Friday, January 16, 2015

තවත් එක් මිනිසෙක්

පාරේ එහා කොනේ ඉඳන් මෙහා කොනටම  මම අතුගාගෙන එනව.කරාස් කරාස් ගාල ඉදල් පාර සිමෙන්ති පොලව හූරගෙන යනව.ටික ටික පාර පිරිසිදු වෙනව.කුණු ඔක්කොම කුණු කරත්තෙට එකතුවෙනව.පාර ලස්සන වෙනව.මිනිස්සු හිරිකිතයක් නැතිව පාරේ ඇවිදිනව. මම ..හ්ම්ම්  මම .. කරගැට ඇවිච්චි  ගොරෝසු අත්ලෙන් ඉදල් මිට කිටි කිටියේ අල්ලාගෙන තව තව කුණු එකතු කරනවා.රෝද දෙකේ මගේ වාහනය කුණු වලින් පිරෙනකන්ම ඉදලට නිවනක් නොදී අතුගානවා අතුගානවා කුණු ඔක්කොම හූරගෙන යන්න  ඉදලෙන් පහර දෙනවා.අතේ නැගිච්ච කරගැට ගොරෝසු අත්ලටම මට්ටුවෙලා දැන්. ඕන බර කුණු  කරත්තයක් හුරුයි .ඕන ඉදලක් හුරුයි.ඕන ජරාවක් හිරිකිතක් නැතිව අල්ලන්නත් හිත හුරුයි.
මම කසල ශෝධකයෙක් . නෑ ..මං කුණු ගෙනියන මනුස්සයෙක්.  මිනිස්සු කියන්නෙ එහෙමයි.

ඊයේ දවසේ මිනිස්සු කාපු බීපූ ,කෙල ගහපු  හැම මල ජරාවක්ම පාරේ. ලංකාවේ මිනිස්සුන්ගේ කුණු ගොඩ මහ පාරනෙ.තැනක් නොතැනක් නොබලා කුණු දාන මිනිස්සු මේ ලංකාවේ ඉන්නකන්.අපිටත් රස්සාවක් තියේවි.ඉතින්...  මං උන්ට ණයගැතියි...


 හැම තැනම හූ  සද්දෙ.මිනිස්සු මිනිස්සුන්ටම හූ තියාගන්නවද ? නෑ ඒ වාහන නලා හඬ.උදේ පාන්දර එහෙට මෙහෙට වාහන වලින් දුවන මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පෙන්නුම් කරන සාධකය.මේ මිනිස්සු මෙච්චර ඉවසීමක් නැතිව දඟලනවා.මේ මිනිස්සුන්ගේ කුණු  අපි කොහොම ඉවසීමකින් අයින් කරන්න ඕනද.වැඩිය කතාකරන්න එපා.ඕක උඹලගේ රස්සාව...උන් අපිට කියාවි ...


මම තාමත් අතුගානවා.ඒත් උදේ ඉඳන්ම ඉදල අල්ලගෙන. එහාට මෙහාට නැවි  නැවි කුණු එකතු කරල කොන්ද දිගේ එන හීන් වේදනාව දැන් වැඩිවෙන්න පටන් අරන්.මම කුණු කරත්තේ පාරේ කොනකට තල්ලු කලා.හෙමීට කොන්ද දිග ඇරලා ඔලුව කෙලින් කලා.අමාරුවෙන්  ළඟ තිබ්බ තප්පෙකට හේත්තු උනා.තාප්පේ අළුයි කුණු ගෑවුනත් පෙන්නේ නෑ. නැත්නම් ඕකේ හේත්තු උනත් මේකේ ඉන්න ලොකු මිනිස්සුන්ගෙන් ඇනුම් පදයක් අහගනීවී...අවුරුදු ගානක් තිස්සෙම මේ හිත ඕවට පුරුදු වෙලා.ඔලුව නමන්න. හිස පාත් කරන්න. බැනුම් අහන්න. මේ හැම දේටම ඔට්ටුයි...හ්ම්ම් හිතත් ගොරෝසුවෙලා.


කොන්ද කකියනවා ඉවසුම්දෙන බැරිතරම්. මගේම ශරීරය මටම ඔච්චම් කරන හැටි.එහාට මෙහාට ඇඹරුනත් මේ වේදනාව නම් මේ  කැහැටු  ශරීර කූඩුව දාල යන්නේ නැතිවෙයි.වේදනාවයි හුඟක්. ඒත්  කාට කියන්නද? මේ වේදනාව කවුරු අහනවා කියලද. හැමදේම කාගෙන ඉන්න මේ ගල් හිතම අහනවා මිසක්.නළල කෙලවරේ නැගිච්ච  දාඩිය බිංදු  ටික ටික එකතුවෙලා දැන් කුඩා දියපාරක් වගේ, කම්මුල දෙපැත්තෙන් ගලනව.කොච්චර පිහි දැමුවත් ආයෙත් දාඩිය බුබුලක් කොහෙන්ම හරි මතුවෙලා ගලනවා.බෙල්ල දාඩිය වතුරෙන්  තෙත්වෙලා.දාඩියට පෙඟිච්ච  කමිසේ පිටටම ඇලිල. මහන්සියි.අමාරුයි.එත් නවතින්න බෑ.


නවතින්න බෑ.පාරේ කෙළවරටම තැනින් තැන කුණු ගොඩවල්. මිනිස්සු කඩිමුඩියේ දුවනව.කුණුගොඩවල් වලට උඩින් පැන පැන  කුණු ගොඩවල් මග ඇරගෙන මිනිස්සු දුවනව.සපත්තු අඩියක වත් කුණු ගෑවෙයි බයෙන් දිගු අඩිතියමින් ඇවිදිනවා.ඒ සපත්තු පවා පින් කරපුව වෙන්නැති.

මේ හැමෝම ලස්සනයි.ගානට මැදපු ඇඳුම්. මූණ පේන්න  පොලිෂ් කරපු සපත්තු.ඇඳුම් වලටම ගැලපෙන  වයිවර්ණ ආයිත්තම්.ලස්සන ඔරලෝසු, හම්  සපත්තු ,බෑග් ,කමිස  ඒ වගේම එකිනෙකාට නොදවෙනි නහය කපාගෙන යන සුවඳ විලවුන්.මේ හැමදේකින්ම එක්කෙනාට එක්කෙනා පරාද වෙන්නේ නෑ.මේ  හැමදෙයක් අස්සෙන්  මගේම  ඇස් නොදැනීම වගේ  මටම එල්ල උනේ ඇයි?. මතක ඇති කාලෙක මැදපු නැති ඇඳුම්.අඩිය ගෙවිල ගෙවිල ගන්නම දෙයක් නැති සෙරෙප්පු.පොල්තෙල්වලින් සංග්‍රහ ලැබිච්ච තෙල් බේරෙන ඉත්තෑකුරු  අකීකරු කෙස්.ඒ කෙස්  දුඹුරු කරන නගරේ වටේම තියන දූවිලි.ආලේපනයක් නොගාපු මූණට ඇලිච්ච  කළුදුම.ඇඟටම ඇලිච්ච දාඩිය තෙත් වෙච්ච කමිසෙන් එන හපුටු පුස්ඹ. හ්ම්ම් ..
 මම වෙනස් .. මේ හැමෝටම වඩා....
මේ තම ජීවිතේ...හරි මෙහෙම  මෙහෙම නැතිව කොහොම එන්නද ? ටයි කෝට්  දාල ප්‍රාඩෝ එකෙන් ඇවිත් එලියට බැහැල පොලිෂ් කරපු සපත්තු දාගෙන පාර අතුගාන්නද? ..විහිළුවක්.... එහෙම මිනිස්සු පාර අතුගන්නේ නෑ .ඒක නම්බුවට  ගෞරවේට හරි නෑලු.
මගේ හිත මගෙන් අහපු ප්‍රශ්නේ දැන් ආයෙත් අහන්න එපා. 

"කෝ එතකොට ඔයාගේ නම්බුව.ඔයාගේ ගෞරවේ ? "

  
මම උත්තරේ හොයල ගොඩක් කල්  "

ඒ නම්බුව ගෞරවේ මිලදී ගන්න මට සල්ලි නෑ "


 මම.....මම   තාම දුප්පත්. 


මම තාම දුප්පත්.සල්ලි කෝටි ගානක් ලැබුනත් මේ රස්සාවට ම්ලදී ගන්න බැරි දේවල් බොහොමයි.සල්ලි අතේ සතේ නැතත් සම්මතය පිළිගත් රස්සාවකට මිලදී ගන්න දේවල් ඉහලයි.හ්ම්ම් ..


හ්ම්ම් ...තවත් දිගු හුස්මක් ...අතේ තියන ඉදලට වාරු දීගෙනම මම ඈත පේමන්ට් එකේ කොනටම ඇස් යැව්ව. තාමත් අර කුණු ගොඩ එහෙම්මමයි. ඒත් ටිකෙන් ටික ඉහල නගින කුණු ගොඩක්. එහෙට මෙහාට කඩිසරව ඇවිදන් එන මිනිස්සු සිය දහස් ගානක් කුණු ගොඩවල් අස්සෙන් පැන  පැන මාව පහුකරනවා.ඒ පහුකරන හුඟ දෙනෙක්ගේ ඇස් මගේ ඇස්  එකට හමුවෙනවා.එත් හමුවෙන නිමේශයෙන්ම ඒවා වෙනතක යොමුවෙනවා. ඒ හැමෝ වෙතටම  මගේ මූණෙන් නැගෙන හිනාව ක්ෂණයකින් ඇකිලෙනවා.මොකද ඒ හිනාව ගෙනියන්න කෙනෙක් නෑ.මට හිනාවකින් සංග්‍රහ කරන්න කෙනෙක් නෑ.ඒ මිනිස්සුන්ගේ හිනාව මට දෙන්න ලෝබයි නැත්නම් හිනාව ගණන්.....ගිනි ගණන් .....


හිත තුලින් නැගෙන හිනාව ආයේ හිත පත්ලටම විසිකරල කරබා ගන්නේ ඒ නිසයි .මට මේ හැමෝ  එක්කම හිනා වෙන්න ආසයි.සුදෝ සුදු කිරිදත් නෙමේ වෙන්නැති බුලත්විටට කහට ගැහිච්ච කලුපාට විරිත්තන දත් වෙන්නැති ..ඒත් ඒ නැගෙන්නෙ  හිතත් හදවතත් වෙන්කළ ව්‍යාජ හිනාවක් නෙවෙයි.අව්‍යාජයි ...මේ හිනාව අව්‍යාජයි .ඒත් කොහොමද..කොහොමද  ඒ මිනිස්සු මගේ හිනාව දකින්නේ.බලන සුනන්ගුවෙන්ම උනුන්ගේ ඇස් වලින් මාව ඉවතට විසි කරන කොට.


තව කොච්චර බලා  සිටියත්.ඒ කළුනික සෙවීමක්.මේ අපි වගේ මිනිස්සුන්ට.අපි වගේ රස්සා කරන මිනිස්සුන්ට.සල්ලි වලට ගන්න බැරි දේවල් .අහම්බෙන්  කලාතුරකින් ලැබෙන දේවල්.හිනාව, ඒ හිනා මුහුණුත් අපවෙත එල්ල කරන්න බැරි තරම් මිල අධිකයි.හිනාවක් ලැබෙනකන්  අනුකම්පාවක් අයදිනකන් බලා  හිටයත් ඒ කල්පයක්.නොපෙනෙන දයාවට වඩා හවසට අත මිට මෙළවෙන නෝට්ටු හිත පුරවාවී.තවත් වේලක් නිවාවී....


මම ආයෙත් ඉදල දැඩි කොට අල්ල ගත්ත. හිත හූරපු  සිතිවිලි  වලට  නොදවෙනිවෙන්න තව හය්යෙන්  තව වේගෙන්  ඉදල් පහරිනි කුණු ඈතට ඈතට වේගෙන්  විසිකර කරමින් කරත්තය පිරෙන්න කුණු පුරවමින් පාරේ ඉදිරියටම ඇදුන.



මොහොතක් සිතන්න ....මේ ඔබගෙන් සිනහවක්, අනුකම්පාවක් පතන  තවත් එක් පුද්ගලයකු විය හැකියි

Thursday, January 8, 2015

මම රෝස පොහොට්ටුවක්

හිරු උදෙන්ම ඇහැරිලා. නැගෙනහිර පැත්තේ ඉඳන් හෙමින් හෙමින් නැග නැග ඇවිත්  වලාකුළු අස්සෙන්  අස්සෙන් රිංගල හිරු කිරණ පොලවට විදිනවා.වලාකුළු අස්සෙන් ගිය හිරු කිරණ වල රන්පාට සායම් වලාකුළු හැමතැනම ගෑවිලා.ඒ ගෑවිච්ච කහ රන් පාට සායමුත් එක්ක එකට ගුලිවෙලා අතවැල් පටලව ගෙන  හිටිය වලාකුළු දැන් හෙමින් හෙමින් ඈත්වෙලා  තව තව හිරු කිරණට  පොලව එන්න ඉඩ දෙනව.ඒ ආපු හිරු කිරණක් මූනට වැදුන රතු රෝස ගහ නින්දෙන් ගැස්සිලා ඇහැරුනා.ඈලී මෑළි ගති එහෙම ඇරලා හොඳට කෙලින් වෙච්චි  රතුරෝස ගහ හිරු දිහාට හැරිලා හිනා වී ගෙනම ආයුබෝවන් කිව්වා.  

මේ දවස් වල සීතලත් එක්ක තණ බිස්සේ හැමතැනම  තුෂාර බිඳිති විසිරිලා.තණකොළ වල පැටලිලා  තිබ්බ පුංච් මකුළු දැලක ඉහිරුණු  තුෂාර බින්දු හිරු එලියට ලස්සනට දිලිසෙනවා හරියට මකුළුවන්ගේ ගෙදර ලස්සන බලුබ් වැලක් එල්ලලා වගේ. ඒ විතරක්ද හැම ගහක්ම පිනිබිඳු වලින් නෑවිල.රෝස ගහත් එහෙමයි.රෝස කොළ වල දැති දැති දාර අග්ගිස්සට පිනි බින්දු එකතුවෙලා.  වතුර බීල බීල බඩ  මහත් උනු  සමහර පිනිබිංදු ඒ දැති දාර වල අමාරුවෙන් එල්ලිලා ඉන්නෙ  බර වැඩි නිසාම වැටෙන්න ඔන්න මෙන්න වගේ. ඒ පිනි බිංදු අස්සට හොරෙන් රිංගපු හිරු කිරණ ඒ පිනිබිඳු වටේට දේදුන්නෙ පාට වලින් සායම් අඳිනව.

මම තාම රෝස කැකුළක්. ලා රෝස පාට පිම්බිච්ච පෙති පෙති ගවුම මනිපත්‍ර ඇතුලට ඔබාගෙන ගුලිවෙලා වකුටුවෙලා ඉන්න රෝස කැකුළක්.හෙට තමයි මනිපත්‍ර දොරවල් ඇරිලා මම එලියට එන දවස.කාලයක් තිස්සෙ  බලාගෙන හිටපු ජීවිතේ ලස්සනම දවසක් හෙට උදාවෙයි.උදෙන්ම ඇහැරිලා හිරුත් එක්ක හිනා වෙලා හිරුට ආයුබෝවන් කියන්න. සුලන් සැරට  එහෙට මෙහෙට පැද්දි පැද්දි වටේම ලස්සන බලන්න. රෑන් පිටින් එන සමනලුන් කනට කොඳුරලා කියන කතා අහන්න. එහෙම කතා කියන සමනලුන්ට බඹරුන්ට පැණි ගබඩාවෙන් පැණි ටික ටික ගෙනියන්න දෙන්න. මේ හැමදේටම දැන් ලෑස්තිවෙන්න ඕන. හෙට අලුත් දවසක් ජීවිතේ ලස්සනම දවසක්.

ලාවට අඩවන් වෙලා තිබ්බ මනිපත්‍ර දොරක් අස්සෙන් මම හෙමිහිට එබිකම් කලා.මීට කලින් පිපිච්ච රෝස මල් ගොඩක් හිනා වෙලා හරි සතුටින් ඉන්නවා.රෝසම රෝස පාටට දිලිසෙන අපූරුව.නහය කිති කවන  සුවඳක් වටේටම පැතිරෙනවා.මං  ආසාවෙන් බලාන හිටිය.මලෙන් මලට පියාඹ  එන බඹරු රෝස මල් දැක්කම වේගෙ වැඩිකරගෙනම පියාඹා ඇවිත් රෝස මල්වලට වහනවා. ආයේ හිස් අතින් යන්නේ නෑ රසම රස පැණි ගොඩකුත් අරගෙනම තමා  පියඹල යන්නේ.බඹරු සමනල්ලු පැණි කුරුල්ලො මේ ඔක්කොම මල්වල හොඳම  යාළුවො.ඒ  අය  විතරක් යාළුවො කියන එක නරකයිනෙ .සොබදම්හමේ අපි හැමෝම යාළුවො තමයි. :) 

 පිනි බින්දු දැන් වේලිලා ගිහින්. රෝස කොළ දැන් රන් පාටට දිලිසෙනවා.රෝස පොහොට්ටු පොකුරු පොකුරු. ඒ අතර මං වගේම හෙට දවස එන කන් බලාන ඉන්න රෝස පොහොට්ටු ගොඩයි. රෝස මල්  රෝස පොහොට්ටු මේ හැමෝම මම වගේම ඉර එළියෙන් ප්‍රබෝධමත්වෙලා. 

ඈත ඉඳන් ආපු ලස්සන සමනලයෙක් මං ලඟම  තිබ්බ රෝස මලට ලං උනා. රෝස ගහේම තිබ්බ ලස්සනම ලස්සන මලට කඩවසම් සමනලයෙක් ඇවිදින්. ගොඩක් වෙලා මලත් එක්ක කතා කරනවා.එක පාරටම අහසට ගිහින් ලස්සන නැටුමක් නටල ආයෙත් ඇවිත් අර ලස්සනම ලස්සන රෝස මලට ලං උනා.මම හොරැහින් බලාන හිටිය.ඇස් වශී කරන ලස්සනක්.හෙට මා ගාවටත් ලස්සන සමනලයෝ එයිද මගේ හිත මගෙන්ම අහනව.ලෝකේ වටේම පියාඹන සමනල්ලු  හැමදාම උදේට හවසට ඇවිත් මල් එක්ක එයාලගේ කතා කියනවා.ලෝකේ වටේ එයාල ගියපු තැන්.ගස් ගැන, විශාල සත්තු ගැන,අරුම පුදුම නගර ගැන, මිනිස්සු ගැන මේ හැම ජාතියේම ලස්සන ලස්සන කතා කියන්න එයාල අපි ගාවට එනවා.ඒ එන හැමෝටම රසම රස පැණි දීල ආයෙත් දවසක එන්න පාර කියනවා.මම ආයෙත් හොරැහින් අර ලස්සන සමනලය දිහා බලන් හිටිය.මේ රෝස මලට වගේ ලස්සනම සමනලයෙක් මටත් පෙම් බඳී ද  දන්නේ නෑ  හි හි ..මම තනියම හිනා වෙනවා නේද :)   එයා  හරිම ලස්සනයි. ලස්සන පාට පාට  තටු දෙකක් එයාට  තියෙන්නෙ. මලත් එක්ක ලොකු කතාබහක්. අනේ මන් ගාවටත් එනවනම් කියල හිතුන. ගොඩක් වෙලාවක් ඉඳල අන්තිමට  පැණි ගොඩක් බීල බීල මත්උන ඒ ලස්සන සමනලය නවත්වන්නෙම නැතිව නටනවා. රෝස මල වටේටම කැරකි කැරකි නටනවා. රෝස මලත් ඒවා දිහා බලාන හය්යෙන් හිනා වෙනවා.අන්තිමට මහන්සි දනුන සමනලය  රෝස මලට ආයෙත් ලංවෙලා  රහසින් හාදුවක් දීල ඉගිලිලා ගියා. සමනලගේ හාදුවට රෝසමල ලැජ්ජාවෙන් රතුවෙලා ගිහින්. දැන් තවත් ලස්සනයි.

මේ ඔක්කොම බලාන හිටිය මට මොකක්දෝ කියාගන්න බැරි සතුටකින් හිත පිරිලා.හුලඟේ ලතාවට හෙමිහිට හෙමිහිට පැද්දී  පැද්දි  ආයෙත් වට පිට බැලුව. තවත් මලකට පැණි කුරුල්ලෙක් වහල. හරිම හදිසියක්  වගේ. වේගෙන් ගහන තටු සැරට හුළඟත් කැළඹිලා. ඉක්මනට ඉක්මනට හදිසියෙන් ආපු පැණි කුරුල්ලා ආපහු බලන සුනංගුවෙන් ම  පියඹල ගිහින්.

වටේටම කුරුල්ලෝ සින්දු කියා කියා නටනවා.මේ සොබාදහම කොච්චර ලස්සනද.මම තවත් වට පිට බැලුව. ඈතින් ඈතින් ලස්සන මල් ගොඩක් ඒත්  ඒ මල් වලට  වඩා  අපි ලස්සනයි. ඒ මල් වලට වඩා අපි සුවඳයි. ඒක  හින්දම වෙන්නැති හිතේ පුංචි ආඩම්බර කමක් තියෙන්නේ.මම මෙහෙම හිත හිත  ඉන්නකොට එක පාරටම අපි හිටිය රෝස අත්ත පාත්වෙනවා දැනුන.තවත් ලස්සන සමනලයෙක් වත් වහලද මම එබිලා බැලුව අම්මේ නෑ...
කැතම කැත කොලපාට පනු  තඩියෙක්.කොලපාට ඇඟේ කළු පුල්ලි වැටුන පනුවෙක්.පනුව දකිද්දී කොච්චර බයවුනාද කිව්වොත් හුස්ම ගන්නත් අමතක උනා.හැමෝම බයෙන් කෑගැහුව.රෝසමල් බයවෙලා අඬන්න ගත්ත.මාවත් බයෙන් හොඳටෝම ගැහෙන්න උනා. පහල ඉඳන් ඉහලට රූට රූට ආපු පනුවා එකපාරටම නැවතිල  ලඟම තිබ්බ රෝස පොහොට්ටුවක් කිසිම හැඟීමක් නැතිව කාල දැම්ම.ඒක දැකපු අපි හැමෝගේම බය තව තවත් වැඩිවුණා.

හුළඟත් දරුණු වුණා.රෝස ගහත් එහාට මෙහාට පැද්දිල පනුවව විසි කරන්න හැදුව. ඒත් වැඩක් උනේ නෑ .ඌ තදින්ම රෝස ගහ බදාගෙන. තව තව ඉහලට නගින්න හදනවා.හැමෝගෙම විලාප සද්දෙ ඇහෙනවා.ඒත් මේ රාක්ෂ පණුව නෙවෙයි නවතින්නෙ.දැන් ඌ අපි දිහාට එනවා ..දෙවියනේ ....

අනේ දෙවියනේ රෝස කටුවක් ඇනිලා  හරි මේ පනුවව මැරීයන්....බයෙන් ගැහි ගැහීම මම පණුව දිහා බලන් හිටිය එකපාරටම ඒ රාක්ෂ  ඇස් දෙක මාව දැක්ක.කෑදර හිනාවකින් රූට රූට මා දිහාට එනවා. රෝස කටු තියෙයිද කියලවත් ගානක් නෑ හැම රෝස කටුවක්ම මග අරගෙන එන පරිස්සමට හැටි. 

අනේ මම ඉවරයි......  දැන් මූ  මාව කා  දමාවි.... හෙට ලස්සනට පිපෙන්න හිතපු හීන ඔක්කොම මේ පණුව විනාස කර දමාවි... මාව එක හුස්මට ගිලදාවිද ...  මාව කා දමල මගේ රෝස පාට ඇඳුම  ඉරා  දමාවි. අනේ මම හෙට ඉරිච්ච ඇඳුම් ඇඳන් හෙට උදේම පිපෙන්නේ කොහොමද  :( .. හැමෝම අහක බලාවි ලස්සන සමනලයෝ මාව පහු කරන යාවි. කවුරුත් මා දිහා බලන එකක් නැතිවෙයි. අනේ කවුරුවත් නැද්දෝ ..මාව බේරගන්න අනේ කවුරුවත් නැද්දෝ ..

දැන් දැන් පනුව මං ළඟටම  ලංවෙනවා.ඌගෙ කෑදර  ඇස්  ම දිහාමයි. අනේ බේරගන්න ..මු මාව කන්න එනවා ..බේරා  ගන්න ... දැන් ඒ තඩි පනුව මං ඉස්සරහ. තව මොහොතකින් මාව කා  දමාවි. ඌගේ විශාල කට එකපාරටම ඇරෙනකොට මම බයෙන් කෑගහල  ඇස්  වහගත්ත. අනෙක් රෝස මල් වල විලාප සද්දේ මට ඇහෙනවා. දෙවියනේ මාව බෙර ගන්න .. දෙවිය .........

එකපාරටම මගේ ඇඟේ  මොකක්ද වැදිලා ගියා. මෙච්චර වෙලා ඇහිච්ච විලාප සද්දේ එකපාරටම නැවතුන. හැමෝම සතුටින් කෑගහනවා අහ්හ්..  මම හෙමිහිට ඇස ඇරලා බැලුව. කොහෙන්දෝ ඉඳල ආපු කුරුල්ලෙක් අර රාක්ෂ පනුවව හොටෙන් ඇදගෙන ගිහින්. ඈතට පියඹා ගෙන  යන කුරුල්ලගේ හොටේ ඉඳල දඟලන පණුව මට ලාවට පෙනුන. ඇති යාන්තම්... හොඳ වැඩේ නපුරු පනුවට... මම බේරුනා.....වාසනාවන්ත රෝස පොහොට්ටුවක් කවුදෝ කියනවා ඇහුන. 

මම සතුටින් හැමෝම එක්ක හිනා උනා. හැමෝගෙම බය නැතිවෙලා.හැමෝම සතුටින් කෑගහන්න ගත්ත.එක පාරටම කොහේදෝ ඉඳල ආපු ලස්සන සමනලයෙක් මා ලඟින් වැහුව. මාව එකපාරටම ගැස්සිලා ගියා.මම පාන්දර දැක්ක සමනලයටත් වඩා  ලස්සන සමනලයෙක් දැන් මා  ගාව. මේ  හීනයක්ද ඇත්තක්ද මටම  අදහගන්න බැරිඋනා.එයාට  තිබ්බේ ලස්සනට වැඩ දාපු රන්පාට දිලිසෙන තටු. ලස්සනම ලස්සන මුහුණක්..මුළු පරිසරයම එකපාරටම නිහඬ වුනා. සමනලය මා දිහාට ලංවුණා. එයාගේ ලස්සන බෝල ඇස් එක එල්ලෙ මා  දිහා බලාන උන්න.ලස්සනම ලස්සන හිනාවකින් මට සංග්‍රහ කලා.

දන්නවද එය මට මොනාද කිව්වේ කියල....

ඔයා වාසනාවන්ත රෝස පොහොට්ටුවක්. ඒ වගේම ලස්සනම ලස්සන රෝස පොහොට්ටුවක්. ඔයාව ලස්සනට පිපුනම මේ රෝස ගහේ  තියන ලස්සනම රෝස මල ඔයා වෙයි.මං අද ඈත කෝපි මල් ගාව ඉඳල ඔය දිහා බලාන හිටියෙ.මං මෙච්චර කල් දැක්ක ලස්සනම  රෝස පොහොට්ටුවක් ඔයා.අර නපුරු පණුව ඔය දිහාට එද්දී මට හොඳටම බය හිතුන.ඔයාව කා දමාවි කියන බයටම තමයි මම ඉක්මනට පියඹල ගිහින් මගේ කුරුළු යාලුවට මේ සිද්ධිය කිව්වේ.මට සතුටුයි.තාමත් බයවෙලා නේද. එකනේ ඔය කතා නැත්තෙ ...කවද්ද ඔයා ඔය මනිපත්‍ර දොරටු ඇරන්  එලියට එන්නෙ.මම ආයෙත් දවසක එන්නම් ඔයාව බලන්න.මම එන කන් මග බලන්  ඉන්නවද ? එහෙනම් පරිස්සමින් ඉන්න. මම යන්නම් දැන් ...

 එහෙම කිව්ව ඒ වශිකාර සමනලය එක පාරටම අහසට නැගල ලස්සනම නැටුමක් නටල ම දිහා බලල හිනා වෙලා ඈතටම ඉගිලිලා ගියා ..මට මොන උනාද මම දන්නේ නෑ.හැමදේම හීනයක් වගේ මට ඇහුනෙ මම පුදුමෙන් වගේ එයා  දිහා බලාන හිටියේකියන්න කිසිම දෙයක් මතක නැතිව. ගොලුවෙලා. වට පිටවෙන් දැන් ආයෙත් සතුටින් කෑ ගහන අත්පොලොසන් දෙන සද්දේ ඇහෙනව.මාව කන්න ආව නපුරු පණුවෙක් එකපාරටම ලස්සනම ලස්සන සමනලයෙක් මේ හීනයක් නෙමෙයි නේද නෑ  එක හීනයක් නෙමෙයි ඒත්  තාමත් අදහගන්න බෑ.  ඈතට ඉගිලිලා යන සමනලය දිහා මං සතුටින් බලන් හිටිය.

සමනලයෝ මට කියාගන්න බැරි උනා. හෙටයි මගේ ජීවිතේ ලස්සනම දවස.. ඔය හෙට එනවා නේද ..අනේ නොවැරදීම එන්න ..ඔව් සත්තයි මම බලාන ඉන්නව.....................



Thursday, January 1, 2015

2015 සිනා බෝ වේවා !!! :) :) :)

2014 පරණ අවුරුද්දට හැමෝම ආයුබෝවන් කියල දැන් 2015 අලුත් අවුරුද්දත්  සමරන්නත් පටන් අරන්. 31 වෙනිදා රෑ  මන්සියට නින්ද ගිහිං හිටිය මට රෑ දොළහට විතර  කන් අඩි පැලෙන්න ඇහුන රතිඤ්ඤ සද්දෙට  නම් ඇස් පියාන  ඉන්න බැරිඋනා.ඊට පස්සේ අලුත් අවුරුදු සුබ පැතුම් ගොඩයි.හිතට ආපු නැවුම් බවයි සතුටයි එක්ක හැමෝටම සුබ පැතුව.ඔයාල හැමෝටම සුබ පැතුම් තොගයක්ම එන්නැති නේද ? 31 රෑ පාටි දාපු සින්දු කියපු මල්වෙඩි පත්තු  කරපු ඔය හැමෝම මේ ලිපිය කියවනවා ඇති කියල හිතෙනවා .අහ්හ් අමතක උනානෙ 31  රෑ  ෆිල්ම් බලපු අයත් ඉන්නවා ඇතිනේ. :D ඒ කියන්නේ පරණ අවුරුද්ද ජයටම ඉවර කරලනෙ  :D ...ඔන්න එහෙනම් මුලින්ම 


හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්ද්දක් වේවා !!

ගිය  පාරට වඩා  මේ පාර  මට අවුරුද්ද විශේෂයි  හේතුව මේ අවුරුද්දෙ මම පොඩි වෙනසක් කලා.කලින් අවුරුදුවල හිතුවට හරියට පිළිවෙලක් සැලසුමක් නැතිව ක්‍රියාත්මක කරපු වැඩක් හරියටම කරන්න මට ඕන උනා.ඒක පොඩි විශ්ලේෂණයක්.පරණ  අවුරුද්ද දිහා ආපහු හැරිලා බලන වැඩක්.අලුත් අවුරුද්ද සැලසුම් කරන වැඩක් .හැමෝටම තේරෙන්න කිව්වොත් new year resolution එකක් ... :) 


වැඩේට පෑනක් කොලයක් නම් නෙවෙයි  පාවිච්චි කලේ  notepad  එකක්  හැමවෙලේම  ලැපා එක්ක ඉන්න මට notepad එකක ලියන එක ලේසි කියල හිතුන. 


මුලින්ම ලිව්වේ පහුගිය අවුරුද්ද මට හිතෙන විදිහ, මම ලබාගත්ත දේවල් ,ජයග්‍රහණය කරපු දේවල්, මට කරන්න බැරිඋන දේවල්.. මේ හැම දෙයක්ම ලිව්වා .ඒක හරියට SWOT Analysis එකක් වගේ (Strength,Weaknesses,Opportunities,Threats) 2014 මම ගෙවපු විදිහ එහෙම ලිව්වම තම හිතුනේ අපරාදේ ඇයි  කලින් අවුරුදු වල  මේ වගේ වැඩක් කලේ නැත්තේ කියල.ලියල ලියල අන්තිමට ආයේ පාරක් මුල ඉඳල කියෙව්වා .හිතට දැනුනේ සතුටක්.වෙන වචනෙන් කිව්වොත් මං  ගැනම ආත්ම තෘප්තියක්. 2014 අන්තිමට වෙන මොනාද ඕන ආත්ම තෘප්තිය මිසක් .ඒ කියන්නේ 2014 මං සාර්ථක විදිහට අවසන් කරලා .ඔය අතරේ මට කරන්න බැරිඋන, ළඟාවෙන්න බැරි උන සිහිනත් 2014  තිබුන ඒවායෙ  කාලේ ආයේ දිග්ගස්සල dead line  එකක් එක්කම 2015 ට ගෙනිච්ච.


 ඊළඟට තමයි අනෙක්  කරුණු ලියන්න පටන් ගත්තේ  ඒ කියන්නේ 2015 ට මම කරන්න බලාපොරොත්තු වෙන දේවල්.  අධ්‍යාපනික පැත්තෙන් ,පෞද්ගලික ජීවිතයෙන්  හැම පැත්තෙන්ම මට ලඟා කරගන්න අවශ්‍ය දේවල් ලිව්වා හැබැයි එහෙම ලියද්දි එක අවුරුද්දකින් ඉෂ්ට කරගන්න පුළුවන් සිහින් ,බලාපොරොත්තු තමයි ලිව්වේ .2015 මම ජනාධිපති  වෙනවා කියල ලියල බෑනේ. වෙන්න පුළුවන්  දේවල්නේ ලියන්න ඕනෙ .ඉතිං ප්‍රයෝගිකව ලඟා  කරගන්න පුළුවන් කෙටිකාලින බලාපොරොත්තු එකින් එකට ලියාගත්තා .ඒ ලියන ගමන් ඒවා ලඟා කරගන්න විදිත් ටික ටික හිතුව .දන්නවද ඒවා ඔක්කොම අන්තිමට ලිව්වම දැනුන දේ. 2015 අවුරුද්දට බලාපොරොත්තු ගොඩක් ලැබුන. පොඩි බරකුත් හිතට නොදැනුනා නෙමේ .ඇයි ඉතිං  මේක ලිව්වා වගේ නෙමෙයි ක්‍රියාත්මක කරන්නත් එපැයි. නැත්නම් වැඩක් තියනවැයි :)   ඔය දේ තමයි  2015 පටන් ගනිද්දිම මම කරපු දේ. මෙහෙම කරලා  මගේ යාලුවන්ටත් කිව්වා එහෙම ලියන්න කියල එයාලගේ අදහස් බෙදාගන්න කැමති අයට  මට කියන්නත් කිව්වා .හරි සතුටුයි ඒ අයත් ගොඩක් ඉහලින් හිතල . අලුත් අවුරුද්දට බලාපොරොත්තු ගොඩක්ම එක්  කරගෙන .


ඔයාලත් උත්සාහ කරමුද ?මේක නියම වැඩක්.කරොත් වෙනසක් හිතටත් දැනේවි.ඔයාලත් එහෙම වැඩක් කරලා නැත්නම් කරලා බලන්නකෝ .2015 අවුරුද්ද අන්තිමට ආයෙත් ආපස්සට හැරිලා බලන්න පුළුවන්නේ ඔයාල ඔයාලගෙ හීන කීයක් ඉටුකරගත්තද කියල.ඔයාලට ඔයාල ගැනම ඇගයීම් වාර්තාවක් හදාගන්න පුලුවන්නෙ.


දන්නවද   මේ ඔක්කොම ලියල අන්තිමට මම හිතාගත්තේ ගිය අවුරුද්දට වඩා වැඩියෙන් හිනා වෙන අවුරුද්දක් මේ අවුරුද්ද කරගන්නවා කියල. සරලව එහෙම කිව්වට එකේ ලොකු අදහසකුත් තියනවා.ඒ කියන්නේ හැම වෙලේම සතුටින් හිනා වෙලා ඉන්න උත්සාහ කරනවා කියල. හිතේ සතුට, මුවේ සතුට වගේම හිනාවෙන් පිරිච්ච මිනිස්සු හමුවෙන ..හැමෝවම සතුටින් තියන්න පුළුවන් වෙන අවුරුද්දක් ලැබෙනවානම් වෙන මොනවද ඕන.අවුරුද්දම හිනා මල් ගොඩයිනෙ  නේ . 


හිනා දෙනවනම් හැමට 

හිනස්සනව නම් අපිව 
මොන කෙන්ගෙඩියද  තව ඕන කියන්නේ // ..... :D 



එහෙනම් අදට ලිව්වා ඇති හැමෝටම සිනා බෝ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ආයෙත් පතනවා ..හැමදවසක්ම හිනා වෙලා ඉන්න හිතේ සතුටින් හැම දවසක්ම පටන් ගන්න.උදේ නැගිට්ට ගමන්ම මට අද ලැබුනේ ලස්සන සතුටු දවසක් කියල හිතල පටන් ගන්නකො දවසෙම සතුටු නැද්ද කියල බලන්නකෝ ..එහෙනම් 2015  වෙනස්ම ලිපි ලියන්න හිතකුත් පහල කරගෙනම මම යන්නම්.ආයෙත්  හමුවෙමුකො ඉක්මනටම  :)