Sunday, April 24, 2016

යමු


යමු මාවතක ...බොරළු පිරි 
සියුම් පා රිද්දන 
ගල් තැලුම් ඇතිවන 

යමු මාවතක ...තවත් දුර 
දෙපා අඩි රත්වෙන 
දාහයෙන් බැට කන 

යමු මාවතක .....නොසැලීම 
කටු කොහොල් මග දිග 
පැන ඇවිත් හූරන 

යමු මාවතක ....කෙලවරට 
ගිමන් හල දිස්වන 
බොහෝ ජන රැස්වෙන 

කියමු ආගිය කතා රස 
විඩාබර දුරුකොට 
පිපාසය සංසිඳ 

යමු මාවතක ....යලිත් 
දුක් සතුට සම සම 
එකා මෙන්  පොදිබැඳ 

.
.

යමු ....
ජිවිතේ ගමන් මග 
ඔබ මාද  අන් අයද 
එකට අත්වැල් බැඳ 



Sunday, April 10, 2016

අද විශේෂ දවසක් ^_^


ඩෝං ..පටෝං .. ඩෝං ...

මිත්‍රවරුනි ,සහෝදර සහෝදරියනි ,මචංලා, මචීලා ... තව ... නැන්දේ , මාමේ , අය්යේ , අක්කේ, නංගියේ , මල්ලියේ ... අද දින පවත්වන මේ සුවිශේෂී උත්සවයට සපැමිණි ඔබ සැවොම සාදරයෙන් පිළිගන්නවා.කෝ අය්යෙ ... හපොයි ඇයි මේ හිටං ඉන්නෙ ඉඳගන්න ඉඳගන්න.ආ නංගී අද හරි හැඩයිනෙ එන්න..අය්යෝ මේ ඔය තෑග්ග දෙන්න බැරිය පස්සෙ. මෙතනින් ඉඳ ගත්තනම්. කෝ මේ වේටර් ..ආ මේ අය්යල අක්කලට මොනවා හරි  ගෙනවානම් ... ආ හරි හරි සැර බීම එපා සිසිල් බීම ගේන්න. ඇල් වතුර නිවල උනත් කමක් නැහැ. කෝ කෝ... අක්කෙ හය්යූ කෝ මෙහෙට දෙන්න ඔය බැලුම් ... මේ විදිහට ගැට ගහල මැදින් එල්ලන්න. හරි වටේට පාට ක්‍රෙප් කොල තියන විදිහට .. හරි ඔය  තියෙන්නෙ ගානට .. ඔක්කොම හරි නේද .. කෝ දැන් කේක් එකට ගහන ඉටිපන්දම??  දෙකේ  ඉලක්කමක් තියන ඉටිපන්දමක් හොයාගත්තද  හරි එහෙනම් ඔක්කොම තිතට තියනවනෙ එහෙනම් වැඩේ පටාන් ගමු ...

මිත්‍රවරුනි ඔව් ඔබ මෙතෙක් වෙලා ඇඟිලි ගනිමින්  පුල පුලා බලා සිටි ඒ සොඳුරු මොහොත දැන් පැමිණෙනවා ඇත. එහෙනම් දැන් පිළිගන්න අද දවසේ  දෙවන වියට පා තබන ඒ හුරුබුහුටි , අහිංසක , සොඳුරු  ළදැරිය  හංසි .. ස්වා ..ස්වා ...(SWAN ) ... මේක කියද්දී  දිව ටැපලෙනවා ..ඔව් ..පිළිගන්න  හංසි .......



(අත්පොළොසන් නාදයක් මධ්‍යයේ  හුරුබුහුටි පින්වත් රුවැති  ළදැරියක් පැමිණ  මදහසක් පා උපන්දින කේක්  එක කපයි.ඉන්පසු එයින් විශාල කේක් කැබැල්ලක් ගෙන වටපිට බලයි .. )

ආ .. පලවෙනි කේක් කෑල්ල දෙන්නේ කාටද ..ඔව් අපි බලමු .....
හපොයි  මෙන්න මේකි අර  විසාල කේක් කැල්ල කටේ ඔබාගත්තා .. චික්කේ  ඇඟිලිත් සූප්පු කරනව. 

(ළදැරිය දුව ගෙන විත්  නිවේදනකරුගෙන්   මයික් එක ඉල්ලයි ..)

(සබාවෙන් නැවතත් අත්පොලොසන් හඬක් ...)

ආදරණිය අය්යේ  අක්කේ නංගියේ මල්ලියේ නැන්දේ  මාමේ .... අද  මට  විශේෂ දවසක්  ^_^   මුලින්ම කියන්න ඕන මගේ උපන්දිනේට ආපු ඔයාල හැමෝටම ගොඩක්  ස්තූතියි. ඔයාල දැක්කම මගේ සතුට වැඩි. හරි හරි දැන් ඉතිං ඈනුම් ඇරෙන්නෙපා  මම වැඩිය කතා කරන්නේ නැහැ චුට්ටයි කතා කරන්නෙ.දන්නවද මම ඔයාල හැමෝටම මගේ උපන්දින කේක් කෑල්ලකුයි  ලස්සන පාට පාට බැලුන් බෝලෙකුයි දෙනව :) ඉතින් දැන් වත් පොඩ්ඩක් හිනවෙන්නකො ... :)  




 ඔයාල  හැමෝම දන්නවානෙ  මගේ බ්ලොග් පොත ගැන. හැමදාම පිටුවෙන් පිටුව එකතු වේවි මා එක්කම ලොකු උන බ්ලොග් පොත.ඉතිං අද දවසෙ මං හිතුව මේ බ්ලොග් පොතට එකම එක පාරක් හරි එබිලා බලපු අදහස් ලියපු  බ්ලොග් පොත පෙරලලා බලපු ඔයාල හැමෝටම කේක් දෙන්න. පලවෙනි කෙකේ කෑල්ල නම් කටේ දාගත්ත.බඩගිනී අප්පා උදේ ඉඳන් කාල නැහැ ඒකයි ... හරි දැන්  පටන්  ගමු .........

මේ  කේක් කෑල්ලේ දෙවෙනි  එකත් මට තියාගන්න දෙනවද ... ඒක මං වෙන් කරන්නෙ මගේ පවුලේ හැමෝටම ^_^ ... ම්ම්ම් .. අනේ තුන්වෙනි  කේක් කෑල්ලත්  ඕන ඒ මෙච්චර කාලයක් මට ඉගැන්නුව සර්ලට මිස්ලට ... අනේ  අනේ  .. ඊළඟට දෙන කේක් කෑල්ල දෙන්න ඕන  තරින්දිට .. මගේ යාලුවට. එයා තමා මට මේ බ්ලොග් පොත ලියන හැටි මුලින්ම කියා දුන්නෙ... :) 

 අපෝ මොනවද  මහේෂ් අය්යේ  තැලිච්ච තක්කාලි ගෙඩියක්  වගේ මූන ඇඹුල් කරගෙන සොමි අය්ය එක්ක කියවන්නෙ :/ හිටුකො මම කේක් දෙන්නම්. අර අතන ඉවාන් අය්ය , කලණ අය්ය තරඟෙට ඈනුම් යවනව හපොයි ...ඉන්ටෝ .....

දන්නවද  මේ  බ්ලොග් පොතේ මුල්ම සටහනක් තියල ගියේ කවුද කියල ? ඒ තමා අර අතන පිටිපස්සෙම පුටුවක උඩ  බලාගෙන ඉන්න යසිත් අය්ය (YASITH (dot) NET) ඔයාලට කියන්න ඕන නැහැනෙ අලුතින් බ්ලොග් පොතක් ලියද්දි  වැටෙන පලවෙනි අදහස මහමෙරක් වගේ  කියල. අන්න ඒ නිසාම මේ හිනා මුණක් තියන බැලුමයි කේක් කෑල්ලයි යසිත් අය්යට :)

ඊළඟට කේක් දෙන්නේ  කාටද  ?

චූටි චූටි කුරුමිණි අකුරු වලින් පොත පුරා  ලියද්දි  "මේ ළමයෝ ඔය අකුරු ටිකක් ලොකු කරල දාන්න අපි වගේ වයසක උන්දැලට බලන්න" කියල දෙවෙනි  සටහන  ලියල ගිය අපේ දේශකතුමා ට  මේ කේක්  කැල්ල :) 

ම්ම්ම ...ඊට පස්සේ බලමු කවුද ඉන්නේ කියල. හී ..ඊළඟට ඉන්නෙ දිනේශ් අය්ය... අර හරි රහට කතා ලියන්නෙ....එයාට තමා මේ කේක් කෑල්ල... :) 

ම්ම්ම් ...ඊට පස්සෙ ඉන්නෙ සොඳුරු මිනිසෙක් .. අර දිගම දිග අදහස් ලියන දැන් නම් වස කම්මැලියෙක් වෙලා මොකුත් ලියන්නැති අය්ය ඔව් එයා ..එයා එක්කම තව මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා. සමහර දවස් වලට මොකුත් කුරුටු ගාන්න කම්මැලි උනාම  "අඩෝ කම්මැලි ගහ මොකුත් ලියන්නෙ නැද්ද " කියල සද්දේ දාන ඒ සොඳුරු හදවතක් තියන කවිකාරයෙක් වෙච්ච මහේෂ් අය්යට මේ කේක් කෑල්ල. මහේෂ් අය්ය දැන්වත් ආවනම් ..... විශේෂයෙන් කියන්න ඕන මගේම අය්යල දෙන්නෙක්  වගේ ඉන්න මේ අය්යල දෙන්න නිසා තමා ඔය ගොඩක් යාළුවො ගැන විස්තර දැනගන්න ලැබුනෙ.එයාලට නම් තව කේක් කෑල්ලක් දෙන්න හිත. ඒ දෙන්නටත් හිනා මුණක් තියන පාට බැලුම් දෙකක් මා ගානෙ.

තව ඉවර නැහැ ... හැමදාම ඇවිත් මම ලියන කතා කවි වල හොඳ නරක කියන ඉවාන් අය්යට, හිත හොඳ කලණ අය්යට,අපේ බතල කසුට්ට  ම්ම්ම් තව අර අහසෙන් එන කසුන් ට , විභී දෙය්යට, මනෝ මන්දිරට ,   තාමත් තරුණ වගේ ඉන්න ඉයන් අංකල් ට :D , වර්ණ කුලකය , ගිමන් , රූපෙ ,කැමා , ලලිත් ,අශාන් ..දෙය්යනේ කියක් කියල නම් කියන්නද හී .. මේ ඔක්කොටම කේක් මගේ ගානේ ...

අර කුරුට්ටෝ සැට් එකටම දෙන්න වෙනම කේක් එකක් මම ඕඩර් කළා  :D 

දැන් නම් මට පේනවා අපේ අක්කල නංගිලා ටික මට ඔරවා ඔරවා ඉන්නවා  හික්ස් .. ඉන්ට ඉන්ට තාම කේක් ඉවර නැහැ නොවැ ...හිනා මූන පිරිච්ච බැලුමක් එක්ක  අපේ  බස්සි අක්කට ,තනි තරුවට ,උපේක්ෂ අක්කට ,තරු අක්කට ,තනුජාට ,වර්ෂා ,සිතූ ,මෙතූ  මේ බවලත් හැමෝටම මේ කේක් කෑලි ..කාලම රහ  කියන්නකො .... 

දැන් ඉතිං අනෙක් අය තරහ වෙනවද නෑ නේද මං කරා වැඩක්. මගේ බ්ලොග් පොතේ මුල ඉඳන් අගටම හොයල හොයල  ඔයාලගෙ නම් එකතු කරගත්ත. ඒ නිසා මට ඔයාලව අමතක වෙන්නේ නැහැ ..මූන නරක් කරගන්නත් අඬන්නත් එපා හිනාවෙලා ඉන්ට  මේ පහල නම් තියන ඔය යාළුවො හැමෝටම මේ සතුටු දවසේ කේක් , කෑම බීම හැමදෙයක්ම  :) 

YASITH (dot) NET ,දේශක යා,~ සාරා - saaraa ~,Dinesh,සොමි යා,නලින් දිල්රුක්ෂ,තනි තරුව,චතුරංග ප්‍රියශාද් (ප්‍රියා), ~සංචාරකයා~,සිහින සිත්තම්,RanDil,දෙවෙනි විභීෂණ, පරිකල්පන,thanuja yolanthi,Roshan Herath,Mahesh Rathnayaka,Deepthi Sandaruwan ,Ashan Ravindu Yugantha,ඉවාන් පවුලූශා,කුරුළු නිස්කලංක,සහෝ දර,කුරුටු ගෑ ගී පවුර , උමා(දසුන්),Dishan Rajapaksha,තොටුපලේතොටියා, හොරාගේ සිතිවිළි,Chandana,ෂැගියා,Warna Kulakaya,කල්‍යාණ මිත්‍ර,රූපේ,මගේ කිචී, Mahesh Sharmin,ගිමන් නිවන්නා,රූපේ ,බස්සි (Yash),මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ),sAm (සෑම්) ,ඉයන්,කැමරාවෙන් එහා ලෝකය,MPP Gunasinghe,එල ද බ්‍රා මෙන්ඩා,චූටි බටපොලයා,Ima S,කටුසු හදවත,බණ්ඩා,gaba,මනෝ මන්දිර,අවංක ආර්යන්,අහසෙන් එන්න(කසුන්),වාසනාවන්ත කාලකණ්නියා,උපේක්ෂා,අටම්පහුර නිදහසේ නවාතැන ,Chathuranga Buddhika,Lalith perera ,වැසි දැරිය,Mahesh Samantha Kumara,අන්ධකාර තාරකාව,S. L. මැලේ රාළ,අම්බලන්ගොඩ කථා ,Sa rasa ,රංගන සහෝදරයා ,මෙතූ,ලයියා,සිතුවිලි සිතූ,Hasitha Prasad,Ajith Dharma,Rasika Gunawardana,ආචාර්ය Weerakoon ,අඩව්ව by රස්තියාදුකාරයා   ..............මේ හැමෝටම ඇතිතරම් කේක් තිබේ  :D 

ඔය  හැමෝටම ගොඩක් ස්තූතියි ... ඔයාලට වගේම මාත් එක්ක හිටිය මගේ ලිපිවලට එයාලගේ අදහස් කිව්ව ඇනෝ යාලුවන්ට (විශේෂයෙන් රනිල් යාලුවට ) එයාලටත් ස්තූතියි .. අදහසක් ලිවේ නැතිවට  බ්ලොග් පොතට එබිකම් කරපු ,ලිපි කියවපු ඔයාලවත්  අමතක කරලා නැහැ ඒ නිසා හිනාවෙන්න .. එන්න සතුට බෙදා ගන්න ...

අහ්හ්  තව එකක් පසුගියදා නෙලුම් යාය දවසෙ ලැබුන සම්මානය මට විතරක් නෙවේනෙ. ඒ සම්මානෙ පිටිපස්සේ ඉඳන්  මට ලියන්න දහිරිය දුන්නේ ඔයාල. ඒක අයිති ඔයාලට ... ස්තූතියි හැමෝටම .. මේ බ්ලොග් පොත නිසා මම කෝච්චර සතුටින් ඉන්නවද ,  සුන්දර හදවත් තියන ඔයාල වගේ පිරිසක් මැද හිත පිරෙන්න හිනාවෙලා ඉන්නවද කියල දන්නෙ මම  ^_^  ඉතිං මම වාසනාවන්තයි.කම්මැලි කමට වගේම වැඩ වැඩිඋන නිසා අවුරුදු දෙකක් පුරාවටම මම ලියල තියෙන්නෙ බොහොම අඩු ලිපි ගානක්. හපොයි දැන් බනින්නෙපා.ඉදිරියේදී වෙලාව ලැබෙන විදිහට ලිපි ලියන්නම් ... 

හී ..දිග කතාවක් කිව නේ .. ඔය හැමෝටම උපන්දින කේක් හම්බුනා කියල හිතනවා ...හම්බුනේ  නැතත්  ඇවිත්  අරන් යන්න. යන ගමන් පොඩි සටහනක් ලියල යන්න මගේ බ්ලොග් පොත ගැන ඔයාලට හිතුන දෙයක් ..ගල් මල් ඕන දෙයක් , බ්ලොග් පොත ලස්සන කරන්න තව හොඳට කරන්  යන්න ඔයාලගේ තියන අදහස් වගේම මේ මේ දේවල් හදාගන්න ඕන කියල හිතෙනවනම් ඒවත් එක්ක හිතට එන දෙයක් ලියල යන්න ... ආයෙත් හමුවෙමු දවසක ... ඉක්මනින්ම  ^_^  :) :) :) 

හැමෝටම ළඟ එන අලුත් අවුරුද්ද  සුබ අලුත් අවුරුද්දක් වේවා  ..ඔන්න මුලින්ම  සුබ පතන්නේ මම  :) :) :) 

Monday, April 4, 2016

හදවතට කියන වග නම්




මහද 
කම්පනය වනු 
මුදු 
සියුම් ස්වර රිද්මයෙන් 
ඉපිලී නොයනු 
නැටවෙන ප්‍රීති ප්‍රමෝදයෙන් 

සියුම් ගැස්මක් වුවද  
ගිලිහෙනා ග්‍රහණයක් 
විඳි නොවිඳි ස්පර්ශ අග 
රිදුම්  දෙන කටු තුඩක් 
සීතලක්  .. දැඩි සීතලක් 
ලෙයත් මිදෙනා සීතලක් 

මහද 
චංචල නොවෙනු
.
.

ජීවිතය අනියත තැනක් 


ප.ලි .   පින්තූරය දැක්ක ගමන් ලියන්නම හිතුන..කවියක්ම නෙවේ ..ඒත් ඔහේ කුරුටු ගෑව ...