Friday, August 29, 2014

මධු අක්කා

අන්න මධු අක්කා  අලුත් කඩයක් දාලලු .. ඒ අම්මගේ කටහඬ 

ආ  එහෙමද ..කොහෙද දාල තියෙන්නෙ ?මොන කඩයක්ද ?දානවැයි කිව්වට මං හිතුවේ නෑනේ ඔච්චර ඉක්මනට කඩයක් දායි  කියල

කෑම කඩයක්ලු දාල තියෙන්නෙ...  ස්වර්ණ ඇන්ටි තමයි කිව්වේ. මධු අක්කත් පස්සේ අපිට කෝල් කරනවයි  කිව්වෙ.ඔහොම හරි නැගිටිනවානම් හොඳයි හැමදේම පිරිමියෙක් වගේ තනියම නෙ  කරන්නෙ ..

 හ්ම්ම් බලමුකෝ මම පස්සේ  ෆ්‍රී වෙලාවක අක්කට කතාකරන්නම්කො ... 

මේ මාසෙකට කලින් අම්මයි මායි අතර වෙච්ච කතාබහක්.මධු අක්ක කියන්නේ අපේ ගෙදරට ගෙවල් දෙකකට විතර එහායින් ඉන්න ස්වර්ණ ඇන්ටි ගෙ නංගි වයස අවුරුදු 38,39  විතර එත් වයස වැඩි උනාට මං කියන්නේ එයට මධු අක්ක කියල .ඒ පොඩි කාලේ ඉඳල අපේ ගෙවල් ළඟ අය්යල අක්කල එයට ආදරේට මධු අක්ක කියල කතාකළ නිසා වෙන්නැති.නම වගේම තමයි මධු  අක්ක පෙනුමින් තරුණයි සුදුම සුදුයි  ලස්සන රෝස පාට හමක්,පවුලෙන් එයාටම ආවේනික උන ලස්සන බළල් ඇස් දෙකක්  ඒ වගේම තමයි  හිනාවත්.. දැක්කොත් කෙනෙක් ආයේ  වතාවක් හැරිලා බලනවා.සුදු වගේම තමයි ගොඩක් උසයි ඒවගේම උසටම හරියන්න මහතක්. (....දැන් නම් ගොඩක් මහතයි . ;) ....)

මධු අක්ක පොඩි කාලේ ඉඳලම අපිත් එක්ක හරිම හිතවත්  .මට මතකයි මං පොඩි කාලේ මට ලස්සන හෙයර් බෑන්ඩ් (hair band ) එකක් ගෙනැල්ල දුන්න .(..ඒකනම් දැන් නැ අපේ අය්ය කඩලා :( ...  )   ඇත්තම කිව්වොත් මධු අක්ක මට පවුලේ කෙනෙක් වගේ.මට වගේම අය්යටත් එයා ගොඩක් ආදරෙයි .පොඩි කාලේ අපේ තාලේටම වැටිල අපිත් එක්ක සෙල්ලම් කරපු කෙනෙක් .ජීවිතේ හරිම සැහැල්ලුවෙන් ගෙවුවේ.


         මට මතක හැටියට මධු අක්ක ඒ කාලේ වැඩකළේ පොලීසියේ ඒ මං පහ වසරේදී විතර හැබැයි .......එකපාරටම මධු අක්ක අතුරුදහන් උනා .......... සති දෙක තුනක් යනකං මධු අක්ක දැක්කේ නෑ . මං අම්මගෙන් ඇහුවම කිව්වෙ මධු අක්කට දුර පලාතකට  ට්‍රාන්සර් එකක් හම්බුනා කියල .ඒත්  ඉතින් එහෙම උනත් අය්යට  හරි මට හරි කියලනේ යන්නෙ ...මං  ස්වර්ණ ඇන්ටි ගෙන් ඇහුවමත් කිව්වෙ ඒ දේමයි හැබැයි ස්වර්ණ ඇන්ටි එච්චර කැමැත්තකින් නෙමේ අපිට උත්තර දුන්නෙත්.අපිට දැනුනෙ මොකක්දෝ ගුප්ත බවක් ......ඒ කාලේ ස්වර්ණ ඇන්ටි ,ඒ ගෙදර ආච්චි   එහෙම අපේ ගෙදර ආපු දවස් වල මධු අක්ක ගැන මොනවදෝ මුමුනනවානම් ඇහුන .බනින ,අඬන සද්දත් ඇහුන මොනවදෝ සිද්දවෙනවා වගේ දැනුනේ ඒ කාලේ ලොකු අයගේ කතාවලට ඇහුම් කන් දෙන්නත් තහනම් නෙ. ඒ නිසා ඇත්තටම උනේ මොකක්ද කියලවත් හිතාගන්න බැරිව තිබ්බේ ..හැබැයි පස්සෙ ...අපි ටිකක් ලොකු උන වයසෙදි  අම්ම මට හැමදේ ම කිව්වා .

මධු අක්ක ඇත්තටම ගෙදරින්  ගිහින් තියෙන්නෙ ට්‍රාන්සර් එකක් නිසා  නෙවේ . එය ගෙදරින් පැනල ගිහින් .එයාගේ ආදර   සම්බන්ධෙට ගෙදරින් අකමැති උන නිසා එයා ගෙදරින් ගිහින්.අම්මල නම් කියන විදිහට ඒ කෙනා අක්කට කොහොමත් ගැලපෙන්නේ නෑලු .රස්තියාදු කාරයෙක්ලු .
අපරාදෙ ඉටි රූපයක් වගේ ලස්සනට හිටිය කෙනෙක් එහෙමත් කාලකන්නියෙකුට රවටුනානේ .කරුමේ තමයි 
                                                                   අපේ අම්ම ඉස්සර කිව්වේ එහෙමයි ....අන්තිමට මධු අක්ක රැවටිලා .මේක ඇහුව දවසේ මට මහ දුකක් දැනුනේ.හිත හරියට දුක් උනා .ඒ මං මධු අක්කට ගොඩක් ආදරේ කල නීසා .එයා මෙහෙම දෙයක් කරගත්ත කිව්වම ගොඩක් දුක හිතුන .

පොඩි කාලේ මතකෙත් එක්ක  එහෙම්මම අපිට  මධු අක්කවත් අමතක වෙලා තිබ්බේ .පස්සේ කාලේදී අපේ තාත්තට මධු අක්කව අනුරාධපුර බස් හෝල්ට් එකේදී හම්බවෙලා තිබ්බ .එදා ඉඳල තියෙන්නේ පොඩි පුතෙක් එක්ක .එදා මධු අක්ක තාත්ත එක්ක ගොඩක් වෙලා කතාකලාලු .ජීවිතේ ගත්ත වැරදීම තීරණය හින්ද අද විඳවනවා කියල මධු අක්ක තාත්ත එක්ක අඬ අඬ පැය  ගානක් කතාකරල .  ආදරේ නාමෙන් ගෙදරින් පැනල ගියාට මධු අක්කට හිතපු සැප ,ආදරය ලැබිල නෑ.රණ්ඩු ගහ බැන ගැනීම් එක්ක ජීවත් වෙලා තියෙන්නේ . මධු අක්කගේ මහත්තය රස්සාවෙන් අයින් වෙලා .මධු අක්ක විතරයි වැඩ කරලා තියෙන්නේ .මධු අක්ක මහන්සිවෙලා හම්බ කරන දේ අර මනුස්සය බොන්නම නාස්ති කරලා .වැඩ ඇරලා මහන්සිවෙලා   ගෙදර එද්දී  රෑට උයන්න පරක්කු උනාම ගෙදර හට්ටි වලන් පොලේ ගගහ අර මනුස්සය මධු අක්කට ගහනවලු .මධු අක්ක ලස්සන නිසා හැමවෙලේම එයාව සැක කරල  ඒ නිසාම හැමදාම ආරවුල් ලු  කොච්චර වෙනස් කරන්න හැදුවත් ඒ මනුස්සයාගේ කාල කන්නි ගති අත් ඇරලා නෑ .

මේ දේවල් අපිට වගේම මධු අක්කගේ ගෙවල් වලටත් ආරංචි වෙලා තිබ්බේ .ස්වර්ණ ඇන්ටි නම් මධු අක්කත් එක්ක හරිම තරහින් හිටියේ .ඒ පවුලේ නම්බුව විනාස කලා කියල . එත්  අම්මකෙනෙක්ට එයාගේ දරුවා දුක් විඳිනවා අහන් ඉන්න බලන් ඉන්න බෑනේ.ඒ නිසාම කොහොම කොහොම හරි මධු  අක්කගේ  අම්ම කොච්චර තරහ තිබ්බත් එයා ගැන හොයල තිබ්බ වරක් දෙවරක් එයා එක්ක කතා කරලා තිබ්බ.

ඔය විදිහට අවුරුදු 6,7 ගියා .මධු අක්කගේ ජීවිතේට නම් ආලෝකයක් ලැබිල නෑ .එන්න එන්නම ජීවිතේ එපාවෙන  සිදුවීම් තමයි  වෙලා තියෙන්නේ .පවුල් ජීවිතේ තිත්ත වෙලා.දෙපාරක් තුන්පාරක්ම ගෙදරින් ගිහිං යාළුවන්ගෙ ගෙවල්වලත් ඉඳල .දවසක් රණ්ඩුවක් හොඳටම  උත්සන්න වෙලා අතට ආපු සවලකින් මහත්තයා එයාට ගහද්දි කොහොමහරි බේරිලා පැනල ඇවිත්.කෙලින්ම ආවේ මධු අක්කගේ අම්මලාගේ ගෙදර .ස්වර්ණ ඇන්ටි කොච්චර තරහින් හිටියත් එදා මධු අක්කට අනුකම්පා කළා.
ඒ වෙද්දි මධු අක්කට මුළු ජීවිතේම නැතිවෙලා තිබ්බේ . මධු අක්ක මහගෙදරට ආවට පස්සේ එයා හම්බකරලා  ගොඩනගපු හැමසේසතම විකුණලා මල්ලිවත් අරගෙන එයාගේ මහත්තය ත්‍රිකුණාමලේ ගිහින්.මල්ලිව ඉත්තෙක් කරලා තමයි අයෙත් මධු අක්කාගෙන් සල්ලි අරන් තිබ්බේ .කොහොම කොහොම හරි අන්තිමට උසාවි ගානේ බඩගාලා බඩගාලා  එයාට එයාගේ පුතා අයෙත්එයාගාවට ලැබුන .මල්ලිගේ නම කවීෂ. ජීවිතේ පොඩි කාලේ ළමයෙක් හීනෙන්වත් හිතන්නැති තාඩන පීඩන හැමදෙයක්ම වින්ද ළමයෙක්. ඉගෙනීමත උනන්දුවක් නැ ...පොඩි කාලේ ඉඳලම හැදිච්ච පරිසරය එක්ක කාලකන්නි ඔහේ යන ජීවිතයකට හුරුවෙලා .


ආයෙත් මධු අක්ක අපිට හම්බුනා  හැබැයි මධු අක්ක හුඟක් වෙනස් වෙලා ඉස්සරට වඩානම් මහත් වෙලා .කාලෙකට පස්සේ මාව දක්කගමන් කඳුළු පුරෝගෙන මාව බදන් ගොඩක් වෙලා ඇඩුව.ප්‍රශ්න ගොඩක් හිතේ තදකරගෙන්හිටියත් ඉස්සර වගේම  අයෙත් අපිත් එක්ක හිනාවෙලා ඉන්නයි උත්සාහකලේ .මධු අක්කට ජීවිතේ වැරදුන....වැරදුනාද වැරැද්ද ගත්තද ? .....මේ හැමදේම එක්ක මධු අක්ක ආයේ නැගිටිනවා . හැමදේම..  අවුරුදු ගානක් හම්බකළ හැමදේම විනාසවෙලා ජීවිතේම කාලකන්නි වෙලා. ඒත්  දැන් එයාට ඕන කාටවත් අත නොපා අයෙත් ජීවත් වෙන්න .එයට තියන එකම බලාපොරොත්තුව මල්ලි . මල්ලිගේ ජීවිතෙත් විනාසවෙලා.එත් මධු අක්කට ඕන  මල්ලිට දෙන්න පුළුවන් හැම සැපක් ම  දෙන්න .දැන් මල්ලිගේ අම්මත් තාත්තත් එයයි. 

ජීවිතේ නගපු හැම හීනයක්ම නපුරුහීනයක් උන මධු අක්කට ජීවිතේ ආයෙත් හීන ඇතිකරගන්න ,බලාපොරොත්තු ඇතිකරගන්න ඕන වෙලා එයාට දැන් හිතේ තියන එකම හීනෙ පොඩි ගෙයක් හදාගන්න.එතකොට කාටවත්  වදයක් නොවී එයාට මල්ලිත් එක්ක ජීවත් වෙත හැකි....පොඩි ස්කූටි බයික්  එකකකුත් පැදන්  පිරිමියෙක් වගේ  දැන් හැම වැඩක්ම කරනවා. කාලයක් සිකුරිටි රස්සාවක් කලා.දැන් තමන්ගේම කියල පොඩි කඩයක් දාගෙන.කොහොම හරි ජීවිතේ ගොඩ එන්න.කරපු වැරදි වලට පසුතවීම් වලට සමුදෙන්නයි එයාට  ඔනා
  
මට ජීවිතේ කවද සැපක් හම්බ වෙයිද  දන්නෑ නංගි  

කලාතුරකින් මෙහෙම කිව්වත් එයා එයාගේ දුක කාටවත්ම කියන්නෑ ඒ වෙනුවට හිතේ ඒ හැමදේම තෙරපගෙන   ජීවිතේ ආයේ මුල ඉඳල  හෙමීට හෙමීට ගොඩනගනවා .හිතන්න දික්කසාද  ගැහැනියක් කොහොමද මේ සමාජයේ තනියම ජීවත්වෙන්නෙ .තනියම දරුවෙක් හදාගෙන ඉන්න හිටින්න තමන්ටම කියල ගෙයක් දොරක් වත්කමක් නැතිව ඒ මදිවට සමාජයෙන් එන නොයෙක් කතා අවලාද එක්ක කොහොමද ආයෙත් ජීවිතේ ගැටගහන්නේ .මධු අක්ක ඒ හැමදේටම ලෑස්තියි හිතේ ලොකු දහිරියක් තියන ගැහැනියක් ..ජීවිතේ විඳවපු කටුක බවත් එක්ක ජීවිතය විඳින්න  මගක් හොයන ගැහැනියක් ..ඒ නිසා මට ඇයව  පේන්නෙ  යකඩ ගැහැනියක් විදිහට ......... ඔව් ඇය ඇත්තටම යකඩ ගැහැනියක් .
















Wednesday, August 20, 2014

ජයන්ත්

ලෙක්චර්ස් ලෙක්චර්ස්  ලෙක්චර්ස්  ...හැමදාම ලෙක්චර්ස් ...එක දිගටම ලෙක්චර්ස් අහද්දිත් එපා වෙනවා .නිදිමත ලෙක්චර් කෙනෙක් ආවොත් සොරි තමයි .ඒ වෙලාවට ඇස් දෙකට නොකරන දෙයක් නෑ .සමහර වෙලාවට ඇස් දෙක අරගෙනම නින්ද යනවා .සමහර වෙලාවට සීගිරි කුරුටු ගී වගේ notes පොතේ ලියවෙනවා .නිදිමත දරාගන්නම බැරිවුනොත් කොහේ හරී බෑග් එකක් අස්සේ තියන ටොෆි එකක් අරන් කනව එකත් නිදහසේ කන්න බෑනේ.  :(
ටොෆි කොලය දිග අරින සද්දෙට ඉස්සරහ පේළියෙයි පස්සෙ පේළියෙයි මගේ පේළියෙයි ඇස් ඔක්කොම මං දිහා බලන්නේ මං ගාව දිව්‍යමය වස්තුවක් තියනවා වගේ .ඕක ඉතින් වෙරළු ගෙඩිය හතකට කැපුව වගේ කෑලි කෑලි වලට හපල පේලිය වටේම යද්දි කෑවේ නෑ  වගේ තමා . ඔය අතරෙ නිදිමත නැතිවෙන්න කොටු පුරවනව, sos සෙල්ලම කරනවා ,චිත්‍ර අඳිනවා නැත්නම් පොඩ්ඩක් වටිපිට බලනවා යාළුවො දිහා ..බැලුවම බාගෙට බාගයක්ම කිරනව   ඒවා බලල හිනා යද්දි නිදිමත ඉබේම නැතිවෙලා : D  මෙහෙම ලෙක්චර් වල නිදි කිරන යාලුවෝ අතරේ හැමදාම නෝට්  කරපු එක කොල්ලෙක් ඉන්නව .අපි බයටම ඇහැරිලා  ඉන්න ලෙක්චර්ස් වල  උනත් මෙයා  නිදි. මෙය නිදා ගන්නෙත් අයෙ හාන්සි පුටුවක නිදා ගත්ත වගේ තමයි .ඒ......... ජයන්ත් ..........


 
   නම කිව්වම තේරෙනවනෙ ජයන්ත් සිංහල යාලුවෙක් නෙවෙයි .අපේ batch  එකේ ඉන්න දෙමළ  යාලුවෙක් . පන්තියේ ඉන්න දෙමළ යාලුවන්ගෙන් මම ආස ළමයෙක් තමයි ජයන්ත් .ගම ට්‍රින්කෝ ,කැම්පස් එක හරියේ  නැවතිලා ඉන්නෙ .හැමදාම ලෙක්චර් එකට ඔන්න මෙන්න තියාගෙන හිනා වෙවී  පන්තියට එන කෙනෙක් . ජයන්ත් ගේ හිනාව ගැනත් කියන්න ඕන .නව ගිලුනත් ලෝකෙ පෙරලුනත් ජයන්ත ගේ හිනාව නම් නැතිවෙන්නේ නෑ .
                                                           ජයන්ත් ට ඉංග්‍රීසී එච්චරම බෑ  සිංහල ඒ තරම් වත් බෑ .ඒ නිසාම ජයන්ත්ට subjects සමහර ඒවා තේරුම් ගන්න අමරුලු .එක වෙන්නැති ජයන්ත් ට පන්තියේම ලකුණු අඩු .ඇත්තටම වෙලාවකට හිතෙනවා කොහොමද ජයන්ත් අපි කරන degree එකට තේරුනේ කියල ..මේ මොනවා උනත් ලකුණු අඩු උනත් ,repeat උනත් ජයන්ත් නෙමෙයි නින්ද නවත්වන්නෙ .ලෙක්චර්ස් වල නිදි කොච්චර වත් ..අනේ මන්ද ?

මම වැඩියෙන්ම ආස ජයන්ත් ගේ හිනාවට ,මට හිතෙන්නේ ජයන්ත් අහිංසකයි කියල ,රණ්ඩු  වලට යන්නේ නෑ ,තරහ යන්නෙ නෑ  හය්යෙන් කතා කරනවා වත් ඇහිලා නෑ .හැබැයි කොහේ දැක්කත් ජයන්ත් ගේ මූනේ හිනාව පිරිලා .ආයෙ  ලෙක්චර්ස්  ල ප්‍රශ්නයක් ඇහුවත් ඒ හිනාව මැකිලා යන්නේ නෑ .ඒ ජයන්ත් ගේ අනන්‍යතාවය  ;)
                      ඇත්තටම ජයන්ත් පව් කියල හිතෙනවා ..එයාට්  ගොඩක්  subjects  අමාරුයි .ඒ වගේම භාෂා ප්‍රශ්න.. අපිට කියල දෙන්නත් අපි දෙමළ එච්චර දන්නේ නෑනෙ .එයාගේ දෙමළ අනෙක් යාළුවො ජයන්ත් ට කොහොම උදව් කරනවද දන්නෙ නෑ .අපිට පුළුවන් විදිහට notes දෙනව .ඒත්  මගේ වචනවලින් නම් ජයන්ත්  නිදිකුම්බරයෙක් :D  උනන්දුව නෑ කියන්නත් බෑ ..ඒත් මන්සිවෙලා පාඩම් කරන්න ජයන්ත්  ට උවමනා නෑ ...... විභාග ලියද්දි ජයන්ත්  හැමදාම ඉන්නේ එක්කො මට ඉස්සරහ නැත්නම් මට පිටිපස්සෙන් .paper එකට කලින් හැමදාම "Hi Hansi good  luck " කියල සුපුරුදු හිනාවම දානවා එත් කියන්න දුකයි .මට wish කරන ජයන්ත්ගේ paper  එක අන්තිමට දෙද්දි බාගෙට බාගයක්ම හිස් ...

ජයන්ත්  ගැන ලියද්දි එක එක ඒවා මතක් වෙනවා .ජයන්ත් ට කම්මැළි වෙලාවට ඇවිල්ල "hi hansi " ,"hi nadee  how  are  you " කියල මොන හරි කියනව එක්කො අහනවා  .සිංහල අවුරුද්දට මුල්ම සුබපතුමත් ජයන්ත් ගෙන් .පන්තියේ හැමෝටම එහෙමයි . මේක ලියද්දිනේ මතක් උනේ එක දවසක් මටයි මගේ යාලුවාටයි ජයන්ත් ව town එකේදී හම්බුනා .බැලින්නම් ජයන්ත් සෙරෙප්පු දෙකක් ගන්න ගිහිං .අපිත් එක්ක කතාකරල ජයන්ත් ගියාම අපිට හරි ප්‍රශ්නයක් උනේ ජයන්ත් කොහොමද සිංහල කඩේකින් සෙරෙප්පු තේරුවේ කියල ..පස්සේ පහුවෙනිදම මම ජයන්ත ගෙන් ඇහුව....  බැලින්නම් ජයන්ත් කරලා තියෙන්නේ එයාගේ size එකට හරියන බිල ගහලම තියන සෙරෙප්පු දෙකක් ගත්ත එකලු ආයෙ  කතාකරන්නත් ඕනේ නැනේ .අය්යෝ එක ඔලුවට අවේ නෑනේ අපිට  :D  ..
                          මෙහෙම හිටියට ජයන්ත් ෆොටෝ ගන්නත් ආසයි .කොහේ හරි ට්‍රිප් එකක් ගියාම ජයන්ත් ට කියල තමයි අපි ෆොටෝ ගන්නෙ .ෆොටෝ වලට එක එක කෝණ වලින් නළුවා වගේ පෙනී ඉන්නත් ජයන්ත්  ආසයි :D  එක දවසක් මටයි  මගේ යාලුවාටයි පින්තුරයක් ගන්න ඕන වෙලා .මම මුලින්ම කලේ ළඟ හිටිය ජයන්ත් ව ඇදගෙන ගිහින් මම කියන විදිහට ඉන්න කියල ෆොටෝ එකක් අරන්  යාලුවට පෙන්නලා ඒ විදිහට ගන්න කිව්ව එක :P :D :D  ජයන්ත්තුත් හිනා වෙවී  අපේ පිස්සු වැඩ වලට උදව් වෙනව .සිංහල දෙමල කියල නෑ අපි එකමුතුයි .භාෂාව ප්‍රශ්නෙකුත් නෙමෙයි මොකද අපේ
භාෂාවේ වැඩිහරියක්ම තියෙන්නෙ සිනහව .ඇත්තටම ජයන්ත් ගැන ලියන්න හිතුනෙ මම දකින අහිංසක කියන මිනිස්සු අතරේ ඉන්න සුවිශේෂී චරිතයක් නිසා ..අපි සතුටින් ජයන්ත් විතරක් නෙමෙයි ,රාජ් ,සුභා ,කෝබි ,මංජු  මේ හැම දෙමල යාලුවෙක්ම අපිත් එක්ක එකමුතුයි ජාතිබේද ආගම්බේද අපිට නෑ රටේ මිනිස්සු මුස්ලිම් අයට විරුද්ධ  උනොත්  ආගම් වාදයට එරෙහිව කෝල හාල කරන අයත් එක්ක අපි විරුද්ධයි  දෙමළ සිංහල  ප්‍රශ්න  කතාකරල නැති ප්‍රශ්න ඇති කරන්න අවොත් එක batch එකක් විදිහට අපි හැමෝම එකමුතු යි  ..අපේ රටේ මිනිස්සු ආගම් වාදයට රණ්ඩු  කරාවි ජාති වාදයට රණ්ඩු  කරාවි  එත් මේ හැමෝම මිනිස්සු කියන සංකල්පයෙන් අපි එකටයි :) එහෙම නැති උනොත්  ජයන්ත් ගේ හිනාව  ඔයාටත් මටවත් දකින්න වෙන්නෙ නෑනෙ  ඉන්න ටිකේ මිනිස්සු මිනිස්සු මරාගන්නේ මොකටද  හිනාවෙන් සතුටින් ජීවිතේ ජීවත්වෙනවා මිසක .

....................හිතන්න...............







Sunday, August 17, 2014

තාරකා මාළු

තවත් එක් අලුත් දවසක  සුන්දර උදෑසනක් .උදෑසන ප්‍රබෝධය  හැමතැනම පැතිරිලා .එක මහල්ලෙක් උදෑසනම මුහුදු වෙරළට ඇවිත් .වෙරළ අසල තිබ්බ ගල්පඩියකට වෙලා  ඈත වෙරල දිහා බලහිටිය ඔහුගේ ඇස් අහම්බෙන් වගේ යොමුවුනේ වෙරල දිගේ ඈතින් දුවන් එන තරුණයෙක් .ඔහු සැබවින්ම  කඩවසම් තරුණයෙක් .ප්‍රබෝදයෙන් පිරුන ඔහුගේ මුහුණ දිහා බලන් හිටිය මහල්ලා මේ තරුණයා දිහා හිස නැබුරු කරලා ඕනෑකමින් බලන් හිටියේ ඔහු දුවනවටත් වඩා වෙරළේ සරින් සැරේ නැවතෙමින් මොනවදෝ  අහුල අහුල මුහුදට විසිකළ නිසා .මහලු මිනිසාගේ නළල රැළිගැන්වුනා.

මොකක්ද මොහු කරන්නේ ? 


මොනවද මේ අහුලා අහුලා විසිකරන්නේ ?  


ප්‍රශ්න ගොඩක් හිතේ පැන නැග  එනවා කුතු හලය වැඩි නිසාම ඔහු නැගිටිල තරුණය වෙත ලංවුනා . 




මොනවද මේ මුහුදට විසි කරන්නෙ .....වෙන මොනවත් නෙමේ තාරකා  මාළු . හැමදාම වෙරළ ට ගසාගෙන එන තාරකා මාළු දකින එක මහල්ලාට අරුමයක් උනේ නෑ .ඒත් මේ තරුණයා තාරකා මාළු එකින් එක මහුදට විසි කරන එක ඔහුට ප්‍රශ්නයක් උනා .

ඔහු තරුණය සමග සුහදව සිනාසුනා .

පුතා ඔය මොනවද කරන්නෙ?


මම මේ තාරකා මාළු විසිකරනවා . 

                                                වැඩි අවධානයක්  යොමු කරන්නැතිවම පිළිතුරු දෙමින් තරුණයා නැවතත් තාරකා මාළු මුහුදට විසිකරන්න ගත්ත .පිළිතුරින් සෑහීමට පත් නොවූ මහල්ලා නැවතත් ඇහැව්වා..........
  එත් ඇයි පුතා ඔය මාළු මුහුදට විසිකරන්නේ . ?
 ඒ පාර තරුණය මදක් නැවතුනා .මහල්ලා දිහා හිනාවෙමින් බලල ... 

අංකල් දන්නවද මේ වෙරළේ  ලස්සන  කොරල් පරයක් තියන විත්තිය ?

   මහලු මිනිසාත් "ඔව් " කියන්නාක් මෙන් හිස වැනුව . 
අංකල් දන්නවද මේ කොරල් පරයේ ආරක්ෂාවට මේ තාරකා මාළුත් උදව් වෙනවා කියල .දවස පුරා කොරල් පරය අවට ගැවසී ගැවසී ඉන්න මේ මාළු රැල්ලත් එක්ක වෙරළට ගහගෙන  එනවා .හැබැයි  මේ මාළුන්ට ඉර එළියත් එක්ක ජීවත් වෙන්න බෑ   පොඩ්ඩක් හරි ඉර එලිය වැටුන ගමන් මේ මාළු මැරිලා යනවා ඒ නිසා මං කරන්නේ හැමදාම පාන්දර ඉර එලිය වැටෙන්න කලින් ඇවිත් මේ මාළු මුහුදට විසි කරන එක .

එහෙම කියමින් නැවතත් තරුණය වෙරළට නැඹුරුවෙලා  තාරකා මාළු  අහුලලා මුහුදට විසිකරන්න ගත්ත .මහලු මිනිසා ඔහු දෙස ටික වෙලාවක් බලහිටිය .

එත් පුතා ...
              බලන්න මේ වෙරළේ කොච්චර නම් තාරක මාළු විසිරිලා ඉන්නවද පුතා ඔය කරන දෙයින් වෙනසක් වෙනවද ? ??... 
 තරුණයා මදකට තාරක මාළු  ඇහිලිම නැවැත්තුව  එත් ඔහු අතේ  තවම පන අදින තාරකා  මාලුවෙක් ...අතේ තිබ්බ තාරකා මාළුවා දෙස සිනාසෙමින් බලාගෙනම ඔහු මෙසේ කිව්වා .

මම කරන දෙයින් ලොකු වෙනසක් මේ විශාල මුහුදට වෙන්නේ නැතිවෙයි ... ඒත්  මම මේ කරන දෙයින් මේ පුංචි මාළුවාගේ ඉරණමට ලොකු වෙනසක් වෙයි . 

 තරුණයාගේ වචනත් එක්ක මහල්ලාගේ ඇස දීප්තියෙන් පිරුණ .
තරුණයාගේ උරහිසට තට්ටු කරන ගමන් ඔහු කීවා
 පුතා ....අද ඉඳල මමත් එනවා පුතා එක්ක  තාරකා මාළු ඇහිඳින්න .

........ටික වෙලාවකින් වෙරල තීරය දිගේ ඈතටම  තරුකුගේත් මහලු මිනිසකුගේත් පාසටහන්  සටහන් වෙලා තිබ්බ ඈත වෙරල තීරය දිගේ තරුයකුත් මහලු මිනිසෙකුත් තාරකා මාළු ඇහිඳින් යන චායාවක් දක්නට ලැබුන. 


....................................................................................

  

Exam  ඉවර වෙන්නෙ කොයි වෙලේද  කිය කිය නාහෙන් අඬ   අඬ හිටිය මට අන්තිමට අනුරාධපුරේ යන්න හම්බුනා.අනුරාධපුර ගිය දවසෙම හවස පුංචි ලගේ බබාල තුන්දෙනාම වටකරන් උඩමළු නගින්න ලැස්ති උනා ..මල්ලිලාම තුන් දෙනෙක් .දෙවෙනි මල්ලියා හරිම දඟයා .නාහෙට අහන්නේ නෑ .පුංචි නැතිවෙලාවක් බලල හෙමිහිට  කඩයට දුවල මොනවම  හරි උස්සන් එනවා ..කොහොම කොහොම හරි රටකජු පැකට් දෙකකුත් සාක්කුවේ පුරුගෙනම තමා උඩමළුව වඳින්න ඇවිල්ල තියෙන්නෙ .උඩමළු වඳින්න කෙසේ වෙතත් රටකජු පැකට් එක කඩාගන්නයි මල්ලියගේ  සිහිය .මමත් එපා කිව්වේ නෑ ඉතින් ;) .... කොහොම හරි රටකජු පැකට් එකත් කඩලා බොහොම අමාරුවෙන් වගේ මටත් ඇට 2ක 3ක් දීල අන්තිමට ඉටිකොලේ පාරට විසිකලා . 

මල්ලි !!..........
මොනාද ඒ කර කතා වැඩේ ?   ....අහුලනවා ඒක ?.... අපෝ ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ කියල දීල නැද්ද  ඕවනරක වැඩ කියල  .  මාත් ඔරෝගෙනම මල්ලිට සද්දේ දැම්ම .

අනේ  යනවා යන්න ..මං කොළයක්  දැම්මයි කියල මොකද වෙන්නෙ  අනෙක මං  විතරද දාන්නේ.මේ හැමතැනම දාල තියෙන්නේ.

මල්ලි ඒපාර  මට සද්දේ දැම්ම .

හ්ම්ම්.. ඉතින් හැමෝම කොළ විසිකරනවා කියල මේවගේ පන්සලක ඔයත් විසිකලොත් හරිද ..හරි හිතල බලන්න ඔයත් ඉටිකොළ තැනින් තැන විසිකරනවා මාත් විසිකරනවා .ලොකුඅම්මා ,පුංචි ,අය්ය ,මල්ලිලා මේ හැමෝම මෙතන ඉටිකොළ විසිකලොත් මොකද වෙන්නෙ .මෙතන ඉබේම කුණුගොඩක් නෙ .ඒ නිසා ඔයාගෙන් පටන් ගන්න හරිද?


එහෙම කියල මම ඉටිකොලේ ඇහිඳලා මල්ලිගේ සාක්කුවට දැම්ම .මට තාමත් මතකයි  මල්ලිගේ හිනාව .මං දන්නවා එයා ආයෙ ඒ වැරැද්ද නොකරාවි කියල  .


.මට එක දෙයක් හිතුන ..අපිට මහා දේවල් කරලා ලෝකෙට පෙන්නන්න ඕන නෑ එක පොඩි දෙයක් කරාම ඇති  ...එකෙන් අන්තිමට අපි නොහිතන ලොකු සුබවාදී වෙනසක් අපිට කරන්න පුළුවන්........


..................හිතන්න .....................