Wednesday, June 11, 2014

දින පොතක සටහන්................

දිනපොතේ හැමදේම ලියන එක හරි නෑනේ  .. කපල කොටලා අවශ්‍ය ටික විතරක් මෙතන ලිව්වා ... ;) 


2014.05.30 
......................................
අදත් තාත්ත එක්ක බයික් එකේ යද්දි ෆොටෝස් ගත්ත .නිදි කිර කිර බයික්  එකේ ගිහින් එකාපාරටම කොහෙන්දෝ ඇහිච්ච නලා සද්දෙකට ඇහැරෙනකොට වැල්ලවත්ත හරියෙ ...  ටිකක් පොද  ගහන වෙලාවක් ඈත  මුහුද එක්ක තිබිච්ච  අහස එච්චරම ලස්සන නෑ  ෆොටෝ ගත්තට වැඩක් නෑ .එත් මුහුද පැත්තට එහා තිබ්බ මුස්ලිම් පල්ලිය ලස්සනයි එකේ ෆොටෝ  එකක් ගන්න ෆෝන් එක ගනිද්දි  ඒක  පහුකරන් ගොඩක් දුර  ගිහින් අපාරාදේ එවෙලේ තමයි  මට හිතුනේ ඇස්  වලට ෆොටෝ ගන්න තිබ්බ නම් කියල .  බැරිම තැන පාරේ ෆොටෝ  එකක් ගත්ත ඒ තමයි මේ ... මම දැක්ක පල්ලිය වගේම තව  වැල්ලවත්ත කෝවිලත් ඒ  එක්ක පහුවෙද්දී හම්බෙන බුදුපිලිමෙ ත්  හරිම ලස්සනයි ඒ වගේම ගෝල් ෆේස්‌  එක පහුකරද්දිම හම්බෙන චැතම් ස්ට්‍රීට්එකත් නියමයි .... අනේ මට හොඳ  කැමරාවක් තිබ්බනම් .... :( මේ වගේ නෙතගටුන ගොඩක් ගොඩක් දේවල් හිත අස්සේ සිතුවම් මවල  හිත ඇතුළේ ෆොටෝ ගැලරි  එකක්ම තියනවා අනේ ඒවත් සදාකාලිකව ආයේ ආයේ  බලන්න ළඟ තියාගන්න පුලුවන්නම්.... )




2014.06.02

..................................

කොටුව ස්ටේෂන් එක හරියේ ඉඳන් ටෙක්නිකල් හන්දිය වෙනකන් හරිය හරි අමුතු ලෝකයක් ..කොළඹ වෙන කොහෙටවත් වඩා  වැඩියෙන් ඇස ගැටෙන  දර්ශනයක් ඒ හරියෙදි මම දකිනව .එක ළඟ එක ළඟ තියන කඩවල් පේළියම  උදේ පාන්දරින්ම ඇරල  .පාර දිගට  හරිම කලබලයි. මිනිස්සු ගොඩක් එහාටයි මෙහාටයි කලබලෙන් යනව . මේ අස්සෙ   බඩු  කරත්ත  වල බඩු පුරෝගෙන තල්ලු කරන්  යන මිනිස්සු හරි විශේෂයි . සමහර බඩු  කරත්ත වල තැඹිලි වලු  පුරෝගෙන ,සමහර ඒවායේ  ලොකු ගෝනි .සමහර ඒවා ඒ මිනිස්සුන්ට තල්ලු කරන්නත් බෑ එත් කොහොමහරි අමාරුවෙන් තල්ලු  කරන්  යනවා . මේ  මිනිස්සුන් ගේ ජීවිත් හරි දුෂ්කර යි  කියල හිතෙනව මහදවල් ගිනිගහන මද්දහනෙත් සමහර මිනිස්සු කර පිටින් ලොකු ගෝනි මළු උස්සගෙන යනහැටි ... වැස්ස දවස් වලටත් වෙනසක් නෑ  එහෙම්මමයි  වැස්ස දවස් වලට  ඇඟට ඇලිච්ච තෙත්  ඇඳුම් එක්ක බඩුගෝනි  ඇදන් යන ඒ මිනිස්සුන්ගෙ  මූණු වලින්  බේරෙන්නෙ  දාඩියද  වතුර බින්දුද  නැත්නම් කඳුළුද .........
2014.06.05
................................

අද විශේෂ දවසක්   අද අවිස්සාවේල්ලේ  ආයෝජන කලාපෙකට යන්න  වාසනාවක් හම්බුනා  ටිකක් දුර ගමනක්.  බස් එකේ යද්දි එක අංකල්  කෙනෙක්  කරපුදේට මට තාමත් තරහයි .එයා  ගාව තිබ්බ ප්ලාස්ටික්  බෝතලය එක පාරටම පාරට විසිකල හැටි .මතක් වෙද්දි ත්  මට තරහයි .....ගොඩක් රටේ මිනිස්සුන්ට පාර කියන්නේ කුණු බක්කියක්නේ  දාන දාන හැමදේම ආශ්චර්යක් වෙලා දිරල යනවා කියල හිතනවා ඇති . තමන්ගේ ගෙදර ගේට්ටුව ගාවට කවුරුහරි කුණු ගෙනල දාලනම් ඒ අයගේ මුළු පරම්පරාවටම බනී .ඒත් මේ වගේ ඒවා ඒ අයට හරිද දන්නැ ..අනේ  මේ මිනිස්සුන්ට අං ඇවිල්ලද ...........


2014.06.06
..............................
ගෙවල් වලට යන පාරේ තියන පන්සලක  ලොකු තොරණක් ගහනවා .පෙනෙන හැටියට ලොකු වියදමක් යයි .මේක දකිද්දී මට දවසක් අය්ය  කියපු දෙයක් මතක් උනා .එක පන්සලක් වටේටම ලොකු තාප්පයක් ගහල තිබ්බ එක දැක්ක අය්ය මගෙන් ඇහුව "පන්සලක් නම් ඇයි තාප්ප ගහන්නෙ " කියල ඒ වචන ටික ඇතුලේ ලොකුදෙයක් තිබ්බ ම්ම්ම් ...මම මගෙන්ම ඇහුව ඇයි  ඇත්තටම පන්සල් වලට තාප්ප ගහන්නෙ .පන්සල කියන්නෙ ඕනෑම කෙනෙක්ට යන්න පුළුවන් නිදහස් තැනක් ඇයි එතන තාප්ප ගහල හැමෝගෙන්ම ඈත් කරන්න වගේ වටකරලා තියෙන්නේ ...අනේ මන්ද ... පන්සල්වල ලොකු තෝරන් ඉදිකරනව ඒ හැමදෙයක්ම එන්නේ ආමිස පූජාවටද ?..ඒ සිමෙන්තිවලට යන වියදම දුප්පත් ළමයෙකුට හරි දුප්පත් පන්සලකට හරි දීල බුදුන් සිහිකරලා වැන්දොත් මොන පූජාවද ඉහල ..මේ මට හිතුන දෙයක් ... මම වැරදි ඇති

2014.06.08

.................................
කලාව සහ ජීවිතය ... මේ දවස් වල මගෙයි මගේ යාලුවන්ගෙයි ෆොටෝගන්න පිස්සුවක් ඇවිත් කැම්පස් එක වටේම ගස් ගෙම්බෝයි  ගොලුබෙල්ලොයි කටුස්සොයි  ගලයි මලයි හැමදෙයක්ම ගන්නව . ආසාව කොහොමද කිව්වොත් අන්තිමට photography course  එකකටත් බැඳුන  :D ෆොටෝ ගන්න එකයි චිත්‍ර අඳින එකයි දෙකම එකම කලාවක් වගේ  හොඳ ඇහැක් මනසක් තියනවනම් අන්තිම නිර්මාණය ඇති විශිෂ්ටයි ,ඉස්සර තිබ්බ චිත්‍ර අඳින ආසාවත් දැන් නැතිවෙලා දැන් ඉතින් කොහෙද ඒවටවත් වෙලාවක් ..ලෙක්චර් එකේදී නින්ද යනකොට  අමාරුවෙන් නින්ද යවාගන්න එක එක කුරුටුබලි ඇන්දට වෙනද වගේ වෙලාවක් අරන් හොඳ නිර්මාණයක් අඳින්න නිදහසක් නෑ . ..මං  ආසම conceptual art  වලට ..එකම පින්තූරයක් ඒත් මිනිස්සු දකින විදිහ අනුව එකම පින්තුරේට විවිධ  අර්ථකතන .. කෙලින්ම කියන දේට වඩා සැඟවුණු අර්ථයක් දෙන චිත්‍ර වලට මං  ආසයි .......

2014.06.09

.........................
පොඩි කාලේ පහේ ශිෂ්‍යත්වෙට  මැරීගෙන පාඩම් කළා ඊට පස්සේ සාමාන්‍ය පෙළ එකටත් කොහොම හරි A අකුරු අරන්   අයෙමත් z අකුරක්  පස්සේ පන්නන්න  ගත්ත ..ඉවරද ..මොන ඉවරයක්ද දැන් GPA එකක් පස්සෙ දුවන්න වෙලා ..විභාග විභාග ...අය්යෝ තව විභාග ගොඩාරියක් අත ළඟ  :( 
කවද මේවා ඉවර වෙයිද ..දෙය්යෝ ත් නොදනියි ..මමත් නොදනියි .......

2014.06.11

..............................
අද කොටුව ස්ටේෂන් එක ඉස්සරහ ලොකු හඬක් ..අයිතී න් ලබාගැනීමේ හඬක්  හැමදාම මං කැම්පස් ඇරලා එද්දී ස්ටේෂන් එක ඉස්සරහ අය්යල අක්කල  එයාලගේ උපාධිය වෙනුවෙන්   සත්‍යග්‍රහයක්  රටේ අනාගතය බාරගන්න ඉන්න මිනිස්සු සතිගානක් පාරට වැටිලා ..අන්තිමට අද එයාලට විසඳුමක් ලැබිල .. ජයග්‍රාහි හඬ හැමතැනම . මේවගේ උද්ඝෝෂණ වල අන්තිමට දකින්න හම්බෙන ප්‍රසිද්ධ මූණකුත් අද රටටම ඇහෙන්න එතන කතාකරා  හැබැයි ඔහුව මම දැක්කේ අද විතරයි ඔහු  එක දවසක් හරි මේ විරෝධතාව වෙනුවෙන් ඇවිල්ල හිටියද නැතිනම් අන්තිම මොහෙතේ විතරක් ඇවිල්ල කෑගහල ගියාද  කියන එක මට තවම ගැටළුවක් ..මම අරගල කරන අයට කැමතියි ..මිනිස්සු අයිතී න් වෙනුවෙන් සටන් කරන්න ඕන අරගල කරන්න ඕන හැබැයි අරගල කරන මිනිස්සු තම අයිතිවාසිකම් වලට සටන් කරනවා වගේම පෙරලා තමන්ගේ යුතුකම් ගැනත් සිතිය යුතුයි ..මේක හැමෝටම අදාළ දෙයක් .............


2014.06.12
...........................
වෙලාව 12.07  අද දවස තවම ඇරඹුනා පමණයි අද විශේෂදවසක් ..අද අලුත් දවසක් ..අලුත් අදහස් වලින් දවස අරඹන්න වෙලාව ඇවිදින් .........