Thursday, December 25, 2014

වැස්ස වැස්ස

අද ගොරවන්නේ නම් නෑ ඒත් එලියෙ සූ ගාල  වහිනවා.  කලින් තිබ්බේ පොද වැස්සක්  එළියේ තිබ්බ හිස් සැමන්  ටින් එකට ටක් ටක් ටක් කියල වැටුන වතුර බින්දු දැන් අලුත් ම තාලයක් අල්ලල.හරියට වේග රිද්ම සංගීතයක් වගේ.වැස්සත්එක්ක එන සීතලට ටොමිය පාපිස්සෙ ගුලිවෙලා. හරියට දුඹුරුපාට පුළුන් ගුලියක් වගේ.අම්මලත් කලින්ම නිදාගෙන.මම විතරක් මේ මහ  රෑ  ඇහැරගෙන.... සීතලයි....සිනිදු කොට්ටයක් තුරුලුකරන් කකුල් දෙකම වැහෙන්න පොරෝනයක් පොරවාගෙන නිදාගන්න ආසයි. සීතල  නම් කියනව මට ගිහින්  නිදාගන්න කියල.ඒත් මේ නිහඬ රෑ  වැස්සට මං  ආසයි  ඒ නිසාම ටික වෙලාවක් ඉන්න හිතුන. 

මං  හෙමිහිට පොත් මේසෙ ගාව තිබ්බ ජනේලේ ඇරිය.අත  දිග ඇරල වැහි බින්දු  අල්ලන්න ආසයි.ඒත් අත දිග මදි .කිසිම දෙයක් නොපෙනෙන කට්ට කළුවරේ තොරතෝංචියක් නැතිව වැටෙන වැහි බිංදු  දිහා මම බලන් හිටිය  මේ වැහි බිංදු  කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර වෙනවද  කවුද දන්නෙ.
හරි පුදුමයි ...
මට වැඩි වෙලා ජනේලෙ ඇරගෙන ඉන්න ඉඩ දුන්නේ නෑ .කොහේදෝ ඉඳල ආපු හීතල හුළඟක් මාව බදාගත්තා .මුළු ඇඟම සීතලෙන්  හිරිවැටිලා ගියා .තව හිටියොත් නම් හචිමක් දෙකක් අරින්න තමයි.මං ජනේලෙ වහල  දුවල ගිහින් ඇඳට පැනල ගුලි උනා.

වැස්ස වැස්ස ... 

වැස්ස හරි ලස්සනයි නේද බිංදු  බිංදු  පොද වැසි වැටෙද්දි  එලියට පැනල නටපු කාලයකුත් තිබ්බ .තාමත් එහෙමයි ...පරණ  කඩදාසි  වලින් බෝට්ටු  හදල අය්යත් එක්ක පා කරපු කාලයකුත් තිබ්බ හැබැයි ඒ කාලෙ නම් දැන් ඉවරයි. දැන් ඉතිං මා  එක්ක කඩදාසි බෝට්ටු පාකරන්න  අය්ය  එන්නේ නෑනෙ.

හයියෙන් පායන දවසට හිතෙනවා අනේ වැස්ස තිබ්බනම් කියල  වැස්ස වැඩි දවසට හිතෙනවා   අනේ පෑව්ව නම් කියල.  අපි මේ හිතන  දේවල් වැස්සට දැනුනොත් වැස්සටත් පිස්සු හැදෙයි  නේද. ඒ විදිහටම සමහර මිනිස්සු වැස්සට බනින විදිහ ඇහුනොත් වැස්ස කවදාවත්ම එන්නේ නැතිවෙයි .මම නම් අව්වටත් වැඩිය වැස්සට ආසයි.හැබැයි වැස්ස දවස් වලට එලියට බහින්න නම් කැමති නෑ .මෙහෙම කියද්දී මට මතක් වෙනවා චූටි  කාලේ වැස්සට පෙඟිලා  දිය කාවෙක් වගේ ගෙදර එන දවස්.තෙමිච්ච ඉස්කෝලේ බෑග් එකත් උස්සගෙන බස් වලට නගිද්දී   ඉතින් ලේසියෙන් කවුරුත් බෑග් එකක් නම් ගන්නේ නෑනෙ. මතකයි නේද එහෙම දවස් ...  ඒ මදිවට පොඩ්ඩක් හරි තෙමිච්ච කුඩේ ළඟ ඉන්න කෙනාගේ ඇඟේ  ගෑවුනොත් බලන එරවිල්ල කොහොමද .. :D  මොර සූරන  සීතල වැස්සෙත්  රත්වෙලා යන එරවිල්ලක්  .ඔය අතරේ හොඳ අයත් ඉන්නවා. වතුර  බේරෙන අපේ කුඩෙත්  අරන් තියාගන්න අය.ඔය ඔක්කොම කමක් නෑ කියමුකෝ වැස්සට පෙඟිච්ච  සපත්තු මතක් වෙද්දී දැනෙන අප්පිරියාව .වතුර වලට පෙන්ගිච්ච මේස්, කකුලේ ඇලිල, ඇවිදින කොට චිරි චිරි ගාල වතුර පනිද්දී දැනෙන  අප්පිරියාව .ගෙදර දුවල සපත්තු ගලවන්නේ කොයි වෙලේද  කියල ඉවසිල්ලක් නැතිව ඉන්නේ. මතකද එහෙම කාලයක් තිබ්බ කියල...තියෙන්නෙත් එකම  එක සපත්තු ජෝඩුවක් නම් ඉතින් ආයේ  ඒක පහුවෙනිදා දන්නේ හරිම අකමැත්තෙන්.වේලිලා නැත්නම් ඉතින් ෂොපින් බෑග්  පිහිට තමයි .තෙත නිසා ෂොපින් බෑග් එකක් බස්සල තමයි කකුල දාගන්නේ :D  ...අහ්හ්  තව එකක්.. මේ කරදරේ නම් කන්නාඩි දාන අයට වැස්ස දවසක එළියේ ඉඳන් බස් එකකට වගේ ගොඩවෙද්දී එකපාරටම කන්නාඩිය මීදුමෙන් පිරිලා යනවා. එතකොට ඉතින් අන්ධයෙක්  වගේ තමයි මෙලෝ දෙයක් පේන්නෙ  නෑ. ඉක්මනට ගලවල පිහින්න  ඕන. නැත්නම් ඉතින් ටික වෙලාවක් ඔහේ ඉන්න ඕන මීදුම් පටලේ  නැතිවෙනකන්


 වැස්ස... වැස්ස  ...

වැස්සත් එක්ක හිත අතීතෙට ගිය  මම වගේ තව කීදෙනෙක්ගේ හිත මේ වෙලාවේ  වැස්ස එක්ක අතීතයට  යනවා ඇත්ද ....  සමහර අයගේ මතක සුන්දර ඇති සමහර අයගේ මතක ගොඩක් දුක්බර ඇති .හ්ම්ම් .. මේදේවල් හිත හිත ඇඳේ ගුලිවෙලා ඉන්නකොට කරන්න හිතෙන එකම දේ සින්දු අහන එක   ....හැමදාම වගේ තමයි මගේ සතුට  වැස්ස,හුදකලාව,සිංදු  එක්ක එකට ගුලිවෙනව .මගේ හිතිවිලි මල්ල අතීත මතක මල්ල මේ ඔක්කොම   අවුස්සන්නේ ඒ ගොල්ලෝ තමයි.

මේ එක නෙමෙයි දන්නවද වැඩක් ... 

කෙනෙක් එක දවසක්  සුළඟට කතා කරලා කිව්වලු වැහි වලාවට කියන්න කියල ,අද එන්න එපා කියල  අද ආවොත් එයාට එයාගෙ කෙල්ලව හරියට  බලන්න වෙන්නේ නැලු   කවුද අප්පේ  මෙහෙම කියන්නේ ... අහලම බලන්නකො 

හිත මිතුරු සුළඟ  ළඟ එන වැහි වලාවට කියන් 
අද නොපැමිණ  අන් දිනයක වැසි රැගෙන එන ලෙසින් 
දිගු කලකින් ඈ මුණ ගැසේවි හසඟනක්  ලෙසින් 
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි  සැනින් 


මේ  වැස්සේ  සීතලත් එක්ක  හිත නතර වෙන තවත් සින්දුවක් කියන්න බලන්න 

මේ සින්දුව ද හිතුවේ..... 

මුතුකුඩ ඉහලන මල්  වරුසාවේ 
උඩ ඉගිලෙන විට වැහිලේනි 
එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ 
දෑස  ගියා  ඉගිලී 

මොන හේතුවක්ද මම දන්නේ නෑ  මේ සින්දුව අහද්දී  මාවත් දන්නේ නැති අතීතයක මම ගිහින් නතර වෙලා හිත රිදුම් දෙනවා සින්දුව ඒ තරමටම සංවේදී ..


ආදරයි වැස්සයි බද්ධ වෙලා තියන  විදිහ හරි අපූරුයි නේද ..ගොඩක් සින්දු වලට වැස්සත් එක්ක ආදරය ගෑවිලා  හැබැයි සමහර ආදර කතා වැස්සත් එක්ක හේදිලා  ගිහින් සමහර ඒවා  වැස්සත් එක්ක හිතේ පෙඟිලා රිදුම් දෙනවා 

මේ ඒ වගේ සින්දුවක් 

පෙරදා මහා රෑ 
මා සිහිලැල් උර මඬලේ 
මුහුණ හොවාගෙන 
ළසොවින් වැළපුන
ඔබේ විඩාපත් නෙතින් ගලාගිය
කඳුලක කැළලක් ඉතිරිවෙලා 

මෙහෙම එක්කෙනෙක් කියද්දී තවත් කෙනෙක් මෙහෙම කියනවා 

මහවරුසාවට පසුව පෙනෙන හඬ 
වෙනදාටත් වැඩියෙන් එළියයි 
නොක්කඩුවට පසුව ඔබේ වත
 ඒ එලියට වැඩියෙන් එළියයි 


වැසි ගණනාවක් පහුකරලා මතක ගණනාවක් පහුකරලා ජීවිතේ ගෙවෙද්දී  සමහර අය ජීවිතේ සැන්දෑ සමයේදී මෙහෙම කියනව  

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා 
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත 
කබාය ඉරිලා ඊට කමක් නැහැ
 කවුරු බලන්නද කවුරු දකින්නද 
මා දැන් මහළු වියේ// 


වැස්සත් එක්ක මේසිංදු  අහද්දී හිතට අමුතුම හැඟීමක්  දැනෙනවා .එහෙම සින්දු අහල ඇති අයට  ඒ හැඟීම දැනෙනවා ඇති .. 

වැස්ස නම්   දැන් පායලා පාන්දර වෙන්නත් ළඟයි  ....වැහි වතුරින් පිරිච්ච සැමන් ටින් එක  දැන් ආයෙත් හෙමින් සද්ද  නගනවා.ඒක  වෙනමම සද්දයක් .. එක මං  මෙච්චර වෙලා ඇහුව තාල, සින්දු, ගීත නෙමේ.ඒක  සොබාදහමේ තාලය නැත්නම්  වැස්සේ ගීතය ... හුළඟට වැනෙන කොළ ඒ වැස්සේ ගීතෙට අත්වැල  සපයනවා එහාට මෙහාට පනින වැහි බින්දු තවත් සද්ද නගල  එකට අමුතුම රසයක් දෙනවා  හරියට  එක එක රිද්මෙන්  අත්පුඩි ගහනවා වගේ .දැන් වැහි ගීතයට සවන්දීගෙනම ඇහිපියාගන්න  වෙලාව ඇවිත්. හිත පිරිච්ච හැඟීම් ගොඩකුත් තුරුලු  කරන මම නිදාගන්න හැදුව.

හිත මිතුරු සුළඟේ  මට තවම හමුවෙන්න කිසිවෙක් නෑ ඒ නිසා මට හෙටත් වැහි ගීතය අහන්න ඕන ..හෙටත් වැස්සට එන්න කියනවද ..  කියන්න  මම වැස්සට ආසයි  කියල ...හැබැයි ඇවිත් ආදරෙන් යන්න කියන්න .චණ්ඩ වෙලා, මිනිස්සුන්ගේ ඇහැට වැහි කඳුළු උනන්නේ නැතිවෙන්න  දුක් කඳුළු සේදෙන වැස්සක් අරගෙන හෙටත් එන්න කියන්න  හෙටත් වැස්ස එනකන් මම බලාන ඉන්නවා  .. 

වැස්ස.... වැස්ස .. 




......................................................................................
මෙන්න මම කිව්ව සින්දු ටික  :)

හිත මිතුරු සුළඟ -වික්ටර් රත්නායක
මුතුකුඩ ඉහලන -රෝහණ  වීරසිංහ
පෙරදා  මහා රෑ -නන්දා  මාලනී
මහ වැස්සක-පණ්ඩිත් අමරදේව

Friday, December 12, 2014

සුදු වෑන්

අක්කල අය්යලට මහපොළ 
මට කුඩාපොලක් වත් නෑ 
මාමල නැන්දලාට රත්තරං 
මට තම්බක්ක වත් නෑ 

එතනින් ඉවර නෑ 

අම්මට අලුත් DVD  player  එකක් 
ළඟ ළඟ නත්තලට 
අය්යට මල් මන්දිරෙන් කෑමක් 

එතකොට මට විතරද මෙහෙම  -_-


බ්ලොගේ  හංසයයි  කියල 

මං හංසයෙක් කිව්වේ මොකාද ? ? ? 
හැමෝටම  තෑගි 

මට විතරක් .... සුදු වෑන්  :'(


ජාත්‍යන්තර කුමන්ත්‍රණ  මේව  ජාත්‍යන්තර කුමන්ත්‍රණ  :( 





Thursday, December 4, 2014

දුක දැනුන දවසක්

ඊයෙත් අදත් පෙරේදාත් 
වාට්ටුව කෙලවර 
නුඹව නොදුටුවා නොවෙයි නංගියේ 

හැමදාම ගොඩවදින පිලිකා රෝහලේ 
හිසට අතගසා සුසුම් හෙල  හෙලා 
අත වනන මරණය දෙස බලා  හුන් 
දස දහස් ලෙඩුන් අතරේ 
නුඹව පෙනුනේ 
නුඹේ ඔය පියකරු වත  නිසාම වෙන්ටැති

සිනහව හොරු ගෙනිච්ච ඔය  මුණුනේ 
විඩාබර  පුංචි ඇස් දෙක
අතොරක් නැතිව බයිබලය පුරා දිවෙද්දී 
අනේ පව් කියවුනේ  නොදැනීමයි 

නුඹට නිනව්වක් නැත 
ගෙවෙන උදයක් දහවල රැයක් 
නුඹට නිනව්වක් නැත 
පසුකරන ලෙඩුන් මිනිසුන් වෙදදුරන් 
නුඹට නිනව්වක් නැත 
සිහින් තොල් මතුරමින් 
තත්පරයක් තත්පරයක් පාසා නුඹ යදින්නේ 
පණ අදින ජීවිතයකටයි 
කා  වෙනුවෙන්ද ?
නුඹේ ඔය යාච්ඤා 
කා  වෙනුවෙන්ද  ?

දයාබර නංගියේ 
ඊයෙ වගේමයි 
නුඹ අදත් එතැනමයි 
අද උදෙත් නුඹ 
දෙවියන් සමගමයි 

 ඒත්  ..............


.
.
.



උදේ  ඒ දුටු  පියකරු වත  
ගිනිගහන රුදුරු මද්දහනෙ   
මෙච්චර ඉක්මනට පරවුනේ ඇයි 
දෙවියනේ ....ඇයි  මෙතරම් දුකක්  

 මට තාමත් ඇහෙන්නේ මේ වචන විතරමයි 

"අනේ මගෙ  තාත්තව ගෙනත් දෙන්න "
"අනේ මට මගෙ  තාත්තව ගෙනත් දෙන්න "

නංගියේ 
මම නුඹේ සොහොයුරිය  නොවෙයි 
නෑයෙක්  වත් නෙවෙයි 

ඒත් .....

හිත තාමත් රිදෙනවා 
 දුක තාමත්දැනෙනවා  

අද හවස වාට්ටුවේ කෙලවර හිස් 
නුඹ නෑ ..
උදේ හවා යාච්ඤා කල නුඹ නෑ 
නුඹ ගිහිං ...
නුඹේ පියත් ගිහිං

නුඹ ගිහිං  
පාළු මූසල වාට්ටුවේ 
නුඹ කියවූ බයිබලය විතරක් ඉතිරි කර 
නුඹ ගිහිං ....



හිතට ගොඩක් දුක දැනුන දවසක් ..තාල ගැලපුම් හිතට එන්නෙ නෑ .හිතට නැගුන දුක මෙහෙම ලියල දැම්ම ... මට දුකයි මගේ කවුරුත් නොවන ඒ නංගි  ගැන ගොඩක්  දුකයි...
ඒ අඬපු සද්දෙ තාමත් හිතේ දෝංකාර දෙනව. :( 







Saturday, November 22, 2014

අතීත මතක -අති විශේෂ ක්‍රීඩා හැකියාව :P

ඔන්න අද අතීත  කතාවක් තමයි කියන්න යන්නෙ. මේ අතීත කතාව මතක් උනේ පහුගිය දවසක  මගේ  සහතික දාපු ෆයිල් එක  අහම්බෙන් දැක්ක වෙලේ.පොත් අල්මාරිය අස්  කරන ඉන්න කොට අහම්බෙන් දැක්ක ඒ නිල් පාට ෆයිල් එක සීරුවෙන් අතට ගත්ත.මම  ඉතිං මේකේ සහතික එකින් එක වැඩිවෙන කල්  කොච්චර කෙල හලන් බලන් හිටියද. ඒ කාලේ මට සහතික වැඩිකරගැනීමේ පිස්සුවක් තිබ්බනෙ .ඇත්තම කිව්වොත් අපේ අය්යන්ඩි ගෙ  සහතික ගාන කවද්ද පහු කරන්නෙ කියා කියා තමයි ඒ කාලේ  සහතික එකතුකලේ. ඉස්සර ඉතිං එහෙම තමයි අය්යට  වැඩිය දෙවෙනි වෙන්න කැමති නෑ ඒ වුනාට අය්යට වඩා මම පන්තියේ වැඩියෙන් ලකුණු ගත්තට එයාගෙ සහතික ගාන පහු කරන්න හෙනම ගේමක් දෙන්න උනා.

 මම නිල්  පාට සහතික ෆයිල්  එක අතට අරන් බිම වාඩි වෙලා හෙමීට  හෙමීට සහතික එකින් එකබැලුව. අනේ ඉතිං මේ ෆයිල් එකට ඉස්සර සැලකුවේ දෙයියෙක්  වගේ නේද කියල මට මතක් උනා .කොච්චර වත් මේක එක එක ඉන්ටර්විව් වලට ගෙනියන්න ඇත්ද.ගිහිල්ල ඉතින් විරිත්තගෙන බලාන ඉන්නවා   සම්මුඛ පරීක්ෂණයේ අය ඒක පෙරලලා බලනකන්.එහෙම ගිය වෙලාවක කවුරු හරි සහතික මිටිය තඹ සතේකට  වත්  ගණන් ගත්තේ නැත්නම් ඉතින් රතු කට්ට පනිනවා. ඇයි හලෝ කොච්චර අමාරුවෙන්ද මේ ටික හරි ගත්තෙ.හැබැයි ඉතිං පස්සේ කාලෙකදී හිතුන මෙච්චර සහතික ගත්තට  වැඩක් නෑ කියල .එත් ඉතිං ඕ බව චුටි කාලේ දැන්නව යැ  දන්නවනම්  අමාරුවෙන් සහතික ගොඩ ගහාවියැ.

ඉතිං  ඕවගේ අතීත දේවල් සිහි කර කර සහතික ටික පෙරලද්දී .ඔන්න අතිවිශේෂ සහතිකයක් ඇහැ ගැටුන මේ සහතිකය කොච්චර විශේෂද කිව්වොත් ඒක ලැමිනේට්  කරලයි තියෙන්නෙ. මොකක්ද දන්නවද ඒ  මගේ ක්‍රීඩා සහතිකේ .වන් ඇන්ඩ් ඔන්ලි  ක්‍රීඩා  සහතිකේ... හරි ඉතින් දැන් මට නෝන්ඩියට හිනාවෙන්න එපා මට එකම එක  ක්‍රීඩා  සහතිකයක් තියනව කියල. ඔහොම  නෝන්ඩියට දැන් හිනා වුනාට බලන්නකෝ මේ කතාව අන්තිමේදී ඔයාල කට ඇරගෙන  ඉඳී මගේ හැකියාව ඇහුවොත් ..  ඔව් ෂුවර් :D .... 

ඔන්න දැන් ඉතින් මගේ  වන් ඇන්ඩ් ඔන්ලි  ක්‍රීඩා  සහතිකේ ගැන කියමුකො ඒක  අතිශය  විශේෂයි. කොහේ ගියත් මම ක්‍රීඩා කලෙමි කියල පෙන්නන්න තියන එකම සහතිකේ ඒ සහතිකය. ඒ ඇරෙන්න ඉතින් එකේ අති විශේෂ දෙයක් ලියවිලා නෑ .එකේ තියෙන්නෙ නිවාසාන්තර ක්‍රීඩා උත්සවේ මීටර 100 දිවීමේ ඉසව්වෙන් මම තුන් වෙනියා ගත්ත කියල...හික්ස් .....:D :D .ඇත්තම කිව්වොත් මේ සහතිකෙත්  මට නිකන් දෙයියො ළඟටම ඇවිල්ල  ඇඟිල්ලෙන් ඇනල දුන්න වගේ.මම හීනෙන් වත් ගන්න හිතපු සහතිකයක් නෙමෙයි. මතකේ හැටියට ඒ මම අට වසරෙ ඉන්න කාලේ. එක දවසක අක්කල අය්යල සෙට් එකක් ඇවිත් ඇහුව හංස නිවාසේ ඉන්නේ කවුද කියල ඔන්න ඉතින් අත  ඉස්සුවම ඇහුව මීටර සීය තරගේ තියනවා දුවන්න කැමතිද කියල.මීට කලින් කිසිම තරගෙකට  දුවල නැති මම ආසාවට  හා කියල දුවන්න ගියා. හික්ස්... කවුද හිතුවෙ මම තුන්වෙනිය  වෙයි කියල. ෂුවර් එකටම එදා අනෙක් නිවාස වල හොඳ ළමයි සහභාගි වෙලා නෑ.ඔය සහතිකේ තමයි ඉතින් හැම තැනකදීම මාව බේරුවේ.ඒ වගේම අතිශය ලැජ්ජාවට පත්වීම පොඩ්ඩකට හරි අඩු කරගන්න හැකි උනේ ඔය සහතිකේ නිසා.ඇයි  ඉතිං අර අපේ අය්යන්ඩි  ගත්ත සහතික තොගේම ගත්තේ ක්‍රීඩා  වලින්නෙ  අය්යගේ  නංගිට එකම එක ක්‍රීඩා  සහතිකයි. අනෙක් ඔක්කොම  සහතික සාහිත්‍ය තරඟ වලින්  වෙන වෙන ලියන කියන අඳින ඒවායේ තරඟ වලින් ගත්තුව.ස්පෝට් මීට් එකේ කප්  ගහන අය්යගේ  නංගිට එක ක්‍රීඩා සහතිකයක් වත් නෑ කිව්වම වස ලැජ්ජාවනේ ඉතින් හැම එකටම පෙන්නන්න තිබ්බේ ඔය සහතිකේ තමයි.

අනේ මන්ද මොන හේතුවක් නිසාද කියල මම සෙල්ලම් කරන්න පිට්ටනියට යන හැමවෙලේම  වැටෙනවා.පිට්ටනියට ගිය දවසක  පහුවෙනිදා මගේ අතේ හරි දණහිසේ හරි ප්ලාස්ටරයක් අනිවාර්යෙන්ම  තියනව. සෙල්ලම් කරත් ඉතිං  හරියට බෝලයක්  අල්ලගන්න බෑ. ඔය වැටෙන, අඬු  කඩා  ගන්න හේතුව නිසාම මම දැන  ගත්ත මට ඔය ක්‍රීඩා කෙරිල්ල හරියන්නේ නෑ  කියල .ගෙදරිනුත් අම්ම කියල තිබ්බේ වැඩිය දඟලන්න එපා පරිස්සමින්.. වැටෙයි ..තුවාල වෙයි කියල.ඒ වුනාට තුවාල වුනාට මොකෝ ප්ලාස්ටරයක් දාගෙන ඉන්න එකෙත් පොඩි  ගතියක් තියනවා ;) .....ඇත්තටම කිව්වොත් මේ සහතිකේ නෙමේ ඊට වඩා වටිනා ක්‍රීඩා සහතිකයක් මට ලැබෙන්න ඕන .ඒත් ඒක  තාම හම්බුනේ නෑනෙ :( ...මං මේ කියන්නේ ඒ ගැන.

ඔයගොල්ළඟට මතකද  ඉස්සර සෞඛය්‍ය  පාඩම  උගන්නන්න වෙනම පීරියඩ් එකක් තිබ්බ. ඕකට  අපි කිව්වෙ පී.ටී. පීරියඩ්  කියල මේ සිද්ධිය වුනේ නවය වසරේ අපිට සෞඛ්‍යය ඉගැන්නුවේ වැලිකල කියල සර් කෙනෙක් . අපිත් හිටියේ හරි ආසාවෙන් ඔය පීරියඩ් එක එනකං මොකද පිට්ටනියට පැනල හිතේ හැටියට නිදහසේ ඉන්න අවස්ථාවක් එන්නෙ  ඔය වගේ  පීරියඩ් එකකනෙ.ඔන්න ඉතිං එදා පාඩමේ හැටියට සර් ට තිබ්බේ අපිට  කවපෙත්ත දාන  හැටි, හෙල්ලය විසිකරන හැටි ,යගුලිය දාන හැටි කියල දෙන්න .මුලින්ම හෙල්ලය විසිකරන හැටි කියල දුන්න ඊළඟට කවපෙත්ත දාන හැටි අපි ඉතින් එකා  දෙන්න සර් කියපු විදිහට  ඒවා හරියට විසිකරන හැටි උත්සාහ කළා .ඊළඟට තිබ්බේ අර තඩි බොලේ උස්සල විසිකරන්න ..මොකක්ද ..වෙන මොකක්ද ඉතිං යගුලියනේ ... කාටවත් එහෙම කියනවා නෙමෙයි ඒ කාලේ මට ඕක  හරියට උස්ස ගන්න වත් බෑ.මොන එහෙකට  මේ මිනිස්සු මේ බර තඩි බොලේ උස්සල විසිකරනවද මන්ද මට හිතුනේ එහෙම. :/ 

.එදා ඉතින් සර් ගාව වටවෙලා යගුලිය දාන්නේ  කොහොමද.. තරඟ  නීති රීති  ඔය ඔක්කොම ඉගෙන ගත්ත... හෙල්ල, කවපෙත්ත විසිකරන්න ගියාට මම යගුලිය විසිකරන්න  නම් ගියේ නෑ .ඔන්න ඕක අත්දෙකෙන් උස්සල විසි කරන්න කිව්වා නම් මම විසිකරනවා ...හෙන තඩි බර බෝලයක් තනි අතින් විසිකරන්න.. අනේ අම්මේ ... ඕක උස්සද්දී මාවත් පාත් වෙනවා වගේ .ඉතින් මොකටැයි  බැරි වැඩ කරන්නේ.සර් කියන ඒවා අහල ඊට පස්සේ අනෙක් ළමයි යගුලිය විසිකරන අතරේ මමයි තව යාළුවො කීප දෙනෙකුයි පැවිලියන් එක  ගාවට ගියා.එතන වාඩි  වෙලා පොඩි කය්යක් දාගෙන තමයි හිටියෙ.

ඒ වෙද්දී අපේ කොල්ලෝ සෙට් එකක් යගුලිය දානවා තවත් ගෑනු ළමයි වගයක් හෙල්ලය විසිකරනවා ...සර් ළමයි  හෙල්ල විසිකරන තැනට වෙලා හිටියේ ටික වෙලාවකින්  මම දැක්ක සර් ගාව ළමයි වගයක් පිරෙනව.ඒ මොකටද බලන්න මමත් කතාව නවත්තල පැවිලියන් එකේ ඉඳගෙන හිටිය පඩියෙන් නැගිටල දුවගෙන ගියා  සර් ගාවට ...එත කොටම තමයි මොකක්දෝ ලොකු දෙයක් ඇවිල්ල දඩාන් ගාල මගේ දකුණු පැත්තේ නළලේ කෙලවරේ වැදුණේ. .වැදුන පාර කොච්චර සැරද  කිව්වොත් මගේ ඔලුව එක පාරටම ගැලවිලා විසික් වුනා වගේ මුළු ඔළුවම එකපාරටම හිරිවැටෙන්න උනා.මොකක්ද දන්නවද උනේ මගේ යාළුවො ඒ කියන්නේ පන්තියේ හිටිය අපත කොල්ලෝ ටික ඒ වෙලේ සෙල්ලන් කර කර හිටියෙ මං කිව්වනේ ඒ අය  යගුලිය ද දා  හිටියේ කියල ඒ සෙල්ලම එසේ මෙසේ සෙල්ලමක් නෙවෙයි  ඒ ගොල්ලෝ යගුලියෙන් කැච් අල්ලන්න අරන්.අර මට උස්සගන්නවත් බැරි යගුලියෙන් මේ අය කැච් අල්ල අල්ල ඉඳල තියෙන්නෙ අත්තටම් මම ඒක දැක්කේ නෑ .මගේ වෙලාවටම මමත් ඒ මැද්දෙන් තමයි දුවල තියෙන්නේ ඉතින් යගුලිය ඇවිල්ල දඩාන්  ගාල මගේ ඔලුවේ වදුණ .හිතාගන්නකෝ යගුලියක්  ඇවිල්ල  ඔලුවේ වදිද්දී දැනෙන සනීපෙ. ......මම අත්දෙකින්ම ඔලුව අල්ල ගත්ත මට හිතාගන්න බැරිඋනා  මොකද උනේ කියල.ඔක්කොම යාලුවෝ කෑගහගෙන මං ලඟට දුවගෙන ආව.එතකොටයි මට ඇහුනෙ මගේ ඔලුවට යගුලිය වැදුන කියල .එතකොට තමයි මට දාඩිය දැම්මේ දෙය්යනේ මම මැරෙයිද ඔලුව පැලිලද  ලේ එනවද ඔය ඔක්කොම හිත හිත සර් ටත් කියල ටක් ගාල ප්‍රථමාධාර දෙන කාමරයට ගියා... ගියා  නෙමෙයි දිව්වා ...

 ගිය ගමන්ම  මිස් කෙනෙක් අයිස් තොගයක් මගේ ඔලුවේ  තිබ්බ මට ඒ වෙලේ හොඳට  සිහිය  තිබ්බ එත් මුළු ඔළුවම හිරිවැටිලා වගේ තිබ්බේ .මම ඔලුව අල්ලන් ඉඳිද්දී මට දැනෙනව යගුලිය වැදිච්ච තැන ටික ටික ගෙඩි ගැහෙනවා අන්තිමට අතට අහුවෙන්න ලොකු ඉදිමුමක්... ඇත්තටම කිව්වොත් එදා නම් මම හෙනට  බය උනා .. දෙය්යනේ මම මරෙයිද  මට මොකද වෙන්නේ..ඔපරේෂන් කරයිද ..ඔලු කට්ට ගලවයිද කොන්ඩෙ  කපයිද .. එහෙමයි හිතුනේ. මටත් වඩා   ගුරුවරු ඔක්කොම බයවෙලා ඒ අය ඉක්මනටම මාව ත්‍රීවීල්  එකක දාගෙන හොස්පිටල් එකට ගෙනිච්ච. ගිය ගමන් මාව ඇඳක හාන්සිකලා .මම ඉපදුන දවසේ ඇරෙන්න ඊළඟට දෙවෙනියට ඉස්පිරිතාලෙකට ගියේ එදා.

 මම ඉස්පිරිතාලෙට ගිහින් පැය  බාගයක් යන්න කලින් අම්ම ආව ඒ වෙලේ වෙද්දී එක ඩොක්ටර් කෙනෙක් මාව බලල තිබ්බේ ඔලුවෙන් ලේ ගැලුවේ නෑ.ඒත් ඇතුලින් ඉදිමිල.ඒක  එච්චර හොඳ  සලකුණක් නෙමෙයි  මොකද අභ්‍යන්තර  තුවාල භයානකයි ඔලුව ඇතුලේ ලේ කැටියක් හැදුනොත් ඒක  ඊට වඩා  භයානකයි .

අම්ම එනකොට අම්ම හොඳටම බය වෙලා ආවේ  මාව දැක්ක ගමන්ම අම්ම බදාගෙන බයටම ඇඬුව  ..මටත් ඇඬුන ..මට මං  ගැනම දුක හිතිලා ඇඬුවෙ..ඒ වගේම මට ඉස්පිරිතාලේ ඉන්නත් බයයි ..ඉතිං අඬ අඬම  කිව්වා අනේ අම්මේ මට ඉස්පිරිතාලේ ඉන්න බෑ  මට ගෙදර යන්න ඕන කියල ..
ඒත් ඉතින් එහෙම යන්න  දෙන්නේ නෑනෙ. ඔන්න ඊට පස්සෙ ආයෙත් පැයකට  විතර පස්සේ තව ඩොක්ටර් කෙනෙක් ආව මගේ ඇස් එහෙම බැලුව .වමනේ ගියාද කියල ඇහුව ...වමනේ ගියොත් ඒක  හොඳ නෑලු ... ඔලුව පලිලත් නෑ එත් ඉදිමුම තියනවා අල්ලද්දි  නිකක් රබර් බෝලයක් වගේ එතන ලේ එකතුවෙලා වගේ  එබෙනවා... බයේ බෑ. ඉදිමුම ඇර  බාහිරින් වෙන කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුවේ නැති නිසා මට කිව්වා පැය  විසිහතරක් හොස්පිටල් එකේ ඉන්න ඊට පස්සේ බලල ටිකට්  කපනවා කියල. අනේ දෙය්යනේ හොස්පිටල් එකේ රැයක්  ඉන්න අම්මෝ  බෑ ... එක නම් කරන්න බෑ. ..මොකක්දෝ හිතේ තිබ්බ බයත් එක්ක මට ඒක  නම් කොහෙත්ම කරන්න බැරි උනා.මං හිතන්නේ මට බය තිබ්බේ ඒ අය මාව බලෙන් උස්සගෙන ගිහින් ඔලුව ඔපරේෂන් කරයි  කියල. ඒ වෙලේ මම අඬ අඬ  කිව්වා අනේ අම්මේ මට කොහොමටත් හොස්පිටල් එකේ  නම් ඉන්න බෑ  මට ගෙදර යන්න ඕන කියල. මැරුණත් කමක් නෑ  යන්න ඕන කියල ....අම්මටත් මගේ ඇඬිල්ල  එක්ක කරගන්න දෙයක් නෑ හරි බලමු මොකක් හරි කරන්න එතකන් ඉන්න කියල අම්ම කෝල් එකක් ගන්න එලියට ගියා ..

 ඔය අස්සේ තව ඩොක්ටර් කෙනෙක් ආව මුලින් හිටිය ඩොක්ටර්ල  ටිකක් සැර  පාටයි. මෙයා  නම් හොඳයි ..මෙය මගේ ලෙඩේ අහල මගෙන් අහපි  යගුලියට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියල ..දැන් ඉහතින් කියහල්ලකෝ යගුලිය වද්ද  ගත්ත එකා  යගුලියට ඉංග්‍රීසියෙන් කියන වචනෙ ..ම්ම්ම්හ් මන් දන්නේ නෑ මම ඔලුව දෙපැත්තට වනුව ඊට පස්සේ තව මොනාද මොනාද විකාර ප්‍රශ්න වගයක් ඇහුව. විභාග තිබ්බද , ලකුණු කොහොමද .. අනේ දෙය්යනේ මේ ඔලුව වැදිච්ච එකාගෙන් ඔය වගේ ප්‍රශ්න අහනවද ..මං  මේ ගෙදර යන්න හදනවා ..මගේ මූණ නම් ඒ වෙලේ හොඳටම බෙරිවෙලා තිබ්බේ. ..වාසනාවට අම්ම ආයෙත් ආව ..මගේ ඇඬිල්ල නිසා අම්ම ඒ පාර අපේ ගෙවල් ළඟ ඉන්න මාම  අඳුරන ඩොක්ටර්ට කතා කරල  එයා  කියල  මම ගැන වගකීම ගන්නම් කමක් නෑ  ටිකක් කපාගෙන එන්න කියල ..ඒත්  හොස්පිටල් එකේ නම් ඩොක්ටර්  ල කැමති උනේම  නෑ ...කැමති නම් බලෙන් ටිකට් කපාගෙන යන්න හැබැයි ඊළඟට අපි වග කියන්නේ නෑ  කිව්ව. :(  ඔහේ ඕන දෙයක් මං ආයෙත් බලකරල  අම්ම එක්ක ගෙදර ආව.ගෙදර ආවට මොකද ඔලුව පහලට හරවන්න බෑ  රිදෙනවා... කකියනව...  අර බැලුම වගේ එබෙන ඉදිමුම් ගෙඩිය තාමත් ඇල්ලුවම එබෙනවා. 

 එදා රෑම මාව ගෙවල් ළඟ අඳුරන ඩොක්ටර් ගාවට ගෙනිච්ච ගෙනිච්ච ගමන් ඩොක්ටර් ඇහුවේ මොකද යගුලිය දෙකට කැඩුනද  කියල ..අන්න ප්‍රශ්නෙ  මට ඒක  අහගන්න බැරි උනානේ...කොහොමින් කොහොම  හරි මට ඉදිමුම ඇරෙන්න වෙන කිසිම අබාධයක්  තිබ්බේ නෑ.හදිස්සියේ හරි වමනේ දාල ලෙඩ උනානම් එහෙනම් ඔළුවේ  ලේ කැටියක් ඇති කියල හොස්පිටල් එකේ ආයේ නවත්තන්න  තිබ්බ .එච්චර හය්යෙන් යගුලිය වැදිලත්  මම වාසනාවන්ත විදිහට බේරිලා .යගුලිය දාපු කොල්ලෝ නම් හිතුවේ මං මැරෙයි කියලලු හික්ස් ... මටත් එහෙම බයක් තිබ්බ...මොනා  හරි ලොකු දෙයක් වෙයිද ඔපරේෂන් කරයිද  එහෙම උනොත් ආයේ ඉස්කෝලේ යන්න බැරිවෙයිද  ඔන්න ඕවගේ ප්‍රශ්න කෝටියක්  ...හැබැයි එදා ඉඳල අද වෙනකන්  මට කිසිම අබාධයක්  නෑ ..හැබැයි එදා බැලුම වගේ එබී එබී තිබ්බ ඉදිමුම  තිබ්බ තැන අද ඒ විදිහටම හය්යට ගෙඩි ගැහිලා තියනවා ඒක හැමදාම එදා යගුලිය වැදිච්ච මතකේ ආයෙ ආයෙ  මතක් කරනවා ... 
ගොඩක් අය  මේ කතාව  ඇහුවම  පිළිගන්නේ නෑ යගුලියක් ඔච්චර හය්යෙන් වැදිලා ඔපරේෂන් එකක් වත් නොකර හොඳින් යහතින් ඉන්නවා කිව්ව්වම සමහරු හිතන්නේ මං බොරු කියනවා කියල පස්සේ කාලෙක යගුලිය දැම්ම කොල්ලෝ කිව්වෙත් එයාල උපරිම වේගෙන් යගුලිය  එහාට මෙහාට විසික් කලේ කියල .මං  හිතන්නේ මං  ලාවට වාසනාවන්තයි ..හැබැයි ඉතින් ඔය සිද්ධියෙන් පස්සේ මට පිට්ටනිය තහනම් කලාපයක් උනා  අම්ම හොඳටම බයවෙලා හිටියේ ඉතින් අන්තිමට මගේ වන් ඇන්ඩ් ඔන්ලි  ක්‍රීඩා සහතිකේ විතරක් මට ඉතිරි උනා ...හැබැයි ඉතින් මම මොකක් හරි පිස්සු හරි ගොන් වැඩක් හරි කරපුවම කවුරු හරි ඇහුවොත් ඔලුව කොහේ හරි වද්ද  ගත්තද කියල මට කියන්න හොඳ උත්තරයක් තියනවා.. :P  ..හික්ස් ඒකත්  නරකම නෑ  නේද ..හැබැයි මට දුක යගුලියත් වද්දා ගෙන මේ යහතින් හිටියට කිසිම ක්‍රීඩා සහතිකයක් නෑනේ ඇයි  හලෝ ඔලුවෙන් යගුලියට ගහල සෙල්ලම් කරන හැටි මුළු ඉස්කොලෙටම මුලින්ම අඳුන්නල දුනේ මමනේ.... එහෙව්  අතිවිශේෂ හැකියාවක් තියන මට කිසිම සම්මානයක් නෑ .. :(




Sunday, November 9, 2014

කෘතිම හදවතක්

මුල්ම දවසේ ඔහු  දුටු විට 
ලබ් ඩබ් ගා ගැහුණු මෙ හද 
ඩග් ඩග්  ගා  මහහයියෙන් 
කම්පන දුන්නා 

මල් හීසර කොහේ වැදුනද 
රිදුනෙත් නෑ මගෙ හදවත 
හදේ කොතැන ආල කවක් 
ගෙතෙමින්  තිබුණා

නෙතට නෙතක් එක වුන විට 
හදට හදක් යාවුනාද 
ආල හැඟුම් මෝදු වෙවී 
දළු ලා වැඩුනා 

මුළු හදින්ම  ආදරෙලු 
ඔහු ජීවය පුදනවාලු 
රෝස මලක් මට දීලා 
ආදරෙ කිව්වා 

එහෙම කියූ මා පෙම්බර 
දෑ අවුරුදු ගෙවෙන්න පෙර 
මා  හැරදා වෙන හදකට 
ආලය පෑවා 

රෝසමලේ නටුවේ කටු 
මා හදවත රිදපු කටු 
මතකය හා බැඳී ආලය 
වේදනා දුන්නා 

අමතක කරනට ඔහු අද 
සොයනෙමි ඔහු බැඳි ආලය 
හදෙහි කොතැන  ඉතිරිවීද 
විමසා බැලුවා 

ධමනි ශිරා පිරි හදවතෙ
රුහිර පිරුණු කෝෂිකාවේ 
කොහි ඇත්දැයි මගේ ආලය 
සොයල බැලුවා 

සොයා ගන්න නොහැකිම තැන 
වෙනත් විසඳුමක් නැතිකොට 
තිබුණු එකම එක හදවත 
ගලවා  දැමුවා 

ජීවත් වෙන්නට රිසිතැන 
කෘතිම හදවතක් අරගෙන 
බද්ධ කරල හරි ගානට 
සකසා තැබුවා 

ආලය හදෙහී  ඇත්නම්
පලවා හරිනට රිසිනම් 
තිබුන එකම එක විසඳුම 
මෙය බව සිතුනා 

අහෝ දුකකි ඉරකි තිතකි 
නැත මාහද සුව වූයේ 
තාමත් ඔහු බැඳි  ආලය  
සිහියේ ඇතුවා 

ආලය හදෙහී නැත්නම් 
ආලය කොහිදැයි කියපන් 
අරුම පුදුම මේ ආලය 
තවමත් සෙව්වා 







Saturday, November 1, 2014

මුරණ්ඩු සිත -නිදහස සොයා යාම

චූටි දුව මම හෙට අනුරාධපුරේ මලගෙදරකට යනවා මාමත් එක්ක. තාත්ත හෙට වැඩ ඇරිලා එහෙම්මම පාටි එකකට යනවා කිව්ව.ඔය හෙට ගෙදරනෙ  ඉන්නෙ පරිස්සමින් ඉන්න  හොඳේ.හොඳට දොරවල් අගුලුදාළ ඉන්න.කවුරු ආවත් දොර අරින්න එපා.බල්ලව ඇරල තියන්න.ආධාර කාරයෝ එයි රැවටෙන්න එපා  ළඟටවත් යන්න එපා හොරුත් එනවා ඔය වගේ. ගේ ඇතුලටම වෙලා ඉන්න හරිද. තාත්ත ගියාට පස්සෙ  ගේට්ටුව ඇතුලින් ඉබ්බා දාගන්න .මොනවහරි  වුනොත් ටක් ගාල තාත්තට කෝල් එකක් දෙන්න. ඔන්න මං කිව්වා දේ මතකනෙ ජනෙල් දොරවල් ඇරලා නිදාගන්නවා එහෙම නෙවෙයි.

හ්ම්ම් ..හෙන ලොකු උපදෙස් මාලාවක්  අම්ම මට එදා රෑත්  දුන්න.ඔක්කොම මතක තියාගන්න ඒ  තරම් අමාරු උනේ නෑ මොකද මේ මං ඇහුව පලවෙනි වතාව නෙවෙයි. මේ ටික මේ උපදෙස් මේ විදිහටම දහස් පාරකට වැඩිය මම අහල ඇති.ගෙදර වෙන කවුරුත්ම නැතිව මම විතරක් ඉන්න දවස් වලට  හැමදාම ඔය ටික අහනවා.ඇත්තටම එහෙම දවස්වල තනියම ගෙදරට වෙලා ඉන්න ආස උනත් ගෙදරින් එලියටවත් බහින්නැතිව බයේ ගේ අස්සේ ඉන්න එක වෙලාවකට එපා වෙලා තිබ්බේ.මොනවා කරන්නද.ඒත්  ඉතින් මේ තරම් දේවල්  අම්ම කියන්නේ ඇයි  කියල හිතාගන්නත් පුළුවන් මොකද පත්තරයක් දිග ඇරියත් තියෙන්නේ කවුරුහරි කෙල්ලෙක් දුෂණය කරපු එකක් එහෙම නැත්නම් ගෙදරකට හොරුපැන්න එකක් ,පහර ගැනීමක් මංකොල්ල  කෑමක්  බලන් යද්දී ඉතින් ඇත්ත තමයි නිදහසේ තනියම ගෙදරට වෙලා ඉන්න එක තමයි භයානකම දේ.ඇයි  ඉතින් තනියම ඉඳිද්දී  කොයි වෙලේ හරි ගෙදෙට්ට හොරෙක් පැන්නම  මොන දෙය්යන්ට කියන්නද? අනෙක අහල පහල මිනිස්සු ගැන විශ්වාසෙ තියන්නත් බෑ .එකපාරක් මහ දවාලක අහල පහල හැමෝටම පෙනෙන අපේ ගෙදරට හොරු පන්න දවසේ කවුරුත් නොවෙයි  කටක් ඇරියේ.මනුස්සයෙක් කෑගැහුවත් ගෙදරින් එලියට බැහැල බලන්න දෙපාරක් හිතන  මිනිස්සු ඉන්න තැනක මූනට දැක්කත් හිනාවෙලා යන්න බැරි තරම් කුහකත්වයක් තියන සමහර මිනිස්සු ඉන්න තැනක උදව් කරන්න ඉතාම අතලොස්සක් ඉන්න තැනක අම්ම මෙහෙම කියන එක සාධාරණ  තමයි.ඔන්න ඔය වෙලේ තමයි කොල්ලෝ ගැන අතිශය ඉරිසියාවකුත් කෙල්ලෙක් වීම ගැන මහා දුකකුත් ඇතිවෙන්නෙ.


පොඩි කාලේ කිව්වේ මෙහෙමයි.

ඔන්න අන්දුරන්නැති  කවුරුත් මොනවත් දුන්නට ගන්න එපා.
බස් එකේ යද්දී බලාගෙනයි එක එක මිනිස්සු ඇඟට එයි  බලාගෙන 
සමහර රස්තියාදු කොල්ලෝ ඉන්නවා රැවටෙන්න එපා
දන්නැති අයත් එක්ක කතා කරන්න එපා  තනියම කොහෙවත් යන්න එපා   ඔක්කොම එපා එපා එපා ... හ්ම්ම් ...

ඉස්සර ගෙදර මම තනියෙන් ඉන්නවට නම් අම්මල කොහෙත්ම කැමතිම නෑ ආච්චි හරි ගෙදර ඉන්න ඕන.දැන් ඉතින් ආච්චිත් නැතිවෙලානෙ.කාලයක් බය පොඩ්ඩක් නැතිවෙලා තිබ්බ එත් ඉතින් ආයෙ  ගමේ කොහේ හරි තැනක හොරු  පැනල කියල ආරංචිඋනොත්, පත්තරේ ඔයවගේ සිද්ධියක් දැක්කොත් ඉතින් මගේ නිදහස  ගේ බිති ඇතුලට සීමා වෙලා. මං මේ  නිදහස කියන වචනෙට මෙච්චර ආදරේ කරන්නේ .මං හීන මවන නිදහසට මෙච්චර හුල්ලන්නෙ ඒකයි .හැබැයි මට හිතෙනවා මං  ඒ නිදහසට පෙම් කරන එක හරියට පලගැටියෙක්  ඉටිපන්දම් දල්ලට ප්‍රේම කරනවා වගේ කියල.

ඔන්න එදත් මම අම්ම කිව්ව  හැමදේටම ඔලුව වනල  හොඳ  ළමයෙක් වගේ නිදා ගත්ත හැබැයි මගේ හිතේ වැඩ කරපු අදහස ලාවට හරි අම්ම කියෙව්වනම් ආයේ ඉතින් එක දවසක් හරි මම ගෙදර තනියෙන් ඉන්නවා බොරු.

පහුවෙනිදා උදේම අම්ම මාව නැගිට්ටුව ඒ උදෙන්ම අම්මයි තාත්තයි ගෙදරින් යන නිසා මම අම්මයි තාත්තයි යනකන් බලන් හිටිය.ඊට පස්සේ ඇඳට වෙලා කල්පනා කරා මොකද  කරන්නේ මම මගේ නිදහස තනියම බුක්තිවින්දිනවද නැත්නම් හැම සීමාවක්ම බිඳ දාල මුරණ්ඩු විදිහට මම මගේ නිදහස හොයාගෙන යනවද.ජීවිතේ එක දවසක් හරි බයක් නැතිව හුස්ම ගන්න අදවත් පුලුවං වෙයිද ?ගෙදර ඔක්කොම දොරවල් ඇරලා ඕන එකෙක්  එත්දෙන් කියල චන්ඩිය වගේ ඉන්නවද  නැත්නම්  වෙනද වගේ ගේ අස්සට වෙලා ගෙම්බෙක් වගේ ඉන්නවද  නැත්නම් කොහේ හරි යනවද ? මොකද කරන්නේ මගේ හිත අහනව. මං හිතත ඇතුලෙන් මගේ හීන එකින් එක පෙලගස්සුව බර අඩුම හීනේ මොකක්ද.චූටිම  හීනයක් .සැහැල්ලුව නිදහස සතුට කැවිච්ච චූටි හීනයක්. හීන මල්ල එලියට  ඇදල ඇදල අන්තිමට එකක් හොයාගන්න පුළුවන් උනා  ඊටපස්සේ ආයෙත් හීන මල්ලට ඉතිරිහීන ටික පුරෝලා පරිස්සමට ගැට ගහල තිබ්බ වෙනින් දවසක් අවොත් ආයේ ඇරලා බලන්න.

මම බිත්ති ඔරලෝසුවේ වෙලාව බැලුව වෙලාව උදේ 7.30 ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඔයාගේ වෙලාව සීමිතයි හිත මට කලබල කරනව.මම  ඉක්මනට ලෑස්ති උනා නිලපාට  ඩෙනිමක් ඇඳලා  මම ආසම  රතු අත්දිග කොටු කොටු ෂර්ට් එක ඇඳලා  ඒක වැලමිට ගාවට වෙනකන් නවා  ගත්ත.කොන්ඩෙත්  ඕනවට එපාවට පෝනිටෙල්  එකක් ගහල  කන්නාඩිය ගාවට පොඩ්ඩක් බෙල්ල දාල බැලුව හි... හී ..කොල්ලෙක් වගේ මං මටම හිනාවුණා ..මේ පිස්සු කරන්න වෙලානෑ  දැනටමත්  පරක්කුයි අම්මල එන්න කලින් ආයේ එන්න ඕන .. යමු යමු ..ඔන්න හිත ආයෙත් කලබලවෙලා ..මං  ටක් ගාල දොර වහල යතුරත් අරන්  ගෙදරින් එලියට පැනගත්ත.

හතිදාගෙන දුවල ගිහින් 138 බස් එකක් අල්ල ගත්ත .කොටුව ස්ටේෂන්. මම ටිකට් එකක් ගත්ත.

හිත වෙනදට වඩා  හය්යෙන් ගැහෙනවා.හරිම නොසන්සුන්.ඒ අස්සෙන් වරදකාරී හැඟීමකුත් දැනෙනවා  නෑ කමක් නෑ  මම හරි මම මගේ  වරදකාරී  හැඟීම යටපත්කරන්න උත්සාහ කලා.ඔයාල හිතනවද ඒක ලේසි වැඩක් කියල නෑ කොහෙත්ම නෑ. පලවෙනි වතාවට මෙහෙම කරන්නේ.හිත දෙගිඩියාවෙන් .මොනවා හරි වෙයිද ? අම්ම බනීද ?හදිසියේ හරි අම්ම හරි තාත්ත හරි  ආපහු හැරිලා ගෙදර ආවොත් එයාල මොනවා කරයිද ? මට ගුටි වැස්සක් ??? .හිත අහනවා.. අවුලක් නැද්ද ?ඔයාට යන්නම ඕනද  ? තව පොඩ්ඩක් හිතනවද... මගින් බැහැල ආයේ ගෙදර යනවද?  ..මම හිතට කිව්වා නෑ අපි යමු. හිත ඒ පාර නිහඬ උනා.

මම ස්ටේෂන් එක ළඟටම යන්නේ නැතිව පිට්ටු බම්බුව පේන  තෙක් මානෙන්  බස් එකෙන්  බැස්ස  කොළඹ හරිම ලොකුයි. මං එකේ ඉන්න චුට්ටං  කුඹියෙක් වගේ. මමWTC  එක තියන පාර දිගේ හෙමිහිට ඇවිද ගෙනගියා ඈත පේනවා නිලට නිලේ මුහුද . අන්න මගේ සිහින ඉසව්ව.මගේ හිත කියාගන්න බැරි තරම් සතුටින් පිරිලා.මගේ හීන ගොඩේ තිබ්බ චූටිම හීනේ මොකක්ද ? ඔයාලට හිතාගන්න පුලුවන්ද ?ගෝල්ෆේස්  එකේ උදේ ඉඳන් හවස් වෙනකන් තනියම  නිදහසේ දවස ගෙවන එක.කවුරුත්ම නැතිව මම තනියෙන් ...මගේ හිතත් එක්ක දවසක්....අය්යෝ හලෝ ඕකද ඔයාගේ හීනේ? ඔයාල මට දැන් හිනාවෙයි .....හරි හිනාවෙන්නකො......................ඉවරද හිනාවෙලා ? ??   මම කියන්නම් මේක හීනයක් උනේ කොහොමද කියල .

හැමදාම උදේ හවස  මම තාත්ත එක්ක බයික් එකේ කැම්පස්  යන්නෙ ගෝල්ෆේස්  එක පහු කරන්  ඒ කියන්නේ ගාලුපාරෙන් ,සමහර දවස් වලට  වැල්ලවත්ත හරියේ ඉඳන්ම රේල්පාරත් එක්ක තියන මුහුද බලාගෙන එනවා. කෝච්චි යද්දී  ඒ කෝච්චියකට නැගල මුහුද පැත්තට බෙල්ල දාල යන්න තිබ්බ නම් කියල හිතුන.මොන හේතුවක් හින්දද මං දන්නේ නෑ මං මුහුදට මාර විදිහට ආසයි.ඒ වගේමයි කෝච්චි වලට.හැමදාම උදේ යනකොට මුහුද දිහා බලන්නේ හරි ආසාවෙන් හිතේ තියන හැමදේම මුහුද දැක්කම නිදහස් වෙනවා .හැම ප්‍රශ්නයක්ම  කනස්සල්ලක්ම මුහුද ගිලගන්නවා වගේ. කැම්පස් ගිය මුල් කාලේ රැග් එකේ තිබ්බ පීඩනයත් එක්ක කැම්පස් යන්න එපා වෙද්දී උදේ පාන්දර මුහුද දකින එක මට මොකක්දෝ සැනසීමක් උනා.ඇත්තටම  උදේ පාන්දර ගෝල්ෆේස් එකට වෙලා  ඉන්න අය ගැන මට තිබ්බේ ඉරිසියාවක්. උදේම නිදහසේ බංකුවක්  උඩට වෙලා ලුණු මිශ්‍ර  වෙච්ච හුළඟ ඇවිත් මූන ඉඹගනිද්දී  තෙරක් නොපෙනෙන ඈත මුහුද දිහා බලාන ඉන්න මට ඕන උනා ...හරි ඕකට ඉතින් හීනයක් තියාගන්න ඕනද?  ඕකට නිකන් ඇවිල්ල යත හැකිනේ ඔයාගේ හිත මගෙන් අහනවා නේද ? ඔව් මන් දන්නවා.මොකුත් ඕන නෑ මේ ටික අහන්නකො. දවසක් මම  අපේ  යාළුවො කට්ටියක් එක්ක ගෝල්ෆේස් යන්න ඕන උනා  අම්ම ගෙන් ඇහුවම ප්‍රශ්න කෝටියයි.කවුද යන්නේ? කා එක්කද යන්නේ ?කීදෙනෙක් යනවද? තනියම යන්න එපා ඔය හරියේ නරක මිනිස්සු ඉන්නවා ...මේ දේ අය්ය  අම්මගෙන් ඇහුවනම් අම්ම කිසිම දෙයක් අහන්නේ නෑ. මං දන්නවා  මේ ඔක්කොම මං කෙල්ලෙක් නිසා. මොන එහෙකටද අප්පා කෙල්ලෙක් උනේ මොකක්ද තියන නිදහස හැම එකක්ම එපා එපා එපා ... යාලුවොත් එක්ක යන්න දෙන්නත් බය වුනාම තනියම යන්න දෙයිද ? නෑ කොහෙත්ම නෑ.අන්න එකයි මට තනියම මෙහෙ  එන්න ඕන උනේ .

මං  පාර  දිගේ ඇවිද ගෙන ගියා.  මුහුද පැත්තෙන් ආව හීතල හුළඟක් මාව සාදරයෙන් පිළිගත්ත. මං කෙලින්ම ගියේ බංකුවක් ගාවට. මං එතන වාඩිවෙලා  ගොඩක් වෙලා හිටිය.

 මුහුදේ රැලි උඩ  පනිනවා ආයෙ  පාත් වෙනවා සමහර රැලි උඩ පැනල  මුහුද අස්සෙ හැංගෙනවා.උඩටම පැන්න සමහර රැලි වේගෙන්  ඇවිත් වෙරලෙ  තියන ගල් හප්පගෙන වතුර මලක් වගේ වතුර විසික්කරනවා. මුහුදේ තාලෙට  ඈත තියන බෝට්ටුවක් හෙමිට හෙමිට  පැද්දෙනවා එක බලන් ඉන්න මගේ හිතත් පැද්දි පැද්දි  හදවතින් ගැලවිලා කාන්සලු ගතිය, දුක, විඩාව,දෙගිඩියාව ඔය  ඔක්කොම අරගෙන මුහුදට විසිකරලා ඈතට පාවෙලා යනවා පාවෙලා යන්නේ මගේම මගේම මට විතරක් අයිති මනෝ ලෝකෙට.




මම ටිකක් වෙලා ඇස් පියන් මනෝ ලෝකෙට  යන්න ඉඩ දුන්න .හැබැයි දිගටම ඇස් පියන් ඉන්න බය හිතුන අනේ මන්ද සමහර විට මට අම්ම කිව්වා දේ මතක් උනා  "ඔය හරියේ නරක මිනිස්සු ඉන්නවා ".....

ඇත්තටම කිව්වොත් මට ඕන මෙතන මුළු දවසම ගත කරන්න ලස්සන සින්දුවක් අහන ගමන් උණු උණු තේකක් බිබී ලස්සන චිත්‍රයක් සිතුවම් කරන්න.එහෙම නැත්නම් මම ආසම සින්දුවක්  මෙතනට වෙලා ගිටරයකින් වාදනය කරන්න. වැල්ලට පැනල කෑගහල නටන්න. වැලි එකතුකරලා පොඩි එකෙක් වගේ වැලි මාලිගා හදන්න.වැල්ලේ මගේ නම ලියල  මුහුදු රැල්ල ඇවිත් මගේ නම අරගෙන යන හැටි බලන්න චුටි චුටි සිප්පි කටු ඇහිඳින්න එකේ ඇතුලේ මුතු ඇට  තියනවද බලන්න. චක් චක් ගාල වැල්ලේ පෙණ පිඩු  පාගාගෙන පැන පැන  ඈතට දුවන් යන්න .ඔන්න ඕවගේ අහිංසක ආසාවල් ගොඩක් තමයි මට තිබ්බේ හැබැයි ඔය කිව්ව දේවලින් සමහරක් කරන්න මට මුළු ගෝල්ෆේස් එක වටේටම ඇඳිරිනීතිය දාල මං විතරක් එන ක්‍රමයක් සැලසුම් කරන්න වෙයි ඇයි  දෙය්යනේ  නිකමට හිතන්න වැල්ලට වෙලා මූදේ රැලි පාග පාග මං  නටද්දී මං පිස්සියෙක් කියල කවුරුහරි මව හොස්පිටල් එකට  ඇදගෙන ගියොත්.ඒ නිසාම ඔය සිතිවිලි වලින් සමහරක්, ඉටු කරන්න බැරි ආසාවන් මම ආයේ හීන මල්ලට දාල ගැටගැහුව.

මම බංකුවට වෙලා පැය 2,3වත් ඉන්නැති මම දැක්ක එක්කෙනා දෙන්න මං දිහා ඕනෑකමින් බලාගෙන යනවා මට මොකෝ ඕන දෙයක් හිතපුවාවේ මං අහක බලාගත්ත.

දවල් වෙන්න කලින් මට වැල්ල පාගන්න ඕන උනා මං හෙමිහිට  වැල්ල පැත්තට ගියා. වැල්ල දිහා බලන එකම ආස හිතෙන දෙයක්. චුට්ටක් මැද්දට ගියාම රැල්ලෙන් එන වතුර පාරේ සැර කකුල් වලට හොඳට දැනෙනවා වෙරළට එන රැල්ල අයෙත් මුහුදට යන්නේ මගේ කකුල් වටේ තියන වැලිත් හෝදගෙන වැල්ල කිරි පාට පෙණත්  එක්ක ආපහු යන සැර කකුල් ඇදල  ගන්නවා වගේ.එක හරියට සුදුපාට ශෝල්  එකක් කකුල වටේ දාල මුහුද දිහාවට අදිනවා වගේ. මං ඈත මුහුද දිහා බලාගෙන මුහුදත් එක්ක හිනා උනා. තව ටිකක් මුහුද දිහාට ගියා. හොඳ හුස්මක් ගත්ත .සැහැල්ලුයි ජීවිතේම සැහැල්ලුයි හිත සතුටුයි  මාරම සතුටුයි.සංකීර්ණ ජීවිතේ මොහොතකට අමතකඋනා  මගේම ලෝකෙක මං  ආයෙත් පාවෙලා  ගියා.

මගේ ජීවිතේ තියන හීන වලින් එකක් මේක. මේක චූටි හීනයක්.  තව තියනවා ....ලෝකේ වටේ තනියම ඇවිදින එක වෙන කවුරුත් එක්ක නෙමේ තනියෙන්  මම විතරයි ලොකු කැමරාවක් අරන් ලස්සන කඳුවැටි වලට නැගල ඈත පින්තූර  ගන්න, ලස්සන ලස්සන මල්වල, සත්තුන්ගේ පින්තුර ගන්න.හවස් වෙලාවක මුහුදක් අයිනට වෙලා ගිනිමැලයක් ගහගෙන ලස්සන සින්දුවක් කියන්න ..මේවා හීන විතරනේ ඔයාල හිතනවද මට එහෙම යන්න වෙයි කියල.කැම්පස් ඇරිලා රැවෙලා  ගෙදර එනවට බය ගෙදරින් පිට කොහේ හරි තනියම යනවාටත් බය කොටින්ම ගෙදර තනියම ඉන්නවටත් බය ගෙදර අය  මේ හීන වලට ඉඩක් දෙයිද නැත්නම් හීන ටික අඳුරු පෙට්ටියක දාල තඩි ඉබ්බෙක් දාල යතුර හංගයිද ?.ගෙදරින් කැමතියි කියමුකෝ  මේ සමාජයේ  අද වගේ කාලෙක කෙල්ලෙක්ට එහෙම තනියම ඉන්න පුලුවංවෙයිද ..මං කියන්නේ කිසිම කරදරයක් නැතිව.????කොල්ලෙක්නම්  කරදරයක් නැතිව ලෝකේ වටේ සංචාරය කරයි ඒත් කෙල්ලෙක්ට? ?..  :( හරිම නරකයි  ...........

මම තව ටිකක් වෙලා රැල්ල පාග පාග හිටිය ඒත්  වැඩිවෙලා එතන ඉන්න හිත දුන්නේ නෑ අම්ම කිව්ව කතාව ආයෙත් මතක් උනා.ටිකක් රස්තියාදුපාට කොල්ලෝ සෙට් එකක් මං දිහා බල බල මොනවද කියව කියව  හිටියේ මං  හෙමිට එතනින් මාරු උනා. පොඩි බඩගින්නක් දැනුන නිසා උණු උණු  වඩේ එකක් අරන් ආයෙමත් බංකුව  උඩ වාඩි උනා....මේ වෙලාවේදී තමයි හිත ගැහෙන සිද්ධියක් උනේ.අම්මගෙන්  කෝල් එකක් ..ඉවරයි  දැන් මොකෝ කරන්නෙ ෆෝන් එක දිහා බිරාන්ත වෙලා බලාගෙන මං ටිකක් වෙලා කල්පනා කලා.ලොකු හුස්මක් අරන් ...හලෝ අම්ම ...

හලෝ පොඩි දුව ගෙදර පරිස්සමෙන් නේද.උදේට කෑවද ?

අහ්හ් .. ඔ ..ඔව්.. අම්ම...මම කෑව  ..මං  හොඳින් ..මගේ වචන පැටලුනා  ..

හා  එහෙනම් පරිස්සමින් මං ඉක්මනට එන්නම්  බුදුසරණයි අම්ම ෆෝන් එක තිබ්බ.
සාමාන්‍යයෙන්  මං ගෙදර තනියෙන් ඉන්න දවසට අම්මයි තාත්තයි 3,4 පාරක් කතා  කරනවා. ඒ මං  හොඳින්ද අහන්න.ඇත්තටම මට එයාලට වැරද්දක් බොරුවක් කරන්න ඕන උනේ නෑ  නරක වැඩක් කරන්නත් ඕන නෑ එත්   මං ජීවත් වෙන්නෙ  සීමාවල් නීතිරීති සමාජ බැමි වලින් හදපු කුඩුවක නිදහසේ හුස්මගන්න බැරි කිරිල්ලියෙක් වගේ කියල හිතුන.ඒක  ගෙදර අයගේ වැරද්දක් නෙවෙයි මේ සමාජයේ වැරද්දක් ? 

අම්මේ මං ආසයි දවසක ඉන්දියාවට ගිහිල්ල සංගීතය ඉගෙන  ගන්න හින්දි හරි ලස්සන භාෂාවක් මට ආසයි එහෙ ගිහිල්ල හින්දි ඉගෙන ගන්න. එහෙ එක එක ප්‍රාන්ත වල තියන මිනිස්සුන්ගේ භාෂාවල සංස්කෘතියේ වෙනස්කම් බලන්න මගේ ඉන්දියාවේ යාළුවො හම්බෙන්න ..ඊට පස්සේ කැනඩා යන්න ආසයි තව අර චීනේ චීන මහා ප්‍රකාරේට යන්න. ජපානේ සකුර මලක් කනේ ගහගෙන ලස්සන පින්තුරයක් ගන්න හරි ආසයි.ඔන්න ඕවගේ ආශාවන් ගොඩක්  හීන මල්ලෙන් එලියට දාපු දවසට පිස්සුවෙන් වගේ අම්මත් එක්ක කියවනව අම්මත් ඔහේ අහන්  ඉන්නවා .හැබැයි ඒ වෙලාවට අම්මගේ ඔලුවේ වැඩ කරන හිතිවිලි මං දන්නෑ .අම්මේ මං එහෙම ලෝකේ වටේ යන්නද මං අම්මගෙන් අහනවා .අම්ම කියනවා දැන් ඇතිනේද හීන ලෝක වල හිටිය.. දැන් මේ පොල් ටික ගාල දෙන්න නැත්නම් පාඩම් කරන්න යන්න .හ්ම්ම් ..එතැනින්ම ආයෙත් අර එලියට දාපු හීන ආයෙත් හීන මල්ලටම ඔබා ගන්නවා.

එක්කෝ මට පිස්සු නැත්නම් මගේ හිතට පිස්සු  නෑ නෑ  මේ එකක් වත් නෙමේ මේ සමාජය නපුරුයි නරකයි අසමානයි දුෂ්ටයි.එකනේ මෙච්චර කෙල්ලන්ට නීතිදානේ නිදහසේ ඉන්න දෙන්නැත්තෙ. රැකගන්නයි ආරක්ෂා කරගන්නයි  අරවයි මේවයි ගොඩයිනෙ .මට අද වගේ දවසක ඕව හිතන්න ඕන උනේ නෑ මට නිදහසේ අද දවසම ගෙවන්න ඕන උනා ඒත් මේ හිතිවිලි එන එක නවත්වා ගන්න බැරිඋනා .

මං හිතන්නේ අද දවසෙන් බාගයක්ම මම මෙහෙ. දවල්ට කන්නත් ඕන නෑ වගේ  හවස ඉර බහිද්දී මුහුදේ ලස්සන බලන්නත් ඉන්න ඕන.මේ මුහුද ,සොබාදහමේ එක සොඳුරු නිමැවුමක්, මගේ ජීවිතේ සැහැල්ලුව නිදහස ඇතිකරන අපූරුව.ඇයි ගොඩක් අය  නිදහසේ ගත කරන්න මුහුදක් ගාවට එන්නේ කෙනෙක්ට හිතන්න පුළුවන්නේ මේක නිකන්ම නිකන් වතුර ගොඩක්නේ  කියල.ඒත් ඔය හැමෝගෙන්ම නිකමට අහල බලන්න මුහුද ගැන ඇත්තටම ඒ අයට දැනෙන්නෙ මොකක්ද කියල.

මුහුදයි ..නිදහසයි... මමයි..හ්ම්ම් ... දවස නරකම නෑ.මුරණ්ඩු තීරණයක් ඒත් මේ මගේ හීන ලෝකෙ තුල මං ජීවත් වෙන්න  චරිතය. ඒ චරිතයට හෙමින් හෙමින් හුස්ම කවල ජීවත් කරවන්න මං  ආසයි  එතකොට මේ ලෝකේ මං ආසම විදිහට නිදහසේ ඉන්න පුළුවන් .

දන්නෙම නැතිව හවස් වෙලා මට හවස් වෙනකං ඉන්න ආසයි ඉරේ  රන්  පාට සායම් මුහුදේ ගෑවිල මුහුද දිලිසි දිලිසි තියන හැටි බලන්න හවස් වෙනකං ඉන්න මං ආසයි ඒත් හවස් වෙනකං තනියම ඉන්න මොනවා උනත් හිත බයයි.  අම්ම තාත්ත එන්න කලින් යන්න ඕන .තව පැයකින් ගෙදර යනව එතකං ආයෙමත්  හුදකලාවේ භාවනාව ඉඩක්   හ්ම්ම් ... මං ආයෙත් ඇස් පියාගෙන මුහුඳු හුළඟට හිත පාකරා.... 





Friday, October 24, 2014

සිත් සංවාද

එදා හරි නිහඬ දවසක්.විභාගය ඉවරවෙලා නිසා ටික දවසක නිවාඩුවක්.හවස් වරුවෙ  කම්මැලි  කමේ ඉන්නකොට  මට සින්දු අහන්න හිතුන. නිහඬ බවයි හුදකලාවයි මං  ආසම සිංදුයි.මේ තුන සංයෝජනය වුනාම හිතට දැනෙන වින්දනය ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.earphone එක කනේ ගහගෙන ඇඳට වෙලා නිවාඩු පාඩුවේ සිංදු  අහන් ඉන්නකොට ජීවිතේම පාවෙලා යනවා වගේ හරිම සැහැල්ලුයි.එදත් ඔය වගේ දවසක් මං අහන හිටියේ කසුන් කල්හාරගේ සිංදු .රොමෑන්ටික් ඔපෙරා ..කසුන් කල්හාරගේ සින්දු අහනකොට හිතුනේ ආදරය දැනෙන්න ආදරවන්තයෙක් ආදරවන්තියක් ම  වෙන්න ඕන නෑ කියල ඒ සිංදු අපිව මොහොතකට හරි ආදර ලෝකවලට පාකරලා අතරමං කරලා දාල ආයේ පියවි ලෝකෙටඇදන් එනවා.සිංදුත්  හරි පුදුමයි.වෙලාවකට මායාවක්.ෆෝන් එකට දාගත්ත සිංදු  කීපයක්ම මම ඇස් පියාගෙන නිදහසේ අහන් ඉන්නවා.කසුන් කල්හාර කියන ආදර  ගීත මට අලුත්  කතාවක් ලියන්න සිතිවිලි ගොතනවා.ඔය ආදර සින්දු අතරෙ එක සින්දුවක් තිබ්බ. නම වැටෙන්නෙ life song කියල. ඊළඟට වාදනය වෙන්න තිබ්බේ ඒක ..

අහල තියනවද 

සිඳී  වියලෙන දිය පොදක් නොව 
ගලා  බසිනා උල්පතක් වෙමු 
හැඟුම්  මත ජීවිතය නොතබා 
බුද්ධියේ නැණ පහන් දල්වමු 


මමදැහැන්  ගතවෙලාවගේ සින්දුව අහනවා හිත ධනාත්මක සිතුවිලි වලින් පුරවගන්න ඕනනම් අන්න නියම සිංදුව.හිතේ පත්ලටම වැදිලා ඇඟේ රෝම කූප කෙලින් වෙන ගැම්මක් දැනෙන සිංදුවක්.හිතේ හද ගැස්මත් එක්ක කන් දෙක පුරා  සිංදුව දෙදුරුම් කනවා. එත් එක පාරටම ........

ට්‍රිරි රී  ට් ර්ර් රා ර ..ක්‍රී ..ක්‍රීර් ඊ න් ......

 මොකක් හරි දෝෂයක් වගේ... සිංදුව එකපාරටම ඇහෙන්නැතිව ගියා.

ක්‍රී ..ක්‍රීර් ඊ න්... මේ මොකද මේ වෙන්නෙ ???  මං ෆෝන් එක දිහා බැලුව.සිංදුව වාදනය වෙනව පේනවා ඒත් මට ඇහෙන්නෙ නෑ. කන් බිහිරිකරවන ක්‍රින් ක්‍රින් සද්දෙ තත්පර කීපයක් තිබ්බ ඊටපස්සෙ කිසිම සද්දයක් නෑ earphone එකේ දකුණු  කනින් හීන් කෙඳිරියක් ඇහෙනව මෙන්න එකපාරටම මහා සද්දෙන් හිනාවක් ... 

.
.
.

'නැගී සිටිමු අපි' ...හ හා හා ... මහලොකු ධනාත්මක සිතිවිලි තියන සින්දු ඇහුවම තමුසෙ නැගිටියි කියලද හිතන්නේ ..අනේ යනව යන්න .තමුසෙට නැගිටින්න බෑ කම්මැලිය.බලපන් තමුසේ මේපාර විභාගෙන් කෙලවෙනවා ඇනගන්නව.. අන්තිමට අඬ අඬ ඉඳී  කිසිම දෙයක් කරගන්න බැරිව ..'නැගී සිටිමු ' ..බම්බුව තමයි.

මෙන්න ඊළඟට earphone  එකේ වම් පැත්තෙන් ඇහෙනව  හා ...එහෙමද හිතන් ඉන්නෙ.ඔයාට ලොකු වැරදීමක් .. බලන් ඉන්නකෝ මේපාරත් විභාගෙන් හැම එකටම  ඉහල සාමාර්ථ ගන්න හැටි.ලකුණු අරන් gpa එක නග්ග ගන්න හැටි.ඔහොම මාව වට්ටන්න බෑ. මං වැටෙන්නෙත් නෑ.

දකුණු  කනින්: ... තමුසේ කවුද ඔය..කියනවා කවුද ඔය චන්ඩියා.. ආ  ..තමුසේ දන්නවද මං කවුද කියල..

වම කනින් : ඔව් මං හොඳට දන්නවා ඔයා  කවුද කියල..ඔයා  මේ ශරීරය මුලා  කරන, වට්ටන, රිදුම්දෙන ඍණාත්මක සිත.ඍණාත්මක අදහස් පොදි බැඳගත් ඍණාත්මක සිත.ඔයාට වඩා  හාත්පසින් වෙනස් මම. මම මේ ශරීරයට අයිති ධනාත්මක සිත.මේ ශරීරය,මේ ජීවිතයෙ ඉස්සරහට ගිය හැම පියවරකම  තල්ලුව දුන්නෙ මම.

දකුණු කණින් :අහා... එහෙනම්  මේ උඹ ...අවසානෙදි මට උඹත් එක්ක කතා කරන්න හම්බුනා.ධනාත්මක සිත.. මගේ එකම සතුරා...එහෙනම් මේ උජාරු කතා කියන්නේ තමුසේ ..පුහ් ! හිතන් ඇති මහා ලොකු පොරක් කියල. ඕව කොහෙද මාත් එක්ක ඔය හැමදාම කරට කර තරඟ කරලා දිනන්න හැදුවට...මගේ සිතිවිලි කීපයක් ඇති මේ ශරීරය විනාශ කරලා දාන්න.

ඒයි ධනාත්මක සිත ,බලපන් මේ ශරීරය දිහා ඉපදිච්ච දවසේ ඉඳන්ම මේ ශරීරය  මොනාද කලේ ආශාව පස්සේ දුවන එක.පොඩි කාලෙ පන්තියේ පලවෙනිය වෙන්න දැඟලුව.ආසම සෙල්ලම් බඩුවලට කෑගහල, අඬල ලබාගත්ත.ලස්සන ඇඳුම් වලට ආශා කළා.ඊට පස්සේ මොනාටද ..සහතික, ඉගෙනීම් ,උපාධි ඊටත් පස්සේ  මොනාටද ආදරය, සල්ලි,බලය ,නිලතල  මේ හැම එකක් පස්සෙම මේ ශරීරය හති දාගෙන දුවනව මොනාටද ආශාවට , සිහින, බලාපොරොත්තු මේ හැම එකටම මේ ශරීරය  අසීමිතව කෑදරයි. මට මොකක්ද කරන්න තියෙන්නේ පොඩි ඉඳිකටු තුඩකින් ඔය ආශාව කියන පිම්බිච්ච  බැලුම පොප් ! ගාල  පුපුරලා දාන එක.පොඩි ඍණාත්මක සිතිවිල්ලයි දෙන්න ඕන.

ඔයා කියන්න ඕන නෑ ඔයාගේ ඍණාත්මක සිතිවිලි ගැන මම හොඳාකාරවම දන්නව මේ ශරීරයට වෙච්ච හැම අයහපතක් වගේම හැම නරක සිතිවිල්ලක්ම ඇතුළු කලේ ඔයා  බලන්න ඔය වචනත් හරිම රළුයි.ආශාව පස්සේ ශරීරයක් දුවන එකට මං මොකුත් කියන්නේ නෑ මේ ශරීරය පෘථග්ජනයි.ආශාවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි.හැබැයි ඒ කරන දේ හොඳ නරක තීරණය වෙන්නේ ඔයයි මමයි මත.මේ ශරීරයට නරක කියල දුන්නේ ඔයා නරක හොඳ වගේ පෙන්නුවේ ඔයා.හොඳ දේවලදී අවහිර උනෙත් ඔයා.එත් මම ඔයාට වඩා  ගොඩක් වෙනස්. හොඳ මොකක්ද යහපත් දේ මොකක්ද  කියල පෙන්නලා දුන්නේ මම.ධනාත්මක වගේම හොඳ සිත මම.ඍණාත්මක සිත වගේම නරක සිතත් ඔයා .මම දන්නවා ඔයා  හරි ආසයි මේ ශරීරය වට්ටන්න.

"උඹට බෑ.. උඹ මෝඩයෙක් ...නිකමෙක් "කියල හිත වැට්ටුවේ  ඔයා 

"ඔයාට පුළුවන්...ඔව් ඔයාට මේ දේ කරන්න පුළුවන්"  කියල තල්ලුව දුන්නේ මම. 

ඔයා  මොනාද කලේ, ජීවිතේ අමිහිරි හැම අත්දකීමකදිම පරණ අත්දැකීම පොලියත් එක්ක පොම්ප කරලා මේ ශරීරය රිද්දුව.හැබැයි මම කලේ මොකක්ද ,මේ ශරීරයට ඇතිවෙනකන් අඬන්න  දුන්න අඬල අඅඬල  කඳුළු වේලුනාට පස්සේ දුක තුනීවෙන්න ඇරලා ආයෙත් නැවුම් බලාපොරොත්තුවක් හිතට දුන්න. ධනාත්මක සිතිවිලි වලින් හිත පිරෙව්වා ... 

පිළිගන්නවද? ඔයා මේ ශරීරයට කඳුලක් දෙද්දී මං දුන්නේ හිනාවක් 

පුහ් ! තමුසේ හිතන්නේ තමුසේ මහා වැඩ කාරයෙක් කියල නේ ....මම තාම මේ ශරීරයට මගේ වැඩ පෙන්නුවේ නෑ.දැන් බලපන් මේ වයසේ ශරීර.. මොකක්ද මන්ද කෙහෙල්මල් ආදරයක් ගැන තැවෙනවා වෙලාවකට ආදරය වෙනුවෙන් බලාඉන්නවා.තවත් වෙලාවක හීනමවනවා.හෙක් හෙක් ..මං කරන්නේ මොකක්ද අර කෙහෙල් මල් ආදරයට පයින් පාරක් දෙනවා මොකක්ද කරන්න ඕන. 
"තමුසෙට කවුද ආදරය කරන්නේ  චික් විතරක් තමුසෙගෙ කැත " කියල සිතිවිල්ලක් හිතට විදින එක විතරයි සිහින මාලිගා ඔක්කොම සබන් බෝල වගේ බිඳිලා ගිහින්.මේ ශරීරය හොටු පෙර පෙර අඬ අඬ ඉඳිද්දී තවත් ඍණ අදහස් දෙකතුනක් පපුවට  කවල මම හෙන ආතල් එකේ ඉන්නවා. 

හ්ම්ම් ..මං  දන්නවා ඔයා  මේ ශරීරයට පාප මිත්‍රයෙක්. ඔය හැම අවස්තාවකදීම මම මේ ශරීරයට දහිරිය දුන්න.ආදරයට බලාපොරොත්තු ඇති කරන්නේ මම .ජීවිතය ජීවත් කරවන්න පාර පෙන්නන්නේ මම.ආදරයෙන් බිඳ වැටුනම හිත සනසන්නෙත් මම ඔයා  කොච්චර මේ ශරීරයට නපුරු උනත් මං මගේ උපරිමයෙන්ම මේ ශරීරයට  ආදරය කරන්න කියල දෙනවා .මිනිස්සුන්ට ආදරය කරන්න, සතා  සීපාවට ආදරය කරන්න ,මහපොළවට ආදරය කරන්න මේ හැමදේටම ආදරය කරන්න අවශ්‍ය මුදු මොලොක් සිති විලි මම මේ ශරීරයට පොවනවා. 

ඔය පම්පෝරි ගැහුවට වැඩක් වෙයිද? .ඔය මොකක්හරි දෙයක් උනාට පස්සේ මගේ එක දරුණු සිතිවිල්ලක් ඇති මේ ශරීරය අයිති මනුස්සය වහ කුප්පියක් බොන්න කොල්ලෙක්නම් මොකක්ද කරන්නේ බීල බීල දියවෙලා යනවා. අවුරුදු ගානක් ගොඩනගන තමුසෙගෙ ඔය ධනාත්මක සිතිවිලි එක තත්පරේට මගේ ඍණාත්මක  සිතිවිලි වලින් කීතු කීතු කරන්න තරම් මම ප්‍රභල බව මතක තියාගනින් 

මම දන්නවා ඔයා මටවඩා  ප්‍රභල වෙන්න උත්සාහ කරනවා.හැබැයි ඒ හැම වෙලේම  මං මේ ශරීරය ළඟ ඉන්නවා බලන්න මේ සමාජයේ  ඉහලට ගිය මිනිස්සුන්ගේ සිතිවිලි වල මං කොච්චර පිරිලා ඉන්නවද.හැම සාර්ථක මිනිසෙක් පිපුපසම මම ඉන්නව. ඔයාගේ ඍණාත්මක  සිතිවලි වලින් මේ ශරීරය  වට්ටලා තවත් එක් නිකමෙක් කරන්න මං ඉඩ දෙන්නේ නෑ.දැනටමත් මම මේ ශරීරයේ ධනාත්මක සිතිවිලි ගොන්නක්ම වගකරලා තියෙයි ..බලා ඉන්න  ඒ වයේ අස්වැන්න ඉදිරියේදී ලැබෙනකන් 

හ... හා.. හා ... ඔය කිරි කලේට  එක ගොමබිංදුවයි  මට දන්නා ඕන.. හෙක්.. හෙක්.. හෙක් ...

ඍණාත්මක සිත ඔයා දන්නවද අරමුණක් තියන සිතකට ධනාත්මක සිතිවිලි වගාකරන්න ලේසි.මේ ශරීරයට අරමුණක් තියනව.අරමුණ මොකක් උනත්  ඒ අරමුණට ලැදි ,නම් ධනාත්මක සිතිවිලි හැම වේලීම ඒ අරමුණ පසුපසින්. මේ ශරීරයත් ඒ වගේ. ඔය කොච්චර උප්පරවැට්ටි  දැම්මත් අරමුණක් තියන ශරීර වට්ටන්න අමාරුයි.

උඹේ මහලොකු දෙවිල්ල විතරයි. හරි බලමුකො  කවුද අන්තිමට දිනන්නේ කියල. උඹයි මමයි  දෙන්නම මේ ශරීර කුඩුවේ අන්තිම හුස්ම පොද යනකන්ම ලැගගෙන ඉන්නවනේ 

ඔව් අපි බලා ඉමු ..මට ඔය  ඍණාත්මක සිත බොහොම වටිනව  මොකද ජීවිතේ වැටීම් පසුතැවීම්  වලින් මේ ශරීරයට  පාඩමක් කියල දීල ඒවා අත්දැකීම කරගෙන ආයේ මේ ශරීරය ගොඩනගන්න පුළුවන් නිසා.අපි බලා ඉඳිමු අන්තිමට ජයගන්නෙ ධනාත්මක සිතිවිලිද ඍණාත්මක සිතිවිලිද කියල....
.
.
.


ක්‍රින් ..ට්‍රිරි රී  ට් ර්ර් රා ර ..ක්‍රී ..ක්‍රීර් ඊ න් කන් බිහිරි කරවන සද්දේ ආයෙත් ඇවිත් ආයෙත්  නැවතිලා ගියා .කනපුරා  දෙදරන්න සිංදුව ආයෙත් ඇහෙනව 

ඉඩක් නොතියමු කඳුළු බිඳකට 
සිනා තවරමු රිදුම් දෙන හද 
පරාජිත සුසුමක හඬක් නොව 
දහස් සුවහස් ජය හඬක් වෙමූ 

නැගී සිටිමු අපි අපි වෙනුවෙන් 
දිලි නැගෙන හිරු කිරණ ලෙසින් 
නැගිසිටිමු යලි යලි දිවියෙන් 
හඹා  ඇදෙමු හී සර විලසින් 


https://www.youtube.com/watch?v=GPCRczQpMGMLIFE SONG-Kasun kalhara




Sunday, October 19, 2014

මල්සරා වෙත ලියමි ;)

අද මහ අප්සට් දවසක්  කැන්ටිමේ කාපු friday  special බත්  එකේ රහක් වත් දැනුනේ නෑ අප්ප චික් ... .උදේ පාන්දරම එයාව දැක්කනේ .මට  හාට් අටෑක්  හැදුන්නැති  එක පුදුමයි.හිත තාමත් අඬනවා....අනේ දෙවියනේ උඩ  ඉන්න දෙයියෙක්වත්  මා දිහා බලන්නකො.මගේ පරම පවිත්‍ර අති  උත්තම පූජනීය  හද මඩලටමයි මෙහෙම වෙන්නෙ. මගේ හිත වා වන්නේ නැ.ඇත්තමයි අප්ප මෙහෙම දුක්ඛිත ජීවිතයක් කුමටද?? මං පනිනවා බේරේවැවට ඔව් අද හවසම පැනල සිය දිවි හානි කරගන්නව  ඒක මීට වඩා  සැපයි....කැන්ටිමේ මුල්ලක සයිඩ්  ගහන් මම හෙන මූඩ් අප්සට් එකේ ඉන්නකොට තරින්දි එනව සෝය අයිස් ක්‍රීම් දෙකකුත් අර.  අනේ මන්ද මගේ මේ හිත උණු වෙලා දියවෙනවා මේ පාප මිත්‍රයට අදමයි අයිස් ක්‍රීම් කන්නත් ඕන වුනේ  :( 

මොකෝ මේ උදේ ඉඳන් මූඩ් අවුල් මොකෝ කේස් එක. අතේ තිබ්බ අයිස් ක්‍රීම් එක ලෙව කන ගමන්ම තරින්දි මගෙන් අහනවා   

නෑ  මොකුත් නෑ 

මොකුත් නෑ වෙන්න බෑ හලෝ අද උදේ ඉඳන් මං බලන් හිටියෙ  හරියට කොල්ලෙක් බූට් එකක් තිබ්බ වගේනෙ මේ ඉන්නෙ. 

බූට් තමා  හලෝ .. මගේ ක්‍රෂ් එක. අනේ දෙයියනේ  මට  කැන්ටිමේ බිත්තියට ඔලුව ගහගෙන ගහගෙන යන්න හිතුන 

ආ ආ ඔය  බළලා  මල්ලෙන් එලියට පනින්නෙ...  කියනවා බලන්න මොකෝ උනේ. අපිටත් නොකියන මොනව  හරි තියනව වගේ.

නෑ  හලෝ... ඉඳල ඉඳල කැම්පස් එකේ  කොල්ලෙක්ට  හිත ගියා  අන්තිමට ඌ  අද කෙල්ලෙක් එක්ක බස් ස්ටැන්ඩ්  එකේ ඉන්නවා දැක්ක.මට හාට් ඇටෑක්  වගේ. ඔයාට කියන්න කවුදෝ හරියට අධි වෝල්ටීය විදුලි රැහැනක් පපුවට අල්ලුව වගේ ..මගේ පපුව දාල ගියා ....බෑ බෑ මට මෙහෙම ඉන්න බෑ මට දැන් මෙහෙම ඉඳල ඇතිවෙලා හලෝ මගේ වයස කීයද  තාම මෙහෙමයි හිත වාවන්නෑ. 


හිත වවන්නේ ම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ  මම තාම දන්නේ මම ඔබේ කියා ... ආ  ආ ...

ඇති ඇති  හිටපන් හිටපන් ඔය කැරල කටහඬ එලියට දන්නේ නැතිව.උඹට මොංගල් කියල අපි විතරක් දැනන්  හිටියම ඇති  හික්ස් ...

අනේ යනවා යන්න  මගේ පාප මිත්‍රයෝ :(  අඩුම තරමෙ මට උදව්වක් වත් කරනවද නෑ නෙ.උදව් කරානම් මං මෙහෙම දුක් ගී කියන්නෑ නෙ.
අනේ මට මෙහෙම ඉන්න බෑ මට මටත් ගොඩ යන්න ඕනා 

යයි යයි බලන් හිටහන් ..ඔය බෝතල්  අඩි දෙකක් වගේ  කන්නාඩි දෙකක්  දාගෙන පාරේ වැලිකැට  ගණන් කරනවා වගේ බිම බලන් ගියාම හම්බෙයි 




ඉහි... ඉහි. ...මගේ හිත වාවන්නේ නෑ.


හ්ම්ම් ...
හරි මං උදව් කරන්නම්  හැබැයි මේක රහසක් හරිද කාටවත් කියල වැඩේ අවුල් කරගන්නේ නෑ හරිද .

ඈ  ඒ මොකක්ද කරන්න යන්නේ දැන් ..

මොකුත් නෙවේ ...දැන් මොකෝ මම උදව් කරන්න එපාද ..අහ් එපානම් නිකන් හිටපන් මට මොකෝ ...

අනේ.. ..අනේ ඔය කොහෙද යන්නෙ   ඕකනේ කියන්නෙ තරහ යනව ...මගේ හොඳ යාලුවනේ නේ...අනේ පැටියෝ හොඳ එකානේ වාඩිවෙන්නකෝ මෙතනින් හරි දැන් කියන්නකො මොකක්ද කරන්න යන්නේ කියල 

තරින්දි  වට පිට බැලුව ඊට පස්සේ හෙමීට මගේ කනට කරලා රහසක් කිව්ව ..

``````අපි මල්සරා  අය්යට මේ ගැන කියල උදව්වක් ගමු.`````````

හෑ... මොකක් !!!... ම.. මල් ... 
 කට කට මැට්ටියෝ  කට ...මං  කිව්වනෙ කෑගහන්න එපා කියල මේක රහසක් ...

හරි හරි (රහසින් ) ... මේ ඇත්තමද ඒ කිව්වෙ මල්සරා??? 
ඒ කවුද ඒ ..අපේ සීනියර් අය්යෙක්ද...  හප්පේ බෑ ...මට බෑ ඔය සින්නො ගාවට යන්න ...

මොන  සීනියර් ද ..උඹ මල්සරව දන්නේ නැද්ද අර ඊතල විදින්නේ .. 

මොකක් ... අර අත්තටු දෙකක් තියන ඊතලයක් අරන් ඉන්න පොඩි එකාද ...



පොඩි එකා කොහෙද  හෙන ලස්සන කොල්ලෙක් ..

ඉතින් එයා කොහෙද මෙහෙ එයා  ඉන්නේ සුරංගනා  කතාවලනෙ.

බම්බුව තමයි ..ඕකනේ  කියන්නේ ලෝකේ ගැන දන්නේ නෑ ...කැම්පස් ආවත් ලෝකේ ගැන දන්නේ නෑ ..මල්සරා ඇත්තටම ඉන්නව 

ඉන්නවා ඒ කොහෙද ... 

ඉන්න තැන මම දන්නේ නෑ හැබැයි උඹ මගේ යාලුවනේ ඒ නිසා කාටවත් දුන්නනේ නැති දෙයක් මම දෙන්නම්.

හා... ඒ මොකක්ද 

මල්සරා ගේ ඊ මේල් ඇඩ්රස්  එක 

මොකක්!!!!  මල්සරාට ඊ මේල් ඇඩ්රස් එකක් තියනවද ???
අනේ මේ මාව ගොනාට අන්දන්නෙ  නැතිව යනවා හිටපන්  මම මේ හිතේ ගින්දරෙන් ඉන්නවා උඹ මෙතන විහිලු කරනවා. 

ඉඳා  මේ සෝය අයිස් ක්‍රීම් එකක් කාල ඔය ගින්දර නිවා ගනින්  ..මගේ බාගෙට දිය වෙච්ච අයිස් ක්‍රීම් එක දික්කරල තරින්දි කිව්ව 

මම මේ ඇත්තමයි කියන්නේ මේක කවුරුත් දන්නේ නැති රහසක් මගේ යාළුවා හින්ද කිව්වේ නැත්නම් උඹට මම කියන්නේ නෑ 

හරි හරි    දැන් ඔය කියන්නේ  ඇත්ත නම්  මට මේල් ඇඩ්රස් එක දෙන්න.දැන් මේකට එක මේල් එකක් හරි යවල තියනවද ?? 

මම නම් යවල නෑ එත් මගේ විශ්වාසම යාලුවෙක් තමයි ඕක මට දුන්නේ අවුලක් නෑ මට ෂුවර්.

හා එහෙනම් දෙන්නකෝ බලන්න
 
 හැබැයි කාටවත් කියන්නෙපා හරිද 

නෑ නෑ සත්තයි 

ඔන්න එහෙනම්  malsara.e@.....com   

අහ්හ් ඇයි මේ අගට e දාල තියෙන්නෙ.

ඒ ඔය ඊතලය කියන වචනේ කෙටිකරලනේ.දැක්කනේ මල්සරාටත් ඊ මේල් ඇඩ්රස්  එකක් තියනවා 
 
අප්පේ මල්සරා  දැන් මොඩ් වෙලානේ  ෂුවර්  එකටම iphone එකක් ළඟ ඇති.. නම්බරයක් නැද්ද ...අඩුම තරමේ fb account එකක් වත් නැද්ද 

නෑ නෑ  ඕක විතරයි තියෙන්නේ අදම මේල්  එකක් යවහන් උඹේ දුක කියල පහුවෙනිදම ඊතලයක් අරන් විදියි ..

අර ක්‍රෂ් එකට විදීද මට එයා  හම්බෙයි ද ...

විදි විදි  ටිකක් හිතටදැනෙන්න  ලියල යවහන්  එතකොට  ආයෙ බලා  ඉඳිද්දී රිප්ලයි එකක් එවයි.

මේ මේක බොරු නෙමේ නේද ?

බොරු ඔන්න ඉතින් මගේ යක අවුස්සනවා ..දාල බලපන්  delivery fail  වැටෙන්නේ නෑ  ඕක ඇත්තම මේල්  ඇඩ්රස්  එකක් ...

අනේ ..ඔය නම් දෙයියෙක්  හලෝ ...මගේ හොඳ යාළුවා ... ඉන්න මං  ගානේ අලියා බීම එකක් දෙන්නම් හවසට ලෙක්චර්ස් ඉවර වෙලා බිත්තර   කොත්තුවකුත් අරන් දෙන්නම්  :D :D ....

ඇති ඇති බටර් පාර යමු දැන් ලෙක්චර්ස් වලට  පරක්කු වෙනවා 
......................

මගේ හිතේ සතුට කියාගන්න බෑ.ගෙදර යනකන් බලන් හිටියේ නොඉවසිල්ලෙන් ආයේ වෙන මොකටද   මලසරාට මේල්  එකක් යවන්න. 

ගෙදර ගිය ගමන් ම කලේ ටක් ගාල ලැප් එක ගාවට දිව්ව  එක ..හම්මේ හිත ගැහෙන තරම් ලබ් ඩබ් ලබ් ඩබ් ...

දැන් ඉතිං ලියන්නේ මොනාද ... හිතාගන්න බෑ 

දෙතුම් පාරක්ම හිතල හිතල ලියන්න පටන් ගත්ත ..

subject: ................  ඒ ඇත්තටම කොහොමද ලියන්නේ සිංහලෙන්ද කඩ්ඩෙන් ද මලා ඒක අහගත්තෙ නෑනේ 

ක්‍රින් !! ක්‍රින් !!!!....ක්‍රින් !! ක්‍රින් !!!!....

හලෝ 

හලෝ මේ තරින්දි අර මල්සරා  අය්යට කොහොමද ලියන්න ඕන ..කඩ්ඩෙන් ද ..මටඒකනම්  අවුල්  

මේ මැට්ටි ..ඔන්න ඔහේ ඕන භාෂාවකින් ලියනව.මොකක් හරි ක්‍රමේකින් ඕක  translate කරගනී. අනෙක මල්සරා සිංහල දන්නැතිව ඉන්න බෑනේ ඔය සාලියට අශෝකමාලටයි විද්දේ  හරියටම .. මල්සරාට වරදුනානම් සාලියටයි ජුලියට්ටයි විදිනවනේ  ... එහෙනම් රෝමියෝ සහ අශෝක මාල කතවෘන්තය තමයි.ඔන්න ඔහේ දන්නා සිංහලෙන් ලියල යවපන් හික්ස් ....

හරි එහෙනම් ඔන්න ලියන්න පටාන් ගන්න යන්නේ 

subject : මගේ දුකට පිහිට වෙන්න.

චී ..චී .. මෙහෙම සරණාගතයෙක්  වගේ  මාතෘකාවක් දන්නා හොඳ නෑ 

subject : ආදරණීය මල්සරා අය්යා වෙතයි 

to : malsara.e@.....com 

දැන් ඔන්න ලිපියේ මැද ,

අය්යේ/අය්යන්ඩි,අනේ මගේ හද පත්ලෙන් නැගෙනදුක  අහන්න ඉන්නේ ඔයා  විතරයි.මගේ කල වයසත් හරි එත් තාම මං තනියම පාලු ගීත ගය ගයා  සෝ දුකෙන් කල් ගෙවනවා අනේ අය්යන්ඩි ඔය කොහේ හරි ඊ තලයක් අරන් යන වෙලාවට මේ පැත්තට එන්න.එක ඊ තලයක් නෙවෙයි දෙක තුනක්ම අරන්  එන්න.හිත නතර උන තැන් ගොඩාරියක් තියනවනෙ.වැඩි විස්තර පසුව ලියන්නම් මේ ඇත්තටම ඇත්ත මල්සරා අය්යටද දන්නෙ නෑනෙ ලියන්නෙ .මේක ඇත්තටම කියවන්නෙ අර ඊතල අරන් යන මල්සරා අය්යනම් අනේ හොඳ අය්යන්ඩි වගේ මට රිප්ලයි එකක් එවන්න.


ඇති ඇති තව ලියන්න ඕන නෑ ..පලවෙනි එක ටිකක් අඩුවෙන් කෙටියෙන් ලියන්න ඕන. මම එහෙම හිතුව.

අද රෑ නම් මට නින්ද යන්නේ නැතිවෙයි.මම සරින් සැරේ මේල් චෙක් කලා ඒත් කෝ මොන සරා වත් එවල නෑනේ.බැරිම තැන හිතේ දුකෙන් නිදා ගත්ත.
එත් හිත කියනවා 

ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ ..අය්යෝ බෑ ..ආයෙත් ගිහිං බලන්න මේල් එකක් ඇවිත්ද කියල ...

ආයෙත් හිත මෙහෙම කියනවා. සිහිනෙන් වත් ඔබ පෙනෙනවා නම් ..අවදි නොවී ඉන්නම් ලා ලා ලා ලා ...

ටක් ටක් ටක් 

මෙන්න කවුදෝ දොරට ගහනව දැන් කවුද දන්නෙ නෑ. මම කම්මැලි කමට ගිහින් දොර ඇරලා බැලුව.

දෙය්යනේ !!!!!!!!! .............මට ඇස් අදහ ගන්නත් බෑ ... මේ........... මේ ...  අර  මල්සරා නේ ...

ඈ එයා  කොහොමද මගේ  ගේ හොයාගත්තේ ..මට කියාගන්න වචන නැතිව නිකන් හින්දි ෆිල්ම් එකක නළුවෙක් දැක්ක වගේ ගල් ගැහිලා හිටිය.

හරියට අර ඕම් ශාන්ති ඕම්  ෆිල්ම් එකේ ශාරුක් දැක්කම දීපිකා සිහිනැතිව වැටෙන්නෙ අන්න ඒ වගේ  ...ඇහිපිල්ලම් ගැහෙන්නෙත් නෑ.

මේ නගා නේද මට මේල් එකක් එව්වේ.... එයා  අහපි ...මට ඉහින් කනින් දාඩිය දානවා. ම ම..ඔ ඔව් මම ..මේ ..

අය්යා කොහොමද අපේ ගෙදර හොයාගත්තේ 

හෙක් හෙක් ගෙදර හොයාගත්තේ නැත්නම් මං මල්සරා නෙවෙයි  හැක් හැක් 

දැන් මේ අය්යන්ඩි මාව හොයගේනමද ආවේ ...

නෑ නෑ මං පස්සේ හෙමීහිට එන්නම්කෝ මං  මේ ළඟකට යන ගමන්..පොඩි වැඩකට   නගා මේ ළඟ ඉන්න නිසා මං ආවේ 

හි හී ඔය ඊතල මිටියකුත් අරන් යන්නෙ කාට හරි විදින්න වෙන්ටෑ .

මොන පිස්සුද නගා මේවා ඔක්කොම මොට්ට වෙලා සමහරක් මලකඩ කාල මං මේ කම්මලට යන ගමන් පහු ගිය ටිකේම ගහපු ඊතල හරි ගියේ නෑ ඒක නෙමේ ....නගාට හදිස්සි නෑ නේද.හදිස්සිම නම් මේකෙන් හොඳ එකක් තෝරලා  කාට හරි විදින්නම් ....

හපෝ මොන හදිස්සිද මං ගත් කටටම කිව්ව... ඈ බොලේ මෙයා මේවයින් විදින්ට ගියොත් කොල්ලට පිටගැස්ම හැදිලානේ නවතින්නේ.....

......................


පොඩී ..පොඩි දූ .....

ඉවරයි... ඉවරයි........... තාත්ත එනවා  


 ...මේ අය්යේ ඔයා  යන්න අපි පස්සේ කතාකරමු හොඳේ ... ආයේ මොකුත්ම කියන්නේ නැතිව මං දඩාන් ගාල  තාත්තට බයේදොර වැහුව   ශික්.... හරියට කතාකරගන්න වත් බැරිඋනා...කමක් නෑ එය ආයේ එනවා කිව්වනේ ...

....................................................................

පොඩී ..මේ නැගිටින්නේ නැද්ද කැම්පස් යන්න ඔහොම නිදන් හිටියොත් බස් එකේ යන්න. මම යනවා ඔයාව දාල.තාත්තගේ ගෝරනාඩුව.... 

කැම්පස් ..ඇයි දැන් මේ මහා රෑ කැම්පස් ...

අහ් ඈ ..ඉන්න ඉන්න මොකක්ද මේ  විකාර සිද්දිය මං මේ මල්සරා අය්යෙක්ව දැක්කේ හීනෙන්ද  ..මේක හීනයක්ද?? 



  ...මන් ලාවට එක ඇහැක් ඇරලා බැලුව  හපොයි දෙය්යනේ ඊයේ අන්තිමට ඇඳ උඩ ෆෝන් එක තියාගෙන එහෙම්මම නින්ද ගිහින්නෙ 

ඒ එතකොට අර මල්සරා අය්ය  හීනෙන්ද ආවේ ..අපරාදේ ...අනේ මෙහෙමත් දුක්ඛිත ජීවිතයක් මට මං ගැනම දුක හිතුන ..ළඟ තිබ්බ කෝට්ටේ හපාගෙන හොටු පෙර පෙර කෑගහල අඬන්න තරම් දුකයි.
 

කෝකටත් මං නිකමට වගේ ෆෝන් එක ඕන් කරලා මේල් බැලුව ...

ඈ ..මෙන්න..................... මං ඊයේ මල්සරාට යැව්වා මේල් එකට රිප්ලයි එකක් ඇවිත්  !!!!!!!!!!!!!!!!!!!!!!!!!!...............................  







කැම්පස් විභාග භීතිකාවෙන් මිදුනෙමි ..... හිත නිදහස් වෙන්න ඔන්න ලිව්ව ..හැමදාම දුක දැනෙන දුක හිතෙන කතා ලියන්න බෑනේ ඒ නිසා පොඩි වෙනසක්  ;)