Friday, October 30, 2015

සුරංගනී

ගමේ බස් එක ජම්බුගස් මුල්ලෙන්  හැරිලා පන්සල පහුවෙනවත් එක්කම  මට මතක් වෙන්නෙ  එකම  එක්කෙනෙක්.ජම්බුගස්මුල්ල  හංදිය හැරෙන තැනම  වෙලත් එක්ක තියන පුංචි පාරෙ ඇතුලට ගියාම මොනවද තියෙන්නෙ කවුද ජීවත්වෙන්නෙ කියල කියන්න මම හරියටම දන්නේ නැහැ හැබැයි ඒ හරියේ අවට මලගෙයක් වෙන දවස් වලට මුළු පාරම සුදු කොඩිවලින් සරසන නිසා මම දන්නව ඒ පාරෙ කෙලවර කොහෙම හරි කනත්තක් ඇති කියල.අදත් බස් එක වංගුව හරවනකොටම මම දැක්ක ඈත තියාම හුළඟට හෙලවෙන සුදු කොඩි .එහාට මෙහාට හෙලවෙන තීරු තීරු සුදු කොඩි අතරින් මගේ මතකෙ දුවල ගියේ මිට අවුරුදු දහයකට විතර ඈතට.ඒ දන්න කියන කෙනෙක් වෙනුවෙන් මේ පාරේම මේ විදිහටම සුදු කොඩි සැරසිල තිබ්බ දවසකට.ඒ  සුරංගනී ගෙ තාත්ත ගෙ මළගෙදර දවස.

ඒ කාලේ අපි හතර වසරෙ. පන්තිය පුරාම එහෙ මෙහෙ දුව දුව සෙල්ලම් කර කර  හිටිය දවසක අපි ඔක්කොමාලව එකතු කරන් අම්මලත් එක්ක අපිව එක්කන් ගියේ සුරංගනීලගෙ ගෙදර.හැමදාම මේ බස් එකේ ගියත් එදා තමා දැනගත්තෙ සුරංගනී හිටියෙ ජම්බුගස්මුල්ලේ පන්සලගාව ඇතුලට තියන පාරේ කියල.මළගෙදර ගියාම තමා අපිට දැනගන්න හම්බඋනේසුරංගනීලගෙ තාත්ත නැතිවෙලා කියල.නැතිවෙලා තියෙන්නෙ මල් පොහොර වගයක් කාල.ඒ කාලේ ඇහිච්ච බර චනයකින් කිව්වොත් සියදිවි හානි කරගැනීමක්.මල ගෙදර දවසෙ සුරංගනීලගේ අම්ම පැත්තකට වෙලා සුරංගනීලගෙ තාත්තගේ  මිනිය දිහා ඔහේ බලන් හිටිය විදිහත් කෙලවරේම පුටුවක ඉඳගෙන සුරංගනී අඬ අඬ හිටිය විදිහත් මට තාම මතකයි.මල ගෙදර දවසේ තැන් තැන්වල මිනිස්සුන්ගෙ කසු කුසු කනට ලාවට ඇහුනත්  සුරංගනී  තමා පස්සෙ අපිට කිව්වෙ තාත්ත නැති උනේ  අම්ම එක්ක උන රණ්ඩුවක් නිසා කියල.අහන්න ලැබුන විදිහට නම් සුරංගනීලගෙ අම්මට තිබ්බ අනියම් සම්බන්දයක් ආරංචිවෙලා වෙච්ච රණ්ඩුවක් දුරදිග යාමක්.අන්තිමේ තාත්ත සියදිවි නසාගෙන. සුරංගනී පුංචි කාලෙම එයාගෙ  තාත්තගෙ උණුහුම් අරන් ගිහින්.

මම කිව්වේ නෑනෙ සුරංගනී ගැන .ඒ කාලෙ නම් අපි එච්චර සුරංගනීට කැමති නැහැ .මුණ රවුම් රැලි රැලි කොණ්ඩයක් තියන ඔලුව උඩින් තනි ලොකු පොල් මලක්  ගැට ගහගෙන එන සුරංගනී හරි කට සැර කටකාර කෙල්ලෙක් .අපේ වචනවලින් කිව්වොත් රණ්ඩු කෙක්කක්.කට්ටි කට්ටි රංචු ගැහිලා හදාගෙන ඉන්න යාලුවන්ගේ එකතුවේ සුරංගනී  හිටියේ නැතත් පන්තියේ එකට ඉන්න වෙලාවට අපි ඔක්කොම එකට. කතා පෙට්ටි ගොඩයි දන්නවනේ ඉතින් පොඩි පහේ ගෑනු ළමයි එකතු උනාම කියවන කියවිල්ල :)

හැමෝම එක්ක කිව්වේ නැතත් අපි එක්ක සුරංගනී එයාගේ විස්තර කිව්ව..සුරංගනී තාත්තට හරි ආදරෙයි. සුරංගනී කියන විදිහට නම්  අම්ම එයාට ආදරේ නෑලු.මළගේ දවසේ  ආච්චි කිව්වලු  අම්ම තාත්තව මරා ගත්ත කියල.පස්සෙ ආරංචි උනා මළගෙදර ඉවරවෙලා මාසයක් යන්න කලින්ම සුරංගනී ගේ අම්ම වෙන කසාදයක් කරගත්ත කියල.ඒ කාලේ සමහර දවස් වල අම්ම ගාවත් ගොඩක් දවස් වල පුංචි එක්කත් සුරංගනී හිටිය කියල අපිට ආරංචි උනා .ඒ කාලේ මට මතක හැටියට  හයවසරේ මුල සුරංගනී එන්න එන්නම කටකාර හිතුවක්කාර ළමයෙක් උනා රණ්ඩු කෙක්කක් නිසාම වගේම  පිළිවෙලට ඇඳගෙන ආවේ නැති අපිරිසිදු ළමයෙක් නිසාම  කොයි කවුරුත් එයාට  වැඩිය කැමති උනේ නැහැ.මට මතකයි දවසක යාලුවෙක්ගෙ පැන්සල් පෙට්ටියේ පාට කූරු  නැතිවෙලා තියෙද්දිත් සැක කලේ සුරංගනිව.කොල්ලො සුරංගනිව අවුස්සන්න ඕන උනාම හෙන හයියෙන් කෑ ගහනවා "සුරාංගනී සුරාංගනී ...සුරාංගනී ට මාළු ගේනවා .." ඔහෝම කෑ ගහල සුරංගනී ගෙන් ගුටි කකා පංතිය වටේම දිව්ව හැටි තාම මතකයි .ඔය කාලේ වගේ තමා  ඒ කියන්නේ හයවසරේ මුල තමා සුරංගනීගේ අම්මට දෙවෙනි කසාදෙන් දරුවෙක් ලැබෙන්න හිටියෙ.ඒ අපේ ළමයින්ගෙන් කවුරුහරි සුරංගනී ගේ  අම්මව දැකල එයාගෙන් අහපු වෙලේ.එදා තමා සුරංගනී කිව්වේ එයා එයාගෙ අම්මට පොඩ්ඩක් වත් කැමති නැහැ කියල.ඒ දවසක් සුරංගනී ඉස්සරහම අම්ම කිව්වලු "මේකි වගේ කෙල්ලෙක් හම්බුනොත්  මම කොහේ හරි දාල එනවා  කොල්ලෙක් හම්බුනොත් විතරක්  හදා ගන්නව කියල " ඒ වචන කොච්චර සරද කියල මට හිතුන අපි හැමෝගෙම හිත් එදා තෙත් උනා. එදා තමා  මම දෙවෙනි පාරට සුරංගනී ගේ ඇස්වල කඳුළු දැක්ක දවස.කොච්චර අකමැති උනත් මට එදා සුරංගනී ගැන ගොඩක් දුක හිතුන .හොඳම යාළුවො නොවුනත් සුරංගනී දකිද්දී හරි පව් කියල හිතුන.හය වසර පොඩි ළමයෙක් අම්ම තාත්ත නැතිව මේ වගේ කතා අහගෙන කොහොම ඉන්නවා ඇතිද කියල හිතුන .ඇත්තටම එයා පව්  ඒ සිදුවීමෙන් පස්සේ සුරංගනීගෙ අම්ම දකින කිසිම දවසක මම හිනා උනේ නැහැ තරහෙන් ඔරවල අහක බැලුව මන්ද මටත් තිබ්බේ තරහක් ..

ලොකු ලොකු පන්තිවලට යද්දී අපේ පන්ති කැඩුව යාළුවො වෙන වෙන පන්තිවලට වැටුන .මම වැටුනේ B පන්තියට සුරංගනී හිටියෙ E පන්තියේ .කටකාර  නපුරු ළමයෙක් වෙච්ච සුරංගනීගෙ හැකියාවන් දැක්කෙ අපි ඒ කාලෙ ඒ අපිට හිටිය සංගීත ටීචට පිංසිද්ද වෙන්න.සුරංගනිගේ කටහඬ එලියට ආව.හැමෝම දැනගත්ත මේ කටකාර නපුරු රණ්ඩු කෙක්කට ලස්සනට සින්දු කියන්න පුළුවන් කියල.එදා ඉඳල ඉස්කෝලෙ උත්සව වලදී  කලාප පළාත් තරඟ වගේම පාසල් ගීතෙටත් සුරංගනී ගේ  කටහඬ එකතු උනා .අතිමට සුරංගනී  අපි වගේම ශිෂ්‍ය නායිකාවකුත් උනා.

සුරංගනී ගැන මට තියන මතකේ  ගලාගෙන ගලාගෙන ගිහින් අන්තිමට නතර වෙන්නේ දහය වසරේදී  ඒ එයාගේ සමරු පොත ගාවින්.දවසක මටත් එයාගෙ සමරු පොතේ ලියන්න දුන්න.එයාගේ සමරු පොත පුරාම පාට පාට පෑන් වලින්  මල් ඇඳලා තිබ්බ ලස්සන දිලිසෙන ස්ටිකර් අලවල තිබ්බෙ.මුල්ම පිටුවේ තිබ්බේ එයා  ගැන විස්තරයක්.එයා කැමතිම පාට කැමතිම පලතුර  ...මුල ඉඳන් අගටම මම ඒක කියෙව්වා  එකම එක තැනකදී  මගේ හිත නැවතුන.ඒ එයාගේ අනාගත බලාපොරොත්තුව ගාවදි ...එයාගෙ අනාගත බලාපොරොත්තුවට ලියල තිබ්බේ 'මම කවද හරි වෛද්‍යවරියක් වෙනවා' කියල.ඒ බලාපොරොත්තුව ගොඩක් ඈතයි නේද කියල මට හිතුන.මට මතක නැහැ මම එයාගෙ සමරු පොතේ  මොනවද ලිව්වේ කියල .හැබැයි එයාගේ අනාගත බලාපොරොත්තුව මගේ හිතේ තදින්ම කාවැදිලා තිබ්බ.

සාමාන්‍ය පෙලෙන් පස්සේ මම සුරංගනීව අදවෙනකන් දැක්කේ නැහැ සමහර අය  කිව්වා  එයා විභාගෙ  අසමත් උනා කියල.තව සමහරු කිව්වා එයා බැඳලා  පැනල ගිහින් කියල.ආයෙම ආරංචි උනා ගාමන්ට් එක පාරේ වැඩට යනවා දැක්ක කියල.මේ මොනවා ඇහුනත් ඒවා ඇත්තද නැත්තද  කියල මම තාම දන්නේ නැහැ .සමහර දවස් වල බස් එකේ යද්දී ජම්බුගස්මුල්ලෙන් හරවද්දී සුරංගනිව මතක් වෙනවා.වෙලා පාරේ සුදු කොඩි දකිද්දී පොඩි කාලේ මම ගිය මල ගෙදර මතක් වෙනවා  මේ ඔක්කොම එක්ක හිත අතීතයට යද්දී එයා ගැන ලොකු දුකක් දැනෙනවා සමහරවිට සුරංගනී ගේ තාත්ත අද හිටියනම් එයා අද  වෛද්‍යවරියක් වෙන්න තිබුන.ගොඩක් දක්ෂ ළමයෙක් වෙන්න තිබ්බ .ජිවිතේ හරි පුදුමයි හරිම පුදුමාකාරයි කියල හිතනවා අද හෙට  අපිට මොනවා වෙයිද 

...අපිවත් දන්නේ නැහැ .......



පලි . උන විකාරෙන් ගෙදර ඉන්න වෙලාවක , කැම්පස් එකේ project එකේ හිරවෙලා වැඩ ගොඩගැහිලා ඉන්න වෙලාවක ,පොරොන්දු වෙච්ච බ්ලොග් පොස්ටුවකුත් ලියන එක කල් දාල මට මේ කතාවම ලියන්න හිතුනේ ඇයිද කියල මම දන්නේ නැහැ...අදටත් ජිවත් වෙන චරිතයක් නිසා නම ගම වෙනස් කලා.අන්තිමට මගේ ජීවිතේට මුණ ගැහුන මතකේ රැඳිච්ච තවත් එක චරිතයක් අකුරු වලට හැරෙව්වා .......

53 comments:

  1. ....//සමහරවිට සුරංගනී ගේ තාත්ත අද හිටියනම් එයා අද වෛද්‍යවරියක් වෙන්න තිබුන//...

    ඇත්තෙන්ම එහෙම වෙන්න තිබුනා.ලස්සන ලෝකයක් තනාගන්න ආශාවක් තිබුනත් සුරංගනිගේ ශක්තියට කවුරුවත් හිටියේ නෑ.මේ එකක් විතරයි..අපි නොදන්න මේ වගේ සිදුවීම් තව මොනතරම්නම් තියනවද

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝ මේ එක චරිතයක් විතරයි මේ වගේ තව ගොඩක් වෙනස්ම කතා තියන ළමයි මම මුලින්ම ගිය ඉස්කෝලෙ හිටිය.ඒ ළමයින් ගැන දැන් හිතද්දී මට හිතුන දෙයක් තමයි සමාජයේ නරක වැඩ කරන අපරාධ කරන ගොඩක් මිනිස්සු පිටිපස්සෙ අප්‍රසන්න අතීතයක් තියනව කියන එක.පොඩි කාලේ ඉඳන් දෙමාපියන්ගේ ආදරේ හරියට නොලැබෙන දේ එක ප්‍රධාන හේතුවක්.අපරාධකාරයෙක් හරි මොකෙක්හරි අල්ලල එල්ලලා මරන්න කලින් අපිට හොයාබලන්න පැති ගොඩක් තියනව.මිනිස්සු ඇයි මේ තත්වෙට පත්වුනේ කියන එක හොයන්නේ නැතිව ඔහේ දඬුවම් දෙන එක හරියට මුල ගලවන්නේ නැතිව මැදින් විතරක් ගහක් කපල දාල නිදහස් වෙන්න හදනවා වගේ වැඩක්.ලියවිල්ල වෙන පැත්තකට ගියාද මන්ද ඒ සුරංගනී එක්ක තව චරිත ගොඩක් මතක් උන නිසා ....

      Delete
  2. අපේ ගෙවල් පැත්තෙත් හිටියා ගැහැණු ළමයෙක්. එයාගේ නම මම මෙතන කියන්නම්, මොකද ඒකෙන් ඈ ගැන කියවෙන්නේ නැති නිසා. එයාගේ නම බියන්කා. ගොඩක් පැහැපත් නැති උනත් බියන්කා ලස්සනයි. එයාගේ අම්මා ලස්සන කෙනෙක්. බියන්කා මගේ වයසේ උනාට මම වැඩි බජනයක් නැහැ. මම ගියපු දහම් පාසලටම තමයි එයත් ගියේ. ඉස්කෝලේ ගියේ අපේ අක්කගේ ඉස්කෝලෙට. බියන්කා ශිෂ්‍යත්වේ තියෙන වයසේදී වෙන්න ඕනේ, මම මේ කියන දේ උනේ. අපි ඉස්සර ගෙදරට කියන්නේ නැතුව හොරෙන් දහම් පාසල් ඇරිලා පයින් එනවා රේල්පාර දිගේ. බියන්කා එක්ක කතාවක් නැති උනත් එයත් අපිත් එක්ක එනවා. එහෙම එනකොට අපේ ගෙවල් තියෙන හරියට හැරෙන තැන කට්ටිය පිරිලා. අපි කීප දෙනා මාරු වෙලා ගියා පයින් ආවය කියල අහු වෙයි කියන බයට. බලනකොට කවුරු හරි කෝච්චියට අහු වෙලා. පස්සේ අපි දන්නේ, ඒ අහු වෙලා තියෙන්නේ බියන්කාගේ තාත්තා.

    මිනිය අරගෙන කනත්තට යනකොට බියන්කා අඬ අඬා යනවා මම දැක්කා. මහා දුකක් ඇති උනා. එයාල හිටියේ තාත්තගේ මහා ගෙදර. පස්සේ බියන්කා වයසින් වැඩෙනකොට එයා පස්සේ කොල්ලෝ එන්න ගත්තා. එයා මායම් කාරියක් කියලා තමයි ගොඩක් අය කතා උනේ. මට ඒ උනාට මොකද්දෝ දුකක් තිබ්බා එයා ගැන. හැබැයි එයාට එකෙක්ට පස්සේ එකෙක් විදියට කොල්ලෝ යාලු වෙලා හිටියා. කොටිම්ම ඒ පැත්තේ පොඩ්ඩක් හරි පෙනුමක් තියෙන කොල්ලෙක් උන්නා නම් එයත් එක්ක බියන්කා පොඩි කාලෙකට හරි යාලු වෙලා ඉඳල තියෙනවා. එයා ගැන නරකමයි ඇහුනේ. ඒ මොකක් උනත් මට මාර දුකක් දැනුනේ ඒ ළමය ගැන. අම්මා මම හිතන්නේ ඒ ගෙදර හිටියේ පීඩනයෙන්.

    මම කැම්පස් ආවට පස්සේ එයා බැඳලා කියල ආරංචි උනා. දැන් ඒ මහා ගෙදර වහලා. පාලුවට ගිහින්. මොනවා කරනවද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ කතාව කියවද්දි මට සිදුවීම හිතින් මැවිල පෙනුන.මේ කතාව ගොඩක් සංවේදී උපේක්ෂ.බියංකා ගැන කෙනෙක්ට ගොඩක් වැරදියට හිතන්නත් පුළුවන් අනුකම්පාවෙන් දකින්නත් පුළුවන් .මට හිතෙනව බියංකගෙ තාත්ත අද හිටියනම් බියංක ඔයිටවඩා හාත්පසින්ම වෙනස් චරිතයක් වෙන්න තිබ්බ.ජිවිතේ කොහොම වෙනස්වෙයිද කණපිට හැරවෙයිද අපි දන්නේ නැහැ.හැබැයි කොච්චර ප්‍රශ්න තිබ්බත් තනියම ගොඩ ඇවිත් හොඳට ජීවත්වෙන මිනිස්සුත් මේ ලෝකෙ ඕනතරම් ........

      Delete
  3. ජීවිතේ හරිම පුදුමාකාරයි , මොන පැත්තට කොයි වෙලාවේ හැරෙයිද දන්නේ නෑ.
    මට පේන හැටියට හංසි ගොඩක් සංවේදී කෙනෙක්, මේ දේවල් මේ ආකාරයට දැනෙන්නේ ඒ නිසයි . අපි පතමු සුරංගනීට හොඳින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා .

    ReplyDelete
    Replies
    1. ඉවාන් අය්යෙ ඇත්තටම එයාව ආයෙම දකින්න මට ආසයි.එයා වගේ තව දකින්න ආස කීප දෙනෙක්ම තව ඉන්නව.මොකද ඉස්සර ඒ ළමයි හිටිය විදිහ කරපු කියපු දේවල් එක්ක ඒ ළමයි ලොකු උනාම කොයි වගේ වෙයිද කියල මට ඒ කාලේ ඉඳලම එක එක දේවල් හිතිලා තිබ්බේ .සමහරවිට ඒ ළමයිනුත් මාව දැකල මා ගැන විස්තර ඇහුවම පුදුම වේවි :)

      Delete
  4. මෙකනම් පට්ට..... ලස්සනම ලස්සනයි......... නියමෙටම දැනෙන විදිහට ලියලා.......... ඒ සමහරක්විට ඇත්තටම ඉන්න කෙනෙක් ගැන ලියපුු හින්දා වෙන්න ඇති............. නියමයි හංසි...........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආර්යන්... මීටත් වඩා සංවේදීව අපිට දැනෙයි එයාගේ කතාව එයාගෙම වචනවලින් අහපු දවසක

      Delete
  5. තාත්ත කෙනෙක් පොඩි ලමයව දාල ප්‍රශ්ණ වලින් පැනල ගිහිල්ල. මට හිතෙනවා සුරංගනී ජීවිතේ හොඳින් ගෙවනව ඇති කියල.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න වලදී මිනිස්සු නිරුත්තර වෙනකොට කරන කියන දේවල් ක්ෂණිකව වෙනකොට විඳවන්නේ එක මනුස්සයෙක් විතරක් නෙවේ....සුරංගනී හොඳින් ඇති මොනව උනත් ඒ හිත ශක්තිමත් කෙල්ලෙක්

      Delete
  6. https://www.facebook.com/2idolshow/videos/10153280056553301/

    ReplyDelete
  7. Replies
    1. අටම්පහුර ස්තූතියි link එකට.මට මගේ තාත්තවත් මතක් උනා.දවසක් බයිසිකලේ ලිස්සල විසිවෙලා ගිහින් වැටෙද්දී තාත්ත බර දීල බයිසිකලය අල්ලගත්ත දෙන්නම ලිස්සල වැටුනත් මුළු බයික් එකේම බර වැටුනෙ තාත්තාගෙ ඇඟට මට තුවාලයක් උනේ නැහැ ඒ තාත්ත බයිසිකලේට මාව යටවෙන්නේ නැතිව බේර ගත්ත නිසා ඒත් කාලයක් යනකන්ම තාත්තට දණහිසේ අමාරුව තිබ්බ.

      Delete
  8. පුංචි ප්‍රශ්නෙකදී ඉක්මන් තීන්දු ගන්න දෙමාපියන් නිසා සුරන්ගිලා තවත් අසරණ වෙනවා, සමාජය මිනිස්සුන්ගේ ප්‍රතිරූපය මත සමාජය විසින් මවාගත්තු ප්‍රතිරූපත් එක්ක සසඳලා සමහරෙක්ව කොන් කරනවා, ඒ කොන් කරන ලිස්ට් එකේ කෙනෙක් වෙච්ච සුරංගිටත් එයාගෙම කියලා සමරු පොතක් තියෙනවා, මතකයන්ට මිනිස්සු මොනතරම්ම ආදරේද? එත් ඒ මතකයන් අපිව අරගෙන යන්නේ කොහාටද? ජප්බුගස්මුල්ල පාරේ මටත් මතකයන් ගොඩක්ම තියෙනවා. ඒ පාර සමාන්තර පාරක් වගෙයි. මම පාරේ එක පැත්තකින් යද්දී අනිත් පැත්තෙන් ගියේ ඔයාල හිතන කවුරුවත් නෙවේ, මගේම තාත්තා. අපි දෙන්නගේ පාරවල් කවදාවත්ම හා වුනේ දිම තරම්. හැබැයි වැස්සට මම පොත් මල්ලම ඔළුවට ඉහලන් යද්දී තාත්තා තෙමි තෙමිඉම අනිත් පැත්තෙන් ගියපු හැටි මට මතකයි, ඉඳ හිටලවත් අපේ මාවත් යා වුනා නම් ඒ සුහද බලුමකින් සිනහවකින්ම පමණයි, තාත්තවත් මමවත් කතාකරන්නනට මුල් නුනත් අපි දෙන්නම ඒ මාවතේ එකම අරමුණකට සමහරක් දිනවල ගමන් කල හැටි මතක් උනා,

    සුරන්ගිලා ඊයේ වාගේම අදත් හෙටත් උපදිනවා, පොඩ්ඩක් වටපිට අහ ඇරලා බැලුවොත් අපිට අපි වටේම ඉන්න සුරන්ගිලා අදුර ගන්න බැරි වෙන එකක් නැහැ. සංවේදී ලියමනක්.

    ReplyDelete
    Replies
    1. අය්යගේ කතාව කියෙව්වම ලියන්න ඕන මොනවද කියල හිතාගන්න බැහැ.මාව ආයෙම වෙන වෙන මතක ගොඩකට තල්ලු කරලා දානවා වගේ.
      //සමාජය මිනිස්සුන්ගේ ප්‍රතිරූපය මත සමාජය විසින් මවාගත්තු ප්‍රතිරූපත් එක්ක සසඳලා සමහරෙක්ව කොන් කරනවා, ඒ කොන් කරන ලිස්ට් එකේ කෙනෙක් වෙච්ච සුරංගිටත්

      මේක සම්පුර්ණ ඇත්ත අය්යෙ.සමහර වෙලාවට අපි දැනුවත්ව හරි නොදැනුවත්ව කරන දේවල් වලින් තව කෙනෙක්ගෙ ජීවිතේට ලොකු බලපෑමක් කරන්න පුළුවන්.

      Delete
  9. ජීවිතේ අමාරුම පාඩං හෙමීට, කරුණාවෙන් උගන්නන සිරිතක් ජීවිතේට නැහැ. ඒක අපි බලන ලෙවල් එකේ ඉඳන් බැලුවම පේන්නෙ අන්තිම අසාධාරණ විදිහට. ඒත් ඉතින් ජීවිතේ එහෙමයි. ඉතින් ජීවිතෙන් බැට කාපු කෙනෙක්ට තව තව රිද්දන්නෙ නැතුව කරුණාවෙන් සලකන්න පුළුවන්නං ඒක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ ලොකු ලොකු විදිහට හිතුනෙ නැහැ පරිකල්පන මෙච්චර ගැඹුරින් චරිත දිහාවත් බැලුවේ නැහැ.ආයේ ආපස්සට ගිහින් වෙනස් කරන්න පුලුවන්නම් මටත් යමක් කරන්න තිබ්බ ආයේ ආපස්සට යන්න බැරි නිසා මේ වර්තමනයේ හුස්ම ගන්න මිනිස්සු ගැන සංවේදීව බලන්න උත්සහ කරනව

      Delete
    2. මං උඩ කමෙන්ට් එක ලිව්වෙ හංසි ඒක කතාවෙ වර්තමාන පැත්තෙ ඉඳන් කියවයි කියල හිතාගෙන. අතීත පැත්තෙ ඉඳන් කියවයි කියල මට මීටර් උනේ නෑනෙ.

      අපි ළමයි කාලෙ ඔච්චර පැහිච්ච විදිහට මිනිස්සු දිහා බලන්න බැහැ. වයසයි අත්දැකීමුයි එක්ක බුද්ධිය වැඩෙනකොට තමයි මිනිස්සු එක එක විදිහ ඇයි කියල අපිට තේරුං යන්නෙ. අන්න එතකොට ඒ අයට කරුණාවන්ත වෙන්න පුළුවන්නං ඒ හොඳටම ඇති.

      අපි හැමෝම ඇවිදින්න කලින් දණගාන්න ඕනි. ගොඩක් පාරක් වැටි වැටි නැගිටින්න ඕනි :)

      Delete
    3. ඔව් නෙ මම හිතුවෙ අතීතයෙන් ...පරිකල්පන කිව්ව හරි ලොකු වෙද්දි තමා මාත් මිනිස්සු ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ :)

      Delete
  10. ජීවිතේ මාරයි................ හැබැයි මේක තමා ජීවිතය හංසි..........

    ReplyDelete
    Replies
    1. ඔව් කුරුටු මේක තමා ජිවිතේ ............

      Delete
  11. Danuna... upekshage.. somiyage katha bara wadi karanawa...mate mate kella mathak una.. 😕

    ReplyDelete
    Replies
    1. තාත්තල මේ කතාව කියවල සංවේදී වෙයි ..කල්‍යාණ මිත්‍ර හොඳින් නේද එක එක කතා ආරංචි උනා මොනවද වෙන්නේ මොනවද කරන්නේ කියල හරියටම දන්නේ නැහැනෙ මම

      Delete
  12. හරිම සංවේදී සටහනක්. මේ අපි ජීවත් වෙන සමාජෙම මිනිස්සු නේද කියල හිතෙනකොට ලොකු කණගාටුවක් දැනෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් අශාන් තව මේ වගේ චරිත ඕනෑතරම් .........

      Delete
  13. මිනිය දිහා ඕනේ බලන් හිටිය /// මෙතන හදන්න ඕන කියල හිතෙනව...
    සුරංගනී ගෙ කතාවයි ඊයෙ අජිත් අය්යගෙ පෝස්ට් එකේ කියපු ළමියින්නෙ කතාවයි ටිකක සමාන්තර කතාවල් කියල හිතෙනව
    අපි හිතන්නෙ නැති ජීවිත වගෙම අදහන්නබැරි කතා හංගන් ඉන්න මනුස්සයො ඉන්නව. හුගක් වෙලාවට අපි ඒ අයව ගණං ගන්නෑ.. මොකද ඒ අය ඉන්නෙ වෙනම ස්ථරයක කියල අපිට හිතෙන හිංද.. ඒත් බැලුවහම ඇත්තටම වෙනසක් හදල තියෙන්නෙ අපි. කිව්වෙ ඒ සීමා දාං ඉන්නෙ අපි. අප්ට පුලුවන් නං අපේ හිත විවෘත කරනන මං හිතන්නෙ ඒ වගේ අයත් හොඳ ඇතුලාන්තයක් තියෙන අය විදියට පේන්න පුලුවං
    ඔයාලැයි සංගීත ටීචරුත් ඒ වගේ..
    සංවේදී සටහනක් හංසියෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් අය්යෙ අඩුපාඩුව හදන්නම් :)

      කිව්වා හරියටම හරි අය්යෙ අපේ ඔළුගෙඩි වල තියන අදහසුත් හෝදලා අරින්න ඕන වෙලාවල් තියනවා එතකොට හිත් විවෘත වෙලා තවත් සංවේදී වෙයි ..අර සංගීත ටීචර් ට මට තියෙන්නෙ ලොකු ගෞරවයක්...

      Delete
  14. මිනිය දිහා ඕනේ බලන් හිටිය /// මෙතන හදන්න ඕන කියල හිතෙනව...
    සුරංගනී ගෙ කතාවයි ඊයෙ අජිත් අය්යගෙ පෝස්ට් එකේ කියපු ළමියින්නෙ කතාවයි ටිකක සමාන්තර කතාවල් කියල හිතෙනව
    අපි හිතන්නෙ නැති ජීවිත වගෙම අදහන්නබැරි කතා හංගන් ඉන්න මනුස්සයො ඉන්නව. හුගක් වෙලාවට අපි ඒ අයව ගණං ගන්නෑ.. මොකද ඒ අය ඉන්නෙ වෙනම ස්ථරයක කියල අපිට හිතෙන හිංද.. ඒත් බැලුවහම ඇත්තටම වෙනසක් හදල තියෙන්නෙ අපි. කිව්වෙ ඒ සීමා දාං ඉන්නෙ අපි. අප්ට පුලුවන් නං අපේ හිත විවෘත කරනන මං හිතන්නෙ ඒ වගේ අයත් හොඳ ඇතුලාන්තයක් තියෙන අය විදියට පේන්න පුලුවං
    ඔයාලැයි සංගීත ටීචරුත් ඒ වගේ..
    සංවේදී සටහනක් හංසියෙ

    ReplyDelete
    Replies
    1. මහේෂ් අය්ය වෙනුවෙන් උඩින් ලියපු කමේන්ටුව ctrl +A ..ctrl +C ..ආයෙම මෙතන ctrl +V ............... :D

      Delete
  15. හංසිගෙ මේ කථාව අජිත් කුමාර බ්ලොග් දර්ශකයේ සටහනක් මෙන්න ලින්ක් එක

    ReplyDelete
    Replies
    1. ඉයන් ගෙ ඔත්තුවෙන් තමා මෙහෙම දෙයක් ගැන දැනගත්තෙ ස්තූතියි :) :)

      Delete
  16. ඔන්න මාත් පළවෙනි පාරට මේ පැත්තට ගොඩ වුනා..
    හරිම සංවේදී කතාවක් විදියට දැනෙන්නෙ, හංසි මේ කතාව දිහා සංවේදීව බලලා, හිතට දැනෙන විදියට ලියලා තියෙන නිසා වෙන්න ඇති.

    නොදන්න සුරංගනී ගැන මොකද්දෝ දුකක් හිතේ ඇදුනා..
    තව ඕන තරම් මේ වගේ අය අපි අතර ඇති.

    ReplyDelete
  17. සාදරයෙන් පිලිගන්නවා මෙහෙට :).සංවේදීව දැනුනානම් නිදහසේ නවාතැනටත් තියෙන්නේ සංවේදී හදවතක් :)

    ReplyDelete
  18. පරක්කු වෙලා කියෙව්වේ
    මේක නම් ගති හංසියෝ
    අනේ ඇත්තටම සුරංගනී වෛද්‍යවරියක් වුණා නම් නියමයි නේද?
    හයවේ ජංසි!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් පරක්කුවෙලා මේ පිළිතුරු ලියන්නෙ සමාවෙන්න වර්ණ. බ්ලොග් කියවන්න ලියන්න නිදහසක් මේ දවස් වල නැහැ කැම්පස් එකේ තුන්වෙනි වසරෙ project එකකට හිරවෙලා තව සතියකින් වත් නිදහසක් ලබෙයිද කියල බලනව :/ ඉක්මනට ඔය පැත්තෙත් එන්නම්කො

      Delete
  19. මම ඒත් බැලුවා හංසි මෙච්චර තියුණු විදිහට ලියල තියෙන්නෙ මොකද කියල. උත්තරේ අන්තිමට තියෙනවනෙ. අසනීප වෙලා කැම්පස් ප්‍රොජෙක්ට් එකක හිර වෙලා" ඔන්න ඔහොම වෙලාවට තමයි හොඳටම ලියන්න පුලුවන් විදිහට අදහස් එන්නේ. (දැන් ප්‍රශ්න 2ම විසඳිලා ඇති නේද?)
    සුරංගනී ගැන නම් දුකයි. ජීවිතේ හැමෝටම සාධාරණ වෙන්නෙ නැහැනෙ, සමහර විට එයා බලාපොරොත්තු වුන විදිහට නොවුනත් සතුටින් ජීවත් වෙනවා වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ගිමන් ගොඩක් කාලෙකට පස්සෙ :) මමත් ගොඩක් කාලෙකින් ආයෙම ආවෙ ඒත් මේ දවස් වල නම් නිදහසක් නැහැ අසනීප නම් නැහැ ඒත් කැම්පස් වැඩවලට හිරවෙලා.ස්තුතියි හැමදාම මෙහෙට ගොඩවැදිලා යන්න එනවට :) ඇත්තටම කෝ ගිමන් මොකුත් ලියල නැහැ නේද කාලෙකින් ?

      Delete
  20. අප්පට සිරි මට මඟ ඇරුණු එකක්...
    කලින් දැකලා නම් තියෙනවා...
    ඒත් එන්ට ලැබිලා නෑ...

    ලස්සන සටහනක්...

    කොහේද ඉගෙන ගන්නේ ඔයා???

    ReplyDelete
    Replies
    1. අලුත් අමුත්තෙක් මෙහෙට ඇවිත් :) සාදරයෙන් පිලිගන්නව. ස්තුතියි මෙහෙට ආවට.මම නම් ඉගෙන ගන්නෙ මිනිස්සු ගස් බඳින මැර පාලකයො ඉන්න පුජනිය නගරෙක තියන විශ්ව විද්‍යාලෙක වැල් වටාරම් කිව්වට හිතාගන්න පුළුවන් නේද නම ;)

      Delete
  21. හංසි උන විකාරෙන් ලිව්වට කතාව නියමයි.
    ඔය වගේ චරිත තව කොච්චර ඉන්නවද අපි නොදන්නව උනාට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තනූජා ..ගොඩක් කාලෙකින් දැක්කේ ..ඔය කීවට මමත් ආවේ ගොඩ කාලෙකින්

      Delete
  22. හැම වෙලාවේම නෙවෙයි, නමුත් සාපේක්ෂව තාත්තගේ රැකවරණය අහිමි උනාම ගොඩක් ගෑනුලමයි ඒ නිදහස වැරදි විදියට ප්‍රයෝජනේට ගන්නවා..

    මගේ මතයට අනුව කෙල්ලෙක්/ගැහැනියක් ජිවිත කාලයම පිරිමියෙකුගේ යටතේ / රැකවරණයේ / කීකරුව ඉන්න ඕන.
    පොඩි කාලේ නම් තාත්තා, ඊළඟට (සිරා) පෙම්වතා, ඊටත් පස්සේ ස්වාමි පුරුෂයා.. මොකද පිරිමි විදියට අපි සමාජයේ අනිත් උන් ගැන දන්නවනේ.. :p

    ReplyDelete
    Replies
    1. මට මෙහෙම කියන්න හිතෙනවා ... .කෙල්ලෙක්ට ශක්තියක් තියෙන්න ඕන තනියම ජීවත් වෙන්න.පොඩි කාලේ ඉඳලම රැකවරණය ලැබෙන්න ඕන.හැබැයි කෙල්ලෙක්ගෙ නිදහස සීමා නොකර එහෙම නැතිව හැමවෙලේම පිරිමි කෙනෙක් මතම රැඳෙන විදිහට ගෑල්ලමයෙක් හැදුවම කවදාහරි තනි උනාම ඒ ළමයට ජිවත් වෙන්නෙ කොහොමද කියල අරමුණක් නැහැ අත්දැකීමක් නැහැ අන්තිමට අසරණවෙනවා.

      Delete
  23. ඒක ඉතින් ලැබීම කියන්ඩත් බෑ...තමන්ටත් උවමනාවක් තියෙන්ඩ ඕනේ තමන්ගේ හීන පස්සේ යන්ඩ!

    ReplyDelete
    Replies
    1. ඇත්ත රූපෙ ..හැබැයි පොඩිම කාලේ ළමයෙක්ට තේරුමක් නැහැනෙ හරි ට්‍රැක් එකට වැටුනේ නැත්නම් හරි පාර පෙන්නන්න එක්කෙනෙක් වත් හිටියේ නැත්නම් නොමග යන ප්‍රතිශතය වැඩියි

      Delete
  24. ලස්සනයි, නිදහසේ නවාතැනේ කොම්මන්ට් එකකින් ආවේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි :) සාදරයෙන් පිලිගන්නවා මෙහෙට :) :) ..පමාවෙලා පිළිතුරක් දුන්නට සමාවෙන්න ..මේ දවස් වල ටිකක විතර වැඩ වැඩි කාලයක් ...

      Delete
  25. ඒ ළමයා පුංචි කාලෙ ඩිස්ක්‍රිමිනේට් වෙලා තියෙනවා නේද හුඟක්.පුංචි හිතක් විනාස වෙන්න ඒ ටිකම ඇති.සමහර වෙලාවට වැඩිහිටියෝ නොහිතා නොබලා කටින් පිට කරන වචන,දුප්පත්කම පුංචි දරුවන්ට හරිම නරක විදියට බලපානවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත දරුවන්ට පොඩි කාලේ මොනවා දුන්නත් වැඩක් නැහැ දෙමව්පියන්ගේ ආදරේ හරියට ලැබුනේ නැතිනම්
      වැහි දැරිය මෙහෙට අලුතින් නේද ..සාදරයෙන් පිළිගන්නව :)

      Delete
  26. මේ වගෙ කතා තව ගොඩක් ඇති. අපේ අම්මට, තාත්තට පින් අපිට එහෙම දෙයක් වෙන්න දුන්නෙ නැති උනාට.

    ReplyDelete
    Replies
    1. පස්සෙ කාලෙකදී සුරංගනීව මුහුණු පොතේ හම්බුනා දැන් ලස්සන දුවෙක් ඉන්න අම්ම කෙනෙක් :)

      Delete
  27. නෙතට කදුලක් එන කතාවක්. ඒ වගේ තව ළමයි ගැන මතක් උනා.

    ReplyDelete
    Replies
    1. සුරංගනී දැන් සතුටින් :)

      Delete