Tuesday, August 11, 2015

බත් කූරා


මගේ පොත් මේසෙ අයිනක පොඩි සතෙක් දඟලනව. පොල්ලක් වගේ දිග නැට්ටක්.විනිවිද පෙනෙන පිහාටු  හතරක්  පිහාටු අස්සේ හීනියට දැල් වියල.ම්ම්ම් ..ඇඟ කොලපාටයි ඔලුවටත් වඩා හෙන පොල් ඇස් ගෙඩි දෙකක් ..මූණ ඉස්සරහින් එලියට පැනල. මූ වෙන මොකෙක්වත් නෙවෙයි  ඉතින්, පොඩි පහේ  බත් කූරෙක්. :D 

මූ මොකද මේ මහ රෑ මගේ මේසේ උඩට වෙලා කරන්නෙ. වත්තෙ මලක එහෙම වහල ඉඳිද්දී පොටෝවක් ගන්නකොට  බලන්නකො.හෙන ගණන් උස්සන බත් කූරෙක් අද මගේ මේසෙ උඩ.ම්ම්ම් .. නිකන් නම් මෙහෙම ඉන්න බෑ මොකක්ම හරි ප්‍රශ්නයක් වෙන්න ඕන.ඉන්න බලන්න ...මාත් මගේ තඩි ඇස් හීනි කරලා මූට ලංවුනා.

බර වැඩක් වගේ.අර පොල්ලක් වගේ තියන නැට්ට අමාරුවෙන් නවාගෙන  ඒ නැට්ටෙන් එක පිහාටුවක් පිරිමදිනව.වෙලාවකට පිහාටුව අග්ගිස්සටම පිරිමැදගෙන යද්දි  පිහාටුව අග්ගිස්සෙ නැට්ට රැඳිලා ගලවගන්න බැරිව දඟලනවා. මම තව පොඩ්ඩක් ලංවෙලා පරික්ෂා කලා.හරිනෙ මේ කරගෙන තියෙන්නේ වැඩක්.. අලුත වියපු මකුළු දැලක් අස්සක රිංගලද කොහෙද. මේ තියෙන්නෙ පිහාටුව අග්ගිස්සෙ මකුළු දැල් ගුලියක්. ඕක ගලව ගන්න බැරිව තමා මේ මගේ මේසෙ උඩ රැඳිල ඉන්නෙ.මොනවා උනත් ඇලිල තියන මකුළු දැල් ගුලිය නම් වේලිච්ච පරණ එකක් නෙවෙයි.පිහාටුව පිරිමදින පාරට ඒක නැට්ට එක්ක ඇලෙන ජාතියේ අලුත් මකුළු දැල් ගුලියක්. 

ඇද්ද.... දැන් වටේම රවුම් ගහල ගහල කරගත්තද වැඩක්.ඕක තනියම ගැලව ගන්න බෑනේ .මෙන්න මෙහෙට එන්න මම උදව් කරන්න.මම හෙමිට මගේ අත දික්කරා.හ්ම්ම් ..එන්නෙ නෑනෙ. ඈතට ඈතට යනව මෙන්න. මේ බත් කූරෝ එනවද නැද්ද .මට තරහ යනවා හරි....මම තරහින් ආයෙත් මගෙ ඇඟිලිතුඩු ලං කලා.ඔන්න දැන් හෙමිට හෙමිට ඇඟිලි තුඩු වලට නැගල මූ එනව. :) පුංචි කකුල් අතදිගේ යද්දී පොඩි අඬු වලින් අත අල්ලනවා වගේ දැනෙන්නෙ.ආවත් කොහෙද එක තැන ඉන්නේ නෑ අත්ල වටේම කැරකෙනවා.

ඔන්න ආව චාන්ස් එකක් ආයෙ ලැබෙයිද මේ වගේ අවස්ථාවක්.ගත්ත ෆෝන් එක දැන් බත් කූරව පොටෝ එකක් ඇතුලට දා ගන්න මෙහෙයුම. 

කෝ මේක  හරියට වදින්නේ නෑනෙ.බොඳ වෙනවනෙ. :( ඉඳල ඉඳල අවස්ථාවක් ලැබිල පොටෝවක්  ගනිද්දි  කැමරාවත් පිස්සු නටනව.
මට දැන් කැමරාව අස්සෙන් මූව පෙනවා.කෝ ඉන්න.. යන්නෙපා ..ඔහොම ඉන්න...හරි තව එකයි තව එක පොටෝවයි...පොඩ්ඩක් ඉන්නකො දඟලන්නෙ  නැතිව.කැමරාව අස්සෙන් මට පේනවා මූබොහොම අමාරුවෙන් අර මකුළු දැල් ගුලිය ගලවගන්න හදන හැටි.




හංසි -_-  ..මොකක්ද ඔය කරන්නේ  ආ .. පේන්නෙ  නැත්ද අර අසරණ බත් කූර අමාරුවෙන් දඟලන හැටි.මෙතන පොටෝ ගන්නවා.අරූ අමාරුවෙන් දඟලනවා.හිතක් නැත්ද ඌට උදව් කරන්න.හරිම කැතයි හරිම කැතයි ...නවත්තනවා ඕක...හ්ම්ම් ..හිත බෙරිහන් දෙනවා..මට මං ගැනම ලජ්ජා හිතුන.ලොකු වරදක් කලා වගේ දැනුන.විසික්කලා ෆෝන් එක පැත්තකට.හරි බත් කූරෝ ඉන්න මම උදව් කරන්නම්.

ඔන්න පටන් ගත්ත මෙහෙයුම.වම් අතේ බත් කූරා දකුණු අතේ පොඩි අල්පෙනෙත්තක්.දැන් පටන් ගත්ත පොඩි ශල්‍ය කර්මයක්.බත් කූර පොඩ්ඩක් එහාට මෙහාට දැඟලුව.මගෙ  උදව් ඕන නෑ කියන්න වගේ තනියම අර මකුළු දැල් ගුලිය ගලවන්න හදනවා. අන්තිමට මකුළු දැල් ගුලියේ නැට්ට අලවාගෙන ගලවගන්න බැරිව දඟලනවා.ඔහොම ඉන්න.. ගලවන්න බෑනේ ඔහොම.

මම අල්පෙනෙත්තෙන් මකුළු දැල් ගුලිය ගලවන්න ඇද්ද.ඔන්න දැන් නම් දඟලන්නේ නෑ.මම උදව් කරයි කියල හිතල වගේ. ඒත් ඉතින් අර මකුළු දැල් ගුලිය ලේසියෙන් යන්නෙත් නෑ.කොහොල්ල වගේ ඇලිල.අදින්නත් බයයි.අර පොඩි තටුව  ගැලවෙයි කියල.හෙමිට අදිද්දී ඔන්න බත් කුරට රිදිලා ආයෙම දඟලනවා... හ්ම්ම් වැඩේ හරියන්නේ නෑ. මේක අල්පෙනෙත්තෙන් අරින්නත් බෑ වගෙයි.දැන් මොකෝ කරන්නේ... එකපාරටම මතක් උනා පැන්සල් පෙට්ටියේ තියන කතුර....කතුරක් :O හපොයි මූගෙ තටු කැපෙයි ..එපා...එපා...කතුරෙන් කපන්න එපා ..හිත බෙරිහන් දෙනවා.ඇත්තටම පොඩ්ඩක් හරි වැරදුනොත් අර සියුම් තටුව කැපෙයිනේ. :(  දැන් මොකෝ කරන්නේ...

හිතට පොඩි දහිරියක් ගත්ත.මට පුළුවන් .බත් කූරට තඩි කතුර පෙන්නන්න හොඳ නෑ ඌ බයවෙයි.හෙමිට පිටිපස්සෙන් ඇවිත් මකුළු දැල් ගුලිය අයින් කරමු.. දඟලන්නෙපා ඔන්න දැඟලුවොත් වැඩේ ඉවරයි තමයි...හරිනේ පටන් ගත්ත  එකායි ..දෙකායි .....හුරේ වැඩේ හරි.

රැඳිල තිබ්බ මකුළු දැල් ගුලිය අයින්  උනා.හරිම සතුටුයි.ශල්‍ය කර්මය සාර්ථකයි. හා බත්කුරෝ වැඩේ හරි දැන් යන්න පුළුවන්. හා  දැන් කියමුකො කොහෙටද යන්නෙ ජනේලෙ ඇරල එලියට දාන්නද? කාමරේ ඉන්නත් බෑනෙ.මම නිකමට ඔලුව උස්සල බැලුව .හපොයි.. මකුළුවෝ තුන් දෙනෙක්ම.සිවිලිම කෙලවරේ මුර සේවයක.භයානකයි.අති භයානකයි.. :/ .ඒත් මගේ සැලසුම් ඔක්කොම විනාශ කරලා මෙන්න බත් කූර පියඹල ගිය.:/ ගිහිල්ල නවතුනෙත් අර මකුළුවන්ට පහල තියන ජනෙල් රෙද්දක. හ්ම්ම් අච්චර උඩකට බත් කුර යන්නේ නැතිවෙයි නේද දැන් හිත මගෙන් අහනව.නැතිවෙයි මමත් කිව්ව.බලන්න දැන් බත්කූර පියාඹනව.මට හරි සතුටුයි.

ඊටපස්සේ කොච්චර වෙලාවක් ගියාද මට මතක නෑ මම පොත් මෙසේ ගාව ලැපා තියාගෙන වැඩ කරන ගමන් සින්දු අහගෙන හිටියේ .එත් නිකමට වගේ මට උඩ බලන්න හිතුන ..දෙවියනේ අර මෝඩ තකතීරු බත්කුරා -_- අර මකුළුදැල  අස්සටම ආයේ රිංගලානේ.ඌව හතරට පහට රෝල් වෙලා. ඌව ඔතල ඔතල හිර කරලා මරල දන්න මකුළුවෝ ඔක්කොම එකතුවෙලා.මට එකපාරටම කෑ ගැහුනා.පුටුව උඩට නැග්ග නෙමේ ඉබේම නැගුන.ටක් ගාල බත්කුරව ඇදල ගත්ත.මේ පාර මකුළු දැල් වලින් හොඳටම එතිලා ආයේ දඟලන්නවත් බැරි තරමට මකුළු දැල් වලින් රෝල් වෙලා.පව් ..මැරිලද ?

මම අල්පෙනෙත්තෙන් පොඩි තට්ටුවක් දැම්ම ..වාසනාවක් ..මූට තම පන තියනවා හ්ම්ම් ..මේ පාර නම් ලොකුම ලොකු ශල්‍ය ක්‍රමයක් ..හරි අමාරුයි වගේ. බලමු ..මම වෙලා අරන් හෙමිට හෙමිට මකුළු දැල් ඔක්කොම අයින් කලා....වැඩේ කියන්නේ ඌ පොඩ්ඩක් වත් දැඟලුවේ නෑ.හරි කීකරුව හිටිය.මකුළු දැල් වලින් සම්පූර්ණයෙන් නිදහස් කල බත් කුරව දැක්කම දැනුනේ හරි සතුටක්.අර පොටෝ ගත්තට වඩා සතුටක්.මේ පාර නම් පරිස්සමින් හොඳේ .බත් කූරෝ  ඔයාගේ වෙලාව නම් අද හරි නෑ .ඉන්න මම එලියට දාන්න. එළියේ ඔයාට අනතුරක් වෙන්නැතිවෙයි නේද.

කොහෙද මේ පාරත් මූ ඇහුවේ නෑ.ආයෙත් පියාම්බුව හැබැයි මම මේ පාර විමසිල්ලෙන් හිටියේ කොහේ යයිද කියල බලාගෙන හිටිය මූ පියාඹල පියාඹල උඩට ගිය ..එකපාරටම  ටාං  ගාන සද්දයක් ඇහුන .හ්ම්ම් ... සිවිලිමේ ෆෑන් එකට වැදුන බත්කුර විසික්වෙලා ගියා ...මට ඊට පස්සේ ඌව හොයාගන්න බැරිඋනා .......:(  



   

42 comments:

  1. පින නෑ හංසි............ මොනවා කරන්නද?????? මොනවා වුණත් හංසිට පින අඩුවක් වෙන ඒකක් නැහැ... ෂුවර්

    ReplyDelete
    Replies
    1. ඔව් බත් කූරට පින නෑ....දෙපාරක්ම බේරුවත් අන්තිමට නැතිඋනානේ.ෆෑන් එකේ වැදිලා විසික් උනේ කොහෙටද කියල දැක්කේ නෑ .හැබැයි වැදුන පාරට ආයේ ජීවත්වේවි කියල හිතන්නත් බෑ :(

      Delete
    2. @කුරුටු ගෑ ගී පවුර
      කරලා තියෙන්නෙ පිනක් නෙවෙයි පවක්

      Delete
  2. බත්කූරා මේ අපිම ද කියල හිතෙනවා යකූ. බොහෝ දේ හිතන්න යමක් ඉතිර කළ කතාවක්.

    ReplyDelete
    Replies
    1. සරල කතාව ඇතුලේ කියන්න හදපුව තියනව.ඒවා දැනුනානම් ඒක සතුටක්...අර බත් කූරගෙ ෆොටෝ ගනිද්දි .මටම මතක් උනා මිනිස්සු කරන දේවල් .කෙනෙක් අමාරුවේ වැටුනම ඔක්කොම නවත්වල ෆොටෝ ගන්න වීඩියෝ කරන සිද්ධි .. මමත් එහෙම ෆොටෝවක් ගත්ත... ඔය පින්තුර තියෙන්නේ .එත් හිතේ සතුට තියෙන්නේ ගත්ත පින්තුරෙට නෙවෙයි මහන්සිවෙලා ඌව බේරගන්න හදපු දේට :)

      Delete
  3. කතාව ඇතුලේ හිතන්න සෑහෙන්න දේවල් ටිකක් තියෙනවා කියලා අන්තිමේ හිතුනා.. ලස්සන කතාව..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අය්යෙ.... මේ ඇත්තටම උන දෙයක්.සතාව බේරගන්න වෙලේ මට හිතුන හැමදේම වචනවලට පෙරලුව :)

      Delete
  4. එක්කෝ මකුළුවන්ට කන්න ඇරියානම් හොඳයි , උන්ට කෑම හරි ලැබෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව්.ඒත් ඉතින් බේරගත්ත සතා බලාගෙන ඉඳිද්දි මැරෙන්න අරින්නත් දුකයිනෙ

      Delete
  5. අපි වගේම තමා හංසි .................
    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මෙහෙම බත් කූරෝ බේරගත්තට පොඩි කාලේ හංසි අය්යත් එක්ක බත් කුරන්ට හරි වැඩ කරලා තියනවා.බත් කූරෝ අල්ලල නැට්ටට පොඩි නුලක් ගැටගහල අත අරිනව ඒ ආයෙත් එද්දී ඒ බත් කූර ව හොයාගන්න.පව් වැඩ තමා ඒ ඉතින් චුටි කාලේ නොතේරෙන කමට කල එවනේ :) .

      Delete
  6. පවට පින දෙන්න බෑ.. ඒත් හිතට සහනයක් තියෙනවා පුංචි හරි උත්සහයක් ගත්තම.. නේද?

    ReplyDelete
    Replies
    1. අවසානය දුක්බරයි ඒත් ගත්ත උත්සාහයට පොඩි සතුටක් හිතේ ඉතිරියි.

      Delete
  7. යන්න වෙලාව ආවම හංසියෙක්ටවත් බත්කූරාව නවත්තන්න බෑ. පව් ඉතින් ඌ. :(

    ReplyDelete
    Replies
    1. ඇත්තනෙ මම දෙවෙනි පාරට බේරුවේ නැති උනොත් ඌ කලින් මැරෙනව.මැරෙන එක මට නවත්වන්න බෑ...හ්ම්ම් බත් කූර හිතන්න දෙයක් ඉතිරි කරලා ගිහින්.

      Delete
  8. ඔන්න හංසි හොද පොටකට ඇවිත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි:) ...........ඒත් වෙච්ච දේට තාමත් දුකයි.

      Delete
  9. කුහුඹුවෝ කෙටි කතාව මතක් වුණා
    ජයවේ හංස්

    ReplyDelete
    Replies
    1. කුහුඹුවෝ කෙටි කතාව කියවල නෑ.ලේඛකයා කවුද ? පොතේ නම ?මට මේපාර පොත් ප්‍රදර්ශනයෙන් ගන්න පුළුවන් වේවි :)

      Delete
    2. මඩවල එස් රත්නායක

      Delete
  10. වැරදි අදහසක් හරියි කියලා හිතාගෙන කරපු නිර්මාණයක්.
    ඔයා කරල තියෙන්නෙ වැරදි වැඩක්. ඔයාට කොහොමටවත් අයිතියක් නෑ මකුළුවගේ කෑම වේල අහිමි කරන්න​. මකුළුවා දැලක් වියලා බත්කූරව අල්ලගත්ත එක අයිති ස්වභාදහමට ඔයට කොහොමවත් අයිතියක් නෑ ඒ මැද්දට පැනලා මකුළු කෑම වේල අහිමි කරන්න. කරලා තියෙන්නෙ නම් පොඩි දෙයක් ඒත් ඔයාගෙ බත්කූරව නිදහස් කිරීමේ අදහස ගොඩාක් වැරදියි. ඔයා වගේ හිතන හැමෝම තම තමන්ට ඕන විදියට ස්වභාදහම වෙනස් කරන්න ගියපු එකෙන් වෙලාතියන විනශය නම් පොඩි නෑ නේද​? ඔයා පිනක් කියලා කරලා තියෙන්නේ පවක්. හරියි කියලා කරලා තියෙන්නෙ වැරදි දෙයක්.
    පොඩ්ඩක් හිතන්න ඔය මකුළුවා ඒ විශේෂ ඉන්න අන්තිම ගැහැණු මකුළුවා කියලා. ඌට දවස් ගානකට කෑමක් නැතිව ඉඳලා තමයි බත්කූරව අල්ලා ගත්තෙ ඔයා ඌව නිදහස් කරලා මකුළු දැලත් කඩලා දැම්මම මකුළුවට වෙන කෑමක් හොයගන්නත් නැතිව ඌ බඩගින්නෙම මැරිලා යනවා. ඒ මකුළු විශේෂ එතනින් විනාශවෙලා යනවා. හිතලා බලන්න හංසි ඔයාකරපු දේ ගැන තවම සතුටු වෙනවද​?
    ඔයාට විතරක් නෙවෙයි මෙතන ඉන්න ගොඩක් අයට තියෙන්නෙ ඔය අදහසම තමයි.

    ReplyDelete
    Replies
    1. කොහොමද ඒ බත් කූරත් ඒ විශේෂයේ ඉන්න අන්තිම එකා උනා නම්? මනුස්සයෝ සහ මනුස්ස හැඟීම් කියන්නෙත් සොබා දහමෙම කොටසක් තමයි, එහෙම බැලුවොත් හංසි අහිංසාවාදීව කරපු දේ වැරැද්දක් නැනැ. නමුත් ඉතින් Ima කියන දේ ඇත්තකුත් නැත්තෙම නෑ නෙමෙයි. ක්‍රීඩාවක් විදිහට සත්තු මරන අයත් ඉන්නවනේ..

      Delete
    2. හිතන්න ලොකු දෙයක් ඉතිරි කරපු පිළිතුරක්. ස්තූතියි මෙහෙම අදහස් කියනවට.
      පලවෙනි පාර බත් කූර හිටියේ මෙසේ උඩ ඌ කොහෙන් හරි මකුළු දැලක් පටලවගෙන ඇවිත් .ඌ අමාරුවෙන් දැඟලුව විදිහට උදව් කරන්න ගිය එක නම් පවක් නෑ කියල හිතනවා .සතාව එහෙම බේර ගත්තෙ ඌට පියාඹන්න බැරි නිසා අනතුරක් වෙයි කියන සිතිවිල්ලෙන්.එහෙම අනතුරක්වෙයි කියල බේරගත්ත සතෙක් ආයේ දෙවෙනිපාර මකුළු දැලක පැටලිල මැරෙන්න ඉන්නකොට මකුළු දැලෙන් අයින් කල දේ ක්ෂණිකව කල දෙයක්.මකුළු දැල නම් කැඩුවේ නෑ තාම තියනව.....ඇත්ත....මම මකුළුවගෙ කෑම ගැන හිතුවේ නෑ.බත් කූරගෙ ජීවිතය ගැන විතරයි හිතුවේ.

      Delete
    3. @ ඇනෝ ..ඉමා කියන දේත් හරි කියල හිතනවා.ඇනෝ කියනදේත් හරි තමයි බත් කූර ඒ විශේෂයේ ඉන්න අන්තිම එකා උනා නම්.... සතෙක්ව අනතුරකින් බේර ගන්න එක පිනක් උනාට.තවත් සතෙක්ගෙ කෑමක් නැති කරන එක පවක් නේද .....හ්ම්ම් ... මකුළු දැල නම් තාමත් තියනවා.මකුලුවත් තාම ජීවත් වෙනවා .ඒත් බත් කුරනම් මැරිලා වෙන්න ඕන.

      Delete
    4. @Anonymous
      //කොහොමද ඒ බත් කූරත් ඒ විශේෂයේ ඉන්න අන්තිම එකා උනා නම්// ඔව් එහෙම නම් බත් කූරගෙ විශේෂ නැතිවෙලා යන්න ඕන​. මොක්ද බත් කූර නැතිවෙලා යන්නෙ එයට එයාව ගොදුරු කරගන්න එන්න ස්වභාවික සතුරන්ගෙන් බේරෙන්න බැරිනිසා. එතෙන්දි බත් කූර දුර්වලයෙක් එයාව ආරක්‍ෂා කරන එක වැඩකට ඇති දෙයක් නෙවෙයි. ස්වභාදහම පාලනය කරන්න ඕන අපිට ඕන විදියට නෙවෙයි.
      මම නම් සත්තු මරන්නෙ නෑ. ඒත් අනිත් සත්තු ජීවත් වෙන්න ඕන අපිට ඕන විදියට කියලා හිතන්නෙ නෑ. අපි මිනිස්සු ගැන තීරන ගන්නකොට ඒ තීරනේ හදවතින් ගන්න එක හරි ඒත් ස්වභාදහමෙ තියන අනිත් දේවල් ගැන අපිට හිතන්න බෑ. එතකොට හදවතට වඩා බුද්ධිය වැදගත්
      අපි මිනිස්සු ගැන තීරන ගන්නකොට ඒ තීරනේ හදවතින් ගන්න එක හරි ඒත් ස්වභාදහමෙ තියන අනිත් දේවල් ගැන අපිට හිතන්න බෑ. එතකොට හදවතට වඩා බුද්ධිය වැදගත්. ක්‍රීඩාවක් විදිහට සත්තු මරන එක වැරදියි. ඒත් කෑමට සත්තු මරන එක වැරදි නෑ. (මම නම් මස් මාලු කන්නෙ නෑ...)

      Delete
    5. @හංසි
      පළවෙනි පාර ඔයා කරපුදේ හරි. දෙවෙනිපාර ඔයා වැරදියි. තුන්වෙනිපාර අයි ඔයා මුකුත් කලේ නැත්තෙ කියලා පුදුමයි. අඩුම ගනනෙ එයාට මොකද උනේ කියලා බලන්න තිබුනා.....

      Delete
    6. "ඔයා කරල තියෙන්නෙ වැරදි වැඩක්. ඔයාට කොහොමටවත් අයිතියක් නෑ මකුළුවගේ කෑම වේල අහිමි කරන්න​. මකුළුවා දැලක් වියලා බත්කූරව අල්ලගත්ත එක අයිති ස්වභාදහමට ඔයට කොහොමවත් අයිතියක් නෑ ඒ මැද්දට පැනලා මකුළු කෑම වේල අහිමි කරන්න. "

      ජීවීතේ කවදාහරි මරණ බය කියන එක දැනිලා තියෙනවද?
      දැනිලා තියෙනවා නම් ඔය හිතන විදිය වෙනස් වෙයි!

      Delete
    7. @ ඉමා මම තුන්වෙනි පාරත් බැලුව. ඒත් මට බත් කුර වැටුනේ කොහෙටද කියල දැක්කේ නෑ.හොයල හම්බුනේ නැති තැන තමයි අතෑරියේ .ඊට පස්සෙත් හිතුව බත් කුර දඟලන සද්දේ හරි ඇහුනොත් හොයනවා කියල. ..... ඉමා සතෙක් දුර්වලයි කියල උගේ ජීවිතේ නැතිවෙනකන් බලන් ඉන්න එක නම් වැරදී නේද....ඉමා කිව්ව එක දේකට එකඟයි සොබාදහම අපිට ඕන විදිහට වෙනස් කරන්න හොඳ නෑ කියන එක.ඒත් එක පාරක් අනතුරකින් බේර ගත්ත සතෙක් ආයේ පාරක් මැරෙන්න ඉන්න කොට කවුරු උනත් අහක බලාවි කියල හිතන්න අමාරුයි.දෙවෙනි පාරත් බේරුවම ඌට තනියම පියඹන් යන්න හයිය තිබ්බනේ ඌ දුර්වලයි කියන්නත් බෑ ....හ්ම්ම් කොහොම උනත් මෙහෙම ඉමාගේ අදහස් කිව්ව එකට නම් ගොඩක් ස්තුතියි :)

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. අවුරුදු ලක්ෂ ගානක් තිස්සේ පරිනාමය වුනු ගොඩක් සත්තු වඳ වීගෙන යන්නේ මිනිස්සුන්ගේ වැරැද්දෙන්, ඉතින් ඌ දුර්වලයෙක් කියලා අතාරිනවට වඩා රැකගන්න උත්සාහ කරන එක හොඳයි කියලා මම නම් හිතන්නේ. සොබාවික ආහාර දාමය බිඳින එක නම් වැරැද්දක් තමයි. කොහොම වුනත් බත් කූරාගේ මලකුන වෙන කෲමියෙක්ගේ ආහාරය වෙන්න ඇති, මකුලුවත් වෙන කෑමක් හොයාගන්න ඇති, හංසිත් එයා කරපු වැඩේ හින්දා සතුටින්, හැමෝම සතුටින් විසිර ගිහින්, අපි දෙන්නා වාද කරන එක තේරුමක් නැහැ. මමත් සත්තු මරන්නේ නැහැ, නමුත් නිර්මාංශ වෙන්න නම් තාම බැරි වුනා. දන්න විදිහට හංසිත් නිර්මාංශ, දෙපලටම මගේ ආචාරය ඒ වෙනුවෙන්!

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම අදහස් එක වගේ නෑ .අපි හැමෝම හිතන විදි වෙනස්.බලන කෝණය අනුව දෙගොල්ලොම හරි කියල දැනෙනවා.කොහොම උනත් මේ අදහස් දැක්වීම් වලට ස්තුතියි :)

      Delete
  13. මමයි පොඩි මෙන්ඩයි දවසක් කලාමැදිරියෙක් බෙරැවා

    ReplyDelete
    Replies
    1. මාත් නාන්ඩ ගියාම වතුර ටැංකියේ වැටිපා ඉන්න කූඹීව බේරනවා!

      Delete
    2. @ මෙන්ඩ මමත් කණාමැදිරි බේරලා තියනව :) @රූපේ කුඹි නම් හරි වද කාරයො ඒත් ඉතින් වතුරක වැටිලා ඉන්නකොට නම් බේරලා ගන්නවා :D

      Delete
  14. කොහොමහරි බත්කූරට තව තත්පරයක් හරි වැඩිපුර ජීවත් වෙන්ඩ දීපූ එක නම් හෙන පිනක්!

    ReplyDelete
  15. අද නම් මන් හොඳටම පරක්කුයි. සොරි අප්පා... මොනා උනත් හොඳ වැඩක් කරලා වගේ....

    ReplyDelete
    Replies
    1. මමත් පිළිතුරක් එවන්න පරක්කුවෙලානෙ...වැඩ අප්ප එපා වෙනවා ..:( ... (චන්ද වැඩ නෙමේ හරි :D )

      Delete
  16. අපිත් වෙලාවකට අර බත් කූරා වගේ, තව වේලාවකදී බත් බත් කූරා වගේ අසරණ වෙච්චි අපිම මකුළුවෝ වගේ අවස්තාවාදීත් වෙනවා නේද? ඒක තමයි ක්‍රමය අපි හැඩ ගැහිච්ච.

    ReplyDelete
    Replies
    1. සරල කතාවක ගැඹුරටම හිතපු හැටි ..නියමයි අය්යේ ...ස්තුතියි වැඩ ගොඩක් තිබ්බත් මේ පැත්තට ආවට :)

      Delete
  17. ගෙදර තියන මකුළුදැල් ටික කඩල දැම්මනම් නරකයි නේද?

    ReplyDelete
    Replies
    1. ඕනෑම දෙයක් ඕනවට වැඩිය හිතන්න බෑනෙ සත්තු මැරෙයි කියල කාමරේ ජරාවට තියලත් බෑනෙ ..මකුළුදැල් කැඩුව :)

      Delete