Sunday, March 1, 2015

හිමිදිරිය

නිල්  ගොයම  ගැබ්බරව රන් කරල්  නැමි  බිමට 
කොළ පලස සිප ගනියි  හෙමි හෙමින් සීරුවට 
නියර දිග විසිර ගිය තුෂර බිඳි  වටකුරුව 
මුතු පබළු සේ දිලෙයි  තෘණ පියලි අග රැඳුන 

වලාකුළු කැටි මතින්  පෙරා එන රිවි කිරණ 
මගේ කඩුක්කන් පාට හොරා  විත් මට නොකිය 
මීදුමත් දෙබෑකර පොලව හා  ලංවෙත්ම 
රන් පාට ඉහිරවයි  මුළු දෙරණ නැහැවෙන්න 

කිචි බිචිය  හඬ නගන සියොත්  කැල  හා එක්ව 
මද නලත් හමා එයි  තාලයට ගී ගයව 
කුසුම් පෙති  දිග හැරී සිනහවෙන් පිරිපුන්ව
පෙම් කතා බස් දොඩයි  බිඟුන් හා මන් මත්ව 

සිලි සිලියේ හඬ නගා ගලා යන දොළ පාර 
නොනැවතී ගලා යයි ගම්මානේ කෙලවරට
ගත මෙන්ම සිත එක්ව නැවුම් කල හිමිදිරිය 
තවත් අලුතින් දිනක් රැගෙන එයි ගම වෙතට 



ආසාවට කවියක් ලියන්න හිතුන :)  ඉඳල හිටලා කවි ලියවෙන නිසා කවි පද ගොතද්දී අඩු පාඩු ඇති  හංසි තාම ආධුනික කවි ලියන්නෙක්  නෙ. :)  
පින්තුරය  මම ගත්තේ. බයික් එකේ යන ගමන් ගත්ත නිසා පොඩ්ඩක් ඇදවෙලා පෙන්නේ.මේ වගේ ලස්සන  ගමක ඉඳිද්දී ඉතින්  මේ වගේ කවි සිත්  ඉබේම පහළවෙනවා ;)