හැමෝම දන්නවනේ හංසි කියන්නේ හාවෙක් වගේ හරි අහිංසක ගෑල්ලමයෙක් කියල. මම කිව්වේ හාවෙක් වගේ අහිංසක කියල හොඳේ දැන් හාවෙක් කිව්වම මේ පහල රූපෙ වගේ තඩි කන් දෙකකුයි දිග හා දතකුයි තියන එකියක් මවාගන්න එපා හරි.
මම කිව්වනේ ලස්සන හින්දැරි කෙල්ලෙක්. ^_^ හැබැයි මේ කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්න තිබ්බ අපේ දත් දොස්තර මාම නොහිටියානම්. එහෙනම් අද හංසි තියෙන්නෙ මීයෙක් වගේ පොඩි කෘන්තක දතක් එහෙම නැතිනම් මේ වගේ එලියට පැනපු තඩි හා දතක් ..හපොයි එහෙනම් පාරේ බැහැල යන්න නෙවෙයි. කතාව පටන් ගන්නේ පහ වසරින්. දැන් කතාවේ චරිත කියන්නත් ඕනිද ? හා එහෙනම් කතාවේ ඉන්න අහිංසක ගෑල්ලමය මම ^_^ දුෂ්ටය සදා ආදරණිය අපේ අය්යන්ඩිය වීරයා අපේ දත් දොස්තර මාම.
පොඩි කාලේ අපේ වසවර්ති මාරයාගෙන් ඇති තරම් බැට කෑවෙ මේ අහිංසක දැරිවි. කොට්ට පොර ගහද්දි එක ෂොට් එකක් අය්යට වැදුනොත් ඇති ඊළඟට ඇතිවෙන්න නෙලනව. හරියට හතර පස් දෙනෙක් එකතුවෙලා ගහනව වගේ. අත්දෙකෙන්ම ඔලුව බදාගෙන හිටියත් වදින එක වදිනවා අම්බානෙක. අන්තිමට හෙම්බත්වෙලා බිම වැටුනම නක්කලේට හිනාවෙලා යනව. කියන්න දුකයි එකම එක දවසක වත් කොට්ට පොර තරඟේකින් දිනලා නැහැ :( මම හිතන්නේ මේ දැරිවි මෙච්චරම කෙට්ටුවෙලා තියෙන්නෙ ගුටි කාලමයි.
ඉඳල ඉඳල ජයග්‍රාහී විදිහට ඔලුව හිල් වෙන්න ටොක්කක් ඇනල දුවල දුවල ගිහින් දොර මුල්ලේ හැංගුනත් වැඩක් නෑ ඒ වෙලාවට අර රා බිව්ව සද්ධන්ත නාලාගිරි ඇතා වගේ දොර කඩාගෙන ඇවිත් ගිරියටින් කෑගහන අහිංසක දැරිවිගේ අත් දෙක තද කරලා අල්ලගෙන ඒ අත්වලින් එයාටම ටොකු අන්නවනවා.......... :/ තවත් මොනවා කියන්නද හදිසියේම හරි උදේ පාන්දර අම්ම කිව්වොත් පුතේ ගිහින් නංගිව ඇහැර වන්න කියල ඇහැරවන්නේ එක්කෝ කකුල කුචි කවල කකුලෙන් ඇදල නැත්නම් දඩාන් ගාල ඔලුව හරහා යන්න කෝට්ටෙන් ගහල.අතිශය ආදරේ හිතෙන වාසනාවන්ත ප්‍රීතිමත් අය්යෙක් තමා මට හිටියෙ. ඉතිං මේ අකරතැබ්බෙත් උනේ අපේ වාසනාවන්ත අය්යන්ඩි නිසා තමා එකා යකා උනත් මොනා කරන්නද සෙල්ලම් කරන්න ඉන්නේ අපේ අය්ය විතරයිනෙ.
කලිනුත් කිව්වනේ මට මතක විදිහට ඒ පහවසරේ මමයි අය්යයි කුස්සියේ සෙල්ලම් කර කර හිටියේ.සෙල්ලම මොකක්ද මතක නැහැ වැඩියෙන්ම කරන්නේ ඉතින් ඇනගන්න එකයි ගුටිකන එකයි තමා කොහොම හරි ඔහොම දඟල දඟල ඉඳිද්දී සෙල්ලමේ මගදී අපේ අය්ය එක පාරටම මාව කුචි කැව්ව. මාත් ඉතින් නිකං හිටියේ නැහැ.අන්තිමට පොර බැදල දැඟලුව පාරට කකුල ගාව තිබ්බ පාපිස්ස ලිස්සල ඩොග් ගාල මුණ බිම වැදුන. ඉස්සරහ දත් පේලිය.... ඉවරයි
ඉවරෙටම ඉවරයි.... දෙය්යනේ .. මගේ ඉස්සරහ දත කැඩිලා...
බය උනපාර කොහොමද කිව්වොත් බිම පුරාම බඩගාලා දතේ කැඩිච්ච කෑලි ටික අහුලගත්ත.
මම බයවෙලා අය්ය දිහා බැලුව.බයටම ඇඩෙනවා දැන් ..අය්යත් ඇස් ගෙඩි ලොකු කරන් මගේ දතේ කෑලි දිහා බලන් ඉන්නවා
දැන් මොකෝ කරන්නේ.
අපි යමු අම්මට කියමු ඔය දතේ කෑලි විසිකරන්නෙපා ගම් ගාල අලවත හැකි. අය්ය කියපි :/
මම නම් හොඳටම බයවෙලා හිටියේ. අපේ අම්මල ඒ වෙලේ හිටියේ ආච්චිලා ගෙදර. දතේ කෑලිත් අතේ ගුලි කරගෙන දුවල ගිහින් නැවතුනේ ආච්චිලා ගෙදර. අය්ය නෙමේ මා එක්ක දුවල ආවේ. හොර හික්මීය වගේ ගේට්ටුව ගාව ඉඳන් හැංගිලා වගේ ඉන්නවා අම්මගෙන් ගුටිකයි කියල බයට.
දන්නවනේ ඉතින් චූටි ගැල්ලමයි .මමත් ඉතින් හොඳටම ඇඬුව ලු ............. ;) අම්මත් බයවෙලා..අම්මේ ......හැමදාම මෙහෙම ඉන්න වෙයිද මේක අලවන්න බැයිද මම ආයෙත් අත දිහා බැලුවෙ ඔක්කොක්ම දත් කෑලි ටික අහුලා ගත්තද කියල බලන්න. පොඩි කෑල්ලක් හරි මිස් උනොත් කාට කියන්නද දෙය්යනේ .මේ ඉස්සරහම දතනේ. මෙහෙම ඉස්කෝලේ ගියෝත් ළමයි හිනාවෙයි. අලියෙක් පයින් ගැහුවද කියල අහයි. හය්යෝ ...... මම බෙරිහන් දීල අඬන අතරෙ අම්ම ඒ වෙලේම ටක් ගාල අපේ දත්දොස්තර මාමට කෝල් එකක් ගත්ත
හරි හෙට එන්න මම හදල දෙන්නම්
ඔන්න ඒ වෙලේ තමා ඇඟට ලේ ටිකක් ඉනුවෙ.
මට තාම මතකයි බස් වල නැගල ලේන්සුවෙන් කට වහගෙන දත් දොස්තර මාම ගාවට ගිය හැටි ...කතා කරන්නත් බැහැ ඉස්සරහ කැඩිච්ච දත පේනවා ..වස ලැජ්ජාවයි
මම ගිය ගමන්ම මාම ඉස්සරහ දත් ඔක්කොම පරික්ෂා කළා. මට ලාවට වගේ මතකයි පොඩි ගිනි දැල්ලක් වගේ මොකක්ද එකක් දත් ඔක්කොටම අල්ල අල්ල මේවා රිදෙනවද.මේ දත රිදෙනවද කියල ඇහුව. රිදෙනවනම් අත උස්සන්න කිව ..මම නම් බයටම හැම එකටම අත උස්සගෙන හිටියේ
ඊට පස්සේ මාමගෙ මෙහෙයුම....ආ කිවේ නෑනේ ... දත අලවන්නට ඕන නෑලු :D
මොකක්දෝ තලපයක් මගේ දතේ තියල පැයක් තිස්සේ මාම ලොකු මෙහෙයුමක් කළා අන්තිමට එල් අකුර වගේ කැඩිච්ච දතට වෙනම කොටසක් හයි කළා.
ඊට පස්සෙ අතට කන්නාඩියක් දීල කිව හා දැන් හරිද බලන්න කියල.
හෑ .... දෙය්යනේ තඩි හා දතක්
මම කට ඇරන් කන්නාඩිය දිහා ආයෙම බැලුව. ඇස් ගෙඩි දෙක ලොකු කරන ආයෙම මාම දිහා බැලුව. ආයෙත් කන්නාඩිය දිහා බැලුව.ඒ දත තිබ්බනම් තඩි කැරට් අලයක් එක පාරින් දෙකට කඩන්න පුළුවන්... මාමට හොඳටම ෂුවර්ද මම ආයෙත් මාම දිහා බැලුව
ඔන්න ඒ වෙලේ තමා මාම බකස් ගාල හිනා උනේ
තාම ඉවර නැහැ .. කැමතිනම් ඕනනම් ඔහොම ගෙදර යන්න නැත්නම් කොටකරලා දෙන්නම් මාම හිනාවිගෙනම කියනවා
දෙය්යනේ එලියට පැනපු තඩි හා දතක් අම්මේ ....මට නම් බැහැ මෙහෙම යන්න.
කොහොම කොහොම හරි මාව බය කරාට අන්තිමේදී සාමාන්‍ය ගානටම මගේ දත හැදුව.දැන්නම් දත් තිස්දෙකම පෙන්නලා බය නැතිව හිනාවෙන්න පුළුවන්. ෂ් ....තිස් දෙකක් නෑනේ මට ... තිහයි :(
මාමට පින් සිද්ද වෙන්න ලොකු ගානක් වියදම් වෙන මෙහෙයුමක් නොමිලේම කරලා දුන්න. දන්නවද මාම නම් කිවේ ඒ හදපු දත් කොටස කැඩෙන්නේ නැතිව දිගටම තියෙනවා කියල ..හැබැයි ඒක ආයෙම කැඩුන. ඒ මම සාමාන්‍ය පෙළ කාලේ වෙච්ච දෙයක් .. දවසක් මොකක්දෝ අමාරු ගණිත ගානක් හදාගන්ට බැරිව පැන්සලේ අග හපාගෙන හපාගෙන ගියා අන්තිමට ටකස් ගාල දත් කෑල්ල එලියට පනිද්දී තමා ගානේ ඉතිරිය මතක් උනේ :D
හික්ස්... එදා ඉඳල අද වෙනකන් මම නම් මොන අමාරු ගානක් ආවත් පෑන් පැන්සල් නම් කටේ හපාගෙන ගණන් හදන්නේ නැහැ. ඒ නිසාමද මන්ද කැම්පස් එකේ ගණන් හදපු විෂයන් දෙකටම මට C+ එකක්... ;)
දත් ගැන මට වෙච්ච භයානකම සිද්දි වලින් එකක් ඔය
මොන හේතුවක්ද මන්ද සමහර වෙලාවට මට නම් දත් වලින් අපලයි.
දන්නවද අපේ හක්කේ කොනේම තියන දත ම්ම්ම් .. අර ඔයාල ලොකු වෙනකොට පොඩ්ඩ පොඩ්ඩ මතුවෙන ඥාන දත ගැන? ඉංගිරිසියෙන් කියන්නේ විස්ඩම් ටීත් කියල ... මේ වෙද්දී නම් හංසියට ඔය ඥාන දත් දෙකම නැහැ ....දැන් කියන්නෙපා මේ ගැල්ලමයගේ ඥානෙ නෑ කියල :/
සමහර දත් පිහිටලා තියන විදිහට කොච්චර ප්‍රවේසම් කලත් ඒ දත් ගලවන්න වෙනවා.මගේ දතත් ගලවන්න උනේ එහෙම.දත් ගැන මොන ප්‍රශ්නේ ආවත් දුවන්නේ දත් දොස්තර මාම ගාවට.
සාමාන්යෙන් දත් ගලවද්දී එක්ස් රේ ගන්නවනේ හැබැයි අපේ මාමගේ පණ්ඩිත කමට එක්ස්රේ ඕන නැහැ හොස්පිටල් එකට එන්න දත ගලවන්නම් කිව. මමත් ඉතින් එදා පාන්දර දෙය්යෝ බුදුන් සිහිකරගෙනම තාත්ත එක්ක හොස්පිටල් එකට ගියා .. ඔය මොන චන්ඩි පාට් දැම්මත් මම හෙන බය ගුල්ල. දත ගලවනවා කීවමත් මම හෙන බයේ හිටියේ. මාව පුටුවෙ හාන්සිකලා කල විතරයි කිටි කිටි ගාල සරුවාන්ගෙම වෙව්ලන්න ගත්ත අන්තිමට නර්ස් නෝනලා දෙන්නෙක් ඇවිත් කකුල් දෙකෙන් අල්ල ගත්ත කියමුකෝ........වස ලැජ්ජයි ඉතින් මොනා කරන්නද :/
දත ගාව හිරිවැටෙන්න ඉන්ජෙක්ෂන් එකක් විද්ද. ඊට පස්සේ ටික වෙලාවකින් මාම දත ගලවනවා. තඩි අඬුවක් වගේ එකක් කටට බස්සද්දීම මම ඇස් වහගත්ත. මාම දත අදිනවා අදිනවා දත නෙවේ එලියට එන්නේ ඒ අස්සේ දැන් ආයෙම රිදෙනවා ....අමුවෙන් දත ගලවන්ට හදනවා වගේ. රෑ තරු දවල් වරුවේ මගෙ වටේ කැරකෙනව.ඔන්න ආයෙම දෙවෙනි පාරටත් හිරිවට්ටන ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. මේ වෙද්දී මට එහා පැත්තේ හිටිය ලෙඩ්ඩු ඔක්කොම විනාඩි පහෙන් දත් ගලවාගෙන එළියටත් ගිහින් මාම ආයෙම පටන් ගත්ත. දත නෙවේ එන්නේ ... දත හිරවෙලා... පොඩි කැපුමක් කරන්න වෙයි. මාම කියනවා මට ඇහෙනවා ..මම බයටම ඇස් පියාගෙන. මැෂින් වල සද්දේ ඇහෙද්දී තවත් බයයි .තාමත් නර්ස් නෝනලා මාව වටකරන් .. ඒ එක්කම මාම මොකක්දෝ පොඩි මැෂින් එකක් ගත්ත .. මෙන්න මේක ඕන් කරන්න කලින් වැඩ කරනවා ...මාම ඒ පාර කියපි
හෆොයි මාත් ආවේ මරු ඉස්පිරිතාලෙකට.
මොකක්දෝ ජල්බරියක් කරලා මාම ආයෙම කපල කොටලා දත අදින්න බැලුව හික්ස් ...දත නෙමේ එන්නේ එක වෙලාවකදී මම හෙමිට ඇහැක් ඇරලා බැලුව මාමටත් හෙනට දාඩිය දාල .. ඒ මදිවට මේ දත එන්නෙත් නැහැ .. ලේත් යනවා අම්බානෙකට ... ඒ අස්සේ මමත් බයවෙලා කෙඳිරිගානව. අන්තිමට ඔක්කොම නවත්තල දාල මාව එක්කන් ආයෙම වෙන කාමරේකට ගියා.දත් සම්බන්ද ලොකු ලොකු ශල්‍යකර්ම කරන්නේ එතන.
කොහොම කොහොම හරි තව දොස්තර අන්කල්ලයි ඇන්ටිලයි ඔක්කොම වටවෙලා දත උගුල්ලලා දැම්ම. ඒ කරද්දීත් මුලින් දතේ කෑල්ලක් කැඩුනේ.පස්සේ ආයෙම කැපුමක් කරලා සම්පුර්ණ දත ගත්ත.මහ ආඩම්බර කාර ලැජ්ජාශීලි දතක් වෙන්ට ඕන..... අන්තිමට තමා දැක්කේ මෙච්චර වලි කන්න උනේ දතේ අග වක්වෙලා තිබ්බ නිසා කියල. කලින්ම එක්ස්රේ එකක් ගත්තනම් ඒක හොයාගන්න තිබ්බ කොහෙද ඉතින් මාම දත් දොස්තර උනාම ඉතින් ඕව බලන්නේ නැහැනේ. කොහොම කොහොම හරි දතක් ගලවන්න ගියපු මිෂන් එකට අපේ තාත්තත් බයවෙලා මොකද ලේ ගොඩක් එක්ක කට්ටිය වට වෙලා පැය ගානක් කපද්දි කොටද්දී අන්තිමට මස් කඩේ වගේලු හිහි ...
ඔය බයවෙච්ච බයවිල්ලට දෙවෙනි දත ගලවන්න එන්න කිවත් මම ගියේම නෑ එත් ඒ දත තිබ්බොත් අනෙක් දත් වලටත් ප්‍රශ්නයක් වෙනවා කිව නිසා අකමැත්තෙන් ගලවන්න ගියත් බයටම හතර පාරක්ම කලන්තේ දැම්ම. කලින් වෙච්ච සිද්දියත් එක්ක මේ පාරනම් එක්ස් රේ අරගෙනයි ගියේ
දත් ගැන තියෙන්නේ ඔය වගේ භයානක මතක .ඔය නිසාම කොච්චර නිදිමත උනත් නින්දෙන්ම ගිහින් දත් හොඳට මැදල තමා නිදාගන්නේ. මොකද නොසැලකිලිමත්වෙලා පනුවෝ කෑවොත්..(පනුවෝ කනවා කියල අපි කීවට ඇත්තටම වෙන්නේ බැක්ටීරියා කිර්යකාරිත්වය නිසා දත් දිරල නරක් වෙන එක )
ඔය හැම දත් ප්‍රශ්න නිසාම මම නම් දත් ගැන අරහෙන් මෙහෙන් ඉගෙන ගත්ත. ඒ නිසාම ඒ ලේවල් ප්‍රොජෙක්ට් එකට කලෙත් දත් ගැන
ආයෙම බාහිර උපාධියේ අන්තිම අවුරුද්දේ මෘදුකාංගයක් හදන්න තිබ්බ. ඒකට මම මාමාගේ ඩෙන්ටල් එක සම්බන්ද කරලා එකක් හැදුව .. හික්ස්
ඒ වැඩෙත් නරක නැහැ.
දත් ගැන භයානක කතා කීවට එකක් කියන්නම්කො. හැම දතක්ම ගලවන්න වෙන්නේ දත් දිරන නිසාම නෙවේ .වෙන වෙන හේතුත් තියනව.හැබැයි පැණිරස කාල, රෑට කාම කාල දත් මදින්නේ නැතිවනම් නිදාගන්න එපා. විශේෂයෙන් රෑට දත්මදින්න කම්මැලි අයට මේ කියන්නේ අමාරුවෙන් හරි හොඳට දත් මැදල නිදාගන්න. දත් ගැන විස්තර බලද්දී මුඛ පිලිකා වල පින්තුර දැක්කමත් සසර කලකිරුන. ඔය දුම්බොන අය බුලත් විට කන අය පරිස්සමෙන් හොඳේ . නිකමට වගේ ගුගල් දෙය්යන්ගෙන් අහල බලන්නකෝ ඒ පින්තුර දැකලම බය හිතේවි.ඒ නිසා තියන දත් ටික පරිස්සමින් රැකගන්නෝ. නැත්නම් පින්තූරෙකටවත් හිනාවෙන්නේ කොහොමද :D :D
හහා හංසිට දත් සම්බන්ධ මරු එක්ස්පීරියන්ස් තොගයක්නෙ තියෙන්නෙ.
ReplyDeleteමගෙ කටේ දත් තියෙන්නෙ විසිහතරයි. ඥාන දත් දෙකම නෑ. ඒ මදිවට මම පහවසරේ ඉඳන් දහයවසරට වෙනකම්ම කටේ FA ප්ලේට් එකක් දමාගෙන නෙව උන්නෙ, ඒකෙන් දත් හරිගස්සන්න ඉඩකඩ හදාගන්න කටේ දත් හයක්ම ගලවන්ට උනා.
ඉතිරි විසිහතරෙනුත් අටක් විතරම කිරිදත්. ඇයි ඉතින් අර ප්ලේට් මගුල දැම්මට පස්සෙ මගෙ කටේ දත් වැටුනෙත් නෑ.
ඔන්න ඔහොමයි මගේ දත් කතා. :)
ප්ලේට් දාන එක නම් එපා වෙන වැඩක් වෙන්නැති. යාළුවො දාන් ඉන්නවා දැක්කමත් මං බයයි. හී ... මගෙත් ඥාන දත් නැහැ :D
Deleteඥාන දත් එන්නෙ ඥානවන්ත උදවියට පමණයි සහෝදරියනි..)))
Deleteප.ලි__
ඔව්වා එන්නෙ අවුරුදු විසිනමයෙන් පස්සෙ කියල අහලා තියේ..))
ඔය දත් එන්නේ අවුරුදු 29 පස්සෙද??? මාරයිනේ.. මගේ ඔය දත් ටික ඇවිල්ලනේ.. උන්ට වැඩිය මං උන්ට වැඩිය ඥානවන්ත ඇති නේ....
Deleteඔයැයි මනුස්පයෙක් නෙමේ සතෙක්නෙ.. ඒකයි..))
Deleteඅහලා තියෙන හැටියට කිව්වෙ.. අපේ නෑදෑ වෙන අය්යා කෙනෙක්ට 29න් ඥාන දත ආවෙ.සෑහෙන්න දුක් වින්දා ඒක එද්දි කන්න බොන්න බැරුව.
@වැසි නංගි ඥාන දත එන්නෙ වයස 17-25 කාලෙලු :) ඔන්න මම වයස විසිනවයේ කෙනෙක් නොවේ හරි ;) :D හපෝ එච්චර වයස නෑ :P
Delete@සිංහ මචං .. මචෝ එහෙනම් හරි ඥානවන්තයෙක් වෙන්ට ඇති ;)
@වැසි... ඔන්න උඩ තියෙනවා උත්තරේ..
Delete@හංසි.. වෙලාවට කාටවත් මූන පේන්නේ නැත්තේ.. ගැහැනු උදවියට වයස ජීවිත ප්‍රශ්නයක්ලු.
@සිංහ මචං වයස ගියත් අපි තාමත් තරුණ පාටයි ... :P හදවතිනුත් තරුණයි :D
Deleteහෙහ්.
Deleteවයස ගියත් කමක් නෑ.. හදවතින් තරුනනම්..
අපි මේ වයස යවාගන්න බැරුව ඉන්නවා..
තාරුණ්‍යයට හෙටක් .. සිංහයා දිනවමු :P
Deleteවයස 18න් පස්සෙ ඕනෙම කාලෙක ඥාණ දත එන්න පුළුවන්. අවුරුදු 29න් පස්සෙත් ආවෙ නැත්තම් අපි තීරණය කරනවා ඒ දත එන්න ඉඩ මදි කියලා..
Deleteහැක්.. දත් ටික ගම් ගාලා අලවන්න තිවුණා නොවැ අක්කෙ.. අපරාදෙ ඉස්පිටිතාලෙ ගියෙ..)))
ReplyDeleteමං සෑහෙන කාලයක් වෙනකම් ස්වසනය කොළේ කටෙන් නිසා යසට තිබ්බ දත් වහල්ල අර මොකාගෙද වගේ ඉස්සරහට ආවා.ඉස්සරහ දත් දෙක ඈත් වුණා.තැන් දහඅටකින් විතර ප්ලේට්ස් දාලා තමා දත් දෙක යා කරගත්තෙ...))
මතක් කරන්නෙපා දත්.. ඔව්වා අපි එක්ක තරහට කටේ තියෙන එව්වා.. එකම ප්‍රයෝජනේ කෑම ජාති හපන්න විකන්න පුළුවන් වීම විතරයි..))
මම අම්ම ගාවට ගියේ නැතිනම් අපේ අය්ය එයාගේ ටිකිරි මොලේ පාවිච්චි කරලා දත් ටික අලවල :P
Deleteඅපේ දත්දොස්තර මාමගෙ දූවරු දෙන්නටම ප්ලේට්ස් දැම්ම හැබැයි මට නම් පෙනුනේ නැහැ එයාලගෙ දත්වල අවුලක්.ප්ලේට්ස් දාන එක නම් ලොකු කරදරයක් වෙන්නැති මං හිතන්නේ. මටනම් අත්දැකීම් නැහැ. මේ වුන අකරතැබ්බම මදැයි ;)
ඇයි හපන්න විතරක්ද ..දත් තිබ්බම කාට හරි විරිත්තන පුළුවන් :D
හප්පේ මගෙත් දත් හතරක් විතර ගැලෙව්වා.. දැන් තියෙන්නේ දත් තිස් එකයි. ඔය ඥාන දත් නාවනම් හොදයි.. සති ගානක් යනකම් එක හක්කකින් විතරයි බත් කරන්න පුලුවන් උනේ.. එච්චර වද දීලා ආපු දත් වලින් වැඩක් ගන්න පුලුවන් උනු එකක්‍යැ..
ReplyDeleteදත් හතරක් ගලවල ඉතිරි තිස් එකයි .. ඒ කියන්නේ නලදත් ද ගැලෙව්වේ.ඥාන දත් හරි කරදරකාරයි තමා ඒ දත් එන කාලෙට ගොඩක් අය ඔය දේවල් කියනව.
Deleteතේරුම් ගන්නේ කවද්ද මන්දා..
Deleteදත් ගැලෙව්වට සමහර දත් ආයේ එනවා... එක දතක් හැර අනිත් දත් ඔක්කොම මගේ ආවා..
හී .. දැන්නම් තේරුණා ;)
Deleteහෆ්ෆා ..... දත් ගැන සෑහෙන දෙයක් ඉගෙන ගත්තා මේක කියවලා... :D
ReplyDeleteඒ කියන්නේ හංසි සා රස දත් දොස්තර තුමාගේ ලේලිද?
Deleteඑහෙමලු එහෙමලු
Deleteසා රස උන්නහෙත් දතක් ගලෝන කාරිය ඉන්නැතුං බොලොග් සාව්යෙ කරක් ගහන්නෙ යේලිව පරිස්සං කොරගන්ටලු
// ඒ කියන්නේ හංසි සා රස දත් දොස්තර තුමාගේ ලේලිද? //
Delete//එහෙමලු එහෙමලු //
නැචුව නැචුව...
මලා ........ ස ර ස තුමා දත් දොස්තර කෙනෙක්ද .. :O හෆොයි මගේ ඉතිරි දත් පරිස්සම් කරගන්ට ඕන.
Delete@ඉයන් ලෙලි ? හපෝ මේ තනිකඩ ගැල්ලමයි. තාම බෝ පැල වගේ.. ;)
@ ස ර ස අවසරයි දත්දොස්තර තුමනි මාගේ ඉතිරි දත් තිහ පනසේ රැකගනිමි.ලේලිය කියා පවසමින් එක දතක් වත් ගැලවීමේ චේතනාවක් ඇති නොකරනු මැනවි ...හම්මේ.. මේක අහල හීන් දාඩිය දැම්ම
@ මහේෂ් අය්ය ... අය්යේ දතක් දෙකක් ගලවන්ට තමා ඕන් ? :P
දත්දොස්තරලා මතක් වෙද්දි බය වෙනවා අෆ්ෆා..............
ReplyDeleteමේ දැනුත් බයවෙලා ඉන්ටෙ .. මෙහෙට දත්දොස්තර කෙනෙක් ආවලු :O
Deleteමමනම් ඔය දත් කියන ජාතිය මදින්නෙම නෑ.ඒ නිසාම මට කිසිම දත් ලෙඩක් නෑ. :D:D:D
ReplyDeleteහෆොයි මදින්නැතිව නම් ඉන්න එපා පස්සේ දත් රිදෙන්න ගත්තම තමා දවල් තරු පෙනෙන්නෙ :P
Deleteපොඩි එකා සන්දියෙ මල්ලි සමඟ වලියකදි මගෙත් ඉස්සරහ දත් කැඩුණා. දැන් තියෙන්නේ ඔය විදිහටම දාපු දත්.
ReplyDeleteමල්ලියත් එහෙනම් අපේ අය්ය වගේ ඇති :D
Deleteදත් ගලවන්න නං දන්නව වෙන මොනාත් දන්නෑ.
ReplyDeleteවිට කාල කාල කාල කාල කාල කාල කාල කාල දත් සදුම සුදුයි දැං
හා මේ විට කන අය්යෙක්ද? විට කාල කාල දත් නරක් කරගන්ට තමා ඔය හදන්නේ. බුලත් විට හොඳ නැහැ මුඛ පිළිකා හැදෙන්න හේතුවෙනව කියල තමා මම අහල තියෙන්නෙ. ඒ නිසා අය්යෙ විට කෑම පරෙස්සමින්
Deleteඕව ගැන හිතන්ට වෙලාවක් නෑ බං
Deleteවැලි ටිකක් කාරිය ගොඩ දාන් පටවං
ගඩොලක් දෙකක් කපං
ඔය පුලු පුලුවං විදියට රෝලක් ගහන් ඉන්න අපි වගේ උෟරන්ට මොන සවුක්කියද බං
ඔන්න මම නම් නෙවේ ඌර කිවේ :P ..කොහෙද මේ අය්යල අහන එකක්ද නාහෙට අහන්නැති අය්යල ... :P
Deleteමැවිලා පේනවා හා පැංචියක් වගේ ඉන්න විදිය.
ReplyDeleteහංසිට පෝස්ට් එකක් ලියන්න තරම් උනත් අත්දැකීම් තියනවා දත් ගැන
හී .. ඒකනෙ මනෝ මේ තඩි පෝස්ටුවක් ලීවෙ :)
Deleteකියන්න සන්තෝසයි මමත් පුංචි කාලේ පෙර ගැටයක් හපන්න ගිහින් ඉස්සරහ දතක් දෙකට මැද්දෙන් කැඩිලා පෙර ගෙඩිය එක්ක එලියට ආව කියහන්කෝ.. එව්වා ඉතින් කිරි දත් නිසා ඩොකාල මුකුත් කරේ නැහැ හැලිලා එනකොට සම්පූර්ණ දත එන නිසා.. ඒ හින්ද ස්ථිර දත් එනකල්ම මම ජීවත් උනේ දත් භාගෙන්.. අයියෝ කන්නාඩියෙන් මුණ බැලුවාම ලිඳේ පනින්න හිතුන ඒ කාලෙ.. හන්සිට නම් දත් දොස්තරකමක් දෙන්න වටිනවා..
ReplyDeleteඒ දවස් වල සිග්නල් තිබ්බෙ නැද්ද අම්බලමෙ :P :P :P
Deleteමතකෙයි අර පේර ගෙඩියක් ගෙඩිය පිටං කන සිග්නල් ඇඩ් එක
කිරිදත් නිසා හොඳයිනෙ. මේ කැඩුනේ කිරිදත් නෙවේ :) හෆොයි මට දත්දොස්තර කම දුන්නොත් යසට හිටීවි.පොඩි තුවාලයක් දකින්න බැහැ මේ දැරිවි කලන්තෙ දාල.දොස්තර උනොත් මට කලන්තේ හැදිලා වටේ පිටේ ලෙඩ්ඩු පවන් සල සල හිඳී :D
Delete@මහේෂ් අය්ය ... මම නම් ඒ කාලේ හිතුවෙ ඒ කොළ ඇපල් ගෙඩියක් කියල. ඔච්චර ලේසියෙන් පේර කන්න පුලුවනිද ?අපේ ගෙදර තිබ්බ පෙර ගෙඩි නම් හරි හය්යයි
දැන්නම් බොරු දත් දාගෙන ඉන්ඩ ඕනේ නැ. ඉස්සර බොරු දත් දැම්මම රැට ගලවල හෝදන්ඩ්යි ,හෙන වදේ.
ReplyDeleteබොරු දතුත් දැම්මද ... අපෝ එපා වෙන්නැති. දැන් ඉතින් අවුලක් නැහැනෙ :)
Deleteඅනේ අපොයි මේ ළමයට වෙලා තියෙන අකරැබ්බ ගොඩ. මට මැවිලා පේනවා අර ඉස්සරහා හා දත තියාගෙන ඉන්න හැටි. අර පාං බට්ටා කතාවෙ පොඩි එකා වගෙ. එහෙනම් ශුවර් එකටම පාං බට්ටී කියලා නමක් දාන්න තිබ්බා. අනේ අපරාදේ...
ReplyDeleteඔය හක්කෙ ඥාණ දත් නම් මතක් කොරන්න එපා. හයියෝ ඕවා මට දුන්නු වදයක්. දෙකක්ම ඇවිත් තියෙන්නෙ ඇදේට. ඒ මදිවට ඕක එනකම් දවස් ගානක් උණ ගන්නවා.
දැන් නම් මල් මල් හිනාවක් ඇති නේද මෙයාගෙ...?
හී ඉස්සරහ දත තිබ්බනම් අපේ අය්යත් මට හොඳ හොඳ නම් දාල.දැනටමත් දාල තියෙන්නේ ප්‍රසිද්ධියේ කියාගන්න බැරි නම් .. :D :D
Deleteමගේ නම් ඥාන දත එන විදිහට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙයි කිව .. කොහොමත් වදේ අන්තිමට ගලවන්න උනා.
දැන් තියනවා ටිකිරි හිනාවක්. බලන් ඉන්න අයගෙ ඉහේ මල් පිපෙන්නම ;) :) :)
ඔය දත් එද්දී මට කිසිම අමාරුවක් වෙලා නෑ.මගේ අනිත් යාළුවන්ගේ හක්කේ දත් එද්දී මගේ දත් එන්නැත්තේ ඇයි බලන්න මම ඩෙන්ටිස්ට් කෙනෙක් ලඟට ගියා.ඒකා කියපි මගේ දත් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ කියලා.
ReplyDeleteමමත් ඉස්සර හෙන ආසයි මටත් නංගියෙක් ඉන්නවනම්.කොහේද...හිටියේ නෑනේ.ඒ කාලේ මගේ හොඳම යාළුවට නන්ගෙක් හිටියා.ඌ වතුර එක ලඟට ගෙන්න ගන්නෙත් නන්ගිට කියලා.මටත් ඕනේ වුනේ එහෙම කරගන්න.වෙලාව තමයි ඉතින්....
මේ මහ රෑ ඇහැරගන මොනවා කරනවාද බොල.....?
Deleteඅපේ අය්යත් මට කියල හැම වැඩම කරගත්ත. සපත්තු ලඟට ගෙන්න ගන්න. මේස් ගලවන්න. ඔය ඔක්කොම වැඩ කරවගත්ත. හී ..ඉස්සර අපි මරගත්තේ නැති එක විතරයි. ඒත් ඉතින් එදා ඉඳලම කොහේ ගියත් යාළුවො එක්කත් කියන්නේ අය්ය ගැන.වැඩේ කියන්නේ යාළුවො අපේ අය්යව දැක්කත් කතාකරන්නෙ අපේ අය්ය ගැන. ඒ තරමටම අය්ය ලස්සනයිනෙ :)
Deleteමේ දවස් වල කැම්පස් නිවාඩු ...පාට් ටයිම් ජොබක් විදිහට රෑ අහසෙ තරු කියක් තියනවද ගනිනව ඒකයි මේ ඇහැරිල .... ;) :P
මේ කියනකන් අපි දැනන් ඉදියේ නෑනේ හාවෙක් වගේ අහිංසක ලමයෙක් කියලා.
ReplyDeleteහි හී .. අහිංසකයි රටක් වටී කීවලු .... ;)
Deleteෂෝයි...
ReplyDeleteමේ ඇත්තමයි මමත් කෙට්ටුයි...
ඒත් ලස්සන නම් නෑ...
මගේ තියෙන්නේත් දත් 30යි...
දවසක් මම ගියා දතක් ගලවන්ට. දොස්තර හිරි වැටෙන්ට විදලා පිටින් ඉන්ට කියලා මුලින් විදපු අයගේ දත් උගුල්ලන්ට ගත්තා. මගේ කට හිරි වැටුණා. ඇතුලට යන කොට හිරි ගිහින්. මක් කරන්ටද අමුවෙන්ම දත උගුල්ලව්වා...
නියම වැඩේ කියන්නේ දත කැඩුණා...
ඉතුරු කෑලි ගන්න කොට විඳපු දුක හිතා ගන්ට පුළුවන් ඇති ඔයාට...
ඒත් ඔක්කොම ඉගිල්ලුවේ නෑ. අන්තිම කෑල්ල මම මාස ගාණකට පස්සේ දිව පාවිච්චි කරලා ගලවා ගත්තේ...
ඔන්න ඊට පස්සේ දත් 29යි...
ගණන් වල නම්, ගණන් හදන්ට තියෙන ඒවාට මොකක් හරි ලකුණු තියෙනවා. පාඩම් කරන ඒවාට කෙළ වෙනවා...
ඒත් මටත් ඔය ගණන් හදන ඒවාට C+, B- වගේ තමයි ඉතින්...
කවුද කියන්නේ ලස්සන නැහැ කියල අන්න දැක්කද තමන් ගැනම තමන් අවතක්සේරු කරගෙනනෙ. මේ ලෝකෙ හැමෝටම තමන්ට ආවේනික වෙච්ච ලස්සනක් තියනව.වඩා වැදගත් වෙන්නෙ හිත ලස්සනනම් නෙ බාහිර රූප මොනවා උනත් වැඩක් නැහැනෙ හිත හොඳ නැත්නම් :)
Deleteඅපෙත් දත් දොස්තර මාම පලවෙනි පාර දත ගලවද්දී අමුවෙන් අදිනවා වගේ තමා මම දඟලල කෙන්දිරිගාද්දී තව ඉන්ජෙක්ෂන් එකක ගහල පොඩ්ඩක් සන්සුන් කළා :D
මට ගණන් හදන්න බැහැ. මම කලබල වෙනව එතකොට කිසි දෙය ඔලුවට එන්නේ නැහැ. ලියන ඒවානම් පුළුවන් කරුණු ටික යන්තම් බලාගත්තම වටේ පිටේ උදාහරණ දාල යන්තමින් ගැටගහගන්න පුළුවන්. :)
දෙන්න හිතෙනවා දත් දෙක බඩට යන්න :P
ReplyDeleteහික්ස් ...මම හිතන්නෙ අපේ අය්යන්ඩියටත් ඕන උනේ මගේ දත් බඩට යවන්න තමා. වැඩේ හරිගියේ නැහැ..... :P
Deleteඕන්න මාත් ආවෝ. කතාව නම් නියමයි . දිගටම එන්නම්කො .....
ReplyDeleteස්තුතියි මෙතූ මමත් ඉඩ ලැබෙන වෙලාවකට බ්ලොග් පැත්තේ එනෝ.ලස්සන ලස්සන කවි කතා ලියල තියන්නෝ :)
Deleteඕන්න මාත් ආවෝ. කතාව නම් නියමයි . දිගටම එන්නම්කො .....
ReplyDeleteමෙන්න දෙපාරක් වැදිල :)
Deleteදත් කියද්දි මතක් වුනෙ අද උදේ දත් මැද්දෙත් නෑ නෙද කියලා (තිතක්) රෑට දත් මදින නරක පුරුදු කොහොමත් අපිට නෑනේ හෙට උදේට විනාඩියක් වැඩියෙන් මැද්දානන් හරි (තිතක්)
ReplyDeleteහෆොයි දත් මැද්දේ නැතිවද මෙහෙම විරිත්තගෙන ඉන්නෙ. රෑට දත් නොමද්දොත් පැය පහක් හයක් විතර බැක්ටීරියා ටික එකතුවෙලා ඔයාගෙ කට ඇතුලෙ ඇතිවෙනකම් කාල බීල නටල අන්තිමට දතුත් හිල් කරල සවුත්තු කරලා තමා යන්නෙ. මම නම් නෙමේ මේ කියන්නෙ දවසක් මට හීනෙන් ඇවිත් බැක්ටීරියාවක් මේ විස්තරේ කීවෙ.එදා ඉඳන් බයටම මමත් රෑට දත් මදිනව ;)
Deleteතිතක් නෙමේ බොල විස්මයාර්ථයක් !!!
DeleteEh, what's up, doc? :D
ReplyDeleteඋඩ හාවව දැක්ක ගමන් මට මතක් වුනේ ඕක තමා.. අපි නම් ඉතින් තාම පොඩි උන් වගේ කාටූන් බලනවනෙ..
හම්මේ දත් ගැන කතා කරලා වැඩක් නෑ.. මං මගේ හක්කේ දත් ටික සෑහෙන කාලෙක ඉදන් පුරවන්නෙ :3 දැන් නම් ගලවලා දාන්න හිතයි..
කොහොමහරි හා දතක් තිබ්බා නම් තමා ගතිය ඈ :P
ඔය දත් දොස්තර මාමි තාම ඉන්නවද?? :)
හි හී ... දත් දොස්තර මාමි තාම ඉන්නව.යන්න බයයි මේ කිව්ව දේවල් වලට මාව බෙල්ලෙන් අල්ලල තව දතක් දෙකක් උගුල්ලන්න හැදුවොත් :/
Deleteහප්පා මටත් මහා එපා කරපු දත් ඉතිහාසයක් තියෙන්නේ. කොච්චර ද කියනවනම් weekend එකේ තාත්ත dentist ගාවට මාව ඇදන් යන්නේ මරන්න යන හරකෙක් අරන් යනවා වගේ. අදටත් මට dentist ගේ පුටුවේ වාඩි වෙන්න පට්ට භීතිකාවක් තියෙන්නේ !
ReplyDeleteහී අන්න මං වගේ එක්කෙනෙක් .. අත්දැකීම් හින්ද මද මන්ද මාත් හෙන බයයි.
Deleteහංසි දැන් ලොඹු ආච්චි කෙනෙක්ලු ඉතින්.. :v
ReplyDeleteහපෝ කවුද කියන්නෙ මම හෙන තරුණ ගෑල්ලමෙක් ^_^ තාම විරිත්තාගෙන හිනවෙන්ට පුළුවන් (ඉස්සරහ දත් හැලිලා නෑ .... ;) .....)
Deleteමේ පෝස්ට් එක දැන් නේ දැක්කේ.. කලින් ආවනම් හරි. කට්ටියගෙ කමෙන්ට් එහෙම කියවලා හරි ජොලි මට.. දත් ගැනත් සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා ඈ...
ReplyDeleteඔයා කියන්නෙ මේ ළඟදි ආමි එකේ එක්කෙනෙක් ආව දතක් ගලවන්න. දත වටේට හොඳටම සැරව පිරිලා කොච්චර ඉන්ජෙක්ෂන් ගැහුවත් හිරිවැටෙන්නෙ නෑ. ඉතින් මං කිව්වා බෙහෙත් බීලා වෙන දවසක එන්න කියලා. පොර කිව්වනෙ ආයෙ නිවාඩු එන්න ගොඩක් කල් යයි. ඒ නිසා ඉවසන් ඉන්නම් දත ගලවන්න කියලා. මාත් ඉතින් ගලෝලා දැම්මා. දැන් තමයි බයේ ඉන්නෙ එයත් ගිහින් බ්ලොග් පෝස්ට් එකක් ලියයි කියලා අමුවෙන්ම දත ගැලෙව්වා කියල..
හික්ස් ... අන්න දත් දොස්තර නෝනා දැන් දැක්කනෙ අපේ අයගේ දත් ගැන අත්දැකීම් ..;) ආමි අය හැමෝටම වගේ දරාගැනීමේ ශක්තිය තියනවා ඕනම එකක් කාගෙන ඉවසගෙන ඉන්නවනේ ඔන්න මම වගේ එකෙක් ආවනම් බෙහෙත් අරන් යනව .. ආයෙ ඉතිං එනව බොරු ....
Deleteඅදයි අක්කගෙ බ්ලොග් එකට ආවෙ.මාත් ප්ලේට් දාන් හිටි කාලෙ මතක් වුණා.අර ඩෙන්ටිස්ට්ගෙ පුටුව දැක්කම තාමත් වෙව්ලනව.
ReplyDeleteමෙධාවිව සාදරයෙන් පිළිගන්නව :) වාසනාවට මට ප්ලේට් දාන්න උනේ නැහැ ඒත් අපේ යාළුවන් විඳින දුක නම් දැකල තියනව
Delete//දතේ කෑලි විසිකරන්නෙපා ගම් ගාල අලවත හැකි. අය්ය කියපි//
ReplyDeleteඔපීතියෙ ඈයො බලනෝ මං මොකෝ තනියෙං හිනා වෙන්නෙ කියල. පට්ට ලියවිල්ල.මාත් ඔයාගෙ බෝට්ටුවෙ හංසි. ඉස්සරහ දකුණු පැත්තෙ දත කැඩිල මගෙත්, ලිස්සන බෝට්ටුව කියල තියෙන්නෙ පොඩි ළමයිට..,5 වසරෙදි අනිත් ළමයි උඩ ඉඳන් පහලට එද්දි, මං යට ඉදන් උඩට දිව්වලු. දත කුඩු සංසාරයි. 10 වසරෙදි බාල්දියක් වද්දගෙන ආයෙ කඩාගත්ත කියන්නකො... දත් ගැනනං කතා කරල වැඩක් නෑ...
ලේ පාට හීන සාදරයෙන් පිළිගන්නවා :) ..හී .. මේ කතාව කියවල අපේ අය්යත් හිනා උනා :D
Deleteපේන හැටියටනම් මේ ළමයත් එසේ මෙසේ ලමේක් නෙවේ වගේ. හික්ස් ...
මෙයා දත් ගැන දන්න දේවල්... මාත් පොඩි කාලේ break නැති බයිසිකලයක් කන්දක පහලට පැදල ලයිට් කනුවක හප්පගෙන ඉස්සරහ දත් ටික නකල්ස් කදු වැටිය වගෙ ලස්සනට හදා ගත්ත.
ReplyDeleteමෙයා දත් ගැන දන්න දේවල්... මාත් පොඩි කාලේ break නැති බයිසිකලයක් කන්දක පහලට පැදල ලයිට් කනුවක හප්පගෙන ඉස්සරහ දත් ටික නකල්ස් කදු වැටිය වගෙ ලස්සනට හදා ගත්ත.
ReplyDeleteමේ අත්දැකීම් හැටියට දත් ගැන හොඳට වැටහේ ...ඒත් තව නොදන්නා දේවල් බොහොමයි ...හය්යූ තරිඳුත් ඉස්සරහා දත කඩාගත්තද :D අනෙක් දවසෙ හිනාවෙන මූණක් දැක්කොත් නකල්ස් කඳුවටියේ චායාවල් පේනවද බලන්ට ඕන ;) :D
Deleteදත් ගැන මොන ප්‍රශ්නේ ආවත් දුවන්නේ දත් දොස්තර මාම ගාවට....... (නැතුව ඉතින් පශු වෛද්‍යතුමා ගාවට යන්නයැ?) :-)
ReplyDeleteපොඩි කාලේ ඉඳන් මෙච්චර කල් වෙන දත් දොස්තර කෙනෙක් ගාවට ගිහින්ම නෑනෙ.. මොනවා උනත් දුවන්නෙ මාමා ගාවට තමා :)
Delete