Thursday, December 25, 2014

වැස්ස වැස්ස

අද ගොරවන්නේ නම් නෑ ඒත් එලියෙ සූ ගාල  වහිනවා.  කලින් තිබ්බේ පොද වැස්සක්  එළියේ තිබ්බ හිස් සැමන්  ටින් එකට ටක් ටක් ටක් කියල වැටුන වතුර බින්දු දැන් අලුත් ම තාලයක් අල්ලල.හරියට වේග රිද්ම සංගීතයක් වගේ.වැස්සත්එක්ක එන සීතලට ටොමිය පාපිස්සෙ ගුලිවෙලා. හරියට දුඹුරුපාට පුළුන් ගුලියක් වගේ.අම්මලත් කලින්ම නිදාගෙන.මම විතරක් මේ මහ  රෑ  ඇහැරගෙන.... සීතලයි....සිනිදු කොට්ටයක් තුරුලුකරන් කකුල් දෙකම වැහෙන්න පොරෝනයක් පොරවාගෙන නිදාගන්න ආසයි. සීතල  නම් කියනව මට ගිහින්  නිදාගන්න කියල.ඒත් මේ නිහඬ රෑ  වැස්සට මං  ආසයි  ඒ නිසාම ටික වෙලාවක් ඉන්න හිතුන. 

මං  හෙමිහිට පොත් මේසෙ ගාව තිබ්බ ජනේලේ ඇරිය.අත  දිග ඇරල වැහි බින්දු  අල්ලන්න ආසයි.ඒත් අත දිග මදි .කිසිම දෙයක් නොපෙනෙන කට්ට කළුවරේ තොරතෝංචියක් නැතිව වැටෙන වැහි බිංදු  දිහා මම බලන් හිටිය  මේ වැහි බිංදු  කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර වෙනවද  කවුද දන්නෙ.
හරි පුදුමයි ...
මට වැඩි වෙලා ජනේලෙ ඇරගෙන ඉන්න ඉඩ දුන්නේ නෑ .කොහේදෝ ඉඳල ආපු හීතල හුළඟක් මාව බදාගත්තා .මුළු ඇඟම සීතලෙන්  හිරිවැටිලා ගියා .තව හිටියොත් නම් හචිමක් දෙකක් අරින්න තමයි.මං ජනේලෙ වහල  දුවල ගිහින් ඇඳට පැනල ගුලි උනා.

වැස්ස වැස්ස ... 

වැස්ස හරි ලස්සනයි නේද බිංදු  බිංදු  පොද වැසි වැටෙද්දි  එලියට පැනල නටපු කාලයකුත් තිබ්බ .තාමත් එහෙමයි ...පරණ  කඩදාසි  වලින් බෝට්ටු  හදල අය්යත් එක්ක පා කරපු කාලයකුත් තිබ්බ හැබැයි ඒ කාලෙ නම් දැන් ඉවරයි. දැන් ඉතිං මා  එක්ක කඩදාසි බෝට්ටු පාකරන්න  අය්ය  එන්නේ නෑනෙ.

හයියෙන් පායන දවසට හිතෙනවා අනේ වැස්ස තිබ්බනම් කියල  වැස්ස වැඩි දවසට හිතෙනවා   අනේ පෑව්ව නම් කියල.  අපි මේ හිතන  දේවල් වැස්සට දැනුනොත් වැස්සටත් පිස්සු හැදෙයි  නේද. ඒ විදිහටම සමහර මිනිස්සු වැස්සට බනින විදිහ ඇහුනොත් වැස්ස කවදාවත්ම එන්නේ නැතිවෙයි .මම නම් අව්වටත් වැඩිය වැස්සට ආසයි.හැබැයි වැස්ස දවස් වලට එලියට බහින්න නම් කැමති නෑ .මෙහෙම කියද්දී මට මතක් වෙනවා චූටි  කාලේ වැස්සට පෙඟිලා  දිය කාවෙක් වගේ ගෙදර එන දවස්.තෙමිච්ච ඉස්කෝලේ බෑග් එකත් උස්සගෙන බස් වලට නගිද්දී   ඉතින් ලේසියෙන් කවුරුත් බෑග් එකක් නම් ගන්නේ නෑනෙ. මතකයි නේද එහෙම දවස් ...  ඒ මදිවට පොඩ්ඩක් හරි තෙමිච්ච කුඩේ ළඟ ඉන්න කෙනාගේ ඇඟේ  ගෑවුනොත් බලන එරවිල්ල කොහොමද .. :D  මොර සූරන  සීතල වැස්සෙත්  රත්වෙලා යන එරවිල්ලක්  .ඔය අතරේ හොඳ අයත් ඉන්නවා. වතුර  බේරෙන අපේ කුඩෙත්  අරන් තියාගන්න අය.ඔය ඔක්කොම කමක් නෑ කියමුකෝ වැස්සට පෙඟිච්ච  සපත්තු මතක් වෙද්දී දැනෙන අප්පිරියාව .වතුර වලට පෙන්ගිච්ච මේස්, කකුලේ ඇලිල, ඇවිදින කොට චිරි චිරි ගාල වතුර පනිද්දී දැනෙන  අප්පිරියාව .ගෙදර දුවල සපත්තු ගලවන්නේ කොයි වෙලේද  කියල ඉවසිල්ලක් නැතිව ඉන්නේ. මතකද එහෙම කාලයක් තිබ්බ කියල...තියෙන්නෙත් එකම  එක සපත්තු ජෝඩුවක් නම් ඉතින් ආයේ  ඒක පහුවෙනිදා දන්නේ හරිම අකමැත්තෙන්.වේලිලා නැත්නම් ඉතින් ෂොපින් බෑග්  පිහිට තමයි .තෙත නිසා ෂොපින් බෑග් එකක් බස්සල තමයි කකුල දාගන්නේ :D  ...අහ්හ්  තව එකක්.. මේ කරදරේ නම් කන්නාඩි දාන අයට වැස්ස දවසක එළියේ ඉඳන් බස් එකකට වගේ ගොඩවෙද්දී එකපාරටම කන්නාඩිය මීදුමෙන් පිරිලා යනවා. එතකොට ඉතින් අන්ධයෙක්  වගේ තමයි මෙලෝ දෙයක් පේන්නෙ  නෑ. ඉක්මනට ගලවල පිහින්න  ඕන. නැත්නම් ඉතින් ටික වෙලාවක් ඔහේ ඉන්න ඕන මීදුම් පටලේ  නැතිවෙනකන්


 වැස්ස... වැස්ස  ...

වැස්සත් එක්ක හිත අතීතෙට ගිය  මම වගේ තව කීදෙනෙක්ගේ හිත මේ වෙලාවේ  වැස්ස එක්ක අතීතයට  යනවා ඇත්ද ....  සමහර අයගේ මතක සුන්දර ඇති සමහර අයගේ මතක ගොඩක් දුක්බර ඇති .හ්ම්ම් .. මේදේවල් හිත හිත ඇඳේ ගුලිවෙලා ඉන්නකොට කරන්න හිතෙන එකම දේ සින්දු අහන එක   ....හැමදාම වගේ තමයි මගේ සතුට  වැස්ස,හුදකලාව,සිංදු  එක්ක එකට ගුලිවෙනව .මගේ හිතිවිලි මල්ල අතීත මතක මල්ල මේ ඔක්කොම   අවුස්සන්නේ ඒ ගොල්ලෝ තමයි.

මේ එක නෙමෙයි දන්නවද වැඩක් ... 

කෙනෙක් එක දවසක්  සුළඟට කතා කරලා කිව්වලු වැහි වලාවට කියන්න කියල ,අද එන්න එපා කියල  අද ආවොත් එයාට එයාගෙ කෙල්ලව හරියට  බලන්න වෙන්නේ නැලු   කවුද අප්පේ  මෙහෙම කියන්නේ ... අහලම බලන්නකො 

හිත මිතුරු සුළඟ  ළඟ එන වැහි වලාවට කියන් 
අද නොපැමිණ  අන් දිනයක වැසි රැගෙන එන ලෙසින් 
දිගු කලකින් ඈ මුණ ගැසේවි හසඟනක්  ලෙසින් 
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි  සැනින් 


මේ  වැස්සේ  සීතලත් එක්ක  හිත නතර වෙන තවත් සින්දුවක් කියන්න බලන්න 

මේ සින්දුව ද හිතුවේ..... 

මුතුකුඩ ඉහලන මල්  වරුසාවේ 
උඩ ඉගිලෙන විට වැහිලේනි 
එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ 
දෑස  ගියා  ඉගිලී 

මොන හේතුවක්ද මම දන්නේ නෑ  මේ සින්දුව අහද්දී  මාවත් දන්නේ නැති අතීතයක මම ගිහින් නතර වෙලා හිත රිදුම් දෙනවා සින්දුව ඒ තරමටම සංවේදී ..


ආදරයි වැස්සයි බද්ධ වෙලා තියන  විදිහ හරි අපූරුයි නේද ..ගොඩක් සින්දු වලට වැස්සත් එක්ක ආදරය ගෑවිලා  හැබැයි සමහර ආදර කතා වැස්සත් එක්ක හේදිලා  ගිහින් සමහර ඒවා  වැස්සත් එක්ක හිතේ පෙඟිලා රිදුම් දෙනවා 

මේ ඒ වගේ සින්දුවක් 

පෙරදා මහා රෑ 
මා සිහිලැල් උර මඬලේ 
මුහුණ හොවාගෙන 
ළසොවින් වැළපුන
ඔබේ විඩාපත් නෙතින් ගලාගිය
කඳුලක කැළලක් ඉතිරිවෙලා 

මෙහෙම එක්කෙනෙක් කියද්දී තවත් කෙනෙක් මෙහෙම කියනවා 

මහවරුසාවට පසුව පෙනෙන හඬ 
වෙනදාටත් වැඩියෙන් එළියයි 
නොක්කඩුවට පසුව ඔබේ වත
 ඒ එලියට වැඩියෙන් එළියයි 


වැසි ගණනාවක් පහුකරලා මතක ගණනාවක් පහුකරලා ජීවිතේ ගෙවෙද්දී  සමහර අය ජීවිතේ සැන්දෑ සමයේදී මෙහෙම කියනව  

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා 
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත 
කබාය ඉරිලා ඊට කමක් නැහැ
 කවුරු බලන්නද කවුරු දකින්නද 
මා දැන් මහළු වියේ// 


වැස්සත් එක්ක මේසිංදු  අහද්දී හිතට අමුතුම හැඟීමක්  දැනෙනවා .එහෙම සින්දු අහල ඇති අයට  ඒ හැඟීම දැනෙනවා ඇති .. 

වැස්ස නම්   දැන් පායලා පාන්දර වෙන්නත් ළඟයි  ....වැහි වතුරින් පිරිච්ච සැමන් ටින් එක  දැන් ආයෙත් හෙමින් සද්ද  නගනවා.ඒක  වෙනමම සද්දයක් .. එක මං  මෙච්චර වෙලා ඇහුව තාල, සින්දු, ගීත නෙමේ.ඒක  සොබාදහමේ තාලය නැත්නම්  වැස්සේ ගීතය ... හුළඟට වැනෙන කොළ ඒ වැස්සේ ගීතෙට අත්වැල  සපයනවා එහාට මෙහාට පනින වැහි බින්දු තවත් සද්ද නගල  එකට අමුතුම රසයක් දෙනවා  හරියට  එක එක රිද්මෙන්  අත්පුඩි ගහනවා වගේ .දැන් වැහි ගීතයට සවන්දීගෙනම ඇහිපියාගන්න  වෙලාව ඇවිත්. හිත පිරිච්ච හැඟීම් ගොඩකුත් තුරුලු  කරන මම නිදාගන්න හැදුව.

හිත මිතුරු සුළඟේ  මට තවම හමුවෙන්න කිසිවෙක් නෑ ඒ නිසා මට හෙටත් වැහි ගීතය අහන්න ඕන ..හෙටත් වැස්සට එන්න කියනවද ..  කියන්න  මම වැස්සට ආසයි  කියල ...හැබැයි ඇවිත් ආදරෙන් යන්න කියන්න .චණ්ඩ වෙලා, මිනිස්සුන්ගේ ඇහැට වැහි කඳුළු උනන්නේ නැතිවෙන්න  දුක් කඳුළු සේදෙන වැස්සක් අරගෙන හෙටත් එන්න කියන්න  හෙටත් වැස්ස එනකන් මම බලාන ඉන්නවා  .. 

වැස්ස.... වැස්ස .. 




......................................................................................
මෙන්න මම කිව්ව සින්දු ටික  :)

හිත මිතුරු සුළඟ -වික්ටර් රත්නායක
මුතුකුඩ ඉහලන -රෝහණ  වීරසිංහ
පෙරදා  මහා රෑ -නන්දා  මාලනී
මහ වැස්සක-පණ්ඩිත් අමරදේව

Friday, December 12, 2014

සුදු වෑන්

අක්කල අය්යලට මහපොළ 
මට කුඩාපොලක් වත් නෑ 
මාමල නැන්දලාට රත්තරං 
මට තම්බක්ක වත් නෑ 

එතනින් ඉවර නෑ 

අම්මට අලුත් DVD  player  එකක් 
ළඟ ළඟ නත්තලට 
අය්යට මල් මන්දිරෙන් කෑමක් 

එතකොට මට විතරද මෙහෙම  -_-


බ්ලොගේ  හංසයයි  කියල 

මං හංසයෙක් කිව්වේ මොකාද ? ? ? 
හැමෝටම  තෑගි 

මට විතරක් .... සුදු වෑන්  :'(


ජාත්‍යන්තර කුමන්ත්‍රණ  මේව  ජාත්‍යන්තර කුමන්ත්‍රණ  :( 





Thursday, December 4, 2014

දුක දැනුන දවසක්

ඊයෙත් අදත් පෙරේදාත් 
වාට්ටුව කෙලවර 
නුඹව නොදුටුවා නොවෙයි නංගියේ 

හැමදාම ගොඩවදින පිලිකා රෝහලේ 
හිසට අතගසා සුසුම් හෙල  හෙලා 
අත වනන මරණය දෙස බලා  හුන් 
දස දහස් ලෙඩුන් අතරේ 
නුඹව පෙනුනේ 
නුඹේ ඔය පියකරු වත  නිසාම වෙන්ටැති

සිනහව හොරු ගෙනිච්ච ඔය  මුණුනේ 
විඩාබර  පුංචි ඇස් දෙක
අතොරක් නැතිව බයිබලය පුරා දිවෙද්දී 
අනේ පව් කියවුනේ  නොදැනීමයි 

නුඹට නිනව්වක් නැත 
ගෙවෙන උදයක් දහවල රැයක් 
නුඹට නිනව්වක් නැත 
පසුකරන ලෙඩුන් මිනිසුන් වෙදදුරන් 
නුඹට නිනව්වක් නැත 
සිහින් තොල් මතුරමින් 
තත්පරයක් තත්පරයක් පාසා නුඹ යදින්නේ 
පණ අදින ජීවිතයකටයි 
කා  වෙනුවෙන්ද ?
නුඹේ ඔය යාච්ඤා 
කා  වෙනුවෙන්ද  ?

දයාබර නංගියේ 
ඊයෙ වගේමයි 
නුඹ අදත් එතැනමයි 
අද උදෙත් නුඹ 
දෙවියන් සමගමයි 

 ඒත්  ..............


.
.
.



උදේ  ඒ දුටු  පියකරු වත  
ගිනිගහන රුදුරු මද්දහනෙ   
මෙච්චර ඉක්මනට පරවුනේ ඇයි 
දෙවියනේ ....ඇයි  මෙතරම් දුකක්  

 මට තාමත් ඇහෙන්නේ මේ වචන විතරමයි 

"අනේ මගෙ  තාත්තව ගෙනත් දෙන්න "
"අනේ මට මගෙ  තාත්තව ගෙනත් දෙන්න "

නංගියේ 
මම නුඹේ සොහොයුරිය  නොවෙයි 
නෑයෙක්  වත් නෙවෙයි 

ඒත් .....

හිත තාමත් රිදෙනවා 
 දුක තාමත්දැනෙනවා  

අද හවස වාට්ටුවේ කෙලවර හිස් 
නුඹ නෑ ..
උදේ හවා යාච්ඤා කල නුඹ නෑ 
නුඹ ගිහිං ...
නුඹේ පියත් ගිහිං

නුඹ ගිහිං  
පාළු මූසල වාට්ටුවේ 
නුඹ කියවූ බයිබලය විතරක් ඉතිරි කර 
නුඹ ගිහිං ....



හිතට ගොඩක් දුක දැනුන දවසක් ..තාල ගැලපුම් හිතට එන්නෙ නෑ .හිතට නැගුන දුක මෙහෙම ලියල දැම්ම ... මට දුකයි මගේ කවුරුත් නොවන ඒ නංගි  ගැන ගොඩක්  දුකයි...
ඒ අඬපු සද්දෙ තාමත් හිතේ දෝංකාර දෙනව. :(