Tuesday, February 12, 2019

සුබ උදෑසනක් !! :)

සුබ උදෑසනක් !! :) 

උදේ පාන්දරම කවුරුම හරි කෙනෙක් හිනා වෙලා සුබ උදෑසනක්  කීවොත් ඔයාගේ දවස කොයි වගේද ? සමහරවිට ගොඩක් අඳුරන සමීපතයෙක්  වෙන්න පුළුවන් එහෙමත් නැතිනම්  අඳුරන්නෙම නැති  වැඩට යන ගමන්, පාරේ, බස් එකේ හම්බවෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම කෙනෙක් හිනාවෙලා සුබ උදෑසනක් කිව්වොත් තියන ප්‍රශ්න චුට්ටකට හරි අමතක වෙලා ඉබේම මූණේ හිනාවක් ඇඳෙනව නේද ? චුට්ටක් හරි හිත පිරෙනවා නේද ? එච්චරත් හිතන්නෙපා උදේ පාන්දර බස් කොන්දොස්තර සුබ උදෑසනක් කියල බස් එකේ සල්ලි ඉල්ලුවොත් කොහොමද ? ඉතුරු රුපියල දුන්නෙ නැතත් හිතේ පිරිලා තියේවි. :D 


සුබ උදෑසනක්  ..ඔයාල හැමෝටම  :) 

පොඩිම පොඩි කතාවක් අද දවසේ ලියල යන්න හිතුන. මම වැඩ කරන්නේ  සොඳුරු හිත් ගොඩක් තියන  වැඩ කරන්න අසාවෙන් දුවන  වැල්ලවත්තෙ තියන ටිකක් ලොකු පරිගණක ආයතනයක. හැමදාම විලියම් හන්දිය ගාවින් බැහැල පයින් ඇවිදගෙන එන දුර ටිකක් විතර දුර උනත් ඒ දුර තමයි මගේ දවස පුරවන්නෙ. ඒ මෙහෙමයි. 

වැල්ලවත්තේ තියන කුණු ඇල පහු කරන පාර පැනල ටික දුරක් යද්දි පෞද්ගලික බැංකුවක වැඩ කරන සිකුරිටි අංකල් උදේම හිනාවෙලා මාව දැක්ක ගමන්  'ගුඩ් මොර්නින් මිස්' කියනව. ආයෙම ටික දුරක් ඇවිදගෙන යද්දි සාරි අන්ද ගත්තු උස කෙට්ටු ලස්සන දෙමළ අක්කෙක් 'ගුඩ් මොර්නින්' කියනවා. :) ඒ අක්ක නම් දැන්  හමුවෙන්නේ නැති උනත් කාලෙක ඉඳන් එකම වෙලාවට පාරේදී මුණ ගැහෙන තවත් සුදු දෙමළ අක්කෙකුත් ගුඩ් මොර්නින්ග් කියාගෙන යන්නෙ. ඔහොම කියාගෙන හිනා වෙලා යද්දී  සමහර දවස් වලට පාර අතු  ගාන  ඇන්ටි මූණට  හම්බ උනොත් 'ගුඩ් මොර්නින්ග්' කියනවා. වයස උනාට බුලත් විට කාල දත් නරක වෙලා තිබ්බත් ඒ මූණ හරි සිරියාවන්තයි :)  ඔය විදියට යද්දී සමහර දවස් තියනව මාව පහුකරගෙන යන අඳුරන්නෙම නැති කෙනෙක් ගුඩ් මොර්නින්ග් කියාගෙනම මාව පහුකරගෙන යනව. එතකොට ආයේ හැරිලා බලල ආයෙම මමම තනියම හිනාවෙලා යනවා. 

හිත පුරෝගෙන ගිහින් ඔෆිස් එකේ ගේට්ටුව ගාවටම ආවම එතන ඉන්න සිකුරිටි අය හැමෝම හිනාවෙලා  'ගුඩ් මොර්නින්ග්' කියන්න අමතක කරන්නේ නෑ. එයාල විතරක් නෙවේ හයසීයක් හත්සීයක් වැඩ කරන අපි හැමෝම එක එක්කෙනා හරියට දන්නේ නැති උනොත් මූණට  හම්බ වුනොත් කවුරු උනත් සුබ පතන්න අමතක කරන්නේ නෑ .ඔහොම ගිහින්  ඔෆිස් එකේ  දොර අරිද්දීම දකින, පිරිසිදු කරන ඇන්ටිල උනත් හිනා වෙලා ගුඩ් මොර්නින්ග් කියද්දී,  ළඟ ඉන්න වැඩ කරන හැමෝම උදේම සුබ පතද්දී  දවස පටන් ගන්නෙම ගුඩ් මොර්නින්ග්  පනහක්  විතර කියල හිනාවෙලා  හිත පුරෝගෙන. මේ ලියන වෙලාවෙත් චැට් එකෙන් එනවා  GM  :D  කියල  මැසේජ් එකක් ... කොච්චර කිවත් මට ජෙනරල්  මැනේජර් (GM ) කියන්නෙපා කියන ඒ කෙටියෙන් ගුඩ් මෝර්නින්ග් කියන යාලුවට Good Morning  :D කියල දැනට මම නවතින්නම් ... 




ඔයාල හැමෝටම  සුබම සුභ උදෑසනක්  :)  

Saturday, February 9, 2019

ඉතින් එබැවින් නවතිමී... හදින් පිටමන් නොකරමී...

කවිය 

කවිය කිව්වම මතක් වෙන සිංදුව මොකක්ද ?

"කවිය ඔබ......
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ
කවිය ඔබ......."

මම හරි නේද  ? :)

හැබැයි කාලෙකට පස්සෙ මම අලුත් සිංදුවක් ගෙනාව. ඒකෙ නමත් 'කවිය' .......

හිතට දැනෙන වචන තියන ලස්සනයි කියන්න පුළුවන් සිංදුවක්. වචන ටික පහල කොටල යන්නම්. අමතක නොකර  සිංදුව අහන්න :) 

 බොහෝ පෙම් කවි ලියු පසුවද
සියුම් කැපුමක් මෙන් රැදී
නොලී කවියක් තිබිය නොහැකිද
හදේ යම් රිදුමක් දිදී
තියුණු රුදුසැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් මැවී
සිදිනු හැකිවෙද කෙලෙස කි කලෙක එවන් හද පාරන බැමී
ඉතින් එබැවින් නවතිමී
හදින් පිටමන් නොකරමී
ඉතින් එබැවින් නවතිමී
හදින් පිටමන් නොකරමී

නෙතින් ගිනිගත් හදින් දැවෙමින්
දරා ඉමිහිරි වේදනාවන්
පෙමින් සඟවා තබා ගන්නෙමි
නොලී ඒ ගීතිකාවන්
සදාකාලික තැවුල් පොදියක රැදී හද පෙලුවත් නිතී
ලියා අවසන් කවක් කෙලවර මැකී වියැකී යා නොදී
ඉතින් එබැවින් නවතිමී
හදින් පිටමන් නොකරමී
ඉතින් එබැවින් නවතිමී
හදින් පිටමන් නොකරමී

ඉතින් එබැවින් නවතිමී
හදින් පිටමන් නොකරමී
ඉතින් එබැවින් නවතිමී
හදින් පිටමන් නොකරමී

පද රචනය :සෞම්‍ය සඳරුවන් ලියනගේ