Friday, September 26, 2014

සිතුවම

බිත්තිවල කුඩා කවුළු වලින් ඉර එලිය කාමරයට වැටී ආලෝකවත් වී ඇත.ඔහු තව විනාඩි කිහිපයක් ඇඳ මත වැතිරී  බිත්තියේ එල්ලා  තිබු දින දර්ශනය දෙස බලා  සිටියේය.එහි ඉලක්කම් නොපෙනෙන තරමට තැනින් තැන කුරුටු ගා  ඇත.මාසයේ අවසන් දිනය පමණක් තද රතු පැහැති පාට කූරකින් රවුම් කර ඇත .

"තව එක දවසයි .අද මම කොහොම හරි චිත්‍රෙ ඉවර කරන්න ඕන" .ඔහු තමාටම කියාගත්තේය.තවදුරටත් ඇඳෙහි වැතිර සිටීමට කාලයක් නැතිබව දැන හෙතෙම හැඳ  සිටි  කමිසය උනා දමා පාට තැවරුණු කමිසය හැඳ ගත්තේය.දෙපා ඉබේටම ඇදුනේ ඔහුගේ චිත්‍ර කාමරය දෙසටය.කාත් කවුරුවත් නොමැත්තෙකු  සේ හුදකලා ගෙයක ගෙවන ජීවිතයට ඔහු ප්‍රියකළේය.සිතුවමක් අඳින්න හොඳම වටපිටාව හුදකලාව බව හේ  අත්දැකීමෙන් දන්නා හෙයිනි. කිසිවෙකුත් තමාගේ චිත්‍ර කාමරයට පැමිණෙනවා දැකීමට ඔහු අකමැති විය.ඔහුට අනුව එය කෙනෙක් තමන්ගේ දිනපොතට බලෙන් එබී සියල්ල හාරා අවුස්සා බලන්නාක් වැනිය.

ඔහුගේ සියලුම සිතිවිලි සිතුවමකට සිත්තම්කරන ඒ අපූරු බිත්ති හතර ට ඔහු මහත් සේ ඇලුම් කළේය.

පිලිවෙලක් නැති  කාමරයේ ඉරිතැලුණු බිම වසා ගත් තීන්ත පැල්ලම් රාශියකි.වරින් වර අලුත්වෙන වියලෙන තීන්ත පැල්ලමින් එය වෛවර්ණ වී ඇත.අඳුරු වූ බිත්තියේද තැනින් තැන දුර්වර්ණ වූ වියළි තීන්ත පැල්ලම්ය.තවත් බිත්තියක  ඇලයට හැරවුණු  මොනාලිසා සිතුවමය.බිත්ති දෙකක් එක හා මුසුවන තැන ජනාවාස පිහිටුවාගත් මකුළු රෑනකි.ඔවුන් බිත්තියත් එතනින් එහාට වහලෙහි කොටසකුත් ආක්‍රමණය කර  තම  දැල වියා බලය පතුරා  ඇත.බිත්තියට හේත්තු කරන ලද රාමු කල සිතුවම් කිහිපයකි.ඒවා සියල්ල අනෙක්පසට හරවා ඇත.සිතුවම්  සියල්ල ලඟකදී බිත්තිවලින් ගලවා  ඉවත් කල සෙයිනි.සිතුවම් එල්ලා  තිබු බිත්ති කොටස් වඩා සුදු පැහැයෙනුත් අනෙක් පෙදෙස් අවර්ණ පැහැයෙනුත්  දිස්වෙයි. කාමර වටා  මොහොතක් බලාසිටි ඔහු ගැඹුරු හුස්මකින් අරඹමින් කැන්වසය දෙසට  පිය මැන්නේය.

පෙර දින රාත්‍රියේ ඇඳි  සිතුවමෙහි පැන්සල්  පහරවල් කැන්වසය පුර විසිරී ඇත.එය කාන්තා රූපයකි. කැන්වසය දෙස මොහොතක් බලාසිටි ඔහු  කුඩා වීදුරුවකට වතුර පුරවා ගත්තේය.දියසායම් තැවරූ පීරිසිය අතට ගෙන පින්සල වතුර තුල කිහිපවරක් කලතා  පීරිසියේ වූ  වියලි සායම් තෙත් කරන්නට විය.ඉන්පසු කහ රෝස සහ සුදු පැහැයන් තුන එකිනෙකට මිශ්‍ර කරන්නට විය.ඉන්පසු පළමු පින්සල් පහර කැන්වසය මත යොමු කළේය.රෝස කහ මුසුවූ  අමුතුම ලාපැහයකින් ඔහු ඇගේ  වත සිතුවම් කරන්නට විය.

කැන්වසය මත වූ  ඇයගේ  සිනහව ඔහුව අතීතයට ඇද  ගෙන ගියේය.
........................

ඔයා හරි නරකයි අයාල්.හැමදාම අනුන්ගෙ චිත්‍ර අඳිනවා.කවද්ද මගේ චිත්‍රෙ  ඇඳල  දෙන්නෙ. 

මං කොහොමද අමා ඔයාව අඳින්නෙ.

ඇයි මාව අඳින්න බැරි ඒ තරම්ම මං කැතයිද ?

කැතයි නෙමෙයි පිස්සියෙ ඔය ලස්සන කිරිපාට හම ට පාටක් මගේ පාට පෙට්ටියේ නෑ.අනෙක ඔය ලස්සන මූණ හැමදාම මට පේන්න තියෙද්දී ආයේ මොකට අඳිනවද ඔහු ඇයට ලංවෙමින් පැවසුවේය.

අනේ යන්න බොරු නොකිය මම තරහයි. ලජ්ජාවෙන් රතුවූ මුහුණ සඟවන්නට මෙන් ඇය බොරු තරහක් මවා ගත්තාය
.
හරි මං ඇඳලා දෙන්නම්කො.ඔයාව විතරක් නෙමෙයි අපිදෙන්නගේම වෙඩින්  ෆොටෝ එකම අඳින්නම්කො....හිනාවෙන්න ඉතිං ....
............................

ඇයගේ සිනහව ඒ අයුරින්ම කැන්වසය මත සිතුවම් වී ඇත.ඔහුගේ මතකයේ ඇඳි  ඒ රුව දැන් ටිකෙන් ටික සිතුවම තුලින් ජීවමාන වන්නට සැරසෙයි.
ඔහු නැවතත් පින්සල වතුර වීදුරුව තුල බහා සෝදන්නට විය.ඉන්පසුව කළු සහ නිල් වර්ණ සායම් පීරිසිය තුල මිශ්‍ර කරන්නට විය.සියුම් තුඩක් ඇති කුඩා පින්සලක් ගෙන දෑස් වරණ ගැන්වීම ආරම්භ  කළේය. සිතුවම සම්පුර්ණ කරන ඔහුගේ සිත  ඇගේ ඇස්  අතර නැවතී ඇත.ඇය  කතාකරන විට ඇගේ .දීප්තිමත්  ඇස් දිහා  බලසිටින්නට ඔහු ප්‍රිය කළේය.ඔහු වඩාත් ආශා කලේ ඇගේ  සිනහවටය.

 අමා හිනාවෙන්නෙ ඇස් වලින් මං හිතන්නෙ  මං අමාට වශී උනෙත් අමාගේ ලස්සන ඇස් දෙක හින්ද ...

ඔහු වරෙක ඇයට මෙසේ කිව් සැටිත් ඒ අසා ඇගේ දීප්තිමත් ඇස් වලින් ඔහු දෙස බලා සිනහ සුනු සැටිත්...සිතුවම් පාටක් සේ ඔහුගේ ඇස් ඉදිරියේ දැන් මැවී පෙනෙයි.

ඔහු සිතුවමේ ඇස් සම්පූර්ණයෙන් ඇඳ ඉවර කළේය.ඉන්පසු ඒ දෙස මොහොතක් බලා සිටියේය.

තවදුරටත් ඒ දෙස බලාසිටීමට තරම් ශක්තියක් නොවූ තැන ඔහු සිත්තම් කිරීම පසෙක ලා අසල තිබූ ජනේලය වෙත පිය මැන්නේය.කුමක්දෝ කියා ගත නොහැකි සියුම් වේදනාවක් හදවත පාසාරුකර එතනින් විදුලියක් සේ සිරුර පුරා ගමන් කරනු ඔහුට හැඟෙන්නට විය.

තවමත් විවර නොවූ  ජනේලයෙහි වීදුරුවෙන් ඔහුගේ මුහුණ යන්තමින් දිස්වෙයි.බොකුටු වූ හිසකෙස් ගෙල දක්වා වැවී ඇත.උඩු හා යටි රවුලද මුණු වසාගෙන ඇත.

ඔයා නම් නියම චිත්‍ර කාරයෙක් තමයි.කොන්ඩෙයි රැවුලයි ඔහොම තියෙද්දී  නම් නියම රැඩිකල් පෙනුමක්  තියන චිත්‍ර කාරයෙක් වගෙයි.
 ඇයගේ සිනහමුසු වදන් ඔහුට යලිත් සිහිවෙයි ...ඔව් මං චිත්‍ර කාරයෙක් ..නිකන්ම නිකන් චිත්‍ර කාරයෙක් මං චිත්‍ර කාරයෙක් වෙන්නැතිව හොඳ  බෙන්ස් එකක්  තියන,ටයි කෝට් දාල ඒසී කාමරයක වැඩකරන ඉලක්කම් හයත් හතක පඩියක්  ගන්න බිස්නස් කාරයෙක් උනානම්  අද ඔයාගේ අම්මල මට කැමතිවෙලා..හ්ම්ම් ඒත් මම නිකන්ම නිකං චිත්‍රකාරයෙක් ....

ඔහු ගැඹුරු හුස්මක් ගනිමින් ජනේලය  විවෘතකළේය. මෙතෙක් වෙලා වීදුරුවෙන් අවහිර වූ හිරුඑළිය සැනෙකින් කාමරයට පැන  කාමරය  ආලෝකමත්  කරන්නට විය.ඔහු ජනෙල් කූරු අතරට  මුහුණ ලංකොට හිස් අහස  දෙස බලා  සිටියේය.වහලෙහි සිට ආ දෙමලෙච්චෙකුගේ කුරුළු පිහාටුවක් ජනෙල් පඩිය මත රැඳුනි.ඔහු සෙමෙන් කුඩා පිහාටුව අල්ලට  ගත්තේය.
......................
දන්නවද අයාල් මමත් ආසයි මේවගේ සිනිදු පිහාටුවක් වෙන්න. වරෙක ඇය  පැවසූ වදන් ඔහුට සිහිවිය.

මේ පිහාටුව කොච්චර සැහැල්ලුද මේ පිහාටුව වගේ නිදහසේ හැමතැනම සැරිසරන්න මාත් ආසයි.

එපා  ඔයා මේවගේ පිහාටුවක් වෙන්න එපා ...

 ඒ ඇයි ????  අමා වික්ෂිප්ත දෑසින් ඔහු දෙස බැලුවාය.

ඔය පිහාටුව එකතැන තියෙන්නේ නෑනෙ.කොයි වෙලේ හුළඟට පාවෙලා යයිද දන්නේ නෑ.අතින් තද කරලා අල්ලලා බැඳලා තියාගන්නත් බෑ.සියුම් පිහාටුව... පොඩිවෙයි...ඔයත් පිහාටුවක් උනොත් හුළඟට පාවෙලා පාවෙලා ගිහින් කොහෙහරි නවතියි .මගෙන් ඈත් වෙයි .ඒ නිසා ඔය පිහාටුවක් වගේ වෙනවට මම කැමති නෑ.............

ඔන්න ....කිව්වොත් කියන්නෙ දුක  හිතෙන දෙයක්.මම ඔයාව දාල යන්නේ නෑ ..කවදාවත්ම ...  ඇය ඔහුගේ අත  තදින් අල්ලා ගනිමින්  පැවසුවාය ...
.................

ජීවිතේ හැමදේම වෙනස් වෙලා අපි හීන මවද්දි අපිට අමතක උන බාධක කම්කටොලු හැමදේම අන්තිමට අපිට හරහට ඉඳල.ඔයාටත් මටත් වෙනස් කරන්න බැරි ගොඩක් දේවල් අපේ ආදරයට අවහිර කරලා ..ඉතිං කරන්න තියෙන්නේ එකම දෙයයි.ඔය කිව්වා වගේ පිහාටුවක් වෙන්න .මට තවත් අයිති කරගන්න බෑ හුළඟ ඒ තරම්ම සැරයි.

ඉතිං ඔයා පිහාටුවක් වෙලා යන්න .... අවසරයි...... යන්න .... ඔහු අතරැඳි පිහාටුව සුළඟ වෙත දිගු කළේය.එය පාවී පාවී ඔහුගේ  දෑස්  මානයෙන් පිටතට ගියේය.

ඔහුටත් නොදනිම ඔහුගේ සිත වේදනාවෙන් හඬ නගන්නට විය .

මං දන්නව ඔයා  තවමත් මට ආදරෙයි .ඔයා  කොහෙහිටියත් ඒක  මට දැනෙනවා.මං දන්නවා ඔයාට ඔයාගේ අම්මල තාත්තලට විරුද්ධ  වෙන්න බෑ කියල .මම ඔයාට මොකුත් කියන්නේ නෑ අමා ...ඔය කොහේ හිටියත් සතුටින් ඉන්න..ඒ සතුට තමයි මම හැමදාම ඔයාගෙන් බලාපොරොත්තු උනේ ...මට ඔයාව හිමි උනේ නැති උනත් ..මම එන්නම්  හෙට අනිවාර්යෙන් එන්නම් ඒ .......... ඔයාගේ විවාහයට සුබ පතන්න.මට දෙන්න පුළුවන් හොඳම  තෑග්ග අරන් එන්නම් ඒ ඔයා  හැමදාම මගෙන් ඉල්ලුව ඔයාගේ පින්තූරය ...

ඔහුගේ  සිතිවිලි නොනවත්වා හඬ නගන්නට විය සිත වේදනාවෙන් සුසුම්ලමින් වේගයෙන් ගැහෙන්නට විය.ඇස් වලට පිරුණු කඳුළු දෙකොපුල් හරහා ගලායන්නට  පෙර පිසදාගත් ඔහු නැවත  ජනේලය දෙසින් මෑත්වී නැවතත් සිතුවම දෙසට පියමැන්නේය .සිතුවම දෙස මොහොතක් බලාසිටි ඔහු නැවත ගැඹුරු හුස්මසුසුමක් පිටකර සිතුවම නිම කරන්නට විය .............













27 comments:

  1. උදේ පාන්දරම දුක හිතෙන කතාවක් :( ... සුපිරියටම ලියල තියනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සිහින ..උදේපාන්දරින් දුක හිතෙන කතාවක් කියවන්න දුන්න එක හරි නෑ නේද ..ඊළඟ වතාවෙ දුක හිතෙන්නැති කතාවක් ලියන්න ඕන :)

      Delete
  2. හංසියෙ තව තව ලියපං...
    කතාව නං අපූරුයි...
    කතාවට පාදක වෙලා තියෙන අනුභූතිය අනුව මීට වඩා කතාවක් මම බලාපොරොත්තු වුණා... මං කීවෙ දිග නෙවී... ප්‍රබල බව...
    හංසිගෙ මම කියවපු පළවෙනි කතාව නෙව... චිත්ත රූප මැවීම නම් හරිම ඉහලයි....
    දිගටම ලියන්න වැරදෙන තැං අඩුපාඩු මගෑරෙන්න සතතාභ්‍යාසය හරිම වැදගත්...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රතිචාර මට හයියක් තව තව හොඳට ලියන්න හිතෙනවා :) ගොඩක් ස්තුතියි මහේෂ් ...කතාවේ අවසානය වෙනස්ම විදිහකට කරන්න තිබ්බ තමයි.මං හිතන්නේ මං කතාව ඉවර කරගන්න ඉක්මන් උනා ඒකයි මෙහෙම අවසානයක්. කතාව ලියල ඉවරවෙලා ආයේ ආයේ කියවද්දිත් අඩුපාඩු දැක්ක මට ලියන්න ඕන වෙලා තිබ්බ මගහැරිච්ච කොටසුත් තියනවා කොහොම උනත් ඊළඟ කතාව මීටත් වැඩිය හොඳට ලියන්නම් :)

      Delete
  3. කතාවත් රැඩිකල් වගේ.. කෝම උනත් ජය වේවා.. සුභ පතනවා තව හොදට ලියන්න..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දේශක ..අනිවා ඊළඟ එක තවත් හොඳට ලියනවා :) :)

      Delete
  4. මන් ගැනද හංසියේ ලිව්වේ.
    //සිතුවමක් අඳින්න හොඳම වටපිටාව හුදකලාව බව හේ අත්දැකීමෙන් දන්නා හෙයිනි. කිසිවෙකුත් තමාගේ චිත්‍ර කාමරයට පැමිණෙනවා දැකීමට ඔහු අකමැති විය.ඔහුට අනුව එය කෙනෙක් තමන්ගේ දිනදර්ශනයට බලෙන් එබී සියල්ල හාරා අවුස්සා බලන්නාක් වැනිය.//

    නියමයි හංසි, තව ලියන්න, මේක මගේ හිතේ දෙවෙනි කෙටි කතාව වෙන්න ඕනා,

    කතාවේ පොටින්ට් ටික එකකට එකක් ගලපපු විදිය හරිම අපුරුයි නංගි, කුරුළු පිහාටුවක් දිගේ අතීතයට ගියපු හිත ඒ පිහාට්ටේන්ම ආපහු මෙලොවට ගෙනාපු විදිය උපරිමයි. ජයවේවා.

    නංගියෝ කැන්වස් වල වටෙර් චොලොර්ස් කරන්න පුළුවන්, එත් අමාරුයි, ගොඩක් වෙට් විදියට අඳින්න බැහැ වර්ණ පැතිරෙන විදියත් එක්ක නුල් අතර, ඒ නිසා හුඟයි සාන්ද්‍ර විදියට තමයි පාට ටික ගන්නේ, එක්කෝ පේස්ට් එකක් ගාල යන්තම් කැන්වස් එක හාර්ඩ් කරගන්න ඕනා, කැන්වස් එකකක් නියමෙටම ගැලපෙන්නේ ඔයිල් පෙන්ටින් වලට තමා. ජයවේවා

    ReplyDelete
    Replies
    1. හික්ස් ඒ කියන්නෙ මේ වගේ චරිතයක් ඔයා තුලත් ඉන්නවා වගේ ;)
      මීට කලින් එක එක කතා ලිව්වට කෙටි කතාවක් ලියන්න ඕන කියල හිතල ලිව්ව පලවෙනි කතාව මේක. හොඳ ප්‍රතිචාර ලැබෙද්දී නම් ගොඩක් සතුටුයි.
      මම කැන්වස් වල චිත්‍ර ඇඳල නෑ .තෙල් සායම් පාවිච්චි කරලත් නෑ හැබැයි කතාව ලියද්දි මගේ හිතේ මැවුන රූපයට ඒ දේවල් ඕන උනා .දියසායම් වලින් චිත්‍ර ඇඳල විදිහ මතක් කරලා මේක ලිව්ව.කතාව ලියන්න කලින් මේ ගැන හිතන්න පොඩ්ඩක් හිතන්න තිබ්බ ...හ්ම්ම් පලවෙනි එකනෙ ඊළඟ කතාවෙ මීට වැඩිය හොඳට ලියන්නම් ... ගොඩක් ස්තුතියි අය්යෙ :)

      Delete
    2. එතකොට අර බොයිලර් කතාව, එකත් ටනිකක් පරිකල්පනය හරහා ගොඩනගපු කෙටි කතාවක් වගේ. ජය වේවා

      Delete
    3. :D කෙටිකතාවක් ලියනවා කියල හිතල ලිව්ව කතාවක් නම් නෙවෙයි ඒක.බස් එකේදී යද්දී කුකුල්ලු පටවපු ලොරියක හිටිය බෙල්ල එලියට දාපු, මරන්න ගෙනියන කුකුලෙක් දැකල ලිව්ව එකක්. ඇත්තටම ඒක ලිව්ව එක හේතුවක් තමයි සත්තු ගැන,උන්ට දැනෙන වේදනාව, සත්තුන්ගෙ නිදහසක් නැති ජීවිතය ගැන අපි මීට වැඩියෙන් හිතන්න ඕන කියන දැනෙන්න හරින්න. කෙලින්ම කියනවට වඩා කතාවකින් ඒ පණිවිඩය දුන්නොත් හොඳයි කියලයි හිතුනෙ.එකත් හැබැයි කෙටි කතාවක් වගේ තමයි :)

      Delete
  5. ලස්සන නිර්මාණයක් හංසි. හදිස්සියට කියෙව්වෙ. ඒත් හිතට වැදුණ. චිත්තරූප මැවීම නියමයි. ජය !!!

    ReplyDelete
    Replies
    1. චිත්ත රූප මැවීම අතින් මම සාර්ථකයි එහෙනම් ;) හදිස්සියෙන් හරි ඇවිල්ල කියෙව්වනේ ගොඩක් ස්තූතියි :) ඊළඟ වතාවේ තව හොඳට ලියන්නම් :)

      Delete
  6. ලිපියනම් ලස්සනයි හංසි..

    ඔය විදියටම ලියාගෙන යන...දිගටම..

    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි...... අනිවා මීට වැඩිය තව හොඳට ලියන්න අදහසින් ඉන්නවා :)

      Delete
  7. Replies
    1. අනේ ..... ??? මෙහෙම ලිව්වම ප්‍රශ්නාර්ථ ගොඩාක් ඔළුවට එනවනෙ :D .... කොහොම උනත් මේ පැත්තෙ ආවට ස්තුතියි....සාදරයෙන් පිලිගන්නවා :)

      Delete
    2. මං ඒ ගැන නම් එච්චර හිතුවෙ නැ. එත් මට අනේ කියවුනේ මෙ කතාවේ අවසානය දැක්කම. ඒ වුනාට ඇත්තත් ඕකමනේ ඉතින්. ගොඩක් අය ආදරේ කරාට ජීවත් වෙන්න වෙන්නෙ තව කෙනෙක් එක්ක....

      Delete
    3. හ්ම්ම් ..අපි හිතන හැමදේම අපිට නෑනෙ ..........

      Delete
    4. ඒකනෙ ඉතින්, දුකයිනේ.....

      Delete
  8. අහම්බෙන් ආවෙ මේ පැත්තට... ලස්සන නිර්මාණයක්.. දිගටම ලියන්න.. :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අශාන් ..සාදරයෙන් පිලිගන්නවා .. :)

      Delete