Saturday, November 1, 2014

මුරණ්ඩු සිත -නිදහස සොයා යාම

චූටි දුව මම හෙට අනුරාධපුරේ මලගෙදරකට යනවා මාමත් එක්ක. තාත්ත හෙට වැඩ ඇරිලා එහෙම්මම පාටි එකකට යනවා කිව්ව.ඔය හෙට ගෙදරනෙ  ඉන්නෙ පරිස්සමින් ඉන්න  හොඳේ.හොඳට දොරවල් අගුලුදාළ ඉන්න.කවුරු ආවත් දොර අරින්න එපා.බල්ලව ඇරල තියන්න.ආධාර කාරයෝ එයි රැවටෙන්න එපා  ළඟටවත් යන්න එපා හොරුත් එනවා ඔය වගේ. ගේ ඇතුලටම වෙලා ඉන්න හරිද. තාත්ත ගියාට පස්සෙ  ගේට්ටුව ඇතුලින් ඉබ්බා දාගන්න .මොනවහරි  වුනොත් ටක් ගාල තාත්තට කෝල් එකක් දෙන්න. ඔන්න මං කිව්වා දේ මතකනෙ ජනෙල් දොරවල් ඇරලා නිදාගන්නවා එහෙම නෙවෙයි.

හ්ම්ම් ..හෙන ලොකු උපදෙස් මාලාවක්  අම්ම මට එදා රෑත්  දුන්න.ඔක්කොම මතක තියාගන්න ඒ  තරම් අමාරු උනේ නෑ මොකද මේ මං ඇහුව පලවෙනි වතාව නෙවෙයි. මේ ටික මේ උපදෙස් මේ විදිහටම දහස් පාරකට වැඩිය මම අහල ඇති.ගෙදර වෙන කවුරුත්ම නැතිව මම විතරක් ඉන්න දවස් වලට  හැමදාම ඔය ටික අහනවා.ඇත්තටම එහෙම දවස්වල තනියම ගෙදරට වෙලා ඉන්න ආස උනත් ගෙදරින් එලියටවත් බහින්නැතිව බයේ ගේ අස්සේ ඉන්න එක වෙලාවකට එපා වෙලා තිබ්බේ.මොනවා කරන්නද.ඒත්  ඉතින් මේ තරම් දේවල්  අම්ම කියන්නේ ඇයි  කියල හිතාගන්නත් පුළුවන් මොකද පත්තරයක් දිග ඇරියත් තියෙන්නේ කවුරුහරි කෙල්ලෙක් දුෂණය කරපු එකක් එහෙම නැත්නම් ගෙදරකට හොරුපැන්න එකක් ,පහර ගැනීමක් මංකොල්ල  කෑමක්  බලන් යද්දී ඉතින් ඇත්ත තමයි නිදහසේ තනියම ගෙදරට වෙලා ඉන්න එක තමයි භයානකම දේ.ඇයි  ඉතින් තනියම ඉඳිද්දී  කොයි වෙලේ හරි ගෙදෙට්ට හොරෙක් පැන්නම  මොන දෙය්යන්ට කියන්නද? අනෙක අහල පහල මිනිස්සු ගැන විශ්වාසෙ තියන්නත් බෑ .එකපාරක් මහ දවාලක අහල පහල හැමෝටම පෙනෙන අපේ ගෙදරට හොරු පන්න දවසේ කවුරුත් නොවෙයි  කටක් ඇරියේ.මනුස්සයෙක් කෑගැහුවත් ගෙදරින් එලියට බැහැල බලන්න දෙපාරක් හිතන  මිනිස්සු ඉන්න තැනක මූනට දැක්කත් හිනාවෙලා යන්න බැරි තරම් කුහකත්වයක් තියන සමහර මිනිස්සු ඉන්න තැනක උදව් කරන්න ඉතාම අතලොස්සක් ඉන්න තැනක අම්ම මෙහෙම කියන එක සාධාරණ  තමයි.ඔන්න ඔය වෙලේ තමයි කොල්ලෝ ගැන අතිශය ඉරිසියාවකුත් කෙල්ලෙක් වීම ගැන මහා දුකකුත් ඇතිවෙන්නෙ.


පොඩි කාලේ කිව්වේ මෙහෙමයි.

ඔන්න අන්දුරන්නැති  කවුරුත් මොනවත් දුන්නට ගන්න එපා.
බස් එකේ යද්දී බලාගෙනයි එක එක මිනිස්සු ඇඟට එයි  බලාගෙන 
සමහර රස්තියාදු කොල්ලෝ ඉන්නවා රැවටෙන්න එපා
දන්නැති අයත් එක්ක කතා කරන්න එපා  තනියම කොහෙවත් යන්න එපා   ඔක්කොම එපා එපා එපා ... හ්ම්ම් ...

ඉස්සර ගෙදර මම තනියෙන් ඉන්නවට නම් අම්මල කොහෙත්ම කැමතිම නෑ ආච්චි හරි ගෙදර ඉන්න ඕන.දැන් ඉතින් ආච්චිත් නැතිවෙලානෙ.කාලයක් බය පොඩ්ඩක් නැතිවෙලා තිබ්බ එත් ඉතින් ආයෙ  ගමේ කොහේ හරි තැනක හොරු  පැනල කියල ආරංචිඋනොත්, පත්තරේ ඔයවගේ සිද්ධියක් දැක්කොත් ඉතින් මගේ නිදහස  ගේ බිති ඇතුලට සීමා වෙලා. මං මේ  නිදහස කියන වචනෙට මෙච්චර ආදරේ කරන්නේ .මං හීන මවන නිදහසට මෙච්චර හුල්ලන්නෙ ඒකයි .හැබැයි මට හිතෙනවා මං  ඒ නිදහසට පෙම් කරන එක හරියට පලගැටියෙක්  ඉටිපන්දම් දල්ලට ප්‍රේම කරනවා වගේ කියල.

ඔන්න එදත් මම අම්ම කිව්ව  හැමදේටම ඔලුව වනල  හොඳ  ළමයෙක් වගේ නිදා ගත්ත හැබැයි මගේ හිතේ වැඩ කරපු අදහස ලාවට හරි අම්ම කියෙව්වනම් ආයේ ඉතින් එක දවසක් හරි මම ගෙදර තනියෙන් ඉන්නවා බොරු.

පහුවෙනිදා උදේම අම්ම මාව නැගිට්ටුව ඒ උදෙන්ම අම්මයි තාත්තයි ගෙදරින් යන නිසා මම අම්මයි තාත්තයි යනකන් බලන් හිටිය.ඊට පස්සේ ඇඳට වෙලා කල්පනා කරා මොකද  කරන්නේ මම මගේ නිදහස තනියම බුක්තිවින්දිනවද නැත්නම් හැම සීමාවක්ම බිඳ දාල මුරණ්ඩු විදිහට මම මගේ නිදහස හොයාගෙන යනවද.ජීවිතේ එක දවසක් හරි බයක් නැතිව හුස්ම ගන්න අදවත් පුලුවං වෙයිද ?ගෙදර ඔක්කොම දොරවල් ඇරලා ඕන එකෙක්  එත්දෙන් කියල චන්ඩිය වගේ ඉන්නවද  නැත්නම්  වෙනද වගේ ගේ අස්සට වෙලා ගෙම්බෙක් වගේ ඉන්නවද  නැත්නම් කොහේ හරි යනවද ? මොකද කරන්නේ මගේ හිත අහනව. මං හිතත ඇතුලෙන් මගේ හීන එකින් එක පෙලගස්සුව බර අඩුම හීනේ මොකක්ද.චූටිම  හීනයක් .සැහැල්ලුව නිදහස සතුට කැවිච්ච චූටි හීනයක්. හීන මල්ල එලියට  ඇදල ඇදල අන්තිමට එකක් හොයාගන්න පුළුවන් උනා  ඊටපස්සේ ආයෙත් හීන මල්ලට ඉතිරිහීන ටික පුරෝලා පරිස්සමට ගැට ගහල තිබ්බ වෙනින් දවසක් අවොත් ආයේ ඇරලා බලන්න.

මම බිත්ති ඔරලෝසුවේ වෙලාව බැලුව වෙලාව උදේ 7.30 ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඔයාගේ වෙලාව සීමිතයි හිත මට කලබල කරනව.මම  ඉක්මනට ලෑස්ති උනා නිලපාට  ඩෙනිමක් ඇඳලා  මම ආසම  රතු අත්දිග කොටු කොටු ෂර්ට් එක ඇඳලා  ඒක වැලමිට ගාවට වෙනකන් නවා  ගත්ත.කොන්ඩෙත්  ඕනවට එපාවට පෝනිටෙල්  එකක් ගහල  කන්නාඩිය ගාවට පොඩ්ඩක් බෙල්ල දාල බැලුව හි... හී ..කොල්ලෙක් වගේ මං මටම හිනාවුණා ..මේ පිස්සු කරන්න වෙලානෑ  දැනටමත්  පරක්කුයි අම්මල එන්න කලින් ආයේ එන්න ඕන .. යමු යමු ..ඔන්න හිත ආයෙත් කලබලවෙලා ..මං  ටක් ගාල දොර වහල යතුරත් අරන්  ගෙදරින් එලියට පැනගත්ත.

හතිදාගෙන දුවල ගිහින් 138 බස් එකක් අල්ල ගත්ත .කොටුව ස්ටේෂන්. මම ටිකට් එකක් ගත්ත.

හිත වෙනදට වඩා  හය්යෙන් ගැහෙනවා.හරිම නොසන්සුන්.ඒ අස්සෙන් වරදකාරී හැඟීමකුත් දැනෙනවා  නෑ කමක් නෑ  මම හරි මම මගේ  වරදකාරී  හැඟීම යටපත්කරන්න උත්සාහ කලා.ඔයාල හිතනවද ඒක ලේසි වැඩක් කියල නෑ කොහෙත්ම නෑ. පලවෙනි වතාවට මෙහෙම කරන්නේ.හිත දෙගිඩියාවෙන් .මොනවා හරි වෙයිද ? අම්ම බනීද ?හදිසියේ හරි අම්ම හරි තාත්ත හරි  ආපහු හැරිලා ගෙදර ආවොත් එයාල මොනවා කරයිද ? මට ගුටි වැස්සක් ??? .හිත අහනවා.. අවුලක් නැද්ද ?ඔයාට යන්නම ඕනද  ? තව පොඩ්ඩක් හිතනවද... මගින් බැහැල ආයේ ගෙදර යනවද?  ..මම හිතට කිව්වා නෑ අපි යමු. හිත ඒ පාර නිහඬ උනා.

මම ස්ටේෂන් එක ළඟටම යන්නේ නැතිව පිට්ටු බම්බුව පේන  තෙක් මානෙන්  බස් එකෙන්  බැස්ස  කොළඹ හරිම ලොකුයි. මං එකේ ඉන්න චුට්ටං  කුඹියෙක් වගේ. මමWTC  එක තියන පාර දිගේ හෙමිහිට ඇවිද ගෙනගියා ඈත පේනවා නිලට නිලේ මුහුද . අන්න මගේ සිහින ඉසව්ව.මගේ හිත කියාගන්න බැරි තරම් සතුටින් පිරිලා.මගේ හීන ගොඩේ තිබ්බ චූටිම හීනේ මොකක්ද ? ඔයාලට හිතාගන්න පුලුවන්ද ?ගෝල්ෆේස්  එකේ උදේ ඉඳන් හවස් වෙනකන් තනියම  නිදහසේ දවස ගෙවන එක.කවුරුත්ම නැතිව මම තනියෙන් ...මගේ හිතත් එක්ක දවසක්....අය්යෝ හලෝ ඕකද ඔයාගේ හීනේ? ඔයාල මට දැන් හිනාවෙයි .....හරි හිනාවෙන්නකො......................ඉවරද හිනාවෙලා ? ??   මම කියන්නම් මේක හීනයක් උනේ කොහොමද කියල .

හැමදාම උදේ හවස  මම තාත්ත එක්ක බයික් එකේ කැම්පස්  යන්නෙ ගෝල්ෆේස්  එක පහු කරන්  ඒ කියන්නේ ගාලුපාරෙන් ,සමහර දවස් වලට  වැල්ලවත්ත හරියේ ඉඳන්ම රේල්පාරත් එක්ක තියන මුහුද බලාගෙන එනවා. කෝච්චි යද්දී  ඒ කෝච්චියකට නැගල මුහුද පැත්තට බෙල්ල දාල යන්න තිබ්බ නම් කියල හිතුන.මොන හේතුවක් හින්දද මං දන්නේ නෑ මං මුහුදට මාර විදිහට ආසයි.ඒ වගේමයි කෝච්චි වලට.හැමදාම උදේ යනකොට මුහුද දිහා බලන්නේ හරි ආසාවෙන් හිතේ තියන හැමදේම මුහුද දැක්කම නිදහස් වෙනවා .හැම ප්‍රශ්නයක්ම  කනස්සල්ලක්ම මුහුද ගිලගන්නවා වගේ. කැම්පස් ගිය මුල් කාලේ රැග් එකේ තිබ්බ පීඩනයත් එක්ක කැම්පස් යන්න එපා වෙද්දී උදේ පාන්දර මුහුද දකින එක මට මොකක්දෝ සැනසීමක් උනා.ඇත්තටම  උදේ පාන්දර ගෝල්ෆේස් එකට වෙලා  ඉන්න අය ගැන මට තිබ්බේ ඉරිසියාවක්. උදේම නිදහසේ බංකුවක්  උඩට වෙලා ලුණු මිශ්‍ර  වෙච්ච හුළඟ ඇවිත් මූන ඉඹගනිද්දී  තෙරක් නොපෙනෙන ඈත මුහුද දිහා බලාන ඉන්න මට ඕන උනා ...හරි ඕකට ඉතින් හීනයක් තියාගන්න ඕනද?  ඕකට නිකන් ඇවිල්ල යත හැකිනේ ඔයාගේ හිත මගෙන් අහනවා නේද ? ඔව් මන් දන්නවා.මොකුත් ඕන නෑ මේ ටික අහන්නකො. දවසක් මම  අපේ  යාළුවො කට්ටියක් එක්ක ගෝල්ෆේස් යන්න ඕන උනා  අම්ම ගෙන් ඇහුවම ප්‍රශ්න කෝටියයි.කවුද යන්නේ? කා එක්කද යන්නේ ?කීදෙනෙක් යනවද? තනියම යන්න එපා ඔය හරියේ නරක මිනිස්සු ඉන්නවා ...මේ දේ අය්ය  අම්මගෙන් ඇහුවනම් අම්ම කිසිම දෙයක් අහන්නේ නෑ. මං දන්නවා  මේ ඔක්කොම මං කෙල්ලෙක් නිසා. මොන එහෙකටද අප්පා කෙල්ලෙක් උනේ මොකක්ද තියන නිදහස හැම එකක්ම එපා එපා එපා ... යාලුවොත් එක්ක යන්න දෙන්නත් බය වුනාම තනියම යන්න දෙයිද ? නෑ කොහෙත්ම නෑ.අන්න එකයි මට තනියම මෙහෙ  එන්න ඕන උනේ .

මං  පාර  දිගේ ඇවිද ගෙන ගියා.  මුහුද පැත්තෙන් ආව හීතල හුළඟක් මාව සාදරයෙන් පිළිගත්ත. මං කෙලින්ම ගියේ බංකුවක් ගාවට. මං එතන වාඩිවෙලා  ගොඩක් වෙලා හිටිය.

 මුහුදේ රැලි උඩ  පනිනවා ආයෙ  පාත් වෙනවා සමහර රැලි උඩ පැනල  මුහුද අස්සෙ හැංගෙනවා.උඩටම පැන්න සමහර රැලි වේගෙන්  ඇවිත් වෙරලෙ  තියන ගල් හප්පගෙන වතුර මලක් වගේ වතුර විසික්කරනවා. මුහුදේ තාලෙට  ඈත තියන බෝට්ටුවක් හෙමිට හෙමිට  පැද්දෙනවා එක බලන් ඉන්න මගේ හිතත් පැද්දි පැද්දි  හදවතින් ගැලවිලා කාන්සලු ගතිය, දුක, විඩාව,දෙගිඩියාව ඔය  ඔක්කොම අරගෙන මුහුදට විසිකරලා ඈතට පාවෙලා යනවා පාවෙලා යන්නේ මගේම මගේම මට විතරක් අයිති මනෝ ලෝකෙට.




මම ටිකක් වෙලා ඇස් පියන් මනෝ ලෝකෙට  යන්න ඉඩ දුන්න .හැබැයි දිගටම ඇස් පියන් ඉන්න බය හිතුන අනේ මන්ද සමහර විට මට අම්ම කිව්වා දේ මතක් උනා  "ඔය හරියේ නරක මිනිස්සු ඉන්නවා ".....

ඇත්තටම කිව්වොත් මට ඕන මෙතන මුළු දවසම ගත කරන්න ලස්සන සින්දුවක් අහන ගමන් උණු උණු තේකක් බිබී ලස්සන චිත්‍රයක් සිතුවම් කරන්න.එහෙම නැත්නම් මම ආසම සින්දුවක්  මෙතනට වෙලා ගිටරයකින් වාදනය කරන්න. වැල්ලට පැනල කෑගහල නටන්න. වැලි එකතුකරලා පොඩි එකෙක් වගේ වැලි මාලිගා හදන්න.වැල්ලේ මගේ නම ලියල  මුහුදු රැල්ල ඇවිත් මගේ නම අරගෙන යන හැටි බලන්න චුටි චුටි සිප්පි කටු ඇහිඳින්න එකේ ඇතුලේ මුතු ඇට  තියනවද බලන්න. චක් චක් ගාල වැල්ලේ පෙණ පිඩු  පාගාගෙන පැන පැන  ඈතට දුවන් යන්න .ඔන්න ඕවගේ අහිංසක ආසාවල් ගොඩක් තමයි මට තිබ්බේ හැබැයි ඔය කිව්ව දේවලින් සමහරක් කරන්න මට මුළු ගෝල්ෆේස් එක වටේටම ඇඳිරිනීතිය දාල මං විතරක් එන ක්‍රමයක් සැලසුම් කරන්න වෙයි ඇයි  දෙය්යනේ  නිකමට හිතන්න වැල්ලට වෙලා මූදේ රැලි පාග පාග මං  නටද්දී මං පිස්සියෙක් කියල කවුරුහරි මව හොස්පිටල් එකට  ඇදගෙන ගියොත්.ඒ නිසාම ඔය සිතිවිලි වලින් සමහරක්, ඉටු කරන්න බැරි ආසාවන් මම ආයේ හීන මල්ලට දාල ගැටගැහුව.

මම බංකුවට වෙලා පැය 2,3වත් ඉන්නැති මම දැක්ක එක්කෙනා දෙන්න මං දිහා ඕනෑකමින් බලාගෙන යනවා මට මොකෝ ඕන දෙයක් හිතපුවාවේ මං අහක බලාගත්ත.

දවල් වෙන්න කලින් මට වැල්ල පාගන්න ඕන උනා මං හෙමිහිට  වැල්ල පැත්තට ගියා. වැල්ල දිහා බලන එකම ආස හිතෙන දෙයක්. චුට්ටක් මැද්දට ගියාම රැල්ලෙන් එන වතුර පාරේ සැර කකුල් වලට හොඳට දැනෙනවා වෙරළට එන රැල්ල අයෙත් මුහුදට යන්නේ මගේ කකුල් වටේ තියන වැලිත් හෝදගෙන වැල්ල කිරි පාට පෙණත්  එක්ක ආපහු යන සැර කකුල් ඇදල  ගන්නවා වගේ.එක හරියට සුදුපාට ශෝල්  එකක් කකුල වටේ දාල මුහුද දිහාවට අදිනවා වගේ. මං ඈත මුහුද දිහා බලාගෙන මුහුදත් එක්ක හිනා උනා. තව ටිකක් මුහුද දිහාට ගියා. හොඳ හුස්මක් ගත්ත .සැහැල්ලුයි ජීවිතේම සැහැල්ලුයි හිත සතුටුයි  මාරම සතුටුයි.සංකීර්ණ ජීවිතේ මොහොතකට අමතකඋනා  මගේම ලෝකෙක මං  ආයෙත් පාවෙලා  ගියා.

මගේ ජීවිතේ තියන හීන වලින් එකක් මේක. මේක චූටි හීනයක්.  තව තියනවා ....ලෝකේ වටේ තනියම ඇවිදින එක වෙන කවුරුත් එක්ක නෙමේ තනියෙන්  මම විතරයි ලොකු කැමරාවක් අරන් ලස්සන කඳුවැටි වලට නැගල ඈත පින්තූර  ගන්න, ලස්සන ලස්සන මල්වල, සත්තුන්ගේ පින්තුර ගන්න.හවස් වෙලාවක මුහුදක් අයිනට වෙලා ගිනිමැලයක් ගහගෙන ලස්සන සින්දුවක් කියන්න ..මේවා හීන විතරනේ ඔයාල හිතනවද මට එහෙම යන්න වෙයි කියල.කැම්පස් ඇරිලා රැවෙලා  ගෙදර එනවට බය ගෙදරින් පිට කොහේ හරි තනියම යනවාටත් බය කොටින්ම ගෙදර තනියම ඉන්නවටත් බය ගෙදර අය  මේ හීන වලට ඉඩක් දෙයිද නැත්නම් හීන ටික අඳුරු පෙට්ටියක දාල තඩි ඉබ්බෙක් දාල යතුර හංගයිද ?.ගෙදරින් කැමතියි කියමුකෝ  මේ සමාජයේ  අද වගේ කාලෙක කෙල්ලෙක්ට එහෙම තනියම ඉන්න පුලුවංවෙයිද ..මං කියන්නේ කිසිම කරදරයක් නැතිව.????කොල්ලෙක්නම්  කරදරයක් නැතිව ලෝකේ වටේ සංචාරය කරයි ඒත් කෙල්ලෙක්ට? ?..  :( හරිම නරකයි  ...........

මම තව ටිකක් වෙලා රැල්ල පාග පාග හිටිය ඒත්  වැඩිවෙලා එතන ඉන්න හිත දුන්නේ නෑ අම්ම කිව්ව කතාව ආයෙත් මතක් උනා.ටිකක් රස්තියාදුපාට කොල්ලෝ සෙට් එකක් මං දිහා බල බල මොනවද කියව කියව  හිටියේ මං  හෙමිට එතනින් මාරු උනා. පොඩි බඩගින්නක් දැනුන නිසා උණු උණු  වඩේ එකක් අරන් ආයෙමත් බංකුව  උඩ වාඩි උනා....මේ වෙලාවේදී තමයි හිත ගැහෙන සිද්ධියක් උනේ.අම්මගෙන්  කෝල් එකක් ..ඉවරයි  දැන් මොකෝ කරන්නෙ ෆෝන් එක දිහා බිරාන්ත වෙලා බලාගෙන මං ටිකක් වෙලා කල්පනා කලා.ලොකු හුස්මක් අරන් ...හලෝ අම්ම ...

හලෝ පොඩි දුව ගෙදර පරිස්සමෙන් නේද.උදේට කෑවද ?

අහ්හ් .. ඔ ..ඔව්.. අම්ම...මම කෑව  ..මං  හොඳින් ..මගේ වචන පැටලුනා  ..

හා  එහෙනම් පරිස්සමින් මං ඉක්මනට එන්නම්  බුදුසරණයි අම්ම ෆෝන් එක තිබ්බ.
සාමාන්‍යයෙන්  මං ගෙදර තනියෙන් ඉන්න දවසට අම්මයි තාත්තයි 3,4 පාරක් කතා  කරනවා. ඒ මං  හොඳින්ද අහන්න.ඇත්තටම මට එයාලට වැරද්දක් බොරුවක් කරන්න ඕන උනේ නෑ  නරක වැඩක් කරන්නත් ඕන නෑ එත්   මං ජීවත් වෙන්නෙ  සීමාවල් නීතිරීති සමාජ බැමි වලින් හදපු කුඩුවක නිදහසේ හුස්මගන්න බැරි කිරිල්ලියෙක් වගේ කියල හිතුන.ඒක  ගෙදර අයගේ වැරද්දක් නෙවෙයි මේ සමාජයේ වැරද්දක් ? 

අම්මේ මං ආසයි දවසක ඉන්දියාවට ගිහිල්ල සංගීතය ඉගෙන  ගන්න හින්දි හරි ලස්සන භාෂාවක් මට ආසයි එහෙ ගිහිල්ල හින්දි ඉගෙන ගන්න. එහෙ එක එක ප්‍රාන්ත වල තියන මිනිස්සුන්ගේ භාෂාවල සංස්කෘතියේ වෙනස්කම් බලන්න මගේ ඉන්දියාවේ යාළුවො හම්බෙන්න ..ඊට පස්සේ කැනඩා යන්න ආසයි තව අර චීනේ චීන මහා ප්‍රකාරේට යන්න. ජපානේ සකුර මලක් කනේ ගහගෙන ලස්සන පින්තුරයක් ගන්න හරි ආසයි.ඔන්න ඕවගේ ආශාවන් ගොඩක්  හීන මල්ලෙන් එලියට දාපු දවසට පිස්සුවෙන් වගේ අම්මත් එක්ක කියවනව අම්මත් ඔහේ අහන්  ඉන්නවා .හැබැයි ඒ වෙලාවට අම්මගේ ඔලුවේ වැඩ කරන හිතිවිලි මං දන්නෑ .අම්මේ මං එහෙම ලෝකේ වටේ යන්නද මං අම්මගෙන් අහනවා .අම්ම කියනවා දැන් ඇතිනේද හීන ලෝක වල හිටිය.. දැන් මේ පොල් ටික ගාල දෙන්න නැත්නම් පාඩම් කරන්න යන්න .හ්ම්ම් ..එතැනින්ම ආයෙත් අර එලියට දාපු හීන ආයෙත් හීන මල්ලටම ඔබා ගන්නවා.

එක්කෝ මට පිස්සු නැත්නම් මගේ හිතට පිස්සු  නෑ නෑ  මේ එකක් වත් නෙමේ මේ සමාජය නපුරුයි නරකයි අසමානයි දුෂ්ටයි.එකනේ මෙච්චර කෙල්ලන්ට නීතිදානේ නිදහසේ ඉන්න දෙන්නැත්තෙ. රැකගන්නයි ආරක්ෂා කරගන්නයි  අරවයි මේවයි ගොඩයිනෙ .මට අද වගේ දවසක ඕව හිතන්න ඕන උනේ නෑ මට නිදහසේ අද දවසම ගෙවන්න ඕන උනා ඒත් මේ හිතිවිලි එන එක නවත්වා ගන්න බැරිඋනා .

මං හිතන්නේ අද දවසෙන් බාගයක්ම මම මෙහෙ. දවල්ට කන්නත් ඕන නෑ වගේ  හවස ඉර බහිද්දී මුහුදේ ලස්සන බලන්නත් ඉන්න ඕන.මේ මුහුද ,සොබාදහමේ එක සොඳුරු නිමැවුමක්, මගේ ජීවිතේ සැහැල්ලුව නිදහස ඇතිකරන අපූරුව.ඇයි ගොඩක් අය  නිදහසේ ගත කරන්න මුහුදක් ගාවට එන්නේ කෙනෙක්ට හිතන්න පුළුවන්නේ මේක නිකන්ම නිකන් වතුර ගොඩක්නේ  කියල.ඒත් ඔය හැමෝගෙන්ම නිකමට අහල බලන්න මුහුද ගැන ඇත්තටම ඒ අයට දැනෙන්නෙ මොකක්ද කියල.

මුහුදයි ..නිදහසයි... මමයි..හ්ම්ම් ... දවස නරකම නෑ.මුරණ්ඩු තීරණයක් ඒත් මේ මගේ හීන ලෝකෙ තුල මං ජීවත් වෙන්න  චරිතය. ඒ චරිතයට හෙමින් හෙමින් හුස්ම කවල ජීවත් කරවන්න මං  ආසයි  එතකොට මේ ලෝකේ මං ආසම විදිහට නිදහසේ ඉන්න පුළුවන් .

දන්නෙම නැතිව හවස් වෙලා මට හවස් වෙනකං ඉන්න ආසයි ඉරේ  රන්  පාට සායම් මුහුදේ ගෑවිල මුහුද දිලිසි දිලිසි තියන හැටි බලන්න හවස් වෙනකං ඉන්න මං ආසයි ඒත් හවස් වෙනකං තනියම ඉන්න මොනවා උනත් හිත බයයි.  අම්ම තාත්ත එන්න කලින් යන්න ඕන .තව පැයකින් ගෙදර යනව එතකං ආයෙමත්  හුදකලාවේ භාවනාව ඉඩක්   හ්ම්ම් ... මං ආයෙත් ඇස් පියාගෙන මුහුඳු හුළඟට හිත පාකරා.... 





27 comments:

  1. අහිංසක මුරණ්ඩු කමක්.. :)
    මමත් බම්බලපිටියෙ ක්ලාස් තියෙන සමහර ඉරිිද දවස්වලට ක්ලාස් එකේ ඉඳන්ම ගෝල්ෆේස් එකට ඇවිදගෙන ඇවිත් හැන්දෑ වෙනකංම ඔහේ රස්තියාදුවක් ගහල කොටුවට පයින්ම ගිහිල්ල බස් එකේ ගෙදර යනවා.. හුදෙකලාව කියන එක හරි අපූරුවට විඳින්න පුළුවන් දෙයක්.. !!

    ReplyDelete
    Replies
    1. //අහිංසක මුරණ්ඩු කමක්.. :)
      මෙන්න මේ වචන ටිකට මගේ හිත ගියා සංචාරකයො මෙහෙම නිදහසේ හුදෙකලා රස්තියාදු ගහන ඒවා ගැන මට කියන්න එපා එතකොට දුක වගේම ඔය නිදහස් ජීවිතේ ගැන පොඩි ඉරිසියාවකුත් එනවා :) නිදහසේ හවස් වරුවක ගෝල්ෆේස් ගිහිල්ල තියනවනම් තව මොන කතාද හුදෙකලාවත් සැහැල්ලුවත් එක්ක දැනිච්ච හැඟීම කොච්චර ද කියල හිතාගන්න පුළුවන්

      Delete
  2. ගෝල්ෆේස් එකේ ඔක්කොම හොඳයි දවල්ට අව්ව ආවම තමා එපා වෙන්නේ :D

    ReplyDelete
    Replies

    1. ඔව් මහා දවල්ට කොළඹ කොහෙවත් ඉන්න බෑ පුදුම රස්නයක් තියෙන්නේ.... මේ ආපු පලවෙනි වතාව නේද ? දිශාන් ව සාදරයෙන් පිලිගන්නවා :)

      Delete
  3. මරු හොර වැඩේ , හැබැයි එක එච්චරම වරදක් නෙවෙයි , ලංකාවේ තමා මේ මහා ලොකු ස්ත්‍රී පුරුෂ භාවය ,බෙදීම, කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් ඕනෑම දෙයක් කරන්න නිදහසක් තියෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. කතාව අස්සෙන් මට කියන්න ඕන උනෙ ඔය සීමා වෙච්ච නිදහස ගැන. නිදහසේ සැරිසරන්න සමාජයේ ආරක්ෂාකාරී වටපිටාවක් නෑ. ඒ නිසාම දෙමවුපියෝ බයයි නිදහසේ යන්න දෙන්න මේ ඔක්කොමත එක්ක අන්තිමට අපි අපේ නිදහස ගැන හුල්ලනව...

      Delete
  4. හ්ම්ම් හීනේ ඉවරද.. හ්ම්ම්...

    ReplyDelete
    Replies
    1. හීන ඉවර නෑ සිහින.හීන පුරවපු හීන මල්ලක්ම මා ගාව තියනවා ඒවා එකින් එක සැබෑ කරගන්න දවසක් ජීවිතේ කවදම හරි එයි කියල බලාගෙන ඉන්නව

      Delete
  5. තාම හීනේ දකින ගමන් ද?

    මොකෝ මගින් ඉවර වුනේ....?

    හැබැයි පට්ට හීනේ....බොහොම ලොකු සතුටක් ලබල වගෙයි....

    ReplyDelete
    Replies
    1. ඉවර නෑ ඉවර නෑ ඔය හීනේ හිතේ කොනක තියනවා පොඩියට දළු ලාගෙන එනව.තවත් හීන ගොඩක්ම පෝලිමේ ඉන්නවා හැබෑවෙනකන් :) ස්තුතියි විභීෂණ මේ සතුට සැහැල්ලුවත් නිදහසත් එක්ක ජීවිතේ ලබන සැබෑ සතුටක් :)

      Delete
  6. Replies
    1. :D හීන වලට තටු ලැබෙනකන් ඉන්නෙ :)

      Delete
  7. "මං ටක් ගාල දොර වහල යතුරත් අරන් ගෙදරින් එලියට පැනගත්ත." කියන කොටස කියවපු තැන ඉඳන් මේ වෙනකම්ම මට තියෙන ප්‍රශ්නෙ:
    අම්ම හරි තාත්ත හරි ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කළා නම්? :O

    ReplyDelete
    Replies
    1. හි හී ..අපේ ගෙදර මෙහෙමයි ලෑන්ඩ් ෆෝන් එකට කතාකරල ආන්සර් කලේ නැත්නම් මගේ මොබයිල් එකට ගන්නවා. වොෂ් රූම් එකේ හරි මගේ කාමරේ නිදා ගෙන හරි ඉන්නවනම් ලෑන්ඩ් ෆෝන් එක උස්සන්නේ නෑ .ඒ වගේ වෙලාවට ආන්සර් කලේ නැති උනොත් මගේ මොබයිල් එකට කෝල් කරලා මම හොඳින්ද කියල අහනවා ;) ඔය වැඩේ එක පාරයි කරන්න පුළුවන් ඇයි ඉතින් කතාකරන හැම සැරේටම වොෂ් රූම් එකේ හරි, නිදාගෙන හිටිය හරි කියන්න බෑනේ :P

      Delete
    2. //වොෂ් රූම් එකේ හරි මගේ කාමරේ නිදා ගෙන හරි ඉන්නවනම් ලෑන්ඩ් ෆෝන් එක උස්සන්නේ නෑ .ඒ වගේ වෙලාවට ආන්සර් කලේ නැති උනොත් මගේ මොබයිල් එකට කෝල් කරලා මම හොඳින්ද කියල අහනවා ;)//

      ඒකත් වාසනාව තමයි. :D මෙහේ ඔහොම දෙයක් වුණොත් වෙන්නෙ මෙහෙම..

      මම: හෙලෝ!

      අම්මා/තාත්තා: කොහෙද ඉන්නෙ? ගෙදර නෙමෙයි නේද? ඇයි ලෑන්ඩ් ෆෝන් එක ගන්නැත්තෙ? මොකක්ද ඔය වාහන සද්දයක් ඇහෙන්නෙ?

      මම: -___-


      Delete
    3. මම : අහ්හ්..... මම මේ ෆිල්ම් එකක් බලනවා එකේ වාහන සද්දේ ඔය :P

      Delete
  8. ලස්සන හීනයක්. ගොඩක් අයට තියෙන හීනයක්. ඒත් සැබෑ කරගන්න විදියක් නෑ වැඩ රාජකාරි නිසා.

    අදමයි මේ පැත්තේ ආවේ. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න මුලින්ම තොටියව සාදරයෙන් පිලිගන්නවා :) .... සමහර අයට වැඩ සමහර අයට නිදහසේ එහෙ මෙහෙ යන්න අවසර නෑ .මේ හැම එකක් නිසාම අපි හොයන නිදහස ගොඩක් වෙලාවට හීන වලටම සීමාවෙලා.

      Delete
  9. Floating market --- you and I
    Gall face ---- only me ;) :P

    ReplyDelete
  10. මොකක් හරි වැඩකට මම කොළඹ ආව කියල කිව්වොත්,

    අම්ම : "පරිස්සමෙන්, ෆෝන් එක එලියට ගන්න එපා, ලැප් එක තද කරලා අල්ල ගන්න, බස් එකේ නිදා ගන්න එපා, ගෑනු එක්ක හිනා වෙන්න එපා, ගෑනු ය මොකුත් ඇහුවොත් දන්නේ නැහැ කියල ඉක්මනට දුවන්න, බෝ ගහ, කොටුව ස්ටේෂන් එකේ විනාඩි 5 කට වඩා ඉන්න එපා, කුඩුකාරයෝ ඇති පරිස්සමෙන්, බලා බලා බ්ලා .........."

    තාත්තා : "අඩුවට ටෝර්ච් එකක් තිබ්බොත් අරන් එන්න"

    ********************************************************************************
    කෙල්ලන්ට නම් මම කියන්නේ අනවශ්‍ය නිදහස වැඩක් නැහැ, පාලනයෙන් තොරයි. අත්දැකීම් නැති කෙල්ලෙක් නම් අනිවාර්යයෙන් තමන්ගේ තාත්තා / අයියා / පෙම්වතා, සැමියා කාගේම හරි පිරිමියෙක් පනවන සීමාව තුල ඉන්න ඕන.

    රැඩිකල් කෙල්ලෙක්ට කියන්න පුළුවන් "අපි මොකටද පිරිමින්ට යටත් වෙලා ඉන්නේ අපි අපේ නිදහස භුක්ති විඳිනවා කියලා"
    අනේ හොඳා.... ඉඳලම බලන්නකෝ.... මේ ලංකාවනේ..

    පොස්ට් එක ගැන කියනවා නම් ලස්සනයි සුන්දරයි , දුෂ්ටයෙක් නැති නිසා. එත් හැමදාම හැම කතාවක්ම ඔහොම වෙන්නේ නැහැ, අපහු කතාවකට වස්තු බීජය වෙන්න කලින් දෙපාරක් හිතන්න..

    (මම මේ කොළඹ ජිවත් උන මාස 3 ට ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒකයි)

    ReplyDelete
    Replies
    1. හි හී ... අපේ අය්යට අම්ම නම් ඔච්චර නීති දැම්මේ නෑ :D ...

      //කෙල්ලන්ට නම් මම කියන්නේ අනවශ්‍ය නිදහස වැඩක් නැහැ, පාලනයෙන් තොරයි.

      මේ කතාවට නම් එකඟ නොවෙමි.... ඇයි අපිට නිදහස විඳින්න බැරි.නිදහසේ ඇවිදින්න සැහැල්ලුවෙන් ජීවිතය ගතකරන්න හොඳ නැද්ද.නිදහස ලැබුන කියල හැම කෙල්ලෙක්ම නරක වැඩ කරන්නේ නෑනෙ.ඔය කිව්ව රැඩිකල් කෙල්ලෙක්ගෙ සිතිවිලිත් මට තියනවා.'යටත් වීම' කියන වචනෙට මම ආස නැත්තෙ නිදහස් තීරණ අරන් ස්වාධීනව සැහැල්ලුවෙන් කාටවත් වදයක් නොවී ජීවත් වෙන්න මම ආස නිසා ඒකෙන් කියන්නේ නෑ.අපෝ කොල්ලෝ ඕන නෑ අපිට තනියෙන් ජීවත්වෙන්න පුළුවන් කියල.එහෙම ජීවත් වෙන්නත් බෑ.හැබැයි අරක කරන්න එපා මේක කරන්න එපා.කොහෙවත් යන්න එපා මේ විදියට ඉන්න කියල නීති ගොඩක් ඇතුලේ ජීවත් වෙද්දි වෙලාවකට හිතනවා නිදහස සීමා වෙලා කියල. .. ඒත්.... ඇත්ත අය්යේ ඔයා කිව්ව වගේ "මේ ලංකාවනේ " එහෙම නිදහසේ ඉන්න ඉඩ නෑ.... මේ කතාව ඇත්තට උනානම් දුෂ්ටයෝ ගොඩක් ඉඳී :D ..ස්තුතියි අය්යේ කමෙන්ටුවට අදහස් ගොඩක් මේ කමෙන්ටුව ඇතුලේ තියනව :)

      Delete
  11. නියම හොර වැඩක් :D

    දැන් සමාජේ කෙල්ලෙක් කියල හිතල ගෙදරට කරලා හිර කරල තිය ගන්නවානම් ඒක වැරදි. මොකද දැන් ගොඩක් ස්ත්‍රී පාර්ශවය දැනුමේ තාක්ෂනය අතින් ගොඩක් ඉදිරියෙන්. ඉස්සරට වඩා. එත් තමන්ගේ ළමය කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් දෙමවුපියන්ට ළමය ලමයමයි. එක නිසා ආරක්ෂා කරන එක සාමාන්‍යයි. හොර වැඩක් කරපු කතාවක් ඇතුලේ ගොඩක් දේවල් කියල තියනවා :) නියමයි :D

    ReplyDelete
  12. හොරාගේ සිතිවිලි ගැන සතුටුයි.ගැහැණු ළමයෙකුට නිදහසේ සමාජයේ ජීවත්වෙන්න අංගසම්පූර්ණ වටපිටාවක් හැදුන දවසට අම්මලාගේ තාත්තලාගේ බය නැතිවෙයි අද සමාජයේ ඇහෙන සිද්ධි එක්ක එහෙම නිදහසක් දෙන්න අම්මල තාත්තලත් බයයි.එහෙම නිදහසක් විඳින්නෙත් දෙගිඩියාවෙන් මේ පවතින සමාජ තත්ත්වෙත් එක්ක මේ විදිහට තමයි ඉන්න වෙන්නෙ..... හැබැයි මේ කතාවේ වගේ 'හීන ' තියන අයත් ඉන්නව ;)

    ReplyDelete
  13. හැබෑවට අවසර නැති නිසා මමත් හිතෙන් හුදෙකලා සවාරි යනවා අක්කෙ අවස්ථාවක් ලැබුනොත් නම් මඟාරින්නෙ නැ

    ReplyDelete
    Replies
    1. දවසක අවස්තාවක් එනවා නංගි.හැබැයි හිතට තදින්ම චුට්ටක් සැරෙන්ම කියන්න ඕන මම කොහොම යරි යනවා කියල එතකොට ඉබේටම අපිට යන්න ඕන දිහාවලට යන්න අවස්ථා හම්බෙනව.ඉස්සරට වඩා නම් දැන් මට ටිකක් තියනව ඒත් තව ඉවසන්න වෙයි ලෝකෙ වටේ රවුමක් ගහන්න නම් :)

      Delete