Friday, May 13, 2016

දම් පාට ටියුලිප්


ඒක ටිකක් අමාරු කාලයක්. වීදි පුරා ඇවිදල ඇවිදල  හෙම්බත්වෙලා මං ගොඩ උනේ ලඟම තියන තැබෑරුමට.ඒකත් මිනිස්සු වැඩිය ගැවසෙන්නේ නැති අඳුරු තැබෑරුමක්. හිසට උඩින් මාත් එක්ක දවස පුරා ඇවිද්ද ඉර නිසා දැන් තෙහෙට්ටුයි.උගුර කට වේලිල දිව ගිලෙන්න වගේ. ඔක්කොටමත් වඩා දනිස් පොල්කටු කෑගගහ තැනක් හොයන්නෙ කකුල් දෙකට නිදහසක් ඉල්ල ගන්න.සාක්කු හිස්වෙලා සිදුරු මතුවෙලා තියෙද්දිත් අමාරුවෙන් අහුල ගත්තු කාසි කීපයකින් මම වයින් වීදුරුවක් උගුරට හලාගත්ත.දැන් දවස් තුනක් තිස්සෙම මම රස්සාවක් හොයනව. ඒත් තාමත් හිතට හරියන රස්සාවක් නැහැ.මම වටපිට බැලුව.මිනිසුන් එකිනෙකා අකමැත්තෙන් මෙන් තැබෑරුමෙන් පිටව යනව.යාන්තම් අඳුර කපන  දුම් ගැහුණු විදුලි බුබුළු  එළියෙන් මට පෙනුනෙ වයස්ගත තැබෑරුම් හිමි කාන්තාව. ඇය කඩිමුඩියේ වැඩ කරන ගමන්  විටින් විට මා දිහා බලනවා.මම මහන්සියටම මේසෙ උඩ ඔලුව ගහගත්තා. 

කොලුවො නැගිටපන්.... මං උඹට කීවනෙ මේක කලින් වහනවා කියල.....නැගිටපන්.....

හ්ම්ම් ...

එකෙක් නෑ තැබෑරුමේ  උඹ විතරයි මෙතන වද දෙන්න ඉන්නෙ.හා .. දැන් පලයන් ...

සමාවෙන්න .. මම යන්නම්.  මම අමාරුවෙන් මේසෙට බර දීල නැගිට්ට 

මට කියන්න පුලුවනිද මේ හරියෙ රස්සාවක් හොයාගන්න පුළුවන් තැනක්. මේ  බාර් එකේ උනත් කමක් නැහැ. මම හොඳට වැඩ කරන්න පුළුවනි.

මා ළඟ උඹට දෙන්න රස්සා නැහැ ඉක්මන් කරපන් මට වැඩ තියනවා..ඇය නුරුස්සනා බැල්මක් හෙලමින් මා හට කීව. 

අනේ එහෙම කියන්නෙපා ... මම දවස් තුනක ඉඳන් මේ රස්සා හොයන්නෙ  මේ දවස් තුනේම හරියට කන්න වත් නැහැ. මෙහෙම ගියොත් මම හාමතේ මැරෙයි. මම ඕනෑම දෙයක් කරන්නම්.ඕනෑම රස්සාවක් ...

ඇය මදක් නිහඬ වුනා. ඒ තියුණු දෑස් නැඹුරු කරලා මා දිහා බැලුවෙ හරියට ගිල ගන්න වගේ.

උඹට පුලුවනිද ගෙවතු බලාගන්න.

හ්ම්ම් ... කලින් නම් කරලා නැහැ ඒත් පුළුවන් ...

එහෙනම් මේ වීදිය කෙලවරේම තියන ටියුලිප් ගෙදරට පලයන්. ඒකෙ  වැඩට උයන්පල්ලෙක්  හොයනවා කියල දවස් කීපයකට කලින් ආරංචි උනා. උඹට තියෙන්නේ අවුරුද්ද පුරාම ටියුලිප් මල් එක්ක ජිවත් වෙන්න.හැබැයි දෙය්යම්පා මම සහතික වෙනවා ඒ ගෙදර ගෑනිටනම්  පිස්සු.මොන විකාරයක්ද ගෙදරින් එලියට වත් බහින්නේ නැතිව වත්ත වටේ  ටියුලිප් මල් වවන් ගේ අස්සටම වෙලා ඉන්න ජීවිතය.ඒ ගෙදර වැඩට ඉන්න ගෑනි වයින් අරන් යන්න මෙහෙට එන්නේ නැත්නම් අපිත් දන්නේ නැහැ ඔය ගෙදර මිනිස්සු මැරිලා කුණුවෙලා ගියත්.උඹට ඕනනම් පලයන්.හැබැයි මම දන්න විදිහට වැඩට හිටිය උයන්පල්ලො  ගොඩ දෙනෙක්ම අස් කරලා තිබ්බ.හා හා දැන් ඇති තවත් ප්‍රශ්න අහන්න උත්තර දෙන්න මට වෙලාවක් නැහැ  දැන් පලයන් ...........

ටියුලිප්  ගෙදර ? ඒ මොන විකාර නමක්ද ... ඒ මදිවට එහෙ ඉන්නේ පිස්සු ගෑනියෙක්ලු  හ්ම්ම් ... යනවද නැත්නම් අදත් බඩගින්නේ කොහේ හරි මුල්ලකට වෙලා රෑ ගෙවනවද? අනේමන්ද .... තවදුරටත් හිතන එක පස්සට දාල මම ඇයටත් ස්තූතියි  කරලම තැබෑරුමෙන් එලියට පැන්න.ලන්ඩන් නගරෙ හැමෝටම පෙනෙන අහස මටත් ඒ විදිහටම අඳුරු වීගෙන තිබුන. කොල පිරිච්ච පාලු පාර දිගේ මම ටියුලිප් ගෙදරක් හොයාගෙන ගියා. හිතේ ඇතිවෙච්ච දහසක් ම්ශ්‍ර හැඟීම් පය පස්සට ගන්න වෙර දැරුවත් කුසගින්න ඇවිලිලා ඇවිත් හදවත දවද්දි  ගරාවැටුණු තාප්පයක්  ළඟ මම නැවතුනා. මලකඩ කාපු ගේට්ටුවට බර දීල මම ගේ දිහා බැලුව.

දෙවියනේ .... මේක සැබෑවක්ද ??  වත්ත පුරාම එක එක පාටින් ටියුලිප් මල්. ඇරත් මේ ටියුලිප් මල් පිපෙන කාලයක් නෙවේ  ....මොහොතකට මට ඇස්  අදහාගත නොහැකිවුනා.පාලුවට ගිය බංගලාවක් වටේට මේ තරම් සාරෙට වැඩිච්ච පාට පාට ටියුලිප්  මල් මාව වසඟයට ගත්ත කිව්වොත් හරි. මොහතකට කලින් තිබ්බ විකාර රූපී සිතිවිලි සියල්ල යටපත් උනා වගේ. මම වටේම තිබ්බ  මල් දිහා බලමින් බංගලාවට වැටිච්ච පටු පාර දිගේ ගමන් කළා. ඒක මහ මූසල ගුප්ත බංගලාවක්. මට මුලින්ම හිතුනේ එහෙම. ගේ ඇතුලට එන තැනම තිබ්බ ලී මේසයක් උඩ  වීදුරු මල් පෝච්චියක් තිබුන. ඒකෙ තිබ්බේ එකම එක සුදුපාට ටියුලිප් මලක්. ගෙදර බිත්ති කතා කලේ අවුරුදු ගානකින් තමන් අලුත් සළු නොඇන්ද ගානට. මම සීනුව නාද කරන්නත් කලින්ම විදුරු ජනේලෙට එබිලා ඇතුල බැලුව. සාලේ මැද තියන ගිනි උදුනක් ගාව පැද්දෙන පුටුවක කාන්තාවක්. ඇය හිටියෙ පොතක් බලමින්. ගේ ඇතුලෙ පෙනෙන්න තිබ්බෙ හරිම නිස්කලංක බවක්. රතුපාටින් පොලව වසාගෙන තිබ්බ බුමුතුරුණත්,  වටේ බිත්ති වල තැනින් තැන එල්ලල  තිබ්බ තෙල් සායම් චිත්‍රත්, ලී අල්මාරියකුත් ඒ උඩ ලස්සනට තියල තිබ්බ  විවිධ විසිතුරු භාණ්ඩ කිහිපයක්  ඇරෙන්න මුළු සාලයම වෙලාගෙන තිබ්බේ පාළු හිස් බවක්. මම දෙවරක් ම වීදුරු දොරට තට්ටු කරලා චකිතයකින්  ටිකක් පස්සට උනා. ඇය සැනෙකින් මා සිට ගෙන සිටින දොර දිහා බලනවා මං දැක්ක. විගසින් පොත පැත්තකට දැමු ඇය පුටුවෙන් පැන විත් දොර ඇරිය. හරියට ඇය මා එනකන් බලා සිටියා වගේ. ඒත් දොර හැර ඇය මා දකිනවාත් සමග ඇගේ මුහුණේ තිබූ ප්‍රීතිමත් බව පරවෙච්ච මලක්  වගේ ඇකිලිල ගියා.

උඹ කවුද ??? මොකද මෙහෙ  ??... ඇය හිටියෙ බලාපොරොත්තු කඩවීම නිසා ඇතිවුන නොරුස්සනා ගතියෙන්.

මං  ඉතාමත් සංසුන්ව ඇයට මා පැමිණි කාරණය පැහැදිලි කලා. මං මේ කතා කරන්නෙ සිහිවිකල් කාන්තාවක් එක්කදෝ යන සැකය බංගලාවට පැමිණෙන මොහොතේ තිබ්බත් ඒ සිතිවිල්ල  සම්පුර්ණයෙන් වැරදි බව ඇයත් සමග කතාවෙන්ම තහවුරු වුනා. ඇය තරුණ විය ඉක්මවූ කාන්තාවක්. හිසකෙස් බොහෝ සුදුපැහැ වී තිබුනත් මුහුණේ තිබූ පිරිපුන් බව ඇය වැඩි වයසක් නොවන බව තහවුරු කලා. උල්වූ නිකටත් කාන්තිමත් දෑසත්  ඇගේ තරුණ වියේ තිබූ සුරූපි බවේ සලකුණු ඉතිරි කරල තිබුන. ඇය හිතුව තරම් නපුරු කාන්තාවක් උනේ නැහැ. කලයුතු සියලු වැඩ මුල සිට අගටම පැහැදිලි කල ඇය මට නවාතැන් ගන්න වත්ත කෙලවරේ තිබ්බ ගබඩා කාමරය දුන්න. මට තිබ්බ රාජකාරිය උනේ උදේ හවස මුළු වත්ත වටේම තියන පැල වලට සීරුවෙන් වතුර දාන්න,පාත්ති සුද්ධ පවිත්‍ර කරන්න.මල් පොහොර දාන්න වගේ රාජකාරි ටිකක්. ඇගේ කොන්දේසිය උනේ මාස හයක්  ඇතුලත වත්ත වටේ මැරිලා මැලවිලා තියන මල් ගස් ඔක්කොම ආයෙම පෙර තිබුන වගේ මල් පිපෙන්න සලස්වන්න. විශේෂයෙන්ම වත්ත කොනේ මේපල් ගහ යට තියන දම් පාට ටියුලිප් මල්. ඒ පාත්තියෙ පැල බොහොමයක් ඒ වන විටත් රෝගයකට ලක්වෙලා මැලවිලා තිබ්බෙ. ඇය ගාව තිබ්බ විශේෂ මල් පොහොර වර්ගෙ අඩු වැඩි නැතිව නියමිත මාත්‍රාවට දාන හැටි කියා දුන්නෙ ඇය. මං හිතන්නෙ වසර පුරාම මල් වැවෙන රහසත් මේ පොහොර සහ සාත්තුව වෙන්න ඕන.

ඒක හිතෙන තරම් ලෙහෙසි පහසු වැඩක් නෙවේ මම කියන්නෙ ලෙඩ වෙච්ච ගස් එකින් එක වෙන් කරලා කොලෙන් කොලේ බලල හරි සීරුවට මල් පැල බලාගන්න එක. වටේම තියන ගස් කොලන් වල කොළ ඔක්කොම පාත්ති වලට වැටෙන එකත් මහ වදයක්. ඔක්කොටම වඩා අමාරු මේ දම්පාට ටියුලිප් මල් පාත්තිය බලාගන්න එක. ඒකෙ පැලයක් දළු දාන්නෙ හරිම අමාරුවෙන්. පහුගිය සති ටිකේම  මං කලේ අලුතින් පස් දාල පොහොර දාල අලුත් ටියුලිප් පාත්තියකට පස සකස් කරපු එක.  

කියන්න බැරිඋනා නෝනගෙ  නම එමීලියා. ගෙදර හිටිය වැඩකාර කෙල්ලගෙ නම මැටිල්ඩ. ඒකි නම් මහ උද්දච්ච කෙල්ලක්. මං ඒ නිසාම කතා කලේ හරි අඩුවෙන්. ඉරිදා දවසට මම තැබෑරුමට යන්න එලියට බැස්සත් එමීලියා නෝනා කවදාවත් ගෙදරින් පිට යන්නේ නැහැ. අඩුම තරමෙ පල්ලියෙ යාඥා වලට වත් ඇය යන්නේ නැහැ.ඇය හැමදාම කලේ  ගේ  ඇතුලට වෙලා පොතක් කියවපු එක නැත්නම් මැහුමක් ගොතපු එක. අහ්හ්  ඇය අනිවාර්යෙන්ම කරපු තව  දෙයක් තිබුන. ඒ උදේටයි හවසටයි ටියුලිප් මල් පාත්ති දිගේ ඇවිදින එක. අනේමන්ද ඇය වැඩිවෙලාවක් ගත කරන්නෙම  දම් පාට ටියුලිප් මල් පාත්තිය ගාව සමහර වෙලාවට මල් අල්ලාගෙන ඇය තමාටම මොනවදෝ මුමුණනව. මල් පාත්ති වටේම අවිද්දට පස්සෙ ඇය කරන්නෙ ලස්සන ටියුලිප් මලක් කඩාගෙන අර ගේ ඉස්සරහ විදුරු මල් බඳුනට දමන එක. ඇය ඒ දිහා ගොඩක් වෙලා බලල සිනාසෙනවා.කලාතුරකින් දවසක කඳුළු සලනවත් මම දැකල තියනව. ඇය හැමදාම එකම පාට මලකුත් නෙවේ  තිබ්බේ. මම හොයල බලපු විදිහට  සතියේ දවස අනුව තියන මලේ පාට වෙනස්  ඒ කියන්නෙ සඳුදට  සුදු පාට ටියුලිප් මලක්  අඟහරුවාදාට කහ, බදාදට රෝස , බ්‍රහස්පතින්දට නිල්  මේ විදිහට සතියේ දවස් හතේම ඒ ඒ සතියට ඒ ඒ පාට මලක් ගේ ඉස්සරහ තියන්න ඇය අමතක කලේ නැහැ. ඒ දේ දිහා හැමදාම මමත් බලන් හිටියේ ආසාවෙන්.ඒ ඇගේ මුණුනෙ කලාතුරකින් දකින්න ලැබෙන හිනාව දැකගන්න ලැබෙන්නේ  ඒ මොහොතේ නිසා. හැබැයි මොන හේතුවක් නිසාද මන්ද  කවමදාවත්ම දම් පාට මලක් ඒ මල් පෝච්චියට දමනවා මම දැකල තිබුනේ නැහැ .

හරි ප්‍රවේශමෙන් කරපු සාත්තුවත් එක්ක මාස හයක් යන්න කලින්ම අලුත් පත්තියේ දම්පාට මල් පොහොට්ටු  බුබුළු වගේ පැන නැගිලා ආව. හෙමි හෙමින් වැඩෙන මල් දිහා එමීලියා නෝන බලන් හිටියෙ පුදුම නොඉවසිලිමත්කමකින්.ඇය වගේම මමත්. මම හිතුව මේ පාරනම් දම් පාටමලක් අර මල් පෝච්චියට අනිවාර්යෙන් වැටෙයි කියලමයි.ඒත් දවසින් දවස ගෙවුනත් ඇය මල් දැකල සතුටු උන මිසක් එක මලක් වත් කඩාගන්න උනන්නදු  උනේ නැහැ. මට ඒ ගැන නම් ටිකක් විතර තරහ ගියා කිව්වොත් හරි.ඇය හොඳටම දන්නව මේ මල් හරි ප්‍රවේශමෙන් සාත්තු කරලා හදපු මල් බව. කිසි පලුද්දක් ඇකිලීමක් නැතිව පිරිපුන්ව හැදිච්ච මල් බව ඉතිං  ඇය වෙනුවෙන්ම මහන්සි වෙලා හදපු මල් පාත්තියට,සරුවට වැඩුණු දම් පාට ටියුලිප් වලට ඇයට අකමැති වෙන්න කිසිම හේතුවක් නැහැ. කොහොම නමුත් හිතට ආපු අදහසකුත් එක්ක මම පහුවදා උදේම ක්‍රියාත්මක උනා. 

පහුවදා උදේම එමීලියා නෝනා ගෙදර දොර අරිද්දිම  දැක්කෙ, ලස්සන රිබන් පටියකින් ගැටගහපු දම් පාට ටියුලිප් මල් පොකුරක්. ඇය  එකපාරටම වික්ෂිප්තයෙන් කෑ ගැසුව.

ජැක් ... ජැක් .... මැටිල්ඩ .... කවුද මේ දම් පාට මල් පොකුරක් මෙතන තිබ්බෙ?  ඇය ඉන්පසු වේගයෙන් දිවගියේ දම්පාට මල් පාත්ති ගාවට එහි එක පැලයක් නෑර විපරම්  කරමින් නටුවෙන් කපන ලද මල් ඇත්දැයි බලා කිසිදු එවන් සලකුණක් නොලැබුණු තැන ඇය යලිත් දම්පාට මල් පොකුර තිබූ තැනට දිව ගියා.මල් පොකුර යලිත් එහෙ මෙහෙ හරවල  ඇය  අපි දිහා බැලුව.

ජැක් ඇත්ත කියපන් ... උඹ දැක්කද කවුරු හරි ඇවිත් මේක තියනවා ...

නැහැ නෝනා ...
   
මැටිල්ඩ  උඹ ??

නැහැ සත්තයි .. මම මේ මල් පොකුර දැක්කෙත්  දැන්මයි ....

ඉන්පසු ඇය මල් පොකුර තම පපුවට ලංකර යලිත් එය ගෙන එහි  මල් එකක් නෑර සිඹින්නට උනා. ඉන්පසුව වියරුවෙන් මෙන් නටන්නට උනා.මැටිල්ඩත් මමත් වික්ෂිප්ත දෑසින් ඇය ගේ මේ අමුතු හැසිරීම දෙස බලන් හිටිය.

 මැටිල්ඩ  කෙල්ලේ මේ අහපන් අද මම කියන කෑම හදන්න ඕන ... හොඳට රහට තේරුනාද ?  අර මගේ සුදු සේද ගවුම  අන්න ඒක හොඳට මැදල තියන්න ඕන තේරුනාද ? 

 ජැක්... උඹ ගිහින් හොඳවයින් කළුකුම් මස් රාත්තලකුයි  වයින් බෝතල් දෙකකුයි ගෙනෙන් ...මේ දැන්ම.. .එසේ කියූ ඇය මල් පොකුරත් පපුවට තුරුළු කරගනිමින් තාලයට ගීයක් මුමුනමින් නිවසට ගියා. 

වයින් බෝතලුත් මස් රාත්තලුත් රැගෙන් යලි නිවසට පැමිණෙන විට එමීලියා නෝන හිටියෙ සුදු සේද ගවුම ඇඳන්.බැලූ බැල්මට එය විවාහ මංගල උත්සවයේදී ඇඳපු ඇඳුමක් වගේ.ඇගේ මුණුනෙ සතුට උතුරමින් පැවතිය කිවොත් හරි.  ඇය එතරම් ප්‍රීතිමත්ව සිටිබවක් අන් කිසිම දිනයක මම දැකල තිබ්බේ නැහැ. විටින් විට ඇය ගේට්ටුව දිහා බලමින් අලුත ගෙනා වයින් තොල ගාමින් පෙම් ගීයක් මුමුණමින් හිටිය.මම වෙනද වගේම සාමාන්‍ය විදිහට පාත්ති සුද්ද කරලා වතුර දාල හවස් වරුවෙ තැබෑරුම පැත්තෙ ගියා. රෑ නිවසට එනකොටත් ඇය සිටියෙ සේද ඇඳුමින් ,නොයිවසිල්ලෙන් සාලෙ පුරා  එහෙම මෙහෙ සක්මන් කරමින්. 

නහය කපාගෙන ගිය  සැර කළුකුම් මස් හොද්දෙ  සුවඳත් විඳගෙනම මම ගබඩාකාමරයට ගිහින් හාන්සි උනා.

රෑ දෙගොඩ යාමෙ දොරට තඩිබාන ශබ්දයක් ඇහුන.

ජැක් ජැක් මම මැටිල්ඩ  .. නැගිටින්න  නැගිටින්න .. විගහට එන්න 

ඇයි  ඇයි  .... මොකද මේ මහ රෑ .........

එමීලියා නෝන උමතුවෙන් වගේ කියවනවා  මට බයයි පොඩ්ඩක් ඇවිත් බලන්න.

මම විගසින් ඇය පසුපස එමීලියා නොනගෙ කාමරයට ගියා.ඒ මම ඇයගේ කාමරයට පැමිණි පලවෙනි වතාව කාමරයට ඇතුළු වන තැනම බිත්තියේ  හමුදා නිලදාරී ඇඳුමකින් සැරසුණු කඩවසම් පිරිමියකුගේ  පින්තූරයක් එහි එල්ලා තිබුනා. මම ඇය අසලට යන විටත් ඇය උමතුවෙන් කියවමින් සිටිය.

ඇය මා දකින විටම ඇය දෑත් දිගුකර මෙසේ පැවසුවා 

ඇලන්  ඔයා ආවද ... මම දැනගෙන හිටිය ඔයා කවද හරි එනවා කියල. අර ඔයා ආසම දම්පාට ටියුලිප් මල් දැක්ක ගමන් මම දැනගත්ත ඔයා ඇවිත් කියල..... මාව බලන්න අන්තිමේ ඔයා ආව ....... ඇලන් .......

මම තවදුරටත් එහි නොසිට  විගසින්  කාමරයෙන් පිටවුනා. 

එමීලියා නෝන උදේ ඉඳලම වයින් බීව. ඔය මත්වෙලා විකාර කියවනවා.  හෙට වෙද්දී අඩුවෙයි එයාට නිදන්න හරින්න. 

එසේ කියූ මම  යලිත්  රැඳී නොසිට ගබඩා කාමරයට පිටවුනා. 

පහුවදා අළුයමම සියල්ලටම කලින්  නැගිට්ට මම  ගබඩා කාමරේ පිටිපස්සේ ඉබේ වැවිල තිබ්බ දම්පාට ටියුලිප් මල් පැල ඔක්කොම ගලවල තාප්පෙන් එහාට විසික්කරලා දැම්ම .............






ප.ලි. : ටිකක් වෙනස් විදිහට ලියන්න  හදපු කතාවක්. හිතට දැනුන දේ අඩුපාඩු හොඳ නරක සියල්ලම පහලින් කොටලා යන්න  :) 


Thursday, May 5, 2016

අතීත මතක : අය්යගෙ කතා ;)



මම : අය්යේ .. අය්යේ ...
අය්ය : ඕ ...
මම : අය්යේ ..මට කතාවක් ලියන්න මාතෘකාවක් කියන්නකො.
අය්ය : "අය්ය " :D 
මම : අය්ය ? එහෙනම් ලියන්න වෙන්නෙ කරපු මගෝඩි වැඩ තමා.
අය්ය : ඕ .. ^_^
මම : එහෙම නෙවේ .. මට සුරංගනා කතාවක් ලියන්න එකක් කියන්නකෝ 
අය්ය : "සුරංග අය්ය “ :D

මේ සති දෙහෙකට විතර කලින් අපේ අය්යගෙන් කතාවක් ලියන්න අහද්දි කීව දෙයක්. මං හිතන්නෙ මගේ බ්ලොගේ  ගැන දැනගත්තට පස්සෙ එයා ගැන ලියවගන්න ඕන වෙලා ඇති. ලියන්නම්කො ....හැක් 

දන්නවද වැඩක්. මං ඉපදෙන්න කලියෙන් අපේ අම්ම මට කලින්ම සුරංගනා ලොවෙන් තෑග්ගක් ගෙනාවලු. ඒ තමා සුරංග අය්ය. මං වගේ කැත කෙල්ලෙක් නෙවේ එයා හරි කඩවසම් කොල්ලෙක්. ඒ නිසාමයි මං හිතන්නෙ එයා සුරංගනා ලෝකෙන් ආපු ලස්සන කොල්ලෙක් කියල. (මේ ටික කියවද්දී නම් එයා කොලර් එක උස්සයි ඒවා කොහෙද , දැන් එයා නිකන් කලයක් වගේ බඩක් තියන මුදලාලි මහත්තයෙක් වගේ ..එකට නංගි  ෂා ..^_^  .... ) හැබැයි එහෙම හිතෙන්නෙ වෙලාවකට විතරයි පොඩි කාලේ නම් මට හිතුනෙම මේ නම් සුරංගනා ලෝකෙන් පන්න ගත්ත  වසවර්තියෙක් කියල. අද මේ දොඩන්නේ ඒ වසවර්ති කඩවසම් කොලුවා ගැන.ටිකක් පරක්කු වෙලා තමා මේ කොල්ල ගැන ලියන්නෙ. ඒත් ඉතින් ලියන්න එපැයි කවද හරි.ඒ නිසා ඔන්න අද මම ලියන්නෙ මගේ අය්ය ගැන  :)

අපෙ අම්මට මුලින්ම බබෙක් හම්බවෙන්න ඉන්නකොට දොස්තර මාම කිව්වලු  හම්බෙන්නෙ  නිවුන්නු කියල. ඒ කාලේ අපේ අම්මට ගොඩක් අමාරු උනාලු. වැඩියෙන්ම සස්ටජන් එහෙමත් බිව්වලු.කොහොම කොහොම හරි අම්මට මුලින්ම හම්බෙල තියෙන්නෙ සුදු කොලු පැටියෙක්.පස්සෙ කාලෙක අපේ අය්ය මට කියපි මං ඔයාව ඒ කාලෙ දැක්කනෙ. මං පයින් එකක් දීල ඔයාව තල්ලු කරලා ටටා කියල එලියට පැන්න.මාත් ඒ කාලේ ඇස් ලොකු කරගෙන ඒවා අහන් හිටියලු. 

අපේ අම්ම නම් කියන්නෙ මං අය්ය වගේ නෙවේලු කවදාවත් වද දුන්නේ නෑලු.ඒකට අපේ අය්ය.පොඩි කාලෙ තාත්ත වෙල දිගේ මැරතන් එකක් දුවවල තමා අය්යව අල්ලගන්නෙ ඊට පස්සෙ ඉතින් ගුටි පූජාවක්. ඉස්සර  අය්ය ගෙදර හිටිය ආයා ට ඉන්න දෙන්නෙම නෑලු කොයි වෙලෙත් මකර වගේ අඬනවලු .දවසක් අපේ අම්ම ගෙදර එද්දි අය්ය කිසි සද්දයක් නෑලු බලද්දි ආයා මුට්ටියක යකෙක් ඇඳල ඔන්න මුට්ටි යකා එනවා කියල බය කරලලු. අය්යගෙ දැඟලිල්ල නවත්තල තියෙන්නේ එහෙම.

මට මතකයි චූටි කාලෙ අපේ අය්ය හරි වසයි.ඒ කාලේ එයා කැමති නෑලු මං ඉන්නවට.  පොඩි කාලෙ අය්යයි මායි ඉන්න ෆොටෝ එහෙම බලන්න ඕන.මං හෙන අහිංසක විදිහට හිනා වෙලා ඉඳිද්දී ඔරන්ඔටෙක් වගේ ඔරෝගත්තු මූණක් දික්කරගෙන එයා ඉන්නවා.
ෂා ....අපේ අය්යගෙ මූණ .... :D 

අපි සෙල්ලං කලේ මෙහෙමලු 

පොඩි කාලේ එයා තමා ලොක්ක. මට මතකයි ඒ කාලේ අපිට හිටිය පොඩි බලු පැටව් වගයක්. අය්ය තමා ඉතිං අණදෙන්නේ.අරූව ගන්න ..හා දැන් ඌව නාවන්න. අන්න කක්ක කරා.. හා  හා ඉක්මනට අරන් දාන්න. අනේ ඉතින් මේ දැරිවි පොඩි එකානෙ ඔය ඔක්කොම කළාලු ඉතිං :/.... අන්තිමට බලුපැටියව නාවල හොඳට පිහදාල ගත්තම එතනින් පස්සේ බලුපැටිය අයිති එයාට. මං ගැන වගේ වගක් නෑ. :( ඒ විතරක් යැ ඔය මොනවා හරි වැඩක් කරගන්න කියල අය්ය ගාවට ගියාම "හා .. මගෙ සෙරෙප්පු දෙක ගෙනල්ල දෙනවා.මේ සපත්තු දෙක ගලවනවා ..." ඔක්කොම මෙහෙකාර වැඩ කරන්න ඕන.  නංගි කියල බලන්නේ නෑ ටිපි ටිප් එකක් ගත්තම බාගෙට බාගයක් එයාගේ බඩේ. අපේ අම්ම ලඟකදී කීව ඔය බීම බෝතලයක් එහෙම අරන් දීල නංගිට බාගයක් ඉතිරි කරන්න කීවම බෝතලේ හරියටම බාගයකින්  අත තියාගෙන බොනවලු අයෙ වැඩියෙන් නම් ඉතිරි වෙන්නෑලු  බාගෙටත් වඩා අඩුවෙනවා මිසක්  :D 

 ඉස්සර අපිට තිබ්බ වැඩ රාජකාරි වලින් එකක් තමයි මාළු ටැංකි හදන එක. වෙලට ගිහින් ගප්පි  අල්ලන් ජෑම් බෝතල් වලට දාගෙන එන එක තව වෙලේ කොනටම යනකොට හම්බෙන ඇලට බැහැල තඩි හයිඩ්රිල්ල උස්සගෙන එන එක. ඒ කාලෙ මායි අය්යයි බූල යි (බව්ව) තුන්දෙනාම යනව හයිඩ්රිල්ල අරන් එන්න. දවසක් මරු වැඩක් උනා. මාත්  මල් මල් ගවුමක් ඇඳන් නැට්ට වගේ අය්යගෙ පිටිපස්සෙන් ගියා. ඉස්සරහින්ම බූල යනවා ඇල ගාවටම ගියාම බූල ඉව අල්ල අල්ල වටේ කැරකෙනවා. අපේ අය්ය පයින් පාරක් ගහල ඌව ඇලට විසික් කලානෙ(පුදුම වෙන්ටෙපා මං කීවනෙ එයා කලේමවසවර්ති වැඩ ...). මාත් එක පාරටම බක බකා ගාල හිනා උනා හිනාව නවත්ත ගන්න ලැබුනේ නෑ ඊළඟට මාවත් අහස් කූරක් වගේ  විසික් වෙලා ගිහිං ඇලට වැටුන.වැටුන නෙවේ අර වසවර්තිය තල්ලු කලා. -___- එදා මුළු ඇඟේම හයිඩ්රිල්ලයි  මඩයි  නාගෙන මං ගෙදර ගියා. එදා ගෙදර ගිය හැටියට මං තමා මාළු ටැංකියට බැහැල හයිඩ්රිල්ල ගහක් වගේ ඉන්න ඕන. :( 

ඔය  විතරක් යැ කරවනැල්ලේ අපේ පුංචිලා ගෙදර ගේ ලඟින්මයි කැළණි ගඟ ගලන්නෙ. අපිත් එහෙ ගිය ගමන්ම  කරන්නෙ කැළණි ගඟේ නාන්න යන එක. දවසක් මම හොඳට වතුර තල තල විසික් කර කර නනා ඉඳිද්දි අය්ය ඇවිත් කියපි ඔට්ටුයි තමුසෙට බෑ දහයට වෙනකන් මම ගණන් කරනකන් වතුරේ ඉන්න කියල. ඔයාලට කියන්න ඒකාලෙත් මට පීනන්න බෑ. ඉතිං දෙය්යනේ කොහෙද වතුර යටට යන්නෙ... ගියත් කරන්නෙ අතින් නහය තදකරල පහලට එබිලා ඔලුව තෙමන් ආයෙ වතුරෙන් උඩට පැනල හොඳ හුස්මක් ගන්න එක. ඉතිං මං ගත්  කටටම කිව අපෝ  බෑ කියල. ඒත් අය්ය කියනව  නෑ .. නෑ .. මම ළඟ ඉන්නවා ඔයා වතුර යටට ගිහින් දහයට ගණන් කරලා උඩට එනව කියල.  මගේ කුරුළු මොලේ ඒ වෙද්දිත් වතුරට පෙඟිල තිබ්බේ  ඉතිං  මාත් ලොකු හුස්මක් අරන් නැති වීර කමකුත්  ආරුඩ කරගෙන වතුර යටට ගියා.අය්ය මගෙ ඔලුව අල්ලා ගෙන වතුර උඩ ඉඳන් ගණන් කරනව මම වතුර යට ඉඳන් අතෙන් නහය වහගෙන ගණන් කරනවා  හතයි .. අටයි .. නවයායි .. දහයායි .....දහයායි  කියල උඩට එන්න බෑ ඔලුව හිරවෙලා .....මේක මගේ ඔලුව තදකරගෙන මම දඟලනවා දඟලනවා හුස්ම ගන්න බැරිව අන්තිමට වතුර ගසල ගසල උඩට පැනල මරණ බියෙන් හුස්ම ගද්දි අය්ය කියපි ..හැක් .. මම විස්සට ගණන් කළානෙ .. ඇත්තටම ඒ වෙලේ ලඟපාත තඩි ගලක් වත් තිබ්බේ නැහැ ඒ කිව දේට.හරියන්න හොඳවයින් නෙලන්න. ගලක් .. දෙය්යනේ ගලක් කිවමයි මතක් වෙන්නේ මගේ දකුණු අතේ මැණික් කටුව ගාව  තාමත් මේ වසවර්තිය ගහපු ගල් පාරක සලකුණක්  තියනව.

මේවා අහන්නත් දෙයක්ද නේ .. අර මගේ දත් කතාවේ ඉස්සරහ දතට වැඩේ දුන්න  අය්යන්ඩි. -_-  මෙහෙම නොවෙනවානම් නේ පුදුම. අර මම හැමතැනම ලියල තියන කොට්ට පොර කතා තියෙන්නෙ ඉස්සර අය්යගෙ ප්රියතම විනෝදාන්ශේ ඒක.  උදේට ඇහැරවන්න යද්දී මාව ඇහැරවන දරුණුම විදිහ තමයි කොට්ටෙ මගේ ඔලුව උඩින් තියල මූ ඉඳගන්න එක. ඉතිං අර අහස කඩන් වැටුන කියල දුවන හාවා වගේ මාත් ගැස්සිලා ඇහැරෙනවා.හිතන්නකො උදේ පාන්දරම කොට්ට ප්රහාරයකින් ඇහැරෙන් අහිංසක ළදරියක් ගැන. පව්  නේ මං ..හා නැද්ද ? හැබැයි ඉතිං ඔය අය්ය ගහන ගැහිලි වලට නංගීත් ඉතින් නිකන් හිටියේ නෑලු .ගැහුවා ගැහුවා අම්බානෙක .රණ්ඩු උනා ඇස් වලින් කඳුළු පනිනකන්ම. හැබැයි මොනවා කලත් අන්තිමට බැනුම් අහන්නෙ මම. අඩුම තරමේ අය්ය මට ගැහුවත් අම්ම බනින්නේ මටනෙ :( 


                                                         නංගිට තරහ ගිය අවස්ථාවක ගත්ත පින්තුරයක් .....  :P  


ඊළඟ කතාව නම් කියන්න ලැජ්ජයි .. හැබැයි මේක කීව කියල  මාව බයිට් කරන්නේ නෑ හොඳේ .ඉස්සර ඉංගිරිසි පන්ති ගියේ අය්යයි මායි එකට ලු. හවස පන්ති ඉවර වෙලා අපි දෙන්නම එකට එනවා. දවසක් මේ දැරිවිට හදිසි අවශ්ය තාවයක් ඇවිත් (පොඩි අවශ්යතාවයක් ) .. අය්යේ .. අය්යේ ..අනේ අමාරුයි ..අපි දුවමුකො .. ඉතිං ඔන්න දෙන්නම් දුවල එනවලු ... දුවල දුවල මුලින්ම හම්බෙන ආච්චි අම්මලගේ ගෙදර යන්න හම්බුනේ නෑ. ලයිට් කනුව පහුවෙනකොටම අය්ය මගෙ අත තදින් අල්ල ගත්ත. අනේ .. අතාරින්න කෝ ..අනේ අමාරුයි .. යයි අනේ ...ඒත් අපේ අය්ය නෙමේ කනකට වත් ගත්තෙ ඉහි ඉහි එදා අන්තිමට කලිසම තෙමාගන්න කන්ම අපේ අය්ය මාව අල්ලාගෙන හිටිය :'( අන්තිමට මං අඬ අඬා ගෙදර යද්දි මේ වසවර්තිය හිනාවෙනවා. :( එච්චර විතරක් යැ. මූ ගෙදර ගිහින් කියපි නංගිට පාරේ චූ ගිහිං ඔය අඬ අඬා එන්නෙ කියාල ..එදා කිසිකෙනෙක් මගේ දුක ඇහුවේ නැහැ.වසවර්තිය කීව දේට හිනා උනා මිසක් :(  

තව එකක් ඉස්සර ඔය නත්තල් කාලෙට අපි හැමෝම හිතන් ඉන්නවනෙ නත්තල් සීය එනවා කියල අර මේස් කකුලක් එල්ලුවම තෑගී දාල යන්නෙ. දවසක් මාත් ඔහොම අය්ය එක්ක  මේස් කකුලක් ගේ ඉස්සරහ  මාළු ටැංකියෙ එල්ලලා නිදාගන්න ගියාලු.පහුවෙනිදා හරි බැරි ගැහිලා එතනට යද්දි අය්ය හොර ගල් අහුලා අහුලා ඉන්නවා 

මොකෝ .. මම ඇහුව 
නෑ .. මොකුත් නෑ 
නත්තල් සීය තෑගී දාලද ?
ම්ම්ම් ... ගිහින් බලන්න 

මමත් අත්පුඩි ගහල දුවල දුවල ගිහින් මේස් කකුල ඇල්ලුවා ..හී ..මොකක්දෝ අහුවෙනව...
හරි සතුටින්  අත දාල එලියට ගත්ත ... ඊට පස්සෙ හය්යෙන් හිනාවෙන අර අය්යන්ඩියට රැව්ව 

න්නවද මේස් කකුල ඇතුලෙ තිබ්බෙ ...........    ගලක්  -_-


වම් පැත්තෙ ඉන්නෙ කරවනැල්ලේ ඉන්න අය්ය දකුණු පැත්තෙ අපේ අය්ය මං හිතන්නෙ ඔය අත් උස්සන් ඉන්නෙ ඒ වෙලේ උච්ච ස්වරයෙන්  ගීයක් ගායනා කළා වෙන්න ඕන .. :P 


මේ චූටි කාලේ රසවත් මතක.ඒව එකින්  එක මතක මල්ලෙන් එලියට දාල ලීවෙ.ලියද්දි ලියද්දි තව මතක් වෙනවා එහෙම උනොත් ලිපිය දිග වැඩිවෙයි.කොහොමත් මේ වගේ කාලයක් තිබ්බේ චූටි කාලේ විතරයි ලොකු ලොකු වෙද්දී අපේ අය්යත් 'හ්ම් ..හ්ම්ම් .. "කියන වැඩිය දඟලන්නෙ නැති බසු ටයිප් උනා. මේ පුංචිම කාලෙයි  තව අය්ය ටිකක් ලොකු කාලෙයි දැන් කාලෙයි කියල වෙන් කරලා කියන්න පුළුවන් විදිහට වෙනස් විදිහේ මතක තියෙන්නෙ.එකා යකා උනත් ඉන්නෙ එකයි නෙ :D මම ලොකු උනාම කියවන්න හරි කියල මේ මතක  මෙතන ලියල දැම්ම.කවද හරි වයසට ගියාම අපිටත් මේ වගේ පිස්සු කාලයක් තිබ්බ කියල සතුටු වෙන්න පුලුවන්නෙ... ඉවර නැහැ තව නම් ලියන්න දේවල් එමටයි ..ඒවා පසුවට .. කම්මැලි කම කියන ලෙඩේ හැදුනේ නැතිනම් ඒවත් ලියල දාන්නම්කො  ;)  අමාරුවෙන් හරි කියවල දැම්මට ස්තූතියි :P ඔය අය්යල නංගිලා මල්ලිලා ඉන්න අයට දැන් තම තමන්ගෙ චූටි කාලෙ එහෙම මතක් වෙනව ඇති නේද :)



   අපි චූටි කාලේ කැළණි පන්සල ගාව ගත්ත ෆොටෝවක් ... ලොකු උනාට පස්සෙත් එතනම ඉඳල ෆොටෝවක් ගත්ත ..... :)





ප.ලි : නංගි ඉල්ලගෙන කෑමේ සිද්දියක් මත අය්ය දැන්  නංගි ගෙ බ්ලොගේ දෙපාරක් තුන්පාරක් විතර කියෙව්වලු.ඒත් මං හිතන්නේ දැන් නම් එයාට මගේ බ්ලොගේ අමතකයි (ෂුවර් නැහැ .. මං දිහා බලල පල් හිනාවක් එහෙම දැම්මොත් පොඩ්ඩක් අනුමාන කරන්න පුළුවන් මෑන් බ්ලොගේ කියවල තමයි කියල .. ) මේවා ලියන්නේ ජිවිත අවදානම තියල ඕ යැස් ...සෝ ..සියලු දෙවි දේවතාවුන් මේ අහිංසක දැරිවි ව  රැකදේවා .....