Saturday, September 13, 2014

බ්‍රොයිලර්



මං ඉපදුනෙ පුංචි ගොවිපලක ගොවිපොළක් කිව්වම ඔයාල හිතින් මවා ගනී එක යායට  ලස්සනට තණකොළ වැවිච්ච පොළවක  නිදහසෙ  එහෙමෙහෙ තණකොළ කකා යන හරක් රංචු ඉන්න ,චුටි චුටි පණු පැටව් ඇහිඳින් යන කුකුල්ලු ඉන්න,කෙළවරක තියන පොඩි පොකුණක නිදහසේ ජල ක්‍රීඩා කරන තාරාවෝ ඉන්න ලස්සනම ලස්සන ගොවිපොළක්.ඒත් මං එච්චර වාසනාවන්තයෙක් නෙමෙයි.මං ඉපදුනේ පුංචිම පුංචි කුකුල් කූඩුවක.හුස්ම ගන්නවත් ඉඩක් නැති හරිම අපිරිසිදු කුකුල් කූඩුවක.අඳුරු වෙච්ච  ගොවිපළක, උළු දාපු වහලේ, ආලෝකය එන්න දාල තිබ්බ පාසි බැඳුනු වීදුරුවෙන් එන යන්තම් ඉර එළියෙන් අවට දැක්ක මිසක් වෙන ලෝකයක් මං දැනන් හිටියේ නෑ .ඒත් අර මං කලින් වගේ කිව්වා ලස්සන ගොවිපලවල්  තියනවා කියලනම් මං පුංචිකාලේ අහල තිබ්බ ඒ මගේ අම්මගෙන් .


ඉපදුනු මුල් දවස් ටිකේ අම්මගෙ උණුහුමයි  අම්මගේ සුවඳයි දැනුනට, පස්සෙ පස්සෙ මං මේ මොන අපායකද ඉන්නේ කියල හිතුන ඒ තරමටම වටේටම ජරාව.අපි ඔක්කොම හිටියේ එක ගොඩේ.නිදහසේ ඇවිදින්න හුස්ම ගන්න පොඩ්ඩක් වත් ඉඩක් තිබ්බේ නෑ.අඩුම තරමේ සෙල්ලන්කරන්න කියලවත් ඉඩක් නෑ අපිව වට කරලා තිබ්බේ පුංචි දැල් කුඩුවක  මගේ පුංචි ඇග එලියට දාල රිංගල  දුවල දුවල එලියට ගිහිං ආයෙමත් එන්න හිතුන වාර අනන්තයි.ඒත් ගොවිපල මුල්ලේම ගැටගහල හිටිය අර කැත තඩි  හොම්බ තැලිච්ච බලු තඩිය මතක් වෙද්දී එහෙම දුවන්න බයයි.මේ පුංචි කුඩුවෙන් එහාට ලස්සන ලෝකයක් තියනව කියල දැනගත්තෙ රෑට රෑට නින්ද යන්න අම්ම කියන ලස්සන ලස්සන කතාවලින්. 

"අම්මේ කවද්ද අපි ඒ වගේ ලස්සන තැනකට යන්නෙ" කියල අහන හැම සැරේම  අම්මගේ ඇස් වල කඳුළු පිරුන විතරයි මට මොකවත්ම කිව්වේ නෑ.



අපිව බලාගන්න හිටියේ හෙන උස මහත කොන්ඩේ  තැනින් තැන සුදුවෙලා ගිය මනුස්සයෙක් .ඇස් ගෙඩි රතුවෙච්ච හෙන බයහිතෙන මුණක් තිබ්බෙ.මං වගේම අනෙක් හැමෝම ඒ මනුස්සයට බයයි.හැමෝම කිව්වේ ඒ  රාක්ෂයෙක් කියල.

හ්ම්ම් මනුස්ස රාක්ෂයෙක්........



මගේ අම්මව මගෙන් උදුරා ගත්තෙ ඒ නපුරු මනුස්සය ඒක උනේ මෙහෙමයි .එක දවසක් දා ඒ නපුරු මනුස්සයයි තව මනුස්සයෙකුයි අපේ කූඩුවට ආව. නපුරු මනුස්සය එක්ක ආව ආගන්තුක මනුස්සය කිව්ව 




"අද අපේ ගෙදර පාටියට මට හොඳවයින් බ්‍රොයිලර්  නාම්බෙක් ඕන "


එතකොට අර නපුරු මනුස්සයා පෙන්නුවෙ අපේ අම්මව



"මූ දෙන්නම් මූ හොඳ එකෙක් ..මූගෙන් දැන් මට  වැඩක් නෑ ...ඕනනම් උන්නැහේට දැන්මම ගෙනියන්න ලෑස්ති කරන්නම් "



එහෙම කියපු ඒ නපුරු මනුස්සය කූඩුව ඇරල අම්මව ගෙනියන්න හැදුව .මේ අපායෙ  ඉන්නවට වැඩිය කුඩුවෙන් එලියට යන්න තියනවනම් කොච්චර හොඳද ඒත් එදා ඒ මනුස්සය අම්මව ගන්න විදිහ දැක්කම නම් මට දැනුනේ බයක්.ඒ මනුස්සය  කූඩුවෙන් අත ඇතුලට  දාපු ගමන් ඔක්කොම කුකුල්ලු එහෙ මෙහෙ දුවන්න ගත්ත.එකම යුද්ධයක්... හැමෝම බයේ කෑගහල එහාට මෙහාට පනිනව කාගෙදෝ  ඇඟේ හැපිල මාව පැත්තකට විසි උනා.අමාරුවෙන් ආයේ නැගිටිද්දී ඒ මනුස්සය අපේ අම්මගේ බෙල්ලෙන් ඇදන් එලියට අරන්. මට දුවල අම්ම ගාවට එන්න හම්බුනේ නෑ කුඩුවේ දොර වැහුව.මං හය්යෙන් කෑ ගහල ඇඬුවා.ඒත් මගේ සද්දෙ ඇහෙන්නෙ නැතිවෙන්නැති. අම්ම   තටු ගගහ  හරියට දැඟලුව.ඒත් අර නපුරු මනුස්සය ඒ කිසිත් ගණන් ගන්නැතිව බෙල්ලෙන්ම අරන් අපේ අම්මව ගෙනිච්ච. ඊට පස්සේ ගොවිපලේ කොනක තිබ්බ පොඩි කුටියකට  අම්මව ගෙනිච්ච.කුඩුවේ දැල් අතරින් මං එකේ කවුළුව දිහා බලන් හිටිය.එක දිගටම අම්මගේ විලපේ ඇහුන  එකපාරටම ලොකු මන්න පිහියක් එසවෙනවා දැක්ක ඊට පස්සෙ පිහාටු ගොඩක් අහසට විසිරිල අම්මගේ හඬ නැතිඋනා.බයටම ඇස් දෙක එහෙම්මම වහගෙන මං ගුලිගැහුන.එදා ඉඳන් ආයේ  කවම දාවත් මම ආයේ අම්මව දැක්කේ නෑ.උන් මගේ අම්මව අරන් ගිහින් .....




ජීවිතේ පාළුවත් එක්ක මං ජීවත් උනා.කුඩුවේ කොච්චර කුකුල්ලු හිටියත් අම්ම නැති පාළුව හැම දාම දැනුන.මගේ පුංචි හොටෙන් අර මනුස්සයට ඇනගෙන ඇනගෙන ගිහිං  විනාස කරන්න පුලුවන්නම්.අනේ එහෙමත් හිතුන වාර අනන්තයි.ඒත් අම්ම මට ඉගැන්නුවේ කාටවත් වෛර කරන්න එපා කියල. ඒ නිසා මං ඉවසං හිටිය.කාලයක් යද්දි අපිව අපේ කුඩුවෙන් වෙන්කලා අපේ වයසේ හිටිය අය  වෙනම කුඩුවකටයි .අනෙක් අය  වෙනම කූඩුවකටයි දැම්ම.ඒත් වෙනසක් නෑ අපි හිටියෙ ගුලිවෙච්ච හිරවෙච්ච හුස්ම ගන්න බැරි කුඩුවල.හ්ම්ම් ..අපි පවු කරලා වෙන්නැති.

ටික ටික අපි ලොකු උනා මට හිත ගන්නත් බැරි විදිහට මාව දවසින් දවස මහත් උනා .මගේ අනෙක් අයත් එහෙමයි.සමහර විට අපිට කන්න දෙන අර අප්පිරිය කරපු කෑම  වල මොනා හරි දෙයක් නිසා වෙන්නැති.මට මාවත් දරාගන්න බැරි විදිහට මං තර වෙලා.


දවසක් අර නපුරු මනුස්සය අපේ කූඩුව ගාවට වෙලා ගොඩක් වෙලා බලන් හිටිය අත්ල පිරිමැද මැද ලොකු කෑදර බැල්මකින් අපි දිහා බලන් හිටිය.


"මුන්ගේ ගාන හරි. හොඳ කිලෝ ගානක් තියෙන්නෙ ..හෙට උදේම පටෝගන්න ඕන ..."

එහෙම කිව්ව මනුස්සය රාක්ෂයෙක් වගේ හය්යෙන් හිනාවෙලා යන්න ගියා 


පහුවෙනිදා එළඹුනා .







එදා උදෙන්ම අපි එකා  දෙන්න බෙල්ලෙන් අරන් දැල් පිරිච්ච ලොරියකට පැටෙව්වා.අපි හැමෝම ආයෙත් හුස්ම ගන්න බැරි දැල් වලින් කූඩු කරපු   ලොරියක.එදා පලවෙනි වතාවට මම එලිය දැක්ක.ගහකොළ ඉර  එලිය ,වලාකුළු හරිම ලස්සනයි .ලොරිය ස්ටාර්ට් කරන් යද්දී හෙමිට අමාරුවෙන් කොනේ තියන දැලක් ගාවට ඇවිත් බෙල්ල එලියට දාගත්ත.හරි දැන් ලෝකෙම පේනවා.මොන තරම් ලස්සනද.නැවුම් සුවඳක් ඇවිත් මුළු ඇඟම හිරිවට්ටල යනවා .කොළ පාට ගස් අස්සෙන් ලස්සන සමනල්ලු රොත්තක්ම පියඹනවා.ඈත වලාකුළු පීරලා කුරුල්ලෝ රංචු පිටින් රටා මවනවා .උන් කොච්චර වාසනාවන්තද  මට එහෙම හිතුන .මෙච්චර කල් මං දැක්කේ නැති ලෝකය දැල් අස්සෙන් බෙල්ල දාගෙන මං ආසාවෙන් බලන් හිටිය.ලොරිය පොඩි පාරවල් අස්සෙන් ගිහින්  ලොකු පාරවල්,නගර, හෙන ගොඩක් පහු කරන් කොහේදෝ ලොකු ගොඩ නැගිල්ලක් ලඟට ලඟා උනා.



අපිව ආයෙන් එකින් එක අරන් ඇතුලට ගෙනිච්ච.අපිව තව මිනිස්සු කට්ටියකට බාර දුන්න ඊටපස්සෙ  අර නපුරු මනුස්සයාගේ අතට සල්ලි මිටියක්ම  ලැබුන.නපුරු මනුස්සය කෑදරයෙන්  ඒ සල්ලි ඔක්කොම පපුවට තුරුළු කරගත්ත.ඊට පස්සේ දැක්ක දේවල් වෙච්ච දේවල් කියන්න මට හය්යක් නෑ.මම මහා පවු කාරයෙක්.නිදහස නොලැබිච්ච පවු කාරයෙක්.



මිනිසුනේ අපිටත් ජීවිතයක් තියනවා .ජීවත් වෙන්න අපිත් ආසයි.එත් මොකක්දෝ කරුමෙකට අපේ ජීවිත ලියවෙලා තියෙන්නෙ හරි අවාසනාවන්ත විදිහට.මම උඹලට වෛර කරන්න හිතුනත් මම වෛර කරන්නේ නෑ.ඒත් එක දෙයක් හිතේ තියාගන්න මාත් ආසයි ජීවත් වෙන්න ....................


මේක වෙනස්ම විදිහේ කතාවක් කියල හිතෙයි.ඔව් ටිකක් වෙනස් කතාවක් .මේක ලියන්න හිතුව හේතුව.දවසක් දා  උදේ පාන්දර බස් එකේ කැම්පස් එකට යද්දී බොයිලර් කුකුල්ලු පටවපු ලොරියක් බස් එක පහු කරන් ගියා මං දැක්ක  එකේ දැල් අස්සෙන් එක බොයිලර්  කුකුලෙක් අමාරුවෙන් බෙල්ල දාගෙන වටේම බල බල යනවා ඌ දන්නෙ නැතිව ඇති මේ පටවන් ඊළඟට ගෙනියන්නෙ කොහෙටද කියල.හිතට ආපු පොඩි දුකකුත් එක්ක මේ කතාව ලිව්වා.මම නිර්මාංශ යි. මේක ලිව්වේ ඔයාල මස් කන එක නවත්වන්න නෙමෙයි මස් කන නොකන ඒක  ඔයාලගේ දෙයක්.හිතට ආපු දේ මං ලිව්ව .ඇත්තටම ඒ සත්තුන්ට ජීවිතේ කොහොම දැනෙනව ඇත්ද ?........

15 comments:

  1. ලෝකෙ නිදහස අහිමි වෙච්චම සත්ව කොට්ටාශය කුකුළ්ලො වෙන්න ඇති..
    දැල් වලින් වට වෙච්ච ජරා ගොඩක ඉපදිලා හරියට හුස්මක් කටක් ගන්නවත් නිදහසක් නැතුව අන්තිමට දංගෙඩියට යනවා..
    මම නිර්මාංශි වෙන්න පටන් ගත්තෙ අට වසරෙ ඉඳන්. තාමත් මං නිර්මාංශියි... :)

    මේක කියවන කොට අර ඉස්සර නිවාඩු කාලෙට සිරසෙ ගිය චිකන් රන් ෆිල්ම් එකත් මතක් වුණා..
    :D

    ReplyDelete
    Replies
    1. නිර්මාංශ යි කියන එක අහන්නත් සතුටුයි.මම නිර්මාංශ උනේ 10 වසරෙ ඉඳන් හැබැයි ඉතින් ඒකට එදා ඉඳල ගෙදරින් අනන්තවත් බැනුම් අහනවා :) ........ කුකුල්ලු වගේම මරන්න ගෙනියන හැමසතෙක්ම පව්.උන්ගේ පැත්තෙන් බැලුවම.ඒ සත්තුන්ට විඳින්න කියල ජීවිතයක් නෑ. ...කතාව ලියද්දිනම් film මතක් උනේ නෑ.හැබැයි මාත් chicken run බලල තියනව :)

      Delete
  2. මම නිර්මාංශ නෙවෙයි. මොකද කියනවනං මාළුයි, බිත්තරයි කන නිසා. අනිත් මස් ජාති කන්නෙ නැත්තෙ අප්පිරියාව නිසා. අර රෝස් කරපු කුකුල්ලු එහෙම දැක්කම බඩේ තියෙන දේවල් උගුරට එන්න හදනව.

    මේක කියවගෙන යද්දි මට මතක් උනෙත් Chicken Run ෆිල්ම් එකයි, මේ ලඟකදි ආපු Free Birds ෆිල්ම් එකයි.

    ___

    පුංචි නිවැරදි කිරීමක් වෙන්න ඕනි මං හිතන්නෙ. ‘බ්‍රොයිලර්‘ කියල... :)

    ReplyDelete
    Replies
    1. නිවැරදී කිරීමට ගොඩක් ස්තූතියි.ඔන්න වැරැද්ද හැදුව :)....නිමාංශ උන දවසෙ ඉඳන් මස් ,මාළු ,බිත්තර වල සුවඳත් අප්පිරිය වෙලා ඉන්නෙ....... Free Birds මං බලල නෑ.ඒක බලන්න ඕන. :)

      Delete
  3. කුකුල් පැටියෙක්ගෙ ඇසින් ලෝකය දැකපු විදිය හරිම ලස්සනයි, එත් ඒ ලස්සන අවසානයේ කොහෙන්ද කෙළවර වෙන්නෙ, අපි ගෙවන්නෙත් ඔය වගේ බ්‍රොයිලර් ජීවිත නෙවෙයිද? මමත් නිර්මාන්සයි, එක නම් මම හීන් එකා කාලෙම ඉඳන් රකින ප්‍රතිපදාව, මගේ අතින් පන්සිල් කැඩුනත් මේක නම් කැඩෙන්නේ නැහැ ආයේ ලොවෙත්, නිර්මාන්ස කම ගැන සිසිරචන්ද්‍ර වීරක්කොඩි කියලා කෙනෙක් ලියපු පොතක් හම්බ උනාට පස්සේ ඒ නිර්මාන්ස කමට අවබෝධයක් එකතු උනා, මේ එකේන උපුටා ගත්ත ලිපියක්.

    කොයි වල යන්නද.........

    ReplyDelete
    Replies
    1. http://sonduruminisa.blogspot.com/2012/02/blog-post_17.html

      Delete
    2. නිර්මාංශ යාළුවො ගැන අහද්දිත් හිතට ගොඩක් සතුටුයි..... අපේ ජීවිතත් එක්තරා බ්‍රොයිලර් ජීවිත වගේ තමයි.ඒත් ඒ සත්තු අපි වගේ නෙවෙයි නිදහස කියන්නේ මොකක්ද කියල වත් දන්නෙ නැති අසරණ සත්තු. ලින්ක් එකට ස්තූතියි.දැන්ම කියවන්න ඕන :)

      Delete
  4. free birds ලස්සනයි හංසි. බලන්න. ඔයාගෙ නිර්මාණෙත් ලස්සනයි. කතාවටත් කියනවනෙ උත්සවයක් ලෑස්ති කරද්දි ඒකට මස් මාලු විදියට ගේන සත්තු පණපිටින් ඉන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළු :) ... Free වෙලාවක් හොයාගෙන free bird බලන්න ඕන :)

      Delete
  5. දවසක් අපි දැක්කා කුකුල්ලු ගෙනියපු ලොරියක් හැප්පිලා කුකුල්ලු ගොඩක් මැරිලා ඉන්නවා. තවත් ලොරියක් ඇවිත් ඒ මැරුණු කුකුල්ලු එක්කම පෙට්ටි ටික පටවාගත්තා.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ උන දේත් හිතා ගන්න පුළුවනි ..පව් අහිංසක සත්තු :(

      Delete
  6. කුකුල් ගෙයකට සහනාධාර කුකුල් පැටව් කෑම අනං මනං නිකං ආදායමෙන් 50%
    හුගක් අය කොරන වැඩක් නෙව...
    හරක් මරන අයට කුකුල පෙන්නැත්තෙ කුකුල සුට්ටං හින්ද කියනව නෙව... හෙක් හෙක්...

    අයිසෙ වේටර් මෙහෙ එනව...
    -- ඇයි මහත්තය..???
    බලනව අය්සෙ මෙහෙමද තමුසෙල කස්ටමර්ට සලකන්නෙ???
    --හරි හරි මහත්තය දැං මක්කද වෙලා තියෙන්නෙ??
    අයිසෙ බලනව මේ බත්එකේ මේ මේ... මැරිච්ච මැස්සෙකුත් ඉන්නව...
    -- අන් නිකං යනව මහත්තය යන්න බත් එකේ ඉන්න කුකුල පෙන්නෙ නෑ මැස්සෙක් ගැන කියනව...
    කොහෙද යන පිස්සෙක්....

    ReplyDelete
    Replies
    1. හි හී නියම කතාව :D ආයේ ඉතිං බත් එකේ ඉන්න වැරදිලා වැටිච්ච පනුවෝ ,මැස්සෝ ගැන පැමිණිලි කරන එක නරකයි ;) මං අහල තියන කතාවකට අනුව මස් මාළු කනව කියන්නෙ මැරිච්ච සත්තුන්ට අපේ බඩ ඇතුලෙ සොහොන් ගෙවල් හදනව වගේ දෙයක්ලු ..තව වැඩිය කියන්නේ නෑ .මේවා දැකල මස් මාළු කන්න කැමති අය තරහ වෙයි. :)

      Delete
  7. අපේ බෝඩිම ගාව තියෙනවා මස් කඩයක්, සතියට දවස් දෙකක් විතර උදේ වැඩට යද්දී ලොකු කුකුල් ලොරි පිටින් ඇවිත් පාරේ ඉඳන් කුකුලගේ බෙල්ල අඹරලා ඇතුලට විසි කරනවා..

    උදේ පාන්දර ඔහොම දෙයක් දකිනවා කියන්නේ ඉතින්...................

    ReplyDelete
  8. අපොයි ... :( සතියේ නරකම දවස් දෙක වෙන්නැති ඒ දවස් දෙක

    ReplyDelete