Thursday, May 21, 2020

මම ආසම පාට


ඔයා ආස පාට මොකක්ද ?

වෙරළ දිගේ බර අඩි තියන ගමන් පිටිපස්සෙන් එන එයාගේ කටහඬ ඇහුන.

ම්ම්ම් ...

මම තව පියවරක් ඉස්සරහට යන්නේ නැතිව නැවතිලා දුඹුරු ක්‍රීම් මිශ්‍ර තෙත වැලි දිහා බලන් හිටිය.

ගුරු  පාට .. මට ඉබේටම කියවුනා.

මොකක්  ගුරු  පාට ??

ඔව් ..ගුරු පාට  අර දුඹුරු ක්‍රීම් මිශ්‍ර පාටක් තියෙන්නෙ  ..අන්න ඒක....
ඔයා දන්නවද අපි  පොඩි කාලෙ ඉඳන්ම මොන්ටිසෝරියේ ඉඳන්ම ගස් පාට කලේ මොන පාටද ? කොළ ...
ළමයි ... ගහේ කොළ මොන පාටද පාට කරන්න ඕනේ ..කොළ . ගහේ කඳ මොන පාටද පාට කරන්නෙ?  දුඹුරු ...තේරුනාද?    ඔන්න ඔහොමයි අපිට ටීචර්ලා සර්ල කිව්වෙ. මොන්ටිසෝරි අවුරුද්ද ඉවරවෙද්දි අතින් වත් ඇල්ලුවෙ නෑ කියල පෙනුන පාට කීයක් නම් පැස්ටල් පෙට්ටියෙ ඉතිරි වෙන්න ඇත්ද ? එහෙම ඉතිරි උන පාටක් තමයි ගුරු පාට පාටකූර. කවුරුත් කැමති නොවුනට  මම ඒ පාටට ආදරේ කලා. ඉස්සර ඉඳන්ම මට ඕන උනේ ගහක් ඇන්දම ගහ වටේට පාට පාට ගාන්න. කොළ, රතු, කහ, ලාකොළ, තැඹිලි,  දුඹුරු. කොච්චර ලස්සනද එහෙම සම්මිශ්‍රණයක්. මං හිතන්නේ මං මේපල් ගස් වලට ආදරෙත් ඒක නිසා වෙන්න ඕනේ.  මට දකින්න ඕන උනේ නෑ සම්ප්‍රදායික කොළ පාට ගහක්.

ඒත්  මම දැනගෙන හිටිය එහෙම  පාට පාට කොළවලට ටීච ලකුණු දෙන්න නෑ කියල.
උන් තැනම හිටගෙන මෙච්චර වෙලා මාපට ඇඟිල්ලෙන් ලොකු වරක් හාර හාර හිටිය මම ආයෙම ඉස්සරහට ඇවිදින්න ගත්ත.

ඒත් ගුරු  පාටම නෙවේ මම ආසම පාට.

එහෙනම් ...  එයාගේ කටහඬේ තිබ්බේ කුතුහලයක්.

මම ආයෙත් නැවතුන. ලොකු හුස්මක් අරන් හෙමින් පැද්දෙන  මුහුද දිහා බලන්  හිටිය.වෙරළට කිට්ටු වෙන්න මුහුදෙ තිබ්බේ ලස්සන ලාකොළ පාටක්. ඒ මුහුදු කොළ පාටට මට ආදරේ හිතුන.

ඔයා දන්නවද මම පොඩි කාලේ ඉඳන්ම ආස කලේ චොකලට් අයිස් ක්‍රීම් වලට. ඒත් අපේ තාත්ත හැමදාම ගෙදරට ගෙනාවේ ෆ්රුට් ඇන්ඩ් නට්. මම අකමැති උනත්, කන්න කැමති නෑ කියල ඉඟි කලත් මට කන්න උනේ ඒවා. ඒ තාත්ත ආස කෑම.. අදටත් මට කන්න වෙන්නෙ ලා කොළ පාට ෆ්රුට් ඇන්ඩ් නට්.

ඒ කියන්නෙ ඔයාට ලා කොළ පාට දැක්කම පේන්න බෑ එහෙමද ?

ලා කොළ පාටට ආස නෑ ඒත් ... මට අකමැති වෙන්න  බෑ ...

මම ආයෙත් බර  අඩි තියල ඇවිදින්න ගත්ත. හෝ හෝ  ගාපු මුහුදු  සද්දේ  කන්  ඇතුලින් ගිහින්  හිත ඇතුලින් ඇහෙන්න ගත්ත.

ඔයා හිතනවද රතු පාට කියන්නේ ආදරේ පාට කියල ? 

ඔව්... ඒක හැමෝම දන්නවා.. රතු රෝසමල් ..ආදරේ සංකේත ...

ඔව් .. ඒත් ..

ඇයි ඒත් ...

නැහැ .. මම ඒ රතු පාටට බයයි. විශේෂයෙන්ම කුණු ලේ පාටට. දවසක් අපේ අම්ම තුවාල වෙලා ඔලුවෙන් ලේ ගලද්දී ආපු රතු ලේ ගඳට මට ඉන්න බැරිඋනා.රතු පාට ඇහැ කඩාගෙන යනවා වගේමයි රතු ලේ... හරිම බය හිතෙනවා. පාස්කු ප්‍රහාරේදී පල්ලි වල ඉහිරිලා තිබ්බ ලේ ගංගාවල් වගේම යුද්දේ වල පයින්ට් දස දහස් ගණන් සොල්දාදුවන්ගේ ඇඟවල් වලින් බේරිලා මහපොළවට උරද්දි, ආදරේ පාට එච්චර බිහිසුණුද කියල මට හිතුන. නැහැ ආදරේ පාට රතු වෙන්න බැහැ.

ගිනි බෝලයක් වගේ රතු ඉර මුහුද ගිලගන්න ලං වෙද්දි මං  ඇවිදින එක නවත්තල ගලතලාවක හෙමින් ඉඳගත්ත. කකුල පුරාම  තෙත වැලි ඇලිල. මම නැවිල හෙමින් සීරුවෙ ඒවා පිහිදාන්න ගත්ත.

මට තාම  ඔයා ආස පාට කිව්වේ නෑ....

 හ්ම්ම් ..  මම ආයෙත් මුහුද දිහා බලන්න ගත්ත.

ඔයාට පේනවද මේ මුහුදෙ  නිල්  පාට. ලා නිල් පාටේ ඉඳන් තද නිල්  පාටට පාට වෙලා තියෙන හැටි. අපි හැමදාම කලේ මේ වගේ ඉවරයක් නැති මුහුදක පීනුව එක. අපේම නැවේ  අපි කපිතාන් ලා. අඳුර, එළිය, සැඩ පහර මැද එක එක අය අපේ නැවට නග්ග ගත්ත.සමහර අය අපටත් නොකියම බැහැල ගියා. අපි අලුත් නැව් ගත්ත. නැව කැඩුන, ගල් පර අස්සේ හැප්පුන, ඒත් තාමත් අපි අපේ නැව ගෙනියනවා. අපැහැදිලි සිතියමක ගමනාන්තයක අපි යාත්‍රා කරනවා. මුල ඉඳන් අගටම පේන්නෙ මේ නිල්  පාට විතරයි.එක එක ප්‍රබේද, තද, ලා,  හැම පාටෙන්ම වර්ණවත්. මම ආස නිල් පාටට. ආදරේ කරන තරමට විඳින්න පුළුවන්.

මාත් ආසයි නිල් පාටට. 

එයා හැමදාම මගෙ ලඟින්  ඉන්න බව දැනගෙන මට හිනා ගියා

කළුවර වේගෙන එන්නෙ.. එහෙනම්  මම යන්නම් ආයෙම එන්නම්.

හෙට උදේට ආයෙමත් හම්බවෙමු. 

මුහුණු ලාවට ඇඳුනු හිනාවෙන් මම හෙවන්නැල්ල යනකන් බලන් හිටිය.....

උදේ ඉඳන්ම තිබ්බ වර්ණවත් පාට එකතුවෙලා දැන් තියෙන්නෙ අඳුරු අළු පාටක්. මට මතකයි චිත්‍ර සර් කිව්ව අළු පාට කියන්නේ හැංගෙන පාටක් කියල. කාටවත් ඇහැ නොගැටී අවධානයෙන් මිදෙන පාටක්. මම උන්න තැනින් නැගිටලා අළු පාට අතරින් රිංගල ගොඩක් දුර ඇවිදන් ඇවිත් මගේ පරණ නැව  හොයාගත්ත.අඳුරේම කෙරන අලුත්වැඩියා  නොදැක්කත්  හෙට උදේම බැබලි බැබලි යාත්‍රා කරද්දි මුහුදෙ හෝ හෝ හඬත් ලස්සන සිංදුවක් විදියට ඇහේවි.

හෙට උදේම ආයෙමත් හෙවනැල්ල එක්කන් දුර ගමකන්  යන හිතන් මම අඬුවයි මිටියයි අරන් නැව  ඇතුලට  බැස්ස.




12 comments:

  1. මාත් ආසම පාට නේවි බ්ලූ.. :)) ඒත් ලෝකෙට පෙන්නන්නේ සුදු පාටට කියල.. :)))

    ReplyDelete
    Replies
    1. නේවි බ්ලූ සාරි වලට නම් මම හරි ආසයි :D

      Delete
  2. මට මේ කතාව පැහැදිලි නැ.මොකක්ද කියන්න උතසහ ගත්තේ?

    ReplyDelete
    Replies
    1. අපිව පොඩි කාලේ ඉඳලම එකම පොදු නියමයන් වලට එකඟතාවයන් වලට කොටු කරලා අපිට හිතන්න ඉඩ දීල තනියම අලුතින් හිතන්න දීල තියෙන්නේ අඩුවෙන් (කොළ - ගහේ කොළ කොලපාට ගාන්න )

      අපි ආස දේවල් නෙවේ අපිට කරන්න වෙන්නෙ සමහර විට අපි අකමැති ඒත් සමහර හේතු නිසා අපිට ජිවිතේ එක එක දේවල් කරන්න වෙනව.(තාත්තට ආදරේ නිසා ෆ්රුට් ඇන්ඩ් නට්‌ කනව )

      සමහර දේවල් සුන්දරයි කියල හිතුවට තවත් පැත්තකින් අසුන්දරයි (රතු ..ආදරේ පාට සහ රතු ලේ )

      පාට එක්ක හැමවෙලේම මතක් වෙලා තියෙන්නෙ ජිවිතයේ සිදුවීම් ඒවාට අකමැති බව ඒ පාටට ආස නැහැ කියල කියනව

      ඔය ඔක්කොම ප්‍රශ්න අමිහිරි දේවල් එක්ක ...ජිවිතේ කියන්නෙ නිල් පාට ලොකු මුහුද වගේ. ජීවිතේට ආදරේ උනොත් එතන විඳවීමක් නෑ .(ආදරේ කරන තරමට විඳින්න පුළුවන්)

      ජිවිතේ ප්‍රශ්න තියනවා හැමෝටම. ඒත් ඒවා පෙන්නන්නෙ නෑ හංගන් අපි ලෝකෙට පේන්න හිනාවෙලා ඉන්නේ (මුහුණු පොතේ දාන්නෙම හිනා මුහුණ තියන පින්තූර නෙ ) ඉතින් කාටවත් නොපෙනෙන්න අපි අපේ ප්‍රශ්න විසඳන් ලෝකෙට පේන්න හිනාවෙලා මොකුත් වෙලා නෑ වගේ ඉන්නවා (අළු පාට අතරින් රිංගල ගොඩක් දුර ඇවිදන්...අඳුරේම කෙරන අලුත්වැඩියා නොදැක්කත් හෙට උදේම බැබලි බැබලි යාත්‍රා කරද්දි )

      අපි හැමෝම ගැන පාට වලින් ලිව්ව

      Delete
    2. සිතීමේ නිදහස,අපි අස නැති දේවල් කරන්න වෙන එක සාමාන්‍ය ඒවා.මොකද අද අපේ සමාජ ක්‍රමය තියෙන්නේ ඔතන නිසා.

      සමහර දේවල් සුන්දරයි කියල හිතුවට තවත් පැත්තකින් අසුන්දරයි (රතු ..ආදරේ පාට සහ රතු ලේ ) සමහර දේවල් නෙමේ හැම දෙයක්ම එහෙම තමා.

      ඔය කියන්න උත්සහ ගත්ත කරණය මට දැනුන විදියට හීනියට කිවොත් 'අපිට ඕනි විදියට ජිවත් වෙන්න ඉඩක් නෑ' කියන එක නේද?

      Delete
    3. ඔව් ඔයාට තේරුණා :)

      Delete
  3. මේක කියෙව්වම මං ලිව්ව පරණ කවියක් මතක් වුණා. අපි ආස පාට කාලෙන් කාලෙට වෙනස් වෙන්නත් පුළුවන්.
    http://tharuwehi.blogspot.com/2014/12/blog-post_29.html

    ReplyDelete
    Replies
    1. අඩේ මං ඒකෙ කමෙන්ටුවක් දාල

      Delete
  4. මේක මට මිස් වුනේ කොහොමද?

    ReplyDelete