Friday, October 10, 2014

අසම්මතය

කෙටි කතාව 

වෙලාව රාත්‍රී දහයට  විතර ඇති. පාරේ   තිබ්බ ලයිට් කණුවට  ඔරලෝසුව අල්ලල  මම වෙලාව බැලුව. හරියටම දහයයි  තිහයි එයා  තාම නෑ.මම කීපාරක් වෙලාව බැලුව ද හ්ම්ම් ... මට මතක නෑ .මං හිතන්නෙ දහදොළොස් වතාවකට වැඩි.එයා අද එන්නැති වෙයිද ? අනේ මන්ද ..මං හිතන්නෙ මං අද ගොඩක් නොඉවසිලිමත් වෙනදාටත් වැඩිය නොඉවසිලිමත්. කියාගන්න ගොඩාක් දේවල් හිතේ තියාගෙන. කොයි වෙලේ කියගන්නද බැරිව හිත නොඉවසිලිමත් ...  මම එහාටත් මෙහාටත් ඇවිද්ද පාරේ ඇවිදින මිනිස්සු අතරින් එයා එනවද බැලුව හ්ම්ම් ..තාම නෑ .....

හවස වැස්ස වැස්සත් එක්ක එකතු උන වැහි වතුර හීන් සීරුවට  කකුල් අස්සෙන් ගලාගෙන යනව.අහසින් පිරිසිදුවට වැටුනට පොලවට වැටුන ගමන් ජරා වෙලා  පාරේ තිබ්බ හැම  ජරාගොඩක් ම හෝදගෙන යන හැටි   හ්ම්ම් ....පාරේ ගමන් කරන මිනිස්සු හැමෝම ජරා වතුර ගෑවෙයි කියල බයට  පැන පැන  බේරී බේරී යනව.සමහර මිනිස්සුන්ට නම් ගානක් නෑ ජරාවතුරද නැද්ද ඔහේ යනව ..තවත් මිනිස්සු  ඒ ජරා වතුරින්ම කකුල් හෝදගෙන කිසිම ජරාවක් ගෑවුනේ නෑවගේ යන හැටි. හ්ම්ම් ..එයාගේ ජීවිතයත් මේ වතුර වගේ. එකපාරටම පාත් වෙලා අයිති අයිති නැති හැම කුණු ජරාවක්ම  දරාගෙන යන්න වෙලා.මට හිනහ යන්නේ අර ජරාවතුරින්ම කකුල් හෝදගෙන තමන් පිරිසිදුයි වගේ යන මිනිස්සු ගැන .. හීතලයි  හිරිපොදයි එක්ක එක එක දේවල් ඔලුවට එනවා හ්ම්ම් මං ආයෙත් පාර දිහා බැලුව එයා තාම නෑ .හිරිපොද ගහන නිසා මං බස් ස්ටෑන්ඩ් එක  ඇතුලට  යන්න තීරණය කළා .

" නංගි ඔයා අද එන්නැද්ද ...වැස්ස නිසාද ..එනවනම් බස් ස්ටෑන්ඩ් එක ලඟට එන්න ".   මම කෙටි පණිවිඩයක්  යැව්වා..


එයා  අද එන්නැතිවෙයිද.. මගේ හිත ආයෙමත් කියනවා. හ්ම්ම් ..තව පැය  බාගයක් වත් බලනව.. බස් ස්ටෑන්ඩ් එකේ පරණ  බිත්තියකට හේත්තුවෙලා  මම එයා එනකන් බලන්  ඉන්න තීරණය කළා .වට පිටාවේ කවුරුවත් බලන්  ඉන්නැ කියල දෙපාරක්ම  බැලුවට පස්සෙ ඔලුවේ තිබ්බ තොප්පිය  ගලවල, ගසල වතුර ටික අහක් කරලා ආයේ දාගත්ත. කවුරුවත් මාව අඳුර ගන්නේ නැතිව ඇති.කලුවරයිනේ  අනෙක මේ වෙලාවට මිනිස්සුත් නෑනේ .මේ තොප්පියට කොහොමටත් අඳුර ගන්න බෑ.හිතේ තිබ්බ සැකේට මම ආයෙත් වට පිට බලල හිත සන්සුන් කරගත්ත.

මම ආයෙත් සාක්කුවෙන් ෆෝන් එක එළියට ඇදල බැලුව.10.43 තාම මැසේජ් එකක් නෑ....නෑ වෛබ්රේට් වෙනවා ..මැසේජ් එකක් ...

" මම එන්න පොඩ්ඩක් පරක්කු වෙයි. අය්යේ  පැය  කාලක් විතර  "

හිතේ කලබල ගතිය ටිකක් අඩුඋනා. කම්මැලිකමට පරණ මැසේජ් එහාටත් මෙහාටත් යව යව බලන්න ගත්ත ..ජීවිතේ මහා පුදුමයක් ඇත්තටම එයාගේ හමුවීමත් පුදුමයක් ... අහම්බයක් ...

.....................

 දවස් දෙකක නිවාඩුවකට පස්සේ මම ආයෙත් වැඩට ආව ..උදේම  පොලිසියේ වෙන රාජකාරියකටත් ගිහිල්ල ටිකක් පරක්කුවෙලා ආවේ. පොලිස් ස්ටේෂන් එක ඇතුලට ගොඩවෙනකොටම  හෙන සද්දෙන් ලොක්ක කෙල්ලෙක්ට බනිනවා.

"උඹ නිදහස් දැන් තවත් මේකේ ලැග ගෙන ඉන්නැතිව යන තැනකට පලයන් .හැබැයි ආයේ  අහුවුනොත් බේරිල්ලක් නෑ. තේරුනාද ..."

ඇයි මොකක්ද සර් කේස් එක 

මේකි රෑ තිස්සෙ පාරවල් ගානේ රස්තියාදු ගගහ ඉඳිද්දී අහුඋනේ දන්නවනේ ඉතින් මුං ඉන්නේ මොකටද කියල .. මුන්ට ඒවා හොඳයි අපේ එකෙක් කිව්වම තමයි මුන් සද්දේ දන්නේ.

මේකිට විරුද්ධව ඔප්පු කරන්න  සාක්ෂි නෑ  .. උඹ අදට බේරුනා ...දැන් ඔහොම සිල් අරන් වගේ බිම බලන් ඉඳල හරියන්නෑනෙ  පලයන් ඉතින් පලයන් යන්න  @$#@%$%.......

සාජන් මෙකි ගියාම මේ ෆයිල් ටික අරන් තියහන්. ලොක්ක එතනින් යන්න ගියා 

මම බිම බලාගෙන හිටිය කෙල්ල දිහා බැලුව. අහිංසක පාට පොඩි කෙල්ලෙක්  වයස විසි  දෙකක්   තුනක් වෙන්නැති.මූනේ තිබ්බේ අසරණ බැල්මක් දකින කාටවත් හිතෙන්නේ නෑ මේ වගේ දේකට අහුවෙලා පොලිසි එයි කියල. හිතේ මොකක්හරි කියාගන්න බැරි දුකක් තියනවා මට හිතුනේ එහෙමයි.ඇස් බොඳවෙලා.එලියට පනින්න ඔන්න මෙන්න තිබ්බ කඳුළු එලියට පනින්න කලියෙන්   අන්තිම වතාවට මූණ උස්සල මං  දිහා බැලුව.

" සර් මං වැරදි නෑ කවදාහරි සර් ලට දැනගන්න හම්බෙයි " එහෙම කියල ඒ කෙල්ල  ඉක්මනින්ම ආපහු හැරිලා යන්න ගියා.

මට කිසිම දෙයක් තේරුනේ නැ .මොකක්ද මේ වෙන්නෙ. අනේ මන්ද ..

කෙල්ල යන ගමන් කඳුළු පිහදාන හැටි මං බලන් හිටිය ලඟට ගිහිල්ල මොකක්ද උනේ කියල  මට කතාකරන්න උවමනාව තිබ්බත් ලොක්ක ගේ හැටි දන්නා නිසා මොකුත් නොකර කරබාගත්ත.මුං අහිංසක කෙල්ලෝ වෙන්නැති මේ මහලොකුවල වටේටම තරුයි ,පටියි එල්ලගෙන ඉන්න ඇතුලෙන් හැම දහජරාවක්ම කරන කාකි ඇඳුම් වලට වඩා  වඩා මුන් හොඳ ඇති.අනේ මේවා කාට කියන්නද .ලොකු හුස්මක් අරන්  මං එතනින්  අයින් උනා  හැබැයි එදා දවසෙම මගේ හිතේ තිබ්බේ ඒ කෙල්ල . ඒ කෙල්ලගේ  අහිංසක ඇස් දෙක , අන්තිමට කිව්ව වචන ටික  මේ ඔක්කොම තදේටම හිතට කාවැදිලා තිබ්බ ... මට ඕන උනා නිකමට වගේ  ඒ කෙල්ලගේ විස්තර හොයන්න  කුතුහලය හින්දම   මං  ඒ කෙල්ලගේ විස්තර හෙව්වා ..කාටත් හොරා විස්තර හෙව්වා හැබැයි විස්තර හොයාගන්න හම්බුනේ නෑ පොලිසියේදී ගත්ත කට උත්තර වල තිබ්බ කෙල්ලගේ නම විතරයි මට හොයා ගන්න පුළුවන් උනේ  ..එත් මට  ඕන උනා  එකපාරක් හරි හම්බෙලා ඒ කෙල්ලත් එක්ක කතාකරන්න.

මගේ හිතේ තිබ්බ ආසාව ඉෂ්ට වෙන්න වැඩි දවසක් ගියේ නෑ මං හිතන්නෙ  හරියටම මාසෙකටවිතර  පස්සේ.එදා රෑ ,වැඩ ඇරිලා එද්දී  වෙලාව 9.30  විතර මං හිතන්නෙ 9.25 යන අන්තිම බස් එක ගියාද නැද්ද කියල හිත හිත තමයි මං බස් ස්ටෑන්ඩ් එකට ආවේ .සමහර වෙලාවට 9.30 ටත් යන බස් එක අද කලින්ගියාද දන්නෑ  එහෙම හිත හිත මං එද්දිම එකාපාරටම වාහනයක් ඇවිත් නැවැත්තුව. වාහනෙන්  බැස්සේ කෙල්ලක් කෙල්ල බැස්ස ගමන් වාහනේ විදුලි වේගෙන් පියඹල ගියා  ඒ සිදුවීමට තත්පරයක් වත් ගත වෙන්නැතිව  ඇති.කලබලෙන් වගේ හිටිය කෙල්ල වට පිට බලල මං  දැක්ක ගමන් මං  ලඟට ආව 

අය්යේ අන්තිම බස් එක ගියාද ..

ම්ම්ම් මං  මේ දැන් ආවේ ... ගියාද දන්නේ නෑ ම්ම් කවුරුත් පේන්නත් නෑ.මං  හිතන්නේ යන්නැති 

ශික් අපාරාදේ  මට පොඩ්ඩක් කලින් එන්න තිබ්බේ.

නංගි  වැඩට ගිහින් එන ගමන් ද   ..

අහ් ? ආ ඔව් මේ රෑ  ටිකක් වැඩ තිබ්බ .. 

office  එකේ වාහනේ වෙන්නැති නේ ඇයි  ගෙදරටම අරලන්නද්ද 

අහ්  ... නෑ ...මේ .. අද ඩ්‍රය්වර් ට හදිසි ගමනක් යන්න තියනවලු ...

ඈ... හදිසි ගමනක් කියල  මෙහෙමත්  මග දාල යනවද?   මට ඉබේටම කියවුනා. එයාට නම් ඒ කිසිදෙයක් ඇහුනේ නෑ.

එයා  ගොඩක් කල බල වෙලා හිටියේ  හරියට උත්තර  දුන්නේ නෑ .

මම ත්‍රිවිල්  එකක් තියනවද බලන්න ව යන්නම්.එයා  කලබලෙන් යන්න ලැස්ති උනා. 

පාරේ ලයිට් කණුවේ   ආලෝකෙත් එක්ක මං එයාගේ  මූණ යන්තම් දැක්ක ..දෙවියනේ අර කෙල්ලනේ ...

මේ ... නංගි පොඩ්ඩක් ඉන්න.. පොඩ්ඩක් ඉන්න  ... ඔයා ..මේ ..ඔයාගේ නම නාලනී නේද ?

එයා එකපාරටම ගැස්සිලා මං දිහා බැලුව 
.
ඔ.. ඔව් ..ඔ ..ඔයා  මගේ නම දන්නේ කොහොමද ?

දන්නා විදිහ හැමදේම කියන්නම්  මට විනාඩි  පහක් ඔයත් එක්ක කතාකරන්න ඕන.පොඩ්ඩක් ඉන්න.

 ඇයි ?? .අහ්...බෑ  බෑ මට යන්න පරක්කුයි.

පරක්කු වෙන්නේ නෑ පොඩි වෙලාවක් මං ඔයාව ගෙදරටම ඇරලවන්නම් මගෙන් කිසි කරදරයක් වෙන්නේ නෑ.

නෑ ..කමක් නෑ මට දැන් යන්න ඕන. 

ඔයාට මාව මතක නැද්ද ?  

කවුද?? ඔයා ??  එයාගේ  පුංචි ඇස් විපරමෙන් වගේ මං  දිහා බැලුව.   නෑ මං  දන්නේ නෑ..මට කරදර කරන්නෙපා මං පොලිසියට කියනවා හරිද ..

හා හා කියන්න මටම කියන්න... මොකද මාත් ඒකෙ තමයි වැඩ කරන්නේ එදා ඔය ආපුවාමත් ඔයා  ළඟ හිටියේ මම අර අන්තිමට මට කියල ගියේ  'මම වැරදි නෑ කියල ' මතකද ?

අහ් ......පොලිසියේ ...... .එක පාරටම බිරාන්ත වෙලා මං දිහා බැලුව  ..අනේ සර් මං කිසි වැරද්දක් කරලා නෑ  අනේ වඳින්නම් සර් මං  යන්න ඕන මට යන්න දෙන්න 

හරි හරි ඔයා ගේ වැරැද්දකට කතාකරනවා නෙවෙයිනෙ  මට පොඩ්ඩක් කතා කරන්න ඕන විනාඩි පහක් ඉන්න 

අනේ බෑ සර් ම..මම  මොනවත් කරලා නෑ  සර් ..මං මේ වැඩට ගිහිල්ල එන ගමන් ..මේ ග.. ගාමන්ට් ..එකට ගිහිල්ල එන්නේ රෑ  වෙලා යන්න ඕන ... 

ගාමන්ට්... හා  හා මම ඔක්කොම දන්නවා  මොකක්ද ඔය ගාමන්ට් එක කියල අහන්න ඕන නෑනේ  මට බොරු නැතිව මං අහන දේවල් වලට උත්තර දෙන්න. 

මං  දන්නවා ඔයා  ගැන ඔයා  කරන රස්සාවත් දන්නවා ඔයාට මොකුත් වෙන්නේ නෑ පොලිසියට අල්ලලා දෙන්නෙත්නෑ  හැබැයි ඒ මාත් එක්ක විනාඩි පහක් කතාකලොත් විතරයි  මම ටිකක්  බය කරලා වගේ කිව්වා ..ඇත්තටම ඒ වෙලාවේ අසිහියෙන් වගේ හිටිය ඒ කෙල්ලව බය කරන්න මට ඕන උනේ නෑ  එත් ඒ හැම එකටම වඩා මට ඒ කෙල්ල එක්ක කතා කරන්න ඕන  වෙලා තිබ්බ.  

අපි කතාකලා....   එයා  මුලින්ම ගොඩක් බයවෙලා හිටියේ මාත් එක්ක කතා කරන්න විස්තර කියන්න කැමති උනේම  නෑ එත් එයා මොරච්ච නැති ලාමක කෙල්ලෙක් බොරුවක් වත් හරියට ගොතා  ගන්න බැරි කෙල්ලෙක් .එයාට  මං  ගැන මතකයක් තිබ්බේ නෑ.එදා පොලිසියේ  බැනුම් අහගෙන බිම බලාගෙන ඉන්නකොට  මම ළඟ හිටිය කියල  එයාට මතකයක් තිබ්බේ නෑ .

මට අමාරුම උනේ කෙල්ලගේ හිත වෙනස් කරන එක එයා  මං  දිහා මුලින්ම බැලුවෙත් මීට කලින් හැම මිනිහෙක්ම එය දිහා බැලුව විදිහට මමත් බලන හිතන කෙනෙක් විදිහට.ඒත් මම ඒ කෙල්ලගේ ජීවිතයට තවත් කැළලක් එක්කරන මිනිහෙක් නෙවෙයි කියල ඒත්තු ගැන්නුවම  ඒ කෙල්ල මාත් එක්ක කතාකරන්න කැමති උනා.මම ඒ කෙල්ල එක්ක කතාකලේ සාජන්  කෙනෙක් සැක කාරයෙක්ගෙන් ප්‍රශ්න අහනවා වගේ නෙවෙයි අය්ය කෙනෙක් නංගි  කෙනෙක් එක්ක කතා කරන විදිහට..... 

එයා ගොඩක් දේවල් කිව්වා ඒ කිව්වා දේවල් එක්ක මේ ටික මගේ හිතේ තාමත්  රැඳිලා 

සර් මම මේක කැමැත්තෙන් කරන රස්සාවක්  නෙමෙයි. මම කුරුනෑගල ඇතුලට වෙන්න ගමක හැදුන කෙල්ලෙක් අපි ගොඩක් දුප්පත් මිනිස්සු කන්න අඳින්න දෙයක් නැතිඋනාම අම්ම තාත්ත ලෙඩ වෙලා වැඩක් පලක් කරගන්න බැරිව ලෙඩ ඇඳට වැටුනම මල්ලියි නංගියි ඉස්කෝලේ යවාගන්න බැරිඋනාම හැමදාම හිඟ කකා ජීවත් වෙන්න බැරි නිසා පවුලේ වැඩිමල උන මං කොළඹ ගෙදර වැඩකට ආව එහෙ මාසයක් විතර හිටිය එත් එහෙ ගෙදර හිටිය නාකි මනුස්සයගෙන් මට එන්න එන්නම කරදර උනා  බැරිම තැන මහ රෑක මං  එහෙන පැනල ආව.රෑ  11 විතර ...පාරේ තනියම...  කවුරුවත් නෑ යන්නේ කොහෙටද කරන්නේ මොකක්ද මොකුත් හිතාගන්න බැරිව ඉබාගාතේ ඇවිද්ද  එතකොට තමයි එකපාරටම වෑන්  එකකින් නවත්තල මාව බලෙන්ම වගේ  දාගෙන ගියේ ..මම වැටුනේ හිටයත් වඩා ජරා තැනකට කියන්න ඕන නෑනේ මට මගේ ආත්මයම නැතිඋනා ...මගේ කරුමේ  මට මේ ජීවිතේ තිත්තයි මට ඉක්මනින් ගෙදර යන්න ඕන එත් ගෙදර මිනිස්සු බඩගින්නේ ඉන්නවා දකිද්දී    මොන කරන්නද හිතාගන්නබෑ  සර් මම අසරණයි ..වෙලාවකට  මට මැරෙන්න ඕන ..වෙලාවකට මරාගෙන මැරෙන්න ඕන ඒ එකක්වත් කරන්නබෑ  මං  අසරණයි    එතනින් එහාට ඇහුනේ ඉකිබිඳුමක්  ...

 එදා මාව අහම්බෙන් පොලිසියට අහු උනාට පස්සේ පහුවෙනිදා  මං නිදහස් උනාම මං  එතනින් පොඩි බොරුවක් කියල පැනල ආව ඇවිත් කාටත් හොයාගන්න බැරි තැනක බෝඩිමක් හොයාගෙන ටික දවසක් හැංගිලා හිටිය  හරි හමන් රස්සාවක් හම්බෙනකන් එත් මගේ කරුමෙට මට රස්සාවක් හම්බුනේ නැතිඋනාම බෝඩිමේ කුලිය ඉල්ලා ඉල්ලා මිනිස්සු කරදර කරද්දී  ,ගෙදරට සල්ලි යවන්න ඕන අම්මල නංගිලා බඩගින්නේ  කියල හිතෙනකොට මට විකල්පයක් උනේ අර පරණ මගේ ආත්මයම විනාස කරපු රස්සාව විතරයි ඉතින් මාසෙකට පස්සේ  අද ආයෙමත් මම ඒ රස්සාවට ගියා .සර් මේක මම කැමැත්තෙන් කරන දෙයක් නෙවෙයි.

මට  ගොඩක්  දුක හිතුන එයත් මං  වගේ ගමෙන් ආපු කෙනෙක් මගේ වාසනාවට මට රස්සාවක් ලැබුනට එයාගේ ජීවිතේ විනාශ  වෙලා. තවත්  පැය බාගයක් කාලක් ගතවෙන්නැති  මම  මං ගැනත්  විස්තර එයාට කිව්වා  මං  දන්නේ නෑ ඒ පොඩි කාලයට මං  එයාට ගොඩක් සමීප උනා. මේ මගේ නංගි ගේ වයසේ ඉන්න තවත් එක අසරණ නංගි  කෙනෙක් නේද  කියලයි මට හිතුනේ.අන්තිමට එයාව එයාගේ නවාතැනට ඇරලවල මම බෝඩිමට ගියා.

  එදා රෑ  එලි වෙනකන් කලපනා  කරන්න දහසක් දේවල් තිබ්බ . මට ඕන උනා  එයාට  උදව් කරන්න එයාට පිහිට වෙන්න  ඒත්  ඒක  මගේ රස්සාවෙන් කරන්න බෑ  ඒක  ඇතුළෙන්ම එන සමහර බලපෑම් නිසා.හදිසියේ හරි මෙහෙම කෙල්ලෙක් එක්ක ඉන්නවා කියල හරි දැනගත්තොත් මගේ රස්සාව නැති වෙයි.මට මගේ රස්සාව නැති කරගන්න ඕන උනේ නෑ මොකද මටත් සාත්තු කරන්න ලෙඩ ඇඳට වැටිච්ච  අම්මෙක් ඉන්න නිසා මේ ඔක්කොම මම කරන්නේ එයා  වෙනුවෙන් නිසා.මං  දන්නවා මේකේ ඉන්න සමහර ලොකු ලොකු ඈයෝ  කරන දේවල්  හැබැයි හැමවරද්දක්ම හරි උන්ට විතරනේ ඒවායේ වැරදි අපි කරාම  විතරක් නෙමෙයි වැරද්දක් නොකරත්  අපි තම වැරදි .ඒක අද කාලේ  හැම රස්සාවකම හැටිනේ . .

කොහොම හරි එදා ඇතිවෙච්ච හමුවීමත් එක්ක ඔය විදිහට කීප දවසක්ම මට එයාව  හම්බුනා.ලෝකයාට, අනෙක් මිනිස්සුන්ට  නොපෙනෙන්න එයත් එක්ක කතා කරන්න, සමාජයෙන් මගේ තනතුර වහගන්න,මගේ  රස්සාව බේරගන්න  රාත්‍රී හමුවීම උදව් උනා   ..ටික වෙලාවක් උනත් අපිට කතාකරන්න ගොඩක් දේවල් තිබුන. ඒ හැම වෙලෙම් මට දැනුනේ එයාගේ අසරණකම එයාටත් මාත් එක්ක කතාකරන එක හිතට සැහැල්ලුවක් උනා.රාජකාරිය ,සමාජය මිනිස්සුන්ගේ අවලාද කටකතා   ඒ හැමදේවලින්ම බේරෙන්න  හැංගෙන්න ,වහගන්න  මගේ තොප්පිය උදව් උනා...මෙහෙම  දින සති ගෙවුන එයා  එයාගේ රස්සාව අකමැත්තෙන් කරන්න ගත්ත , ඉඩක් තිබ්බ වෙලාවට මට පුළුවන් විදිහට  එයත් එක්ක කතාකලා . මම දැනගෙන හිටිය මට  කරන්න පුළුවන් උදව් හැමදෙවලින්ම සීමා සහිතයි කියල උදව් කරන්න ගිහින් එයාගේ ජීවිතේට මොකක්  හරි වෙනවට මම කැමති උනේ නෑ  ඒත් නොකීවට හිත ඇතුලෙන්  එක එක විකල්ප ගොඩ නැගෙමින් තිබ්බ ... 

.....................................

වෙලාව 10.48 ඈත ඉදන් එන කාන්තා රුවක් මං  දැක්ක ඒ නාලනී .. මඩ  වතුර මැද්දෙන් හදිසියෙන් අඩි  තිය තිය එනවා සරින් සැරේ විපරමින් වටපිට බලනවා. 

අද ටිකක් රෑවුන ඔය ගොඩක් වෙලා හිටියද 

හ්ම්ම් ටිකක් ..

 කොහොමද 

හ්ම්ම් ...මේ ජීවිතේ ඇතිවෙලා තියෙන්නේ. මම දන්නේ නෑ අය්යේ මට දැන් ගැලවීමක් නෑ මට මෙහෙම් යන්න එන්න  ලබන සතියේ ඉඳන් බැරිවෙයි. අපිට වෙනමම නවතින්න තැනක් දෙනවලු.හැමදාම විඳවනවා මැරී මැරී  උපදිනවා.වෙලාවකට තර්ජන .... කාට මේවා කියන්නද අය්යේ පිහිට පතන්  යන්න පුළුවන් තැන්  වල  සමහර ඈයොත්  මේවයේ  අයිති කාරයන්ගේ යාළුවො වෙනකොට... නාලනී ලොකු හුස්මක් පිට කරලා ඈත බලන් හිටිය .

ඇත්තටම මට ඒ වෙලේ  කියාගන්න උත්තරයක් තිබ්බේ නෑ. මට මගේ රස්සාව ගැනත් ලජ්ජා හිතුන ...

නංගි 
හ්ම්ම් ....
මට  කියන්න දෙයක තියනවා 
හ්ම්ම් කියන්න අය්යේ ...

ඔය හෙට ඉඳල ඔතන වැඩට යන්න එපා.

අහ් !! ඒ ඇයි 

මම ඔයාට රස්සාවක් හෙව්වා ...මම දන්නා තැනක ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නෑ 

රස්සාවක් ..අනේ අය්යේ ලොකු පිනක් ..එත් ..

ඔව් ඔයා  කියන්න යන එක මං  දන්නවා ඔය මිනිස්සුන්ගෙන් ලේසියෙන් බේරිලා එන්න බෑ .ඔයාට මම හෙව්ව රස්සාව කළුතර ගෙදරක පොඩි දරුවෙක් බලාගන්න තියන රස්සාවක්  ඔයාට එහෙම නවතින්න පුළුවන්. කැමතිද ?මේ මිනිස්සුන්ට අහුවෙන්නෑ මම ළඟ ඉන්නම් හැමදේම  බලාගන්නම් කැමතිනම්  හෙට උදෙන්ම යමු. 

නාලනීගේ ඇස් කඳුලෙන් පිරුන.හිතේ තිබ්බ කියාගන්න ඕන සේරම දේවල්  එයාගේ ඇස්වලට පිරුන කඳුළු කිව්වා.අත්දෙක එකට එකතු කරලා මට වැන්ද...මම නාලනීගේ උරහිසෙන් අල්ලලා වැලක්වුව .මගේ හිතේ තිබ්බ වේදනාව පිටකරන්න බැරිව මම අහක බලාගත්ත.

නංගි  අපි හැමෝගෙම ජීවිතවලට අඳුරු හෙවනැලි එනවා  ජීවිතේ කාලයක් එනවා ඒ හෙවනැලි අපේ පස්සෙන්ම පන්න පන්න එන  හැබැයි කවද හරි ජීවිතේට ආලෝකයක් එනව එක අමතක කරන්න එපා එදාට අපිට අපේ අඳුරු හෙවනැලි වලින් මිදිලා ඈතට යන්න පුළුවන්. මම ඔයාට උදව් කරන්නම් ...

හිතේ තිබ්බ දේ කියල නිදහස් කලත් තව නොකියවෙච්ච දෙයක් මගේ හිත අස්සේ තිබ්බ .

නංගි ....මට තව දෙයක් කියන්න  තියනවා.හැබැයි මාව වැරදියට තෙරුන්ම ගන්න එපා........

 ඔයාගේ හැම අඳුරු අතීතයක්ම වලලල දන්නා කැමතිනම්, ඔයාගේ අනාගතේට ආදරණීය හෙවනැල්ලක් වෙන්න මම කැමතියි ...මට තවත් මොකුත් කියන්න බෑ මං  බලකරන්නේ නෑ , ඔයාට කරදර කරන්නෙත් නෑ ඒත් ..... මම........

මම ඔයාට ආදරෙයි.

තොර තෝංචියක් නැතිව මගේ කියවිල්ලට කඳුළු පිරුණු ඇස වලින්ම නාලනී මන් දිහා බලන් හිටිය මන්ද මං  ගොඩක් හැගීම් බර උනා  දවස් ගානක්  මගේ හිතේ තිබ්බ හැම දේම  නිදහස් කරලා දැම්ම.මම එයාව බාර ගන්න ලෑස්තියි.මොකවත් නිසා  නෙමෙයි මම ඒ  කෙල්ලගේ ශරීරට නෙමෙයි හිතටයි  ආදරේ කලේ... 

නාලනී  මා දිහා ගොඩක් වෙලා බලන් හිටිය මොකුත්ම කිව්වේ නෑ  අන්තිමට  එයාගෙ  සීතල අත්වලින් මාගේ අත  තදින් අල්ල ගත්ත ..........
මම මොනවා කියන්නද මට හිතාගන්න බෑ මගේම ජීවිතේ මටම හීනයක් ... 

හ්ම්ම් ...අපි යමු යන ගමන් කතාකරමු .මම එයාගෙ  අතින් අල්ල ගත්ත ...තවදුරටත් මට ලෝකයාගෙන් හැංගෙන්න ඕන කම තිබ්බේ නෑ  මිනිස්සු ඕන දෙයක් කිව්ව දෙන් ..ඕනෑම දෙකට මම ලෑස්තියි ..මෙච්චරකාලයක් අනන්‍යතාවය හංගගත්ත තොප්පිය පැත්තකට විසිකරලා මම එයාගේ අත තදින් අල්ලාගෙන පාර දිගේ ගමන් ඇරඹුවා ......

 අපි අපේ අතීතය නමැති හෙවනැල්ලෙන් මිදී අනාගතය වෙත ගමන් ඇරඹුවෙමු 





අපි  හැඟුම් වලට ඉඩ දී මොහොතක් 
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් 
හඳපානේ   මද අඳුරේ 
අත් පටලා යමු ආයේ .....


ඔබ ඔබේ  හෙවනැල්ලෙන් මිදී 
මම මගේ හෙවනැල්ලෙන් මිදී 
අවුදින් හෙමින් රහසින් මුමුණා 
හඳපානේ මද අඳුරේ 

හඳපානේ   මද අඳුරේ 
අත් පටලා යමු ආයේ .....

https://www.youtube.com/watch?v=IoJARvwppzs


///////////////////////////////////////////////////////////////

සින්දුවක තේරුම වෙන විදිහකට හිතන්න පුලුවන්ද ? මේ උඩින් ලියල තියන විකට රත්නායකයන්ගේ සින්දුව කාලෙකට පස්සේ උදේ වරුවක ආයේ අහන්න ගත්ත එකදිගට දෙතුන් පාරක් අහද්දී මේ කතාව ලියන්න හිතුන කතාවට පාදක වෙච්ච ආසන්නම සිදුවීම මෑතකදී  කතාබහට ලක්වුණා වීඩියෝවක් ..මට මේ සින්දුවේ පද පේලිටික  දැනුනේ අමුතුම විදිහට .. ඒකෙ..  "ඔබ ඔබේ  හෙවනැල්ලෙන් මිදී ..මම මගේ හෙවනැල්ලෙන් මිදී " කියන පේලි දෙක ගොඩක් හිතට වැදුන අන්තිමට  කතාව ලියද්දි  එකදිගටම සින්දුව අහන්න ගත්ත වෙලාව රෑ  12.45 මේ ලියද්දිත්  සින්දුව අහන ගමන් :) ..කතාවේ අඩුපාඩු සාර්ථකත්වය කොහොමද ..නොගැලපීම් අසම්මතය මේ හැමදෙයක්ම ලියල යන්න අවසරයි :) ........... අහ් අමතක උනා කියන්න මේක කියවල පුලුවන්නම්  එකම එක පාරක් සින්දුව අහන්න .. :) 



28 comments:

  1. වාව් කතාව නම් සුපිරියි ආ...
    මාරම සංවේදී කතාවක්... ඒත් ඇත්තටම මෙහෙම අය මේ ලෝකේ ඉන්නවා නම්..... කොච්චර හොඳ වෙනසක් වෙයිද???
    හොඳ නරක දෙපැත්තම ගැන කියවෙන කතාවක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සිහින ... මේ පාර මම ලිව්ව කතාව දිග වැඩිදෝ කියලත් හිතුන.... මේ වගේ අය ඇති තාමත්. හැබැයි බහුතරයක් ඉන්නවා ඇත්තේ එක එක හේතු නිසා උදව් කරගන්න බැරිව ලතවෙන අය .

      Delete
  2. ඔබගේ වෑයම අගේ කරමි.. සින්දුවට නෙමෙයි ඕනම වාක්‍යයකට උනත් විවිධ අර්ථකතන දැක්විය හැකියි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දේශක තුමා...කතාවට එකඟයි ..සින්දු ,වාක්‍ය විතරක් නෙමේ හැමදේකටම අපිට එක එක අර්ථකතන දෙන්න පුළුවන්. එක එක්කෙනා හිතන විදිහයි දකින කෝණයයි අනුව ඒ හැමදේම වෙනස් වෙනවනෙ :)

      Delete
  3. පුදුමේ කියන්නේ කතාව කියවලා ඉවරවෙලා සිංදුව දැක්ක ගමන් අහන්න හිතුණ එක..හොඳ කතාවක් හංසි!
    //අහසින් පිරිසිදුවට වැටුනට පොලවට වැටුන ගමන් ජරා වෙලා පාරේ තිබ්බ හැම ජරාගොඩක් ම හෝදගෙන යන හැටි හ්ම්ම් ....පාරේ ගමන් කරන මිනිස්සු හැමෝම ජරා වතුර ගෑවෙයි කියල බයට පැන පැන බේරී බේරී යනව.සමහර මිනිස්සුන්ට නම් ගානක් නෑ ජරාවතුරද නැද්ද ඔහේ යනව ..තවත් මිනිස්සු ඒ ජරා වතුරින්ම කකුල් හෝදගෙන කිසිම ජරාවක් ගෑවුනේ නෑවගේ යන හැටි. // මේ කොටස මල් හතයි!!

    ReplyDelete
    Replies
    1. තනි තරුවට ස්තුතියි :) කතාව ලියන්න හේතුඋනේ ඔය සිංදුව එනිසා කතාව හොඳටම දැනෙන්න ඔය සිංදුව අහන්න කියල කිව්වේ ඒකයි.සින්දුවේ තියන "ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී" කියන පේලිය අහද්දී මට මැවුනේ අතීතයේ දුක් සහිත සිදුවීම් /මතකය කියන හෙවනැල්ලෙන් මිදෙන්න උත්සාහ කරන දෙදෙනෙක් .සින්දුවේ ඇත්ත තේරුම මොකක්ද කියන්න මම දන්නේ නෑ ඒ වුනාට මේ ලස්සන පද පෙලිටික මට අලුත් කතාවක් ගොඩ නැගුවා :)

      Delete
  4. ලස්සනයි නංගියෝ කතාව, වෙනස්ම විදියකට චරිත දෙක ගොඩ නගපු විදිය අපුරුයි.

    සමහර තැන වල යොදා ගත්තු යෙදීම් හරිම අපුරුයි, ඒවා කතාවත් එක්ක නියමෙට ගැලපෙනවා තනි කිව්ව කොටස වගේ ඒවා ඒ අතරේ නියමෙට මතුවෙනවා.

    එත් මොකක්ද මේ අනන්‍යතාවය හංගන තොප්පිය.

    සම්මතය කියන තොප්පියෙන් ඔලුව වහගත්තු එවුන් එකතු වෙලා අසම්මතයට තොප්පි මහනවා, හැබැයි එක තොප්පියක්වත් ගැලපෙන්නේ නම් නැහැ. සමාජ ක්‍රමය කියන ඇඳුමේ සම්මතය කියන හොඳ පිටත් ඒ වස්තරෙටම වැහිලා අසම්මතයත් එකමේ කණපිට වගේ ඉන්නවා, කවුරුවත් පාරේ කණපිට ඇඳන් යන්නේ නැහැනේ, එත් කනපිටක් නැති ඇඳුමක් තියෙනවද? "ඔව්" කඩේ නම් තියෙනවා දෙපැත්තම පට්ට ගහන්න පුළුවන් ඒවා, එත් එක විට පට්ට ගහන්න පුළුවන් එකම පැත්තක් විතරයි, අසම්මතයට සම්මතය කණපිට වෙද්දී සම්මතයට අසම්මතය කණපිට වෙනවා. ඔය වස්තර තොප්පි ගලවලා බලපු වෙලාවටනම් පන නල තියෙන හද ගැහෙන මනුස්ස ජීවිත පෙනෙන්නට ගන්නවා,

    අපුරුයි නංගියෝ කතාව ඒ තරම්ම සුපිරි. දෙදෙනෙකුගේ ආත්ම කතන දෙකක් හරහා එකට වේලෙන මේ කතවේ ගැහැනියගේ කතාව වගේම මිනිසාගේ කතාව වෙන වෙනම අපි අහලා තිබුනට දෙක එකතු වෙච්ච තැන බිහි වෙච්ච කතාව හරිම සුන්දරයි.

    අපි හැමෝටම පෙනෙන්නේ එකක් උනාට දකින්නේ තමන්ටම අනන්‍ය දෙයක්. සින්දුවත් ඒ වගේම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අය්යේ :) මේ දවස් වල හැමෝගෙම කතාබහට ලක්වුන සිද්දිය වෙනස් විදිහකට ගොඩ නගන්න මට ඕන උනා. ඒ සිදුවීම ඇත්තටම එතන උනේ මොකක්ද කියල මම දන්නේ නෑ හැබැයි පහර කෑ කාන්තාව වගේම පොලිසිය ගැනත් මිනිස්සු ගොඩක් දේවල් කිව්ව ගොඩක් ලිපි ලියවුන.හැම ගණිකාවක්ම මිනිස්සු එක පොදු කුලකයකට දාල බනිනව පොලිසියේ එක්කෙනෙක් වැරද්දක් කලොත් සමස්ත පොලිසියම එක පොදු කුලකයකට එක් කරලා බනිනවා හැබැයි ඔය පාර්ශව දෙකේම ඉන්නව ඔය බැනුම් වලට සුදුසු නැති අය එහෙම දෙන්නෙක් ගැන හිතල තමයි ලියවුනේ.ඇත්ත නම් අපිට නොපෙනුනාට නරකයි කියල අපි හංවඩු ගහන හැම දෙයකම මොකක් හරි හොඳ දෙයක් තියනවා..... මේ කතාව ලියවුනේ අහම්බෙන්. ඔය සින්දුවට ඔය වගේම වෙන කතාවක් හිතට ආව හැබැයි අන්තිමට ඒක මේ විදිහට වෙනස් උනා .... සොමි අය්යගේ විචාරය නම් නියමයි.මම ආසාවෙන් කියෙව්වා මම හිතුවටත් වඩා එකට ලොකු අර්ථකතනයක් දීල .ස්තුතියි :)

      Delete
  5. නියමයි හංසියො මේකනං..
    සින්දුවත් ඇහුවා..

    ReplyDelete
    Replies
    1. සිංදුව ඇත්තටම ලස්සනයි ..එකේ පදවැල්, සංගීතය ඉස්තරම් ... කතාවේ අන්තිමට සින්දුව ඇහුවනම් කතාව වගේම සින්දුවත් හිතට දැනෙයි ..වෙනස්ම විදිහකට :) ස්තුතියි සංචරක :)

      Delete
  6. කල්පිතයි යථාර්ථයයි අතර දෝලනය වෙන කතාවක්, ඇත්තටම හංසි මේ සිතුවිලි ගලපලා තියෙන හැටි අපූරුයි. ඒ වගේම ගීතයට වෙනස් අර්ථයක් දෙන්න කරපු උත්සාහයත් අගෙයි. ලියමු දිගටම අපි එන්නම් කියවන්න .

    ප්‍රොෆයිල් එක "හංසි" කියලම තියලා ,බ්ලොග් එකේ නම "හංස සිතුවිලි" හෝ "හංසියකගේ සිතුවිලි" කියලා දැම්මනම් ගොඩක් හොඳයි වගේ හිතුනා

    ReplyDelete
  7. මේ පැත්තට ගොඩ උනාට ගොඩක් ස්තුතියි :) ප්‍රොෆයිල් එක නම් හදන්න ඕන පාටක් දාල හැඩ වැඩ කරලා කොහෙද විභාගයි වැඩයි එක්ක මොකක්දෝ කම්මැලි කමක් තියන නිසා හැමදාම මග අරිනවා.බලමු ඉදිරියට වෙනස් කරන්න :)

    ReplyDelete
  8. හරිම සංවේදී, වෙනස්ම විදියකට ලියපු කතාවක්..
    // දැන් ඔහොම සිල් අරන් වගේ බිම බලන් ඉඳල හරියන්නෑනෙ පලයන් ඉතින් පලයන් යන්න @$#@%$%....... //
    // හැම ගණිකාවක්ම මිනිස්සු එක පොදු කුලකයකට දාල බනිනව පොලිසියේ එක්කෙනෙක් වැරද්දක් කලොත් සමස්ත පොලිසියම එක පොදු කුලකයකට එක් කරලා බනිනවා //
    මේ තමයි තිත්ත ඇත්ත. ඒ විතරක් නෙමෙයි, ලංකාවේ අවලාද, අපවාද අහන්න ගණිකාවක් විය යුතුම නෑ, ගැහැණු ළමයෙක් ටිකක් රෑ වෙලා පාරෙ ගැවසුණොත් (හේතුව මොකක් වුණත්) නැත්නම් පිරිමියෙක් හරි පිරිමි කීපදෙනෙක් හරි එක්ක කතාබහ කර කර හිටියොත් (හේතුව මොකක් වුණත්) ඒකම ප්‍රමාණවත් ෂෝක් කතාවක් හදාගන්න. මතුපිටින් පෙනෙන දේ තමයි මෙහේ පරම සත්‍යය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අශාන් ... කියල තියන දේවල් නම් හරියටම හරි එත් ඉතින් මේවා කාට කියන්නද මේ කොච්චර කිව්වත් ලෝකේ කොයි විදිහට වෙනස් උනත් තාමත් මිනිස්සු අර වැරදි කෝණෙන් නෙ මේ දේවල් ගැන බලන්නෙ.කෙල්ලෙක් වීම වෙලාවකට හ්ම්ම්..අනේමන්ද කොල්ලන්ට තියන නිදහසයි අපිට සීමාකරපු නිදහසයි ගැන හිතද්දී නම් කොල්ලන්ට තියන නිදහස ගැන නම් ඇත්තටම ඉරිසියයි :/ ...කාලය ඇවිල්ල ..පරණ මතවාද, සිතුවිලිවලට නැවතුමක් තියල අලුතෙන් හිතන්න... කාලය ඇවිල්ල.....

      Delete
    2. පරම්පරාගතව මිනිස්සුන්ගේ හිත්වල පැවත එන දේවල් වෙනස් කරන්න හරි අමාරුයි.. ඊට වඩා ලේසියි අකමැත්තෙන් වුණත් ඒවටම අනුගත වෙන එක.. :( ඕක තමයි තත්වය..

      Delete
    3. ඒත් අළුත් පරම්පරාවල ඕවා තරමක් දුරට අඩුයි පේන හැටියට...

      Delete
    4. මේ වගේ හණ මිටි අදහස් අඩුවෙනවටත් වඩා නැත්තටම නැතිවෙලා යනවනම් තම හොඳ :)

      Delete
  9. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  10. ඇහැට කඳුලක් ආපු කතාවක්. ගොඩක් සංවේදී උනා මේක කියෙව්වාම. ඇත්තටම කතාව කියවලා ඉවර වෙලා කිහිප පාරක්ම මේ ගීතය ඇහුවා. තවත් හොදින් ලියන්න සුබ පතමි.
    මීට හිතාදර fb එකේ චැට් කරන මම.

    ReplyDelete
    Replies
    1. ඇවිල්ල කියවල සටහනක් තියල ගියාට ගොඩක් ස්තූතියි.බ්ලොගේ anonymous කියල වැටුනට මේ පුද්ගලයා කවුද කියල නම් මම දන්නව :P

      Delete
  11. මිනිස්සු හිතන විදිය වෙනස් වෙනවනම් හොදයි. මෙයාලට මෙවයින් මිදිල හොදින් ඉන්න ඉඩ වැඩි වෙයි එතකොට.
    ඇත්ත, සින්දුවත් එක්ක තේරුම ගලපගන්න පුලුවන්.
    කතාව හොදයි.
    ඇත්තටම මෙහෙම දෙවල් වෙනවනම් හොදයි.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් ගැහැණියක් අබිසරුලියක් විදිහට ලේබලය වැදුනට පස්සේ ඊළඟට මොන දේ කලත් ඒක මැකෙන්නේ නැති කැළලක් වගේ චරිතෙට ආරුඩ වෙනවා.මිනිස්සු ඇය ගැන බලන විදිහ වෙනස් කරන්න හරිම අමාරුයි. එයාට වෙනස් වෙන්න උවමනාව තිබ්බත් සමාජය ඇයට අනුකම්පා කරනවා අඩුයි. අපි උනත් කොහොම හැසිරෙයිද ? අපි දන්නෙත් නැහැ .....

      Delete
  12. ඇත්ත. කතාවෙ ඉන්න පොලිසියෙ කෙනා තරමටම වෙන්න අමාරු වෙයි අපිටත්. ඒත් ලෝකෙ තියෙන ලොකුම වැරැද්ද කලා වගේ ඒ අයට සලකන එක, පිළිකුල් කරන එක නවත්වන්න ඔනේ මිනිස්සු.

    ReplyDelete
  13. ඇත්ත. කතාවෙ ඉන්න පොලිසියෙ කෙනා තරමටම වෙන්න අමාරු වෙයි අපිටත්. ඒත් ලෝකෙ තියෙන ලොකුම වැරැද්ද කලා වගේ ඒ අයට සලකන එක, පිළිකුල් කරන එක නවත්වන්න ඔනේ මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. ඇයව ඒ තත්වෙට පත්කරන මිනිස්සුන්ම ආපස්සට හැරිලා ඇයට ගරහන තත්වයක් බොහෝ වේලාවට තියෙන්නෙ.මේ දේවල් වෙනස් වෙන්න කාලයක් යයි ... සමහරවිට වෙනස් නොවී මේ විදිහටම තියේවි

      Delete