Saturday, November 22, 2014

අතීත මතක -අති විශේෂ ක්‍රීඩා හැකියාව :P

ඔන්න අද අතීත  කතාවක් තමයි කියන්න යන්නෙ. මේ අතීත කතාව මතක් උනේ පහුගිය දවසක  මගේ  සහතික දාපු ෆයිල් එක  අහම්බෙන් දැක්ක වෙලේ.පොත් අල්මාරිය අස්  කරන ඉන්න කොට අහම්බෙන් දැක්ක ඒ නිල් පාට ෆයිල් එක සීරුවෙන් අතට ගත්ත.මම  ඉතිං මේකේ සහතික එකින් එක වැඩිවෙන කල්  කොච්චර කෙල හලන් බලන් හිටියද. ඒ කාලේ මට සහතික වැඩිකරගැනීමේ පිස්සුවක් තිබ්බනෙ .ඇත්තම කිව්වොත් අපේ අය්යන්ඩි ගෙ  සහතික ගාන කවද්ද පහු කරන්නෙ කියා කියා තමයි ඒ කාලේ  සහතික එකතුකලේ. ඉස්සර ඉතිං එහෙම තමයි අය්යට  වැඩිය දෙවෙනි වෙන්න කැමති නෑ ඒ වුනාට අය්යට වඩා මම පන්තියේ වැඩියෙන් ලකුණු ගත්තට එයාගෙ සහතික ගාන පහු කරන්න හෙනම ගේමක් දෙන්න උනා.

 මම නිල්  පාට සහතික ෆයිල්  එක අතට අරන් බිම වාඩි වෙලා හෙමීට  හෙමීට සහතික එකින් එකබැලුව. අනේ ඉතිං මේ ෆයිල් එකට ඉස්සර සැලකුවේ දෙයියෙක්  වගේ නේද කියල මට මතක් උනා .කොච්චර වත් මේක එක එක ඉන්ටර්විව් වලට ගෙනියන්න ඇත්ද.ගිහිල්ල ඉතින් විරිත්තගෙන බලාන ඉන්නවා   සම්මුඛ පරීක්ෂණයේ අය ඒක පෙරලලා බලනකන්.එහෙම ගිය වෙලාවක කවුරු හරි සහතික මිටිය තඹ සතේකට  වත්  ගණන් ගත්තේ නැත්නම් ඉතින් රතු කට්ට පනිනවා. ඇයි හලෝ කොච්චර අමාරුවෙන්ද මේ ටික හරි ගත්තෙ.හැබැයි ඉතිං පස්සේ කාලෙකදී හිතුන මෙච්චර සහතික ගත්තට  වැඩක් නෑ කියල .එත් ඉතිං ඕ බව චුටි කාලේ දැන්නව යැ  දන්නවනම්  අමාරුවෙන් සහතික ගොඩ ගහාවියැ.

ඉතිං  ඕවගේ අතීත දේවල් සිහි කර කර සහතික ටික පෙරලද්දී .ඔන්න අතිවිශේෂ සහතිකයක් ඇහැ ගැටුන මේ සහතිකය කොච්චර විශේෂද කිව්වොත් ඒක ලැමිනේට්  කරලයි තියෙන්නෙ. මොකක්ද දන්නවද ඒ  මගේ ක්‍රීඩා සහතිකේ .වන් ඇන්ඩ් ඔන්ලි  ක්‍රීඩා  සහතිකේ... හරි ඉතින් දැන් මට නෝන්ඩියට හිනාවෙන්න එපා මට එකම එක  ක්‍රීඩා  සහතිකයක් තියනව කියල. ඔහොම  නෝන්ඩියට දැන් හිනා වුනාට බලන්නකෝ මේ කතාව අන්තිමේදී ඔයාල කට ඇරගෙන  ඉඳී මගේ හැකියාව ඇහුවොත් ..  ඔව් ෂුවර් :D .... 

ඔන්න දැන් ඉතින් මගේ  වන් ඇන්ඩ් ඔන්ලි  ක්‍රීඩා  සහතිකේ ගැන කියමුකො ඒක  අතිශය  විශේෂයි. කොහේ ගියත් මම ක්‍රීඩා කලෙමි කියල පෙන්නන්න තියන එකම සහතිකේ ඒ සහතිකය. ඒ ඇරෙන්න ඉතින් එකේ අති විශේෂ දෙයක් ලියවිලා නෑ .එකේ තියෙන්නෙ නිවාසාන්තර ක්‍රීඩා උත්සවේ මීටර 100 දිවීමේ ඉසව්වෙන් මම තුන් වෙනියා ගත්ත කියල...හික්ස් .....:D :D .ඇත්තම කිව්වොත් මේ සහතිකෙත්  මට නිකන් දෙයියො ළඟටම ඇවිල්ල  ඇඟිල්ලෙන් ඇනල දුන්න වගේ.මම හීනෙන් වත් ගන්න හිතපු සහතිකයක් නෙමෙයි. මතකේ හැටියට ඒ මම අට වසරෙ ඉන්න කාලේ. එක දවසක අක්කල අය්යල සෙට් එකක් ඇවිත් ඇහුව හංස නිවාසේ ඉන්නේ කවුද කියල ඔන්න ඉතින් අත  ඉස්සුවම ඇහුව මීටර සීය තරගේ තියනවා දුවන්න කැමතිද කියල.මීට කලින් කිසිම තරගෙකට  දුවල නැති මම ආසාවට  හා කියල දුවන්න ගියා. හික්ස්... කවුද හිතුවෙ මම තුන්වෙනිය  වෙයි කියල. ෂුවර් එකටම එදා අනෙක් නිවාස වල හොඳ ළමයි සහභාගි වෙලා නෑ.ඔය සහතිකේ තමයි ඉතින් හැම තැනකදීම මාව බේරුවේ.ඒ වගේම අතිශය ලැජ්ජාවට පත්වීම පොඩ්ඩකට හරි අඩු කරගන්න හැකි උනේ ඔය සහතිකේ නිසා.ඇයි  ඉතිං අර අපේ අය්යන්ඩි  ගත්ත සහතික තොගේම ගත්තේ ක්‍රීඩා  වලින්නෙ  අය්යගේ  නංගිට එකම එක ක්‍රීඩා  සහතිකයි. අනෙක් ඔක්කොම  සහතික සාහිත්‍ය තරඟ වලින්  වෙන වෙන ලියන කියන අඳින ඒවායේ තරඟ වලින් ගත්තුව.ස්පෝට් මීට් එකේ කප්  ගහන අය්යගේ  නංගිට එක ක්‍රීඩා සහතිකයක් වත් නෑ කිව්වම වස ලැජ්ජාවනේ ඉතින් හැම එකටම පෙන්නන්න තිබ්බේ ඔය සහතිකේ තමයි.

අනේ මන්ද මොන හේතුවක් නිසාද කියල මම සෙල්ලම් කරන්න පිට්ටනියට යන හැමවෙලේම  වැටෙනවා.පිට්ටනියට ගිය දවසක  පහුවෙනිදා මගේ අතේ හරි දණහිසේ හරි ප්ලාස්ටරයක් අනිවාර්යෙන්ම  තියනව. සෙල්ලම් කරත් ඉතිං  හරියට බෝලයක්  අල්ලගන්න බෑ. ඔය වැටෙන, අඬු  කඩා  ගන්න හේතුව නිසාම මම දැන  ගත්ත මට ඔය ක්‍රීඩා කෙරිල්ල හරියන්නේ නෑ  කියල .ගෙදරිනුත් අම්ම කියල තිබ්බේ වැඩිය දඟලන්න එපා පරිස්සමින්.. වැටෙයි ..තුවාල වෙයි කියල.ඒ වුනාට තුවාල වුනාට මොකෝ ප්ලාස්ටරයක් දාගෙන ඉන්න එකෙත් පොඩි  ගතියක් තියනවා ;) .....ඇත්තටම කිව්වොත් මේ සහතිකේ නෙමේ ඊට වඩා වටිනා ක්‍රීඩා සහතිකයක් මට ලැබෙන්න ඕන .ඒත් ඒක  තාම හම්බුනේ නෑනෙ :( ...මං මේ කියන්නේ ඒ ගැන.

ඔයගොල්ළඟට මතකද  ඉස්සර සෞඛය්‍ය  පාඩම  උගන්නන්න වෙනම පීරියඩ් එකක් තිබ්බ. ඕකට  අපි කිව්වෙ පී.ටී. පීරියඩ්  කියල මේ සිද්ධිය වුනේ නවය වසරේ අපිට සෞඛ්‍යය ඉගැන්නුවේ වැලිකල කියල සර් කෙනෙක් . අපිත් හිටියේ හරි ආසාවෙන් ඔය පීරියඩ් එක එනකං මොකද පිට්ටනියට පැනල හිතේ හැටියට නිදහසේ ඉන්න අවස්ථාවක් එන්නෙ  ඔය වගේ  පීරියඩ් එකකනෙ.ඔන්න ඉතිං එදා පාඩමේ හැටියට සර් ට තිබ්බේ අපිට  කවපෙත්ත දාන  හැටි, හෙල්ලය විසිකරන හැටි ,යගුලිය දාන හැටි කියල දෙන්න .මුලින්ම හෙල්ලය විසිකරන හැටි කියල දුන්න ඊළඟට කවපෙත්ත දාන හැටි අපි ඉතින් එකා  දෙන්න සර් කියපු විදිහට  ඒවා හරියට විසිකරන හැටි උත්සාහ කළා .ඊළඟට තිබ්බේ අර තඩි බොලේ උස්සල විසිකරන්න ..මොකක්ද ..වෙන මොකක්ද ඉතිං යගුලියනේ ... කාටවත් එහෙම කියනවා නෙමෙයි ඒ කාලේ මට ඕක  හරියට උස්ස ගන්න වත් බෑ.මොන එහෙකට  මේ මිනිස්සු මේ බර තඩි බොලේ උස්සල විසිකරනවද මන්ද මට හිතුනේ එහෙම. :/ 

.එදා ඉතින් සර් ගාව වටවෙලා යගුලිය දාන්නේ  කොහොමද.. තරඟ  නීති රීති  ඔය ඔක්කොම ඉගෙන ගත්ත... හෙල්ල, කවපෙත්ත විසිකරන්න ගියාට මම යගුලිය විසිකරන්න  නම් ගියේ නෑ .ඔන්න ඕක අත්දෙකෙන් උස්සල විසි කරන්න කිව්වා නම් මම විසිකරනවා ...හෙන තඩි බර බෝලයක් තනි අතින් විසිකරන්න.. අනේ අම්මේ ... ඕක උස්සද්දී මාවත් පාත් වෙනවා වගේ .ඉතින් මොකටැයි  බැරි වැඩ කරන්නේ.සර් කියන ඒවා අහල ඊට පස්සේ අනෙක් ළමයි යගුලිය විසිකරන අතරේ මමයි තව යාළුවො කීප දෙනෙකුයි පැවිලියන් එක  ගාවට ගියා.එතන වාඩි  වෙලා පොඩි කය්යක් දාගෙන තමයි හිටියෙ.

ඒ වෙද්දී අපේ කොල්ලෝ සෙට් එකක් යගුලිය දානවා තවත් ගෑනු ළමයි වගයක් හෙල්ලය විසිකරනවා ...සර් ළමයි  හෙල්ල විසිකරන තැනට වෙලා හිටියේ ටික වෙලාවකින්  මම දැක්ක සර් ගාව ළමයි වගයක් පිරෙනව.ඒ මොකටද බලන්න මමත් කතාව නවත්තල පැවිලියන් එකේ ඉඳගෙන හිටිය පඩියෙන් නැගිටල දුවගෙන ගියා  සර් ගාවට ...එත කොටම තමයි මොකක්දෝ ලොකු දෙයක් ඇවිල්ල දඩාන් ගාල මගේ දකුණු පැත්තේ නළලේ කෙලවරේ වැදුණේ. .වැදුන පාර කොච්චර සැරද  කිව්වොත් මගේ ඔලුව එක පාරටම ගැලවිලා විසික් වුනා වගේ මුළු ඔළුවම එකපාරටම හිරිවැටෙන්න උනා.මොකක්ද දන්නවද උනේ මගේ යාළුවො ඒ කියන්නේ පන්තියේ හිටිය අපත කොල්ලෝ ටික ඒ වෙලේ සෙල්ලන් කර කර හිටියෙ මං කිව්වනේ ඒ අය  යගුලිය ද දා  හිටියේ කියල ඒ සෙල්ලම එසේ මෙසේ සෙල්ලමක් නෙවෙයි  ඒ ගොල්ලෝ යගුලියෙන් කැච් අල්ලන්න අරන්.අර මට උස්සගන්නවත් බැරි යගුලියෙන් මේ අය කැච් අල්ල අල්ල ඉඳල තියෙන්නෙ අත්තටම් මම ඒක දැක්කේ නෑ .මගේ වෙලාවටම මමත් ඒ මැද්දෙන් තමයි දුවල තියෙන්නේ ඉතින් යගුලිය ඇවිල්ල දඩාන්  ගාල මගේ ඔලුවේ වදුණ .හිතාගන්නකෝ යගුලියක්  ඇවිල්ල  ඔලුවේ වදිද්දී දැනෙන සනීපෙ. ......මම අත්දෙකින්ම ඔලුව අල්ල ගත්ත මට හිතාගන්න බැරිඋනා  මොකද උනේ කියල.ඔක්කොම යාලුවෝ කෑගහගෙන මං ලඟට දුවගෙන ආව.එතකොටයි මට ඇහුනෙ මගේ ඔලුවට යගුලිය වැදුන කියල .එතකොට තමයි මට දාඩිය දැම්මේ දෙය්යනේ මම මැරෙයිද ඔලුව පැලිලද  ලේ එනවද ඔය ඔක්කොම හිත හිත සර් ටත් කියල ටක් ගාල ප්‍රථමාධාර දෙන කාමරයට ගියා... ගියා  නෙමෙයි දිව්වා ...

 ගිය ගමන්ම  මිස් කෙනෙක් අයිස් තොගයක් මගේ ඔලුවේ  තිබ්බ මට ඒ වෙලේ හොඳට  සිහිය  තිබ්බ එත් මුළු ඔළුවම හිරිවැටිලා වගේ තිබ්බේ .මම ඔලුව අල්ලන් ඉඳිද්දී මට දැනෙනව යගුලිය වැදිච්ච තැන ටික ටික ගෙඩි ගැහෙනවා අන්තිමට අතට අහුවෙන්න ලොකු ඉදිමුමක්... ඇත්තටම කිව්වොත් එදා නම් මම හෙනට  බය උනා .. දෙය්යනේ මම මරෙයිද  මට මොකද වෙන්නේ..ඔපරේෂන් කරයිද ..ඔලු කට්ට ගලවයිද කොන්ඩෙ  කපයිද .. එහෙමයි හිතුනේ. මටත් වඩා   ගුරුවරු ඔක්කොම බයවෙලා ඒ අය ඉක්මනටම මාව ත්‍රීවීල්  එකක දාගෙන හොස්පිටල් එකට ගෙනිච්ච. ගිය ගමන් මාව ඇඳක හාන්සිකලා .මම ඉපදුන දවසේ ඇරෙන්න ඊළඟට දෙවෙනියට ඉස්පිරිතාලෙකට ගියේ එදා.

 මම ඉස්පිරිතාලෙට ගිහින් පැය  බාගයක් යන්න කලින් අම්ම ආව ඒ වෙලේ වෙද්දී එක ඩොක්ටර් කෙනෙක් මාව බලල තිබ්බේ ඔලුවෙන් ලේ ගැලුවේ නෑ.ඒත් ඇතුලින් ඉදිමිල.ඒක  එච්චර හොඳ  සලකුණක් නෙමෙයි  මොකද අභ්‍යන්තර  තුවාල භයානකයි ඔලුව ඇතුලේ ලේ කැටියක් හැදුනොත් ඒක  ඊට වඩා  භයානකයි .

අම්ම එනකොට අම්ම හොඳටම බය වෙලා ආවේ  මාව දැක්ක ගමන්ම අම්ම බදාගෙන බයටම ඇඬුව  ..මටත් ඇඬුන ..මට මං  ගැනම දුක හිතිලා ඇඬුවෙ..ඒ වගේම මට ඉස්පිරිතාලේ ඉන්නත් බයයි ..ඉතිං අඬ අඬම  කිව්වා අනේ අම්මේ මට ඉස්පිරිතාලේ ඉන්න බෑ  මට ගෙදර යන්න ඕන කියල ..
ඒත් ඉතින් එහෙම යන්න  දෙන්නේ නෑනෙ. ඔන්න ඊට පස්සෙ ආයෙත් පැයකට  විතර පස්සේ තව ඩොක්ටර් කෙනෙක් ආව මගේ ඇස් එහෙම බැලුව .වමනේ ගියාද කියල ඇහුව ...වමනේ ගියොත් ඒක  හොඳ නෑලු ... ඔලුව පලිලත් නෑ එත් ඉදිමුම තියනවා අල්ලද්දි  නිකක් රබර් බෝලයක් වගේ එතන ලේ එකතුවෙලා වගේ  එබෙනවා... බයේ බෑ. ඉදිමුම ඇර  බාහිරින් වෙන කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුවේ නැති නිසා මට කිව්වා පැය  විසිහතරක් හොස්පිටල් එකේ ඉන්න ඊට පස්සේ බලල ටිකට්  කපනවා කියල. අනේ දෙය්යනේ හොස්පිටල් එකේ රැයක්  ඉන්න අම්මෝ  බෑ ... එක නම් කරන්න බෑ. ..මොකක්දෝ හිතේ තිබ්බ බයත් එක්ක මට ඒක  නම් කොහෙත්ම කරන්න බැරි උනා.මං හිතන්නේ මට බය තිබ්බේ ඒ අය මාව බලෙන් උස්සගෙන ගිහින් ඔලුව ඔපරේෂන් කරයි  කියල. ඒ වෙලේ මම අඬ අඬ  කිව්වා අනේ අම්මේ මට කොහොමටත් හොස්පිටල් එකේ  නම් ඉන්න බෑ  මට ගෙදර යන්න ඕන කියල. මැරුණත් කමක් නෑ  යන්න ඕන කියල ....අම්මටත් මගේ ඇඬිල්ල  එක්ක කරගන්න දෙයක් නෑ හරි බලමු මොකක් හරි කරන්න එතකන් ඉන්න කියල අම්ම කෝල් එකක් ගන්න එලියට ගියා ..

 ඔය අස්සේ තව ඩොක්ටර් කෙනෙක් ආව මුලින් හිටිය ඩොක්ටර්ල  ටිකක් සැර  පාටයි. මෙයා  නම් හොඳයි ..මෙය මගේ ලෙඩේ අහල මගෙන් අහපි  යගුලියට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියල ..දැන් ඉහතින් කියහල්ලකෝ යගුලිය වද්ද  ගත්ත එකා  යගුලියට ඉංග්‍රීසියෙන් කියන වචනෙ ..ම්ම්ම්හ් මන් දන්නේ නෑ මම ඔලුව දෙපැත්තට වනුව ඊට පස්සේ තව මොනාද මොනාද විකාර ප්‍රශ්න වගයක් ඇහුව. විභාග තිබ්බද , ලකුණු කොහොමද .. අනේ දෙය්යනේ මේ ඔලුව වැදිච්ච එකාගෙන් ඔය වගේ ප්‍රශ්න අහනවද ..මං  මේ ගෙදර යන්න හදනවා ..මගේ මූණ නම් ඒ වෙලේ හොඳටම බෙරිවෙලා තිබ්බේ. ..වාසනාවට අම්ම ආයෙත් ආව ..මගේ ඇඬිල්ල නිසා අම්ම ඒ පාර අපේ ගෙවල් ළඟ ඉන්න මාම  අඳුරන ඩොක්ටර්ට කතා කරල  එයා  කියල  මම ගැන වගකීම ගන්නම් කමක් නෑ  ටිකක් කපාගෙන එන්න කියල ..ඒත්  හොස්පිටල් එකේ නම් ඩොක්ටර්  ල කැමති උනේම  නෑ ...කැමති නම් බලෙන් ටිකට් කපාගෙන යන්න හැබැයි ඊළඟට අපි වග කියන්නේ නෑ  කිව්ව. :(  ඔහේ ඕන දෙයක් මං ආයෙත් බලකරල  අම්ම එක්ක ගෙදර ආව.ගෙදර ආවට මොකද ඔලුව පහලට හරවන්න බෑ  රිදෙනවා... කකියනව...  අර බැලුම වගේ එබෙන ඉදිමුම් ගෙඩිය තාමත් ඇල්ලුවම එබෙනවා. 

 එදා රෑම මාව ගෙවල් ළඟ අඳුරන ඩොක්ටර් ගාවට ගෙනිච්ච ගෙනිච්ච ගමන් ඩොක්ටර් ඇහුවේ මොකද යගුලිය දෙකට කැඩුනද  කියල ..අන්න ප්‍රශ්නෙ  මට ඒක  අහගන්න බැරි උනානේ...කොහොමින් කොහොම  හරි මට ඉදිමුම ඇරෙන්න වෙන කිසිම අබාධයක්  තිබ්බේ නෑ.හදිස්සියේ හරි වමනේ දාල ලෙඩ උනානම් එහෙනම් ඔළුවේ  ලේ කැටියක් ඇති කියල හොස්පිටල් එකේ ආයේ නවත්තන්න  තිබ්බ .එච්චර හය්යෙන් යගුලිය වැදිලත්  මම වාසනාවන්ත විදිහට බේරිලා .යගුලිය දාපු කොල්ලෝ නම් හිතුවේ මං මැරෙයි කියලලු හික්ස් ... මටත් එහෙම බයක් තිබ්බ...මොනා  හරි ලොකු දෙයක් වෙයිද ඔපරේෂන් කරයිද  එහෙම උනොත් ආයේ ඉස්කෝලේ යන්න බැරිවෙයිද  ඔන්න ඕවගේ ප්‍රශ්න කෝටියක්  ...හැබැයි එදා ඉඳල අද වෙනකන්  මට කිසිම අබාධයක්  නෑ ..හැබැයි එදා බැලුම වගේ එබී එබී තිබ්බ ඉදිමුම  තිබ්බ තැන අද ඒ විදිහටම හය්යට ගෙඩි ගැහිලා තියනවා ඒක හැමදාම එදා යගුලිය වැදිච්ච මතකේ ආයෙ ආයෙ  මතක් කරනවා ... 
ගොඩක් අය  මේ කතාව  ඇහුවම  පිළිගන්නේ නෑ යගුලියක් ඔච්චර හය්යෙන් වැදිලා ඔපරේෂන් එකක් වත් නොකර හොඳින් යහතින් ඉන්නවා කිව්ව්වම සමහරු හිතන්නේ මං බොරු කියනවා කියල පස්සේ කාලෙක යගුලිය දැම්ම කොල්ලෝ කිව්වෙත් එයාල උපරිම වේගෙන් යගුලිය  එහාට මෙහාට විසික් කලේ කියල .මං  හිතන්නේ මං  ලාවට වාසනාවන්තයි ..හැබැයි ඉතින් ඔය සිද්ධියෙන් පස්සේ මට පිට්ටනිය තහනම් කලාපයක් උනා  අම්ම හොඳටම බයවෙලා හිටියේ ඉතින් අන්තිමට මගේ වන් ඇන්ඩ් ඔන්ලි  ක්‍රීඩා සහතිකේ විතරක් මට ඉතිරි උනා ...හැබැයි ඉතින් මම මොකක් හරි පිස්සු හරි ගොන් වැඩක් හරි කරපුවම කවුරු හරි ඇහුවොත් ඔලුව කොහේ හරි වද්ද  ගත්තද කියල මට කියන්න හොඳ උත්තරයක් තියනවා.. :P  ..හික්ස් ඒකත්  නරකම නෑ  නේද ..හැබැයි මට දුක යගුලියත් වද්දා ගෙන මේ යහතින් හිටියට කිසිම ක්‍රීඩා සහතිකයක් නෑනේ ඇයි  හලෝ ඔලුවෙන් යගුලියට ගහල සෙල්ලම් කරන හැටි මුළු ඉස්කොලෙටම මුලින්ම අඳුන්නල දුනේ මමනේ.... එහෙව්  අතිවිශේෂ හැකියාවක් තියන මට කිසිම සම්මානයක් නෑ .. :(




26 comments:

  1. අම්මෝ... නෑ නෑ වෙන්න බෑ මේක පට්ට බොරුවක්.. එක්කෝ හංසි දන්නෙම නැතුව ඔපරේෂන් එකක් කරලා... :D :v

    ReplyDelete
    Replies
    1. //හංසි දන්නෙම නැතුව ඔපරේෂන් එකක් කරලා//

      අන්න හරි... :D

      Delete
    2. මේ සිහිනයටයි සංචාරකයටයි දෙන්නටම කියන්නෙ ... නෑ .. නෑ මට ඔපරේෂන් එකක් කලේ නෑ .. මේ ගොල්ලො මට බලෙන් ඔපරේෂන් කරනවනේ :P
      එහෙම දෙයක් උනානම් අර tangled ෆිල්ම් එකේ වගේ දිගට තියන මගේ කොන්ඩේ (අතිශයෝක්ති නොමැත :P ;) ) කපන්න එපැයි ..එහෙම දෙයක් වෙලා නෑ . ඒ නිසා මං චුට්ටක් විතර වාසනාවන්තයිලු :)

      Delete
  2. පව් අහිංසක යගුලිය :D, හොඳ බේරිල්ලක් බේරිලා තියෙන්නේ (යගුලිය හරිය) :D, බලන්න ඒක දෙකට පැළුන නම් ඉස්කෝලෙට වෙන පාඩුව :D.

    හොඳ වැඩේ අනුන්ගේ ඕපාදුප බලන්න යනවට, මොක උනත් සහතිකයක් දෙන්න වටිනවා ඔව් එකෙන්ම.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ආයෙත් ඇවිල්ල. :D .... අපෝ මෙහෙමත් අය්යල.... යගුලිය පව් ලු ...:( ...ඕකනේ අය්යේ මේ වගේ සහතික ගන්න වැඩ කලාට අපිව දිරිමත් කරන්න කෙනෙක් නෑ .දුක තමයි ....

      Delete
  3. මගේනං ඔළුව පැලිල තියේ පිට්ටනියෙදි බැට් පාරක් වැදිල.. එදා තමා තේරුනේ ඕං ඔළුවක් තියෙනව කියල.. :D

    ReplyDelete
    Replies
    1. හික්ස් ... මට නම් එදා ඉඳල අද වෙනකන්ම තියන ප්‍රශ්නෙ මගේ ඔලුව හරියටම තියනවද ,යගුලිය වැදිලා මොනාවත්ම අවුලක් උනේ නැද්ද කියන එක ... හැබැයි වෙලාවකට මං වෙලාවකට කරන වැඩ වල හැටියට නම් මොනා හරිම වෙලා තියනවා ඕ ෂුවර් :D

      Delete
  4. මගේ ඔළුව අප්සෙට් වෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. අප්පා එච්චර අප්සෙට් වෙන කතාවක්ද මේක

      Delete
  5. විකාරයි වගේ තමා
    ඒත් මට වඩා සද්දන්ත උං දෙන්නෙක් පාස් කරල මම යගුලිය දාල එක වුණා කවපෙත්ත දෙක...
    හිහි
    හංසි වෙලාවකට පිස්සු මංඤං කෙලින්නෙ ඒකයි එහෙනං...
    යගුලියක් වැදුණ කීවම ටිකක් ආඩම්බර ගතියකුත් තියේ නේහ්..
    ඇද විට්ටම් ඔලුව වැදුණ කීව වගේද...
    මගෙ ඔලුවෙ යගුලියක් වැදල තියේ කීවම
    මාන්දමිකයි
    හිහි

    ReplyDelete
    Replies
    1. බලන් ගියාම මහේෂ් අය්ය කප් ගහපු ක්‍රීඩකයෙක් නෙ (හැබැයි මූණ බැලුවම නම් එහෙම පෙන්නේ නෑ :P )..... ඇත්තමයි යගුලියක් වැදිලා යහතින් ඉන්නවා කියල අනෙක් අයට කියන එකේ පොඩි ගතියක් තියනව.හැබැයි ඉතිං ඔය කතාව වෙනස් වෙන්න තිබ්බ ඔලුව පැලිල ලොකු ඔපරේෂන් එකක් එහෙම කලානම් ... :D ... මාන්දමිකද කියලත් අහනව.. :D :P

      Delete
  6. අහිංසක යගුලිය යන්තමින් බේරිලා :v හැක හැක :D

    ReplyDelete
    Replies
    1. පව් අර අහිංසක දැරිවිත් බේරිලා :P

      Delete
  7. හංසි යනු අක්කා කෙනෙකු බව අද දැනගතිමි. -__-

    යගුලියක් ඔළුවෙ වැදිල ඔහොම බේරුණා කියන්නෙ මුළු පරම්පරාවටම ආඩම්බරයක්. මොකද දැන් ඉන්න ගෑණු ළමයි වැඩිහරියක් බ්‍රේක් නැතුව එන මැස්සෙක් ඇඟේ හැපුනත් විසි වෙලා වැටිල "කවුද මාව තල්ලු කළේ?" කියල අහන ජාතියෙනෙ. :v

    ReplyDelete
    Replies
    1. හෑ .... මං අක්කෙක් ? කවුද කිව්වෙ ? කොහෙද කොහෙද මගේ වයස දාල තියෙන්නෙ ? අශාන් මල්ලියෙක්ද අයියෙක්ද කියලවත් මං දැනන් හිටියේ නෑනෙ . :D .... හි හී .. ගෑනු ළමයි ගැන ඔහොම නේ හිතන් ඉන්නෙ අපි එසේ මෙසේ අය නෙවෙයි යගුලියෙන් වාර්තා තියන අය :D

      Delete
    2. //කොච්චර වත් මේක එක එක ඉන්ටර්විව් වලට ගෙනියන්න ඇත්ද.ගිහිල්ල ඉතින් විරිත්තගෙන බලාන ඉන්නවා සම්මුඛ පරීක්ෂණයේ අය ඒක පෙරලලා බලනකන්.// මෙන්න මෙතනින්. අපි තාම උසස් මෙව්වා එක හදාරනවා. ;)

      මෙවන් දියණියන් ලද මව්පියන් සැබැවින්ම පින්බර ය. :D

      Delete
    3. හි ..හී ..අශාන් කියන්නේ තාම උසස් පෙළ පෙළ කරන පොඩි මල්ලෙක්ද ... කවුද දන්නේ ඉතිං කියනකං.හංසි නම් තාම කැම්පස් යනවලු ..අර සම්මුඛ පරීක්ෂණ වලට තෙරුනානම් මෙච්චර කාලයක් කැම්පස් ඉන්නේ නෑ.එහෙනම් ලියන්න වෙනමම කතාවක් තියේවි :)

      Delete
    4. හෑ උසස් පෙළ කරල දැන් සෑහෙන කල්.. උසස් පෙළට ඉහළින් තියෙන උසස් එක ගැන තමයි මාත් කිව්වෙ. :D

      Delete
    5. හෆ්ෆා ...ඒ උසස් එකද .. ..එහෙනම් ඉතින් එකම බෝට්ටුවෙ .. :D

      Delete
  8. ඇත්තටම මේ හංසිගෙ හොල්මන එහෙම නෙවෙයිනේ??????????
    ඇයි බොලේ අර ක්‍රිකටර් මැරුනු එකේ කෝමෙයි මෙව්ව විස්වාස කොරන්නෙ??

    ReplyDelete
    Replies
    1. හික්ස් .... තාම මැරිල නැතෝ :D :D

      Delete
  9. හංස නිවසේ හංසි.... :'D :'D

    අනේ ඉතින් මටත් තියෙන්නෙ එකම එක ක්‍රීඩා සහතිකයයි.... එකත් ඩ්‍රිල් එකට සහභාගි වුනා කියල විතරයි.... තව ඔයාට යගුලිය වගේ මගේ ඔලුවට පාත් වුනේ නෙට්බෝල් පොස්ට් එක.... හැබැයි තුවාල නම් වුනේ නැද්ද කොහෙද.... :D

    ReplyDelete
    Replies
    1. සාරා ඇත්තටම මං හිටියේ හංස නිවාසයෙ. නිවාස 4ක් තිබ්බ හංස ,මයුර ,පරවි ,කෝකිල .මමයි අය්යයි දෙන්නම වැටුනේ හංස නිවාසෙට :) ..අහ්හ් දෙන්නගෙම ඔලුවට තඩි බෝලයක් පාත්වෙලානෙ ..හික්ස්.. දාන්න පහක් :D

      Delete
  10. //අනේ මන්ද මොන හේතුවක් නිසාද කියල මම සෙල්ලම් කරන්න පිට්ටනියට යන හැමවෙලේම වැටෙනවා//

    මැවිලා පේනවා හංසි.................... හතරගාතෙන් පිට්ටනියේ වැටෙනවා.......................... ඒළස්...............

    ReplyDelete
    Replies
    1. හි හී මවාගන්නකෝ එහෙනම් ඇටකෝටු කෙල්ලෙක් වැලමිටෙයි දණහිසෙයි ප්ලාස්ටර් පුරෝගෙන පහුවෙනිදා ඉස්කෝලෙට එන හැටි

      Delete