Tuesday, September 9, 2014

කියා දෙන් මගෙ හිතට

අළු පාට වලාරෝද 
වසා නිල් වන් අහස 
වැහි බින්දු ඇද වැටෙයි 
හෙමි හෙමින් සීරුවට 
හිස මතට වැටෙන බිඳු 
රූටමින් දෙකොපුලට 
ගලායයි කඳුලුසේ 
ඔච්චමට මෙන් සිතට 

තෙමි පෙඟී  කඳුළින්ම 
තෙත බරිත වු හිතට 
තව කඳුළු කුමකටද 
දෙකොපුලින් රූටන්න 
ඔබ එදා ගිය පටන් 
ගිලන් වු මේ හිතට 
අරමුණක් නැත තවම 
දිවිය දිගු මං යන්න 


වීදී වල ගලා යන 
කුණු කසල පිරි වතුර 
දෙප මතින් ගලායයි 
හිරිකිතක් නැත තවම 
මාර ගස් අතු අතරෙ 
සිට ගලන වැහි දියර 
මුළු ගතම තෙමාලයි 
කඳුල  සිත තෙමු ලෙසට 


ආ මගත් යන මගත් 
මං මුලා වූ කලෙක 
දෙපා විත් නතර උනි 
මාර ගස් සෙවන යට 
හමු උනෙද වෙන් උනෙද 
මේ විසල් තුරු යටින 
මලත් මට කම් නොවෙයි 
මේ මතක පෙත් අතර 


හිරි පොදත් දරුණු වී 
ඇද වැටෙයි රළු ලෙසින 
ඔබ නොඑන බව දැනත් 
සිත තවම අද මෙතැන 
කියා දෙන් මගෙ  හිතට 
ඔබ ම තැර ගියපු බව 
සිත තවම සොයන්නෙ 
ඔබේ නිල්  නුවන් යුග ..........




පසුව ලියමි : හැමදාම උදේ තාත්ත එක්ක බයික් එකේ යද්දී  ඉස්සර මං කලේ ෆොටෝ ගන්න එකනේ .අද අලුත් අදහසක් පහල උනා .ඒ කවියක් ගොතන්න.අද ටිකක් වැස්ස දවසක්නේ බයික් එකේ යද්දි  පුංචි පුංචි වතුර බින්දු ඇවිල්ල මූණ තෙමද්දි ,අහස වහගෙන තිබ්බ අළු පාට වලාකුළු දකිද්දී  හිතට ආපු පද වැල් කීපයක් .මුල ටික ෆෝන් එකේ ලියල memo වල save කරලා ඉතිරි ටික  ආයේ  බස් එකේදී ලිව්ව.හවස  කෝච්චියේ එන ගමන් තව පදවැල් ටිකක් ගෙතුවට ප්‍රසිද්ධියේ ටයිප්  කරන්න ලජ්ජා හිතුන  මොකද කවුරු හරි කියෙව්වොත් ;) ඒ ටිකත් මතක තියාගෙන කොච්චියේත් හොඳ නින්දක් දාල  අන්තිමට ගෙදර ඇවිත් කවිය සම්පූර්ණ කලා .මේ මගේ බ්ලොගේට ලියන පලවෙනි කවිය අඩුපාඩු ඒමට ඇති .ඔයාලට දැනෙන දේ ලියල යන්නකෝ ."අපෝ මේ මොකක්ද ..අන්තිම සවුත්තුයි " කිව්වත්  කමක් නෑ ..හි හී මේ ආරම්භයනෙ  :) 


9 comments:

  1. හොඳ ආරම්භයක්... දිගටම ලියන්න.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිහින :)

      Delete
  2. මරු මරු.. මාත් කොමත් බයික් එකේ යද්දී තමයි ගොඩක් කතා හිතන්නේ.. වැඩේ කියන්නේ ගෙදර එද්දී සමහරදාට ඒවා අමතක වෙන එක..

    ReplyDelete
    Replies
    1. හි හී ..ඒක තමයි... මහා ගොඩක් හිතන් එනවා ගෙදර එද්දි ඔක්කොම අමතකයි :D

      Delete
  3. ඔය ලියල තියෙන්නේ යසට..

    ඔහොම යං..ඔහොම යං..

    ReplyDelete
    Replies
    1. සතුටු හිතෙන කමෙන්ටුවක් ..ස්තුතී :)

      Delete
  4. නුඹ වෙන්ව ගිය බව පිලිගන්නෙ මම කෝම
    නුඹට කල ආදරේ වෙනසක් නෑ මගෙ තාම
    නුඹ දුන්න දුක ඉතිං ඉවසන්නෙ මම කෝම
    නුඹෙ නමින් හඬන්නට කඳුළු ඇත තව බෝම

    සරසවි බිමේ සුවඳැති මල් පිපෙයි හැමදාම
    මල් සුවඳ විඳගන්න අහිමියිද මට ඒ වරම
    නුඹ වෙන්ව ගිය බවක් ඉතින් නොම දැනම
    ගහකොලත් මුමුනාවි මතකයන් අපි ගැනම

    වස්සානය ඇද හැලෙයි කඳුළු කැට අතරින්ම
    තෙමෙන්නට හිතක් නෑ ඉතින් මට පෙරසේම
    වැහි බින්දුවල සිසිල දැනෙන්නේ මට කෝම
    නුඹට ඇති ආදරෙන් උණුසුම්ය හිත තාම

    නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
    ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
    තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
    පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම.......

    ReplyDelete
    Replies
    1. ජය වේවා නංගියෝ, තව ලියන්න, ඔයාගේ තාලය ලස්සනයි, වචන වලට නිදහසේ ගලාගෙන යන්න ඉඩ දෙන්න. සුබ පතනවා ඉදිරියට.

      Delete
  5. නියමයි !!!!!! හිතාගන්න බෑ .. හරිම ලස්සනට ලියල :) :) ...මෙහෙම ලියද්දි කවියෙන්ම රිප්ලයි කරන්න නේ හිතෙන්නෙ හි හී ..කවි පිලිතුරටයි දිරිගැන්නු වටයි ගොඩක් ස්තුතියි :)

    ReplyDelete