Thursday, March 17, 2016

මගේ ගිරවී කොහෙද කියන්

වෙනදට වඩා කලියෙන් ගොම්මන ඇවිත් අහස ආක්‍රමණය කරනවිට  කළුවරට අතරමං වුන විහඟුන් එකා දෙන්න කෑ ගසමින් මුළු පරිසරයම කළඹමින් ගම් මැද්දේ සිට වනය දෙසට පියඹන්නට විය. සුළං කපා ඇසිල්ලකින් කැලඹ වූ පරිසරය සංසුන් වීමටත් මත්තෙන් වෙනදා මෙන්ම  ඉංගිරීසි ඉසෙඩ් අකුර මෙන් පාර පුරා එහෙට මෙහෙට වැනි වැනි පැද්දි පැද්දි එන අරනේලිස්ගෙ තාල නැති ජෝතිපාලගෙ සිංදුවක් පරිසරයට මුසුවිය. තාලයක් නැති ගොරෝසු හඬ වඩ වඩාත් ත්‍රීව වෙමින් අඩුවෙමින් ක්‍රමයෙන් ඈතට විහිදී ගුරුපාර කෙලවරදී අඳුර විසින් ගිලගත්තේය. පරිසරය යලිත් සන්සුන්විය. එතනින් එහාට කලාතුරකින් හෝ ශබ්දයක් ඇසුනේ විටෙන් විට සරස් සරස් ගා වැලිපොලව තෙරපන සෙරෙප්පු සද්දයක් පමණි. නමුත් අද පරිසරය නොසන්සුන්. කඩමණ්ඩියට ගිය සොපිනා පය ඉක්මන් කරමින් ගුරුපාර දිගේ ගිය  ගමන ගෝනිගොඩ වලව්ව ගාවින් මදක් පසුබසින්නේ නොනවත්වාම ඇහෙන කිරිකැටියෙක්ගේ ශබ්දයකින්. ඈ වලව්වෙ ගේට්ටුවට බරදී ඇඟිලි තුඩු වලින් ඉස්සි ඉස්සී ඒ ආගන්තුක ශබ්දයට මොහොතක් ඇහුම්කන් දුන්නාය. යලිත් ගැස්සී යන්නට සැරසුනේ වලව්වේ දොරකඩ බේබි මහත්තයාගේ ඇස ගැටුන විටයි. ඇය යලිත් පසුපස හැරී වලව්ව දෙස බලමින් පය ඉක්මන් කාලය. 

බේබි මහත්තය දවල්ට කාලත් නැහැ දැන් බත් එකත් සීතල වෙලා. මම අහක් කළා. උදේ ඉඳන් කෑවෙ නැහැනෙ ඉදින් මේ කහට එක වත් බිවනම්.

එපා  මට මොකුත් එපා සිරියාවතී ඕක ගෙනියන්න.

 මම සුප් ඩින්ගිත්තක් වත් හදන් ...

මම දැන් සැරයක් කීවනෙ මට මොකුත් එපා උඹල ඔය තියන දෙයක් කාල නිදාගනින්.

සේනක බොහොවෙලාවක සිට තවමත් ඇඳි පුටුවේ දිගාවී හිස් බැල්මෙන් පාර දිහා බලාගෙන සිටී. කන්කරච්චලයක් මෙන් නොනවත්වාම ඇසෙන කිරිකැටියාගේ ශබ්දය කෙමෙන් වියැකී යයි.තාලෙට හෙමින් නැළවිලි ගීයක් මුමුණන සිරියාවතී ගේ කටහඬ වලව්වෙ ඇතුලින් ලාවට ඇසේ.

නුඹේ අම්මා කිරට ගියා 
කිරි එරවා එන්ට ගියා 
කිරි මුට්ටිය ගඟේ ගියා 
ගඟට උඩින් කොක්කු ගියා 

නැලවිලි ගීයත් එක්කම පපුව ඇවිලී ගෙන යන හිතේ දුක දරාගන්න නොහැකිව සේනක පුටුවෙන් නැගිට්ටේය. වත්ත මැද  තියන විසල් අඹ ගහේ අතු හුළඟත් එක්ක හෙමිහිට සෙලෙවෙන්න පටන් ගත්තේ සේනකට අතවනන්න මෙනි. සේනක ඉබේටම වගේ අඹ ගහ යට බංකුව වෙත ඇදුනේය. එය  දෙදෙනෙකුට රිසිසේ වාඩිවිය හැකි බංකුවකි. සැබවින්ම  සෑම දිනම බංකුවේ වම්පස සිටියේ එකම එක පුද්ගලයෙකි. සිනහවෙන් කෙළිකවට කමින් උතුරායන ආදරයකින් සෑම දිනම ඒ පරිසරය ආලෝකමත් වූයේ ඇය නිසයි. එහෙත් අද ඔහු පමණි.

ඇඹුල්අඹ ගෙඩියක් හපමින්  මූණ ඇඹුල් කරන නාලිකා ගේ මූණ සේනකට යලිත් මැවී පෙනුනි.

මේවා කන්න බැහැ හරි ඇඹුල්. මේවා නෙමේ සේනෙ ඔයා කෑවෙ නැද්ද  අර  ධර්මෙ ගෙනාපු කර්තකොලොම්බන් අන්න ඒව  නම් හරි රහයි. මට කිව මං වෙනුවෙන්ම  මල්ලක්ම කඩන්  ආව කියල.

ඔයාගේ අනෙක් යාළුවො වගේ නෙවෙයි නේද  එයා හරි හොඳයි නේ.

ගහෙන් කඩා දුන් අඹ ගෙඩිය බාගෙට කා පැත්තකට විසිකර සේනකගේ අතේ එල්ලුන නාලිකා දිහා සේන කෙලින් බැලුවේය.

හ්ම්ම් එත් ඌ ලඟදි අපේ ඔෆිස් එකට ආවෙ ඔය පොඩි හිතවත් කමට ගෙන්නුවට මම ඌ ගැන වැඩිය දන්නේ නැහැ.

නෑ හරි හොඳ මනුස්සක් වගේ. මම කර්තකොලොම්බන් වලට ආසයි කිවම ආයෙත් මල්ලක් කඩන් එවන්නම් කිව.

හ්ම්ම් ...

විවාහ මංගලෝත්සවය වෙනුවෙන් මිතුරන් වෙනුවෙන් පැවතිච්ච සාදයට ධර්මරත්න ඇතුළු සමීපතම මිතුරන්  පිරිසකට ආරාධනා කල දිනය සේනකට යලිත් මැවී පෙනුනි ."ලස්සන නෝනාමහත්තෙක්නෙ සේනෙ ට ලැබිල තියෙන්නේ" යැයි නාලිකා දිහා බලාගෙන ඉඟිමැරුව සැටිත්  නාලිකාත් ලැජ්ජාවෙන් මූණ රතුකරගත් හැටිත් සේනකට යලි යලිත් සිහිපත්විය. එතැන් පටන් ටිකෙන් ටික ධර්මරත්න තමාට මෙතරම් සමීප වුයේ කෙසේදැයි ඔහුට ද සිතාගත නොහැක. නිවාඩු ලැබෙන බොහෝ දිනවල ධර්මරත්න තමාගේ නිවසට පැමිණ දින දෙක තුන ගත කලේ  පවුලේම ඥාතියෙකු සේය. ඇතැම් දිනවල කුමක් හෝ මාතෘකාවක් පටන් ගනිමින් ධර්මරත්න සේනක හා පැය  ගණන් කතාවට හවුල් විය. එයට නාලිකාද සහභාගි වූ විට සිනහවෙන් පිරි රස සාගරයක්  විය. එහෙත් මැදියම වෙත්ම විඩාවත් එක්ක තමා නිදාගන්න හැදුවත් නාලිකා තවදුරටත් ධර්මරත්න හා කතාව දුරට ගෙනයාමට ප්‍රිය කලාය. එවන් වූ එක් දිනයක පසුදා පාන්දරම නාලිකා කිරි කෝප්පයක් අතැතිව තමා ඇහැරවන්නේ,

 සේන ඊයේ නිදිනෙ මම පිඟන් හෝදලා ගේ අස්කරනකන්ම ධර්මෙ මා එක්ක කයිය ගැහුව. ධර්මෙ නම් කතා කියන්න රුසිය. ගමේ සිද්ධි ඉස්සර වෙච්ච සිද්ධි ඔක්කොම කිය කිය පැය ගානක්ම මාව කතාවට අල්ලගත්තනේ.

නාලිකා හැමවෙලේම කියන්නේ ධර්මෙ ගැනමයි. ඔය විදිහට ගියොත් මාවත් අමතක වෙයි.

අනේ අනේ මහත්තෙක් කියන කතා. මම මේ මහත්තයව දාල යනවැයි.

ඒක නෙවෙයි නාලිකා ධර්මේ ඔහොම හැමදාමත් තනිකඩව ඉන්නද  අපි හොඳ ගෑනු ළමයෙක් හොයල දෙමුද මේ ගමෙන්ම. මිනිහ හැමවෙලේම කියන්නේ මේ ගමට ආසයි කියලනේ ඒ නිසා මෙහෙන්ම හොඳ ගෑනු ළමයෙක් හොයමු.

හා හා ඔයාම අහන්නකො මම නම් කීප විටක්ම ඔය ගැන ඇහුව. 

අහ්හ් ඉතින් මොකෝ මිනිහ කීවෙ.

හිත ගිය කෙනෙක් ඉන්නවලු කියාගන්න බැරිවලු ඉන්නෙ. කොච්චර ඇහුවත් වැඩි විස්තරයක් කියන්නේ නෑනෙ මූණ  දිහා බලන් ඉන්නව මිසක්.

එතනින් පසු කිහිප අවස්ථාවකදීම ධර්මරත්නගෙන් විවාහය ගැන  ඇසුවද ඔහු පිළිතුරක් නොදී මග ඇරිය අතර විටෙක ඔහු කිවේ ඇය අන්සතුවී ඇති බවයි. එතනින් පසු සේනක යලිත් ඒ පිළිබඳව විමසුවේ නැත. නාලිකා ගැනවත් ධර්මරත්න ගැනවත් සේනකට කිසිදු සැකයක් ඇති නොවුනේ බිඳකුදු අඩුනොවූ නාලිකාගේ ආදරය නිසාය. තවද පවුලෙම කෙනෙකු සේ පාඩුවෙ ගෙවූ ධර්මරත්නගේ නිදහස් ජීවිතය ඔවුන්ට බාධාවක් නොවිය. නිවසට පැමිණෙන විටෙක නොවරදවාම එළවලු මල්ලක් ගෙන ඒම , ඉඩක් ඇති විටෙක වත්ත සුද්ද කිරීම, නිවසට අවශ්‍ය කිසිවක් ගෙන ඒම , මේ සියල්ල ඔහු නොපැකිලව කලේ කිසිත් නොඉල්ලාමය. නිවාඩුවට ගෙදරයාමත් ඔහු කලේ ඉඳහිටය. දැන් මෙහෙ මගේ ගේ වගේ තමයි. නාලිකා උයන්නෙත් අපේ අම්ම උයන රහටමනෙ. ඔහු සැමවිටම කිවේය. සැබවින්ම ඔහු කාගේ කවුරුන්දැයි සේනක නොදත්තේය. එවැන්නක් ඇසුවත් ධර්මරත්න හරිහැටි පිළිතුරක් නොදෙන බව සේනක දැනන්  සිටියේය.

 සියල්ල සැනෙකින් කණපිට හැරවුනේ නාලිකා හා ඔහුගේ පලවෙනි විවාහ සංවත්සරය සමරන දිනයෙහිය. ඒ වන විට නාලිකා තෙමසක ගැබිනියක්ව සිටියාය ගියවර මෙන්ම මෙවරද කාර්යාලයේ යහළුවන් හා රාත්‍රී බෝජන සංග්‍රහයක් තිබුනද යහළුවන් ගිය පසුද තවදුරටත් මදුවිතෙන් සප්පායම් වීමට ධර්මරත්නට ඕනෑ කර තිබුණි. එදින පමණටත් වඩා ධර්මරත්න වෙරි වී සිටියේය.

මචං සේනක උඹ හරි වාසනාවන්තයි. නාලිකා ...හොඳ එකී. ඒකිව බලාගනින් හොඳට....... හරිද. උඹට මේවා කියලත් බෑ නොකියත් බෑ. නාලිකා දැක්කම ආදරේ හිතෙනවා. මට ඉරිසියයි බං උඹ ගැන. ඒත් දාල යන්න හිතෙන්නෙම නෑ. මම කැමතියි ඒකිට ඒකි කැමති උඹට ...මක්ක කොරන්නද .. ඒත් ඔන්න උඹ නාලිකාව අතැරියොත් මම තමයි ඒකිව බඳින්නේ  හරිද .. මම .. මේ මම... තම පපුවට තට්ටු කරමින් ධර්මරත්න  වෙරිමතින් කල මේ  ප්‍රකාශයෙන් සේනක සැනෙකින් වියරු වැටුනේය.

තෝ පාහර ....   සේනක සැනෙකින් ඔහුගේ කමිසයෙන් අල්ලා ඉස්සුවේය.ඔහු වෙරිමතින් දෙඅත් එක්කර වඳිමින් දෙපසට වැනි වැනි සිටියේය. ධර්මරත්නගේ ගෙල සිරකරන්න තරම්  ආවේගයක් හිතට ආවත් වෙරිමතින් සිටි ඔහුට කිසිවත් කර පලක් නැති හෙයින් ඔහුව පසෙකට තල්ලුකර දමා නිවසට ගොස් වියරුවෙන් මෙන් දොරවසා දැම්මේය.ඒ වන විටත් නාලිකා නින්දට ගොස් සිටියාය. එදින රෑ දෙගොඩ යාමේ ධර්මරත්න වෙරිමතින්  දොරට තට්ටු කලත් සේනක දොර ඇරියේ නැත.

පසුදින  උදයේම ධර්මරත්නගේ දොර ළඟ වැටි නිදා සිටියදීම ඇඳුම් සියල්ලම එලියට විසිකරේ හිතේ තිබු ආවේගය තවදුරටත් රඳවා නොහැකි තරමට ඉලිප්පී පුපුරා ගිය හෙයිනි. සේනක තියුණු වචන වලින් බැන වැදුනද ධර්මරත්න කිසිත් නොකිය විරිසි තිබු ඇඳුම් එකතු කර ඇඳුම් බෑගයට දමා නාලිකා දෙස මොහොතක් බලා යන්නට ගියේය. හදිසියේ  සිදුවූ මෙම  සිදුවීමෙන්  කිසිත් සිතාගත නොහැකිව නාලිකා බියෙන් තැතිගෙන සිටියාය. ධර්මරත්න තමාට ඇලුම් කරන බව ඈ දැන  සිටියත් එය ආදරයක් තරම් දුරදිග ගිය එකක්යැයි ඇය කිසිත් සැක නොකලාය.

සතියක් ඇතුලත ධර්මරත්න කාර්යාලයෙන් අස්වී ගියේය. එහෙත් සේනකගේ චර්යාව ටිකෙන් ටික වෙනස් වන්නට විය. ඔහු විටෙන් විට නාලිකාවද සැක කරන්නට විය. ඔහු තුල තිබූ අනිසි සැකය එන්න එන්නම වැඩිවන්නට විය. කාර්යාලයේ ඇතැම් දිනවල කෙටි නිවාඩු දමා නිවසට පැමිණියේ ඔහු නැතිවිට ධර්මරත්න නිවසට පැමිණෙන්නේ යයි තිබු අනිසි සැකය නිසාය. ඔහු නාලිකා සමගද හේතුවක් නොමැතිව අඩ දබර කරන්නට විය. කාර්යාලයෙන් වැටෙන දුර ගමන් වලට ඇයට නොකියාම ගොස් දවස් ගණන් ගතකලේ ගැබිනියක්ව සිටින ඇය ගැන කිසිත් නොතකාමය. විටෙක තමා ගැනම  කලකිරීමක් ඇතිවි ඇය සමඟ  හොඳින් සිටීමට තැත් කලත් ජලය තුලින් යලි යලිත් ඉහලට ඉලිප්පෙන පන්දුවක් මෙන් සැකය නැමැති පන්දුව සිත තුලින් යලි යලිත් ඉහලට පැන දෝලනය වූ විට සියල්ල යලි පෙර පරිදිම නොසන්සුන් විය.

ඒ  මාර්තු  මාසයේ  අවසන් දින කිහිපයයි. නාලිකා දරුවා ප්‍රසුත කිරීමට තිබුනේ දින කිහිපයක් පමණි. ඒ සතියෙම හදිසියේ වැටුණු රාජකාරියක් හේතුවෙන් සේනකට ත්‍රිකුණාමලයට යන්නට සිදුවිය. ජංගම දුරකතනයක් වත් නොවූ සේනක  නවතින තැන දුරකතනය හෝ ඇයට දී නොතිබිණ. ඔහු පවසා සිටියේ ඔහු ඉක්මනින් පැමිණෙන බවක් පමණි. එහෙත් ඇයට හදිසියේ අසාධ්‍ය විය. සේනක පැමිණෙන විටත් සියල්ල සිදුවී හමාරය. ඇය රෝහලට ඇතුලත් වී තිබෙන විටත් පමාවී තිබුනේය. ඔහු එන විටත් දරුවා මෙලොව තනිකර නාලිකා අවසන් ගමන් ගොස් සිටියාය. 

අවසන් මොහොතේ අවසිහියෙන් මෙන් නාලිකාව බැලීමට ඉස්පිරිතාලයට යන සේනකට ධර්මරත්නව ඇස ගැටුණි. අරූ මොකද මෙහෙ කරන්නේ දුකත්  පරයා  හදිසියේ හටගත් කෝපයෙන් ඔහු සිරියාවතීගෙන් ඇසුවේය.

අනේ රත්තරං  මහත්තයෝ දැන්වත් ඔය සැක කිරිල්ල නවත්තන්න. මගෙ මේ ඇස්  දෙක කන් දෙක පල්ල නාලිකා නෝනා වචනයකින් වත් වැරද්දක් කරපු කෙනෙක් නෙවේ. නොනැමහත්තයට අමාරු උන වෙලාවෙ මහත්තයට පණිවිඩයක් දිගන්න බැරිව මම කොච්චර අසරණ උනාද  අන්තිමට ධර්මරත්න මහත්තයාගේ නොම්මරේ තිබිල මමයි කෝල් කලේ. ධර්මරත්න  මහත්තය ඔය මහත්තය ඉන්න තැන  විස්තර බලල මහත්තයට පණිවිඩයක් දෙන්න සැලස්සුවේ නැතිනම් අදටත් මහත්තය දන්නේ නැහැ. නෝනා මහත්තය ගෙනියන්න ඉක්මනින් වාහනයක් හොයල ගෙනාවෙත් ධර්මරත්න මහත්තයා. ඒ  දේවල් කලේ නැත්නම් අද මේ කිරිසප්පයවත් මේ ලෝකේ නැහැ.

සිරියවතිගේ වචන සේනකගේ හිතට කිනිස්සෙන් ඇනු  තියුණු  පහරක් මෙන් කාවැදුනි.

හදිසියේ අඹ ගසට වැසූ මා වවුලකුගේ ශබ්දයෙන් සේනක යලිත් ගැස්සී ගියේය. සියල්ල සිදුවී හමාරය. තමාට අපමණ ආදරය කල ජිවිතයක් අද අහිමි වී ඇත.ඉතිරිකර ගිය මතකයන් දෝතට දරාගැනීමට තමාට ශක්තියක් නැත.අපමණ දුකක්  විඳ දරා ගනිමින් රැකගත්  දරුවා තමාගේ දෝතින් ඔසවා ගැනීමට වත් මේ සිත , මේ ගත සුදුසු නැති බව සේනකට දැනේ. සියල්ල අවසානයේ දරාගත නොහී හිස්බවක් මුසුවූ වරද කාරී හැඟීමකින්  තමාගේ ගෙල සිරකරන්නක් වැනිවිය. හඬා පලක්ද නැත ඈ කොහේ හිටියත් තමාට සමාව දෙනු බව දනී එහෙත් තවදුරටත් මෙහි සිටිය නොහැක ඈ සොයා යා යුතුය. සිදුවූ වැරැද්දට දහස් වාරයක් සමාව ගත යුතුය. එහෙත් ඈ කොහි ඇත්ද ?

සේනක බංකුවෙන් නැගිට්ටේය.වලව්වේ ගේට්ටුව ඇර ගුරුපාර දිගේ ඈතටම ගොස් නොපෙනී ගියේය 





ප.ලි. කතාව ලියන්න හිතුනෙ මේ සිංදුව ඇහුවම . ඒත් ලියන්න හිතුවේ එක දෙයක් ලියවුනේ තව දෙයක්.මේ කම්මැලි හංසය ලියන්නැති උනාම  සමහර අය්යල ඉන්න දෙන්නෑනේ ඉතිං  අමාරුවෙන්  ලිහ ලිහ අන්තිමට ගෙතුව අනේමන්ද ලියද්දි  ගත්ත වෙලාව ගොඩක් වැඩී.කතාව අවුල්ම නම් අඩුපාඩුම කියල යනවනම් යහපති  අමනාපයන් නැහැ නොවැ  මොනවා කීවත්  :)

සිංදුව :ඉර වට යන ගිරවියනේ -නදීක ගුරුගේ 

සිංදුව ට යන පාර