Sunday, September 20, 2015

අහන් ඉන්න අහගෙන ඉන්න -2

කතාවේ මුල් කොටස මෙතැනින් 

කතාවෙ ඉතිරිය ..............

ෆෝන්  එකේ  මැසේජ් එක දැක්ක ගමන් මම කොච්චර කලබල උනාද කිව්වොත් ඒ වෙලේම  අර කොල්ලට කෝල් එකක් ගත්ත.

හෙලෝ ... මේ අර ..මේ ..කොටුවේ හම්බුනා කෙනාද  කතා කරන්නේ ..මේ   අර ...මට ෆෝන් එක දුන්නේ ..

මට එහා පැත්තෙන් ඇහෙන්නේ හීන් කෙඳිරියක් ....ලාවට අමාරුවෙන්  හෙලෝ කියනව ඇහුන. එච්චරයි එතනින් එහාට කිසිම සද්දයක් නෑ ...මම  ආයෙත් කතා කරා 

හෙලෝ ඔයාට මාව ඇහෙනවද ...එතනින් එහාට ගොරහැඬි හඩක් එක්ක කහින හඬක් ඇහුන...ඊළඟට........... 

අආ ...ම්ම්ම් ... අනූ ...ඔයා අන්තිමේ මට කතා කලාද.(කහින හඬක් ..) ඇයි අනූ මාත් එක්ක කතාකලේ නැත්තෙ ...ඔයා හොඳටම දන්නවා මේ ලෝකේ මට ඉන්නේඔයා විතරයි කියල මම මටත් වඩා  මගේ පණටත් වඩා ආදරේ කරන්නේ ඔයාට විතරයි කියල ...ඇයි රත්තරන් මට මෙච්චර රිද්දුවෙ .කියන්න.... කියන්න ඇයි  මෙහෙම රිද්දුවෙ ??....මං ..මං  ඉහි ඉහි ...(ඉකිගසන හඬක්.. ) ..මං ජිවිතේ පලවෙනි වතාවට බිව්ව බිව්ව හොඳටම බිවව

....(නැවතත් කහින හඬක් එතනින් පසු ඉකිබිඳුමක්... )

මොනාද මේ වෙන්නේ ..මට මොකුත් හිතාගන්න බෑ ..මේ මනුස්සය බීල වගේ හොඳටම ..සිහියක් කල්පනාවක් නෑ ..දෙය්යනේ මෙච්චරටම බීල ..මේ මනුස්සය හිතන් ඉන්නේ එයාගේ කෙල්ල කතා කරනවා කියල ...දැන් මොකෝ කරන්නෙ....දෙය්යනේ මෙන්න අඬනව .....කොල්ලෙක් මෙහෙම අඬනවා ඇහිච්ච පලවෙනි වතාව ...අනේ කොහොමද මේවා අහන්  ඉන්නේ .... :( 

හෙලෝ මේ අහන්න ..

එපා ..මොකුත් කියන්න එපා ............අහන් ඉන්න මං කියන දේ අහගෙන ඉන්න ..මට හැමදේම කියන්න ඉඩදෙන්න  ..යන්න එපා  අනූ  ප්ලීස් ...ඔයා දන්නවා මම කවදාවත් බිව්වේ නෑ කියල .ඒත් මම අද බීව ..හිතේ දුකට බීව ... මට මැරෙන්න හිතුන ...මම දන්නෑ ........මම දන්නෑ.ඔයා ගියොත් මට මොනව වෙයිද කියල ... යන්නෙපා  (නැවතත් කහින  හඬක් ...) 

මට පිස්සු වගේ ..මොනාද කරන්නේ මම ..මේ මනුස්සය ඉන්නේ බීපු විකාරෙන් ..මම ෆෝන් එක තියනවා ......රතු පාට end බොත්තම තද කරන්නත් හදල ..ආයෙමත් අත  නැවතුන. මේ මනුස්සය මොනවා හරි කරගත්තොත් ඊට පස්සේ ...මම ආයෙමත් ෆෝන් එක කනට ගත්ත ..නිහඬවම කියන දේ අහගෙන හිටිය ...එයාගේ ඇඬුම එන්න එන්නම වැඩි උනා ..තදින්  හුස්ම ඉහල පහල ගන්න හඬ ..කහින  හඬ ..මේ ඔක්කොම මට හොඳින් ඇහුන...

අනූ අහගෙන නේද ඉන්නෙ අනූ ..ඔයා  එකපාරක් අහන්න  ...මම හැමදාම ඒ විදිහමයි ..ඉස්සර කපිලමයි ..ඉස්සරත්  එහෙමයි අදත් එහෙමයි ..හෙටත් ...අනූ  ඔයා තමා හැමදාටම මගේ හිතේ ඉන්නේ ...අනූ  අර ගෑනියි  මගෙයි අතරේ කිසි සම්බන්දයක් නෑ දැන් ...ඒ ගෑනි ඉස්සරත් මගේ ජිවිතේ විනාස කරලා ගියා දැන් ආයෙමත් ඇවිත් විනාස කරන්න හදන්නේ ...මම වළලලා දාපු අතීතෙ වළලලා දාපු මතක වල ඉන්න මිනිස්සු ආයෙ මිනි වලෙන් ගොඩ ඒවි කියල මම කවදාවත්ම හිතුවේ නෑ.ඒකයි මම ඔයාට කිව්වෙ මගේ අතීතය අහන්නෙපා මම ඒක වලලල ඉවරයි කියල............. ඒත්....ඒත්  දැන්  ඒ කුනුවෙච්ච මිනී එලියට ගොඩගහල උන් මගේ ආත්මයම ගඳ ගස්සනවා.... (නැවතත් හඬන ශබ්දයක් ..) ... අනූ මේ අහන්න මට හැමදේම කියන්න ඕන......

එක පාරටම මොකක්දෝ වැටෙන ශබ්දයක් ඇහුන ..ඊට පස්සේ විනාඩි දහයක් විතර ගොඩක් දේවල් කියනව ඇහුන ..ඒත් ඇහුනේ ලාවට ඈතින් ..මම හිතන්නේ ෆෝන් එක තමා  වැටුනේ ..එක්කෝ ඇඳෙන් හරි  මේසෙකින් හරි බිමට වැටෙන්නැති ..මේ මනුස්සයට සිහියක් නෑනෙ ...මට ලොකු කලකිරීමක් දැනුන .ඊටත් වඩා ලොකු අනුකම්පාවක් දැනුන ...මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ ..හැමවෙලේම කතාවෙ අතර මගදී නවතිනවා ...මේ කොහෙවත් යන මනුස්සයෙක් දැන් මගේ ඔලුවත් විකාර කරලා මට නින්ද යන්නෙත් නෑ දැන් ...හපොයි ...මොනවා උනත් මේකට තව කෙල්ලෙක් සම්බන්දයි  කොහොමද? මොකක්ද ?මේ දොඩවන අතීතෙ ... ඕන මගුලක් වෙච්චාවේ මම මේක හෙට අහනව ..ඇයි  දෙය්යනේ අන්තිමට මේ මනුස්සය මැරුණම මටත්  කට උත්තර බඳින්න වෙයිනෙ දැන්  ...ෆෝන් එකත් මා ගාවනේ...

එදා මුළු රෑම  මට නින්ද ගියේ නෑ කිව්වොත් හරි ..සරින් සැරේ විකාර ඔලුවට එන්න ගත්ත ..ආයෙම සැරයක් අර  කොල්ලට කෝල් කරලා මොනවා හරි කරගෙනද කියල බලන්න හිතුන ...ඒ මදිවට දණහිසේ රිදිල්ලත් සැරින් සරි  වැඩිවෙන්න අඩුවෙන්න ගත්ත ...අන්තිමට හරිම වෙහෙසකර විදිහට නින්ද ගියා.

වෙනද වගේ  පහුවෙනිදා උදේම ඔෆිස් ලැස්ති උනා.ඊයේ සිද්ධිය නිසා ඔලුව විකාර වෙලා තිබ්බ  කිව්වොත් හරි  තවමත් ලොකු ප්‍රශ්නාර්ථ ලකුණත් මගේ ඔලුව උඩ ....... එයාට කෝල් කරන්න ඕන උනත් ඔෆිස් ගිහින්ම කෝල් කරනවා කියල හිතාගත්ත ...කොහොම හරි මම බස් එකේ ඉන්දැද්දි  එයා  මට  කතාකරල  missed call  එකක් තිබ්බ. වාහන සද්දෙත් එක්ක  හුස්ම ගන්න බැරි තරම්  තෙරපෙන බස් එකක් අස්සේ ගුලිවෙලා මෙහෙම serious දේවල් අහන්න කියන්න බෑනෙ ...ඉවසන් හිටිය ඔෆිස්  යනකන්ම ..ඒත් කරුමෙට ඔෆිස් ගිය ගමන්ම කියනවා බොසාගේ meeting එකක් තියනවා එන්නලු .. දැන් ඉතින් බෑ කියන්නද ...meeting  එකේදී තවත් missed call දෙකක් ..එයාගෙන්මයි ..මං හිතන්නේ මගේ හිතේ තිබ්බ නොයිවසිල්ල බොස්ටත් තේරුණ මිනිහ දෙපාරක්ම මං දිහා විපරමින් බැලුව ....ඇති යාන්තම් අන්තිමට ..දවල් කෑම පැයේදී  මට එයත් එක්ක කතා කරන්න පුළුවන් උනා. 

හෙලෝ ...

හෙලෝ  නංගි  අනේ සමාවෙන්න ඔයා ඊයේ කතාකරල තිබ්බ නේද....  අනේ සමාවෙන්න මම මොනවා කියෙව්වද දන්නේ නෑ ..  මම සිහියෙන් නෙවේ හිටියේ කිව්වේ මොනාද මම දන්නේ නෑ  අනේ සමාවෙන්න ...තොර තෝංචියක් නැතිවම එයා සමාව ඉල්ලනවා.

අය්යේ  මේ අහන්න මට ඇත්තම  කියන්න.ඔයාට මොකක්ම හරි ලොකු ප්‍රශ්නයක් තියනව නේද ..කියන්න මම අහන් ඉන්නම් ...

 එක පාරටම එයා නිහඬ උනා........

දුරකථනය විසන්ධි කලා ... 

හ්ම්ම් ..

මම ආයෙම එයාට කෝල් කාලා ..දීර්ඝ  වෙලාවක් ගිහින් අන්තිමට එයා පිළිතුරු දුන්න  ..

මේ අහන්න නංගි  මට මොකුත් ප්‍රශ්නයක් නෑ ...ඊයේ  මොනවා හරි කිව්වනම් මට සමාවෙන්න ..සමාවෙන්න කියන්නයි මම කෝල් කලේ  මගේ වැරැද්ද ....මම කලේ කිව්වේ මොනවද මම දන්නේ නෑ.

අය්යෙ  මේ අහන්නෆෝන් එක තියන්නෙපා මම කියන දේ අහන්න  ..ඊයෙ ඔයාගෙන් මොනවත් වැරදි දෙයක් කිව්වේ නෑ. එත් මම දන්නව ඔයා ලොකු ප්‍රශ්නෙක ඉන්නේ කියල ..ඔයා මාව දන්නෙත් නෑ ..එහෙම කෙනෙකුට ඔයා  ඔයාගේ පෞද්ගලික විස්තර කියන්නේ නෑ  කියල මම දන්නවා.ඒත් ඊයේ මම කරදරේක ඉන්න වෙලේ ඔයා මට උදව් කලා මට පුළුවන් විදිහට උදව් කරන්න පුළුවන් ....කමක් නෑ අකමැතිනම් ..ඒක  නෙවේ ඔයාගේ ෆෝන් එක  අද මම දෙන්නම් ..ඔයා එනවද අද  කොටුව ස්ටේෂන්  එකට පහයි විස්සට විතර ..ඊයේ ඒක  කියන්නයි මම කතා කරේ ..කමක් නෑ ..ඔයාට එන්න පුලුවන්ද කියන්න ... ඔයාගේ ෆෝන් එක මා ගාව තියාගන්න බෑ ..කියන්න එන්න පුලුවන්ද 

දුරකතනයේ එහා කෙලවරින් ලොකු හුස්මක් පිට කරන සද්දයක්  ඇහුන.

 හරි.......... මම එන්න බලන්නම් 

හ්ම්ම් .. අනේ මමද මේ කොල්ලො නම් ..ෆෝන් එකෙන් කතා කරලා මොකවත් දැනගන්න බෑ  ඇහුව ගමන් කට්  කරනවා ... ඔන්න ඔහේ ඕන මගුලක් කරගත්තාවේ කියල ෆෝන් එන දීල මම එනවා ..... නෑ  ඒක හරි නෑ ..මට මොනවා හරිම කරන්න පුලුවන්නම්.කොහොම හරි එයාගෙන් විස්තරේ අහගන්නවා අද ..බලමු මොනාද කරන්න පුළුවන් කියල ...

කමක් නෑ  මම ඉවසනවා 

එදා  දවසේ කියන්න තරම් වැඩක් තිබ්බේ නැති නිසා ඉක්මනින්ම ඔෆිස් එකෙන් එලියට පනින්න මට පුළුවන් උනා... හදිසියක් නෑ  මම පාර දිගේ හෙමින් ඇවිද ගෙන ආව ... කහ ඉරවල් ගාව මිනිස්සු පෝලිම් ගැහිලා  හරියට  තඩි උක් දණ්ඩක් දෙපැත්තේ වට වෙලා ඉන්න කූඹි පොකුරු ටිකක්  වගේ. මමත් ඒ පොකුරටම එකතු උනා. අතර මග නැවතුමක් නෑ එක්කෝ එහා කොන එක්කෝ මෙහකොන.  මිනිස්සුත් ජිවිතේ හිතන්නේ විකල්ප දෙකයිද මන්ද එක්කෝ ජීවත් වීම නැත්නම් මරණය .. 

පදික වේදිකාවෙන් හෙමින් හෙමින් ඇවිදින මට වයසක සීය කෙනෙක් විකුණන ලොතරැයි   ඈත තියාම  පේනව ..මිනිස්සු එකා දෙන්න ඇවිත් ලොතරැයි එකක් දෙකක් අරන් යනවා  අරන් යන හැම ටිකට් එකක්ම වාසනාවන්ත ටිකට්  එකක්ද ... හැමදාම වාසනාව කැරකෙන්නෙත් නෑනේ දවසක මුළු වාසනාවටම කෙලවෙලා යන්න පුළුවන් ...ජිවිතේ හැමදාම සුන්දර නෑ කියන්නේ මේ නිසා වෙන්නැති ...

සෙනග පිරෙන තෙරපෙන හැප්පෙන පදික වේදිකාවේ කඩිමුඩියෙන් යන පෙම්වතුන් යුවලක්   සෙනග අස්සෙම මට පෙනුන.තදින් අත් පටලවාගෙන යන්නේ කවදාවත්ම  අත නොහරිනවා වගේ  ආදරේට එකම පලුද්දක් වත් නොකර හැමදාම එහෙම ඉඳීවිද ...ඒ ආදරෙත් හරියට නොමල ගෙකින් හොයන අබ ඇටයක් වගේ වේවි ...

 හිතුවිලි ගොඩක් හිතේ පැලවේවි මියයන හවසක ... මම ආයෙමත් ඔහුව හමුවෙන්න ගියා...

ඔව් මට පුළුවන්....මට පුළුවන් පොඩි විනාඩි කීපයක් වැය  කරලා  එයාගේ කතාව අහගෙන ඉන්න ...





කතාවෙ ඉතිරිය  කුමක්  වෙයිද? ...මතුවට ...


21 comments:

  1. හාහ් එහෙමයි එහෙනම් වුනේ. හරි හරි ඉතුරු ටිකත් දාන්න ඉක්මනට. තව ගොඩක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. කතාව ගොඩක් දිගට ඇදෙන්නේ නෑ ...ඉක්මනින්ම ඉවර කරනවා :)

      Delete
  2. නියමයි නියමයි. නියම විදියට කුතුහලය ඇති කරලා නවත්තනවා මේක තමා සාර්ථකත්වය. ලියන්න ඔයාට ලස්සන කතාවක් ගොඩනගන්න පුළුවන්. රොමැන්ටික් කතාවක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නලින් අය්යෙ.වෙලාව එක්ක පොඩ්ඩක් ලියන්න පමා වෙනවට නම් සමාව දෙන්න :)

      Delete
  3. සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්ණයක්.. :(

    ReplyDelete
  4. හංසි අත්දැකිමක්වත්ද ලියන්නේ.තුන් වැනි කොටස එනකමි ඉන්නේ
    අපි පෙමිබැන්ද කාලේ phone තිබුනේ නැනේ.මම පිටු 400 පොත් ගානක් ඉවර වෙනකමි ලියුමි ලියලා තියනවා.සතිගානක් බලාගෙන ඉන්න වෙනවා රිප්ලයි එකක් එනකමි

    ReplyDelete
    Replies
    1. අත්දැකීමක් නෙවේ මනෝ ..හිතින් මවපු කතාවක් ..අම්මෝ මෙන්න පිටු 400 පොත් ඉවර වෙනකන් ලියුම් ලියල :D ...සති ගානකින් හරි යහපත් ප්‍රතිචාර හම්බුනොත් ඉතින් ඉහේ මල් තමයි :)

      Delete
  5. සිරා සීන් එක වගේ.

    -----------
    අනේ මන්දා
    --
    ඇයි බන්...උඹ ලියපු උඹේ කතාවේ ඉතිරිය කුමක් වෙයිද කියලා අපෙන් අහන්නේ???
    ඔල්මොරොන්දම් ද?

    ReplyDelete
    Replies
    1. :D කතාවේ ඊළඟට වෙන්නේ මොනවද කියල කියවන කෙනා අනිවාර්යෙන් හිතනවනේ ඊළඟ කොටස දාන්නත් කලින් කියවන අය කතාව හදලත් එක්ක ඒකයි මෙහෙම අහල ප්‍රශ්නාර්ථ ලකුණකින් ඉවර කලේ කියවන ඔයාලටම ඉතිරිය ගොඩ නගන්න ඉඩහරින්න ..හැබැයි අන්තිමේදී මට ඕන ඔය හැමෝම හිතන දේට වෙනස් දෙයක් ලියන්න

      Delete
  6. අනුකම්පාව භුමි කම්පාව කරගන්න එපා , බලමු හම්බවෙලා මොනවද කියන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මොනවා කරගනීද කියල :/ ... අපි බලමු

      Delete
  7. හම්මේ... ඉතිං පළවෙනි පාරට බිවම කෝමද කියල මංමේ කම්පනා කොරන්නෙ.. බීවා බීවා හොදටම බිවා..
    ඉතිං ඊට පස්සෙ..
    දා දා ඉක්කොණට දා..........

    ReplyDelete
    Replies
    1. හි හී බිව්වම කොහොමද කියල මාත් දන්නේ නෑ .. ලෝකෙ මගේ වටේ කැරකෙනව වගේ දැනෙනවා ඇති නේද ..බීපු කෙනෙක්ගෙන්ම තමා අහන්න ඕන :) ..ඉක්මනට ඉතිරි කොටස දාන්නම් ............. :)

      Delete
  8. Replies
    1. මේ ගැන දැනුවත් කලාට ස්තූතියි කසුන් මම පුළුවන් විදිහට උදව් කරන්නම් :)

      Delete
  9. කාට හරි කියන්න කතාවක් තියෙනවානම්.......... ඒක අහන්නත් කෙනෙක් මේලෝකේ කොහෝ හරි ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. ඇත්ත කුරුටු ..කාටවත් තමන්ගේ කතාව කියාගන්න බැරිව හුදකලාවෙනවට වඩා නොදන්නා කාටම හරි කතාව කියල හිත හදාගන්න පුලුවන්නම් කියල හිතෙන අවස්ථාත් එනවා

      Delete
  10. හයියෝ කොහොමද මට මේක මගෑරුනේ......... කමක් නෑ කෝම හරි දැක්කනේ........ ඇත්තම සිද්දියක්ද මන්දා........... අනික් කොටසත් මෙහෙම්ම දාන්න............

    ReplyDelete
    Replies
    1. පහුවෙලා දැක්ක එකත් හොඳයි ඊළඟ කතාව දාන්න පොඩ්ඩක් පරක්ක්කු උනානේ ඉක්මනටම ඒකත් දාන්නම් :)

      Delete