Saturday, January 9, 2016

හිමි අහිමි

මම තේ කෝප්පය දිහා නොඉවසිල්ලෙන් බලන් හිටිය. විනාඩි  දහයක් තිස්සෙම තේ කෝප්පයේ රවුමට රවුමට කැරකැවෙන තේ හැන්ද  මාව  තව තවත් අවුස්සනව.මම අරවින්දගේ මුණ දිහා බැලුව. අරවින්ද තාමත් තේ කෝප්පය දිහා බලාගෙන හිත තේ කෝප්පය පතුලටම ගිහිල්ල හොයාගන්න බැරිව දඟලනවා වගේ.ආයෙත් තේ හැන්ද  උස්සල සිනී  කෝප්පයට  දාන්න යනකොටම මම මගේ අතේ තිබ්බ තේ හැන්දෙන්  හය්යෙන් කෝප්පයට දෙපාරක් තට්ටු කලා  අරවින්ද එකපාරටම ගැස්සිලා මා දිහා බැලුව. 
"මිස්ට අරවින්ද තේ කෝප්පෙට සීනී කීයක් දානවද ??  මම බලන් හිටිය දැනටමත් සීනී  හැඳි තුනක් .."

"අහ්හ්  මම වෙන සිහියක හිටියෙ "  අරවින්ද තේ හැන්ද පැත්තකට විසිකරල  තේ කෝප්පය දිහා බැලුව. 

"දැන් ඉතින් ඕක බොන්න බෑනෙ  මේ තේක බොන්න මටත් වැඩියි". මම බාගයක් බීපු  තේ කෝප්පෙ අරවින්ද දිහාට දික්  කලා .

"එපා  මට එපා  ඔයා බොන්න"  අරවින්ද ආයෙම තේ හැන්ද තේ කෝප්පයට ඔබල තේ කෝප්පය ඇතුල පොඩි දියසුලියක් හැදෙනකන් එකම අතට තේ හැන්ද කරකවන්න ගත්ත.මම ආයෙමත් අරවින්ද දිහා බලාගෙන හිටිය.වැලමිටට වෙනකන් අත නවාපු හැමදාම අඳින ගුරුපාට  කමිසෙ අදත් වරද්දල නැහැ.අරවින්දට තියෙන්නේ ඔය ෂර්ට් එක විතරද කියල  හැමදාම ඇහුවත්  හිනාවෙන් උත්තර දෙනවා මිසක් කවදාවත් වචනයක් නොකියන නිසා  දැන් ඒක අහන්නෙත් නැහැ.හැමදාමත් අරවින්දව ඈත තියා  අඳුරගන්නේ ඔය ගුරුපාට කමිසයකින්. කමිස සාක්කුවෙ කොනේම රැඳිල තියන පාකර් පෑනත් කමිසේටම මහල වගේ.කටින් ලේසියෙන් නිදහස් වෙන්නේ නැති වචන හැම එකක්ම ලස්සනට ඔපමට්ටම් වෙලා නොනැවතී  ගලාගෙන යන්නේ ඔය පාකර් පෑන් තුඩෙන්. බස් ටිකට් එකක්ද ,කඩල  ගොට්ටක්ද  එහෙමත් නැත්නම් අත්පිසදාන ටිෂූ කඩදහියක්ද මේ ඕනෑ දෙයක් අරවින්ද ළඟ තිබ්බොත් අර පාකර් පෑනෙන් නම් ගැලවිලා යනව බොරු.හ්ම්ම් ..නිහඬ කවිකාරය... මම අරවින්ද දිහා බලාගෙනම මටම මිමිණුව.

හැමෝම මගෙන් අහනවා ලේසියෙන් වචනයක් එලියට නොදාන  කොල්ලෙක් කොහොමද හොඳම යාලුවෙක් වුනේ කියල.මට දෙන්න හරි හමන් උත්තරයක් නැහැ.සමහර විට මම අරවින්දගේ කවි වලට කැමති නිසා.නැහැ එක්කෝ  ඒ නිහඬ බවට මම ආසයි.සමහරු අහනව ඇත්තටම මගේ හිතේ අරවින්ද ගැන අදහසක් වත් තියනවද කියල ...ම්ම්ම් ..නැහැ ....එහෙම එකක් නැහැ ....මන්ද  මම දන්නේ නැහැ ...

----------------------------------------

අරවින්දගෙයි මගෙයි හමුවීමත්  අහම්බයක්. අරවින්ද කලා පීඨයේ  මම විද්‍යාපීඨයේ  අහම්බෙන් වගේ පුස්තකාලේ එක ළඟ වාඩිවෙලා ඉඳිද්දි  කරපු කතාබහ  පොත් කවි සඟරා මාතෘකා ගොඩක් ඔස්සේ ගිහින් අන්තිමට දුරකථන අංක හුවමාරු කරගන්න තරමට අපි හොඳම යාළුවො වුනා.එදා ඉඳන් ජීවිතේ  සිද්ධ වෙන හැමදේම  අපි අතරේ බෙදාගන්න,පොඩි දෙයක් උනත් එකිනෙකාට කියාගන්න තරමට අපි සමීප යාළුවන් උනා.ඒ යාළුකම පොඩ්ඩක් හරි දුරස් උනේ අරවින්දට නිශාව හම්බුනාට පස්සෙ.එතැන් පටන් අරවින්ද නැති අඩුව නිසා මට හොඳටම දැනුන.මටත් කියාගන්න බැරි මොකක්දෝ තනිකමක් දැනුනත් පුළු පුළුවන් හැමවෙලේම අරවින්දට කෙටි පණිවිඩයක් යවන්න අරවින්ද ගැන හොයල බලන්න මම අමතක කලේ නැහැ.

 මම හතරවෙනි වසරේ විශේෂ උපාධිය කරද්දී අරවින්ද තෙවෙනි වසර ඉවර වෙලා  සාමාන්‍ය උපාධියෙන් සරසවියෙන් සමුගත්තේ මගේ හිතේ ලොකු හිඩැසක් ඉතිරිකරලා.මේ දේවල් අරවින්ද දන්නේ නැතිව ඇති.මට කියන්න උවමනාවක් තිබ්බෙත් නැහැ.අපි හොඳම යාළුවො ...මට මතකයි මම අරවින්දටත් නිශාටත් ඕනෙම වෙලාවක ඕන උදව්වක් කරනවා කියල දෙන්නගේ අනාගතේට හදවතින්ම සුබපතුව.

කාලයක් හොඳම යාළුවා වෙච්ච කෙනෙක් කාලයත් එක්කම ඈත්වෙද්දී හිතට කොච්චර දුකක් උනත්  හමුවීම වෙන්වීම  එහෙම නැත්නම් ජිවිතේ කියන්නේ මෙන්න මේකනේ කියල හිත හදාගන්නවා මිසක් සමහර වෙලාවට ජිවිත වලට මැද්දට පනින්න අපිට හැකියාවක් නැහැ ...එහෙම අත්මාර්ථකාමී වෙන්නත් බැහැ ..
ඇරත් අරවින්දට මම හොඳම යාලුවෙක්.................. 

කාලයත් එක්කම හිත ඇතුලේ අරවින්ද ගැන තිබ්බ මතකය අඩුවෙමින් වැඩිවෙමින් යටපත්වෙලා ගියා.හුස්ම ගන්න  බැරි වෙන තරමට වැඩ වැඩිවෙද්දී හිතේ තියන තනිකම පාළුව පැත්තකට විසික්වෙලා ගියා.හැම මතකයක්ම ආයෙම අලුත් උනේ ආයෙමත් අරවින්දගෙන් කෙටි පණිවිඩයක් ආවට පස්සේ. මම හිතන්නේ අවුරුද්දකට විතර පස්සේ.

 අද වගේම හවස්වාරුවක මේ අවන්හලේම අපි මුණගැහුන.අරවින්දගේ ඇමතුමෙන් අතීතයක් එක්ක වැළලිලා තිබ්බ හිතේ හිඩැස ආයෙත් අලුත් උනා  වගේ දැනුනත් එදා හවස අරවින්දව මුණ ගැහුන ගමන් මම ඇහුවේ ..කෝ අනිත් බාගේ...  නිශ ආවේ නැද්ද ? ෂුවර් එකටම මට එන්න කිවේ වෙඩින් එක ගැන කියන්ට වෙන්නැති... මගෙන් තොරතෝංචියක් නැති ප්‍රශ්න වලට අරවින්ද දුන්නේ අමාරුවෙන් මවාගත්ත හිනාවක් .... කොහොමද දැන් මොනාද කරන්නේ කියල මගෙන් ප්‍රශ්නයක් ඇහුව මිසක්  එකපාරටම මගේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැහැ.ඉස්සර වගේමයි  මට නිහඬව බලන් ඉන්න උනා.මගේ  හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නේ අන්තිමට. ඒකත් ලොකු නිහැඬියාවකට පස්සේ. 

"නිශාලගේ ගෙදරින් කැමති නැහැ.අපි වෙන්වෙලා දැන් ගොඩක් කල් ලබන සතියේ නීශාගෙ වෙඩින් එක ..."

 මට තේරෙන්නේ නැහැ අරවින්ද වගේ කොල්ලෙකුට අකමැතිවෙන්න හේතුව මොකක්ද කියල.කොහොම උනත් එදා අන්තිමට මොකක්දෝ සතුටක් මගේ හිතේ තිබ්බ...සමහර විට මට අරවින්දව ආයෙත් හම්බුනා නිසා ...ඒක විතරමද එකම හේතුව ...??  මට ඒක මොකක්ද කියන්න තේරෙන්නේ නැහැ.එදා දවස වගේම එදා අන්තිමට අරවින්ද අවන්හලෙන් යද්දී  ටිෂූ  කොලේක කුරුටු ගාල තිබ්බ කවිය තාමත් මට මතකයි ... 

සරසවියෙ  කෙළවරක 
ඇහැල  මල් සෙවන යට 
එකට බැඳී අත්වැල් 
ඇහැලමහකම  ලෙහුව 
වරද කීම 

සොඳුර .. මගේ සඳ 
පරවී නොයන් සබඳ 
ඇහැලමල් ඉසින්නම් 
හැමදාමත් 
බලාන  සිටින්නම් 
තවත් 
නුඹ යනෙන, නවතින, 
රැඳෙන 
ගමන් මග 

එදා ඉඳන් සතියකට දෙපාරක් තුන්පාරක් අපි හමුඋනා. පැරණි යාළුකම ආයෙත් අලුත් උනා.අරවින්ද හම්බවෙන හැම දවසක්ම එනකන් මම නොඉවසිල්ලෙන් බලන් හිටිය ...හිතේ තිබිච්ච හිඩැස ටික ටික පිරෙනවා වගේ මට දැනුනේ ..ඒත් අරවින්ද ඉස්සර වගේමයි නිහඬයි. ඒත් ඒ නිහඬ බව මට ප්‍රශ්නයක් උනේ නැහැ ... නැහැ කියන්නත් බැහැ ඒ නිහඬ බව එන්න එන්නම වැඩිවෙලාද මන්ද .. ඒ නිහඬ බව වෙලාවකට මාව නොඉවසිලිමත් කලා.

---------------------------------------------

නිශා ... අරවින්දගේ   කටහඬින් මම එකපාරටම හීන ලෝකෙන් එලියට පැන්න.
අහ්හ්  නිශා ? අරවින්ද ...මම චතූ ...හ්ම්ම් බලන් ගියාම අපි දෙන්නම ඉන්නේ හීන ලෝකෙකනේ මම හිනා උනා. 

අහ්හ්  මම නිශාගේ නමද කිව්වේ..  මට සමාවෙන්න ...

අරවින්ද ලොකු හුස්මක් ගත්ත.අරවින්ද  දැන් හැමදේම වෙලා  ඉවරනෙ.නිශාව අමතක කරන්න....මම අරවින්දගේ අත්දෙකෙන්ම තදින් අල්ලාගෙන කාලයක් තිස්සෙම කියන්න ඕන උනදේ අන්තිමට කිව්ව.

බැහැ 

ඇයි .... ඇයි ඔච්චර මුරණ්ඩු  

කියන්න ඇයි ...අරවින්ද ප්‍රශ්නයක්වත්ද 

ඔව් 

ඉතින් ඇයි නිහඬ... කියන්නකෝ. 

නිශා  දික්කසාද වෙන්න යන්නෙ.

මොකක් 

ඔව් 

ඒ ඇයි 

ඒ මිනිහට තවත් ගෑනියෙක් ඉන්නවලු ..මෙච්චරයි මම ආයෙම නිශාව වෙනකෙනෙකුට අයිතිවෙන්න දෙන්නේ නැහැ .. මම නිශාව බඳිනවා ..
අත්දෙකෙන්ම තද කරලා අල්ල ගත්ත අරවිනදගේ අත් ඉබේටම ලෙහුනේ තවත්  අයිති නැහැ කියන්න වගේ ...

අරවින්ද  මට තේරෙන්නේ නැහැ මොකුත් ..මම අරවින්දගේ ඇස්  දිහා එක එල්ලේ බලන් හිටිය ...

මම නිශාව බඳිනවා .. ඒ වචන ආයෙම  මට ඇහුන ... 

අරවින්ද ගොඩක් දේවල් කියාගෙන ගියා ..එපා මොකුත් නොකිය නිහඬව ඉන්න.ඒ නිහඬ බවට මම කැමතියි කියන්න මට හිතුන. හිත ඇතුලේ තිබ්බ හිඩැස එකපාරටම කවුදෝ ඇවිත් පහුරු ගාල ආයෙම ලොකු කරනවා වගේ දැනුන .
අරවින්ද මගේ යාලුවෙක්නෙ ඇයි  මම දුක් වෙන්නෙ ...මම  මගෙන්ම ඇහුවා ...ඒත්  හිත නිහඬ වෙලා ..මට උත්තරයක් දෙන්නේ නැහැ ... ඇයි මේ ......

අරවින්ද ගියාට පස්සෙත් ගොඩක් වෙලා මම ඔහේ ඉඳගෙන හිටිය ..ටිෂූ කොලේ අදත් කටුගාල ගිය කවියට  යටින්   මමත් කවියක් ලියල අවන්හලෙන් පිටවුනා. 

අමාවක නිමයි 
පුරසඳත්  ලඟයි 
හීන මහ ගොඩයි
තවම සිත බයයි 
වලාකුලකට 
අඳුරු වලාකුලකට ....    

                                            යළිත් නුඹ දකින්නට නොලැබෙනා බැව්
                                            හිත කොඳුරමින් කියන විට
                                            ඉසියුම්ම තැනකින් නැගී ආ රිදුමක්
                                            පුරා පැතිර යයි හදවත..

                                            නෙතුපියන් බිමට බර
                                            නොඋස්සා වුව දනිමි
                                            කොයි තරම් දුරක් නුඹ
                                            නික්ම ගොස් ඇතිද වග...

                                            ආපසු හැරෙන්නට 
                                            නුඹට පිටුපා නික්ම යන්නට
                                            හිතට කොතරම් ඕනද
                                            ඒ වුණත් පා පැකිලෙනා යුරු තවම..

                                           හදිසියෙන් වැස්සක් හඬයි
                                           අවසඟ දෙපා දෙදණ බිම සිඹියි
                                           මුහුණ සිඹි වැහි බිංදු මත මුසුව
                                           ප්‍රේමයක් ලවණ රස ගනියි....

පින්තූරය අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදී 



ප.ලි. : අන්තිමට තියන ලස්සනම කවි පංතිය අවන්හල බ්ලොගේ ලියන මහේෂ් අය්යගෙන් ඉල්ලගත්තෙ.හිත ගිය නිසා කවිය ඉල්ලා ගත්ත.කවිය දුන්නට  මහේෂ් අය්යට ගොඩක් ස්තූතියි  :)

30 comments:

  1. ලස්සන ඒවගේම දුක හිතෙන කතාවක්. චතූගෙ පැත්තෙන් අසාධාරණ වුනත් අරවින්ද හොඳ ආදරවන්තයෙන්. නිශාට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්.ඔව් අරවින්ද හොඳ ආදරවන්තයෙක්.චතූ කියන්නෙ අරවින්දට හොඳම යාලුවෙක් විතරයි..චතූ පව් ඉතිං ...

      Delete
  2. කතාව මුල හරිය කියවනකොට මං හිතුවේ අන්තිමට චතූව කසාද බදීවි කියලා.නිහඩ මිනිස්සු ප්‍රතිපත්තිගරුකයි.ගොඩක් හිතලා හොද තීරණ තමයි ගන්නේ,දුක හිතෙන කතාවක් සැබෑ ආදරවන්තයෙක් කියන්නේ අරවින්ද වගේ අයට..
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මහේෂ් මේ කතාව මම ලියන්න හැදුවේ වෙනස්ම විදිහකට ඔය මුල්ම කොටස ලියල දවස් ගානක් කතාව වෙනස් කර කර පැත්තකට දාල තිබ්බෙ අන්තිමට ආයෙම අරන් ඊයෙ වෙනස්ම කතාවක් ලිව්ව.අරවින්ද වගේ චරිතයක් ගැන මම මිට කලින් අහල තිබ්බ.එහෙම චරිතයකට ආයෙම කතාවක් ඇතුලෙන් පණ දෙන්න ඕන උනා.ඒ නිසා මෙහෙම ලිව්ව :)

      Delete
  3. මයියා.. මයියා.. පට්ට කවිය.. ඒක වටකුරු කරලා කතාවක් කරලා අපිට දමල ගැහුවා හංසි.. ඇති සුපිරියි..

    මට ඔබ හිමි නැති බැව්
    සිත නෑ අදහන්නේ...
    සිත හැඬුවා ඇති දැන්
    ඔබ නෑ යලි එන්නේ
    වත හසරැල් ගවසා
    ගිනියම් මා හිත ඉකි බින්දා
    ඒද නො ඒදැයි සිතමින්
    මගෙ හිත මග බලමින් උන්නා
    ලොවම කෙසී කීවත්
    ඔබ යලි ඒයැයි සිත කීවා
    අඳුර එලිය නොපෙනී
    කල දේ කී දේ නොඳනී
    මුදා නොහැර මසිතින්
    රඳවා ගත් වරද මගෙයි
    යලි උපදින්න සිතා
    විගසින් මිය යන්න සිතෙයි....

    ReplyDelete
    Replies
    1. ලස්සන ගැලපෙන සිංදුව කමී

      Delete
    2. කල්‍යාණ මිත්‍ර ගැලපෙනම සිංදුවක් හොයාගෙන තියෙන්නෙ.කතාවට නියමෙට ගැලපෙනවා. :) මහේෂ් අය්ය ලියන කවි ඉස්තරම් හැම කවියක්ම හිතට වදිනව. මේ අන්තිම කවිය මුලින් එවපු දවසෙම මම කීව කවිය මට ඕන කියල කතාවේ මැදටත් මහේෂ් අය්යගෙන් කවි ඉල්ලලා දැම්මනම් තවත් ලස්සන වෙයි ඒත් ආයෙම කවි ඉල්ලලා කරදරයක් වෙයි කියල ඉල්ලුවේ නැහැ. ඒක පට්ටම කවියක් තමා .. :) :)

      Delete
  4. නංගි ලියපු හොඳම කතාව මේක කියල කියන්න පුළුවන්, චතු අරචින්ද නීශා චරිත තුනක්, ඒ චරිත තුනෙන් නීශා ගේ චරිතය සැඟවුනත් ඒ චරිතය හරි අපුරුවට කතාව ත්‍රීවුර කරනවා, ඒ චරිතය පාවිච්චි කරපු විදිය හරිම අපූරුයි. ඊළඟට අරවින්ද, ඒ නම් අරවින්දයක්ම තමයි. හැබැයි අරවින්ද චතුට ආයිත් කෙටි පණිවුඩයක් එවුවේ මොකද කියලා හිතෙනවා නීශාව අහිමි උනාම. ඒත් අරවින්ද වෙනස් වුනේ නැති බවද එකම ගුරු පාට කමීසය එදත් අදත් ඇඳන් ආපු එකෙන් ඔයා කිව්වේ?

    ඊළඟට චතු, අපි හැමෝම චතුල වගේ වෙලාවකට, දෙයක් හිතේ හංගගෙන දුක් වෙනවා කියා ගන්න බැරිව, අරවින්දගේ ලෝකේ වෙනස්වීම් එක්ක නිසා ගොඩනගන ලෝකේ එයා රජ වෙන්න හීන දකින හැටි මිනිස් සිතේ අසාව යලි යලිත් උපදින හැටි සමහර දේවල් අමතකම කරන්න හරිම අමාරු බව එහෙම ඔයා අපුරුවට කියලා තියෙනවා. ඊළඟට කතාවට යොදාගත්තා කවි එහෙම සුපිරි.

    ඊළඟට අපේ මයියා, උගේ කවි ගැන අයි ඉතින් කියන්න දෙයක් නැහැනේ. උගේ කවි පපුවේ ගැඹුරුම තැනක් හරි ආදරෙන් කොනිත්තනවා, ඒ කෙනිත්තිල්ලට මම ගොඩක් කැමතියි. ඔයාල දෙන්නගේ සුසංයෝගය ඉස්සරහට හොඳ කතා ටිකක් අපිට කියවන්න ලැබෙයි කියල හිතෙනවා.

    මම මේ කතාව කියවලා ඉවර වෙනවත් එක්කම මගේ ඔළුවට ආපු විකාර අදහසක් මෙහෙම කුරුටු ගාල මම යන්නම්, ජයවේවා.

    සිහිනයක් ගිය දුරක්
    ලං උනත් වෙන් වුනත්
    සුසුමකින් බර සිතක්
    ඉකි බිඳිත් යලි හඬත්
    ආදරේ නුඹටමයි
    නුඹ ඒත් මගෙ නොවෙයි
    මේ සුසුම් මටමමයි
    මේ කඳුලු මටමමයි

    සරා සඳ ලඟට වී සොමි සුවය විඳ විඳ
    මටම පමණක් අමාවක වුනේ කීම
    තරුවක්ව දිදුලන්න හුදෙකලාව සිඳ බිඳ
    නුඹෙන් කිරණක් අහිමිව ගියේ කිම

    සිහිනයක් ගිය දුරක්
    ලං උනත් වෙන් වුනත්
    සුසුමකින් බර සිතක්
    ඉකි බිඳිත් යලි හඬත්
    ආදරේ නුඹටමයි
    නුඹ ඒත් මගෙ නොවෙයි
    මේ සුසුම් මටමමයි
    මේ කඳුලු මටමමයි

    නුඹ මානස විලයි ආලය උතුරා ගලන
    මටම පමණක් මිරිඟුවක් වුනේ කීම
    මිරිඟුව නසන සිහින් දිය කදුර
    මටම පමණක් කඳුලක් වුනේ කීම

    සිහිනයක් ගිය දුරක්
    ලං උනත් වෙන් වුනත්
    සුසුමකින් බර සිතක්
    ඉකි බිඳිත් යලි හඬත්
    ආදරේ නුඹටමයි
    නුඹ ඒත් මගෙ නොවෙයි
    මේ සුසුම් මටමමයි
    මේ කඳුලු මටමමයි

    ReplyDelete
    Replies
    1. සොමි අය්යේ ගොඩක් ස්තූතියි.සොමි අය්යගෙ කමෙන්ටුවෙන් පේන්නෙ කෙලින්ම නොකිය ව්‍යංගාර්ථයෙන් කතාවේ එක එක චරිත වල හැඟීම්,සිතිවිලි ගොඩනැගෙන විදිහ ලියන්න උත්සහකල හැම කොනක්ම සොමි අය්ය අල්ලාගෙන වගේ ඒ ගැන නම් ගොඩක් සතුටුයි. ඔයා අහලතියනවා නේද අරවින්ද ආයෙම චතූ ට පණිවිඩයක් යැව්වේ ඇයි කියල ..චතූ කියන්නෙ අරවින්දට හොඳම යාලුවෙක් විතරයි. අරවින්දට තමාගේ ආදරේ අහිමි උනාම එතනින් එහාට ජිවිතේ පාළුව දැනුනම ඒ දේ බෙදාගන්න මුලින්ම මතක් වෙන්නේ තමන් ඉස්සර ඉඳලම හැමදේම බෙදාගත් හොඳම යාළුවව ඒකයි චතුව මතක් උනේ ...චතූ බලාපොරොත්තු ගොඩක් හංගගත්ත තමන්ගේ හිතම රවට්ටන්න හදන කෙනෙක් ඔව් අපි හැමෝම චතූල :) ..ඔයාගේ කවිය කවියක් නෙවේ සිංදුවකට ගන්නවානම් නියමයි ඇත්තටම ලස්සනයි.ඊයෙ කරදර කලේ නැහැ විභාගේ නිසා නැත්නම් කතාව කියවන්න දීල තව ලස්සන වෙන්න අදහස් ටිකක් ගන්න තිබ්බ ;)... අපි ලියන කවි(කවි නොවන කවි ) වලට මහේෂ් අය්ය ලියන පිළිතුරු කවි දකිද්දී හැමදාම නිරුත්තරයිනේ ..තවත් මොනව කියන්නද :D

      Delete
  5. සබඳ නුඹ සියපතකි
    නිශානන්දයේ පිපෙන
    පිණි බිඳකි මම සිහිල්
    නුඹේ සියපත් අතර


    අපූරු කතාව හංසි. මෙච්චර වැදගත් ලස්සන අපූරු කතාවක් අස්සට නෙ මගෙ අර මේ ලෝකෙ රහක් නැති කුරුට්ට ඇදල දැම්මෙ. අනේ.......... මංද..

    අරවින්ද රියල් පොරක්.. චතූ ඊට වඩා රියල් කෙල්ලෙක්. නිශා ගැන තරහයි මට.. මතක් වෙනව සමහර දේවල් මට.. කතා කරන්න අකමැති..

    ආ ලෙසම නික්මී
    ඔබ ගොසින් බොහෝ කල්
    ඒ වුණත් මම මෙතන
    එදා වෙන්වුණ තැනම අපි
    මතකයන් ඉකිබිඳියි
    කඳුලු බිඳකින් දියවෙවී

    ඒ වුණත් තවම මට
    පුරුදු සුවඳම දැනෙයි

    ReplyDelete
    Replies
    1. කවි වලින් කමෙන්ටු දාන එක ගැන නම් හරි සතුටුයි. මහේෂ් අය්යගෙන් තව තව කවි අහන්න පුළුවන්නේ එතකොට ..මෙලෝ රහක් නැහැ ?? මහේෂ් අය්ය කවද්ද එයා ලිව්ව කවියක් හොඳයි කීවෙ :P

      Delete
  6. කවි නං සුන්දරයි.....................

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු .. ලස්සනම කවියෙ අයිතිකාරයා තමා ඔය උඩ කමෙන්ටුවේ ඉන්නෙ :)

      Delete
  7. අයියෝ....
    මම හිතුවේ බොහොම ලස්සනට අවසාන වෙයි කියලයි...

    මොනා කරන්නද? චතු ලබා උපන් හැටි තමයි ඉතින්...

    -------
    ඔන්න කිව්වා...කතාව නම් පට්ට ලස්සනයි ඈ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විභීෂණ ...කතාවේ අවසානෙ ලස්සන විදිහට ඉවර කරන්නත් තිබ්බ... ඒත් එහෙම උනොත් චතූගෙ චරිතේ ඒ තරම්ම හිතට දැනෙන්නෙ නැතිවෙයි. කොහොමත් අදහසක් තියනවා දුක හිතෙන්නේ නැති හොඳ ලස්සන අවසානයක් තියන කතාවක් ලියන්න

      Delete
  8. අවසානය මීට වඩා වෙනස් වෙයි කියලයි හිතුවේ. ඒත් මොනවා කරන්නද හුඟක් අවසානයන් අපි බලාපොරොත්තු වෙනවා වගේ නෙමෙයි නේ.
    කවි ටික ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අපි හිතන දේ ඒ විදිහටම වෙනව නම් හැමෝටම සතුටුයි.ඒත් එහෙම වෙන්නේ නැහැනෙ .. සමහර අයට අකමැත්තෙන් උනත් තමන්ගෙ සතුට කැපකරන්න වෙනව .ඒ තවකෙනෙක්ගෙ සතුට වෙනුවෙන් කරන කැපකිරීමක් වෙන්න පුළුවන් .......

      Delete
  9. හිමි නොවු නුඹ මෙමට
    අහිමි වූයේ කෙලෙස

    ReplyDelete
    Replies
    1. සබරේ

      Delete
    2. සියලුම මතකයන් ,
      අතීත සැමරුම්
      දෙඅතින් මිටිකොට
      විඩාවෙන් ගැහෙන
      හදෙහි ස්පර්ශිතව
      නැගෙයි හඬක්
      සියුම් ස්වරයෙන්
      'සැබෑ නොවුනත්
      නුඹ මගේ විය
      හීන ලෝකෙක


      අප
      අප පමණක්ම
      සිටින '

      Delete
  10. ලස්සන කවි පද ටික හංසියේ!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි වර්ණ :)

      Delete
  11. සංව්දිව හදපත්ලටම කිමිදෙන කතාවක් වගේම කවි පෙලක්...

    ReplyDelete
    Replies
    1. කතාව හිතට ගොඩක් දනුනනම් ඒක මට සතුටක් මනෝ :)

      Delete
  12. \\බලාපොරොත්තු වැඩිවන තරමට ඒවා බිදෙන බව හැබෑව.....
    මොන තරන් ආදරෙන් අල්ලන් හිටියත්...
    චුට්ටක් හරි අතැරුනොත් හැම මලක්ම නටුවට වඩා හුළගට ආදරය කරනව....
    ඊසාන දිග මෝසමේ උනත් පතොක් කටුවක් කවදාවත්ම සිනිදු වෙන්නෙ නෑනේ
    හරියට මුරුගසන් වරුසාවකට වුණත් මහා කලුගල් දියවෙන්නෙ නෑ වගේ.....\\

    කියවද්දි මතක්වුනේ මේක.ඒ නිසා මේක දැම්මා.කතාව හරි රහයි.මයියා ගැන මුකුත් කියන්නේ නෑ, කියන්න වචන නැතිනිසා.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුට්ටෝ :) උපුටාගත්ත කොටස හරි රහයි :)

      Delete
  13. අරවින්දට වගේ මටත් හිටිය කතුර වගේ කියවන නංගි යාළුවෙක්,,,...

    ReplyDelete
    Replies
    1. නංගි යාළුව දැන් නැතිද ?

      Delete
  14. හංසි, කොහොමද??? කාලෙකින්...
    කතාව පට්ට...

    ඔයාට ඇත්තටම වුණ දෙයක් ගැන සිතිවිල්ලක් දුර දිග ගිහින්ද මන්දා...

    මම හිතුවේ චතූ අරවින්ද එකතු වෙයි. එතකොට කියවා ගෙන ආපු ටිකේ රසත් නැති වෙයි කියලා...
    ඒත් ඒ වගේ සුලබ අවසානයකට ගියේ නැති එක එළ...
    ඒ වගේම අතර මැදින් දාපු කවි කොටස් කතාවට අමුතු ගතියක් දීලා තියෙනවා වගේ...
    අන්තිම කවි ටික නම් දිග වැඩියි වගේ දැනෙන්නේ නැද්ද??
    අනික් කාරණය තමයි ගොඩාක් වෙලා යනකම් එතනම හිටියා ද ඒ තරම් දිග කවියක් ලියන්ට කියන අදහස එනවා...

    ReplyDelete
    Replies
    1. චතුරංගගේ කමෙන්ටුව මට මග අරුන අදයි පිළිතුරක් ලියන්නෙ ....කතාව මට වුන දෙයක් නම් නෙවේ.හිතින් මවාගත්ත කතාවක් :) අන්තිම කවිය මහේෂ් අය්යගෙන් ඉල්ලා ගත්තෙ කවිය දැක්ක ගමන් හරි ආස හිතුන.කවිය දිග එක ඇත්ත ඒත් මෙහෙම හිතන්න දෙවෙනි පාරටත් හිත අතරමං උනාම අතීතය මතක් කර කර ගොඩක් වෙලාවක් අවන්හලේ පැත්තකට වෙලා ඉන්න ගෑනු ළමයෙක්ව .... එයාට කියාගන්න ගොඩක් දේවල් තිබ්බ කියාගන්න බැරිඋනා .. හිතේ තියන හැමදේම වචන වලට පෙරලුනා ... කාලයක් තිස්සේ හිතේ හිරවෙච්ච ආදරයක් පිපිරිලා එලියට එද්දි වචන ගොඩකට ලියවෙන්න පුළුවන් .......... :)

      Delete