Sunday, July 24, 2016

නුඹ බෝ දුරයි

නොපෙනී ඉරට 
අඳුරට මැදිව 
මුකුලිත කුසුම 

සුවඳද රැගෙන 
දුර බව දැනම 
සඳ දෙස බැලුව 

තරු රැස්  දහස් 
පෙම් කල සඳක් 
අහිමියි සිතුව 

නටුවෙන් ගිලී 
මිහිමව් බදා 
ඉකිබිඳ හැඬුව

සේපාලිකා 
මම වෙමි සඳේ 
නුඹ නොම දුටුව 


29 comments:

  1. ලස්සනයි හන්සි....
    සේපාලිකාට උත්සාහ කලොත් සද හිමි කරගන්නත් බැරි වෙන එකක් නැ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරිඳු :) සඳ බොහෝ දුරයි....තරු සදාකාලිකයි. සේපාලිකා මිය ගියාම සඳට අමතකයි ...

      Delete
  2. ලස්සන අර්ථයක් තියෙනවා. හොඳ නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් ලීව කෙටි නිර්මානයක්. ස්තූතියි ඉයන් මාමේ ^_^

      Delete
  3. කවිය ලස්සනයි හංසි, සරලයි ඒ උනාට අපුරුයි. හන්සිගේ කවිය කියවද්දී මට මේ පද ටික ඔළුවට ආව. :)

    වලා විසිරි සිරියහනක
    තරු ඇතිරූ ඇතිරිල්ලක
    සුවය නොලද රාත්‍රියක
    බලා ඉන්නවා නුඹදෙස
    බලා ඉන්නවා

    නුඹේ සුගන්දයේ නැළවෙන
    රෑහින්ගේ ගී අහගෙන
    වලා රොදක සැඟවීගෙන
    මමත් හිඳිනවා අහසක
    මමත් හිඳිනවා

    නුඹ හෙළනා කඳුළු බින්දු
    ආදරයේ පෙර මතක රැන්දු
    පිනි වැස්සක වෙසින් කැන්දු
    මමත් හඬනවා නුඹ මෙන්
    මමත් හඬනවා

    වලා විසිරි සිරියහනක
    තරු ඇතිරූ ඇතිරිල්ලක
    සුවය නොලද රාත්‍රියක
    බලා ඉන්නවා නුඹදෙස
    බලා ඉන්නවා

    ReplyDelete
    Replies
    1. අය්යේ අපි මේකෙන් හදමු ද සිංදුවක් :D ලස්සනයි අය්යෙ. විභාග අස්සෙ කාලෙ වෙන් කරලා මෙහෙම කවි ලීව එකටත් ස්තූතියි. :) හැබැයි ආයෙ නම් ලියන්න ඕන විභාග ඉවර වෙලා.මතකනෙ... ;)

      Delete
    2. තරිඳුගේ සටහන හරි ලස්සනයි, මම මුලින් හිතුවෙ ඇත්තටම සිංදුවක් කියලා...

      Delete
    3. ඒක තමා මමත් කීවෙ මේකෙන් සිංදුවක් හැදුවොත් කාටද ආඩම්බර :) ;)

      Delete
    4. ඒ වචන ටිකේ ලතාවෙ හැටියට අමරිසිරි පීරිස් මහත්තයා තමයි හරියන්නෙ ගායනයට. (මම කිවුවෙ තරිදුගෙ කවිය ගැන)

      Delete
    5. අන්න නියම ගායකයා :) ඒ කටහඬ හොඳටම ගැලපෙනව :)

      Delete
  4. නාඬා ඉතින් ඉන්න සේපාලිකා..))

    ReplyDelete
    Replies
    1. කරුණාරත්න දිවුල්ගනේ මහත්මයගෙ සේපාලිකා සිංදුව තමා මේ කවියට පාර කීවෙ ;)

      Delete
  5. සේපාලිකා මලක් වගේම සුන්දර මිහිරි නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණි.බ්ලොගේ පාලුවට යනව බලන් ඉන්න බැරි නිසාම ලිව්ව කවි පද ටිකක් මේ. වැඩි මහන්සියක් උනේ නැහැ :)

      Delete
  6. සඳ දෙස බල බල මා(ත්) පැතු පැතුමන් මෙතෙකැයි කියන්න බෑ..
    හිරු මා දැව්වද මා ලද උණුහුම අමතක කරන්න බෑ..

    සඳ ඔහොමමයි..

    ReplyDelete
    Replies
    1. සඳට පෙම් කරන අය බොහොමයි.සඳට වෙලා නෑ අපට ප්‍රේම කරන්න :D

      Delete
  7. ඇතත් පෙම්වත් දන බොහෝ
    ආදරෙන් නුඹ ළඟ රැදී
    නුඹත් හැම අන් මලක් වගෙමයි
    නොලැබෙනා දේ වෙත ඇලෙන.

    අපූරුයි කවිය හංසෙ.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. පිළිතුරු කවියට ස්තූතියි මහේෂ් අය්යෙ ^_^ හැම මලක් ම එක වගේ. මේ මල උනත් එහෙමයි ;)

      Delete
    2. මහේශ් කියල තියෙනෙ හංසිට එයා ගැනත් පොඩ්ඩක් සලකල බලන්න කියල. හැක්

      Delete
    3. එයාල දෙන්නම තවම පුංචි ළමයි ඕව තේරුම් ගන්න ඉයන්... :) ඔව් ඉතින් අපිම තේරුම් කරලා දෙන්න ඕනේ...

      Delete
    4. @ඉයන් ... හික්ස් මේව කියල ඉයන් අංකල් මහේෂ් අය්යගෙන් අහගන්න තමා :P @පොකුරු ඒකනෙ පොකුරු මේ චූටි ළමයින්ට කියන කතා ;) :D

      Delete
  8. කවුරු කොහොම කීවත් තණමල්විල මල් වලට තරම් ප්ලේස් එකක් කොයිමලකටවත් නෑ.....

    කවිය ලස්සනයි..

    ආය මක්කැයි....

    ReplyDelete
    Replies
    1. මලය හරි ආසයි වගේ තණමල්විල මල් වලට :P හේතුව නම් දන්නෑ නෙව

      Delete
  9. බොහොම සංවේදී කවි පෙළක්

    ReplyDelete
  10. හැමෝටම වැරදෙන්නේ ඉරයි, හඳයි දිහාවේ විතරක්ම බලන් ඉන්න ගිහින් තමයි...ලඟින් ඉන්න අන්ධකාරය ඇතුලෙත් ප්‍රේමය අඩුවක් නැතුව තියනවා...ඕක සේපාලිකාට තෙරුම් ගන්න ටික කලක් යනවා...

    ලස්සන අරුතක් තියනවා හංසි...

    ReplyDelete
    Replies
    1. සේපාලිකා පමාවෙලා ද මන්ද දැනටමත්....හැබැයි පොකුරු කීව කතාව හෙට පිපෙන සේපාලිකාලට , රෑ කුමාරිලට හොඳ පාඩමක් :) ස්තූතියි පොකුරු ...

      Delete
  11. //නටුවෙන් ගිලී
    මිහිමව් බදා
    ඉකිබිඳ හැඬුව

    සේපාලිකා
    මම වෙමි සඳේ
    නුඹ නොම දුටුව//

    එහෙම අඬන අය අඳුරේ නොපෙනි කොයි තරන් ඇති ද....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ....අඳුරෙම ඉකිබිඳල අඳුරෙම ගිලිල නොපෙනී යනව

      Delete