Thursday, January 8, 2015

මම රෝස පොහොට්ටුවක්

හිරු උදෙන්ම ඇහැරිලා. නැගෙනහිර පැත්තේ ඉඳන් හෙමින් හෙමින් නැග නැග ඇවිත්  වලාකුළු අස්සෙන්  අස්සෙන් රිංගල හිරු කිරණ පොලවට විදිනවා.වලාකුළු අස්සෙන් ගිය හිරු කිරණ වල රන්පාට සායම් වලාකුළු හැමතැනම ගෑවිලා.ඒ ගෑවිච්ච කහ රන් පාට සායමුත් එක්ක එකට ගුලිවෙලා අතවැල් පටලව ගෙන  හිටිය වලාකුළු දැන් හෙමින් හෙමින් ඈත්වෙලා  තව තව හිරු කිරණට  පොලව එන්න ඉඩ දෙනව.ඒ ආපු හිරු කිරණක් මූනට වැදුන රතු රෝස ගහ නින්දෙන් ගැස්සිලා ඇහැරුනා.ඈලී මෑළි ගති එහෙම ඇරලා හොඳට කෙලින් වෙච්චි  රතුරෝස ගහ හිරු දිහාට හැරිලා හිනා වී ගෙනම ආයුබෝවන් කිව්වා.  

මේ දවස් වල සීතලත් එක්ක තණ බිස්සේ හැමතැනම  තුෂාර බිඳිති විසිරිලා.තණකොළ වල පැටලිලා  තිබ්බ පුංච් මකුළු දැලක ඉහිරුණු  තුෂාර බින්දු හිරු එලියට ලස්සනට දිලිසෙනවා හරියට මකුළුවන්ගේ ගෙදර ලස්සන බලුබ් වැලක් එල්ලලා වගේ. ඒ විතරක්ද හැම ගහක්ම පිනිබිඳු වලින් නෑවිල.රෝස ගහත් එහෙමයි.රෝස කොළ වල දැති දැති දාර අග්ගිස්සට පිනි බින්දු එකතුවෙලා.  වතුර බීල බීල බඩ  මහත් උනු  සමහර පිනිබිංදු ඒ දැති දාර වල අමාරුවෙන් එල්ලිලා ඉන්නෙ  බර වැඩි නිසාම වැටෙන්න ඔන්න මෙන්න වගේ. ඒ පිනි බිංදු අස්සට හොරෙන් රිංගපු හිරු කිරණ ඒ පිනිබිඳු වටේට දේදුන්නෙ පාට වලින් සායම් අඳිනව.

මම තාම රෝස කැකුළක්. ලා රෝස පාට පිම්බිච්ච පෙති පෙති ගවුම මනිපත්‍ර ඇතුලට ඔබාගෙන ගුලිවෙලා වකුටුවෙලා ඉන්න රෝස කැකුළක්.හෙට තමයි මනිපත්‍ර දොරවල් ඇරිලා මම එලියට එන දවස.කාලයක් තිස්සෙ  බලාගෙන හිටපු ජීවිතේ ලස්සනම දවසක් හෙට උදාවෙයි.උදෙන්ම ඇහැරිලා හිරුත් එක්ක හිනා වෙලා හිරුට ආයුබෝවන් කියන්න. සුලන් සැරට  එහෙට මෙහෙට පැද්දි පැද්දි වටේම ලස්සන බලන්න. රෑන් පිටින් එන සමනලුන් කනට කොඳුරලා කියන කතා අහන්න. එහෙම කතා කියන සමනලුන්ට බඹරුන්ට පැණි ගබඩාවෙන් පැණි ටික ටික ගෙනියන්න දෙන්න. මේ හැමදේටම දැන් ලෑස්තිවෙන්න ඕන. හෙට අලුත් දවසක් ජීවිතේ ලස්සනම දවසක්.

ලාවට අඩවන් වෙලා තිබ්බ මනිපත්‍ර දොරක් අස්සෙන් මම හෙමිහිට එබිකම් කලා.මීට කලින් පිපිච්ච රෝස මල් ගොඩක් හිනා වෙලා හරි සතුටින් ඉන්නවා.රෝසම රෝස පාටට දිලිසෙන අපූරුව.නහය කිති කවන  සුවඳක් වටේටම පැතිරෙනවා.මං  ආසාවෙන් බලාන හිටිය.මලෙන් මලට පියාඹ  එන බඹරු රෝස මල් දැක්කම වේගෙ වැඩිකරගෙනම පියාඹා ඇවිත් රෝස මල්වලට වහනවා. ආයේ හිස් අතින් යන්නේ නෑ රසම රස පැණි ගොඩකුත් අරගෙනම තමා  පියඹල යන්නේ.බඹරු සමනල්ලු පැණි කුරුල්ලො මේ ඔක්කොම මල්වල හොඳම  යාළුවො.ඒ  අය  විතරක් යාළුවො කියන එක නරකයිනෙ .සොබදම්හමේ අපි හැමෝම යාළුවො තමයි. :) 

 පිනි බින්දු දැන් වේලිලා ගිහින්. රෝස කොළ දැන් රන් පාටට දිලිසෙනවා.රෝස පොහොට්ටු පොකුරු පොකුරු. ඒ අතර මං වගේම හෙට දවස එන කන් බලාන ඉන්න රෝස පොහොට්ටු ගොඩයි. රෝස මල්  රෝස පොහොට්ටු මේ හැමෝම මම වගේම ඉර එළියෙන් ප්‍රබෝධමත්වෙලා. 

ඈත ඉඳන් ආපු ලස්සන සමනලයෙක් මං ලඟම  තිබ්බ රෝස මලට ලං උනා. රෝස ගහේම තිබ්බ ලස්සනම ලස්සන මලට කඩවසම් සමනලයෙක් ඇවිදින්. ගොඩක් වෙලා මලත් එක්ක කතා කරනවා.එක පාරටම අහසට ගිහින් ලස්සන නැටුමක් නටල ආයෙත් ඇවිත් අර ලස්සනම ලස්සන රෝස මලට ලං උනා.මම හොරැහින් බලාන හිටිය.ඇස් වශී කරන ලස්සනක්.හෙට මා ගාවටත් ලස්සන සමනලයෝ එයිද මගේ හිත මගෙන්ම අහනව.ලෝකේ වටේම පියාඹන සමනල්ලු  හැමදාම උදේට හවසට ඇවිත් මල් එක්ක එයාලගේ කතා කියනවා.ලෝකේ වටේ එයාල ගියපු තැන්.ගස් ගැන, විශාල සත්තු ගැන,අරුම පුදුම නගර ගැන, මිනිස්සු ගැන මේ හැම ජාතියේම ලස්සන ලස්සන කතා කියන්න එයාල අපි ගාවට එනවා.ඒ එන හැමෝටම රසම රස පැණි දීල ආයෙත් දවසක එන්න පාර කියනවා.මම ආයෙත් හොරැහින් අර ලස්සන සමනලය දිහා බලන් හිටිය.මේ රෝස මලට වගේ ලස්සනම සමනලයෙක් මටත් පෙම් බඳී ද  දන්නේ නෑ  හි හි ..මම තනියම හිනා වෙනවා නේද :)   එයා  හරිම ලස්සනයි. ලස්සන පාට පාට  තටු දෙකක් එයාට  තියෙන්නෙ. මලත් එක්ක ලොකු කතාබහක්. අනේ මන් ගාවටත් එනවනම් කියල හිතුන. ගොඩක් වෙලාවක් ඉඳල අන්තිමට  පැණි ගොඩක් බීල බීල මත්උන ඒ ලස්සන සමනලය නවත්වන්නෙම නැතිව නටනවා. රෝස මල වටේටම කැරකි කැරකි නටනවා. රෝස මලත් ඒවා දිහා බලාන හය්යෙන් හිනා වෙනවා.අන්තිමට මහන්සි දනුන සමනලය  රෝස මලට ආයෙත් ලංවෙලා  රහසින් හාදුවක් දීල ඉගිලිලා ගියා. සමනලගේ හාදුවට රෝසමල ලැජ්ජාවෙන් රතුවෙලා ගිහින්. දැන් තවත් ලස්සනයි.

මේ ඔක්කොම බලාන හිටිය මට මොකක්දෝ කියාගන්න බැරි සතුටකින් හිත පිරිලා.හුලඟේ ලතාවට හෙමිහිට හෙමිහිට පැද්දී  පැද්දි  ආයෙත් වට පිට බැලුව. තවත් මලකට පැණි කුරුල්ලෙක් වහල. හරිම හදිසියක්  වගේ. වේගෙන් ගහන තටු සැරට හුළඟත් කැළඹිලා. ඉක්මනට ඉක්මනට හදිසියෙන් ආපු පැණි කුරුල්ලා ආපහු බලන සුනංගුවෙන් ම  පියඹල ගිහින්.

වටේටම කුරුල්ලෝ සින්දු කියා කියා නටනවා.මේ සොබාදහම කොච්චර ලස්සනද.මම තවත් වට පිට බැලුව. ඈතින් ඈතින් ලස්සන මල් ගොඩක් ඒත්  ඒ මල් වලට  වඩා  අපි ලස්සනයි. ඒ මල් වලට වඩා අපි සුවඳයි. ඒක  හින්දම වෙන්නැති හිතේ පුංචි ආඩම්බර කමක් තියෙන්නේ.මම මෙහෙම හිත හිත  ඉන්නකොට එක පාරටම අපි හිටිය රෝස අත්ත පාත්වෙනවා දැනුන.තවත් ලස්සන සමනලයෙක් වත් වහලද මම එබිලා බැලුව අම්මේ නෑ...
කැතම කැත කොලපාට පනු  තඩියෙක්.කොලපාට ඇඟේ කළු පුල්ලි වැටුන පනුවෙක්.පනුව දකිද්දී කොච්චර බයවුනාද කිව්වොත් හුස්ම ගන්නත් අමතක උනා.හැමෝම බයෙන් කෑගැහුව.රෝසමල් බයවෙලා අඬන්න ගත්ත.මාවත් බයෙන් හොඳටෝම ගැහෙන්න උනා. පහල ඉඳන් ඉහලට රූට රූට ආපු පනුවා එකපාරටම නැවතිල  ලඟම තිබ්බ රෝස පොහොට්ටුවක් කිසිම හැඟීමක් නැතිව කාල දැම්ම.ඒක දැකපු අපි හැමෝගේම බය තව තවත් වැඩිවුණා.

හුළඟත් දරුණු වුණා.රෝස ගහත් එහාට මෙහාට පැද්දිල පනුවව විසි කරන්න හැදුව. ඒත් වැඩක් උනේ නෑ .ඌ තදින්ම රෝස ගහ බදාගෙන. තව තව ඉහලට නගින්න හදනවා.හැමෝගෙම විලාප සද්දෙ ඇහෙනවා.ඒත් මේ රාක්ෂ පණුව නෙවෙයි නවතින්නෙ.දැන් ඌ අපි දිහාට එනවා ..දෙවියනේ ....

අනේ දෙවියනේ රෝස කටුවක් ඇනිලා  හරි මේ පනුවව මැරීයන්....බයෙන් ගැහි ගැහීම මම පණුව දිහා බලන් හිටිය එකපාරටම ඒ රාක්ෂ  ඇස් දෙක මාව දැක්ක.කෑදර හිනාවකින් රූට රූට මා දිහාට එනවා. රෝස කටු තියෙයිද කියලවත් ගානක් නෑ හැම රෝස කටුවක්ම මග අරගෙන එන පරිස්සමට හැටි. 

අනේ මම ඉවරයි......  දැන් මූ  මාව කා  දමාවි.... හෙට ලස්සනට පිපෙන්න හිතපු හීන ඔක්කොම මේ පණුව විනාස කර දමාවි... මාව එක හුස්මට ගිලදාවිද ...  මාව කා දමල මගේ රෝස පාට ඇඳුම  ඉරා  දමාවි. අනේ මම හෙට ඉරිච්ච ඇඳුම් ඇඳන් හෙට උදේම පිපෙන්නේ කොහොමද  :( .. හැමෝම අහක බලාවි ලස්සන සමනලයෝ මාව පහු කරන යාවි. කවුරුත් මා දිහා බලන එකක් නැතිවෙයි. අනේ කවුරුවත් නැද්දෝ ..මාව බේරගන්න අනේ කවුරුවත් නැද්දෝ ..

දැන් දැන් පනුව මං ළඟටම  ලංවෙනවා.ඌගෙ කෑදර  ඇස්  ම දිහාමයි. අනේ බේරගන්න ..මු මාව කන්න එනවා ..බේරා  ගන්න ... දැන් ඒ තඩි පනුව මං ඉස්සරහ. තව මොහොතකින් මාව කා  දමාවි. ඌගේ විශාල කට එකපාරටම ඇරෙනකොට මම බයෙන් කෑගහල  ඇස්  වහගත්ත. අනෙක් රෝස මල් වල විලාප සද්දේ මට ඇහෙනවා. දෙවියනේ මාව බෙර ගන්න .. දෙවිය .........

එකපාරටම මගේ ඇඟේ  මොකක්ද වැදිලා ගියා. මෙච්චර වෙලා ඇහිච්ච විලාප සද්දේ එකපාරටම නැවතුන. හැමෝම සතුටින් කෑගහනවා අහ්හ්..  මම හෙමිහිට ඇස ඇරලා බැලුව. කොහෙන්දෝ ඉඳල ආපු කුරුල්ලෙක් අර රාක්ෂ පනුවව හොටෙන් ඇදගෙන ගිහින්. ඈතට පියඹා ගෙන  යන කුරුල්ලගේ හොටේ ඉඳල දඟලන පණුව මට ලාවට පෙනුන. ඇති යාන්තම්... හොඳ වැඩේ නපුරු පනුවට... මම බේරුනා.....වාසනාවන්ත රෝස පොහොට්ටුවක් කවුදෝ කියනවා ඇහුන. 

මම සතුටින් හැමෝම එක්ක හිනා උනා. හැමෝගෙම බය නැතිවෙලා.හැමෝම සතුටින් කෑගහන්න ගත්ත.එක පාරටම කොහේදෝ ඉඳල ආපු ලස්සන සමනලයෙක් මා ලඟින් වැහුව. මාව එකපාරටම ගැස්සිලා ගියා.මම පාන්දර දැක්ක සමනලයටත් වඩා  ලස්සන සමනලයෙක් දැන් මා  ගාව. මේ  හීනයක්ද ඇත්තක්ද මටම  අදහගන්න බැරිඋනා.එයාට  තිබ්බේ ලස්සනට වැඩ දාපු රන්පාට දිලිසෙන තටු. ලස්සනම ලස්සන මුහුණක්..මුළු පරිසරයම එකපාරටම නිහඬ වුනා. සමනලය මා දිහාට ලංවුණා. එයාගේ ලස්සන බෝල ඇස් එක එල්ලෙ මා  දිහා බලාන උන්න.ලස්සනම ලස්සන හිනාවකින් මට සංග්‍රහ කලා.

දන්නවද එය මට මොනාද කිව්වේ කියල....

ඔයා වාසනාවන්ත රෝස පොහොට්ටුවක්. ඒ වගේම ලස්සනම ලස්සන රෝස පොහොට්ටුවක්. ඔයාව ලස්සනට පිපුනම මේ රෝස ගහේ  තියන ලස්සනම රෝස මල ඔයා වෙයි.මං අද ඈත කෝපි මල් ගාව ඉඳල ඔය දිහා බලාන හිටියෙ.මං මෙච්චර කල් දැක්ක ලස්සනම  රෝස පොහොට්ටුවක් ඔයා.අර නපුරු පණුව ඔය දිහාට එද්දී මට හොඳටම බය හිතුන.ඔයාව කා දමාවි කියන බයටම තමයි මම ඉක්මනට පියඹල ගිහින් මගේ කුරුළු යාලුවට මේ සිද්ධිය කිව්වේ.මට සතුටුයි.තාමත් බයවෙලා නේද. එකනේ ඔය කතා නැත්තෙ ...කවද්ද ඔයා ඔය මනිපත්‍ර දොරටු ඇරන්  එලියට එන්නෙ.මම ආයෙත් දවසක එන්නම් ඔයාව බලන්න.මම එන කන් මග බලන්  ඉන්නවද ? එහෙනම් පරිස්සමින් ඉන්න. මම යන්නම් දැන් ...

 එහෙම කිව්ව ඒ වශිකාර සමනලය එක පාරටම අහසට නැගල ලස්සනම නැටුමක් නටල ම දිහා බලල හිනා වෙලා ඈතටම ඉගිලිලා ගියා ..මට මොන උනාද මම දන්නේ නෑ.හැමදේම හීනයක් වගේ මට ඇහුනෙ මම පුදුමෙන් වගේ එයා  දිහා බලාන හිටියේකියන්න කිසිම දෙයක් මතක නැතිව. ගොලුවෙලා. වට පිටවෙන් දැන් ආයෙත් සතුටින් කෑ ගහන අත්පොලොසන් දෙන සද්දේ ඇහෙනව.මාව කන්න ආව නපුරු පණුවෙක් එකපාරටම ලස්සනම ලස්සන සමනලයෙක් මේ හීනයක් නෙමෙයි නේද නෑ  එක හීනයක් නෙමෙයි ඒත්  තාමත් අදහගන්න බෑ.  ඈතට ඉගිලිලා යන සමනලය දිහා මං සතුටින් බලන් හිටිය.

සමනලයෝ මට කියාගන්න බැරි උනා. හෙටයි මගේ ජීවිතේ ලස්සනම දවස.. ඔය හෙට එනවා නේද ..අනේ නොවැරදීම එන්න ..ඔව් සත්තයි මම බලාන ඉන්නව.....................



19 comments:

  1. මල් කන දළඹුවොම නේද පස්සෙ කාලෙක රන්වන් සමනල්ලු වෙන්නේ?
    ලස්සන කතාවක් හංසි
    නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ණ ...රෝස පොහොට්ටුව දළඹුවන්ටයි පනුවන්ටයි බයයි. රෝස මල් කාල දානවනෙ.හැබැයි ලස්සන සමනලයන්ට නම් ආසයිලු :)
      වර්ණගේ බ්ලොගේට මොකද උනේ ? මට ඒක දැන් පේන්නෙ නෑනේ .බ්ලොගේ අයින් කලා වත්ද ?

      Delete
    2. නෑ නෑ තියෙනවා. ඇයි පෙන්නන්නැත්ද?
      http://warnakulakaya.blogspot.com

      Delete
    3. මට පෙනෙන්නෙ මෙහෙමනෙ
      Blog has been removed
      Sorry, the blog at warnakulakaya.blogspot.com has been removed. This address is not available for new blogs.

      Delete
  2. සාර්ථක නිර්මාණයක් හංසි. මේකෙ යටි අරුතකුත් තියෙනවද මන්ද.. ;)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අශාන් ..යටි අරුතක් නැතිවයි ලිව්වෙ.රෝස පොහොට්ටුවකට දැනෙන විදිහ කොයිවගේ වෙයිද කියල හිතින් මවාගෙන ලියපු කතාවක්.තව ටිකක් ගැඹුරෙන් හිතුවොත් යටි අරුතකුත් ගන්න පුළුවන්. :)

      Delete
  3. හීනයක් වුනත් හරිම අපූරුයි. හංසිගේ හංස සිතුවිලි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන් අය්යේ...මේක හිතින් මවාගෙන ලියපු කතාවක් :)

      Delete
  4. ඒක ටිකක් අමුතුයි
    මං කීවෙ වෙනස්
    ඒත් මරු
    මරු කියන්නෙ අමුතු ගතියක් තියෙනව
    දිගටම ලියාන් යකෝ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. හි..හී ... ලියන්නම් ලියන්නම් .කොහෙද වැඩ වැඩිවෙද්දී හිතට මොන සිතිවිල්ලක් වත් පහල වෙන්නෑනේ ලියන්න.නිර්මාණය සාර්ථකයි නම් සතුටුයි.එත් ලියල ආයේ කියවද්දී හිතුන තව හදාගන්න අඩුපාඩු ගොඩයි කියල ..ස්තිතියි මහේෂ් අය්යෙ :)

      Delete
  5. කොහෙද අර ට්‍රාන්ස්ලෂන් එක?

    ReplyDelete
    Replies
    1. ට්‍රාන්ස්ලේෂන් එක කලේ කොටසයි ඒ ටික යාලුවට යැව්ව. :)

      Delete
  6. එල....
    කියන තරම් යකා කළු නෑලු කියන්නේ ඇත්ත තමා!!!

    ReplyDelete
    Replies
    1. යකා දිහා බලන විදිය අනුව තමයි. :P කළු යකත් පස්සේ සුදුවට පේන වෙලාවලුත් තියනවනෙ. ස්තූතියි රූපෙ.. මෙහෙට ගොඩ වැදුනෙ පලවෙනි වතාවට නේද ඔන්න සාදරයෙන් පිලිගන්නවා. :)

      Delete
  7. දලබුවම තමා කාලෙකින් සමනලයෙක් වෙන්නේ මරු මල් මල් කතාව :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හොරා :D

      Delete
  8. ගෑනු ළමයෙක් මේ දොරට වැඩීමේ මංගල්ලෙට ගොඩාක් පෙරුම් පුරනවා කියන එක දැන් හොඳින්ම දන්නවා.. හෙට අනිද්දා වෙනකොට මගේ රෝස පොහොට්ටුවත් පූදින්න පෙරුම් පුරයි කියල හිතෙනකොට වැඩුණු රෝස ගහක් විදියට අමුතුම බර සතුටක් හිතට එන්නේ.. දුවගේ පැත්තෙන් එයා ගැන හිතන්න කල්පනා කරන්න පෙළඹවීම ගැන හංසි ට ගොඩාක් ස්තූතියි.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. සරලව ලිව්ව කතාවකට ගැඹුරු අර්ථකතනයක් එක්කරල .ඇත්තටම කතාව දිහා ඒ විදිහට බලන්නත් පුළුවන් :) .ගැහැණු ළමයෙක් ජීවිතේ පෙරුම්පුරන ගොඩක් දේවල් තියනව.දුවෙක් ඉන්න තාත්ත කෙනෙක් විදිහට කල්‍යාණ මිත්‍ර ලිව්ව මේ කමෙන්ටුව දකිද්දි මටත් ලොකු සතුටක් දැනුනෙ.තාත්තා කෙනෙක්ට දැනෙන, තාත්තගෙ ඇස් වලින් බැබලෙන ඒ සතුට දකින්න පුළුවන් වෙන දුවෙක් වෙන එකත් වාසනාවක් :)

      Delete
  9. මේ මගේ බ්ලොග් කතා කියවපු යහළුවෙක් කතාව කියවල මට එව්ව පිළිතුරක්.හැමදාම මගේ කතා කියල මට අදහස් දෙන ඔහු වෙනුවෙන් ඔහු මට එවපු කමෙන්ටුව මෙතන ලියන්නම් .. :D
    oba heta pipena lassana rosa pohattaknam mama oba langata ena samanalayek wennam, evita maa thadi panuwek kiyaa moona harava ganna epa :D

    ReplyDelete