Friday, October 30, 2015

සුරංගනී

ගමේ බස් එක ජම්බුගස් මුල්ලෙන්  හැරිලා පන්සල පහුවෙනවත් එක්කම  මට මතක් වෙන්නෙ  එකම  එක්කෙනෙක්.ජම්බුගස්මුල්ල  හංදිය හැරෙන තැනම  වෙලත් එක්ක තියන පුංචි පාරෙ ඇතුලට ගියාම මොනවද තියෙන්නෙ කවුද ජීවත්වෙන්නෙ කියල කියන්න මම හරියටම දන්නේ නැහැ හැබැයි ඒ හරියේ අවට මලගෙයක් වෙන දවස් වලට මුළු පාරම සුදු කොඩිවලින් සරසන නිසා මම දන්නව ඒ පාරෙ කෙලවර කොහෙම හරි කනත්තක් ඇති කියල.අදත් බස් එක වංගුව හරවනකොටම මම දැක්ක ඈත තියාම හුළඟට හෙලවෙන සුදු කොඩි .එහාට මෙහාට හෙලවෙන තීරු තීරු සුදු කොඩි අතරින් මගේ මතකෙ දුවල ගියේ මිට අවුරුදු දහයකට විතර ඈතට.ඒ දන්න කියන කෙනෙක් වෙනුවෙන් මේ පාරේම මේ විදිහටම සුදු කොඩි සැරසිල තිබ්බ දවසකට.ඒ  සුරංගනී ගෙ තාත්ත ගෙ මළගෙදර දවස.

ඒ කාලේ අපි හතර වසරෙ. පන්තිය පුරාම එහෙ මෙහෙ දුව දුව සෙල්ලම් කර කර  හිටිය දවසක අපි ඔක්කොමාලව එකතු කරන් අම්මලත් එක්ක අපිව එක්කන් ගියේ සුරංගනීලගෙ ගෙදර.හැමදාම මේ බස් එකේ ගියත් එදා තමා දැනගත්තෙ සුරංගනී හිටියෙ ජම්බුගස්මුල්ලේ පන්සලගාව ඇතුලට තියන පාරේ කියල.මළගෙදර ගියාම තමා අපිට දැනගන්න හම්බඋනේසුරංගනීලගෙ තාත්ත නැතිවෙලා කියල.නැතිවෙලා තියෙන්නෙ මල් පොහොර වගයක් කාල.ඒ කාලේ ඇහිච්ච බර චනයකින් කිව්වොත් සියදිවි හානි කරගැනීමක්.මල ගෙදර දවසෙ සුරංගනීලගේ අම්ම පැත්තකට වෙලා සුරංගනීලගෙ තාත්තගේ  මිනිය දිහා ඔහේ බලන් හිටිය විදිහත් කෙලවරේම පුටුවක ඉඳගෙන සුරංගනී අඬ අඬ හිටිය විදිහත් මට තාම මතකයි.මල ගෙදර දවසේ තැන් තැන්වල මිනිස්සුන්ගෙ කසු කුසු කනට ලාවට ඇහුනත්  සුරංගනී  තමා පස්සෙ අපිට කිව්වෙ තාත්ත නැති උනේ  අම්ම එක්ක උන රණ්ඩුවක් නිසා කියල.අහන්න ලැබුන විදිහට නම් සුරංගනීලගෙ අම්මට තිබ්බ අනියම් සම්බන්දයක් ආරංචිවෙලා වෙච්ච රණ්ඩුවක් දුරදිග යාමක්.අන්තිමේ තාත්ත සියදිවි නසාගෙන. සුරංගනී පුංචි කාලෙම එයාගෙ  තාත්තගෙ උණුහුම් අරන් ගිහින්.

මම කිව්වේ නෑනෙ සුරංගනී ගැන .ඒ කාලෙ නම් අපි එච්චර සුරංගනීට කැමති නැහැ .මුණ රවුම් රැලි රැලි කොණ්ඩයක් තියන ඔලුව උඩින් තනි ලොකු පොල් මලක්  ගැට ගහගෙන එන සුරංගනී හරි කට සැර කටකාර කෙල්ලෙක් .අපේ වචනවලින් කිව්වොත් රණ්ඩු කෙක්කක්.කට්ටි කට්ටි රංචු ගැහිලා හදාගෙන ඉන්න යාලුවන්ගේ එකතුවේ සුරංගනී  හිටියේ නැතත් පන්තියේ එකට ඉන්න වෙලාවට අපි ඔක්කොම එකට. කතා පෙට්ටි ගොඩයි දන්නවනේ ඉතින් පොඩි පහේ ගෑනු ළමයි එකතු උනාම කියවන කියවිල්ල :)

හැමෝම එක්ක කිව්වේ නැතත් අපි එක්ක සුරංගනී එයාගේ විස්තර කිව්ව..සුරංගනී තාත්තට හරි ආදරෙයි. සුරංගනී කියන විදිහට නම්  අම්ම එයාට ආදරේ නෑලු.මළගේ දවසේ  ආච්චි කිව්වලු  අම්ම තාත්තව මරා ගත්ත කියල.පස්සෙ ආරංචි උනා මළගෙදර ඉවරවෙලා මාසයක් යන්න කලින්ම සුරංගනී ගේ අම්ම වෙන කසාදයක් කරගත්ත කියල.ඒ කාලේ සමහර දවස් වල අම්ම ගාවත් ගොඩක් දවස් වල පුංචි එක්කත් සුරංගනී හිටිය කියල අපිට ආරංචි උනා .ඒ කාලේ මට මතක හැටියට  හයවසරේ මුල සුරංගනී එන්න එන්නම කටකාර හිතුවක්කාර ළමයෙක් උනා රණ්ඩු කෙක්කක් නිසාම වගේම  පිළිවෙලට ඇඳගෙන ආවේ නැති අපිරිසිදු ළමයෙක් නිසාම  කොයි කවුරුත් එයාට  වැඩිය කැමති උනේ නැහැ.මට මතකයි දවසක යාලුවෙක්ගෙ පැන්සල් පෙට්ටියේ පාට කූරු  නැතිවෙලා තියෙද්දිත් සැක කලේ සුරංගනිව.කොල්ලො සුරංගනිව අවුස්සන්න ඕන උනාම හෙන හයියෙන් කෑ ගහනවා "සුරාංගනී සුරාංගනී ...සුරාංගනී ට මාළු ගේනවා .." ඔහෝම කෑ ගහල සුරංගනී ගෙන් ගුටි කකා පංතිය වටේම දිව්ව හැටි තාම මතකයි .ඔය කාලේ වගේ තමා  ඒ කියන්නේ හයවසරේ මුල තමා සුරංගනීගේ අම්මට දෙවෙනි කසාදෙන් දරුවෙක් ලැබෙන්න හිටියෙ.ඒ අපේ ළමයින්ගෙන් කවුරුහරි සුරංගනී ගේ  අම්මව දැකල එයාගෙන් අහපු වෙලේ.එදා තමා සුරංගනී කිව්වේ එයා එයාගෙ අම්මට පොඩ්ඩක් වත් කැමති නැහැ කියල.ඒ දවසක් සුරංගනී ඉස්සරහම අම්ම කිව්වලු "මේකි වගේ කෙල්ලෙක් හම්බුනොත්  මම කොහේ හරි දාල එනවා  කොල්ලෙක් හම්බුනොත් විතරක්  හදා ගන්නව කියල " ඒ වචන කොච්චර සරද කියල මට හිතුන අපි හැමෝගෙම හිත් එදා තෙත් උනා. එදා තමා  මම දෙවෙනි පාරට සුරංගනී ගේ ඇස්වල කඳුළු දැක්ක දවස.කොච්චර අකමැති උනත් මට එදා සුරංගනී ගැන ගොඩක් දුක හිතුන .හොඳම යාළුවො නොවුනත් සුරංගනී දකිද්දී හරි පව් කියල හිතුන.හය වසර පොඩි ළමයෙක් අම්ම තාත්ත නැතිව මේ වගේ කතා අහගෙන කොහොම ඉන්නවා ඇතිද කියල හිතුන .ඇත්තටම එයා පව්  ඒ සිදුවීමෙන් පස්සේ සුරංගනීගෙ අම්ම දකින කිසිම දවසක මම හිනා උනේ නැහැ තරහෙන් ඔරවල අහක බැලුව මන්ද මටත් තිබ්බේ තරහක් ..

ලොකු ලොකු පන්තිවලට යද්දී අපේ පන්ති කැඩුව යාළුවො වෙන වෙන පන්තිවලට වැටුන .මම වැටුනේ B පන්තියට සුරංගනී හිටියෙ E පන්තියේ .කටකාර  නපුරු ළමයෙක් වෙච්ච සුරංගනීගෙ හැකියාවන් දැක්කෙ අපි ඒ කාලෙ ඒ අපිට හිටිය සංගීත ටීචට පිංසිද්ද වෙන්න.සුරංගනිගේ කටහඬ එලියට ආව.හැමෝම දැනගත්ත මේ කටකාර නපුරු රණ්ඩු කෙක්කට ලස්සනට සින්දු කියන්න පුළුවන් කියල.එදා ඉඳල ඉස්කෝලෙ උත්සව වලදී  කලාප පළාත් තරඟ වගේම පාසල් ගීතෙටත් සුරංගනී ගේ  කටහඬ එකතු උනා .අතිමට සුරංගනී  අපි වගේම ශිෂ්‍ය නායිකාවකුත් උනා.

සුරංගනී ගැන මට තියන මතකේ  ගලාගෙන ගලාගෙන ගිහින් අන්තිමට නතර වෙන්නේ දහය වසරේදී  ඒ එයාගේ සමරු පොත ගාවින්.දවසක මටත් එයාගෙ සමරු පොතේ ලියන්න දුන්න.එයාගේ සමරු පොත පුරාම පාට පාට පෑන් වලින්  මල් ඇඳලා තිබ්බ ලස්සන දිලිසෙන ස්ටිකර් අලවල තිබ්බෙ.මුල්ම පිටුවේ තිබ්බේ එයා  ගැන විස්තරයක්.එයා කැමතිම පාට කැමතිම පලතුර  ...මුල ඉඳන් අගටම මම ඒක කියෙව්වා  එකම එක තැනකදී  මගේ හිත නැවතුන.ඒ එයාගේ අනාගත බලාපොරොත්තුව ගාවදි ...එයාගෙ අනාගත බලාපොරොත්තුවට ලියල තිබ්බේ 'මම කවද හරි වෛද්‍යවරියක් වෙනවා' කියල.ඒ බලාපොරොත්තුව ගොඩක් ඈතයි නේද කියල මට හිතුන.මට මතක නැහැ මම එයාගෙ සමරු පොතේ  මොනවද ලිව්වේ කියල .හැබැයි එයාගේ අනාගත බලාපොරොත්තුව මගේ හිතේ තදින්ම කාවැදිලා තිබ්බ.

සාමාන්‍ය පෙලෙන් පස්සේ මම සුරංගනීව අදවෙනකන් දැක්කේ නැහැ සමහර අය  කිව්වා  එයා විභාගෙ  අසමත් උනා කියල.තව සමහරු කිව්වා එයා බැඳලා  පැනල ගිහින් කියල.ආයෙම ආරංචි උනා ගාමන්ට් එක පාරේ වැඩට යනවා දැක්ක කියල.මේ මොනවා ඇහුනත් ඒවා ඇත්තද නැත්තද  කියල මම තාම දන්නේ නැහැ .සමහර දවස් වල බස් එකේ යද්දී ජම්බුගස්මුල්ලෙන් හරවද්දී සුරංගනිව මතක් වෙනවා.වෙලා පාරේ සුදු කොඩි දකිද්දී පොඩි කාලේ මම ගිය මල ගෙදර මතක් වෙනවා  මේ ඔක්කොම එක්ක හිත අතීතයට යද්දී එයා ගැන ලොකු දුකක් දැනෙනවා සමහරවිට සුරංගනී ගේ තාත්ත අද හිටියනම් එයා අද  වෛද්‍යවරියක් වෙන්න තිබුන.ගොඩක් දක්ෂ ළමයෙක් වෙන්න තිබ්බ .ජිවිතේ හරි පුදුමයි හරිම පුදුමාකාරයි කියල හිතනවා අද හෙට  අපිට මොනවා වෙයිද 

...අපිවත් දන්නේ නැහැ .......



පලි . උන විකාරෙන් ගෙදර ඉන්න වෙලාවක , කැම්පස් එකේ project එකේ හිරවෙලා වැඩ ගොඩගැහිලා ඉන්න වෙලාවක ,පොරොන්දු වෙච්ච බ්ලොග් පොස්ටුවකුත් ලියන එක කල් දාල මට මේ කතාවම ලියන්න හිතුනේ ඇයිද කියල මම දන්නේ නැහැ...අදටත් ජිවත් වෙන චරිතයක් නිසා නම ගම වෙනස් කලා.අන්තිමට මගේ ජීවිතේට මුණ ගැහුන මතකේ රැඳිච්ච තවත් එක චරිතයක් අකුරු වලට හැරෙව්වා .......

Friday, October 2, 2015

අහන් ඉන්න අහගෙන ඉන්න -3 (අවසාන කොටස)

පළමු කොටස

දෙවන කොටස

....................................

වෙලාව පහයි දහයයි .වෙනදට හැමදාම දුම්රිය කාලසටහන හතර පස්වතාවක් බලල ටිකට් එකක් ගන්නකන් ඉස්පාසුවක් නැතුව ඉන්න මම අද ටිකට් ගන්න තැනට ගියේ ඔහේ යන්නම් වාලේ.පඩිපෙළ නැගගෙන ගියේත් ඊයේ වෙච්ච සිද්ධි මතක් කර කර. හිතට මහ බර ගතියක් දැනුන  වතුර පුරෝගෙන  පිපිරෙන්න ඔන්න මෙන්න හදන වැහි වලාකුලක් වගේ. ඇත්තටම මට පිස්සු  මම මොකටද ඔය කොල්ල ගැන ඔච්චර  වද වෙන්නේ.අනෙක මගේ කවුරුවත් නෙවේනෙ.හ්ම්ම් ..මේ ප්‍රශ්න කොතනින් කොහොම නතරවෙයිද දන්නේ නෑ .මෙච්චර හිතන්න ප්‍රශ්න තියෙද්දී අහක යන එකෙක්ගේ  කුණු කන්දල් ඔලුවේ දාගෙන මමත් මොකක් කරන්න හදනවද මටම තේරෙන්නේ නැහැ. මේ මනුස්සය මොනවා හරි කරගත්තොත් මට ප්‍රශ්නයක් වෙයිද ? හදිසියේ හරි අද නාවොත්..එතකොට ? දැනටමත් මොනවා කරගෙනද මන්ද ..අනේ ඕන මගුලක් වෙච්චාවෙ.  මම මේ ෆෝන් එක කුණු කූඩෙකට විසිකරලා බස් එකේ යනවා.ඒත්.... බෑ කවුරුහරි මනුස්සයෙක් ඕක දැක්කොත් ආයෙම නැති ප්‍රශ්න ... කමක් නැහැ ඕන දෙයක් බලමු අද මෙයා එයිනෙ ෆෝන් එක දීල මම එහෙම්මම පහයි හතළිහේ කෝච්ච්යේ යනවා.

මම දහවෙනි වේදිකාවේ  පටන් ගන්න තැනක තිබ්බ  බංකුවක ඉඳගත්ත.කෝච්චිය මේ හරියට එන්නේ නැති නිසා වෙනද ඉඳගන්නෙ වත්නැති තැනින් තැන ගැලවුන ස්පන්ජි  තියන අපිරිසිදු බැංකුවක ඉඳගෙන ඉන්නෙ  අඳුරන්නේ වත් නැති, එයිද කියලවත් විශ්වාස නැති කොල්ලෙක් එනකන්  මග බලාගෙන.හූ සද්දෙත් දාගෙනම පහයි දහය කෝච්චිය යන්න ලෑස්ති වෙලා.මම ඒ දිහා ආයෙම බලන්නේ නැතිවම එයාට මැසේජ් එකක් යැව්ව.

අය්යෙ  ඔයා  පහයි විස්සට එන්න කීයට හරි එනකන් මම ෆෝන් එක තියාගෙන ඉන්නවා.  ඇවිත් අරන් යන්න 

වචන සැර වැඩිද මන්ද හ්ම්ම් ..කමක් නැහැ මේ විදිහට ලිව්වේ නැතිනම් ඔය මනුස්සය එනව ෂුවර්  නැහැ.බලද්දී ආදරේ කරන එකත් මහ විඳවීමක්.බැඳීම් කියන්නෙ හිත් රිදෙන දෙයක්.කොච්චර තනිකම පාළුව දැනුනත් මෙහෙම තනියම ඉන්න එක හොඳයි කියල දැනෙන්නේ මේ වෙලාවට තමයි. හ්ම්ම් පහයි විසිපහයි මේ මනුස්සය එනපාටක් නැතිද ? වහින්නත් ලඟයි.මූසල විදිහට අහසත් කලුකරගෙන.පහයි හතලිහට පස්සේ ආයෙම කෝච්චිය හයහමාරට පරක්කු උනොත් අදත් රෑ වෙනවා.තාම මැසේජ් එකක් නම් නැහැ.හ්ම්ම් ... කිසිම දෙයක් නැති හිස් ෆෝන් එකේ එකම එක මෙමෝ සටහන විතරක් මම ආයෙම ආයෙම කියවන්න ගත්ත "අවසානයට පෙර ඈ ගියා " මම ඒ දිහා බලාගෙනම ඉඳිද්දී මගේ කකුල් දෙක ගාව ඇලඩින් සපත්තු දෙකක් නැවතුන. හම්මේ  ඇති යාන්තම්  අන්තිමේදී ඇවිත් ...

ගොඩක් වෙලාද ඇවිත් ...

මිනිත්තු කීපයක් තිබ්බ නිහඬ බව මකන්න එයා කතා කලා

නැහැ දැන් පොඩ්ඩකට කලින් ආවේ 

කොයි කෝච්චියේද යන්නේ 

ඊළඟ කෝච්චියේ යනවා පහයි හතලිහට විතර එකක් තියනවනේ ....

එයා ලොකු හුස්මක් පිට කරලා මා ගාවින් ඉඳගත්ත.ජීවිතේ කවදාවත්ම දැකපු නැති කනස්සලු මූණක් මම එයාගෙන් දැක්ක කඳුළුවලට තුවාලවෙලා රතුඋන ඇස්.ඇකිලිච්ච මූණටම හරියන්න නළල් පුරාම වැටිච්ච අකීකරු කෙස් , කහට ගැහිච්ච සුදු කමිසෙ මේ හැමදෙයක්ම වචනයෙන් පිට නොකරන ඒ හැංගිච්ච කතාව නිහඬවම කියන්න ගත්ත.

කියන්නේ මොනාද හිතාගන්න බැහැ ඒත්  ආයෙමත් නිහැඬියාවක් පටන් ගන්න කලින් මම අතේ තිබ්බ ෆෝන් එක එයාට දුන්න.
මෙමෝ සටහන එහෙම්මම තියෙද්දී තමා ෆෝන් එක දුන්නේ .

අය්යගේ  කතාව මට කියන්න මට අහගෙන ඉන්න පුළුවන්.

 ඒ ඇස්  දිහා  එක එල්ලේම බලාගෙන මම ඇහැව්වා.ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහාටත් මන් දිහාත් යොමුවෙච්ච එයාගෙ ඇස් ආයෙම එකිනෙකට යා නොවෙන රේල්පාර දිහාට යොමු උනා.

වැඩක් නැහැ නංගි ඔයාට කියල තේරුමක් නැහැ.කිව්වත් එයා ආයෙම එන්නෙ  නැහැනෙ.      පිපිරෙන්න යන ඔලුව බදාගන්නවා වගේ එයා මුළු අත්දෙකෙන්ම ඔලුව බදාගත්තා හිස නැමිලා ඇඟිලිතුඩු කැරලි ගැහිච්ච කෙස් වටා  ගිහින් කෙස් තදින් අල්ල ගත්ත හරියට වේදනාව දරාගන්න බැරිව ඇඟිලිවලින් කොන්ඩෙ උගුල්ලන්න හදනවා වගේ.ඒ අත් ආයෙම මුහුණ වහගත්ත.අත් අතරින් පැනගත්ත කඳුළු බිඳුවක්  එයාගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එක උඩට වැටුන. 

මම තවත් අසරණ උනා.නිහඬවම එයාට එයාගේ කඳුළු හංග ගන්න ඉඩ ඇරලා එයාගේ කතාවට ඇහුම්කන් දුන්න.

"නංගි මේ ලෝකේ අවාසනාවන්ත කියල ලේබල් එකක් උපතින්ම හුස්මත් එක්ක අරන් එන මිනිස්සු ඉන්නවනම් ඒ මිනිස්සුන්ගෙ තවත් එක්කෙනෙක් මම.වාසනාවන්ත විදිහට හොඳින් ගෙවන්න තිබ්බ ජීවිතේ පොඩි කාලෙම තාත්ත නිසා නැති උනා.මගේ අම්ම හොඳ වැදගත් පවුලකින් ආපු කෙනෙක්.එත් තාත්ත බේබද්දෙක් මොකක්දෝ පුරුවේ කරුමෙකට අම්ම තාත්තට රැවටිලා.හොඳට හොඳ පවුලක ජීවිත් උන අම්මට අන්තිමට ලගින්න උනේ මුඩුක්කුවක් වගේ ගෙදරක.මට තාත්ත කියන්න ලැජ්ජයි ඒත් ඒ මගේ තාත්ත. කනමදය වගේ බීල  එනව මදිවට අම්මට මාව හම්බෙන්න ඉඳිද්දීත් ගෑනු හතරක් පහක් ඉඳල හිටපු තාත්තෙක් තමා මට හිටියේ.හැමදාම බීල ඇවිත් තිරිසනෙක් වගේ බඩුමුට්ටු පොලවේ ගහල අම්මට ගැහුව හැටි මට තාම මතකයි.අම්ම ඒ හැමදේම ඉවසුව.ජීවිතේ ආපස්සට හරවන්න බැරි හින්දම කරුමේ විඳවන්න වෙන්නෙත් එයාටම  කියල හිතෙන්නැති.අම්ම මරුනේ මම හතවසරේදී.  කීවේනම් හදවත් රෝගයක් කියල.ඒත් මට හැමවෙලේම හිතෙන්නේ තාත්ත අම්මව මගෙන් උදුරාගත්ත කියල.

 මගේ ජිවිතේ කාලකන්නි වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ  අම්ම මැරිලා තුන් මාසේ දානෙ  දෙන්න කලින්ම තාත්ත තව ගෑනියෙක් ගෙන්න ගත්ත මං හිතන්නේ ඒ ගෑනි ආවේ බලෙන්ම නිකන් නෙවේ  අවුරුදු 12 කෙල්ලෙකුත් අරන්.තේරුණ විදිහට  ඒ ගෑනි තාත්තව බය කරගෙන හිටියේ .සල්ලි වලට ඕනෑම දහජරාවක් කරන ගෑනියෙක්.

එතනින් එහාට මගේ ජිවිතේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉස්කෝලේ යන එක එතනම නැවතුනා. අනාථයෙක් වගේ ඔහේ පාරේ තොටේ යාළුවො කල්ලි කල්ලි සෙට් වෙලා බිව ගංජා  ගැහුවා නාහෙට අහන්නේ නැති කොල්ලෙක් උනා.හැමදාම හවස බීගෙන එන තාත්තාගෙන් ගුටි කෑවා දවල්ට කුඩම්මගෙන්  ඇතිවෙනකන් කොසුපාර කෑව තරහ ගියාම කන්න දෙන්නෙ නැතිව උදේ ඉඳන් රෑ වෙනකන්ම ඔහේ  ඉන්න ඇරිය.කවදාවත් ආදරයෙන් එකම එක වචනයක් ඇහුවේ නැහැ .මේ හැමදේම නිසාම මම නන්නත්තාරේ ගිය කොල්ලෙක් උනා.ඒත්  ඔය කොයි දේ කලත්  මගේ ජිවිතේ ගැන මටම කලකිරිලා තිබ්බේ මම අනාථයෙක් නේද කියල කියල දැනෙන හැමවෙලේම ගිරියටින් කෑගහල  විලාප දෙන්න ඕන උනා.ඒත් කොච්චර හයියෙන් කෑ ගැහුවත් මං වෙනුවෙන් අහන් ඉන්න කවුරුත් නෑ කියල දැනෙන හැම මොහොතේම මම මටම පිහියෙන් ඇනගෙන මැරෙන්න තරම් හිතුන"  

අරමුණක් නැතිව රේල්පාර දිහාවටම ඇස් එල්ල කරගෙන එයා කියවගෙන කියවගෙන ගියා  අන්තිමට ලොකු හුස්මක් පිටකරන් ඔරලෝසුවේ වෙලාව බලල මා දිහා බැලුව.පහයි හතළිහේ කෝච්චිය ඇවිත් මිනිස්සු පොර කකා කෝච්චියට නගිනවා 

මට හදිස්සි නැහැ කතාව නවත්වන්න එපා දිගටම කියන්න .........

එයා ලොකු හුස්මක් පිටකරල ම දිහා බලල යන්තමින් හිනා උනා. 

"නංගි මම මේ කිසිම දෙයක් අනූ ..මගේ කෙල්ලට වත් කිව්වේ නැහැ මේ  දේවල් කියල මට එයාව නැති කරගන්න ඕන උනේ නැහැ මේ දේවල් අහගෙන ඉන්න මේලෝකේ කිසිම කෙනෙක් ඉඳි කියල මම හිතුවේ නැහැ අනෙක මට ඕන උනේ මේ කලකන්න්නි අතීතෙ වළලල අලුතින් ජීවිතේ පටන් ගන්න.

  මම  එන්න එන්නම විනාස උනා . මට මාවම පාලනය කරගන්න බැරි උනා  අන්තිමට ......මේ ..මේ කාලකන්නි අත්වලින් අර අවුරුදු 12 අහිංසක කෙල්ලව විනාශ කරලා දැම්ම .............


.............................

ඒ නිහඬතාවය ගොඩක් දිග උනා 
.............................

මම මහා කාලකන්නියෙක් නංගි මම දන්නේ නැහැ මට මොකක්ද උනේ කියල ඇයි මම ඒ වගේ තිරිසනෙක් උනේ කියල මට තේරෙන්නේ නැහැ  සමහර විට මට මගේ රත්තරන් අම්ම හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ. අන්තිමට බල්ලෙක් වගේ තාත්තාගෙන් ගුටි කාල පොලිසියට ගෙනිහින් දැම්ම.ඒ වෙනකොට මගේ වයස 17 ලැබුව විතරයි.අන්තිමට මාව පරිවාස බාරයට යොමුකලා. මගේ ජීවිතේ වෙනස් කලේ එතන ..

එදා ඉඳන් කවදාවත් කවුරුත් මාව බලන්න ආවේ නැහැ අම්මෙක් අප්පෙක් නැති අනාථයෙක් වගේ තනියම හදුන හැමදේම අමතක කරලා තනියම ඉගෙන ගත්ත මගේ රත්තරන් අම්ම මතක්වෙන හැම රෑ කම කාටවත් නොපෙනෙන්න හොරැහින් ඇඬුවා මම කරපු හැම වරද්දකටම හිතින් වැඳලා අම්මගෙන් සමාව ඉල්ලුව.මම දන්නවා ඒ වැරදි වලට වෙන කවුරුත් සමාව දෙන්නේ නැති බව.

ජිවිතේ මහ පුදුමාකාර විදිහට වෙනස් උනා නංගි මම මහන්සි උන නිසාම මට හොඳ රස්සාවක් ලැබුන.මට අනුරාධ ව හම්බුනේ ඒ කාලේ දැනට අවුරුද්දකට විතර කලින්.මම ආයෙම  හුස්ම ගන්නවා නේද කියල මට දැනෙන්න ගත්ත. මට මගේ නැති උන අම්මගේ ආදරේ හම්බුනේ අනූ ගෙන්.ඒ ආදරේ තත්පරයකින්වත් අන්ශුමාත්‍රයකින්වත් නැතිකරගන්න මට ඕන උනේ නැහැ. අනූ හොඳ වැදගත් පවුලක කෙල්ලෙක් එත් මම ආදරේ කලේ ඒ පවුලටවත් සල්ලිවලටවත් නෙවෙයි.හැමදේම නැතිවෙලා හිටිය මට  අනූව  නැති කරගන්න ඕන උනේ නැහැ.අනෙක මං සදහටම අමතක කරලා තිබ්බ මගේ කාලකන්නි අතීතෙ ආයෙම මතක් කරන්න මට ඕන උනේ නැහැ ඒ නිසාමයි මම අනුරාධට බොරුවක් කිව්වේ මගේ පවුලේ වෙන කවුරුත් නැහැ මම පොඩි කාලෙම අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් එකකින් නැති උනා කියල.හැමවෙලේම මම කිව්වේ මට තියෙන්නේ කටුක අතීතයක් එක වලල්ල ඉවරයි ඒ ගැන ආයේ මගෙන් අහන්න එපා කියල .අනූ  ට ඇත්ත කියන්න මට බය හිතුන.

 ඒ වෙද්දි මගේ තාත්තට කුඩම්මට නංගිට මොනව  උනාද කියල මම දැනන් හිටියේ නැහැ මාව අතැරලා දාපු අයව ආයෙම හොයන යන්න මට ඕන කමක් තිබ්බේ නැහැ. 

එයා ආයෙම ගැඹුරු හුස්මක් අරන් නිහඬ උනා  වටපිටාවමඅඳුරු වීගෙන ඇවිත්. අහස තාමත් අඬන්න ඔන්න මෙන්න වහින පාටක් තාමත් නැහැ ...රෑ වෙලා කියල දැනුනත් මට ඔරලෝසුවේ වෙලාව බලන්න ඕන උනේ නැහැ 

ඊට පස්සෙ මොකද උනේ ?

"මේක උනේ සති දෙකකට විතර කලින් ඒ මම අනුරාධව ගන්න බස් හෝල්ට් එකට වෙලා ඉන්න වෙලේ. අවුරුදු පනහක විතර ගෑනු කෙනෙක් මා දිහා බාලන ඉනව මට තේරුණා  දන්නවද ඒ වෙන කවුරුත් නෙවෙයි  මගේ කුඩම්ම .............මට මතකයක් තිබ්බේ නෑ මුලින් ඒත් කුඩම්මට මාව මතකේ තිබ්බ මම දන්නවා ඒ ගෑනි මට කතා කලේ ආදරේට නෙවෙයි  ආදරේ කලානම් ඒ කාලේ මට බල්ලෙක්ට වගේ පයින් ගහයිද කොන්ද පුපුරු ගහන්න කොස්සෙන් ගහයිද මට පොඩ්ඩක් හරි ආදරේ කරන්න කෙනෙක් හිටිය නම් මම අර වගේ තිරිසනෙක් වෙන්නේ නැහැ.ජිවිතේ කාලකන්ණි වුනේ මේ මිනිස්සු හින්දමයි කියලයි මට හැමදාම හිතුනේ .තාත්තට නංගිට කොහොමද අහන්නවත් දහිරියක් මට තිබ්බේ නැහැ මට ඕන උනේ ඉක්මනින්ම එතනින් යන්න ඒ නිසාම අනුරාධ එන්න කලින් ඒ ගෑනිට රුපියල් දාහක් දීල මම එතනින ගියා.  කරුමේ කියන දේ ආයෙත් මගේ පස්සෙන් එන්න ගත්ත. දවස් දෙක තුනක්ම තැන් තැන් වල ඒ කුඩම්මාගේ  චායව මම දැක්ක. මූණටම හම්බුන දවස් වල මම සල්ලි දුන්න.ඒ හම්බුනේ සල්ලි ඉල්ලන්නම කියන්න වගේ  ඒ හැම දෙයක්ම කෑදර කමින් ඉල්ලා ගත්ත ඒ ගෑනිට ඕන උනේ තව තව සල්ලි ඉල්ලන්න .ආරංචි උනා තාත්ත මරුන කියල එත් මගේ ගල් හිතට කිසිම දුකක දැනුනේ නැහැ. 

එක දවසක් කුඩම්මව  දැක්කේ තනියම නෙවේ නංගිත් එක්ක .එදා මගේ මුළු ඇඟම වෙව්ලලා ගියා  කරුමේ මගේ පස්සෙන් එනවා නේද කියල හිතුන. මට කුඩම්මව පෙනුනේ ඇමක් තියාගෙන මාව බලෙන් ඩහගන්න එන දඩයක්කාරයෙක් වගේ. මම හිතපු දේ හරියටම හරි  ඈත ගෝල්ෆේස් එකේ ගිනියම් වෙච්ච ඉර ගිලගන්න ඉරිදා හවසක ආකාස කඩේ  ගාව අනුත් මාත් ජිවිතේ ගැන පාට පාට හීන දකිද්දි ඒ ගෑනි ආව හිස් අතින් නෙවේ නංගිත් එක්ක.  ඇවිත් මගේ ආත්මයට ආයෙම පිහිපාරක් එල්ල කලා .....................

ඈතින් අහස දෙබෑ  කරගෙන විදුලි ඉරික් මතු උනා ...අහස හෙමිහින් ගොරවන්න ගත්ත.
එයා තාමත් බිම බලාගෙන .

අය්යට තිබ්බේ අනුට මේ හැමදේම කලින් කියන්න

කොහොමද නංගි මම කටක් ඇරලා මේ දේවල් කියන්නේ ..මේ දේවල් කියල මම කොහොමද එයාව නැති කරගන්නේ.. ඒත් දැන් මට මේ හැමදේම මුල ඉඳන් අගට එයාට කියන්න ඕන හැමදේම ...........

මෙච්චර කාලයක් මේ වගේ කටුක ජීවිතයක් මේ මනුස්සය  තනියම කොහම හිතේ තදකරන්  හිටියද කියල මට හිතුන 

අය්යේ ..ඔයාට තාමත් වෙලා තියනව ඇයි ඔයා ගිහින් එයාව හම්බවෙලා මේ හැමදේම කියන්නේ නැත්තේ ..මට විශ්වාසයි එයා ඔයාව හරියට තේරුම් ගත්තොත්  මේ හැමදේම අහගෙන ඉඳීවි ...

නැහැ එයා අහන්නේ නැහැ ..ආයේ කවදාවත්ම අහවිද දන්නේ නැහැ ...... ඇයි  මට මෙහෙම වෙන්නේ ..ඇයි  මෙතරම්ම ජිවිතේ මට රිද්දන්නෙ

මේ අහන්න අය්යේ ..ඔය එක පාරක් එයාව හම්බවෙන්න ගිහින් මේ හැමදේම කියන්න ..මට විශ්වාසයි එයා අහන් ඉඳීවි.ඔයාව තේරුම් ගනීවි .මේ කිසිම දෙයක් එයා හරියට දන්නේ නැති නිසානේ  එයා ඔයාගෙන් ඈත්වෙලා ඉන්නේ 

එයාගේ විශාල ඇස් එකපාරටම මං දිහාට යොමු උනා ....

කාටද කියන්නේ ?? ඔයා කියන්නේ මට අර හොස්පිටල් සිහිනැතිව පන අදින කෙල්ලට මේ හැමදේම කියන්න කියලද................ 

එයාගේ ආවේග ශීලි කටහඬ එකපාරටම ඉකිබිඳුමකට හැරුන ...මුළු දෑතින්ම ඔලුව බදාගෙන එයා අඬන්න ගත්ත. 

මම පරක්කු උනා වැඩී නංගි ... එයා මේ හැමදේම අතැරලා ජිවිතේ නැතිකරගන්න හදල ... 

අහස හය්යෙන් ගොරවන්න ගත්ත වැහි බින්දු එකිනෙක කඩන් වැටිලා මහ වර්ෂාවක් ඇතිවෙන්න වැඩිවෙලාවක් ගියේ නැහැ තොර තෝංචියක් නැතිව ගිගුරුම් දිදී අහස මහ හය්යියෙන් විලාප දුන්න..........

~නිමි ~  




ප .ලි  : අවසාන කොටස ලියන්න කල්ගියාට සමාව දෙන සේක්වා :)  කම්මැලිකම නිසා ලියන එක මගහැරුණ.කොහොමත් මතුසම්බන්ධ  කතා  ලියන එක නම් කම්මැලි වැඩක් කියල හිතුන  :)