Thursday, December 25, 2014

වැස්ස වැස්ස

අද ගොරවන්නේ නම් නෑ ඒත් එලියෙ සූ ගාල  වහිනවා.  කලින් තිබ්බේ පොද වැස්සක්  එළියේ තිබ්බ හිස් සැමන්  ටින් එකට ටක් ටක් ටක් කියල වැටුන වතුර බින්දු දැන් අලුත් ම තාලයක් අල්ලල.හරියට වේග රිද්ම සංගීතයක් වගේ.වැස්සත්එක්ක එන සීතලට ටොමිය පාපිස්සෙ ගුලිවෙලා. හරියට දුඹුරුපාට පුළුන් ගුලියක් වගේ.අම්මලත් කලින්ම නිදාගෙන.මම විතරක් මේ මහ  රෑ  ඇහැරගෙන.... සීතලයි....සිනිදු කොට්ටයක් තුරුලුකරන් කකුල් දෙකම වැහෙන්න පොරෝනයක් පොරවාගෙන නිදාගන්න ආසයි. සීතල  නම් කියනව මට ගිහින්  නිදාගන්න කියල.ඒත් මේ නිහඬ රෑ  වැස්සට මං  ආසයි  ඒ නිසාම ටික වෙලාවක් ඉන්න හිතුන. 

මං  හෙමිහිට පොත් මේසෙ ගාව තිබ්බ ජනේලේ ඇරිය.අත  දිග ඇරල වැහි බින්දු  අල්ලන්න ආසයි.ඒත් අත දිග මදි .කිසිම දෙයක් නොපෙනෙන කට්ට කළුවරේ තොරතෝංචියක් නැතිව වැටෙන වැහි බිංදු  දිහා මම බලන් හිටිය  මේ වැහි බිංදු  කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර වෙනවද  කවුද දන්නෙ.
හරි පුදුමයි ...
මට වැඩි වෙලා ජනේලෙ ඇරගෙන ඉන්න ඉඩ දුන්නේ නෑ .කොහේදෝ ඉඳල ආපු හීතල හුළඟක් මාව බදාගත්තා .මුළු ඇඟම සීතලෙන්  හිරිවැටිලා ගියා .තව හිටියොත් නම් හචිමක් දෙකක් අරින්න තමයි.මං ජනේලෙ වහල  දුවල ගිහින් ඇඳට පැනල ගුලි උනා.

වැස්ස වැස්ස ... 

වැස්ස හරි ලස්සනයි නේද බිංදු  බිංදු  පොද වැසි වැටෙද්දි  එලියට පැනල නටපු කාලයකුත් තිබ්බ .තාමත් එහෙමයි ...පරණ  කඩදාසි  වලින් බෝට්ටු  හදල අය්යත් එක්ක පා කරපු කාලයකුත් තිබ්බ හැබැයි ඒ කාලෙ නම් දැන් ඉවරයි. දැන් ඉතිං මා  එක්ක කඩදාසි බෝට්ටු පාකරන්න  අය්ය  එන්නේ නෑනෙ.

හයියෙන් පායන දවසට හිතෙනවා අනේ වැස්ස තිබ්බනම් කියල  වැස්ස වැඩි දවසට හිතෙනවා   අනේ පෑව්ව නම් කියල.  අපි මේ හිතන  දේවල් වැස්සට දැනුනොත් වැස්සටත් පිස්සු හැදෙයි  නේද. ඒ විදිහටම සමහර මිනිස්සු වැස්සට බනින විදිහ ඇහුනොත් වැස්ස කවදාවත්ම එන්නේ නැතිවෙයි .මම නම් අව්වටත් වැඩිය වැස්සට ආසයි.හැබැයි වැස්ස දවස් වලට එලියට බහින්න නම් කැමති නෑ .මෙහෙම කියද්දී මට මතක් වෙනවා චූටි  කාලේ වැස්සට පෙඟිලා  දිය කාවෙක් වගේ ගෙදර එන දවස්.තෙමිච්ච ඉස්කෝලේ බෑග් එකත් උස්සගෙන බස් වලට නගිද්දී   ඉතින් ලේසියෙන් කවුරුත් බෑග් එකක් නම් ගන්නේ නෑනෙ. මතකයි නේද එහෙම දවස් ...  ඒ මදිවට පොඩ්ඩක් හරි තෙමිච්ච කුඩේ ළඟ ඉන්න කෙනාගේ ඇඟේ  ගෑවුනොත් බලන එරවිල්ල කොහොමද .. :D  මොර සූරන  සීතල වැස්සෙත්  රත්වෙලා යන එරවිල්ලක්  .ඔය අතරේ හොඳ අයත් ඉන්නවා. වතුර  බේරෙන අපේ කුඩෙත්  අරන් තියාගන්න අය.ඔය ඔක්කොම කමක් නෑ කියමුකෝ වැස්සට පෙඟිච්ච  සපත්තු මතක් වෙද්දී දැනෙන අප්පිරියාව .වතුර වලට පෙන්ගිච්ච මේස්, කකුලේ ඇලිල, ඇවිදින කොට චිරි චිරි ගාල වතුර පනිද්දී දැනෙන  අප්පිරියාව .ගෙදර දුවල සපත්තු ගලවන්නේ කොයි වෙලේද  කියල ඉවසිල්ලක් නැතිව ඉන්නේ. මතකද එහෙම කාලයක් තිබ්බ කියල...තියෙන්නෙත් එකම  එක සපත්තු ජෝඩුවක් නම් ඉතින් ආයේ  ඒක පහුවෙනිදා දන්නේ හරිම අකමැත්තෙන්.වේලිලා නැත්නම් ඉතින් ෂොපින් බෑග්  පිහිට තමයි .තෙත නිසා ෂොපින් බෑග් එකක් බස්සල තමයි කකුල දාගන්නේ :D  ...අහ්හ්  තව එකක්.. මේ කරදරේ නම් කන්නාඩි දාන අයට වැස්ස දවසක එළියේ ඉඳන් බස් එකකට වගේ ගොඩවෙද්දී එකපාරටම කන්නාඩිය මීදුමෙන් පිරිලා යනවා. එතකොට ඉතින් අන්ධයෙක්  වගේ තමයි මෙලෝ දෙයක් පේන්නෙ  නෑ. ඉක්මනට ගලවල පිහින්න  ඕන. නැත්නම් ඉතින් ටික වෙලාවක් ඔහේ ඉන්න ඕන මීදුම් පටලේ  නැතිවෙනකන්


 වැස්ස... වැස්ස  ...

වැස්සත් එක්ක හිත අතීතෙට ගිය  මම වගේ තව කීදෙනෙක්ගේ හිත මේ වෙලාවේ  වැස්ස එක්ක අතීතයට  යනවා ඇත්ද ....  සමහර අයගේ මතක සුන්දර ඇති සමහර අයගේ මතක ගොඩක් දුක්බර ඇති .හ්ම්ම් .. මේදේවල් හිත හිත ඇඳේ ගුලිවෙලා ඉන්නකොට කරන්න හිතෙන එකම දේ සින්දු අහන එක   ....හැමදාම වගේ තමයි මගේ සතුට  වැස්ස,හුදකලාව,සිංදු  එක්ක එකට ගුලිවෙනව .මගේ හිතිවිලි මල්ල අතීත මතක මල්ල මේ ඔක්කොම   අවුස්සන්නේ ඒ ගොල්ලෝ තමයි.

මේ එක නෙමෙයි දන්නවද වැඩක් ... 

කෙනෙක් එක දවසක්  සුළඟට කතා කරලා කිව්වලු වැහි වලාවට කියන්න කියල ,අද එන්න එපා කියල  අද ආවොත් එයාට එයාගෙ කෙල්ලව හරියට  බලන්න වෙන්නේ නැලු   කවුද අප්පේ  මෙහෙම කියන්නේ ... අහලම බලන්නකො 

හිත මිතුරු සුළඟ  ළඟ එන වැහි වලාවට කියන් 
අද නොපැමිණ  අන් දිනයක වැසි රැගෙන එන ලෙසින් 
දිගු කලකින් ඈ මුණ ගැසේවි හසඟනක්  ලෙසින් 
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි  සැනින් 


මේ  වැස්සේ  සීතලත් එක්ක  හිත නතර වෙන තවත් සින්දුවක් කියන්න බලන්න 

මේ සින්දුව ද හිතුවේ..... 

මුතුකුඩ ඉහලන මල්  වරුසාවේ 
උඩ ඉගිලෙන විට වැහිලේනි 
එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ 
දෑස  ගියා  ඉගිලී 

මොන හේතුවක්ද මම දන්නේ නෑ  මේ සින්දුව අහද්දී  මාවත් දන්නේ නැති අතීතයක මම ගිහින් නතර වෙලා හිත රිදුම් දෙනවා සින්දුව ඒ තරමටම සංවේදී ..


ආදරයි වැස්සයි බද්ධ වෙලා තියන  විදිහ හරි අපූරුයි නේද ..ගොඩක් සින්දු වලට වැස්සත් එක්ක ආදරය ගෑවිලා  හැබැයි සමහර ආදර කතා වැස්සත් එක්ක හේදිලා  ගිහින් සමහර ඒවා  වැස්සත් එක්ක හිතේ පෙඟිලා රිදුම් දෙනවා 

මේ ඒ වගේ සින්දුවක් 

පෙරදා මහා රෑ 
මා සිහිලැල් උර මඬලේ 
මුහුණ හොවාගෙන 
ළසොවින් වැළපුන
ඔබේ විඩාපත් නෙතින් ගලාගිය
කඳුලක කැළලක් ඉතිරිවෙලා 

මෙහෙම එක්කෙනෙක් කියද්දී තවත් කෙනෙක් මෙහෙම කියනවා 

මහවරුසාවට පසුව පෙනෙන හඬ 
වෙනදාටත් වැඩියෙන් එළියයි 
නොක්කඩුවට පසුව ඔබේ වත
 ඒ එලියට වැඩියෙන් එළියයි 


වැසි ගණනාවක් පහුකරලා මතක ගණනාවක් පහුකරලා ජීවිතේ ගෙවෙද්දී  සමහර අය ජීවිතේ සැන්දෑ සමයේදී මෙහෙම කියනව  

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා 
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත 
කබාය ඉරිලා ඊට කමක් නැහැ
 කවුරු බලන්නද කවුරු දකින්නද 
මා දැන් මහළු වියේ// 


වැස්සත් එක්ක මේසිංදු  අහද්දී හිතට අමුතුම හැඟීමක්  දැනෙනවා .එහෙම සින්දු අහල ඇති අයට  ඒ හැඟීම දැනෙනවා ඇති .. 

වැස්ස නම්   දැන් පායලා පාන්දර වෙන්නත් ළඟයි  ....වැහි වතුරින් පිරිච්ච සැමන් ටින් එක  දැන් ආයෙත් හෙමින් සද්ද  නගනවා.ඒක  වෙනමම සද්දයක් .. එක මං  මෙච්චර වෙලා ඇහුව තාල, සින්දු, ගීත නෙමේ.ඒක  සොබාදහමේ තාලය නැත්නම්  වැස්සේ ගීතය ... හුළඟට වැනෙන කොළ ඒ වැස්සේ ගීතෙට අත්වැල  සපයනවා එහාට මෙහාට පනින වැහි බින්දු තවත් සද්ද නගල  එකට අමුතුම රසයක් දෙනවා  හරියට  එක එක රිද්මෙන්  අත්පුඩි ගහනවා වගේ .දැන් වැහි ගීතයට සවන්දීගෙනම ඇහිපියාගන්න  වෙලාව ඇවිත්. හිත පිරිච්ච හැඟීම් ගොඩකුත් තුරුලු  කරන මම නිදාගන්න හැදුව.

හිත මිතුරු සුළඟේ  මට තවම හමුවෙන්න කිසිවෙක් නෑ ඒ නිසා මට හෙටත් වැහි ගීතය අහන්න ඕන ..හෙටත් වැස්සට එන්න කියනවද ..  කියන්න  මම වැස්සට ආසයි  කියල ...හැබැයි ඇවිත් ආදරෙන් යන්න කියන්න .චණ්ඩ වෙලා, මිනිස්සුන්ගේ ඇහැට වැහි කඳුළු උනන්නේ නැතිවෙන්න  දුක් කඳුළු සේදෙන වැස්සක් අරගෙන හෙටත් එන්න කියන්න  හෙටත් වැස්ස එනකන් මම බලාන ඉන්නවා  .. 

වැස්ස.... වැස්ස .. 




......................................................................................
මෙන්න මම කිව්ව සින්දු ටික  :)

හිත මිතුරු සුළඟ -වික්ටර් රත්නායක
මුතුකුඩ ඉහලන -රෝහණ  වීරසිංහ
පෙරදා  මහා රෑ -නන්දා  මාලනී
මහ වැස්සක-පණ්ඩිත් අමරදේව

21 comments:

  1. මාත් ඇහැරිලා..ගෙදර කට්ටියම හොඳට සැපට ගුලිවෙලා නිදි..මාත් වැස්සට ආස කාලයක් තිබ්බා..ඒත් මම දැන් වැස්සට වඩා අව්වට ආසයි..ඉරේ උණුහුම නැතුව ගෙවිච්ච දවස් ගාණ කල්පයක් වගේ..:)

    මේ කම්මැලි නොවී උදේට අර සැමන් ටින් එක අනික් පැත්ත ගහන්න නංගී...ඩෙංගු බෝ කරන්න එපා හරිය? :P :P

    ReplyDelete
    Replies
    1. අද නම් අපිට පායල .ආයෙත් අලුත් අවුරුද්දත් එක්කම අව්ව පායයි. :) ඔන්න තරු අක්කෙ අර සමන් ටින් එක හිල් කරලා අනෙක් පැත්ත ගැහුව :)

      Delete
  2. අම්මටයි වැස්සටයි කවදාවත් හොදක් අහන්න නැහැ කියනවානේ හංසි........................ වැස්සත් බනිනවා.. පෑයුවත් බනිනවා......

    ReplyDelete
    Replies
    1. හි හී.. ඒකනම් ඇත්ත කුරුටු හැමදේකටම අපි බනිනවනෙ කවදද හොඳක් දකින්නෙ ;)

      Delete
    2. පව්
      පව්

      Delete
  3. මේ සින්දුව අහලා නැද්ද හංසි

    අදත් වැස්ස වහින සඳේ
    මතක සුවඳ දැනේ
    මතකද තෙමුනා දෙන්නා
    සීතල වැහි පොදේ

    ලන්දේ කැලෙන් අප දෙන්නා අකුරට ගිය කලේ
    වැස්ස ඇවිත් වන යායම සීතල වූ සඳේ
    මුවා වෙන්න ගස් තිබුනත් තෙමුනා වැහි පොදේ
    අදත් වැස්ස වහිනා සඳ මතක සුවඳ දැනේ

    අදත් ඉතින් වහින දාට තෙමෙමින් වැහි පොදේ
    මගේ හිතේ මතක් සුවඳ අළුත් කරන පැයේ
    වැහි හීතල අවුලාගෙන ගිනි දළුවක් වෙතේ
    මේ වැහි දා අප දෙතැනක එකම වැස්ස වැටේ

    ගායනය - ටී.එම. ජයරත්න

    ReplyDelete
    Replies
    1. එතකොට මේක

      එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා..
      මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියනවා..
      නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා..
      මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා..

      දුක පිරුණු මගේ හිත නුඹ හොදට දන්නවා..
      හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා..
      නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා..
      මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...

      අනාගත වාලුකා කතර මැද තනිවෙලා..
      කෙසේ පා ඔසවමිද සා පවස විද දරා..
      පුර පසෙක නොවී නුඹ අව පසෙක සඳ වුනා..
      මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා..

      එදා වාගේ අදත්...

      ගායනය : සෝමතිලක ජයමහ

      Delete
    2. ඉවාන් අය්යෙ අර ටී .එම් ජයරත්න මහත්මයගෙ සින්දුව නම් මම අදමයි ඇහුවෙ ඒක ලස්සනයි.....ස්තූතියි :) දෙවෙනි සින්දුව නම් මම අහල තියනවා. බ්ලොග් පොස්ටුවට එක් කරන්නත් හදල ආයෙත් දැම්මේ නෑ. :)

      Delete
  4. වැස්සට නම් අපිත් හරි ආසයි හංසි යො.

    එත් බන් මේ තරම් වැස්සක්..????????????

    අනික දැන් දවස් හය හතක තිස්සේ ඉර එළියත් හරියට පොලවට වැටුනේ නැහැනේ.

    මොන විජාබහුවක්ද බන් මේක?

    ReplyDelete
    Replies
    1. හි හී .. ආයෙත් මේ වගේ සීතලේ ගුලිවෙලා නිදාගන්න හම්බෙන වැස්සක් එන්නෑ හරිය :D දිගටම පායන්න ගත්තොත් අව්වත් එපාවෙයි ;)

      Delete
    2. දැන් තියෙන කාලගුනේ අපිට සලකන්නේ හරියට එපා වාහෙට හොදි බෙදන්නා වගේ...

      නැද්ද මං අහන්නේ..?

      Delete
    3. හා හා බැන්න ඇති ..තවත් බැනුම් අහන්න බැරි නිසාම වැස්ස ගිහිං.. ඔන්න දැන් පායලා :)

      Delete
  5. ඇයි පොඩි කාලෙ වැස්ස අමතක උනාද
    හෝ හෝ ගාලා වැස්ස වහිනවා.........


    නියම ලිපියක්
    වැස්සක් වගේම ගලාගෙන වැටෙනවා
    කියවන්න ආසයි

    ReplyDelete
    Replies
    1. වර්ණ, හෝ හෝ ගාල වැස්ස වහිනවා කිව්වම පොඩි කාලේ වැස්ස ගැන ඇහුව ගීයක් මතක් උනා
      "අක්කෙ අක්කෙ අර බලන්නකෝ වැස්සක් නොවැ එන්නෙ
      හෝ හෝ හෝ ගා ගෙන එන්නේ ගස් වැල් පෙරලෙන්නේ ".... :D

      Delete
  6. හොද වැඩක්....ලස්සනට කරගෙන යන්න.....

    ReplyDelete
  7. " සාමාන්‍යයෙන් වැහි බිංදුවක් කඳුළු බිදුවක හැඩයට සමාන යැයි සැලකුවත් එය එසේ නොවන බව විද්‍යාත්මකව පැහැදිලි කල හැක. ජල බිඳුවක් එහි මූලාශ්‍රයේ සිට ගිලිහෙන මොහොතේ පමණක් කඳුළු බිඳුවක හැඩයට සමානවේ. කුඩා වැහි බිඳු ආසන්න වශයෙන් වටකුරු හැඩයක් ගනී. විශාල වැහි බිඳු වල පහළ කොටස ආසන්න වශයෙන් පැතලි වේ. හරියට හැම්බගර් බනිස් ගෙඩියක හැඩයට සමාන වේ. ඉතා විශාල ඒවා පැරෂුටයක හැඩයට සමාන වේ. "

    ReplyDelete
  8. ඔනන් ‌ආයෙත් වැස්ස පටන් ගත්තා

    ReplyDelete
  9. දැනුත් හොදටම වහිනවා🤗🤗

    ReplyDelete
  10. වැස්සට බැන්නට දැනුයි තේරෙන්නේ ඒකේ වටින කම.❤❤❤❤❤

    ReplyDelete
  11. ලස්සන ලිපියක් වැස්සට ඇහුනොත්. වැස්ස හැමදාම වහියි

    ReplyDelete