ගමේ බස් එක ජම්බුගස් මුල්ලෙන් හැරිලා පන්සල පහුවෙනවත් එක්කම මට මතක් වෙන්නෙ එකම එක්කෙනෙක්.ජම්බුගස්මුල්ල හංදිය හැරෙන තැනම වෙලත් එක්ක තියන පුංචි පාරෙ ඇතුලට ගියාම මොනවද තියෙන්නෙ කවුද ජීවත්වෙන්නෙ කියල කියන්න මම හරියටම දන්නේ නැහැ හැබැයි ඒ හරියේ අවට මලගෙයක් වෙන දවස් වලට මුළු පාරම සුදු කොඩිවලින් සරසන නිසා මම දන්නව ඒ පාරෙ කෙලවර කොහෙම හරි කනත්තක් ඇති කියල.අදත් බස් එක වංගුව හරවනකොටම මම දැක්ක ඈත තියාම හුළඟට හෙලවෙන සුදු කොඩි .එහාට මෙහාට හෙලවෙන තීරු තීරු සුදු කොඩි අතරින් මගේ මතකෙ දුවල ගියේ මිට අවුරුදු දහයකට විතර ඈතට.ඒ දන්න කියන කෙනෙක් වෙනුවෙන් මේ පාරේම මේ විදිහටම සුදු කොඩි සැරසිල තිබ්බ දවසකට.ඒ සුරංගනී ගෙ තාත්ත ගෙ මළගෙදර දවස.
ඒ කාලේ අපි හතර වසරෙ. පන්තිය පුරාම එහෙ මෙහෙ දුව දුව සෙල්ලම් කර කර හිටිය දවසක අපි ඔක්කොමාලව එකතු කරන් අම්මලත් එක්ක අපිව එක්කන් ගියේ සුරංගනීලගෙ ගෙදර.හැමදාම මේ බස් එකේ ගියත් එදා තමා දැනගත්තෙ සුරංගනී හිටියෙ ජම්බුගස්මුල්ලේ පන්සලගාව ඇතුලට තියන පාරේ කියල.මළගෙදර ගියාම තමා අපිට දැනගන්න හම්බඋනේසුරංගනීලගෙ තාත්ත නැතිවෙලා කියල.නැතිවෙලා තියෙන්නෙ මල් පොහොර වගයක් කාල.ඒ කාලේ ඇහිච්ච බර චනයකින් කිව්වොත් සියදිවි හානි කරගැනීමක්.මල ගෙදර දවසෙ සුරංගනීලගේ අම්ම පැත්තකට වෙලා සුරංගනීලගෙ තාත්තගේ මිනිය දිහා ඔහේ බලන් හිටිය විදිහත් කෙලවරේම පුටුවක ඉඳගෙන සුරංගනී අඬ අඬ හිටිය විදිහත් මට තාම මතකයි.මල ගෙදර දවසේ තැන් තැන්වල මිනිස්සුන්ගෙ කසු කුසු කනට ලාවට ඇහුනත් සුරංගනී තමා පස්සෙ අපිට කිව්වෙ තාත්ත නැති උනේ අම්ම එක්ක උන රණ්ඩුවක් නිසා කියල.අහන්න ලැබුන විදිහට නම් සුරංගනීලගෙ අම්මට තිබ්බ අනියම් සම්බන්දයක් ආරංචිවෙලා වෙච්ච රණ්ඩුවක් දුරදිග යාමක්.අන්තිමේ තාත්ත සියදිවි නසාගෙන. සුරංගනී පුංචි කාලෙම එයාගෙ තාත්තගෙ උණුහුම් අරන් ගිහින්.
මම කිව්වේ නෑනෙ සුරංගනී ගැන .ඒ කාලෙ නම් අපි එච්චර සුරංගනීට කැමති නැහැ .මුණ රවුම් රැලි රැලි කොණ්ඩයක් තියන ඔලුව උඩින් තනි ලොකු පොල් මලක් ගැට ගහගෙන එන සුරංගනී හරි කට සැර කටකාර කෙල්ලෙක් .අපේ වචනවලින් කිව්වොත් රණ්ඩු කෙක්කක්.කට්ටි කට්ටි රංචු ගැහිලා හදාගෙන ඉන්න යාලුවන්ගේ එකතුවේ සුරංගනී හිටියේ නැතත් පන්තියේ එකට ඉන්න වෙලාවට අපි ඔක්කොම එකට. කතා පෙට්ටි ගොඩයි දන්නවනේ ඉතින් පොඩි පහේ ගෑනු ළමයි එකතු උනාම කියවන කියවිල්ල :)
හැමෝම එක්ක කිව්වේ නැතත් අපි එක්ක සුරංගනී එයාගේ විස්තර කිව්ව..සුරංගනී තාත්තට හරි ආදරෙයි. සුරංගනී කියන විදිහට නම් අම්ම එයාට ආදරේ නෑලු.මළගේ දවසේ ආච්චි කිව්වලු අම්ම තාත්තව මරා ගත්ත කියල.පස්සෙ ආරංචි උනා මළගෙදර ඉවරවෙලා මාසයක් යන්න කලින්ම සුරංගනී ගේ අම්ම වෙන කසාදයක් කරගත්ත කියල.ඒ කාලේ සමහර දවස් වල අම්ම ගාවත් ගොඩක් දවස් වල පුංචි එක්කත් සුරංගනී හිටිය කියල අපිට ආරංචි උනා .ඒ කාලේ මට මතක හැටියට හයවසරේ මුල සුරංගනී එන්න එන්නම කටකාර හිතුවක්කාර ළමයෙක් උනා රණ්ඩු කෙක්කක් නිසාම වගේම පිළිවෙලට ඇඳගෙන ආවේ නැති අපිරිසිදු ළමයෙක් නිසාම කොයි කවුරුත් එයාට වැඩිය කැමති උනේ නැහැ.මට මතකයි දවසක යාලුවෙක්ගෙ පැන්සල් පෙට්ටියේ පාට කූරු නැතිවෙලා තියෙද්දිත් සැක කලේ සුරංගනිව.කොල්ලො සුරංගනිව අවුස්සන්න ඕන උනාම හෙන හයියෙන් කෑ ගහනවා "සුරාංගනී සුරාංගනී ...සුරාංගනී ට මාළු ගේනවා .." ඔහෝම කෑ ගහල සුරංගනී ගෙන් ගුටි කකා පංතිය වටේම දිව්ව හැටි තාම මතකයි .ඔය කාලේ වගේ තමා ඒ කියන්නේ හයවසරේ මුල තමා සුරංගනීගේ අම්මට දෙවෙනි කසාදෙන් දරුවෙක් ලැබෙන්න හිටියෙ.ඒ අපේ ළමයින්ගෙන් කවුරුහරි සුරංගනී ගේ අම්මව දැකල එයාගෙන් අහපු වෙලේ.එදා තමා සුරංගනී කිව්වේ එයා එයාගෙ අම්මට පොඩ්ඩක් වත් කැමති නැහැ කියල.ඒ දවසක් සුරංගනී ඉස්සරහම අම්ම කිව්වලු "මේකි වගේ කෙල්ලෙක් හම්බුනොත් මම කොහේ හරි දාල එනවා කොල්ලෙක් හම්බුනොත් විතරක් හදා ගන්නව කියල " ඒ වචන කොච්චර සරද කියල මට හිතුන අපි හැමෝගෙම හිත් එදා තෙත් උනා. එදා තමා මම දෙවෙනි පාරට සුරංගනී ගේ ඇස්වල කඳුළු දැක්ක දවස.කොච්චර අකමැති උනත් මට එදා සුරංගනී ගැන ගොඩක් දුක හිතුන .හොඳම යාළුවො නොවුනත් සුරංගනී දකිද්දී හරි පව් කියල හිතුන.හය වසර පොඩි ළමයෙක් අම්ම තාත්ත නැතිව මේ වගේ කතා අහගෙන කොහොම ඉන්නවා ඇතිද කියල හිතුන .ඇත්තටම එයා පව් ඒ සිදුවීමෙන් පස්සේ සුරංගනීගෙ අම්ම දකින කිසිම දවසක මම හිනා උනේ නැහැ තරහෙන් ඔරවල අහක බැලුව මන්ද මටත් තිබ්බේ තරහක් ..
ලොකු ලොකු පන්තිවලට යද්දී අපේ පන්ති කැඩුව යාළුවො වෙන වෙන පන්තිවලට වැටුන .මම වැටුනේ B පන්තියට සුරංගනී හිටියෙ E පන්තියේ .කටකාර නපුරු ළමයෙක් වෙච්ච සුරංගනීගෙ හැකියාවන් දැක්කෙ අපි ඒ කාලෙ ඒ අපිට හිටිය සංගීත ටීචට පිංසිද්ද වෙන්න.සුරංගනිගේ කටහඬ එලියට ආව.හැමෝම දැනගත්ත මේ කටකාර නපුරු රණ්ඩු කෙක්කට ලස්සනට සින්දු කියන්න පුළුවන් කියල.එදා ඉඳල ඉස්කෝලෙ උත්සව වලදී කලාප පළාත් තරඟ වගේම පාසල් ගීතෙටත් සුරංගනී ගේ කටහඬ එකතු උනා .අතිමට සුරංගනී අපි වගේම ශිෂ්‍ය නායිකාවකුත් උනා.
සුරංගනී ගැන මට තියන මතකේ ගලාගෙන ගලාගෙන ගිහින් අන්තිමට නතර වෙන්නේ දහය වසරේදී ඒ එයාගේ සමරු පොත ගාවින්.දවසක මටත් එයාගෙ සමරු පොතේ ලියන්න දුන්න.එයාගේ සමරු පොත පුරාම පාට පාට පෑන් වලින් මල් ඇඳලා තිබ්බ ලස්සන දිලිසෙන ස්ටිකර් අලවල තිබ්බෙ.මුල්ම පිටුවේ තිබ්බේ එයා ගැන විස්තරයක්.එයා කැමතිම පාට කැමතිම පලතුර ...මුල ඉඳන් අගටම මම ඒක කියෙව්වා එකම එක තැනකදී මගේ හිත නැවතුන.ඒ එයාගේ අනාගත බලාපොරොත්තුව ගාවදි ...එයාගෙ අනාගත බලාපොරොත්තුවට ලියල තිබ්බේ 'මම කවද හරි වෛද්‍යවරියක් වෙනවා' කියල.ඒ බලාපොරොත්තුව ගොඩක් ඈතයි නේද කියල මට හිතුන.මට මතක නැහැ මම එයාගෙ සමරු පොතේ මොනවද ලිව්වේ කියල .හැබැයි එයාගේ අනාගත බලාපොරොත්තුව මගේ හිතේ තදින්ම කාවැදිලා තිබ්බ.
සාමාන්‍ය පෙලෙන් පස්සේ මම සුරංගනීව අදවෙනකන් දැක්කේ නැහැ සමහර අය කිව්වා එයා විභාගෙ අසමත් උනා කියල.තව සමහරු කිව්වා එයා බැඳලා පැනල ගිහින් කියල.ආයෙම ආරංචි උනා ගාමන්ට් එක පාරේ වැඩට යනවා දැක්ක කියල.මේ මොනවා ඇහුනත් ඒවා ඇත්තද නැත්තද කියල මම තාම දන්නේ නැහැ .සමහර දවස් වල බස් එකේ යද්දී ජම්බුගස්මුල්ලෙන් හරවද්දී සුරංගනිව මතක් වෙනවා.වෙලා පාරේ සුදු කොඩි දකිද්දී පොඩි කාලේ මම ගිය මල ගෙදර මතක් වෙනවා මේ ඔක්කොම එක්ක හිත අතීතයට යද්දී එයා ගැන ලොකු දුකක් දැනෙනවා සමහරවිට සුරංගනී ගේ තාත්ත අද හිටියනම් එයා අද වෛද්‍යවරියක් වෙන්න තිබුන.ගොඩක් දක්ෂ ළමයෙක් වෙන්න තිබ්බ .ජිවිතේ හරි පුදුමයි හරිම පුදුමාකාරයි කියල හිතනවා අද හෙට අපිට මොනවා වෙයිද
...අපිවත් දන්නේ නැහැ .......
...අපිවත් දන්නේ නැහැ .......
පලි . උන විකාරෙන් ගෙදර ඉන්න වෙලාවක , කැම්පස් එකේ project එකේ හිරවෙලා වැඩ ගොඩගැහිලා ඉන්න වෙලාවක ,පොරොන්දු වෙච්ච බ්ලොග් පොස්ටුවකුත් ලියන එක කල් දාල මට මේ කතාවම ලියන්න හිතුනේ ඇයිද කියල මම දන්නේ නැහැ...අදටත් ජිවත් වෙන චරිතයක් නිසා නම ගම වෙනස් කලා.අන්තිමට මගේ ජීවිතේට මුණ ගැහුන මතකේ රැඳිච්ච තවත් එක චරිතයක් අකුරු වලට හැරෙව්වා .......