Thursday, December 4, 2014

දුක දැනුන දවසක්

ඊයෙත් අදත් පෙරේදාත් 
වාට්ටුව කෙලවර 
නුඹව නොදුටුවා නොවෙයි නංගියේ 

හැමදාම ගොඩවදින පිලිකා රෝහලේ 
හිසට අතගසා සුසුම් හෙල  හෙලා 
අත වනන මරණය දෙස බලා  හුන් 
දස දහස් ලෙඩුන් අතරේ 
නුඹව පෙනුනේ 
නුඹේ ඔය පියකරු වත  නිසාම වෙන්ටැති

සිනහව හොරු ගෙනිච්ච ඔය  මුණුනේ 
විඩාබර  පුංචි ඇස් දෙක
අතොරක් නැතිව බයිබලය පුරා දිවෙද්දී 
අනේ පව් කියවුනේ  නොදැනීමයි 

නුඹට නිනව්වක් නැත 
ගෙවෙන උදයක් දහවල රැයක් 
නුඹට නිනව්වක් නැත 
පසුකරන ලෙඩුන් මිනිසුන් වෙදදුරන් 
නුඹට නිනව්වක් නැත 
සිහින් තොල් මතුරමින් 
තත්පරයක් තත්පරයක් පාසා නුඹ යදින්නේ 
පණ අදින ජීවිතයකටයි 
කා  වෙනුවෙන්ද ?
නුඹේ ඔය යාච්ඤා 
කා  වෙනුවෙන්ද  ?

දයාබර නංගියේ 
ඊයෙ වගේමයි 
නුඹ අදත් එතැනමයි 
අද උදෙත් නුඹ 
දෙවියන් සමගමයි 

 ඒත්  ..............


.
.
.



උදේ  ඒ දුටු  පියකරු වත  
ගිනිගහන රුදුරු මද්දහනෙ   
මෙච්චර ඉක්මනට පරවුනේ ඇයි 
දෙවියනේ ....ඇයි  මෙතරම් දුකක්  

 මට තාමත් ඇහෙන්නේ මේ වචන විතරමයි 

"අනේ මගෙ  තාත්තව ගෙනත් දෙන්න "
"අනේ මට මගෙ  තාත්තව ගෙනත් දෙන්න "

නංගියේ 
මම නුඹේ සොහොයුරිය  නොවෙයි 
නෑයෙක්  වත් නෙවෙයි 

ඒත් .....

හිත තාමත් රිදෙනවා 
 දුක තාමත්දැනෙනවා  

අද හවස වාට්ටුවේ කෙලවර හිස් 
නුඹ නෑ ..
උදේ හවා යාච්ඤා කල නුඹ නෑ 
නුඹ ගිහිං ...
නුඹේ පියත් ගිහිං

නුඹ ගිහිං  
පාළු මූසල වාට්ටුවේ 
නුඹ කියවූ බයිබලය විතරක් ඉතිරි කර 
නුඹ ගිහිං ....



හිතට ගොඩක් දුක දැනුන දවසක් ..තාල ගැලපුම් හිතට එන්නෙ නෑ .හිතට නැගුන දුක මෙහෙම ලියල දැම්ම ... මට දුකයි මගේ කවුරුත් නොවන ඒ නංගි  ගැන ගොඩක්  දුකයි...
ඒ අඬපු සද්දෙ තාමත් හිතේ දෝංකාර දෙනව. :( 







16 comments:

  1. මාත් කාලයක් මහරගම පැත්තෙ හිටිය...
    හරි ලස්සන කෙල්ලක් හිටිය 13 වාට්ටුවෙ අතේ පිළිකාවක් මාර ලස්සනයි... කෙල්ල අන්තිම දවස වල මාර අප්සට් එකේ හිටියෙ ඒ කිට තිබ්බ ලෙඩේ හන්ද ඒකිගෙ කොල්ල ඒකිට බූට් එක තියල මාරු වෙලා ඒත් ඒ කෙල්ල ඌ ගැන තරහකිං හිටියෙ නැ පොඩි දුකක් තිබ්බ.. ඔපරේෂන් එක කරල දවස් කීපෙකින් නැතිවුණා... ඒ කෙල්ලට ජීවත් වෙන්න තිබ්බ ඒකිගෙ හිත හයියට .තිබ්බ නං අඩු ගානෙ තව ටික දවසක් වත් අන්තිම දවස් වල මා එක්ක කතා කල හින්ද මම දන්නෙ ඒකි හිටියෙ සම්පූර්න ඩවුන් වෙලා ඒ හින්දමද කොහෙද මරණෙ ඉක්මන් වුණා
    මට මේක කියවද්දි ඒ සිදුවීම මතක් වුණා....

    අක්ක කෙනෙක් එයාගෙ යාලුවක් එක්ක එයාගෙ මල්ලි බලන්න ආව මොකද මංද මේ කෙල්ල හෙනම සංවේදී අර ලෙඩ්ඩු ඉන්න විදිය දැකල ඒ කෙල්ලට ඇඩුණ... දෙවනි දවසෙ ආවත් වාට්ටුවට ගියෙ නෑ... ඒත් එදා ඒ ගර්ල් කැන්සර් එකක් හැදිල තිබ්බ පොඩි එකෙක්ව දැකල තිබ්බ ආයෙ එන්න බෑ කිය කියලඅඩ අඩලු ගෙදර ගියේ ඒත් ආව
    අනේ මංද මේ කවිය කියෙව්වම මට ඒ සිදුවීම් දෙක මතක් වුණේ...

    මට තේරෙන්නෑ හංසියෙ මක්කද කියන්න ඔ්න කියල

    ReplyDelete
    Replies
    1. මහරගම පිලිකා රෝහල කියන්නෙ හරිම දුක හිතෙන තැනක් අය්යෙ. මේ හිටිය දවස් ටිකට හිනා වෙලා ඉන්න එක ලෙඩෙක් දැක්කේ නෑ .හැමෝම බලාගත්තු අත ඔහේ බලාගෙන කල්පනා කර කර ඉන්නව ඒ අයටත් ඒ අයගේ ජීවිතේ ගැන වැටහීමක් නෑ වගේ .පව්.... ලෙඩ වෙලා ඉන්න පුංචිම ළමයි දැක්කම ඊටත් වැඩිය දුකයි. එතනට එන හැමෝම ඉක්මනට හොඳවෙලා යනවනම් කියල හිතෙනව.

      Delete
  2. ජීවිත වල ස්වභාවය ඕක තමා. ! :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ... වෙන්වීම දරාගැනීම ගොඩක් අමාරුයි.

      Delete
  3. මහරගම ගියේ කැම්පස් ඒකේ ඒකට රූම් ඒකේ හිටිය අවංක (ඒ කාඩ් ඒක) කියන යාලුවාට දෙවැනි වසරේදී ලියුකේමියා හැදිලා නතර කරපු වෙලාවෙයි............ ඒක අපායක්............ දුක කියලා නිම කරන්න බැහැ... අපි බස්ගානේ කෝච්චි ගානේ ටිකට් විකුණලා..... කෑ ගහලා මිනිස්සුන්ගෙන් සල්ලි ඒකතු කරා මතකයි නිවාඩු මාසයක් පුරා............ ඒ සල්ලි ඉවර වෙනකල් ලේ මාරු කරා............ ලෙඩ අැදෙන් නැගිටලා අවංකයා ගෙදර ගියා............ අායේ කැම්පස් නොඒයි කියලා හිතපු යාලුවා කැම්පස් අාවා............. ඒත් ඒකපාරම අමාරු වෙලා අායෙම මහරගම ගියා......... ටික දවසකට පස්ස් අවංක ගෙදර ගියා .... ඒත් ඒ අැස් දෙක වහගෙන..... අායේ අපි ලගට නොඒන්න........................

    හංසි............. සමහර නිර්මාණ කරන්න ගියාම හිතට ඒන දේවල් වැඩි නිසාම ඒ නිර්මාණය හරියට කෙරුනේ නැහැ කියලා අපිට හිතෙනවා..... ඒක ගණන් ගන්න ඒපා... ඒ සිතුවිල්ල වෙනුවෙන් මේ විදිහට අකුරු කරන්න... ඔබේ හිත ඒයින් නිදහස් වේවි........................

    ReplyDelete
    Replies
    1. තවත් දුක හිතෙන කතාවක් ... මේවගේ සංවේදී කතා තව කොච්චරක් ඔතන ඇත්ද ... මේ සිද්ධිය උනාට පස්සෙත් මම හැමදාම ඒ වාට්ටු තියන හරිය උදේ හවස පහු කරන් යනව. මට මතක් වෙන්නෙම අර නංගිව. :(

      Delete
  4. ඔය දැනුන වේදනාව මොන වගේද කියලා මාත් හොදා කාරවම දන්නවා..

    ReplyDelete
    Replies
    1. මොනවා කියන්නද කියල මට තේරෙන්නෑ අය්යේ .කාටවත් ඕවගේ දුක හිතෙන දෙයක් නම් වෙන්න එපා කියල තමයි ඒ වගේ ලෙඩ්ඩු දකින හැමවෙලේම හිතන්නෙ

      Delete
  5. වෙන කෙනෙකුගේ (එයා මනුස්සයෙක්ම වෙන්න ඕනා නැහැ) දුකකදී කරදරයකදී අසරණ කමකදි තමන්ටත් නොදැනීම ඇස් දෙක බොඳ වෙන්න තරම් සංවේදී කමක් තියෙන මිනිස්සු හරිම අල්පයි. සතුටු වන්න ඒ අතර ඔබත් සිටිනවා කියල හිතල. ඔබේ දෑසට එන ඒ කඳුල පිසින්න ඔබ අසල කවුරුත් නොසිටියට මතුයම් දවසක ඔබටත් හැකි වේවි අසරණව වේදනාවෙන් දුකකදී කරදරයදී කඳුළු සලන අයගේ කඳුල පිසලන්න. එදිනටැහැ ඔබේ නෙත් කඳුලින් තෙමෙයි, එත් ඒ දුකට නෙවෙයි සතුටට, එදිනට ඔබට බොඳ වෙච්ච නෙත් අතරින්ම පෙනෙයි ඔබ නිසා කඳුළු අතරින් හිනැහෙන තවත් නෙත් බොහොමයක්ම තිබෙන බව.

    ඉතින් අද පටන්ම උත්සාහ කරන්න ඒ කඳුළු අහරින් හිනැහෙන නෙත් දකින්න.

    ReplyDelete
    Replies
    1. මගේම මහන්සියෙන් හම්බ කරගත්තු දවසට ,මගේම සල්ලි වලින් එහෙම උදව් කරන්න ආසයි .එහෙම උදව් කරලා ජීවත් වෙන ,හිනාවෙන මිනිස්සු දකින්නත් ආසයි . හිතන්න දෙයක් ඉතිරි කරපු කමෙන්ටුවක් .... ගොඩක් ස්තුතියි අය්යේ.

      Delete
  6. හරිම සංවේදී සටහනක්..
    මිනිසා කොයිතරම් දියුණුයි කිව්වත් පිළිකා, ඒඩ්ස් වගේ මාරක රෝග වලට අපි එදා ඉඳන් අද වෙනකම් හැමදාමත් පරාදයි.
    කවදහරි අපිට ඒ රෝග පරද්දන්න පුළුවන් වුණ දවසට මේ නංගි වගේ තව මිලියන ගාණකගේ මූණුවලට හිනාවක් ගේන්න පුළුවන් වේවි.

    ReplyDelete
    Replies
    1. එදාට කාලයත් ආපස්සට හරවල මේ දුකින් ඉන්න මිනිස්සුට ආයෙත් සතුට ගෙන්න පුලුවන්නම් .....

      Delete
  7. හිතට වදින වදන් පෙළක්
    හිතට රිදෙන හැඟුම් වැලක්
    දැනෙන පැදි පෙළක්

    ReplyDelete
    Replies
    1. හිත රිදුන සිදුවීමක් .... :(

      මේ පැත්තට ගොඩ වුනාට ස්තුතියි ..සාදරයෙන් පිලිගන්නවා

      Delete
  8. හංසි, මම මුලින්ම හිතුවේ ඒ ගෑණු ළමයා අසනීපෙන් කියලා..
    /"අනේ මගෙ තාත්තව ගෙනත් දෙන්න "
    "අනේ මට මගෙ තාත්තව ගෙනත් දෙන්න "//
    මේක දැක්කම කඳුළු ආවා ඇස්වලට..කොච්චර අහිමිවීම් වෙනව ඇතිද මොහොතක් මොහොතක් පාසා අපි අවට..:(

    ReplyDelete
    Replies
    1. පිළිකාවක් කියන්නෙ නම ඇහුවමත් බය හිතෙන ලෙඩක්නෙ එහෙම ලෙඩෙක්ට තමන්ගෙ ජීවිතේ ගැන මොනව හිතනවා ඇත්ද එයාගේ පවුලේ අය‍ට යාලුවන්ට කොච්චර දුක හිතෙනව ඇතිද ..පිළිකා රෝහල කියන්නෙ ජීවිතේ කලකිරෙන තැනක්.අවාසනාවකට මට ඒ දේවල් දකින්න උනා ...ජීවිතේට තියන ආදරේ නිසාම මේ සිදුවීම් හිතට ලොකු කම්පනයක් ...

      Delete