Sunday, May 11, 2014

තාත්තා

වෙලාවකට "චූටි දුව "  වෙලාවකට  "පොඩ්ඩි " වයස අවුරුදු  20 කටත් වැඩී එත් මං තාම තාත්තගේ චූටි දුව ...අද අම්මාවරුන්ගේ දිනයලු ..මට අද තාත්ත ගැන ලියන්න හිතුන . තාත්තා ....හ්ම්ම් කොච්චර නම් ලියන්න තියනවද තාත්ත ගැන ....

මං චූටිකාලේ මට තාත්ත එක්ක වැඩිය  ඉන්න හම්බුනේ නෑ  හමුදාවේ අයට නිවාඩු අඩුයිනෙ.  තාත්තත් එන්නේ මාසෙකට සැරයක් ඒ ආවත්  ඉන්නෙත් දවස්  හතක්  , අටක්  සමහර මාසවලට වැඩ වැටුනම ඒ එන්න වෙන්නෙත් නැ . එනිසා තාත්ත ගාවට වෙලා ඉන්න ,තාත්ත එක්ක සෙල්ලං කරන්න වැඩිය හම්බුනේනැ , තාත්ත වැඩිය හම්බුනේ නැති,දැක්කේ නැති නිසාම තත්ත ගැන  මොන හරි විශේෂත්වයක් දැනුන ..ඒ නිසාම තාත්ත එනවා කියල ආරංචිය අම්මගෙන් ආවම ඒක අපිට  හරි ලොකුදෙයක් උනා.  තාත්තව දකින්න, හම්බවෙන්න, ළඟ ඉන්න එක  වගේම තාත්ත ගෙදරට එනකොට හරියට දැනුනේ වීරයෙක් ගෙදර එනවා වගේ..ඒ කාලේ මං  යාළුවොත් එක්කත් හරියට තාත්ත ගැන කිව්වා වගේ මතකයි.. මගේ තාත්ත ආමි  එකේ කියල චූටි කාලේ කටියව බය  කරා  කියලත් මතකයි (හි..හී  .. )
ඇත්තටම කිව්වොත් තාත්තට චූටි කලේ ඉඳලම මොකක්දෝ ගෞරවයක්  තිබ්බ ..අම්ම උනත් හැමදේම තාත්තාගෙන් අහල කරන්නේ අපි මොනා  හරි දඟ වැඩ කලත් අම්ම කියන්නේ තාත්තට ඒ නිසාම අම්ම කිව්ව මොනා හරි වැඩක් කලේ නැත්නම් ,තාත්ත කිව්වා කියල දැන ගත්තොත් ඒ වැඩේ අනිවාර්යෙන් කරනවා .ඒගැන දන්නා නිසාම අම්ම අපිට කියල වැඩක් කරගන්නේ තාත්ත අරහෙම කිව්වා මෙහෙම කිව්වා කියල ...

       තාත්තට චූටිකාලේ අපි බයයි අපේ අය්ය  කරන තරමක් දඟ වැඩකරලා තාත්ත ගෙන්  ගුටිකනව දැක්කම මටත් බයයි  ඒ  විතරක් යැ  මමත් හොඳට ගුටිකාලා තියනවා ..බැනුම් කෝටියක් විතර අහල තියනවා .එහෙම  බය නිසාමද ,තාත්ත ළඟ නැති නිසාමද දන්නැ  තාත්තට වැඩිය සමීප උනේ නැ .නිදා ගන්න උනත් දිව්වෙ  අම්මගේ උකුලට ,කම්මැලි උනත් යන්නෙ  අම්මගේ පස්සෙන් .විහිලු ,රණ්ඩු , එකට එක කියන ඒවා  මේ හැමදේම අම්මත් එක්ක තමා ..තාත්තත් එක්ක කතාකලේ පරිස්සමින් ...හැබැයි අම්මත් එක්ක රණ්ඩු වෙලා තරහ  උනාම නම් අම්මගේ ඉස්ස්සරහ තාත්ත ගැන හොඳ කිව්වා .හි හී ..ඒ අම්මව අවුස්සන්න .. "ඔයා  ඕන නැ  තාත්ත තමා  මට වැඩිය ආදරේ " කියල කිව්ව අවස්ථා  ඇති තරම් තියෙන්න ඇති  ...චූටි කාලේ එහෙමනෙ ඉතින් ;)

  මට මතකයි  ඉස්සර තාත්ත  ගෙදර එද්දි  අපිට ටින් කරපු චීස්  ගේනව. ඒ චීස්  තාත්තලට හම්බෙන්නෙ  යුද්දෙ කාලේ කැලෑවේ කඳවුරු වල   දවස් ගණන් ඉඳිද්දි .එහෙදි කන්න හම්බෙන චීස්...  ඒවා කඩෙන් ගන්න චීස්  වගේ නෙමේ හය්යයි  ඒ වගේම  අමුතු රසයි  .ඉස්සර තාත්ත ඒවා ගෙනාපුවම  නම් ඉතින්  තාත්තගේ පස්සෙන්ම තමයි . :D  

      තාත්ත එක එක දුෂ්කර පළාත් වලට යැව්ව ලු  මං  දන්නැ  මට ඒවා ගැන තේරුමක් තිබ්බේ නැ  මං  දන්නේ තාත්ත ආව  ගියා  කියල විතරයි ....

තාත්තට ඕන වැඩක් කරන්න පුළුවන් ගෙදර හැමදේම කරන්නේ තාත්ත.. තාත්තට බැරි වැඩක් නෑ . මට මතකයි චූටි කාලේ මට ගණන් පවා කියල දුන්න. අත්වවැඩට  සියුම් දේවල් පවා හදල  දුන්නෙ  තාත්ත .පොඩ්ඩක් වත් කම්මැලි නෑ  මහන්සි කියල එක දවසක් වත් ඇඳට වෙලා ඉන්නවා දකල නෑ ..  ..අමාරු තිබ්බත් කාගෙන හරි වැඩ කරන කෙනෙක්.. පුදුම දරාගැනීමේ ශක්තියක් තියෙන්නේ.. මං  හිතන්නේ ඒ හැමදේම තාත්තට හමුදාවෙන් ලැබුන දෙයක් ඒ වගේම තමයි  අනෙක් පැත්තට, තාත්ත ගැන  කිව්ව්වොත් තාත්ත එයාගේ වෙන වැරදි   පිලිගන්නව නම් බොහොම අඩුයි ඒ තාත්තගේ හැටි ..  මං කොහේ හරි වැටිලා තුවාල උනත් එක අහම්බෙනේ නෙමේ මගේ වැරද්දක්, එහෙමයි  තාත්ත කියන්නේ .පොඩි දේවලටත් සැර  කරපු  අවස්ථා ගොඩක් තිබ්බ හැබැයි ඒ හැම දේකින්ම  මට අන්තිමට හොඳ ඉවසීමක් පුරුදු කලා . බැන්නත් ඉවසන් අහන්  ඉන්න ඕන කියන එක පුරුදු කලේ තාත්ත මොකද තාත්ත  අපිට බනිද්දි ඒකට පිටින් මොකුත්ම කියනවට තාත්ත කැමති  නෑ. වැරද්දක් උනත් නොවුනත් ඉවසන් අහන ඉන්න ඕන. ඒ තාත්තගේ වැරද්දක් නෙමේ හැටි ...චූටි කාලේ මං එක එක දඟ වැඩ වලට ගොඩක්  ගුටි කෑව  කිව්වනේ හැබැයි වයසත් එක්ක ,මං  වැඩෙද්දී  තාත්ත  ගහන්න ගියේ නෑ .ජීවිතේ එක්තරා  අවස්ථාවකින්  පස්සෙ  ඉඳල අද වෙනකන්  මට කවදාවත් ගහල නෑ.ඒ  මං  වැඩිමල් නිසා වෙන්නැති . එත් තාමත් බැනුම් නම් අහනවා   බැනල කියනවා ඒ බනින්නේ මාව හදන්න ඕන නිසාලු මං  දන්නවා ඒ  බැන්නත් බනින්නේ ආදරේට කියල   :) 

      තාත්ත වැඩිය කතාකරන කෙනෙක් නෙමේ .හැබැයි විහිලු කරන වෙලවලුත් තියනවා.අපි හැමදේම කිව්වේ අම්මට .අම්මට කියල  තමා තාත්තට කියන්න  කියන්නේ. අම්මට කියල තමයි තාත්තාගෙන් permission ගන්න ඒවා ගන්නෙ .හැබැයි මං  මොනා  හරි අලුතින් හැදුවොත්, ලකුණු වැඩියෙන් ගත්තොත්, වැඩි වර්ණනා එහෙම  ඕන උනාම යන්නේ තාත්ත ගාවට .චිත්‍රයක් ඇන්දත් අම්ම නම් හොඳ  කියන්නේ අඩුවෙන්. පන්තියේ පළවෙනිය උනත් එහෙමයි .හැබැයි තාත්ත කියන වචන දෙක තුන හිත පිරෙන්නම හම්බෙනවා .අම්ම තරම් තාත්ත ඉගෙන ගෙන නෑ .උසස්පෙළ කරලත් නෑ . හැබැයි ජීවිතේ අත්දැකීම් අතින්  වගේම හැමදේකින්ම තාත්ත ගොඩක් ඉදිරියෙන්. මං  සමහර වෙලාවට මේ subject  එකේ මේවා තිබ්බ ,මේවා කෙරෙනවා කියද්දී තාත්ත සමහර වෙලාවට ඒවාට දෙන උත්තර ඇහුවම හිතෙනවා තාත්ත කොහොමද ඒවා දැනගත්තේ කියල .තාත්ත ජීවිතේට පොත් කියවනවා මං දැකලත් නෑ  ඒත්  එයාට තියෙන්නේ ගොඩක් විහිදිච්ච දැනුමක් .තාත්ත හැමදේම දන්නවා  වෙලාවකට ඇත්තමයි පුදුමත් හිතෙනව.

     කාලයත් එක්කම, කාලේ ආවම තාත්ත යුද හමුදාවෙන් විශ්‍රාම ගත්ත. එත් ගෙදරට වෙලා හිටියේ නෑ   කොයි වෙලෙත් වැඩක් කරනව . මහන්සිවෙලා ගෙදර අවමත් එහෙමයි . සමහර දවස් වලට රැ  වැඩ කරලා පහුවෙනිදා දවසෙම වත්ත සුද්දකරන, ගේ අස්කරන වෙලාවල් තිබ්බ .තාත්ත  පොඩ්ඩක් වත් කම්මැලි නෑ .එකට මම හ්ම්ම් .....

 ඉස්සර වගේ නෙමෙයි  දැන් තාත්ත  ළඟ ඉන්නවා..  හැමදාම .. මාව එක්කන් එන්නෙ  රැ උනාම  කැම්පස්  එකේ ඉඳල ගෙදර එන්න මාව ගන්න  රැ වෙනකන් ඉන්නේ තාත්ත.. bike  එකේ හැමදාම උදේ පාන්දර  මාව එක්කන් යන්නෙ.. bike  එකේ නිදි කිර කිර යද්දි  සද්දේ දාල ඇහැර  වන්නෙ, නැත්නම් මොන හරි අරන්දීල නින්ද නැති කරවන්නෙ ම්ම්ම්.. එතකොට Gallface එක පාරෙන් යද්දී මට ෆොටෝ  ගන්න පිස්සුව එද්දී හෙමීට bike එක slow  කරන්  යන්නෙ...ම්ම්ම් තව...අතරමගදී වඩේ කඩවල් පහුවෙද්දි මට වඩේ අරන් දෙන්නෙ,  ..රැවෙලා එන දවස්වලට මං  එනකොට, මං ආස චොකලට් කිරිපැකට් එයා  බොන්නෙත් නැතිව මට අරගෙන ඉන්නෙ..උදේ පාන්දර මාව අහර වන්නෙ මේ හැමදේම කරන්නේ  මගේ තාත්ත ....

 තාත්ත මට කවදාවත් කියල නෑ  මට මෙච්චර ආදරෙයි කියල එහෙම ආදරේ පෙන්නන්නෙත් නැ  . ඒත්  එයාගෙ  ආදරේ මං  හොඳටම දන්නවා ඒ ආදරේ නිසාම තමා ලෙඩ උනාම බනින්නෙ,  කන්නේනැතිව  කෙට්ටුවට හිටියම  සැර කරන්නෙ. මොකද තාත්ත බයයි  අපිට මොන හරි වෙයි  කියල...දවසකට 4,5 පාරක් මං  ගෙදර එනකන්ම පරිස්සමින් ආවද කියල call  කරන්නේ මං  ආස දේවල් මට අරන් දෙන්නෙත් ..මට ගොඩාක් ආදරේ හින්ද ..ඔව් මං දන්නවා එය අපිට ගොඩාරියක් ආදරෙයි .තාත්ත අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා, නිදිමරාගෙන වැඩ කරනවා, මොනාහරි ගෙදරට ගෙනාමත්  එයා කන්නේ නෑ. කවදාවත්  ආසාවට දෙයක් ගන්නැ  ඒ වෙනුවට අපිට ගෙනත් දෙනවා. ඒ ආදරේ උතුම් ..මට වචනෙන් කියාගන්න බෑ . එයා  මාව බලාගන්නේ හරියට කුරුල්ලෙක්  තමන්ගේ පැටියව තුරුලු කරන්  උණුහුම ආරක්ෂාව දෙනවා වගේ ... 

තාත්ත  ආසයි අපි ඉගෙන ගෙන ඉහලට  යනවට.. උපාධි  උත්සව වල හරි ආඩම්බරෙන් ලඟ ඉඳන් ෆොටෝ  ගන්න ,කවුරුහරි ආපුවම මගේ දුව මේ කැම්පස් , මගේ පුතා මෙහෙ වැඩ කරන්නෙ වැඩියනුත්  එක්ක දාල  හරි ආඩම්බරෙන් කියනවා මට ඇහිලා තියනවා. මං  දන්නවා තාත්තගේ සතුට. ..එයාගැන  මෙහෙම කියන්න බෑ  වචනයෙන් කියන්න මට වචන මදි . කියන්න ගොඩාරියක් දේවල් මේක ලියනකොට  නවත්තන් නැතිව  ගලාගෙන  එනවා ..මගේ තාත්ත මගේ වීරයා ... 

මේ කතාව ඉවර කරන්න කලින් එක දෙයක් කියන්න බැරිඋනානේ අපේ තාත්තගේ මේ දවස්වල ආසම වැඩේ  මල්පැල  හිටවන එක . මාසේකට  සැරයක් මල්පල 8,10 ගේනවා. ඊටපස්සේ ලස්සන මලක් එනකන් පොහොර  දානවා ,වතුරාදානවා, වැඩ ගොඩයි . ගෙදරආපු ගමන් මුලින්ම කරන්නේ මල් පැල  බලන එක .  සමහර වෙලාවට ඉක්මනට මල් එන්න හොරට මල්පොහොර  ගොඩක් දානවා මං  දැකල තියනවා  :D  කොහොම කොහොම හරි මල් ආවම මුලින් ම කරන්නේ "පොඩී"  කියල  මට අඬ ගහන එක. මොකද මල් දැක්කොත් මගේ වැඩේ ෆොටෝ  ගන්න එකනෙ. තාත්ත එක්ක මල්පල ගැන කතාකරනවානම් වෙන මොකුත් ඕන නෑ .:D  :D  

 ...හ්ම්ම්..හිතෙන හිතෙන හැමදේම අගක් මුලක් ගැලපීමක් නැතිව මං  ගොඩක් ලියල හැබැයි මේ ඉවර නෑ..  තව ගොඩාක් ලියන්න තියනවා. අන්තිමට මෙහෙම කියන්නම්... මගේ ජීවිතේ මං දැක්ක,මට හම්බුන  මට අසීමිතව ආදරය කරන උතුම්ම පුරුෂය මගේ තාත්ත.. ඒ ආදරේ අසීමිතයි ... අපිරිමිතයි ..අනන්තයි .... <3




17 comments:

  1. ටිකක් කලබල වෙලා තමන්ගේ සිතුවිලි ටික අකුරු කරගන්න බැරිව?? මං හරිද

    ReplyDelete
  2. නියමයි...ඇහට කඳුලකුත් ආවා කියවද්දි... ඉදිරියටත් ලියන්න ජය ;)

    ReplyDelete
  3. @ දේශක යා : ඔව් හරි :D .... මේක ලියද්දි නම් අකුරු වලට වඩා වේගෙන් සිතිවිලි, මතකයන් ,හැමදේම සීමාවක් නැතිව ගලාගෙන ආව .ඒ නිසාම සමහර තැන් වල ලියපු දේවල් වල ගැලපීමක් නැතුව ඇති .

    @සාරා: සාරා සාදරයෙන් පිළිගනිමි.ඔබ නිසා සහ 'ඔහු' නිසා අද මම බ්ලොග් ලියමි .... :D :P

    ReplyDelete
  4. දේශකයා කිවුවත් වගේ ටිකක් කලබලෙන් ලිවුවා කියලා දැනෙනවා.. ඊලග වතාවේ ඉදන් එහෙම නැතුව ලියන්න උත්සාහ කරන්න...

    ReplyDelete
  5. කලබලෙන් ලිව්වත් ඒ කලබලය හරිම අපූරුයි, ඒ කලබලය ඇතුලේ හරිම අපුර්වත්වයක් මන් නං වින්දා, මොකද තාත්තා ගැන ලියද්දි එන හැඟුමන් එක්ක අත් දෙකේ ටය්පින් ස්පීඩ් එකට හැරෙන්නවත් බෑ නේද? හරිම ලස්සනයි, ඒ වගේම අපූරු තාත්තා දූ ආදර බැඳීම, තාත්තලාට දූලා තරම් වටින වස්තුවක් තවත් තියෙනවද හරියට මට මගේ අම්ම වගේ :D

    මාත් හමුදාවේ ඉන්න තාත්තා කෙනෙක් ගැන කෙටි කතාවක් ලිව්වා මීට ගොඩක් කලින් හැබැයි එක ටිකක් දුක හිතෙන එකක්. මේ තියෙන්නේ ඒක පුලුවන්නං ආවත් බලලා යන්න :D

    ReplyDelete
  6. @දිනේෂ් : ...ස්තූතියි ඊළඟ වතාවෙදි මීට වඩා හොඳට ලියන්නම් :)
    @ සොමි යා :මේ බ්ලොග් පිටුව ලියන්න පටන් ගත්තේ රෑ 11 ට විතර ලියල ලියල අන්තිමට අකුරුවල අඩුපාඩු බලල ඉවර වෙද්දි පාන්දර 1 විතර උනා .එක හුස්මට ලියාගෙන ගිය එකක් ...ඔයාගේ අදහස් වලට ගොඩක් ස්තූතියි.මෙහෙ ආවටත් ගොඩක් ස්තූතියි ... :) :)

    ReplyDelete
  7. :)
    මම නම් තාම තාත්තට බයයි..

    ReplyDelete
  8. හි.. හී.. මමත් එහෙම තමයි බය වැඩි නිසාම තාත්තට තරහ යන්නේ නැතිවෙන්න පරිස්සමින් වැඩ කරනව එත් දවසකට එක බැනුමක් හරි අහගන්න වැඩක් කෙරෙනවාමයි :D

    ReplyDelete
  9. බොහොම අපූරු blog එක, අහම්බෙන් තමා ආවෙ, මගේ තාත්තා නැති වුනේ මට 12 දී, නිවාඩු වෙලාවට අනිත් posts කියවන්නම්,
    ජය!
    ranil

    ReplyDelete
    Replies
    1. තාත්ත නැතිවෙලා නෑනේ තාම ඔයාගේ හිතේ තාත්ත ඉනවානේ ඒ නිසා සදාකාලිකවම ඔයාගේ තාත්ත ඔයා ගාව :) ගොඩක් ස්තුතියි මේ පැත්තට ආවට

      Delete
  10. ඇහැට කඳුලක් ආවා.බහුතරයක් තාත්තලා ඔහොමයි.මටත් හිතයි තාත්ත ගැන ලියන්න

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ටුව අපේ තාත්ත කියවල නැහැ තාම. මම නැතිඋන කාලෙකදි තාත්තට කියවන්න තිබුනොත් ඇති :)

      Delete
  11. කීවත් වගේ කලබලේට ලියල වගේ හිතට එන වේගෙට ලියා ගන්න බැරිව. :D ඒත් තව ලියන්න දේවල් එහෙන් පිටින්ම ඉතුරුයි වගේ. කලබලේට ලීවත් මේක තමයි හොදම එක හන්සි බ්ලොග් එකේම. මේක 2014 ලීව එකක් නේද? තාත්ත මේක දැක්කොත් :) අපේ තාත්තත් මේ වගේම තමයි. හැමදාම දුර හිටියෙ. නිවාඩු එන්නෙ මාසෙකට සැරයක්. සැරයි. කරන ඕන වැඩකට උදවු වෙනව හැබයි. ටිවි එක ගලවල වැඩ කරන්නෙ නැතිව ගියත් අහ් ඒකත් ඉවරද අහනව විතරයි හිනා වෙලා. බයිසිකලේ පෙරල ගත්තොත් අපෝ ඔය තුවාල වෙලා මදි කියනව. :D දැන් හන්සිලගේ තාත්තටත් ගොඩක් සතුටු ඇති හන්සි ගැන. හිතට දැනුන ගොඩක් මේක...

    ReplyDelete
  12. කීවත් වගේ කලබලේට ලියල වගේ හිතට එන වේගෙට ලියා ගන්න බැරිව. :D ඒත් තව ලියන්න දේවල් එහෙන් පිටින්ම ඉතුරුයි වගේ. කලබලේට ලීවත් මේක තමයි හොදම එක හන්සි බ්ලොග් එකේම. මේක 2014 ලීව එකක් නේද? තාත්ත මේක දැක්කොත් :) අපේ තාත්තත් මේ වගේම තමයි. හැමදාම දුර හිටියෙ. නිවාඩු එන්නෙ මාසෙකට සැරයක්. සැරයි. කරන ඕන වැඩකට උදවු වෙනව හැබයි. ටිවි එක ගලවල වැඩ කරන්නෙ නැතිව ගියත් අහ් ඒකත් ඉවරද අහනව විතරයි හිනා වෙලා. බයිසිකලේ පෙරල ගත්තොත් අපෝ ඔය තුවාල වෙලා මදි කියනව. :D දැන් හන්සිලගේ තාත්තටත් ගොඩක් සතුටු ඇති හන්සි ගැන. හිතට දැනුන ගොඩක් මේක...

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තනම් ටිකක් විතර සැරයි :)

      Delete
  13. කලින් කියවපු නැති post එකක්.. එකක් ලියන්නම්..

    මාත් හමුදාවේ හිටියට.. ඔය අන්තිම ඡේද හතර අත හැරියොත් මම ඔයාගේ තාත්තට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්.. :)

    ජය!

    ReplyDelete
    Replies
    1. ඔව් මට හිතෙනව අපේ තාත්ත නිහඬ චරිතයක්.... :)

      Delete