොඳ නෑ .හැමදේම අපිකලොත් ඔයත් අර කලින් පිලා කෝශෙන්  එලියට ආපු තටු හයිය නැති දුර්වල සමනලය වගේ වේවි. 

දැන් තේරුණා නේද මගේ චූටි දුවට. හා දැන් හොඳ ළමය වගේ තනියම ගිහින් බත් කන්න.